The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ආබාධිතයන්ගේ ක්‍රිකට් සංගමයක් බිහිකළ ආබාධිත දිරිය කත | ඉන්දු පෙරේරා

T

The Leader Desk

July 18, 2025 • 10:22 AM

ආබාධිතයන්ගේ ක්‍රිකට් සංගමයක් බිහිකළ ආබාධිත දිරිය කත | ඉන්දු පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වැසුණු දොර ගැන ළතැවෙමින් හිඳිමින් ඇරෙන දොර ගැන විමසිලිමත් නොවනතාක් කල් අපේ ජීවිතය කඩා වැටුණු තැනම පල් වෙමින් පවතිනු ඇත.
  • එලෙස සිතන අය පමණක් තමන් කරා එළඹෙන සියලු අභියෝග පරාජයට පත් කරමින් නොසිතූ අයුරින් උඩට මතු ⁣වන්නේ මඩගොහොරුවක් මතින් නැගී සිටින නෙළුමක් පරිද්දෙනි.
  • මෙතරම් අටුවා ටීකා ලිව්වේ එවන් ගැහැනියක ගැන කියන්නට ය. අනුපමා ඈන් පෙරේ⁣රා කොළඹ 07, සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයෙන් උසස් පෙළ හදාරා සිය පාසල් පාසල් ගමන නිම කළාය.
  • එවන් ගැහැනිය අවසානයේ සිය ආඝාත තත්වය හේතුවෙන් සිරුරේ එක් අංශයක් අක්‍රීය බවට පත් ව රෝද පුටුවට සීමා වූවාය. මේ කාලයේ ඈන්ගේ දරුවන් දෙදෙනා පාසල් වියේ පසු වූහ.
අකුරු ප්‍රමාණය (Font Size):

වැසුණු දොර ගැන ළතැවෙමින් හිඳිමින් ඇරෙන දොර ගැන විමසිලිමත් නොවනතාක් කල් අපේ ජීවිතය කඩා වැටුණු තැනම පල් වෙමින් පවතිනු ඇත.

ඔරුව පෙරළුණු පසු පෙරළුණු පිට හොඳයැයි සිතා එතැනින් එහාට කළ යුත්තේ කුමක්දැයි කල්පනා කරන්නට පෙළඹෙන්නෝ විරලය හ. එලෙස සිතන අය පමණක් තමන් කරා එළඹෙන සියලු අභියෝග පරාජයට පත් කරමින් නොසිතූ අයුරින් උඩට මතු ⁣වන්නේ මඩගොහොරුවක් මතින් නැගී සිටින නෙළුමක් පරිද්දෙනි. මෙතරම් අටුවා ටීකා ලිව්වේ එවන් ගැහැනියක ගැන කියන්නට ය. 

1000028628

අනුපමා ඈන් පෙරේ⁣රා කොළඹ 07, සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයෙන් උසස් පෙළ හදාරා සිය පාසල් පාසල් ගමන නිම කළාය. අනතුරුව කොළඹ විශ්ව විද්‍යාලයෙන් මනෝ විද්‍යා උපදේශනය සම්බන්ධ උපාධියක් හිමි කර ගැනීම සහ ⁣විවාහ වී පුතුන් දෙදෙනකුට මවක වීම ආදිය ඈන්ගේ ජීවිතයේ එක් පරිච්ඡේදයකි. 

ඇගේ ජීවිතයේ ඊළඟ පරිච්ඡේදය ඇරඹෙන්නේ ඇගේ වයස තිස් ගණන්වල අගභාගයේ දී, එනම් 2015 වසරේ දී මොළයේ නහරයක ලේ කැටියක් හිර වීම හේතුවෙන් එම නහරය පුපුරා යාම නිසා කොළඹ ජාතික රෝහලේ දී හදිසි සැත්කමකට භාජනය වන්නට සිදු වීමෙන් පසුව ය. නිරන්තරයෙන් ක්‍රියාශීලි ජීවිතයක් ගත කළ ඈන් ට "නෑ" සහ "බෑ" යනු ශබ්ද කෝෂයේ තිබූ අකුරු දෙකක් පමණි. ජීවිතයේ මොන තරම් කරදර බාධා පැමිණියත් ඒ සියල්ල සම සිතින් උසුලා ගැනීමට හැකි අපූරු ධෛර්යයක් ඈ සතුව තිබිණි. එවන් ගැහැනිය අවසානයේ සිය ආඝාත තත්වය හේතුවෙන් සිරුරේ එක් අංශයක් අක්‍රීය බවට පත් ව රෝද පුටුවට සීමා වූවාය. 

මේ කාලයේ ඈන්ගේ දරුවන් දෙදෙනා පාසල් වියේ පසු වූහ. ඇගේ සෙවනැල්ල මෙන් හිඳිමින් ඇගේ සියලු කටයුතු කර දෙමින් ඇය බලා ගත්තේ ඇගේ දයාබර මව ය. 

be67i78i78978456hfgbngh

       
"මෙහෙම අනපේක්ෂිත සිදුවීම්වලට ඕනෙම කෙනෙකුට ඕනෙම වෙලාවක මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්. නමුත් එහෙමයි කියලා අධෛර්මත් වෙන්න එපා. මොනවා හරි වැඩවල නිරත වෙන්න. එතකොට ඔයාගෙ අවධානය යන්නෙ ඒ වැඩවලට. නැත්නම් මේ වගේ දේවල් නිසා සමහරුන්ට මානසික ආතතිය ඇති වෙනවා. ඒ නිසා මොනව හරි දෙයක් කරන්න. අමතක කරන්න එපා සමහරු ජීවිතේ දිනන්නෙ මේ විදිහෙ අනපේක්ෂිත කරදරවලට මුහුණ දුන්නට පස්සෙයි "
        
ඈන් ගේ වෛද්‍යවරයා එලෙස ඇයට අවවාද කර තිබිණි. 
        
ඇගේ ජීවිතයෙහි ඊළඟ පරිච්ඡේදය ආරම්භ වන්නේ ඇය රාගම පුනරුත්ථාපන රෝහලේ භෞත චිකිත්සක ප්‍රතිකාර ලබමින් සිටියදී ය. 
        
එහි විවිධ අනතුරුවලට ලක්වීම නිසා රෝද පුටුවලට සීමා වූ තරුණයන් ඇය දුටුවාය. ඔවුන් බොහෝ දෙනෙකුම තම සුපුරුදු ජීවිතය අහිමිවීමෙන් ඉච්ඡාභංගත්වයට පත් වී සිටින අන්දම ඔවුන් සමග කළ කතාබහවල දී ඈන්ට දැනිණි. තමාද දැන් ඔවුන් අතරින් කෙනෙකු නොවේදැයි හැඟෙන විට ඇයට සිහිපත් වූයේ තම වෛද්‍යවරයා පැවසූ වදන් ය. ⁣රෝද පුටුවලට සීමා වී සිටින දක්ෂතා සහිත පිරිසක් එක්කරගෙන අලුත් වැඩක් ආරම්භ කිරීමට ඇය තීරණය කළාය. අන්තර්ජාලය ද පිරික්සමින් මේ සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කිරීමේදී ඈන් ගේ සිත ගියේ රෝද පුටු ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි ය. 
 
4678i67867
       
රෝගී තත්ත්වය වෛද්‍ය ප්‍රතිකාර මගින් සුව අතට හැරුණත් ඈන්ගේ සිරුරේ වම්පස යම් පමණක අප්‍රාණිකත්වයෙන් යුතු විය. ඇය ඇවිදින්නේ සැරයටිය හෝ රෝද පුටුව ආධාරයෙනි. නමුත් ඇය නිකන් සිටියේ නැත. 
 
2021 ඔක්තෝබර් 01 දා ඈන් ශ්‍රී ලංකා රෝද පුටු ක්‍රිකට් සංගමය බිහි කරමින් සිය ජීවිතයේ නව පියවරක් ඉදිරියට තැබුවාය. ඒ රට පුරා සිටින ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන සහ ක්‍රිකට් ක්‍රීඩාවෙහි දක්ෂ ආබාධිත තරුණයන් විසි පස් දෙනෙකුගෙන් පමණ සමන්විත වූ කණ්ඩායමක් එක්රැස් කරගෙන ය. තමන්ගේ මනස නව අරමුණකට යොදවමින් යළි ක්‍රියාශීලී ජීවිතයක් රෝද පුටුව මත හිඳ ගත කිරීමත්, ක්‍රීඩාව තුළින් එම ආබාධිත තරුණයන්ගේ මනැස් සුවපත් කිරීමත් ඇය මේ සද්කාර්යය තුළින් අපේක්ෂා කළාය. මේ සඳහා ඇයට මූල්‍ය ආධාර සපයා ගත හැකි මගක් නොවීය. ඇය ඊට යෙදුවේ තම පෞද්ගලික ධනයයි. 
469461903 577025181859511 7458860700901544034 n
 
එලෙස ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට රෝද පුටු ක්‍රිකට් කණ්ඩායම ( Sri Lanka Wheel chair Cricket Association - SLWCA) බිහිකළ ඈන් එහි සභාපතිනිය යි. ක්‍රීඩකයන්ගේ පුහුණුවීම් කටයුතු සඳහා ක්‍රීඩාංගන සොයා ගැනීම, දුර පළාත්වල සිට පුහුණු වීම් සඳහා පැමිණෙන ක්‍රීඩකයන්ට ආහාර සහ නවාතැන් පහසුව ලබාදීම මේ සියල්ල ඇය නොපිරිහෙලා ඉටු කළාය. නමුත් ඇය මහා ධනවතියක් නොවේ. ඇය ධනවත් වී තිබුණේ ඍජු සහ අවංක ක්‍රියාකාරිත්වයෙන් පමණි. තමන් ගේ මුදල් නැතිවිට ඇය ගැන හොඳින් දන්නා සමීප මිතුරු මිතුරියන්ගේ ආධාරය ද ඇයට වරින් වර ලැබිණි. 
       
ඈන්ගේ අපරිමිත වූ උත්සාහය සහ කැප කිරීම නිසාම 2022 වසරේ අප්‍රේල් මාසය වනවිට ලංකාව පුරා විසිරී සිටින රෝද පුටු භාවිතා කරන ක්‍රිකට් ක්‍රීඩාවෙහි දක්‍ෂයන්ට ආරාධනා කර මත්තෙගොඩ යුද හමුදා ඉංජිනේරු බලකා ක්‍රීඩාංගනයට රැස් කරවා ක්‍රීඩකයන් විසි හතර දෙනකුගෙන් සමන්විත ජාතික සංචිතයක් පිහිටුවා ගත හැකි විය. මේ සඳහා ජාතික ක්‍රීඩා සභාවේ එවකට සභාපති අර්ජුන රණතුංග මහතාගෙන් විශාල සහයක් ලැබිණි. ක්‍රීඩා අමාත්‍යංශයේ පැරා ඔලිම්පික් කමිටුව මීට සහභාගි වූ අතර මූල්‍ය අනුග්‍රහය ලබා දුන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යි. එම කර්තව්‍යය වෙනුවෙන් මත්තේගොඩ ක්‍රීඩාංගනය ලබාදීම සඳහා අනුග්‍රහශීලී වූයේ ⁣ මේජර් ජනරාල් එම්.කේ. ජයවර්ධන මහතා ය.
 
bne6788984245624567546786789789
ඉන්පසු දිගින් දිගටම පුහුණු වීම් කටයුතු සිදුකරන අතරේ පාකිස්තානයේ රෝද පුටු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ අන්තර්ජාතික කවුන්සලයට (International Council of Wheel chair Cricket - ICWC) අයදුම් පතක් යොමු කොට ආසියානු කුසලානය සඳහා තරග කිරීමට අවස්ථාව සලසා ගන්නට අ⁣පේ රටේ මේ නවක කණ්ඩායමට හැකි වූයේ ඈන්ගේ අප්‍රතිහත උත්සාහය නිසාම ය. ආසියානු කුසලානය සඳහා මුහුණ දීමට දොරටු විවර කර ගත්තද ඒ සඳහා එවකට පැවති රජයෙන් ඔවුන්ට කිසිදු සහයෝගයක් ලැබුණේ නැත. ඔවුන්ගේ ආයතනය ලියාපදිංචි කිරීම සඳහාද පැරාඔලිම්පික් කමිටුවෙන් කිසිදු සහයක් නොලැබුණු අතර ඈන් ගේ දැඩි ඉල්ලීම මත මෙම ආසියානු කුසලාන තරගය වෙනුවෙන් තරග වැදීම සඳහා අනුමැතිය ලබාදීම පමණක් ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ පැරාඔලිම්පික් කමිටුව මගින් සිදු කර තිබිණි.
කෙසේ වුවද ආසියානු කුසලානය සඳහා තරග වැදීමට අවස්ථාව ලැබීමෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතාගේ මැදිහත්වීම මත ක්‍රිකට් ආම්පන්න සහ ගුවන් ටිකට්පත් නොමිලේ ලබා ගැනීමට ඔවුන්ට හැකි විය. පාකිස්තානය, ඉන්දියාව, බංග්ලාදේශය සහ නේපාලය යන රටවල් අතර පැවති මෙම තරගයෙන් පාකිස්තානය ශූරතාවය දිනා ගත් අතර අපේ කණ්ඩායම අනුශූරතාවය දිනා ගැනීමට සමත් වීම එම කණ්ඩායම පමණක් නොව ඈන් ද සිය ජීවිතයේ ලද සුවිසල් ජයග්‍රහණයක් විය.
 
1000028626පාකිස්තානයේදී අනුශූරතාවය ලබාගත් පසු
       ⁣
ඉන්පසු ශ්‍රී ලංකා රෝද පුටු ක්‍රිකට් කණ්ඩායමට යම් පිළිගැනීමක් මේ රට තුළ ලැබිණි. නමුත් මෙය ප්‍රවර්ධනය කර ගැනීම උදෙසා ප්‍රතිපාදන නොමැති වීම හේතුවෙන් මෙම සංගමය ක්‍රීඩා අමාත්‍යාංශය යටතට පවරා ගන්නා ලෙස ඉල්ලීම් ගණනාවක් එහි සභාපතිනිය ලෙස ඈන් ඉදිරිපත් කළත් සතුටුදායක පිළිතුරක් ලැබී තිබුණේ නැත. කෙසේ වුවද ඇගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් නව රජය මගින් ශ්‍රී ලංකා රෝද පුටු ක්‍රිකට් සංගමය, පැරාඔලිම්පික් කමිටුව යටතේ නොව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ ලියාපදිංචි කිරීමට කටයුතු යොදා ඇත. මේ වන විට ශ්‍රී ලංකා රෝද පුටු ක්‍රිකට් සංගමය ප්‍රාදේශීය සහ පළාත් මට්ටමින් රෝද පුටු ක්‍රිකට් ක්‍රීඩාව ව්‍යාප්ත කිරීම සඳහා කටයුතු කරමින් සිටියි. 
       
ඉදිරියේදී රෝද පුටු ක්‍රිකට් ලෝක කුසලාන තරගයට තම කණ්ඩායම ඉදිරිපත් කරවීම ඈන්ගේ අරමුණ යි. නමුත් පුහුණුවීම් කටයුතු සඳහා වරින්වර කොළඹට පැමිණීම මේ කණ්ඩායමට අසීරු ය. අනෙක් අතට ආහාර සහ නේවාසික ප්‍රශ්නයයි. කණ්ඩායමේ සමහර ක්‍රිකට් ක්‍රීඩකයන් තමන් ජීවත්වන පළාතේ කිනම් හෝ ආදායමක් උපයා ගන්නා අතර තවත් සමහරුන්ට තම ආබාධිත බව හේතුවෙන් එවැනි අවස්ථා ලැබී නොතිබිණි. මේ නිසා ඔවුන්ට පුහුණුවීම් සඳහා යාම් ඊම් කිරීමට මග වියදම් සපයා ගැනීමේ ගැටලුව ද පැවතියේය. 
 
1000028637රැකියා මධ්‍යස්ථානය
මේ සඳහා හොඳම විසඳුම වන්නේ ආබාධිත ක්‍රීඩකයන්ට එකම ස්ථානයක නතර වී හිඳිමින් රැකියාවක් ද කිරීමට මගක් පාදා දීම ය. ඉතාමත් කාලෝචිත වූ ඈන් ගේ එම සංකල්පයට හොඳම විසඳුම ලබා දුන්නේ රෝද පුටු ක්‍රිකට් සංගමයේ භාණ්ඩාගාරික තුමා ය. ව්‍යාපාරිකයෙක් වූ ඒ මහතා අධ්‍යාපන උපකරණ සකස් කරන තම ආයතනයට මෙම පිරිස අනුයුක්ත කර ගැනීමටත්, ඔවුන් සඳහා දෙල්ගොඩ ප්‍රදේශයේ පිහිටි තම නිවසක් නවාතැන් සඳහා නොමිලේ ලබාදීමටත් තරම් කාරුණික විය. ඈන්ගේ සංකල්පයකට අනුව භාණ්ඩාගාරික මහතාගේ උපකාරිත්වයෙන් ආරම්භ කරන ලද මෙම රැකියා මධ්‍යස්ථානයෙහි නතර වී හිඳගෙනම රැකියාව කිරීමේ පහසුව මෙම ආබාධිත ක්‍රීඩකයන්ට ලැබී තිබේ. අදාළ නිර්මාණ කිරීම සඳහා අමුද්‍රව්‍ය එම ස්ථානයටම සැපයීමට භාණ්ඩාගාරික මහතා කටයුතු කරයි. මේ වනවිට මෙම රැකියා මධ්‍යස්ථානයෙහි ක්‍රිකට් ක්‍රීඩකයන් නොවන බාහිර ආබාධිත පුද්ගලයන්ටද රැකියා අවස්ථා පවතින බව ඈන් පවසන්නේ ඉමහත් සතුටිනි.
1000028620ජාතික රෝද පුටු ක්‍රිකට් පුහුණුකරු හර්ෂ වීරසිංහ  
 
එසේම ක්‍රිකට් ක්‍රීඩකයන්ට සිය පුහුණුවීම් කටයුතු කිරීම සඳහා දෙල්ගොඩ ක්‍රීඩාංගනය නොමිලේ ලබාදීමට දෙල්ගොඩ ප්‍රාදේශීය සභාව කැමැත්ත පළ කර තිබේ. මෙම කණ්ඩායමෙහි ජාතික පුහුණුකරුවන් වශයෙන් කටයුතු කරන්නේ කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය හර්ෂ වීරසිංහ සහ ජයනාත් හේරත් යන මහත්වරුන් ය.
       
රෝගයක් නිසා ලද ආබාධිත බව, බාධකයක් කර නොගෙන එය අභිප්‍රේරණයක් කරගත් ඈන් තම ජීවිතය ජයග්‍රහණය කරා ගෙන යන අතරේ, තමා වැනිම තවත් පිරිසක් ජයග්‍රහණය කරා මෙහෙයවීමට තරම් ධෛර්යය සම්පන්න වූවාය. එවැනි ශක්තිමත් කාන්තාවන් ගේ ධෛර්යය මුසු වූ දහඩිය සහ කඳුළු මේ රට ගොඩනැගීමට අදට වගේම හෙටටත් වැඩි වැඩියෙන් අවශ්‍ය වනු ඇත.
 
සටහන : ඉන්දු පෙරේරා 
 
ජායාරූප - ප්‍රොඪ බුවනෙක
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ආබාධිතයන්ගේ ක්‍රිකට් සංගමයක් බිහිකළ ආබාධිත දිරිය කත | ඉන්දු පෙරේරා | The Leader