The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ලාංකික තාරුණ්‍යයට අකැප නිදහස් අධ්‍යාපනය | ආචාර්ය රසිකා කුමාරසිංහ

T

The Leader Desk

July 14, 2025 • 7:03 AM

ලාංකික තාරුණ්‍යයට අකැප නිදහස් අධ්‍යාපනය | ආචාර්ය රසිකා කුමාරසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එය යුනිසෙෆ් සංවිධානයේ නිර්වචනයට අනුවද “ අධ්‍යාපනය අයිතියක් මිස වරප්‍රසාදයක් නොවේ” යන්න දැනටමත් පිළිගෙන ඇති කාරණයකි.
  • දැනට ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට සම්බන්ධ වූ දත්ත වලට අනුව සෑම වසරකටම දරුවන් හාර ලක්ෂ පනස් දහසක් පමන පාසල් වලට ඇතුල්වේ.
  • එම අගයෙනුත් සරසවි සඳහා වරම් ලබන්නේ සිසුන් 40,000 ක ප්‍රමාණයක් පමණකි.
  • මෙයට හේතුව ලෙස ඉස්මතුවන කාරණය නම් ලංකාවේ විශ්වවිද්‍යාල තුල ඇති ඌන ඉඩපහසුකම් තත්වයයි.
අකුරු ප්‍රමාණය (Font Size):

එය යුනිසෙෆ් සංවිධානයේ නිර්වචනයට අනුවද “ අධ්‍යාපනය අයිතියක් මිස වරප්‍රසාදයක් නොවේ” යන්න දැනටමත් පිළිගෙන ඇති කාරණයකි.

සෑම රටකම, මූලික අධ්‍යාපනය ලබා දෙන්නේ පාසල් තුලින් බැව් ප්‍රසිද්ධ සත්‍යයකි. දැනට ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට සම්බන්ධ වූ දත්ත වලට අනුව සෑම වසරකටම දරුවන් හාර ලක්ෂ පනස් දහසක් පමන පාසල් වලට ඇතුල්වේ. එයින් හාරලක්ෂයක් පමණ අපොස සා/පෙළ විභාගයට පෙනී සිටින අතර, උසස් පෙළ විභාගය සඳහා පෙනීසිටින්නේ එයින් දරුවන් තුන් ලක්ෂ පනස් දහසක් පමණකි. එම අගයෙනුත් සරසවි සඳහා වරම් ලබන්නේ සිසුන් 40,000 ක ප්‍රමාණයක් පමණකි. මෙයට හේතුව ලෙස ඉස්මතුවන කාරණය නම් ලංකාවේ විශ්වවිද්‍යාල තුල ඇති ඌන ඉඩපහසුකම් තත්වයයි. නමුත් නිර්ණායකයක් ලෙස විෂයන් තුනක් සමත් සියලු දරුවන් විශ්වවිද්‍යාල අධ්‍යාපනයට සුදුසුකම් ලැබුවෝ වෙති.

 

ශ්‍රී ලංකාවේ දැනට පවතින මේ අධ්‍යාපන ක්‍රමය තුලදී සාමාන්‍යයෙන් දරුවෙකු උසස් පෙළ විභාගය නිමවන විට ඔහුගේ වයස අවුරුදු 18 ක් ඉක්මවා යනබව පෙනේ. ළදරු අවදියෙන් අධ්‍යාපනය ආරම්භ කරන දරුවා එය නිම කරන්නේ ඔහු වැඩිහිටියෙක් ලෙසින් සමාජයට අවතීර්ණ වීමෙන්ය. සාමාන්‍යයෙන් අවුරුදු 18 කට පැමිණි අයෙක් වැඩිහිටියෙක් ලෙසින් පිළිගන්නා කාරණයකි. ඔහුට සර්වජන ජන්ද බලය හිමිය.

තම අභිමතය පරිදි අවාහවිවාහ වීමට නීතියෙන් අයිතියක් ලබා දී ඇත. සුදුසු රැකියාවක නිරත වීමට සහ එයට සරිලන වේතනයක් ලැබීමට අයිතිය ඇත. එමෙන්ම භාෂණයේ නිදහස වැනි සියලු අයිතීන් ලැබීමට සහ පාවිච්චි කිරීමට සුදුසුකම් ලබන්නේය. වැඩිහිටියෙකුට ලැබෙන්නාවූ අයිතිවාසිකම් සහ හිමිකම් හමුවේ අධ්‍යාපනය වැනි කාරණයක් වරප්‍රසාදයක් ලෙසින් නොමිලේම ලබා දිය යුතුද යන්න සලකා බැලිය යුතු කාරණයකි.

මුලික අධ්‍යාපනය සැමට නොමිලේ ලබා ගැනීම අයිතියක් වුවද, සියලු අයිතීන් හිමි, මුදල් උපයාගැනීමේ හැකියාව ඇති වැඩිහිටි පුද්ගලයෙක් සඳහා උසස් අධ්‍යාපනය නොමිලේ ලබා දිය යුතුද..?



මෙම වැඩිහිටියන් රටේ සමස්ථ ශිෂ්‍ය ප්‍රජාවට සාපේක්ෂව කුඩා ප්‍රතිශතයක් වුවද එය ඔවුන් ප්‍රමුකතාවයක් මතින් ලබන්නාවූ වරප්‍රසාදයක් ලෙසින් අර්ථදැක්වීම කාලෝචිතය. මක්නිසාද යත්; මුළුමනින්ම නොමිලේ ලැබෙන සරසවි අධ්‍යාපනයෙන් පසු ලැබෙන උපාධිය දඩමීමා කරගෙන රැකියා ලබා ගැනීමේදී ද ඔවුන් ප්‍රමුකත්වයක් බලපොරෝත්තු වේ. ඊට අමතරව මේ උසස් අධ්‍යාපනය නොමිලේ ලත් වැඩිහිටියෝ පවත්නා රජරටද බලපෑම් කරන්නේ සිවිල් සමාජයේ අභිලාශ මතට බලපෑමක් ඇති කිරීමට හැකි මිනිස් බලමුළු තනා ගනිමින්ය.

මේ සන්ධර්භය තුල මතුවෙන්නාවූ බරපතලම ප්‍රශ්නය නම්; උසස් අධ්‍යාපනය නොමිලේ ලබා ගන්නා මේ සුළුතර වැඩිහිටි පිරිස හැරුණු විට අනෙකුත් නිර්ණායක ලෙසින් පිළිගත් උසස් අධ්‍යාපනයට සුදුසුකම් සම්පුර්ණ කර ඇති සාතිශය බහුතරයට මේ ප්‍රමුකත්වය මතින් ලැබෙන වරප්‍රසාදය හිමිකර ගැනීමට අයිතියක් නැද්ද යන්නය. එම වරප්‍රසාදයට සාපේක්ෂව මෙම සාතිශය බහුතරයට අසාධාරණයක් සිදුවී ඇති බැව් ඕනෑම අයෙකුට තේරුම් ගැනීමට හැකිය.

 


ඔස්ට්‍රේලියාවේත් මූලික අධ්‍යාපනය ලබා දෙන්නේ පාසල් තුලින්ය. ඒ මූලික අධ්‍යාපනය රජයේ පාසල් මගින් නොමිලේම ලබා දීමත් ඊට අදාලව පහසුකම් සැපයීමත් සිදුවේ. එමෙන්ම එම මුලික අධ්‍යාපනය 12 වැනි පන්තියෙන් අවසන්වේ.  එමෙන්ම, ඔස්ට්‍රේලියාවේ දරුවනුන් හටත් ශ්‍රී ලංකාවේ දරුවන් මුහුණ දෙන උසස් පෙළ විභාගයට සමාන විභාගයක් සදහා පෙනී සිටීමට සිදුවේ. එම විභාගයේ ලකුණු ලබාගන්නා ප්‍රමාණයට සාපේක්ෂව විශ්වවිද්‍යාලයේ විවිධ උපාධි පාඨමාලා සදහා අයදුම් කලයුතු වේ.

නමුත් සංසන්දනාත්මකව දෙරටේ තිබෙන තත්වයන් අතර ඇති ප්‍රධානතම වෙනස වන්නේ ඔස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය නොමිලේ ලබා නොදීමය. ඔස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය ලබා ගන්නවුන් හට තිබෙන ආකෘතිය නම්; එනම් අවුරුදු 18 ක් ඉක්මවූ වැඩිහිටියන්ට ඒ සඳහා ණය මුදලක් (HECS - Higher Education Contribution Scheme) ලබා දීමයි. එම ණය මුදල මගින් ඒ ඒ අදාළ පාඨමාලාවන් සඳහා මුළු ගෙවීම් මුදල විශ්වවිද්‍යාලට ලබා දෙන අතර ශිෂ්‍යයා තම පාඨමාලාව සම්පුර්ණ කර රැකියාවක නිරත වූ විට එම ණය මුදල ගෙවා අවසන් කලයුතු වේ.

schoolership
මීට අමතරව, තමන්ගේ කුසලතාවය සහ තමන්ට ලැබෙන ආදායමේ ප්‍රමාණය සැලකිල්ලට ගනිමින් මෙන්ම ආධිවාසි සම්භවයක් යන්නද සලකාබලමින්, රජය මගින්, විශ්වවිද්‍යාල මගින් සහ වෙනත් ආයතන මගින් සිසුන්ට ශිෂ්‍යත්ව පිරිනැමීමක් සිදුවේ. එවිට එම ශිෂ්‍යත්ව ලාභියෙක්, එම ශිෂ්‍යත්වය පදනම් කරගනිමින් මුළු ණය මුදලම පියවීම අවශ්‍යය වන්නේ නැත. එම ශිෂ්‍යත්වය තම ණය මුදලට වට්ටමක් ගැනීම පිණිස යොදාගත හැකිය.  සමහර අවස්ථා වලදී මෙම ශිෂ්‍යත්වය මගින් තම ණය මුදලට සියයට පනහක පමණ අගයක් දක්වා වට්ටමක් ලබා ගත හැකිය.  

ශ්‍රී ලංකාවේ සියලු පුරවැසියන් සෘජු සහ වක්‍ර බදු ගෙවීමක් කරයි. මෙය සෑම පුරවැසියෙක්ම දැනුවත්ව සහ නොදැනුවත්ව මෙම බදු ගෙවීම සිදු කරනු ලබයි. එම නිසා හැම පුරවැසියෙකුටම සමාන පුරවැසි අයිතිවාසිකම් තිබිය යුතුය. සෑම අයිතියක්ම සාධාරණව ලැබිය යුතුය. එසේනම්, සෑම පුරවැසියෙකුම බදු ගෙවීමක් සිදු කරන්නේ නම්, උසස් අධ්‍යාපනය නොමිලේ ලබා දීමට හැකියාව තිබෙනවානම්, උසස් අධ්‍යාපනය ලැබීමට කැමති සැමටම එම අයිතිය ලබාදිය යුතුය යන්න මෙහි ඇති මුලික තර්කයයි. එය තෝරාගත් ඉතා සුලු පිරිසකට පමණක්, ප්‍රමුකත්වයක් මතින් ලැබෙන වරප්‍රසාදයක් ලබාදීම කොතරම් සාධාරණද යන්න සලකා බැලීම කාලෝචිතය.

tax pay
මෙහි මතුවෙන්නා වූ තවත් කාරණයක් නම්, මේ වරප්‍රසාධිත වැඩිහිටි සුළු පිරිසගේ උසස් අධ්‍යාපනය වෙනුවන් බදු ගෙවනු ලබන්නේ අවවරප්‍රසාදිත සාෂිතය බහුතර පිරිසය. ඔවුන්ගෙන් බහුතරය පිළිගත් නිර්නායකයින් අනුව උසස් අධ්‍යාපනය ලැබීමට සුදුසුකම් ලබා තිබුනද, ඔවුන් කැමති වූවත් ඔවුනට උසස් අධ්‍යාපනය ලැබීමේ අයිතිය අහිමි වී ඇත. එතනින් නොනැවතී, එම පිරිසම එම උසස් අධ්‍යාපනයම දඩමීමා කොට, රැකියා අවස්ථාවන්හීදී පවා ප්‍රමුකතාවයක් බලාපොරොත්තු වන්නේ නම්,  එතනදීත්, රජයේ විශ්වවවිද්‍යාලවල ඉඩ කඩ නොමැතිකම නිසා අසාධාරනයට ලක්වූ බහුතරය නැවතත් අසාධාරනයට ලක් වීමක් සිදුවේ.


2cce9452a0421680a5c5ea00a9f48cee

මෙම නොදියුණු ක්‍රියාවලියේ ඇති ශෝචනීය පැතිකඩ නම්; එම අධ්‍යාපන සුදුසුකම් ලබාගත් බොහෝ දෙනෙකු නොමිලයේ ලබාගත් එම සුදුසුකම්වල  මහිමයෙන් දියුණු රටවල් වලට සංක්‍රමණය වීමයි. අවසානයේදී, නොමිලේ ඉගෙනගත් අයගෙන් කොටසක්, රටට සේවයක් නොකර, හුදෙක් තමන්ගේම සුඛ විහරණය උදෙසාම, තම රට අත්හැර වෙනත් රටකට, තමන් තම මවුබිමේ අවවරප්‍රසධිත මිනිසුන්ගේ බදු මුදල් මතින් නොමිලයේ ලබාගත් දැනුම, අත්දැකීම් සහ හැකියාව ලබා දීමයි. නැවතත් මෙම බුද්ධි ගලනයේ රික්තකය පිරවීමට වන්නේද  උසස් අධ්‍යාපනය වෙනුවෙන් අසාධාරනයට ලක්වූ තම රටේ රැඳී සිටිනාවූ පිරිසටමය. මෙම පිරිසෙන් රටට නොලැබෙන සේවය ලබා දෙන්නේද මෙම අසාධාරණයට ලක්වූ පිරිසෙන් වීම හාස්‍යජනකය.


මෙය විසදා ගත නොහැකි පැනයක්ද..? මෙය වලක්වා ගැනීමට නව ප්‍රතිසංස්කරණ ගෙනඒමට නොහැකිද..?

මෙහෙදී මෙම යෝජනා සඳහා සැලකිල්ලක් දැක්විය හැකිය.

 

university
ලංකාවේ උසස් අධ්‍යාපන පාඨමාලා සදහා ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයක් හදුන්වා දිය හැකියි. අඩු අදායම්ලාභි පවුල් සදහා සහ දක්ෂකම් අනුව ශිෂ්‍යත්ව ලබාදිය හැකියි.  තමුන් ණය ගෙවීම කලයුතු බව ආරම්භයේදීම දැන ගැනීමෙන්, පාඨමාලාව තෝරා ගැනීමේදී ශිෂ්‍යයින් ඉතා වගකීම් සහිතව එය සිඳු  කිරීමට පෙළඹේනවාට සැක නැත. ඒ වාගේම විශ්ව විද්‍යාලය තුලදී සිසු සිසුවියන් අධ්‍යාපනයට වැඩිපුර කාලය සහ අවධානය යොමු කිරීමත් සිදුවිය හැකියි.

රටේ නිෂ්පාදනයට, දියුනුවට, ගෝලීය රැකියා ඉල්ලුමට අනුව, කොටින්ම කිව්වොත් කාලීන අවශ්‍යතාවය අනුව පාඨමාලා වෙනස්කල යුතුයි යන්න ඉතා පැහැදිලි අවශ්‍යතාවයකි. මෙය කඩිනම් වූ තරමටම ශ්‍රී ලංකාවට විය හැකි හානිය අවම කරගත හැකිය.

 

BCI Image

කැමති සෑම අයෙකුටම උසස් අධ්‍යාපන සුදුසුකම් ලබා ගැනීමට පෞද්ගලික විශ්වවිද්‍යාල ස්ථාපිත කළ යුතුයි. නිසි ප්‍රතිපත්ති සහ ක්‍රියා පටිපාටි යටතේ රජයේ ප්‍රමිතියට යටත්ව ඒ ආයතන පිහිටුවා ගුණාත්මක අධ්‍යාපනයක් නිසිලෙස ලබාදිය යුතුයි. ඒ සදහා වෙනමම පාලක මණ්ඩලයක් තිබිය යුතුය. ඒ ඔස්සේ විශ්ව විද්‍යාල අතර ගුණාත්මකභාවය (Quality) වැඩි කිරීම තුලින් එම විශ්වවිද්‍යාල සහ පාඨමාලා ශ‌්‍රේණිගත කල හැකියි. එය තුලින් උසස් අධ්‍යාපනය ලබන්න සුදුසුකම් ඇති, හැකියාව ඇති, කැමැත්ත ඇති සැමටම නිසි අවස්ථාව ලැබෙනු ඇත.

පෞද්ගලික විශ්වවිද්‍යාල කියන සංකල්පය ලංකාවට නැවුම් දෙයක් නොවේය. ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය සහ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය රජයට අනුබද්ධ පෞද්ගලික විශ්ව විද්‍යාල දෙකකි. අවුරුදු අටකට පමන පෙර ස්ථාපිත කරනලද NSBM හරිත විශ්ව විද්‍යාලය අප රටේ සිසු සිසුවියන්ව ගෝලීය රැකියා අවශ්‍යතාවයන්ට සරිලන රැකියා සදහා උපාධි සුදුසුකම් ලබා දෙන ආයතනයකි.

 

kotalawala campus1 1
ඊට අමතරව තොරතුරු තාක්ෂණය, සාත්තු සේවය, ජෛව තාක්ෂණය, රසායන විද්‍යාව සහ වාස්තුවිද්‍යාව වැනි ක්ෂේත්‍ර සදහා උපාධිධාරීන් බිහිකරන පෞදිගලික අධ්‍යාපන ආයතන ලංකාවේ කාලයක් සිට ක්‍රියාත්මක වේ. ඊට අමතරව, ලංකාවේ රජයේ විශ්වවිද්‍යාලවලත්, විදේශිකයන්ට මුදල් ගෙවා ඉගෙනුම ලැබිය හැකි ක්‍රමයන්ද බොහෝ කලෙක සිට ක්‍රියාත්මක වෙමින් පවතී. කොළඹ විශ්ව විද්‍යාලයේ පවා වෛද්‍ය උපාධිය සදහා විදේශීය ජාතිකයන්ට ඉල්ලුම් කල හැකිය. එම වෛද්‍ය උපාධිය සඳහා අවම සුදුසුකම වන්නේ 12  පන්තියේ උසස්පෙළ විභාගයට සමාන එම රටවල විභාගයකින් විශයන් තුනක් සමත්වී තිබීමත්, මුදල් ගෙවීමට හැකියාව තිබීමත් පමණකි.

2023  අගෝස්තු සංඛ්‍යාලේඛණ දත්ත වලට අනුව, ලංකාවේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 29,000  ක් පිටරටවල මූලික උපාධියේ හැදැරීම් කරමින් සිටි. ඉන් සිසුන් 10,500  ක්ම අධ්‍යාපනය ලබන්නේ ඔස්ට්‍රේලියාවේය. සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියාවේ විදේශ සිසුවෙකු සදහා පාඨමාලා ගාස්තු, දේශීය සිසුවෙකුට වඩා හතර ගුණයකින් වැඩි අගයක් ගනී. ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල පහසුකම් තිබුනානම්, ඔය ප්‍රමාණයෙන් අඩක්වත් ලංකාවේ රදවා ගැනීමට හැකියාව ලැබේවි යන්න සුභවාදීව සිතීමට පුළුවන.  

 University Lecturer

රජයේ ණය ක්‍රමය හදුන්වාදී, ඒ ක්‍රමය මගින් අධ්‍යාපනය ලබා සංක්‍රමණය කරන පුරවැසියන්ට, එම ණය මුදල ගෙවීමට ක්‍රමයක් හදුන්වා දිය යුතුයි. මෙය පහුගිය අවුරුදු දශක තුනක හතරක  කාලයක් තුල ලංකාවේ නිදහස් අධ්‍යාපනය ලැබ, සංක්‍රමණය කල අයට උවද පැනවිය හැක. මෙම ක්‍රමය උවද ලංකාවට එතරම් අලුත් දෙයක් නොවෙයි. විශ්ව විද්‍යාල කතිකාචාර්යවරු මෙන්ම ඒ  ඒ අදාළ ක්ෂේත්‍රහි උසස් අධ්‍යාපනය සදහා විදේශගත වන අය විශ්ව විද්‍යාලය සමග බැදුම්කරයකට යටත්ව නිශ්චිත කාලයක් සඳහා විදේශගතවීම සිදු කරයි. ඔවුන් එම රටවල  නවතින්නේනම්, එම බැදුම්කරයට අදාල මුදල ගෙවිය යුතුයි. එබැවින් තම උසස් අධ්‍යාපනය නොමිලේ ලබාගෙන තම රටට සේවය නොකර විදේශ ගතවන්නන් සඳහාද යම්කිසි නිශ්චිත ක්‍රමවේදයක් හරහා රටට අහිමි වී යන වත්කම් ගණනය කර එය නැවත ලබා ගැනීමක් කල යුතුය.

අන්තජාතික නිර්නායකයන්ට අනුව, රැකියා ඉල්ලුමට සරිලන අයුරින්, රටේ අවශ්‍යතාවය අනුව, උසස් අධ්‍යාපන පද්ධතිය වෙනස් කල යුතුයි. ඒ තුලින් නොමිලේ ලබාදිය යුතු, දරුවන්ගේ මූලික අධ්‍යාපනය රැක ගන්නා ගමන්, සැමට ගුණාත්මක උසස් අධ්‍යාපනයක් ලබා ගැනීමට මග සලසා ගත හැකියි බව මුලික සත්‍යයකි. ඒ ඔස්සේ තම මව්බිමේ උන්නතිය උදෙසා වගකීම් දැරිය හැකි නව පරපුරක් බිහිවීමට ඇති ඉඩකඩ වැඩිය. වැඩිහිටියන් ලෙස සමාජයට එළඹෙන අය අඩුම තරමේ වයස අවුරුදු 30 වනතෙක්ම තම දෙමව්පියන්ගෙන් යැපීමේ අව ක්‍රියාවලිය නැති වී යාමක් ඇතිවිය හැකිය.

students

සිසුන් තමට කැමති, තම හැකියාවට අනුව යෙදිය හැකි වෘත්තීයක් උදෙසා පාඨමාලාවක් තෝරා ගැනීමට සිසුන්හට තෝරාගැනීමේ අයිතිය උදාවෙනු ඇත. වයස්ගත අයෙකුට උවද තම හැකියාව තේරුම් ගත් දින සිට ඔහුගේ අභිමතය පරිදි උසස් අධ්‍යාපනයක් ලැබීමේ අයිතියද ලැබෙනු ඇත. තවද, පාසල් දරුවන් අතර ඇති එකිනෙකා පරයා යාමට ඇති අවිධිමත් තරඟය අඩුවී, ළමා කාලයට අයත් කෙලිදෙලෙන් ගතකරන වෙලාවද වැඩි අගයක් ගෙන, දෙමාපියන් තම කරමත හොවාගෙන තිබෙන අනවශ්‍ය පීඩනය සහ බර අඩුවී යනු ඇත. උසස් අධ්‍යාපනය නිසාවෙන්ම විදේශගතවන සිසුන් පිරිස අඩුවී රටට ඉතුරුවන ඩොලර් ප්‍රමානයේද සැලකිය යුතු වෙනසක්ද අත්‍යන්තයෙන්ම සිදුවේ.  


Rasika Kumarasingha
 (සටහන | ආචාර්ය රසිකා කුමාරසිංහ)
ඔස්ට්‍රේලියාවේ Peter MacCallum Cancer Centre හි පර්යේෂණ ආචාරධර්ම ජේෂ්ඨ කළමණාකාරිනී
මෙල්බර්න් විශ්ව වීද්‍යාලයේ බාහිර කථිකාචාර්ය

rasikuma@yahoo.com

(අරුණ පුවත්පතේ පළවූ ලිපියකි)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...