The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සැබෑ ඉතිහාසය විකෘති කරන දේවි කුසුමාසන ! (අවසාන කොටස) | අජිත් අමරසිංහ

T

The Leader Desk

July 14, 2025 • 8:38 AM

සැබෑ ඉතිහාසය විකෘති කරන දේවි කුසුමාසන ! (අවසාන කොටස) | අජිත් අමරසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජයවීර බණ්ඩාර මරා දැමීම සිංහල භටයන් පෘතුගීසීන් හැරයාමත් සමඟම විමලධර්මසුරිය රජු, ජයවීර බණ්ඩාර සමඟ රහසේ ලිපි හුවමාරු කරගැනීමට පටන් ගත්තේය.
  • විමලධර්මසුරිය රජු ජයවීර බණ්ඩාරට පැවසුවේ පෘතුගීසින් කන්ද උඩරටින් පලවා හැරීමට ජයවීර බණ්ඩාර උදවු කළහොත් තමන් ඔහුට කෝට්ටේ හා සීතාවක රජකම ගැනීමට උදවු කරන බවයි.
  • ඔහු විමලධර්මසුරිය රජුට මුදල් හා යුධ ආයුධ යවා හැකිතරම් පෘතුගීසින්ට හිරිහැර කරන ලෙස ඉල්ලා සිටියේය.
  • නගරය ගිනි තැබීමට සැලසුම් කල දිනයේදී මුරකාවල් තරකල පෘතුගීසීහු ජයවීරගේ සෙබළුන් හැසිරෙන ආකාරය අනුව තමන්ට ලැබුනු ඔත්තුව නිවැරදි බව සැකහැර දැනගත්හ.
අකුරු ප්‍රමාණය (Font Size):


ජයවීර බණ්ඩාර මරා දැමීම

සිංහල භටයන් පෘතුගීසීන් හැරයාමත් සමඟම විමලධර්මසුරිය රජු, ජයවීර බණ්ඩාර සමඟ රහසේ ලිපි හුවමාරු කරගැනීමට පටන් ගත්තේය. විමලධර්මසුරිය රජු ජයවීර බණ්ඩාරට පැවසුවේ පෘතුගීසින් කන්ද උඩරටින් පලවා හැරීමට ජයවීර බණ්ඩාර උදවු කළහොත් තමන් ඔහුට කෝට්ටේ හා සීතාවක රජකම ගැනීමට උදවු කරන බවයි. දැඩි උන්නතිකාමී ජයවීර බණ්ඩාර මේ යෝජනාවට කැමති විය. ඔහු විමලධර්මසුරිය රජුට මුදල් හා යුධ ආයුධ යවා හැකිතරම් පෘතුගීසින්ට හිරිහැර කරන ලෙස ඉල්ලා සිටියේය. ඔහු දිනක් සෙංකඩගල නගරයට ගිනි තැබීමට සැලසුම් කල අතර නගරය ගිනිගන්නා අතර විමලධර්මසූරිය රජුට පෘතුගීසීන්ට පහරදීමට පැවසීය. ඒ රහස ජයවීර සමඟ සිට අලුතින් කිතුණුවෙකුවූ  මුදලිවරයෙකු පියතුමෙකුට පාපෝච්චාරණය කලේය. නගරය ගිනි තැබීමට සැලසුම් කල දිනයේදී මුරකාවල් තරකල පෘතුගීසීහු ජයවීරගේ සෙබළුන් හැසිරෙන ආකාරය අනුව තමන්ට ලැබුනු ඔත්තුව නිවැරදි බව සැකහැර දැනගත්හ.

ජයවීරගේ මේ සියලු භයානක කුමන්ත්‍රණය හෙලිදරවු වූ පසු මෙතෙක් කපටි ජයවීර ගැන නිහඬ පිළිවෙතක් අනුගමනය කල ජෙනරල් පේද්‍රරෝ ලෝපෙස් ද සෝසා,  වහාම තම සමීපතම කපිතාන්වරු දෙදෙනා කැඳවා කලයුත්තේ කුමක්දැයි විමසීය. ඔවුන්ගේ අදහස වුයේ ජයවීර මරාදැමිය යුතු බවයි.

 

විමලධර්මසුරිය රජු

චිත්‍රපටයේ පෙන්වන අයුරින් ජයවීර මරා දැමුවේ ජෙනරල්වරයා විසින් නොවේ. සිදුවූදේ පිළිබඳව ලියවිලි දෙකක වල වාර්තා වී ඇත්තේ වෙනස් අයුරින් යැයි කිවුරෝස් පියතුමා පවසයි. ඉන් එකක සඳහන්ව ඇති ආකාරයට  ජෙනරල්වරයා තම කපිතාන්වරු දෙදෙනා ඇතුළු කාමරයකට යවා ජයවීර බණ්ඩාරට වහාම තමන් හමුවට පැමිණෙන ලෙස පණිවිඩයක් යැවීය. තමන් නගරය ගිනි තැබීමට කල සැලසුම මේ වනවිට පෘතුගීසින්ට හෙළිදරවු වී ඇති බවට චකිතයක් තිබුනත් ඔහු වහාම ජෙනරල්වරයා මුණගැසීමට ගියේය. ජයවීර තමන් හමුවට පැමිණි පසු කිසිම අමුත්තක් නොපෙන්වා ජෙනරාල් වරයා කතා කරමින් සිටින අතර ඇතුළු කාමරයේ සිටි කපිතාන් අලවුරෝ ද සෝසා එහි පැමිණ ජයවීර ඉනෙහි පැළඳ සිටි රත්‍රන් කිනිස්ස ගලවා තෙවරක් එයින් ඔහුට ඇන්නේය. මින් එතැනම මියගිය ජයවීර, කපිතාන් අලවුරෝ ද සෝසාගේ ඇඟ මතට කඩා වැටුණි.

ජයවීර බණ්ඩාර මරා දැමීම (ඕලන්ද සිතුවමකි)
අනෙක් වාර්තාවට අනුව ජෙනරල්වරයා තම නිල ඇඳුමින් සැරසී, කපිතාන්වරුන් හා සෙබළුන් සමඟ නිල වශයෙන් ජයවීරගේ කූඩාරමට ගියේය.මේ අමුත්තන්ගේ පැමිණීම නිසා කලබලයට පත්වූ ජයවීර කිසිදු කරුණක් ගැන සාකච්ඡා කිරීමට ප්‍රථම, තමන් ගැන ජෙනරාල්වරයාට සැලවී තිබෙන කරුණු තම සතුරන් විසින් ප්‍රචාරය කරන ලද මුසාවන් බවත්, තමන් මරාදැමීමට පෙර තම නිර්දෝෂිභාවය ඔප්පු කිරීමට නිසි පරීක්ෂණයක් පවත්වන ලෙසත්, ජෙනරල්වරයාගෙන් ඉල්ලා සිටියේය.

මෙය වඩා සාධාරණ ක්‍රියාමාර්ගයක් යැයි ජෙනරල්වරයා සිතමින් සිටින අතරතුර, මෙය පිටත සිටින තම ආරක්ෂකයන් කැඳවා ගැලවීයාමට ජයවීර දරන ප්‍රයත්නයක් බව සැකකළ පෘතුගීසීහු තිදෙනක් ඉදිරියට පැන ඔවුන්ගේ කිණිසිවලින් ඇන ජයවීර මරා දැමිය. ඉන්පසු අනෙක් සෙබළුන් එක්ව එතැන සිටි ජයවීරගේ මස්සිනාද, අනෙක් ඥාතින් 50 ක්ද මරා දැමූහ.    

 

image 0c62644c22
කිවුරෝස්ගේ මේ දීර්ඝ විස්තරයෙන් පැහැදිලිවන්නේ ජයවීර බණ්ඩාර මරා දැමීම චිත්‍රපටයේ දිස්වෙන අයුරේ අහඹු සිදුවීමක් නොව, දිගු කලක් තිස්සේ පෘතුගීසින් ඔහු පිළිබඳව සැක පහල කර සිටීම නිසා, ඔවුන්ට හමුවූ සාධක මත සිදුවූ සිදුවීමක් බවයි. කෝට්ටේ හා සීතාවක රජකමට ලොබ බැඳ සිටි ජයවීර තමන්ගේ ඒ සිහිනය සැබෑ කරගැනීම සඳහා විමලධර්මසුරිය රජු සමඟ දෙදෙනාටම වාසිදායක නිල නොවන අවබෝධයක් ඇති කරගෙන, පෘතුගීසින් කන්ද උඩරටදී විනාශ කිරීමට උත්සාහ කලේ නම් එය පුදුමයක් නොවේ.  

දන්තුරේ සටනින් පෘතුගීසීහු සමූල ඝාතනය වෙති


ජයවීරගේ ඝාතනයත් පෘතුගීසින් සමඟ පැමිණි සීතාවක සෙබළු විශාල වශයෙන් ඔවුන් හැරගොස් විමලධර්මසූරිය රජුට එක්වන්නට පටන්ගති. බොහෝ කලක් තිස්සේ පෘතුගීසීන් එදිරිව සටන්කල ඔවුන්ට, පෘතුගීසියෙකු රජෙකු කිරීමේ කිසිදු වුවමනාවක් නොතිබෙන්නට ඇති. අවසානයේදී පෘතුගීසින් හා ඉතිරිවූයේ කොළඹින් හා මන්නාරමින් පැමිණි 1000 කට අඩු දේශීය සෙබළුන් පිරිසක් පමණි. ජනතාව ඔවුන්ට ආහාර සැපයීම ප්‍රතික්ෂේප කලනිසා පෘතුගීසි සේනාව ආහාර හිඟයකට මුහුණ දුණි.

 

danthure

කන්ද උඩරටට ඇතුළුවූ දිනයේ සිටම 15,000 ක හමුදාවකට ආහාරපාන සොයාගැනීම ගැටළුවක්ව පැවති මුත් මේ වනවිට කුඩා භට පිරිසකගේ කුස් පිරවීම පවා ගැටලුවක් විය. මුළු කන්ද උඩරට ජනතාවම  පෘතුගීසින්ට එරෙහිව නැඟීසිටි නිසා තමන් පත්ව ඇති ඉරණම ගැන දන්වා කිසිදු දූතයෙක් පිටතට යැවීමේ හැකියාවක් ඔවුන්ට නොතිබිණි. ලෙඩ රෝගවලටද ගොදුරුවෙමින් මරණයට නියම වුවන් සේ ඔවුන් කල් ගත කළේය.

ජෙනරාල්වරයා ජයවීරගේ පදවියට පනික්කි මුදලි පත්කල අතර, දේශීය සෙබළුන්ට මාසික වැටුප් ගෙවූ පසු ඔහුද සෙබළුන් රැසක් රැගෙන පෘතුගීසින් හැර ගියේය. අවසානයේදී පෘතුගීසින් සමඟ ඉතිරි වුයේ දේශීය සෙබළුන් 300 ක් පමණි.

අන් කලහැකි කිසිවක් නැති නිසා 1594 ඔක්තෝබර් මස 5 වෙනි දින ජෙනරල්  පේද්‍රරෝ ලෝපෙස් ද සෝසා සෙංකඩගල සිට ගන්නොරුව (Ganur) හරහා බලනට ඇති කි මී 20 ක පමණ දුර පසුබැසීමට තම සේනාවට අණදුනි.

back road pruthugeesපෘතුගීසීන් පසුබැසි මාර්ගය
එයට පෙර කුසගින්නෙන් සිටි තම සේනාවට ආහාර සොයාගැනීම සඳහා ජෙනරාල්වරයා කපිතාන්වරු දෙදෙනක් යටතේ පෘතුගීසි සෙබළුන් 150 ක් හල්ලොලුව (Halelua) ගමට යැවීය. එහි තිබී බත්  සෑහෙන පමණින් සොයාගත් ඔවුන් එයින්  නොනැවතී එහි තිබූ විහාර හා ගොඩනැගිලි ගිනි තබමින් සිටින විට, කන්ද උඩරට හමුදාවේ 7000 ක් සෙබළු මොවුන්ට පහර එල්ල කලහ. එහිදී  ඇතිවූ දරුණු සටනින් දිවි ගලවා ගත් එකම පෘතුගීසි කපිතාන්වරයා තවත් දේශීය භටයන් කිහිපදෙනෙකු සමඟ ඒ වනවිට ගන්නොරුවේ (Ganur) සිටි ජනරාල්වරයා හමුව තමන්ට සිදුවූ විපත විස්තර කළේය.

එදින රැයේ තම හමුදාව ගණනය කරනවිට තමන් සමඟ දැන් සිටින්නේ පෘතුගීසි සෙබළුන් 368 ක් පමණක් බව ඔවුන්ට වැටහුණි. ආගමික පාපොච්චාරණයන් සිදුකල  මේ සියල්ලෝම, ඊට පසුදින බලන දක්වා පසුබැසීමට තීරණය කළහ. ඉදිරියෙන්ම යන හමුදා කණ්ඩයට පසුපසින් දෝන කතරිනා කුමරිය රැගෙන ගිය හමුදා කණ්ඩය ගමන් ගැනීමටත්, පසුපෙළ හමුදා කණ්ඩයට ජෙනරල්  පේද්‍රරෝ ලෝපෙස් ද සෝසා  විසින්ම නායකත්වය දීමටද එදින තීරණය විය.  

 

bf2d3fad51b9d659923647d9699181a8

ඊට පසුදින එනම් ඔක්තෝබර් මස 8 වෙනිදා හිමිදිරි උදෑසන තම භටයන් ඇමතූ පේද්‍රරෝ ලෝපෙස් ද සෝසා  තම ආගම වෙනුවන් දිවිදීමත්, තම රජුට අවංකව සේවය කිරිමත්, තමන් තුල ඇති රුධිරයේ ගෞරවනීය බව සුරැකීමත් ඔවුන්ගේ වගකීම බව පැවසීය. ඇන්ටෝනියෝ එස්ක්විපානෝ ජෙසුයිට් පියතුමා අත දරාසිටි  කුරුසිය සිඹි පෘතුගීසීහු, බලන බලා ගමන් ඇරඹීය.

උදෑසන 7 වන විට විමලධර්මසුරිය රජු තම සේනාව සමඟ මේ පිරිස වැටලීය. පෘතුගීසින් වටා තිබූ කඳු වලල්ලද, කඳු ගැටද, තැනිතලා බිම්ද අතුරු සිතුරු නැතිවනසේ කන්ද උඩරට සේනාවෙන්ද, පෘතුගීසින් හැරගිය සෙබළුන්ගෙන්ද පිරී තිබිණි. මායාවකින් මිස මේ භුමියේ මෙතරම් සෙනඟක් සිටින්නේ කෙසේදැයි පෘතුගීසින්ට අදහා ගැනීමට නොහැකි විය. පෘතුගීසින්ට සිදුවන විපත දෝලාවල සිට නැරඹීමටද විශාල පිරිසක් සටන්බිමට පැමිණ සිටියහ. මේ මහා සේනාව වෙඩි පහර එල්ල කරන තරම් ලංවූ පසු, වෙඩි හුවමාරුවකින් සටන ආරම්භ විය. මේ අවසන් සටන ගන්නොරුවත්, බලනත් අතර ඇති දන්තුරේ වෙලේදී සිදුවූ බව රාජාවලියේ සඳහන් වේ.

sinhala solger pruthgrees pictureසිංහල යුධ භටයන්ගේ 16වෙනි සියවසේ පෘතුගීසි සිතුවමක්
සටන ඇරඹෙන විටම තමන්ට කිසිම හව්හරණයක් නොමැතිබව දැනසිටි පෘතුගීසීහු සියලු දෙසින් එල්ලවන ප්‍රහාරයන්ට තමන්ගේ උපරිම ශක්තිය යොදා පෙරලා පහරදුන්හ. සටන් කරන අතරතුර පසුබසිමින් සිටි පෘතුගීසීන්ගේ ඉදිරිපෙළ භටයන් මැදපෙළ භටයන්ගෙන් වෙන්විය. පටු පාරවල් ඔස්සේ මඟ පෙන්වීමට කිසිවෙකුත් නොමැතිව ගමන්ගත් මැදපෙළ වගුරුබිමකට පැමිණි අතර මෙහිදී කන්ද උඩරට සෙබළු ඔවුන් වටකරගෙන සියලු දෙනාගේ හිස් ගසා දැමීය. පැය තුනක සටනකින් පසු ඉදිරිපෙළේ පෘතුගීසින් සියලු දෙනාමද  මරා දැමිණි.

කන්දක් පාමුලින් ගමන් කරමින් සිටි ජෙනරල්වරයා තම පසුපෙල සමඟ ආයුධ අවසන්වන තුරු සවස් කාලය දක්වා සටන් කළේය. මේ වනවිට ඔහුට මාරාන්තික තුවාල දෙකක්ද, සුළු තුවාල හයක්ද සිදුවී තිබිණි. හෙළිවලින් සටන් කරමින් සිටි පෘතුගීසීහු කෙතරම් සතුරන් මැරුවත් නොනැවතී තව තවත් ඔවුන් මතුවන බව දැන, තම සටනේ නිෂ්ඵලබව අවබෝධ කරගනිමින් සිටියහ.

පෘතුගීසීන්ගේ අවාසනාවන්ත ඉරණම

 

mulleriya war painting
මේ සටන රාත්‍රිය වනතෙක් පැවතුනු අතර පෘතුගීසීහු  ඊට පෙරදින දහයට පසු කිසිදු ආහාරයක් නොගෙන සිටි නිසා දැඩි කුසගින්නකින් පෙලී සිටියහ. රාත්‍රියේදී සටන නතරවූ අතර ඊට පසුදින උදයේ එනම් ඔක්තෝබර් මස 9 වෙනි දින කන්ද උඩරට හමුදාවට යටත්වීමට පෘතුගීසීහු තීරණය කළහ. මේ සියල්ලෝම දැඩිසේ තුවාල ලබා සිටි අතර දන්තුරේ සටනේදී යටත්වූ පිරිස 220 කි. එහිදී පෘතුගීසින් 148 දෙනෙකු හා  ෆ්රන්සිකානු පියවරුන් 6 දෙනෙකු මියගියේය.

අත්අඩංගුවට පත්වූ සියලු සිරකරුවන්ගේ පාහේ නාස් කපා දැමිණි. ඊට පසුදින එනම් ඔක්තෝබර් මස 10 වෙනි දින සිරකරුවන් තමන් පසුපසින් බැඳගෙන, ජනතාවගේ ජයඝෝෂා මැද විමලධර්මසුරිය රජු සෙංකඩගල නුවරට සැපත්විය.

තම නාසය කපා දැමුණු ජෙනරල්  පේද්‍රරෝ ලෝපෙස් ද සෝසා තුවාල වලින් පීඩා විඳිමින් සිටි අතර, ඔහුට ප්‍රතිකාර කිරීමට රජු නියෝග කළේය. අසරණවූ ජෙනරල්වරයා තමන් සමඟ කන්ද උඩරටට පැමිණ සිටි තමාගේ පිරිමි දරුවා ආරක්ෂිතව රැකබලා ගන්නා ලෙස රජුගෙන් ඉල්ලා සිටියේය. මානසිකව ඇදවැටී සිටි ජෙනරල්වරයා තමන් ලද තුවාල නිසා ටික දිනකින් මිය ගියේය. වසර තුනක් කන්ද උඩරට සිටි ජෙනරල්ගේ පුත් දියෝගෝ ලෝපෙස් ද සෝසා, ඉන්පසු නිදහස් කෙරුණි.  

 

cropped 254185 153712784700623 153545984717303 328022 2033353 n
සියලු සිරකරුවන් එක් තැනකට රැගෙන යන ලදුව ඔවුන්ට කිතුදහම අතහැර කන්විද කරාබු පළඳා සිංහලයන් වනලෙස බලකරන ලදී. මේ ස්ථානයට පැමිණි රජු එසේ නොකරන්නන් ඊතල වලින් විද හෝ අලින් ලවා පාගවා මරණ ලදී. මේ සමහර සෙබළු කිතුනුවෙකුව සිටි විමලධර්මසුරිය රජු කිතුනුවන්ට මෙවන් දඬුවම් පමුණුවන්නේ කුමක් නිසාදැයි විමසුවත් කෝපයෙන් සිටි රජු, පෘතුගීසි සෙබළුන් 60 දෙනෙකු මරා දැමීය. නාස් කපා දැමුණු පියවරුන් දෙදෙනෙක් සිරකරුවන් බවට පත්වුහ. ඉන්  එක් ජෙසුයිට් පියතුමෙක් මාස තුනකට පසුව මුදාහැරුණු අතර තවත් පියතුමෙක් වසර ගනනාවකට පසු නිදහස ලැබීය.  
කිතුනු භක්තිය අත හැරීමට සුදානම්ව සිටි පෘතුගීසින් නගරය තැනීමේ සේවාවන්හි ටික කලක් යොදවා ඉන්පසු ගම්වල සේවයට යෙදවිණි. අවසානයේදී මොවුන්ද ගම්වැසියන් විසින් මරාදමන ලදී.

senkadagala builldපෘතුගීසී සිරකරුවෝ සෙංකඩගල නුවර ගොඩනැගිලි තනති. (ඕලන්ද සිතුවමකි)  
නාසය කපා දැමුණු  පෘතුගීසි කපිතාන්වරු  දෙදෙනක් දිවි ගලවාගෙන දේශීය සෙබළුන් කිහිපදෙනක් සමඟ කොළඹට පැනගති. නාසය නැති පේරෝ වෙසලෝ ගාලු දිසාව භාර කපිතාන් ලෙසත්, ඩොමින්ගෝස් කවල්හෝ කාවෝ මාතර දිසාපති හා කපිතාන් ලෙසත් මේ ප්‍රදේශ පෘතුගීසි පාලනයට නතුවූ පසු කටයුතු කලහ.

විමලධර්මසුරිය රජු  දෝන කතරිනා කුමරිය විවාහ කරගනී

 

Princess Dona Catherina is welcomed in Kandy

දෝන කතරිනා කුමරිය ජයවීර බණ්ඩාර ගෙන ආ අලියෙකු පිට නැග “කොනප්පු අයියා”ගෙන් පලාගියේය. ඇය බලන අසලදී අත්අඩංගුවට ගෙන විමලධර්මසුරිය රජුට භාර දුන්නේ ඒකනායක නම් මුදලිය. විමලධර්මසුරිය රජු අසරණව සිටි ඇය එදිනම විවාහ කරගත්තේය. තමන්ට වඩා සෑහෙන පමණ වයසින් වැඩි කොනප්පු බණ්ඩාර, දෝන කතරිනාට හරිහැටි මුණගැසෙන්නට ඇත්තේ විවාහයෙන් පසුවයි.

මේ විවාහයෙන් පසුව ඇය විමලධර්මසුරිය රජුගේ බිසව වුවා මිස, මේ චිත්‍රපටයේ පෙන්වන අයුරින් විවාහයට පෙර හෝ පසුව  ඇය කන්ද උඩරට රැජින ලෙස ඔටුනු පලන් බව, කිසිදු විශ්වාසනීය පෘතුගීසි හෝ සිංහල ප්‍රාථමික මූලාශ්‍රයක සඳහන් නොවේ. ඔටුන්නක් හිස මත පැලඳ තමන් රජෙකු හෝ රැජිනක පැවසීම ඕනෑම අයෙකුට කලහැකි, නමුත් රාජ්‍යයක රජකම හිමිවීම ඊට වඩා සංකීර්ණ ක්‍රියාවලියකි. 1594 සිදුවීම් ගැන දීර්ඝම විස්තරය ලියූ කියුරෝස් පියතුමා පවා දෝන කතරිනා උඩරට රාජධානියේ කිරුල පැලඳි බව සඳහන් නොකරයි. ඕලන්ද ජාතික ඉතිහාසකරුවෙකු වන ෆිලිප් බැල්දෙයුස් දෝන කතරිනා “අධිරාජිණිය”(Empress) ලෙස හඳුන්වන නමුත් ඇය කවදා කොතැනකදී ඔටුනු පැලැන්දේ දැයි සඳහන් නොකරයි. ඇය ඔටුනු පලන් ප්‍රවාදය යම් යම් පිරිස් විසින් යටි අරමුණූ ඇතිව පසුකාලීනව ප්‍රචලිත කල මතයකි.  

devi kusumasana 2
දෝන කතරිනා සමඟ විවාහවීම නිසා උඩරට රදලයෙකු පමණක්වූ, විමලධර්මසුරිය රජුට උඩරට ඔටුන්නට නිල හිමිකමක් ලැබිණි. 1594 වසරේ ඔක්තෝම්බර් මස සිදුවූ මේ විවාහය කන්ද උඩරට නව රජ පරපුරක ආරම්භය විය.එතැන් සිට පෘතුගීසීන් ලංකාව හැරයන තෙක් ඔවුන්ට ලංකාවේ සිටි ප්‍රධානම සතුරන් වුයේ මේ පරපුරේ රජවරුන්ය.

චිත්‍රපටයේ ගැටලු  

ලංකා ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක්වූ දන්තුරේ සටනට නිසි ගෞරවය මේ චිත්‍රපටයේ ලැබී තිබේදැයි සැක සිතේ. පෘතුගීසින් 15,000 ක සේනාවක් රැගෙන 1594 ජුලි මස 5 වෙනි දින කන්ද උඩරටට ඇතුළුවන විට ඔවුන්ගේ ජයග්‍රණය ගලේ කෙටුවක් සේ ස්ථිර දෙයක් විය. එතැන් සිට ඔක්තෝබර් මස 8 වෙනි දින දක්වා ආහාර හිඟකම, ලෙඩරෝග, අභ්‍යන්තර ගැටුම් නිසා මාස තුනකදී  ඔවුන් 368 ක පිරිසක් දක්වා කුඩා වනතෙක් ඉවසා සිටීමට හැකි අධිෂ්ඨාන ශක්තියක් විමලධර්මසුරිය රජුට තිබීම, දන්තුරේ සටනේ ජයග්‍රහණයේ රහසයි.

poNIsoh0Pk0TzHms Cover

පෘතුගීසීහු 1594 දී කන්ද උඩරට ආක්‍රමණය කලේ මන්දැයි කිවුරෝස් පියතුමාගේම  වචන වලින් මෙසේ සටහන්වේ. “මහ මුහුද නැමැති ආරක්ෂක වැටෙන් රැකී තිබෙන ලංකාව  ඉන්දියාවේ ප්‍රදේශයක් මෙන් නොව අසල්වැසි රාජ්‍යයන්ගෙන් රැකගැනීම අවශ්‍ය නොවන නිසා ලංකාව අත්පත් කරගෙන නැගෙනහිර දෙවැනි පෘතුගාලයක් තැනීමට පෘතුගීසිහු සිහින මැවූහ. දරු සම්පත් මැනවින් ඇතිකල හැකි දේශගුණයක් ඇති නිසා පෘතුගීසි ලේ පරපුරෙන් පරපුරට ගෙන යාහැකි, ධනවත්විමට අවශ්‍ය සම්පත් ඇති මේ දිවයිනට පෘතුගීසි ජාතිය ලොවේ නැගෙනහිර දෙස නායකයන් කළ හැකිය යන්න, පෘතුගීසීන්ගේ විශ්වාසය විය.”

1594 වසරේදී පෘතුගීසින් කන්ද උඩරට අල්ලා ගත්තේ නම් ලංකාව බටහිරයන්ගේ යටත්විජිතයක් වන්නේ 1815 වේ නොව 1594 දීය. එසේ  වුවානම් ලංකාව යටත්  කරගන්නේ ලංකාව තම  ජනපදයක් කරගැනීමට සිතූ, දරුණු පෘතුගීසි ජාතියයි. 1594 දී විමලධර්මසූරිය රජු පරාජය වුයේ නම් ලංකාව දේශීයයන් තලා දැමුණු, පෘතුගීසීන්ගේ රාජ්‍යයක් වූ බ්‍රසීලය වැනි රටක් වීමට ඉඩ තිබිණි.

 

දේවි කුසුමාසන චිත්‍රපටයේ තිබෙන ප්‍රධානම ගැටලුව පැය දෙකක කාල පරාසයකදී ඉදිරිපත්කල නොහැකි තරම් ඉතිහාස සිද්ධි සමුදායක් එහි ඉදිරිපත් කිරීමට උත්සාහ කිරීමයි. එවන් විටක කළහැකිව තිබුනේ එය චිත්‍රපට මාලාවක් සේ ඉදිරිපත් කිරීමයි. එසේ කිරීම මුල්‍යමය වශයෙන් දුෂ්කර නම්, ඒ ඉතිහාස කතාවේ කොටසක් රැගෙන එය චිත්‍රපටයක් සේ ඉදිරිපත් කළහැකිව තිබුණි.

kusumasana 1
එය කෙසේ වෙතත් මෙවන් ඉතිහාස පුවතක් චිත්‍රපටයක් සේ ඉදිරිපත් කිරීමට පෙර ඒ පිළිබඳව වෘත්තීය මට්ටමේ දැනුමක් ඇති ඉතිහාසඥයන් පිරිසක් ලවා ගැඹුරු හැදෑරීමක් කලයුතු‍ය. එසේ නොකොට ඉතිහාසය ගැන සාමාන්‍ය දැනුම මත පදනම්ව, ජනප්‍රිය ප්‍රවාද මත, මේ චිත්‍රපටය තැනී ඇති බව පෙණේ. එපමණක් නොව ඇතැම් ඉතිහාස පුවත් චේතාන්විතව විකෘති කිරීමේ අභිලාශයක් මේ චිත්‍රපටයේ ඇත්දැයි සැක සිතේ. එය සැබෑ ඉතිහාසයට කරන අසාධාරණයකි. එසේම සැබෑ ඉතිහාස කතාව චිත්‍රපටයට වඩා රසවත්ය. කටුකය. අනුවේදනීයය.



(සටහන | විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ)
Amarasinghe_ajith@yahoo.com

(වෘත්තියෙන් විශේෂඥ වෛද්‍යවරයෙකු වන අජිත් අමරසිංහ රාජකීය ආසියාතික සංගමයේ ශ්‍රී ලංකා ශාඛාවේ යාවජිව සාමාජිකයෙකි. විවිධ ඉතිහාස කරුණු ගැන පොත් හා ලිපි සම්පාදනය කර  ඇති ඔහුගේ Finding Sinhabahu ඉතිහාස පර්යේෂණ ග්‍රන්ථය   2020 රාජ්‍ය සාහිත්‍ය සම්මාන  උළලේදී වසරේ හොඳම පර්යේෂණ කෘතිය ලෙස නිර්දේශිත විය.)  

(අනිද්දා පුවත්පතේ පළ වූ ලිපියකි)


සබැඳි ලිපි :

සැබෑ ඉතිහාසය විකෘති කරන දේවි කුසුමාසන (1 වෙනි කොටස) | අජිත් අමරසිංහ

සැබෑ ඉතිහාසය විකෘති කරන 'දේවි කුසුමාසන' - අජිත් අමරසිංහ (2වන කොටස)

'දේවි කුසුමාසන' දින 50 පසු කරයි!

ශ්‍රී ලාංකේය සිනමාවේ නිර්මාණය වූ දැවැන්ත සිනමා නිර්මාණයක් වන ‘දේවි කුසුමාසන’ ඓතිහාසික චිත්‍රපටය මේ වන විට තිරගතවී සාර්ථක දින 50 හා පසු කිරීමට සමත්ව ඇත..

‘දේවි කුසුමාසන’චිත්‍රපටය දිවයින පුරා තිරගත වීම ආරම්භ වූයේ පසුගිය මැයි 22 දා සිටයි.

මහනුවර රාජධානියේ රාජ්‍ය පාලනය කළ කුසුමාසන රැජින සහ කොනප්පු බණ්ඩාරගේ ජීවිත කතාව ඇසුරින් නිපදවූ මෙහි ප්‍රධාන චරිත හේමාල් රණසිංහ සහ උදාරි වර්ණකුලසූරිය නිරූපණය කරන අතර මහේන්ද්‍ර පෙරේරා, සනත් ගුණතිලක, මේඝ සූරියාඅරච්චි, චිලී තිවංක, ශ්‍රියන්ත මෙන්ඩිස්, ලක්ෂ්මි දමයන්ති, ඩිස්නි රාජපක්ෂ ඇතුලු ජනකාන්ත නලු නිලියන් රැසක් රංගනයෙන් එක්වේ.

ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කළ ‘දේවි කුසුමාසන’ චිත්‍රපටය Lyca productions සාඩම්බර දෙවැනි සිනමා නිෂ්පාදනයයි.

 

WhatsApp Image 2025 05 05 at 3.20.13 PM

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සැබෑ ඉතිහාසය විකෘති කරන දේවි කුසුමාසන ! (අවසාන කොටස) | අජිත් අමරසිංහ | The Leader