The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මහ රෑ ජාමේ බණ මඩුවට කඩා පනින ප්‍රාසාංගික අලව් යකා | තිලක් සේනාසිංහ

T

The Leader Desk

July 10, 2025 • 7:30 AM

මහ රෑ ජාමේ බණ මඩුවට කඩා පනින ප්‍රාසාංගික අලව් යකා | තිලක් සේනාසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දුම්රිය ස්ථානයේ සිට ඒ ඔස්සේ පහළට ගමන් කරන විට එවක එම වෙල්එළිය සමීපයේ බෝ රුකක් යට පිහිටි ග්‍රාම නිලධාරී කාර්යාල ගොඩනැගිල්ලක් දක්නට ලැබිණ.
  • මා එහි ගිය 2010 වසරේ ගම්මුන් එම ගොඩනැඟිල්ල හඳුන්වන ලද්දේ ‘බණ මඩුව’ යන නමිනි.
  • ’‘ඕක තමයි වැලිවිට සරණංකර සංඝ රාජ හාමුදුරුවන් ගේ ළමා කාලයේ මේ අවට ගම්මු උන්වහන්සේ ගෙන් බණ අහන්න හදපු ගොඩනැගිල්ල” වැලිවිට සරණංකර සංඝ රාජ හිමියන් ගේ ළමා කාලය හා සම්බන්ධ පැරණි මූලාශ්‍ර බොහොමයක උන්වහන්සේ ගේ ළමා විය ඊට ආසන්න මාකෙහෙල්වල ගත වූ බව සටහන් ව තිබේ.
  • එහෙත්, වැලිවිට සරණංකර ළමා සාමණේර හිමියන්ගෙන් දහම් ඇසීම පිණිස ගම්මුන් තනා ගත් බණ මඩුව පසුව ග්‍රාම නිලධාරී කාර්යාලයක් බවට පත්වීම තෙක් වන කතාවේ මුල මැද අග ගැලපිය හැකි කිසිවකු සොයා ගැනීම එතරම් පහසු නොවිණි.
අකුරු ප්‍රමාණය (Font Size):

දුම්රිය ස්ථානයේ සිට ඒ ඔස්සේ පහළට ගමන් කරන විට එවක එම වෙල්එළිය සමීපයේ බෝ රුකක් යට පිහිටි ග්‍රාම නිලධාරී කාර්යාල ගොඩනැගිල්ලක් දක්නට ලැබිණ.

මා එහි ගිය 2010 වසරේ ගම්මුන් එම ගොඩනැඟිල්ල හඳුන්වන ලද්දේ ‘බණ මඩුව’ යන නමිනි. එහෙත් එහි රාජකාරී කළ ග්‍රාම නිලධාරීවරයා “බණ කාරයකු” වීම මත ගම්මුන් ඊට ඒ උපහාසාත්මක නම යොදා තිබේදැයි දැයි දැන ගනු පිණිස ඒ අවට ගැමියන් කිහිප දෙනෙකුගෙන් ඒ පිළිබඳව ඇසූ මට දැන ගත හැකි වූයේ අති මහත් විස්මයකින් දෙනෙත් පුළුල් කරවන පුවතකි.

Weliwita Sri Saranankara thera
’‘ඕක තමයි වැලිවිට සරණංකර සංඝ රාජ හාමුදුරුවන් ගේ ළමා කාලයේ මේ අවට ගම්මු උන්වහන්සේ ගෙන් බණ අහන්න හදපු ගොඩනැගිල්ල”

වැලිවිට සරණංකර සංඝ රාජ හිමියන් ගේ ළමා කාලය හා සම්බන්ධ පැරණි මූලාශ්‍ර බොහොමයක උන්වහන්සේ ගේ ළමා විය ඊට ආසන්න මාකෙහෙල්වල ගත වූ බව සටහන් ව තිබේ. ඒ එවක රාජ ද්‍රෝහී චෝදනාවක් යටතේ මාකෙහෙල්වල සිරගත ව සිටි සමකාලීන පඬි රුවනක වූ ලෙව්කේ රාළ ගෙන් සතිපට්ඨානය හා බාලාවතාරය ඉගෙන ගැනීම පිණිස ය.

alaw yaka1

 

එහෙත්, වැලිවිට සරණංකර ළමා සාමණේර හිමියන්ගෙන් දහම් ඇසීම පිණිස ගම්මුන් තනා ගත් බණ මඩුව පසුව ග්‍රාම නිලධාරී කාර්යාලයක් බවට පත්වීම තෙක් වන කතාවේ මුල මැද අග ගැලපිය හැකි කිසිවකු සොයා ගැනීම එතරම් පහසු නොවිණි.

එහෙත් ඒ ප්‍රදේශයේ එවක ජීවත් වූ වයෝ වෘද්ධතමයා වූ එච්.පී. සේදරා මහතා ගෙන් ඔහුගේ ළමා වියේ මතක සීමාවේ එහා කෙළවරේ රැඳී ඒ බණ මඩුවේ අතීත කතාව අසා දැනගැනීමේ කදිම අවස්ථාවක් මා හට උදා විය. මා සේදරා මහතා හමු වූ 2010 වසරේ ඔහු ගේ වයස අවුරුදු අනූ නවයකි.

“අපි පුංචි කාලේ ඉඳලා හිටලා දවසක රෑ ජාමෙට ඕකට අහල පහල ගම් දෙවනත් කරගෙන අලව් යකා පනිනවා. ඒ සද්දේට මේ කඳු වළල්ලත් දෙදරනවා. අපිත් පුංචි උන් හැටියට බිරන්තට්ටු වෙලා ඒක බලාගෙන ඉන්නවා” ඔහු සිනාසෙමින් කීය. නමුත් මට මුල දී කෙසේවත් තේරුම් ගත නොහැකි ඒ බණ මඩුවට අලව් යකා පැනීමේ කතාව මදින් මඳ වටහා ගත හැකි වූයේ සේදරා මහතාගෙන් සමුගෙන මඳ කලක් ඇවෑමෙනි.

 

alaw yaka4ආලවක දමනය දැක්වෙන නූතන සිතුවමක්
ප්‍රාසාංගික කලාව (Performing art) යනු නවීන සමාජයේ සොයා ගැනීමක් බව බොහෝ දෙනෙක් සිතති. එහෙත්, එය මානව ශිෂ්ඨාචාරයේ ආරම්භයත් සමඟ ලොවට පිවිසි පොදු ජන රසාස්වාදන මාධ්‍යයකි. ඊට සම්බන්ධ වන ශිල්පීන් තම හඬ කායික ඉරියව් සහ සුදුසු ඇඳුම් ආයිත්තම් අංග රචනා ආදිය මාධ්‍යයක් ලෙස යොදාගන්නා කලා ප්‍රවර්ගයන් පොදුවේ ප්‍රසාංගික කලාවන් ලෙස හැඳින්වේ.

සුඛාන්ත, ඛේදාන්ත, හාස්‍යය, ත්‍රාසය, වීර රසය ආදිය උද්වහනය කෙරෙන මෙම ප්‍රාසාංගික කලා ලක්ෂණ අප සමාජයේ ජන රංගන බලි තොවිල් ආදී යාතු කර්මවල ද බහුලව දක්නට ලැබේ. එමෙන්ම මෙම ප්‍රාසාංගික කලා ලක්ෂණ අපගේ බෞද්ධ සංස්කෘතිය තුළට ද අන්තර් ග්‍රහණය වී ඇති බවට ඉහත සඳහන් “රෑ මැදියමේ බණ මඩුවට යකා පැනීමේ” සිද්ධිය කදිම නිදසුනකි.

1980 දශකයේ ආරම්භයේ සිට විද්‍යුත් ද්‍රෘශ්‍ය මාධ්‍ය විසින් මෙරට ජන විඥානයේ රසාස්වාදන අවශ්‍යතා අසංවිධිත ලෙස සංතෘප්ත කිරීමට පෙර අප රටේ බෞද්ධ විහාරස්ථානවල දී ජනතාවට අත්දකින්නට ලැබුණු අතිශය රසාලිප්ත ප්‍රාසාංගික අත් දැකීමක් වූයේ ආලවක දමනය ධර්ම දේශනයයි.

 

EXoHZ5u8d6eDSuTx Cover
කතා තේමාවේ සිටම නාට්‍යානුරූපී බවක් පළ කරන මෙම ධර්ම දේශනා විශේෂය කන්ද උඩරට රාජධානී සමයේ සිට සමකාලීන භික්ෂු ප්‍රජාවේ මඟ පෙන්වීම මත දිවයින පුරා ප්‍රචලිත වන්නට ඇත. මගේ පෞද්ගලික වැටහීම අනුව කන්ද උඩරට රජකම් කළ වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු ගේ සමයේ සිට ක්‍රියාත්මක වූ සැලසුම් සහගත අන්‍යාගම්කරණය එරෙහිව බෞද්ධයන් විහාරස්ථාන කෙරෙහි යොමු කර ගැනීමේ ශිල්පීය උපක්‍රමයක් ලෙස මෙම නාට්‍යමය ආකෘතියක් සහිත ආලවක දමන ධර්ම දේශනා කලාව යොදා ගන්නට ඇත.

මෙම ධර්ම දේශනා ආකෘතියට අනුව ඒ සඳහා වඩින භික්ෂූන් වහන්සේ විසින් පළමුව පිරිස පංච ශීලයෙහි පිහිටුවනු ලැබේ. ඉන් අනතුරුව ආලවක දමනය කතා පුවතේ මුල් කොටස දේශනා කරයි. මෙය සාමාන්‍යයෙන් මැදියම් රැය තෙක් සිදු වන්නකි.

සංයුක්ත නිකායේ සහාථ වග්ගයේ එන ආලවක සූත්‍රය පදනම් කොට ගත් ආලවක දමනය හා සම්බන්ධ කතා ප්‍රවෘත්තිය සිද්ධිමය වශයෙන් මෙලෙස කොටස් කර දැක්විය හැක.

අලව් නුවර රජ තුමා දඩකෙළියේ යාම, ඒ අතර වනයේ දී ආලවක යක්ෂයා මුණ ගැසීම, එහි දී මිනී මස් ආහාරයට ගන්නා ආලවක යක්ෂයා රජු මරා දැමීමට සැරසීම, රජු තමන් වෙනුවෙන් දිනපතා පුද්ගලයකු බැගින් බිළි දෙන බව පවසා යකුගෙන් ගැලවී යළි අලව් නුවරට පැමිණීම, තම පොරොන්දුව ඉටු කිරීම පිණිස රජු දිනපතා ආලවක යකුට නර බිල්ලක් ප්‍රදානය කිරීම, එසේ වසර දොලහකට පසු ආලවක යක්ෂයාට බිලි වීම පිණිස අලව් කුමරුගේ වාරය පැමිණීම හා බුදුන් එය දිවැසින් දැකීම, ඒ අනුව බුදුන් ආලවක යක්ෂයා ගේ විමානයට වැඩම කිරීම ඒ වේලාවෙහි ආලවක යක්ෂයා යක්ෂ සම්මේලනයකට ගොස් සිටි බැවින් බුදු හිමියනට එහි මුර කරු ගද්‍රභ යක්ෂයා මුණ ගැසීම, එහි දී ගද්‍රභ යක්ෂයාට අවනත නොවන බුදුන් ආලවක යක්ෂයා ගේ මිණි මුවා අසුනේ වැඩ හිඳීමෙන් මහත් කලබලයට පත් ගද්‍රභ යක්ෂයා ඒ බැව් ආලවක යක්ෂයාට දැනුම් දෙනු පිණිස ආලවක යක්ෂ මන්දිරයෙන් පිටත්ව යක්ෂ සම්මේලනයට යාම හා බුදුන් එම මන්දිරයේ හිඳින ආලවක යක්ෂයා ගේ බිසෝ වරුන්ට දහම් දෙසීම එහිදී එම ධර්මය ශ්‍රවණය කරන සාතාගිර හා හේමවත යන දැහැමි යක්ෂයන් ආලවක මන්දිරයට බුදුන් වැඩම කොට ඇති බව යක්ෂ සම්මේලනයේ සිටි ආලවක යක්ෂයාට පැවසීම හා ඉන් බලවත් සේ කිපෙන ආලවකයා යක්ෂ සම්මේලනය “යකාට දමා” ගොර බිරම් හඬ පා තම මන්දිරයට කඩා වැදීම ඉහත කතා ප්‍රවෘත්තිය හා සම්බන්ධ මූලික සිදුවීම් දාමයයි.

මෙම ආලවක දමනය කතා ප්‍රවෘත්තියේ අතිශය උද්වේගකර අවස්ථාව එළැඹෙනුයේ ඉන් පසුව ය.

52685586 2283432245260766 5633801974752215040 n
එහි දී අධික කෝපයෙන් වියරු වැටෙන ආලවක යක්ෂයා තම විමානයට කඩා වැදී වහාම බුදුන්ට ඉන් පිට වන ලෙසත් යළි පැමිණෙන ලෙසත් තෙවරක්ම අණ කරයි. එහෙත් ඒ කිසියම් බුද්ධිමය පරීක්ෂාවක් සඳහා බවක් පෙනේ. එහෙත් ඊට ප්‍රතිචාර ලෙස තෙවරක් එම මන්දිරයෙන් පිටවී යළි ඊට පිවිසෙන බුදුන් සිව් වැනි වරට ආලවක යක්ෂයා කරන එම ඉල්ලීම ප්‍රතික්ෂේප කොට එහිම වැඩ සිටීම විශේෂ සිද්ධියකි. ඉන්පසුව ආලවක යක්ෂයා බුද්ධිමය වශයෙන් බුදුන් පරාජය කිරීම පිණිස ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කිරීමත් අවසානයේ ආලවක යක්ෂයා දමනය වන ආකාරයෙන් ඒ එම ප්‍රශ්නවලට පිළිතුරු දීමත් මෙම ආලවක දමනය ප්‍රාසාංගික ධර්ම දේශනා කලාවේ විශේෂ ලක්ෂණයකි.

මෙහිදී කළු සහ රතු මිශ්‍ර යක්ෂ ඇඳුමකින් සැරසී පයට ගෙජ්ජි පැළඳ සිටින ආලවක යක්ෂයා ගේ සුරතේ ආමෝරා ගත් අසිපතක් ද තිබේ. එහි දී ආලවක යක්ෂයා විසින් බුදුන් හමුවට නංවන ප්‍රශ්න සහ බුදුන් ඊට දෙන පිළිතුරු එම ධර්ම දේශනයේ දී රංගානුසාරයෙන් ඉදිරිපත් කෙරෙන මුත් ආලවක යක්ෂයා ලෙස රඟපාන තැනැත්තා ගේ ත්‍රාස ජනක රංගනයන් අතරේ ධර්ම දේශක භික්ෂුන් වහන්සේ හුදෙක් තම ධර්ම ශ්‍රමණ භූමිකාව තුළ හිඳිමින් අභිනයන්ගෙන් තොරව එම ධර්ම කරුණු ඉදිරිපත් කිරීම මෙම ධර්ම දේශනාවල ඇති සුවිශේෂතාවයකි.

මෙහි දී ආලවක යක්ෂයා බුදුන් ගෙන් විමසන ප්‍රශ්නවල විදග්ධ හා ශාස්ත්‍රීය බවක් තිබේ. ඒ අනුව යක්ෂ සම්මේලනයකට එක් වීමෙන් සමාජශීලීත්වයක් පළ කරන ආලවක යක්ෂයා බුදුන් වෙත යොමු කරන මතු දැක්වෙන ප්‍රශ්නවලින් තම විද්වත් බව ද ප්‍රකට කරයි. එහෙත් සූත්‍රයේ එන මෙම ගැඹුරු ධර්ම කොටස් මෙම ධර්ම දේශනයේ දී ඉතා සරලව කාටත් වැටහෙන ලෙසින් ඉදිරිපත් වීම ද විශේෂත්වයකි.

 

alawakadc
ආලවක :
ශ්‍රමණය; මම තොප ගෙන් විසඳිය නො හැකි ප්‍රශ්නයක් අසමි. මට මීට පැහැදිළි පිළිතුර නො දෙන්නේ නම් නම් තොපගේ සිත හෝ පෙරළන්නෙමි. ළය හෝ පළන්නෙමි. දෙපය හෝ ගෙන පරසක් වළට දමන්නෙමි නැතහෝ මේ ගඟින් එතෙරට දමන්නෙමි.

බුදුරදුන් :
සගයාණෙනි; යමෙක් මාගේ සිත හෝ පෙරළා නම් හදවත හෝ පළා නම් දෙපය හෝ අල්ලා මේ ගඟින් එතෙරට දමා ගසා නම් එබන්දෙකු දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි හෝ මහණ බමුණන් සහිත දෙවි මිනිසුන් සහිත ප්‍රජාවෙහි නො ම දතිමි. එහෙත් සගයාණෙනි කැමැති යමක් අසව.

ආලවක :
මේ ලොවෙහි පුරුෂයාට කවර ධනයක් ශ්‍රෙෂ්ඨ වේ ද?මනාව පුරුදු කරන ලද කවරක් සුව එළවා ද? කවරෙක් රසයන් අතුරෙන් ඉතා මියුරු වේ ද?කෙසේ ජීවත් වන්නාහු ගේ ජීවිතය ශ්‍රෙෂ්ඨ වේ ද?

බුදුරදුන් :
මෙලොව ශ්‍රද්ධාව ශ්‍රෙෂ්ඨ ධනය වේ.ධර්මය මනාව පුරුදු කරන ලදුයේ සුව එළවයි.රසයන් අතුරෙන් සත්‍යය ඒකාන්තයෙන් මධුර වෙයි.ප්‍රඥාවෙන් ජීවත් වන්නහු ගේ ජීවිතය ශ්‍රෙෂ්ඨ වේ.

ආලවක :
කවර ප්‍රකාරයකින් ඕඝයන් තරණය කෙරේ ද?කවර පරිද්දෙකින් සංසාර සාගරයෙන් එතෙර වේ ද?කවර පරිද්දකින් සසර දුක් දුරු කෙරේ ද?කවර ප්‍රකාරයකින් පිරිසිදු වේ ද?

බුදුරදුන් :
ශ්‍රද්ධාව කරණකොට ගෙන සසර සැඩ පහරින් එතෙර වෙයි. අප්‍රමාදයෙන් සසර සයුර එතෙර කෙරෙයි. වීර්යය කරණ කොටගෙන දුක දුරු කෙරෙයි.ප්‍රඥාවෙන් පිරිසිදු වෙයි.

ආලවක :
ප්‍රඥාව කෙසේ ලබා ද? කෙසේ වස්තුව ලබා ද?කෙසේ කීර්තියට පැමිණේ ද? කෙසේ මිතුරන් සපයා ද?මෙලොවින් පරලොව හොස් කෙසේ ශෝක නො කෙරේ ද?

බුදුරදුන් :
කුසල අකුසල ධර්මයන්ගේ විපාක දන්නා වූ අප්‍රමාද වූ පුද්ගල තෙම රහතුන් පැමිණි නිවනට පැමිණෙනු පිණිස බණ අසා ඇදහීම් ඇත්තෙක් ව ප්‍රඥාව ලබයි.

479630385 960005816240222 469996669104162396 n
එමෙන්ම මෙම ආලවක දමන ධර්ම දේශනා පිටපත තුළ නාට්‍යෝචිත සිදුවීම් කෙතරම් ව්‍යක්ත ලෙස ඉදිරිපත්කොට තිබේද යත් ආලවක යක්ෂයා ගේ කීකරු සේවක ගද්‍රභ යක්ෂයා බුදුන් ආලවක විමානයට වැඩම කිරීමත් සමඟ අතිශය කලබලයට පත් වීම දැක්විය හැක. තම ස්වාමියා වන ආලවක යකුට බියෙන් ගද්‍රභයා එලෙස හැසිරීම මගින් ආලවක යනු කෙතරම් බිහිසුණු යකකු ද යන්න ධර්ම ශ්‍රවණාභිලාශීන්ට වටහා ගත හැකිවේ.

මෙම නාට්‍යමය ධර්ම දේශනාවේ වඩාත් තීව්‍රතම අවස්ථාව ආලවක යක්ෂයා බුදුන් හමුවට පැමිණීම වුව එම කතා වස්තුවේ කූට ප්‍රාප්තිය වනුයේ අලව් යකු බුදුන් හමුවේ දමනය වීමෙන් පසු එදිනට අලව් යකුට බිළි දීමට නියමිත අලව් කුමරු සංකේතය කෙරෙන බෝනික්කකු ද රැගෙන රජුගේ ඇමතිවරුන් නියෝජනය කෙරෙන පුද්ගලයන් දෙදෙනෙකු එහි පැමිණීම ය. එවිට තමන් ගේ එම බිහිසුණු මිනී මස් කෑම සම්බන්ධයෙන් අලව් යකු කෙතරම් ලජ්ජා වන්නේ ද යත් එය නරඹන්නවුන්ට මැනැවින් වැටහී යනුයේ අලව් යකු ඒ බිළිදා බුදු රදුන් හට පූජා කිරීමේ සිද්ධියෙනි.

පසුව බුදු හිමියන් ඒ කුමරුනට හත්ථාලවක යන නම යෙදූ බව ඉන් පැවසෙයි.

 

alaw yaka2

ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය

 

ඉහල කෝට්ටේ දී මට හමු වූ අනු නව හැවිරිදි සේදරා මහතා මා හා කී මහ රෑ ජාමේ බණ මඩුවට අලව් යකා පැනීම කෙතරම් බිහිසුණු අත්දැකීමක් වී ද යත් ඔහුගේ යක්ෂ හුව සමඟ යක් බෙර සේම රතිඤ්ඤා හඬ ද හාත්පස නිහැඬියාව සුන්නද්දූලි කෙරිණ. නමුත් සේදරා මහතා කී අන්දමට 1920 හෝ 1930 මහ රෑ ජාමයේ අලව් යකා පැන්න ඉහළ කෝට්ටේ බණ මඩුව ග්‍රාම නිලධාරී කාර්යාලයක් බවට පත් වී ඇත්තේ 1989 වසරේ සිට ය. ඒ එම වසරේ ඒ වසමේ ග්‍රාම නිලධාරී වරයා ලෙස පත්ව ආ මාලියැද්දේ ඩබ්ලියු. ඩී. ජයසූරිය මහතා ගේ මූලිකත්වයෙනි.

 

alaw yaka5

කලින් ඉහළ කෝට්ටේ බණ මඩුව තිබූ තැන දැන් තනා ඇති සේවා පියස

 

“මම ඔය වසමේ රාජකාරී පටන් ගන්න කොට ඔය පරණ බණ මඩුව හරක් ගාලක්. ඒ කාලේ ඔය අහල පහල සමහරුන් ගේ හරක් බැන්දේ ඔය බණ මඩුවේ. ඒ හින්දා මම ඒක නතර කරන්න තියන හොඳම වැඩේ හැටියට ගම්මු කීප දෙනෙකුගේ උදව්වෙන් ඔය බණ මඩුව ටිකක් සකස් කරගෙන ඒක මගේ ග්‍රාම නිලධාරී කාර්යාලය විදියට පවත්වා ගෙන ගියා” හෙතෙම කීය.

නමුත් කාලයාගේ ඇවෑමෙන් අපගේ ජන සමාජය තුළ නවීකරණ ලක්ෂණ පහළ වීමත් සමඟ මේ වන විට වැලිවිට සරණංකර සාමනේර හිමියන් මුල් කොට ගම්මුන් තනා ගත් බණ මඩුව මුළුමනින් ඉවත් වී එහි ග්‍රාම නිලධාරී ඇතුළු ගම් මට්ටමේ නිලධාරීන් ගේ සේවය ලබා ගත හැකි “සේවා පියස” නම් ගොඩනැගිල්ලක් ඉදිව තිබේ.

alaw yaka3ඉහළ කෝට්ටේ ගම්බද සිරිය
එමෙන්ම ප්‍රාසාංගික කලාව පදනම් කර ගත් අනේක විධ නූතන ඉදිරිපත් කිරීම් හමුවේ ආලවක දමනය දම් දෙසුම නම් වන බෞද්ධ සාරධර්ම පදනම් වූ ඒ සාම්ප්‍රදායික විචිත්‍රවත් ප්‍රාසාංගික අත්දැකීම නූතන සමාජය හමුවේ සදහටම දුරින් දුරු වී ඇති සෙයකි. එය නැවත ජන මනැස හා බද්ධ කරවීම අලව් යකා වත්මන් සමාජය හමුවට ගෙන ඒමටත් වඩා අසීරු බව මගේ වැටහීම ය.

(විශේෂ ස්තුතිය: මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන ග්‍රාම නිලධාරී අරුණ ලසන්ත විජේසේන මහතාට)

WhatsApp Image 2024 02 13 at 4.20.58 PM(සටහන | තිලක් සේනාසිංහ)
ගවේෂණාත්මක මාධ්‍යවේදී

thilaksenasinghe@gmail.com

(උපුටා ගැනීම- vinivida.lk)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...