The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මහනුවරින් ඇසෙන සුනඛ කරුණාවේ කතාවක් | ඉන්දු පෙරේරා

T

The Leader Desk

July 13, 2025 • 11:31 AM

මහනුවරින් ඇසෙන සුනඛ කරුණාවේ කතාවක් | ඉන්දු පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ⁣එම පාර අයත් ගම්ප්‍රදේශය වටපුළුව ය.
  • ඉන්පසු පොල්ගොල්ල වේල්ල පසුකර ලේවැල්ල පාලම දක්වා ගඟ ආසන්නයෙන් වැටී ඇති පාර දුටුගැමුණු මාවත ය.
  • ප්‍රදේශවාසීන් මෙය හඳුන්වන්නේ “ගඟ පාර” ලෙසිනි.
  • විජය මාවත දෙපසින් ඇත්තේ තාප්ප ගේට්ටුවලින් ආවරණය වූ ගෙවල් දොරවල් ය.
අකුරු ප්‍රමාණය (Font Size):
⁣එම පාර අයත් ගම්ප්‍රදේශය වටපුළුව ය. කාපට් පාරක් වන විජය මාවත යම් පමණකට ජනාකීර්ණ ය. අරුප්පල පාරෙන් ආරම්භ වන විජය මාවත කිලෝ මීටර් භාගයකට ආසන්න දුරක් ගොස් මහවැලි ගඟ ආසන්නයෙන් අවසන් වේ. ඉන්පසු පොල්ගොල්ල වේල්ල පසුකර ලේවැල්ල පාලම දක්වා ගඟ ආසන්නයෙන් වැටී ඇති පාර දුටුගැමුණු මාවත ය. ප්‍රදේශවාසීන් මෙය හඳුන්වන්නේ “ගඟ පාර” ලෙසිනි.

විජය මාවත දෙපසින් ඇත්තේ තාප්ප ගේට්ටුවලින් ආවරණය වූ ගෙවල් දොරවල් ය. ලිලී සහ කලූ මෙහි වාසයට පැමිණියේ මීට වසර හත, අටකට කලිනි. හිමිකරුවන් නොමැති සුනඛ පිරිමි සතකු සහ ගැහැනු සතකු වන මේ දෙදෙනා නිරන්තරයෙන් මෙම පාරේ සිටිනු දකිනු ලැබීමෙන් පසු නිවැසියන්ගෙන් සමහර දෙනෙක් ඉතිරි වන කෑම මේ දෙදෙනාට දෙන්නට පුරුදු වූයේ ඉබේම වාගේ ය.

ඒ අතර එම පාරේ පවුලක් දෙකක් පාර අපවිත්‍ර වෙන බව කියමින් මේ පිළිබඳව මුලදී විරෝධය පළ කළත් අනෙක් කිසිවෙක් ඊට එරෙහි නොවූ නිසා ඔවුනට නිහඬ වන්නට සිදු විය. සුනඛයන් දෙදෙනාට කෑම දෙන අයද එම සතුන් දෙදෙනා කෑම ගෙන අවසන් වූ පසු කෑම දැමූ කඩදාසි ආදිය ඉවත් කර එම ස්ථානය පිරිසුදු කර තැබීමට තරම් කාරුණික වූහ.
 
sunaka1
කලූ පිරිමි සතෙකි. ලිලී ගැහැනු සතකු වූවාය. මුල්ම කාලයේ ඔවුන් ට කෑම බීම දීම ආරම්භ කළේ විජය පාරේ සිටි විශ්‍රාමික ගුරු යුවළක් සහ විශ්‍රාමික බැංකු නිලධාරී යුවළකි. එම ගුරු යුවළගේ එක් දියණියක් අසීමිත ලෙස මෙම සතුන් දෙදෙනාට ආදරය කළ අතර අවිවාහක තරුණියක වූ ඇය කොළඹ මහ බැංකුවේ සේවය කළා ය. සති අන්තයේ නිවසට පැමිණි පසු ඇගේ කාලයෙන් වැඩි කොටසක් ගත වුණේ මේ සතුන් දෙදෙනා වෙනුවෙනි. මේ දෙදෙනා කලූ සහ ලිලී යනුවෙන් නම් ලැබුවේත්, ලිලීට වන්ධ්‍යාකරණ සැත්කම සිදු කරනු ලැබුවේත් ඇගේ මූලිකත්වයෙනි. ඔවුන්ට වාර්ෂිකව එන්නත් ලබා දීමද ඇය නොකඩවාම සිදු කළා ය.
කලූට සහ ලිලී ට තුන් වේලටම කෑම ලැබෙන විට මේ කෑමවල ඉව දැනී තවත් සුනඛ මවක් ඇගේ දියණිය සමග පැමිණ ඒ ආසන්නයේ බලා සිටින්නට පුරුදු වූවා ය. ඉන්පසු ඔවුන් දෙදෙනාට ද කෑම ලැබිණි. කෑම කා අවසන් වූ පසු අම්මාත්, දුවත් ආපසු ගිය අතර ඔවුන් ගඟ පාර පැත්තේ සිට පැමිණෙන බව මිස කොහේ සිටින්නේදැයි කිසිවකු දැන සිටියේ නැත. පසුව මේ දෙදෙනාට තුන් වේල ලැබෙන වෙලාව කොතරම් හුරු විණිදැයි කිවහොත් අතේ ඔරලෝසුවක් බැඳ තිබුණාක් මෙන් දෙදෙනා හරියටම වෙලාවට කෑම ලැබෙන තැනට පැමිණ බලා සිටින්නට පුරුදු වූහ.

මාස කීපයක් ගතවන විට ඔවුන් දෙදෙනාද තමන් එතෙක් සිටි ස්ථානය අතහැර එම පාරේ ස්ථිර පදිංචිකරුවන් බවට පත්වූයේ ජීවත් වීම සඳහා අඩුවක් නැතිව කෑම ලැබීමේ හේතුවෙනි. පසුව එම සුනඛ මවට බට්ටා යනුවෙනුත්, ඇගේ පැටවාට කුකූ යනුවෙනුත් නම් ලැබිණි.
 
sayamali1
ශ්‍යාමලී
 
ශ්‍යාමලී කාන්ති විජය පාරේ නිවැසි කාන්තාවකි. මහියංගනයේ පදිංචිකාරියක වූ ඇය මහනුවර, තල්වත්තේ පදිංචියට පැමිණෙන්නේ මීට වසර ගණනාවකට පෙර ඇගේ එකම දරුවා ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් ව මහනුවර ධර්මරාජ විද්‍යාලයට ඇතුළත් කිරීමත් සමග ය. ඇගේ සැමියා එවකට මහියංගනය පොලිසියේ රාජකාරි කළ අතර ඔහු ගමේ සිටියදී දරුවා ගේ අධ්‍යාපන කටයුතුවල පහසුව තකා ඇය මහනුවර පදිංචියට පැමිණියා ය. තල්වත්තේ කුලී ගෙදරින් ඉවත් වී ඇය වටපුළුවට පැමිණ දැන් අවුරුදු හයක් ඉක්ම ගොසිනි.

මේ සුනඛයන් ශ්‍යාමලීට හමුවන්නේ එලෙස විජය පාරේ පදිංචියට පැමිණීමෙන් අනතුරුව ය. ඇය ඔවුන්ට මහත් සේ ආදරය කළ අතර ඔවුන් වෙනුවෙන් ම වෙනම කෑම පිස දෙන්නට තරම් කාරුණික විය. කලූට ලිලීට සේම බට්ටා සහ කුකූටත් ඇගේ ආදරය සහ කරුණාව ද මුසු ව කෑම බීම ලැබුණේ එලෙසිනි .
 
kuku
වැගී
 
මේ අතර බට්ටා සහ කුකූට වන්ධ්‍යාකරණ සැත්කම් කිරීම සඳහා ද එක්තරා සංවිධානයකින් ඔවුහු උපකාර ගත්හ. ඒ සඳහා සහයෝගය දක්වා තිබුණේ සුනඛයන් වෙනුවෙන්ම කැප වූ සංවිධානයක් පවත්වාගෙන යන මහනුවර චම්පා ප්‍රනන්දු මහත්මිය යි. දෙදෙනාට වඳ සැත්කම් කර එම පාරට ගෙනත් බැස්සවූ පසු සුවය ලබනතුරු තම නිවසේ ගරාජයේ තබාගෙන ඔවුන් බලා ගන්නා කර්තව්‍යය එම පාරේ වෙසෙන තවත් මහත්මියකි.

මෙලෙස ටික කාලයක් ගත වෙද්දී නිවසක සිට පැමිණි තවත් අලුත් සාමාජිකයෙක් මේ කණ්ඩායමට ඇතුළත් ව තිබුණේ නිරායාසයෙනි. ඩිස්ටෙම්පර් රෝගය වැළඳෙන්නට ගොස් ප්‍රතිකාර ලබා බේරීම නිසාදෝ මේ සුනඛයා ඇවිද්දේ පසුපස ගාත් දෙකෙන් නොණ්ඩි ගසමිනි. වැගී නමින් නව නාමයක් ලද මේ සුනඛයා අනෙක් සුනඛයන්ට වඩා කඳෙන් තරමක් ලොකු පිරිමි සතෙකු විය. ඉන්පසු විජය මාවතේ සුනඛ කණ්ඩායම සාමාජිකයන් පස් දෙනෙකු බවට පත් විණි.
 
මේ අතර විශ්‍රාමික ගුරු පවුලේ ගුරු මහතාට වරින්වර සුළු සුළු අසනීප වැළඳීම හේතුවෙන් කොළඹ මහ බැංකුවේ සේවය කළ ඔවුන්ගේ දියණිය මවුපිය දෙදෙනා කොළඹ එක්කරගෙන යාමට තීරණය කළේ එවිට ඔවුන් ගැන සොයා බැලීම ඇයට පහසු වන නිසා ය. නමුත් ඇය ද මේ සුනඛයන්ට බොහෝ සෙයින් ආදරය කළ අතර නොවරදවාම ඇය සිටින විට ඔවුන්ට ඇගෙන් ද කෑම බීම සහ ආදර සැළකුම් ලැබිණි. ඇයට වඩාත්ම සමීප වූයේ මුලින්ම පැමිණි සුනඛ සාමාජිකයන් දෙදෙනා වූ කලූ සහ ලිලී ය. මේ දෙදෙනාව අමතක කර දමා වටපුළුවට ආයුබෝවන් කීම ඇයට කෙසේවත්ම පහසු නොවීය. ගුරු යුවළට ද එය අපහසුවක් වූයේ දියණිය නිවසේ නොමැති සතියේ දිනවල දී ඔවුන් දෙදෙනා ද මේ සතුන් ගැන නිරන්තරයෙන් සොයා බැලූ නිසා ය. අවසානයේ තීරණයකට එළඹුණු ඔවුන් විජය මාවත අතහැර කොළඹ පදිංචියට ගියේ කලූ සහ ලිලීවත් රැගෙන ය.
sunaka3
බට්ටා
 
දැන් විජය මාවතේ සිටින්නේ බට්ටා කුකූ සහ වැගී පමණි. මේ සතුන් සියලු දෙනාට ම වර්ෂයක් පාසා රේබීස්, ඩිස්ටෙම්පර් සහ පාවෝ එන්නත් 3 ම ලබා දෙන්නට මේ පාරේ වැසියන් කාරුණික ය. හදිසියේ හෝ මේ සතුන් රෝගාතුර වුවහොත්, අනතුරුවලින් තුවාල ලැබුවහොත් ඒ සඳහා මූල්‍යමය පැත්තෙන් වැඩි බරක් දරන්නේ තවත් පවුලකි.
 
මේ සතුන් තිදෙනා මොනතරම් සැපවත් ජීවිත ගත කරන්නේ දැයි කිවහොත් මනුෂ්‍යයන්ටත් නොමැති අයුරින් දවසට වේල් හතරක් ඔවුන්ට ආහාර ලැබේ. උදේ සහ සැන්දෑ ආහාර වේල් ශ්‍යාමලීත්, දිවා සහ රාත්‍රී ආහාර වේල් විජය පාරේ තවත් නිවෙස් කිහිපයකිනුත් සුනඛයන්ට ලබා දෙයි. තමන්ගේ ගෙදර ආහාර ගෙන අවසන් වූ පසු ඉතිරි වන බත් ආදිය විජය පාරේ අසල්වැසියන් ශ්‍යාමලීට ලබා දෙන්නේ සුනඛයන්ගේ පෝෂණය සඳහා ය. ඒ හැරුණු විට සතුන්ට පිසදීම සඳහා කුකුළු මස්, මාළු වැනි දේවල් සපයා දීමෙන් තවත් කාන්තාවක් ශ්‍යාමලීට උපකාර කරනු ලබයි.
 
මේ තිදෙනා ගත කරන්නේ පාරේ වුවද, වැසි දිනවලට ඔවුන්ට කාගේ හෝ නිවසක රැකවරණය ලැබීම ද අනිවාර්යෙන් සිදුවන්නකි.

දැන් ශ්‍යාමලී ගේ පුතු ධර්මරාජ විද්‍යාලයේ උසස් පෙළ ද සමත් වී වයඹ විශ්ව විද්‍යාලයේ උසස් අධ්‍යාපනය ලබන ශිෂ්‍යයෙකි. වටපුළුවෙහි ඔවුන් වෙසෙන කුලී නිවස අතහැර නැවත මහියංගනයේ පදිංචියට යමු යැයි ඇගේ සැමියා ඇයට වරින් වර යෝජනා කළත් දැන් ශ්‍යාමලීට තිබෙන ලොකුම ගැටලුව මේ සුනඛයන් තිදෙනා දමා යාමට නොහැකි වීම ය.
 
සමාජයේ බොහෝ දෙනෙක් තවමත් නොදන්නා මුත් මානව සුනඛ ගිවිසුම (Human- canine bond) නම් දෙයක් ⁣දියුණු ලෝකයෙහි පවතී. එයට හේතුව දියුණුවත් සමඟ ලොව මානව සුනඛ සම්බන්ධතාව ද වර්ධනය වී තිබීමයි. අපේ රටේ එවැන්නක් දක්නට නොමැති නමුත් එවැනි සිද්ධීන් තැනින් තැන අහඹු ලෙස නොමැතිවාම නොවේ. එබඳු සුනඛයන් හඳුන්වන්නේ ප්‍රජා සුනඛයන් ලෙසිනි. වටපුළුව විජය පාරේ දැනට වෙසෙන මේ බට්ටා, කුකූ සහ වැගී විසින් ඉටු කරනු ලබන්නේද එම ප්‍රජා සුනඛයන්ගේ මෙහෙයයි.
sunaka2
කුකූ
 
විජය පාර නිවහන කරගත් මෙම සුනඛයන් තිදෙනා මේ පාරේ නිවැසියන්ට බොහෝ ලෙන්ගතු ය. රිලවුන් පැමිණි කල නොනවත්වා බුරමින් ඔවුන් පලවා හැරීමේ කාර්යය ද මේ තිදෙනා අතින් සිදුවේ. පාරේ නිවෙසකට අමුත්තකු පැමිණියොත් සියල්ලට කලින් විමසිලිමත් වන්නේ ඔවුන් ය. පොල්ලක් වැනි දෙයක් රැගෙන පාරේ කිසිවෙකු පයින් ගියහොත් ඔහු නොපෙනී යන තුරුම බුරමින් පසුපස යන්නේ මේ පාරේ නිවැසියෙකුට එම පුද්ගලයාගෙන් කිසියම් අනතුරක් සිදුවිය හැකියැයි මේ අහිංසකයන් තුළ සැකයක් ඇතිවීම නිසා විය හැකිය. ශ්‍යාමලීට මෙන්ම මේ පාරේ ඔවුන්ට ලෙන්ගතු තවත් කාන්තාවකට ද මේ සුනඛයන් තිදෙනාට නොදැනී කඩේකටවත් යා නොහැකිය.

වැඩිපුරම පසුපස එන්නේ මේ තිදෙනා අතරින් කුකූ ය. තමන්ගේ කුසගිනි නිවීමේ කෘතඥතාවය කිසිදු මනුෂ්‍යයකු තුළින් දක්නට නොලැබෙන තරමේ උසස් ආකාරයට මේ තිදෙනා විසින් ඉටු කරනු ලබන්නේ මුළු විජය පාරටම ආරක්ෂාව සලසමිනි.

ඉතින් ඔවුන් කෙලෙස දමා යන්නදැයි ශ්‍යාමලී ළතැවෙමින් හිඳින්නීය. ඇය ගියත්, මේ සතුන් කිසිදු ආකාරයෙන් අනාරක්ෂිත නොවේ. අසල්වැසියන් සියලු දෙනාම පාහේ මේ සතුන්ට ලෙන්ගතු ය. එනිසා ඔවුන්ට ආහාර වේල් මගහැරී යාමක්ද සිදු නොවනු ඇත. නමුත් මානසිකව ඇතිවන බැඳීම් අනෙක් සියලු බැඳීම්වලට වඩා ප්‍රබල ය. එවැනි දැඩි බැඳීම් ලිහා ගැනීම පහසු නොවේ. ශ්‍යාමලී ළතැවෙන්නේ එනිසා ය.

(සටහන | ඉන්දු පෙරේරා)
 
උපුටා ගැනීම | vinivida


 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...