අවාසනාවනම් ආර්ථික ගෝලීයකරණය නිසාවෙන්, භාණ්ඩ, සේවා, ප්‍රාග්ධනය, තාක්ෂණය සහ තොරතුරු ගලායෑම තුලින් රටවල් අතර ඒකාභද්ධතාවය සහ අන්තර් රදා පැවැත්ම නිසා, ලෝකයේ කොහේ යුද්ධය පැවතුනත්, එය සෑම රටකටම පාහේ අඩු වැඩි ලෙස බලපායි. වාසනාවද එයමය. ඒ මන්දයත් ඒ බලපෑම අවම කර ගැනීමට, අනෙක් රටවල් මැදිහත් වී යුද්ධය නවතා විමදුමක් ලබා දීමට මැදිහත් වීමය. ඔය අතරේ, තම සැගවුන න්‍යාය පත්‍ර වලට අනුව යමින් “බොර දියේ මාලු බා ගැනීමට” සැරසෙන අවස්ථිවාදී රටවල්ද එමටය.
නූතන යුගයේ, යුද්ධ මෙහෙයවනු ලබන්නේ නොවිසදුනු දේශපාලන ආතතීන්, ආර්ථික තරගකාරිත්වය සහ බලය හෝ සම්පත් ලුහුබැදයාම ආදී සංකීරණ සාධක බොහොමයක අන්තර් ක්‍රියාකාරිත්වයක් මගිනි. මෙම ගැටුම් බොහෝ විට රාජ්‍ය සහ රාජ්‍ය නොවන ක්‍රියාකාරීන්ගේ සංවිධාණ එකතුවක් සමග ක්‍රියාකරන අතර ආගමික අන්තවාදය හෝ වාර්ගික ජාතිවාදය ප්‍රධාණ කාර්යභාරයක් ඉටු කරයි. හේතුව කුමක් වුවත්, ඔවුන්ගේ අවසාන අරමුණ වන්නේ ජයග්‍රහණයයි.
මේ හැම බල අරගලයකයදීම පීඩාවට පත් වන්නේ සාමාන්‍ය ජනතාවයි.

විසිවන සියවසටත් එහාට දිවයන ඉස්ලාම් පලස්තීන-යුදෙව් ඊශ්‍රායිල යුද්ධයට නැවත ගිනි ඇවිලුනේ 2023 වසරේ ඔක්තෝබර් හත් වෙනිදාය. ඒ හමාස් ත්‍රස්ථවාදීන් විසින් ඊශ්‍රායලයට හදිස්සියේ කඩා වැදී, ඊශ්‍රායිල සහ විදේශීය සිවිල් වැසියන් 1,195 අමානුෂික ලෙස මරා දමා තවත් 251 දෙනෙකු ප්‍රාණ ඇපකරුවන් ලෙස රැගෙන යාමත් සමගය. ඊට ප්‍රතිචාර ලෙස හා දශක ගණනාවක් පුරාවට දිවයන ඊට බැසි ආගම් අන්තවාදී ත්‍රස්ථවාදය මුලිනුපුටා දැමීමට ඊශ්‍රායිලය ගාසා තීරයේ සිටින හමාස් ත්‍රස්ථවාදීන් ඉළක්කකර ගනිමින් ප්‍රහාර පිට ප්‍රහාර එල්ල කරයි.
මෙහි මහා භයානක ඛේදවාචකය නම්, ගාසා තීරයේ සිරවී සිටින සිවිල් පුරවැසියන්ය. කාන්තාවන් සහ දරුවන්ය. කිසිවක් කර කියා ගත නොහැකි වයෝවෘද මිනිසුන්ය. ඔවුන් අද මුහුණදෙන තත්වය අතිශය ශෝචනීයය. බෝම්බ ප්‍රහාර වලට කොයි මොහෙතේ ගොදුරුවී ජීවිතය අහිමි වේදැයි යන බයට අමතරව, ඔවුන්ට වාසස්ථාන අහිමි වී ඇත. සෞඛ්‍ය පහසුකම්, ආහාර හෝ පානීය ජලය නැත.
ඔවුනට සපයන මානුෂීය ආධාර පවා ත්‍රස්තවාදීන් කොල්ලකන බවට චෝදනා ඇත. ත්‍රස්ථවාදීන් ඔවුන් සෘජුව සහ වක්‍රව මිනිස් පළිහක් ලෙස තම අරමුණ කරා යාමට යොදා ගනිමින් සිටියි. දශක ගණනාවක් පුරා ත්‍රස්තවාදීන්ට එරෙහිව පැවති යුද්ධයක් අත්වින්ද අපිට මෙය වටහා ගැනීමට හැකියාවක් ඇත.
මේසා දරුණු යුද්ධයකට මුහුණදෙන ප්‍රදේශයක සිට අවතැන් වූවන්, සරණාගතයින් අසල්වැසි රටවල් වලට පැමිණීම සාමාන්‍ය සංසිද්ධියකි. එය අන්තර්ජාතික ප්‍රතිපත්ති අනුව එම අසල්වැසි රටවල වගකීමක් ලෙසද සැලකේ.
පලස්තීනයට කොටස් දෙකක් අයත්ය; ඒ බටහිර ඉවුර සහ ගාසා තීරයයි. මෙවර යුද්ධයෙන් බැට කන්නේ ගාසා තීරයයි. එය දෙපැත්තකින් ඊශ්‍රායිලයද, තව පැත්තකින් මධ්‍යධරණී මුහුදද, අනෙක් පැත්තෙන් ඊජිප්තුවද මායිම් කරයි. බටහිර ඉවුර මායිම් කරන්නේ ඊශ්‍රායිලය සහ ජෝර්දානයයි. අනෙක් ළගම පිහිටි අසල්වැසි රටවල් වන්නේ ලෙබනනය සහ සිරියාවයි.

නමුත් ඒ කිසිම අසල්වැසි රටක් හෝ කළාපයේ කිසිම අරාබි රටක් පලස්තීන සරණාගතයින් භාර ගැනීමට සූදානම් නැත. ඔවුන් එය ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කරයි. එය ගාසා තීරය මුලුමනින්ම පලස්තීනයන්ගෙන් තොර කිරීම වැළැක්වීමට ගත් පුතිපත්තිමය ස්ථාවරයක්ද? එසේ නැතහොත් අරාබි නායකයන් හුදෙක් පලස්තීන සහයෝගීතාවය ගැන කතා කරනු විනා, ඔවුන්ට උපකාර කිරීමට කිසි විටෙකත් අවශ්‍යතායයක් නොමැති නිසාද? එය වටහා ගැනීමට අපහසු ඉතා සංකීරණ සහ ඓතිහාසික ගැටලුවකි.
මෙය වටහා ගැනීමට නම් පලස්තීන සරණාගතයන්ගේ ඓතිහාසික පසුබිම සහ ඔවුන් ඉතිහාසය පුරාවට සත්කාරක රටවල ඇතිකල ගැටලු සහගත තත්වයන් විශ්ලේෂණය කිරීම වැදගත් වේ.

පලස්තීන සරණාගත අර්බුදය ආරම්භ වන්නේ 1948 දීය. එම වසරේ ඊශ්‍රායිලය රටක් ලෙස නිර්මාණය කිරීමත් සමග, 700,000 පමණ පලස්තීනයින් (එම කළාපයේ අරාබි ජනතාවගෙන් 85% පමණ) ප්‍රදේශය අතහැර දමා පළා යාමෙන් හෝ පිටුවහල් කිරීමෙන් අවතැන් විය. එය පලස්තීන ඉතිහාසයේ “Nakba” (මහා ව්‍යසනය) ලෙස හදුන්වයි. එක් රැයක් ඇතුලත පවුල් පිටින් ඔවුන්ට ඔවුන්ගේ ගම් දොරවල් අතහැර දමා යාමට සිදුවිය. ඔවුන් සියලු දෙනාම අසල්වැසි අරාබි රටවල කාවකාලික නිවාස ඉදිකරවා පදිංචි කරන ලදී. ඔවුන්ගේ නවාතැන් හෝ නිවාස සමූහය වෙනමම ඉදිකරන ලද අතර ඔවුන් නීත්‍යාණුකූල සත්‍ය පලස්තීන සරණාගතයන් ලෙස සලකන ලදී.
එම සත්කාරක රටවල අරමුණ වූයේ ඔවුන් නැවත පලස්තීනයට පිටත්කර යැවීමයි. නමුත් එය එසේ සිදු වූයේ නැත. අද ඔවුන්ගේ පරම්පරාවලින් පැවත එන්නන්ගේ ප්‍රමාණය මිලියන හයද ඉක්මවයි. ඔවුන් ලෝකයේ විශාලතම හා පැරණිම සරණාගත ජනගහනය ලෙස සලකයි.
පලස්තීන සරණාගත අර්බුදය අද දක්වා එම රටවල පවතී. කාලයත් සමග, තාවකාලික නිවාස ඉස්ථිර නිවාස බවට පත් විය. එම ප්‍රදේශ එම සත්කාරක රටවල පලස්තීන අසල්වැසි ප්‍රදේශ බවට පත්විය.

ඊට අවුරුදු 19 කට පමණ පසු, එනම් 1967 “සය-දින යුද්ධය” (Six-day war) පලස්තීනයේ ආරම්භ විය. මේ කාලය අතර තුර, තවත් 300,000 පමණ පලස්තීනයන් බටහිර ඉවුරේ සහ ගාසා තීරයේ සිට අසල්වැසි ජෝර්දානයට, ලෙබනනයට සහ සිරියාවට පලා ගියහ. නැවතත් එම රටවල අරමුණ වූයේ, මෙම අවතැන් වූවන්ට තාවකාලික නවාතැන් පහසුකම් කදවුරු වල සකසා දී, යුද්ධය නිමවූ පසු ඔවුන් නැවත පිටත් කර හැරීමයි. පෙර පරිදිම නැවතත් ඔවුන් ආපසු යෑමක් සිදු වූයේ නැත.
1948 සිට අවතැන්වූ, සත්කාරක රටවල නතරවූ හෝ නතර වීමට සිදුවූ පලස්තීනයන්ට එම අරාබි රටවලින් සලකපු ආකාරය විවිධය. මොවුන්ට ඉතා ඉහලින්ම පිළිගෙන හොදින්ම සැළකුම් සහ පහසුකම් ලබා දුන්නේ ජෝර්දානයයි. ජෝර්දානය කලින් කලට මෙම සරණාගතයින්ට, විර්‍ශේෂයෙන්ම බටහිර ඉවුරේ සිට පැමිණි සරණාගතයන්ට තම රටේ පුරවැසිභාවය ප්‍රධානය කරන ලදී. එනමුද් ජෝර්දානියන් සහ පලසිතීන-ජෝර්දානියන් අතර නිතරම ප්‍රචණ්ඩ ගැටුම් හට ගනී. එරටට පැමිණිදා පටන්ම පලස්තීන ජෝර්දානියන්, ජෝර්දානයේ දේශපාලන පරිසරයට විරුද්ධව අරගල කරයි.
ලෙබනනයට පැමිණි සරණාගතයින් තවමත් සරණාගත කදවුරු වල ජීවත්වේ. ඔවුන්ට ලෙබනනයේ පුරවැසිකම දුන්නේ නැත. ඔවුන්ට රැකියා කිරීමද තහනම් කර ඇති අතර ඔවුන් කදවුරු වලට පමණක් සීමා කර ඇත. ලෙබනනයේ ආගමික හා දේශපාලන ව්‍යුහය සංකීරණය. එය සංකීරණ හා උපක්‍රමශීලීව මනාව පාලනය කරන සමතුලිතතාවය ඇත්තේ ක්‍රිස්තියානි (Christians), සුන්නි(Sunni), ශියා(Shia) සහ ඩ්‍රුස් (Druze) අතරය. පලස්තීනුවන් සුන්නි කාණ්ඩයට අයත්ය. එබැවින් විශාල සුන්නි ජනකායක්, ලෙබනන් ජනප්‍රවාහයට එකතු කර, කාලයක් තිස්සේ රැකගෙන එන එම සමතුලිතතාවය නැති කර ගැනීමට ලෙබනනය කැමති වූයේ නැත.
පලස්තීන විමුක්ති සංවිධානයේ (PLO) ප්‍රකාශක කමල් නසාර් සහ PLO සභාපති යසර් අරෆත් 1970 දී අම්මාන් හි පැවති මාධ්‍ය හමුවකදී
මීට සමානම පරිසරයකට, පලස්තීන සරණාගතයින් සිරියාවේදී මුහුණ දෙයි. සිරියාවේදීත් ඔවුන්ව සරණාගත කදවුරු වලට සීමා කර ඇත. නමුත් සිරියාව ලෙබනනයට වඩා මොවුන්ට අනුකම්පාවක් දක්වයි. නමුත් ඔවුන් සිරියානු සහාජයට අන්තර්ගත කර ගත්තේ නැත.
පලස්තීන විමුක්ති සංවිධාණය (Palestinian Liberation Organisation -PLO) බිහිවූයේ මෙම වාතාවරණය තුලය. එහි සාමාජිකයන් බහුතරයක් අරාබි රටවල ජීවත්වන සරණාගතයන්ය. වසර කිහිපයක් අතුලත එය බලවත් දේශපාලන සහ හමුදා බලයක් සහිත සංවිධාණයක් බවට පත්විය. මෙම ව්‍යාපාරය සත්කාරක අරාබි රටවලට හිසරදයක් වන තරමටම දරුණු වූයේ මොවුන් විටින් විට දියත් කල ප්‍රචණ්ඩකාරී ප්‍රහාර නිසාවෙනි.
හැත්තාව දශකය වන විට, මෙම අරාබි රටවල සිටින සරණාගතයින් ස්ථිර, වෙනම හදුනා ගත හැකි, එම රටවල සමාජයට අනුවර්ථනය නෙවුන කණ්ඩායම් ලෙස එම රටවල ජීවත් විය.

1970 වන විට, ජෝර්දානයෙන් ජනගහනයෙන් බාගයකටත් වඩා පලස්තීනයන් විය. ජෝර්දානුවන්, පලස්තීනුවන්ට සහෝදරත්වයේ දෑත් දිගු කලද, ඒ සම්බන්ධය පුපුරා ගියේ පලස්තීනුවන්ගේ කිසිදා නොමියෙන “පලස්තීන හීනය” නිසාය. එහි ප්‍රතිඵලය වූයේ අපි කවුරුත් දන්නා “කළු සැප්තැම්බරය” (Black September) ලෙස හදුන්වන සිවිල් යුද්ධයයි. එයට ජොර්දානය පැත්තෙන් නායකත්වය දුන්නේ හුසේන් රජු වන අතර, පලස්තීනයන් මෙහයවනු ලැබූයේ PLO නායක යසර් අර්ෆත්ය.
PLO සටන් සදහා ජෝර්දානයේ සහ අසල්වැසි රටවල සරණාගත කදවුරු යුධ මධ්‍යස්ථාන බවට පරිවර්ථනය කරන ලදී. ඔවුන් ජොර්දානය තුල පලස්තීන රාජ්‍යයක් ප්‍රකාශයට පත් කල අතර, හුසාන් රජුගේ පාලනය ප්‍රතික්ෂේප කලෝය. බිහිසුනු යුද්ධයක් මෙහෙයවා, හුසේන් රජු PLO පරාජය කල අතර මෙම යුද්ධයේදී පලස්තීන ජීවිත 3,400 අහිමි විය. සමහර නිල නොවන දත්ත වලට අනුව, එම ගණන 25,000 කි. යුද්ධයෙන් පසුව, දහස් ගණන් පලස්තීන සරණාගතයන් ජෝර්දානයෙන් පිටුවහල් කරන ලදී. ඔවුන් ගියේ අසල්වැසි ලෙබනනයටයි.
ජෝර්දානයෙන් පසු PLO ඔවුන්ගේ මූලස්ථානය ලෙබනනයේ පිහිටුවන ලදී. ලෙබනන රජය සහ PLO අතර සිවිල් යුද්ධය 1975 සිට 1990 දක්වා වසර 15 පුරාවට පැවතිනි. මෙම යුද්ධයෙන් 100,000 පමණ පිරිසකගේ ජීවිත අහිමි වූ අතර, ජනගහනයෙන් 1/3 ක පිරිසක් අවතැන් විය. අදද, ලෙබනනයේ ජීවත්වන පලස්තීනයන්ට සමහර රැකියි අකැපය, ඔවුන්ට පුරවැසිකම දෙන්නේද නැත. ඔවුන් එම රටේ සදාකාලික “පිටස්තරයන්ය”.

1990 දී ඉරාකය කුවේටයට එරෙහිව කණිජ තෙල් බල අරගල ගල්ෆ් යුද්ධය (Gulf war) ආරම්භ කරන විට, කුවේටයේ පලස්තීනයන් 400,000 පමණ වාසය කලෝය. එය කුවේට ජනගහනයෙන් 20% කි. සදාම් හුසේන් කුවේටය ආක්‍රමණය කරන විට, යසර් අර්ෆත් ඔහුට එළි පිටම සහය දැක්වීය. කුවේට් රජය ඇතුලු රටවල් 42 ක සභාගය සදාම් හුසේන් පරාජය කරන ලද අතර, මාස කිහිපයක් ඇතුලත පලස්තීනයන් 200,000 පමණ පිටුවහල් කරන ලද අතර, ඉතිරි 200,000 පමණ පිරිස රටෙන් පලා ගියෝය. අද කුවේටයේ පලස්තීනයන් කිසිවෙකු ජීවත් වන්නේ නැත.
පලස්තීනයන් ජීවත්වන කළාපයේ අනෙක් රටවල් වලද තත්වය අඩු වැඩි වශයෙන් මෙසේය. ඉරාකය, ලිබියාව, සෞදි අරාබිය වැනි රටවල් පලස්තීන සරණාගතයන් යම් තරමකට බාර ගත්තද, PLO ක්‍රියාකාරිත්වය හේතුවෙන් ඔවුන් නැවත පිටමං කරන ලදී.
ඉහත දක්වන ලද උදාහරණ තුලින්, අරාබි නායකයන්ගේ අද හැසිරීමට හේතුව වටහාගත හැක. ඔවුන්, පලස්තීනයන්ගේ අරමුණට සහාය පල කලද, ඔවුන්ව නැවත තම රටවල් ඇතුලට ගෙන රට තුල දේශපාලන සහ සමාජ අස්ථාවරභාවයක් ඇති කර ගැනීමට කැමති නැත. ලංකා ජන සමාජයේ ඇති කතාවට අනුව “කැළේ ඉන්න නයි රෙද්ද අස්සේ දාගෙන කෑවෝ කෑවේ කීම” පළ රහිත වග ඔවුන් තේරුම් ගෙන ඇත.
අද ඊජිප්තුව සහ ජෝර්දානය ඔවුන්ගේ දේශසීමා පලස්තීන සරණාගතයන්ට වසා දමා ඇත. ඔවුන් පැහැදිළිව ප්‍රකාශ කර ඇත්තේ, කිසිම සරණාගතයෙකුට රටට ඇතුලු වීමට ඉඩ නොදෙන බවය. ඊජිප්තුව ඔවුගේ දේශ සීමාවේ ආරක්ෂාව දෙගුණ තෙගුණ කර ඇත්තේ සරණාගතයන් ඊජිප්තුවට පැමිණීම වැළැක්වීමටයි.
පලස්තීනයින්ට ඇතුලු වීමට ඉඩ සීම තුලින් එම රට වලට විය හැකි හානිය සහ දේශපාලන අස්ථාවරභාවය අරාබි රටවල් වල නායකයින් තේරුම් ගෙන ඇත. ඔවුන්ගෙ මතය වන්නේ, ලොවම එකතු වී හෝ දශක ගණනාවක් ඔඩුදුවා ඇති පලස්තීන ප්‍රශ්ණය, ඔවුන් ගාසා තීරයේ සහ බටහිර ඉවුරේම තබා විසදා දිය යුතු බවය, ඔවුන්ගේ වගකීම අරාබි රට වලට ගැනීමට බැරි බවය.
අතීතයේ ලද අත්දැකීම් තුලින් ලැබූ ඉගෙනුම උපයෝගී කරගෙන තම රටේ අභිවෘර්ධිය වෙනුවෙන් තීරණ ගැනීම රටක නායකයෙකු සතු වගකීමයි. මගේ මතය වන්නේද රටක නායකයෙකුගේ ප්‍රථම සහ ප්‍රධාණම කාර්යර්‍භාරය වන්නේ තම රටේ ජනතාව ආරක්ෂා කීරීම, රටේ බෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීම සහ රටේ සෛවරීභාවය ආරක්ෂා කීරීම යන්නය. නොනවතින පලස්තීන- ඊශ්‍රායිල යුද්ධයෙන් හා අරාබි නායකයන්ගේ ක්‍රියා කළාපයෙන්, දශක තුනක බෙදුම්වාධී යුද්ධයකින් බැට කෑ අපට රටක් ලෙස ඉගෙන ගත හැකි දෑ බොහොමය.
(සටහන | ආචාර්ය රසිකා කුමාරසිංහ)
ඔස්ට්‍රේලියාවේ Peter MacCallum Cancer Centre හි පර්යේෂණ ආචාරධර්ම ජේෂ්ඨ කළමණාකාරිනී
මෙල්බර්න් විශ්ව වීද්‍යාලයේ බාහිර කථිකාචාර්ය
rasikuma@yahoo.com
16.07.2025



