The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

එදාට වගේම අදටත් ගැළපෙන පොලිස් කෝලම | තිලක් සේනාසිංහ

T

The Leader Desk

July 19, 2025 • 9:13 AM

එදාට වගේම අදටත් ගැළපෙන පොලිස් කෝලම | තිලක් සේනාසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඕනෑම රටක පොදු ජන සමාජය හා අති සංවේදී බවක් පළකරන ආයතන අතරට පොලීසිය ද අනිවාර්ය වශයෙන් ඇතුලත් වේ.
  • අප රටේ වුව ද නිරතුරුව නොයෙකුත් ආර්ථික සමාජ පීඩනයනට නතු වන නොවිධිමත් නාගරික ජනාවාසවල වෙසෙන්නවුන් පොලීසිය හා නොයෙක් ගැටුම් ඇති කර ගැනීම ඒ සඳහා සරල නිදසුනකි.
  • එහෙත්, කෝලම් නමින් යුතු ජන රංගන විශේෂය කෙසේවත් එලෙස ලඝු කොට තැකිය හැක්කක් නොවේ.
  • පොලිස් කෝලම යනු අණබෙර කෝලම, හේවා කෝලම, මුදලි කෝලම, ආරච්චි කෝලම ආදී පරිපාලනය හා සම්බන්ධ කෝලම් ගැමි නාටක මාලාවේ පසු කාලීන රංගනයක් බව පෙනේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ඕනෑම රටක පොදු ජන සමාජය හා අති සංවේදී බවක් පළකරන ආයතන අතරට පොලීසිය ද අනිවාර්ය වශයෙන් ඇතුලත් වේ. එමෙන්ම එම රට තුළ පවත්නා නීති හා සදාචාර ධර්ම පද්ධතීන් හා ජන සමාජය අතර පවත්නා විෂමතා සේම සමකාලීන සමාජ ආකල්ප මුල් කරගෙන ද එම රටේ පොලීසිය සහ පොදු ජනතාව අතර පවත්නා සබැඳියාව විවිධාකාර විය හැකිය.

අප රටේ වුව ද නිරතුරුව නොයෙකුත් ආර්ථික සමාජ පීඩනයනට නතු වන නොවිධිමත් නාගරික ජනාවාසවල වෙසෙන්නවුන් පොලීසිය හා නොයෙක් ගැටුම් ඇති කර ගැනීම ඒ සඳහා සරල නිදසුනකි.

අප සමාජයේ බොහෝ දෙනකු නම් වශයෙන් දන්නා ‘කෝලම්’ යන්න එම වචනයේ බාහිර අර්ථයෙන්ම නිසරු පුහු වැඩකට නැති සේම විහිළු සහගත ක්‍රියාවන් හැඳින්වීම පිණිස යෙදෙන්නකි. එහෙත්, කෝලම් නමින් යුතු ජන රංගන විශේෂය කෙසේවත් එලෙස ලඝු කොට තැකිය හැක්කක් නොවේ. ඊට හේතුව මතුපිටින් සරල හාස්‍යමය ස්වරූපයක් ගන්නා මුත් එම කෝලම් නම් ජන රංගනයන් තුළින් ඉතා ප්‍රබල සමකාලීන සමාජ යථාර්ථයන් සේම දාර්ශනික හරයන් ද උකහා ගැනීමට අපට අවකාශ සැලසෙන බැවිනි.

 



මීට සියවස් දෙකකට පමණ ඉහත යටත් විජිත සමයේ සිට මෑතක් වන තුරු ශ්‍රී ලාංකේය ගැමි රංගන සම්ප්‍රදායේ සුවිශේෂ තැනක් හිමි කර ගත් කෝලම් යනු සමකාලීන සමාජමය පසුබිම මුල් කර ගත් පුද්ගලමය හා සිද්ධිමය වශයෙන් ඉතා වැදගත් කරුණු රැසක් සමාජය හමුවේ රංගනානුසාරයෙන් ඉදිරිපත් කරන්නකි.

පොලිස් කෝලම යනු අණබෙර කෝලම, හේවා කෝලම, මුදලි කෝලම, ආරච්චි කෝලම ආදී පරිපාලනය හා සම්බන්ධ කෝලම් ගැමි නාටක මාලාවේ පසු කාලීන රංගනයක් බව පෙනේ. අප එසේ පවසනුයේ දහ නව වන සියවස තුළ වත්මන් ශ්‍රී ලාංකේය පොලිස් සේවය ස්ථාපිත වීම සම්බන්ධ සංසිද්ධීන් එම පොලිස් කෝලම මගින් හාස්‍යෝත්පාදක ස්වරූපයෙන් ඉදිරිපත් වීම නිසා ය.

කෝලම් රඟ දැක්වෙන රංග භූමිය තානායම් පල ලෙස හැඳින්වෙන අතරේ කෝලම් රංගනයේ කථක හෙවත් පූරක ගේ භූමිකාව ඉටු කිරීම පිණිස යටත් විජිත යුගයේ පහත රට මුදලි, මුහන්දිරම්වරයකු සේ සැරසුණු සබේ විදානේ නම් චරිතයක් හඳුන්වා දී තිබේ. කෝලම් රංගන සඳහා සබයට පැමිණෙන අනේකවිධ චරිත රසිකයාට හඳුන්වා දෙමින් ඔවුන් හා සංවාදයේ යෙදීම මෙම සබේ විදානෙගේ කාර්ය භාරය බව පෙනේ.

එමෙන්ම කෝලම් චරිත මෙන් මුහුණු නොපළඳින සබේ විදානේ මුහුණු පැළඳීම නිසා නිසි පරිදි උච්චාරණ සභාවට නොඇසෙන කෝලම් චරිතවල කියුම් රසිකයන්ට පැහැදිලි කර දෙන්නා ද වේ. ඒ අනුව ඔහු ඇතැම් තැනක කාරියකරවන රාළ වශයෙන් ද පෙනී සිටිනු දක්නා ලැබේ. පොලිස් කෝලම සබයට කැඳවීමේ දී සබේ විදානේ විසින් ඔවුන් හඳුන්වන ආකාරයක් ද තිබේ. පුරාණ කෝලම් නාටක කවි අතරට අයත් නොවන සබේ විදානේ විසින් ගායනා කරනු ලබන එම පොලිස් කෝලම කවි මෙලෙසිනි.

ආඥා පනත ට
වැඩක් ලැබගෙන පෙර සිට
රාජකාරියකට
පොලිස් මැතිවරු ඒය සබය ට

මැලිස් නොම දන්නේ
පොලිස් පොල්ල ද අතට ගන්නේ
ලෙසින් පවසන් නේ
මෙ දැන් සබයට එන්ට එන්නේ

මිනිසුන් දුටු කලට
සරොසින් බලති වටපිට
සණ්ඩු සරුවල් කොට
පොලිස් සිව්දෙන ඒය සබයට

උන් කිසි වරද ඇත
නොගෙන කුළුණෙන් අප වෙත
සතොස් වඩමින් සිත
අපට අවසර ලැබෙනු යහපත


මෙම හැඳින්වීමත් සමඟ කෝලම් මුහුණු පැළඳ යටත් විජිත සමයේ, එනම් 1864 සිට 1925 තෙක් මෙරට පොලිස් නිල ඇඳුම වූ කලු පැහැයට ආසන්න තද නිල් කබා හැඳ බැටන් පොලු අතින් ගත් තිදෙනෙක් සබයට පිවිසෙති.

 

police kolama1

එලෙස “තෙන තෙන් තෙනින තෙන තෙනිනම් තෙනින තෙන තෙනා තෙන තෙන තෙනින තෙනෙනා” යන බෙර පදයට අනුව බැටන් පොලු කරකවමින් සබයට පිවිසෙන ඔවුන් සබය පුරා සෝදිසි කරන බවක් පළ කරනුයේ නැති වූ යමක් සොයනු පිණිස ය. ඇතැම් විට ඔවුන් බෙරකරුවන් ගේ බෙර යටි කය ඇඳුම් පවා එහා මෙහා කොට පරීක්ෂා කිරීමට වෙර දරනු පෙනෙයි. ඉන් පසුව එම පිරිසේ සිව් වැන්නා වන පොලිස් නායකයා හෙවත් ඉන්ස්පෙක්ටර් ගේ සබයට පැමිණීම සිදුවේ.

එහෙත්, ඔහු පැමිණෙනුයේ තම සගයන් පාලනය කිරීමට ය. එහි දී ඔහු “පෝලින්” යන්න පවසමින් තම සගයන් හසුරුවා ගැනීමට වෙර දරතත් ඔවුන් තුළ කිසිදු විනයක් සංවරයක් තබා ඒ සම්බන්ධ නිසි පුහුණුවක් වත් නොමැති බව පෙනී යයි. ඒ අතරේ ද ඔව්හු රිළවුන් මෙන් සබයේ ඒ මේ අත දුවමින් දඟලති. අවසානයේ ඉන් එක් පොලිස් භටයකු මෙල්ල කර ගැනීම පිණිස ඔහුගේ හිසට බැටන් පොලු පහරක් එල්ල කිරීමට පවා පොලිස් පරීක්ෂකට සිදුවේ. පසුව ඔහු තම සගයන් “ලෙෆ්ට්- රයිට්” කියමින් ඔවුන් කල්බැලීමට යොමු කරන මුත් එම අණට අනුව නිසි පරිදි පා තැබීමට වත් ඔව්හු අසමත් වෙති.

ඉන් පසුව ‘ලේන්සු කකුල-නිකම් කකුල’ යන විධානයට අනුව නිවැරදිව කල්බැලීමට ඔවුන්ගේ එක් පාදයක ලේන්සුවක් සේ හැඟවෙන යමක් බැඳීමට ද පොලිස් පරීක්ෂකට සිදුවෙයි. එමෙන්ම ඔහු තම සගයන්ට “සීරුවෙන් සිටින්” යනුවෙන් දෙන විධානයේ දී දෙපා හැකිතාක් පළල් කොට සිට ගන්නා පොලිස් සගයෝ පොලිස් පරීක්ෂක “පහසුවෙන් සිටින්” කී සැනින් බිම වැතිරීම් ආදී තම තමන්ට පහසු ඉරියව් වලින් හිඳිනු දක්නට ලැබේ. මෙය සමකාලීන පොලිස් සේවාව තුළ නිසි පුහුණුවක්, විනයක්, සංවරයක් නොමැති පිරිස් සිටි බව කෝලම් නාටකකරුවා හාස්‍යෝත්පාදක ස්වරූපයෙන් කී අන්දම බව අතිශයින් පැහැදිලි ය.

 

kolama

එමෙන්ම පොලිස් කෝලම වශයෙන් සබයට පැමිණෙන නිලධාරීන් සිව් දෙනා අතරේ විවිධ විෂමතා පෙන්නුම් කිරීම ද සාමාන්‍ය දෙයකි. එම පිරිසේ ප්‍රධානියා වන පොලිස් පරීක්ෂක අසිංහලයෙකි. එමෙන්ම සිංහල හෝ ඉංග්‍රීසි නිසි පරිදි භාවිතා කළ නොහැකි ඔහුගේ එම කතා ව්‍යවහාරය රසිකයන් තුළ හාස්‍යයක් ජනිත කරවන්නකි. එමෙන්ම ඒ පිරිස අතරට අයත් බණ්ඩා නම් වන පොලිස් සැරයන් වරයා ද අපගේ සුවිශේෂ අවධානයට ලක් විය යුත්තකි.

ශ්‍රී ලංකා පොලීසිය අද පවත්නා තත්වයට අනුව සැකසීමේ ආරම්භය 1866 සැප්තැම්බර් 08 වන දා සිදුවූ බව සැලකෙන අතර එහි දී පොලීසිය සඳහා සාමාජිකයන් බඳවා ගැනීමේ දී අප රටේ ජීවත් වූ ජා, මැලේ ආදී සුළු ජාතීන්ට හා උඩරට රදළයන්ට විශේෂ තැනක් හිමි වූ බව පැවසෙයි. මහනුවර පොලිස් ප්‍රධානියා වශයෙන් ඉංග්‍රීසින් විසින් කන්ද උඩරට ප්‍රභූ රදළ පරපුරකින් පැවත ආ ලොකු බණ්ඩා දුනුවිල නිලමේ වරයා පත් කිරීම ඒ සඳහා වන කදිම නිදසුනකි.

ඉන් පසුව ද ශ්‍රී ලංකා පොලීසිය තුළ කන්ද උඩරට කුලවතුන්ට විශේෂ ස්ථානයක් හිමි වීම මත “ජෑම් ගහකුයි බණ්ඩා කෙනෙකුයි නැති පොලීසියක් නැතැයි” යන ප්‍රවාදය මෑතක් තෙක්ම සමාජයේ පැතිර තිබිණ. ඒ අනුව අපට කිව හැක්කේ පොලිස් කෝලමේ එන සැරයන් බණ්ඩා එවක පොලීසියට සම්බන්ධ වී සිටි කන්ද උඩරට කුලවත් ජන සංයුතියේ සංකේතයක් බව ය.

 

police kolama3

පොලිස් නිලධාරීන් සිව් දෙනාගේ මෙම ආටක නාටකවලින් පසුව පොලිස් කෝලම ඉදිරිපත් කිරීම පිණිස සබේ විදානේ සබයට පැමිණීම සිදුවේ. කෝලම් නාට්‍ය සම්ප්‍රදාය අනුව එම කෝලම මනාව හසුරුවමින් රසිකයන් හමුවට ගෙන ඒම ඔහු වෙතින් සිදු වන්නකි.

එහිදී සබේ විදානේ සහ එම පොලිස් පිරිස අතර ඇතිවන දෙබසට මුල පිරෙනුයේ මෙලෙසිනි.

සබේ විදානේ:
මම දැන ගන්න කැමතියි මගේ මේ වැයික්කියට ආපු මේ තමුන්නැහෙලා කවුද? මොකටද ආවේ කියලා”

පොලිස් පරීක්ෂක:
“එතකොට තමුන් කවුද?”

සබේ විදානේ:
“මම තමයි ආයුබෝන්ඩ මේ වැයික්කිය බාර සබේ විදානේ. මගේ අවසරයෙන් තොරව මේ වැයික්කියේ කිසිම දෙයක් වෙන්න බෑ.”

පොලිස් පරීක්ෂක:
“යූ නෝ හූ මී ආ?”

සබේ විදානේ;
“මීයා ? මොන මීයෙක්ද? මං ඇහුවේ ඔය මහත්තුරු කවුද කියල මිසක් මීයෙක් ගැන නෙවෙයි නේ.”

 

kolama 2

ඉහත සඳහන් ආකාරයේ සංවාදයකින් පසු මෙම පැමිණ සිටින පිරිස පොලිස් නිලධාරීන් පිරිසක් බවත් ඔවුන් මෙහි පැමිණ ඇත්තේ එම ස්ථානයේ අලුතින් පොලිස් ස්ථානයක් ඇරඹීමට බවත් පොලිස් පරීක්ෂක පවසන කැඩුණු සිංහලවලින් සබේ විදානේට වැටහී යයි. ” අපේ ලොකු මහත්තයට ගිරීස්මයි හැඹිලි එහෙම නැද්ද හැඹිලි?” එක් පොලිස් නිල දරුවකු සබේ විදානෙ ගෙන් අසනුයේ තැඹිලි පිළිබඳව ය.ඒ ආකාරයෙන් අසිංහලයන් සිංහල වරදවා කීප අපේ ජන රංගන කලාවේ සුලබ ව දක්නට ලැබේ දෙවොල් මඩුව ශාන්ති කර්මය ඒ අතින් මුල් තැනක් ගනී.

ඒ අතරේ පොලිස් පරීක්ෂකවරයා සබේ විදානේට තම පොලිස් සගයන් හඳුන්වාදෙනුයේ ද වැරදි ආකාරයෙනි. “මේ තමයි සාජන්ට් බණ්ඩක්කා”

ඔහු පවසනුයේ මෙරට ජන සමාජය සම්බන්ධයෙන් තම නොදැනුවත් භාවය මනාව ප්‍රදර්ශනය කරමිනි.එමෙන්ම එය ඇතැම් විට මෙම කෝලම් නාටකවල නිජ බිම වන පහත රැටියන් කන්ද උඩරටට ආවේණික බණ්ඩා නාමයට එල්ල කළ සැහැල්ලු සරදමක් වීමට ද බැරි නැත.

“මේ බණ්ඩක්කා නම් එතකොට මේ පතෝල වැටකොලු ද?”

සෙසු නිලධාරීන් දක්වා සබේ විදානේ ඊට දෙන පිළිතුර හමුවේ රසිකයෝ මහත් සේ කුල්මත් වෙති.

 

police kolama4

“මගේ මිනිස්සුන්ට ආරක්ෂාවක් සළසනවා නම් බොහොම හොඳයි. ඒත් ඒක කොහොමද? වෙන්නේ කියලත් මම දැන ගන්න ඕනේ”

අනතුරුව සබේ විදානේ පොලිස් නිලධාරීන්ට පවසනුයේ ඔවුන් ගේ ක්‍රියාකාරකම් රසිකයන්ට දැක ගැනීමට අවස්ථාව සළසමිනි.

අප රටේ පොලිස් සේවයේ ආරම්භක අරමුණු අතර ජනතාවට ආරක්ෂාව සහ සුවපහසුව සැලසීම, අපරාධ නිවාරණය සහ නීතිය හා සාමය පවත්වා ගෙන යාමට මුල් තැනක් හිමිව තිබූ බව පැහැදිලි ය. ඒ අනුව සබේ විදානේගේ වැයික්කියේ පොලිස් ස්ථානයක් පිහිටුවීමෙන් එහි හොරකම් වලකාලිය හැකි බවට පොලිස් නිලධාරීන් කරන ප්‍රකාශය සම්බන්ධ පෙරහුරුවක් ලෙස සොරකමක් අල්ලා පෙන්වන මෙන් සබේ විදානේ ඔවුන්ගෙන් ඉල්ලා සිටියි. එවිට ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට යන බව පවසන එක් පොලිස් භටයකු පා පැදියක නැගී යන බවක් අඟවා එය එක් තැනක නතර කොට නළලට ඉහළින් අත්ල අල්ලාගෙන වටපිට සෝදිසි කරනු පෙනෙයි. ඒ සමඟම ඔහු යළි සබයේ පිරිස ඉදිරියට දිව එනුයේ බරපතළ පැමිණිල්ලක් ද සමගිනි.

“මගේ බයිසිකලෙත් හොරු අරන් ගිහින්” යනු ඒ පැමිණිල්ල ය. ඒ අතරේ එම පොලිස් පිරිසේ තවත් අයකු ඒ ප්‍රදේශයේ හොර අරක්කු පරීක්ෂාවකට යන බව පවසා එතැනින් පිටවනුයේ එය ද පොලිස් රාජකාරියක් බැවිනි. එහි දී යම් තැනක හොර සුරා තිබෙනු දැක ඒවා පානය කරන ඔහු යළි සබයට පැමිණෙනුයේ ඒ මේ අතට වීසි වෙමිනි. එහි දී ඔහු පොලිස් පරීක්ෂක සහ සබේ විදානේ හමුවේ අපූරු කතාවක් පවසයි. එනම් ඒවා අරක්කු දැයි සැක හැර දැන ගැනීම පිණිස‍ තමන් ඒවා පානය කළ බවකි.

Screenshot 2025 07 19 142636

“මුන්නැහෙලා නම් යස අගේට රාජකාරි කරන පාටයි”

ඒ සමගම සබේ විදානේ රසිකයන් හමුවට ගෙන එනුයේ සමකාලීන සමාජයෙන් පොලිසිය වෙත එල්ල වන චෝදනාවලට සරල හාස්‍යෝත්පාදක ආරෝපණයක් ලබා දෙමිනි.

ඉන් පසුව එම පොලිස් කෝලමේ වඩාත් විචිත්‍රවත් අංගය ලෙස එසේ නම් තමන් දන්නා නැටුම් වර්ග තිබේදැයි සබේ විදානේ පොලිස් නිලධාරීන්ගෙන් විමසනුයේ ඔවුන් වෙතින් නරඹන්නවුන්ට විනෝදාස්වාදයක් ලබා දීම පිණිසය. එවිට ඔවුන් පවසනුයේ තමන් “කරපිංචා ඩාන්ස්”දන්නා බවකි. ඔවුන් එලෙස කරපිංචා යැයි පවසනුයේ කපිරිඤ්ඤාවලට ය.

අප බොහෝ දෙනකු දන්නා පරිදි කපිරිඤ්ඤා යනු පෘතුගීසීන් ගේ ගායන හා නර්තන සම්ප්‍රදායකි. ඒ අනුව යම් නැටුමත් නොවිධිමත් ලෙසින් ඉදිරිපත් කරන ඔවුන් “අපි බාත් රූම් ඩාන්ස් එහෙමත් දන්නවා.” යනුවෙන් පවසනුයේ සබේ විදානේ විස්මයට පත් කරමිනි.

 

police kolama2

“බාත් රූම් ඩාන්ස්; ඒ මොනවද? එහෙනම් ඒවා ටිකකුත් කරලා පෙන්නමුකෝ බලන්න.”

ඒ සමඟම සබේ විදානේ කරන එම ඉල්ලීමත් සමඟ එම පොලිස් නිලධාරීන් සිව් දෙනා දෙදෙනා බැගින් විකාර රූපී ආලිංගන නැටුමක් ඉදිරිපත් කරති.“ආ…. හරි හරි මෙයාලා මේ බාත් රූම් ඩාන්ස් කියලා තියෙන්නේ බෝල් රූම් ඩාන්ස්වලටනේ”

එවිට සබේ විදානේ පවසනුයේ රසිකයන් හාස්‍ය රසයෙන් මන්මත් කරවමිනි.

මීට සියවසකට එපිට කාලයක ශ්‍රී ලංකා පොලිස් සේවයට අයත් රාජකාරී සමුදාය මේ වන විට අතිශයින් පුළුල් විවිධාංගකරණයට ලක්ව තිබේ. ඒ අනුව එදා ගැමි නාටක අතරේ ජනප්‍රිය වූ පොලිස් කෝලම වර්තමාන පොලිස් සේවය හා ගැලපිය නොහැක.

 

Police lanka

නමුත් අනේක විධ හේතුන් මුල් කොට මේ වන විට අප ජන සමාජය තුළ ශ්‍රී ලංකා පොලිස් සේවය සම්බන්ධ යම් අසංතෘප්තතාවක් හට ගෙන තිබේ නම් භාව විශෝධනයක් (Catharsis) මඟින් එය දුරු කොට ශ්‍රී ලංකා පොලීසිය සම්බන්ධයෙන් අපගේ ජන විඥානය තුළ ප්‍රසාදනීය ප්‍රතිරූපයක් ගොඩනැංවීම පිණිස වන මනෝ රංග චිකිත්සාවක් (Psychodrama therapy) ලෙස ශ්‍රී ලංකා පොලීසිය විසින්ම මෙම පොලිස් කෝලම නම් කෝලම් රංගනය යළි සමාජගත කිරීම ඉතා යෝග්‍ය බව අපගේ වැටහීම ය. මක් නිසා ද එවක සමාජ මනෝ විද්‍යාත්මක සාධක පදනම් ව අප රට පාලනය කළ ඉංග්‍රීසින් ද පොලිස් නිළැඳුම් සහිත මෙම පොලිස් කෝලම ප්‍රසිද්ධියේ රඟ දක්වා පොලීසිය කෙරෙහි පවත්නා ජනතා අසංතෘප්තතාව සමනය කර ගැනීමට අප රටේ ජනතාවට අවකාශ ලබා දුන් බැවිනි.

Thilak Senasinghe
(සටහන | තිලක් සේනාසිංහ)
ගවේෂණාත්මක මාධ්‍යවේදී

thilaksenasinghe@gmail.com

(උපුටා ගැනීම- vinivida.lk)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...