දැනට වී අස්වනු නෙලන ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට අයත් ත්‍රිකුණාමලය, තඹලගමුව, කන්තලේ යන ගබඩා විවෘත කර ඇති අතර මඩකලපුව දිස්ත්‍රික්කයේ වාලච්චෙන ගබඩාව විවෘත කර ඇතැයි අලෙවි මණ්ඩලයේ ප්‍රාදේශීය කළමනාකරු (නැගෙනහිර) අජිත් ශාන්ත කුමාර පවසා තිබේ.
අස්වනු නෙලන ආරම්භක අවදිය මේ කාලය නිසා වී ගොවීන් බොහෝ දෙනකු සිය අස්වනු පෞද්ගලික වෙළඳුන්ට ලබාදීම මෙම තත්ත්වයට හේතු වී ඇති බව ද ප්‍රාදේශීය කළමනාකාරවරයා පවසයි. මෙවර වී මිලදී ගැනීම ප්‍රමිතියෙන් යුක්ත නාඩු වී කිලෝවක් රුපියල් 120 කටද සම්බා වී කිලෝවක් රුපියල් 125 කටද මිලදී ගැනීම සඳහා අවශ්‍ය වී අලෙවි මණ්ඩලය කටයුතු සූදානම් කර ඇති බව බව ද ඔහු පවසා තිබේ.

නමුත් ඉදිරි දින කිහිපය තුළ මහා වාරි පද්ධතිවල අස්වැන්න නෙලීම ආරම්භ වීමත් සමඟ වී අලෙවි මණ්ඩලයට ගොවීන් වී ලබාදෙනු ඇති බවට තමන්ගේ විශ්වාසය බව ප්‍රාදේශීය කළමනාකාරවරයා තවදුරටත් පවසා තිබේ. නමුත් ඒ සම්බන්ධයෙන් එම ප්‍රදේශවල ගොවීන් පවසනුයේ මේ වන විට වී කිලෝවක නිෂ්පාදන වියදම අනුව ඉහත සඳහන් මිල ගණන් වලට ආණ්ඩුවට වී ලබා දුනහොත් තමන්ට දෑත පිසගෙන පැත්තකට වී වෙනත් ජීවනෝපායන් වලට යොමු වීම හැරුණු කොට කළ හැකි අන් දෙයක් නොමැති බව ය.
මේ වන විට වී අස්වනු නෙළීම අරඹා ඇති අනුරාධපුර හා කුරුණෑගල දිස්ත්‍රික්ක වල ගොවීන් පවසන්නේ ද ඔය ටිකම ය.
නමුත් මෙවර යල කන්නයේ අස්වැන්න නෙළීම මේ වනවිට ආරම්භ කර ඇති අතර ඒ අනුව මේ වන විට රජයේ වී ගබඩා අස්වනු නෙළන සෙසු ප්‍රදේශ වල ද විවෘත කර ඉහත සඳහන් මිල ගණන් යටතේ වී මිලදී ගන්නා බව මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමින් කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න ද පවසා තිබේ.
ඔහු පවසනුයේ ඉකුත් වසරේ මිල නියාමනයනට අනුව මෙවර වී මිල නියම කොට ඇති බවකි. නමුත් ගත වූ කාලය පුරාම ගොවි දුක යන්නට ඉහළම අලෙවි වටිනාකමක් ලබා දුන් ජනතා විමුක්ති පෙරමුණ හා සම්බන්ධ ගොවි අරගල නායකයකු වන ඔහු මෙම මිල නියම කිරීමට පෙර ගොවීන් ගෙන් ඒ පිළිබඳ අදහස් විමසා නොමැති ද යන්න අපට බරපතල ගැටළුවකි.

පසුගිය දා වී අලෙවි මණ්ඩලය හා සෙසු පිරිස සමග පැවති ඒකාබද්ධ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බව ද පැවසු නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න ඒ අනුව අම්පාර, කිලිනොච්චිය, මුලතිව්, ත්‍රිකුණාමලය, මඩකලපුව හා වයඹ සහ දකුණු ප්‍රදේශවල මෙලෙස වී මිලදී ගැනීම ආරම්භ කොට ඇති බව කීය.
එහෙත් ඔහු පවසන එම “සෙසු පිරිස” ගොවීන් විය නොහැකි යැයි මට සිතේ. එසේ නම් ඔහු ජනතාවාදී දේශපාලනඥයකු වීමේ විස්මයක් හා අරුමයක් අපේ සිත් තුළ හට ගනී.
එමෙන්ම වී මිලදී ගැනීම සඳහා මේ වනවිට රු කෝටි 600ක මුදලක් වී අලෙවි මණ්ඩලය සතුව තිබෙන බව ද පවසන නියෝජ්‍ය අමාත්‍යවරයා, ප්‍රමිතිගත වී සියලු ගොවීන්ට මෙම ගබඩාවලට ලබාදිය හැකි බව ද කියා තිබේ.
එහෙත් අප දන්නා පරිදි අම්පාර සහ මඩකලපුව ප්‍රදේශ වල ගොවීන් තම අස්වැන්නේ පළමු කොටස තෙත වී වශයෙන් ඊට ලබා ගත හැකි උපරිම මිලක් යටතේ අලෙවි කර පසුගිය කන්නය සඳහා තමන්ගේ ණය තුරුස් පියවා ගැනීමට වෙර දරති.

මේ අතර ආණ්ඩුව තෙත වී සඳහා ද මෙවර මිලක් නියම කර ඇති අතර, ඒ අනුව තෙත නාඩු වී කිලෝවක් රු 102කට, සම්බා තෙත වී කිලෝවක් රු 105කට සහ කීරි සම්බා තෙත වී කිලෝවක් 112කට ගොවියාට විකිණිය හැකි බව ප්‍රකාශ කොට තිබේ.
එහෙත් රජයේ ගබඩාවලට තෙත වී ලබාගැනීමට හැකියාවක් නොමැති බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා ගොවි ජනතාවට අසාධාරණයක් නොවෙන සේ සියලුදෙනා කටයුතු කරන ලෙස ද පවසා තිබිණ. නමුත් පසුගිය කාලයට සාපේක්ෂව මේ වන විට වී මිල තරඟකාරී මට්ටමින් යම් ඉහළ තලයක පවතින බව අප අවංකවම පිළිගත යුතු ය.
“අතරමැදියන් හැටියට වී මිල දී අරගෙන යම් ලාභයක් තියාගෙන විකිණීම හොරකමක් වංචාවක් දූෂණයක් නෙවෙයිනේ. අනික ඒ විදිහට අතරමැදියන් ඉදිරිපත් වීම වලක්වන්න ආණ්ඩුව කටයුතු කරනවා නම් අතරමැදියගේ මුදලත් ගොවියට ලබා දෙන්න පුළුවන්. ඒ වගේම කෘෂිකර්මාන්තයට වගේම අනික් හැම කර්මාන්ත ව්‍යාපාර වල අතරමැදි පිරිස් ඉන්නවා අතරමැදියන් කියන්නෙ අපේ රටේ ජීවත් වෙන තවත් මිනිස්සු කොටසක් නේ රටේ ගොවිතැන වගේම ව්‍යාපාරත් තියෙන්න ඕනෙ නේද? නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ආණ්ඩුවට මේ වගේ ප්‍රායෝගික දේවල් නොතේරීම’මේ සම්බන්ධයෙන් අප හා අදහස් පළ කළ කාත්තන්කුඩියේ ව්‍යාපාරිකයෙක් කීය.
වත්මන් ආණ්ඩුව බලයට පත්වීමට පෙර එක හඬින් කියා සිටි කරුණක් වූයේ තම රජය යටතේ එක සහල් ඇටයක් වත් පිටරටින් නොගෙන්වන බව ය. නමුත් පසුව ඒ ප්‍රකාශය තැන් තැන් වල දී වෙනස් කර ගන්නා ලදී.

ඒ කෙසේ නමුත් ඉදිරියේ දීත් දේශීය කීරි සම්බා සහල් වෙනුවට ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000 ක් ආනයනය කිරීමට ආණ්ඩුව සැලසුම් යොදා ඇත. ඔවුන් පවසනුයේ වෙළඳ පළේ කීරි සම්බා මිල ඉහළ යාම වැළැක්වීමට මෙම පියවර ගන්නා බවකි. ඒ අනුව වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපයන් හි ඇති විචල්‍ය බව වටහා ගැනීමේ අසීරුවක් නැත.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෑතක දී නිකුත් කරන ලද වාර්තාවකට අනුව, 2025 වසරේ ජනවාරි සිට මැයි දක්වා කාලය තුළ සහල් ආනයනය සඳහා ආණ්ඩුවට අමෙරිකානු ඩොලර් මිලියන 58.1 ක මුදලක් වැය වී තිබේ.

ඒ අතරතුර වත්මන් ආණ්ඩුව බලයට පත් වීමට පෙර ගමක් ගමක් හන්දියක් හන්දියක් ගාණේ කී “වී හාල් මාෆියාවේ” අළුත්ම “වර්ෂන් එකක්”කෘෂිකර්ම අමාත්‍ය කේ. ඞී. ලාල් කාන්තගේ මුවින් පිටවී තිබේ. ඒ එම වී, හාල් මාෆියාව පිටු පස සිටින බව කියන ඩඩ්ලි සිරිසේන යනාදි පෞද්ගලික මෝල් හිමියන් නොසිටියා නම් ලංකාවේ වී හාල් ප්‍රශ්නය ඉතා බරපතළ තත්ත්වයකට පත් වන්නට ඉඩ තිබූ බවකි.
එමෙන්ම ගොවියා, නිෂ්පාදකයා, පාරිභෝගිකයා තිදෙනාම සිටින ඔවුන්ට ලාභ ලැබෙන සේ සියල්ල ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය සහිත ආර්ථික ක්‍රමය යටතේ සියල්ලටම පහසුකම් ලබාගත හැකි පරිදි කෘෂි කර්මාන්තය දියුණු කරනවා යනුවෙන් ඔහු කළ ප්‍රකාශය ද අතිශය වැදගත් ය.

නැගෙනහිර පළාතේ වී ගොවිතැනට සම්බන්ධව සිටි මුස්ලිම් ජාතික තරුණ පිරිස් වෙනත් ජීවනෝපායන් සොයා මීට දශක කිහිපයකට පෙර තම පාරම්පරික ගම් බිම් අතහැර වෙනත් ප්‍රදේශ වලට සංක්‍රමණය වූ බව අප ඉතා හොඳින් දන්නා කරුණකි. නමුත් මේ වන විට එම තත්වය මුළුමනින්ම ඇනහිට ඇති අතර වී අස්වනු අලෙවි කර ගැනීමට නොහැකිව වස බී දිවි නසා ගත් ගොවීන් ගේ සංඛ්‍යාව ද මේ වන විට ශූන්‍ය වී තිබේ. ඒ ආණ්ඩුව පවසන “වී හාල් මාෆියාවේ”අනුහසිනි.
නමුත් එම යථාර්ථය වටහා ගැනීමට වත්මන් පාලකයන්ට මෙපමණ කලක් ගත වීම ද විස්මයට කරුණකි.
ඒ අනුව ගත වූ කාලය පුරාවටම වී හාල් මාෆියාව නම් බොල් සිහිනය තුළ නිමග්නව සිටි ජනාධිපතිවරයාගේ නියමයෙන් නිලධාරීන් ලවා මහා පරිමාණ සහල් මෝල් සංකීර්ණවල දෛනික නිෂ්පාදනය සහ දෛනික වෙළඳපොළ සැපයුම පරීක්ෂා කරන ලදී. ඒ කුමක් හෝ තොරොට්ටුවක් දමා ඔවුන් වැට්ටවීමට ය.
නමුදු එම සහල් මෝල් හිමියන් නිෂ්පාදන ක්‍රියාවලියේ සිට සෙසු සෑම නීතිමය අවශ්‍යතා අකුරට ඉටු කොට තිබිණ. බදු වශයෙන් පමණක් අති විශාල මුදලක් රාජ්‍ය ආදායමට එක් විය. ඒ අනුව මේ වන විට යම් විධිමත් රටාවකට අනුව හැඩ ගැසී ඇති රටට අවශ්‍ය බත සැපයීමේ ක්‍රියාවලියට තම ආධුනික බව මුල් කොට වත්මන් ආණ්ඩුව අනවශ්‍ය ලෙස ඇඟිලි ගසන්නට යාමෙන් සිදු කර ගන්නා හානිය කෙබඳුද? යන්න ඉදිරි සති කිහිපය තුළ දී අප කාටත් හොඳින් දැක බලා ගැනීමට හැකි වනු ඇත.
(සටහන | ෆාතිමා හලල්දීන්)
උපුටා ගැනීම - vinivida.lk



