එම ඉදිකිරීම් නීති විරෝධී බවට පවසමින් මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින් පිරිසක් විසින් වෙළඳසල් ඉවත් කිරීමට උත්සාහ කර තිබූ අතර ඒවා පවත්වා ගෙන යන්නවුන් හා ඔවුන් ගේ ආධාර කරුවන් ඊට එරෙහි වීම මත එහි අරගලකාරී ස්වරූපයක් ද ඉස්මතු වී පෙනිණ. එනිසාම ඒ සඳහා මැදිහත් වන්නට පොලීසියට ද සිදුව තිබේ.
කිඹුලාවල වීදි ආහාර වෙළඳසල්
එහි දී ඇති වූ උණුසුම් තත්වය හමුවේ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් විසින් ලොරියකට පටවාගත් භාණ්ඩ නැවත වෙළෙඳුන් වෙත ලබා දීමට කටයුතු කර තිබූ මුත් එහි දී එම නිලධාරීන් පවසා ඇත්තේ මාර්ග සංවර්ධන අධිකාරි සීමාව තුළ මෙම වෙළඳසල් පවත්වා ගෙන යාම සපුරාම නීතිවිරෝධී බවයි.
&
මෙම මාර්ගය මාර්ග සංවර්ධන අධිකාරිය සතු දේපළක් වන අතර මෙම ඉදිකිරීම් නීති විරෝධී බවට ඒවා පවත්වා ගෙන යන්නවුන් හට නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කර ඉවත් කරගන්නා ලෙස පූර්ව දැනුම් දී ඇති බව ද මාර්ග සංවර්ධන ආරංචි මාර්ග සඳහන් කොට තිබේ.
කෙසේ නමුත් මීට පෙර 2023 දී මාර්ග සංවර්ධන අධිකාරිය වෙනුවට නාගරික සංවර්ධන අධිකාරිය මැදිහත් වී මෙලෙසම වෙළඳසල් ඉවත් කිරීමට උත්සාහ ගත් අතර එයට එම අවස්ථාවේදී ද ඒවා පවත්වාගෙන යන පිරිස් ඊට එරෙහි වූහ. එවිට එම ඉදිකිරීම් නීති විරෝධී බවත් එම වසරේ පෙබරවාරි 24 වන විට ඒවා ඉවත් කරන ලෙසත්, කියමින් නාගරික සංවර්ධන අධිකාරිය ඉවත් වූ නමුත් ඒවා ඉවත් කිරීමට හැකි වූයේ නැත.
කිඹුලාවල ඇළ ඉවුර දිගේ ඇවිදීමේ මාර්ගය
තලවතුගොඩ අසල පිහිටි කිඹුලාවල නාගරිකයන් සඳහා වන වීදි ආහාර වෙළඳසල් සේම කිඹුලාවල ඇළ දිගේ ඇවිදීමේ මංපෙතක් නිසා මේ වන විට ජනප්‍රිය වී තිබේ.
ඒ අවට ප්‍රදේශවාසීන්ට සේම අමුත්තන්ට සොබා සිරිය අත් විඳ ගැනීමට සේම සහ සවස 5:00 න් පසු වීදි ආහාර භුක්ති විඳීමට හැකි ඉසව්වක් වන මෙම ප්‍රදේශය පක්ෂි නැරඹීම සඳහා කදිම ස්ථානයක් වන අතර, එහි විවිධ පක්ෂි විශේෂ වාර්තා වී ඇත.
ඒ අනුව ඉතා අඩු මුදලකට විවේකී සැන්දෑවක් ගත කිරීමට සේම මුළු පවුලටම රාත්‍රී ආහාර වේලක් සපයා ගත හැකි ප්‍රදේශයක් ලෙස ද කිඹුලාවල නාගරික මධ්‍යම පාන්තිකයන් අතර ප්‍රකට වී ඇත.
වෙළඳසල් ඉවත් කිරීමට උත්සාහ කර තිබූ අවස්ථාව
ඉහත සඳහන් වීදි ආහාර වෙළඳ සල් නිසා ඇති වන මාර්ග තදබදය සහ එම අනවසර ඉදි කිරීම් හේතුවෙන් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් එම වීදි ආහාර වෙළෙඳ සල් ඉවත් කිරීමේ උත්සාහය ද අරුමයක් නොවේ.
1981 අංක 73 දරන මාර්ග සංවර්ධන අධිකාරිය පනතින් මහාමාර්ග අමාත්‍යාංශය යටතේ ව්‍යවස්ථාපිත ආයතනයක් ලෙස සංස්ථාගත කරන ලද මාර්ග සංවර්ධන අධිකාරිය 1986 වසරේදී එතෙක් පැවති මහාමාර්ග දෙපාර්තමේන්තුවේ අනුප්‍රාප්තිකයා විය.
එතැන් පටන් මාර්ග සංවර්ධන අධිකාරිය ජාතික මහාමාර්ග ජාලය නඩත්තු කිරීම හා වැඩි දියුණු කිරීම සඳහා වගකීම දරයි. මහා මාර්ග අංශය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආයතනය වන මහාමාර්ග අමාත්‍යාංශය යටතේ ඇති එක් ආයතනයක් වනුයේ මාර්ග සංවර්ධන අධිකාරියයි.
කිඹුලාවල වීදි ආහාර වෙළඳසල්
ජාතික මහාමාර්ග ජාලය නඩත්තු කිරීම හා සංවර්ධනය කිරීම සහ පවතින මාර්ග ජාලය වර්ධනය කිරිම පිණිස නව මහාමාර්ග, පාලම් සහ අධිවේගී මාර්ග සැලසුම් කිරීම, නිර්මාණය කිරීම හා ඉදි කිරීම අධිකාරිය සතු වගකීම් අතර මුල් තැනක් ගනී.ඔවුන් ගේ මෙවන් උත්සාහයන් නොවන්නට මේ වන විට මේ රටේ ජනතාවට “පාරේ බැස යාමට “නොහැකි තත්වයක් උද්ගත වනු වැළැක්විය නොහැක.
මීට පෙර 2023 දී මෙලෙසම මෙම වෙළඳසැල් ඉවත් කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය මැදිහත් වුව ද එවකට ද ඒවා ඉවත් කිරීමට හැකි නොවූ අතර ඒ සම්බන්ධයෙන් පෙබරවාරි 21 වැනිදා විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා කළ විමසීමක දී එවකට නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග කියා තිබුණේ වෙළඳසැල් ඉවත් නොකරන බවත් ඒවා විධිමත් කරන බවත් ය. නමුත් එය හුදු වචන මාත්‍රයක් පමණක් විය.
වීදි ආහාර (Street food ) යනු වෙළඳසලක හෝ පොළක වැනි ස්ථානයක, වීථියක හෝ වෙනත් පොදු ස්ථානයක සංචාරක වෙළෙන්දෙකු හෝ විකුණුම්කරුවෙකු විසින් එළිමහන් පරිශ්‍රයක විකුණනු ලබන ආහාර වේ. ඒවා එම අවස්ථාවේදී ම ආහාරයට ගැනීම වෙනුවෙන් සැකසූ කෑම හෝ බීම වර්ග වේ.
කිඹුලාවල වීදි ආහාර වෙළඳසල්
බොහෝ විට ඒවා ජංගම කුටියක, ආවරණයක, කරත්තයක හෝ ට්‍රක් රථයක සිට විකුණනු ලබන අතර ක්ෂණික පරිභෝජනය සඳහා සකස් කෙරේ.
ඇතැම් වීදි ආහාර පළාත්වලට ආවේණික වන නමුත් බොහෝ ආහාර ජාත්‍යන්තර වශයෙන් ද භාවිතා වන ඒවා ය. ඒ අතර ඉතා මෑතක සිංහල බසින් ඉංගිරීසියට ගිය වදනක් වන “කොත්තු රොටී” යන්න ද මෙම වීදි ආහාර අතුරින් මුල් තැනක් ගනී.
ඒ අනුව මෙම නව ආහාර උප සංස්කෘතිය කෙතරම් ප්‍රවේගාත්මක දැයි අපට සිතා ගත හැක.මෙවන් බොහෝ වීදි ආහාර එවේලෙහි අනුභවය පිණිස සකසන ලද ආහාර සහ ගෙන යාම සඳහා සකසන ලද ආහාර වශයෙන් වර්ග කර ඇති අතර නාගරික අවන්හල් ආහාර වේලකට වඩා සාමාන්‍යයෙන් ලාභදායී වේ. එනිසා නාගරික මධ්‍යම පාන්තිකයන් අතරේ මේවා අතිශය ජනප්‍රිය වීමේ පැහැදිලි අවකාශයක් වී තිබේ.
කිඹුලාවල වීදි ආහාර වෙළඳසල්
2007 ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ අධ්‍යයනයකට අනුව බිලියන 2.5ක ජනතාවක් දිනපතා වීදි ආහාර අනුභව කරති. අද වන විට පහසුව පිණිස රසවත් ආහාර සාධාරණ මිලකට ලබා ගැනීම පිණිස, විවිධ සංස්කෘතීන්ට අයත් ආහාරවල රස බැලීම පිණිස හෝ කාංසාව මඟහරවා එදිනෙදා ජීවිතයට විවිධත්වයක් ලබා ගැනීම පිණිස යනාදී හේතූන් ගණනාවක් නිසා මිනිසුන් වීදි ආහාර මිලදී ගනු ලබති. නමුත් මේවායින් ශරීරයට ඇතිවන අහිතකර ප්‍රතිවිපාක පිළිබඳව ද සුවිසල් සංවාදයන් ගොඩ නැඟී තිබේ.
මේ වන විට දියවැඩියාව, අධික රුධිර පීඩනය හා හෘද රෝග තාරුණ්‍යය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් ද නූතන ආහාර රටාවන් සෘජුවම සම්බන්ධ වී ඇති බව මේ වන විට නිරීක්ෂණ අධ්‍යනයන් ගෙන් තහවුරු වී තිබේ.
කිඹුලාවල වීදි ආහාර වෙළඳසල්
මේ වන විට කිඹුලාවල වීදි ආහාර වෙළඳසල් 30කට වැඩි ප්‍රමාණයක් පවතින අතර පවුල් 150කට වැඩි ප්‍රමාණයක් ඒවායින් ජීවනෝපාය සොයා ගන්නා බව පැවසෙයි.
කිඹුලාවල වීදි වෙළඳසල් ආරම්භ කළ අය අතරින් බොහෝ පුද්ගලයන් එම ස්වයං රැකියාවලට යොමු වීමට හේතුව වූයේ කොවිඩ් වසංගතය හමුවේ ඇති වූ ආර්ථික අර්බුදයයි.
විවිධ පෞද්ගලික අංශයේ ඉහළ රැකියා සහ වෙනත් ව්‍යාපාර කළ පුද්ගලයන් පවා සිය නිවෙස්වල දී පිසගත් ආහාර ගෙනැවිත් මෙම මාර්ගය අද්දර පුද්ගලික වාහන නවතාගෙන අලෙවි කිරීමට පටන්ගෙන තිබූ අතර එදා මෙදා තුර කිඹුලාවල වීදි ආහාර උප සංස්කෘතියේ ප්‍රවර්ධනයක් දක්නට තිබේ.
කිඹුලාවල වීදි ආහාර වෙළඳසල්
මේ අතර පසුගිය 11 වන දා මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් කිඹුලාවල වීදි ආහාර වෙළඳසල් ඉවත් කිරීමේ උත්සාහයට එරෙහිව ඒවා පවත්වා ගෙන යන්නවුන් එදිනම බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණු පක්ෂ කාර්යාලයට යාමත් එහි දී ඔවුනට යහපත් ප්‍රතිචාර හිමිවීමත් සම්බන්ධයෙන් මේ වන විට වෙනම ප්‍රවාදයක් ද ගොඩ නැඟෙමින් තිබේ.
එනම් මෙය විවිධ හේතූන් මත මේ වන විට වේගයෙන් පහළ බසිමින් පවතින වත්මන් ආණ්ඩුවේ ජනප්‍රියතාව රඳවා ගැනීම පිණිස ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රබලතමයකු විසින් දියත් කළ සැලසුමක් බව ය.
එහි දී කිඹුලාවල වීදි ආහාර වෙළඳසල් සම්බන්ධ නැති ප්‍රශ්නයක් අවුළුවා තමන් එම වෙළඳුන් ගේ ගැටළු කෙරෙහි සහනශීලීව බලන බව රටට ඒත්තු ගැන්වීමේ මෙම උත්සාහය වත්මන් ආණ්ඩුව තම ජනතාවාදී බව ඉස්මතු කර ගන්නට යොදන “ජිල්මාට්” එකක් නොවන බව තහවුරු කිරීමට අපට නොපුළුවන.

නමුත් අප මෙහි දී ආණ්ඩුවට පවසනුයේ නූතන නව ලිබරල්වාදයේ ජනකාන්ත අංගයක් වන වීදි ආහාර උප සංස්කෘතිය සාධනීය ප්‍රවේශයකින් ප්‍රවර්ධනය කිරීම වත්මන් ආණ්ඩුව සතු මඟ නොහැරිය හැකි යුතු කමක් හා වගකීමක් බව ය.
(සටහන | රේණුකා දමයන්ති ගමගේ)
නිදහස් මාධ්‍යවේදිනී
renudamayanthi2024@gmail.com
(උපුටා ගැනීම - vinivida.lk)



