The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

බාහු නැතිව, බාහු එක්ක | දර්ශන කාහින්ගල

T

The Leader Desk

July 23, 2025 • 11:14 AM

බාහු නැතිව, බාහු එක්ක | දර්ශන කාහින්ගල

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ හරියට ම මීට අවුරුද්දකට කලින් මේ වගේ මොහොතක.
  • තමිල් ජනයාට එරෙහි ප්‍රහාර මාලාවන් සම්බන්ධයෙන් වගකීම, තමිල් ජනයා ඇතුළු පීඩිත ජාතීන් ගේ ස්වයංනිර්ණ අයිතිය ඉස්මුදුනින් පිළිගත්, ඒ වෙනුවෙන් පෙනී සිටි නසසපයටත් පැටවීමෙන් ම මේ මහාමේරු මුසාව කොයිතරම් ද කියල තේරුම් ගන්න බැරි කවුරු හෝ සිටිත් ද !
  • ඔය මර්දනය ඇතුලේ බාහු සහෝදරයා ඇතුළු නසසප නායකත්වයත් යටිබිම්ගත දේශපාලනයකට ඇතුළු වෙනවා.
  • අනිත් පැත්තෙන් 83 කළු ජුලිය පදනම් කර ගෙන මර්දනයට ලක් වෙන ජවිපෙ (සමාන නැත්නම් ඊටත් වැඩියෙන් පෙසපෙ නමින් ඉන් කැඩී ගිය කොටස) අංශුමාත්‍රික හෝ පීඩිත ජාතික අයිතියක් ලබා දෙනවාට විරුද්ධව සන්නද්ධ පැසිස්ට් ව්‍යාපාරයක් ‘දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය’ නමින් ගොඩනගනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ හරියට ම මීට අවුරුද්දකට කලින් මේ වගේ මොහොතක.

මේ සිද්ධි දෙක අතර කදිම සම්බන්ධයක් දකින්න පුළුවන්.

 

බාහු සහෝදරයා' විප්ලවවාදී දිවි ගමන නිම කරයි
බාහු සහෝදරයා කවුරුත් වගේ දන්නේ මහජාතික ස්වෝත්තමවාදයට විරුද්ධව, පිඩිත ජාතින්ගේ අයිතිය වෙනුවෙන් අඛණ්ඩව සහ කුමන තත්වයක් යටතේ වුණත් නොසැලී ඉන්ද්‍රකීලයක් සේ පෙනී සිටීම සම්බන්ධයෙන්.

83 කියන්නේ මේ තත්වය කදිමට සංකේතවත් කරපු මොහොතක්.

තමිල් ජාතියට අයත් වීම නැත්නම් සිංහල නොවීම නිසා දහස් ගණනින් මිනිසුන්, ගැහැණුන්, දරුවන් මරා දැමීමට, කපා-කොටා තුවාල කරනු ලැබීමට, හරිහම්බකරගත් දේ උදුරාගැනීමට සහ විනාශ කරදැමීමට, ආත්මාභිමානය අහිමි කරනු ලැබීමට, අනාථ කරනු ලැබීමට අනුග්‍රහය සහ මෙහෙයවීමෙන් දායක වූ ආණ්ඩුවත්, රාජ්‍යයත් අනිත් අතින් නව සමසමාජ පක්ෂය ඇතුළු පක්ෂ තුනක් වෙත ඒ දඩමීමා කර ගෙන මර්දනයට ඉලක්ක කළේ 83 ජූලියේ දී.

වික්‍රමබාහු සහෝදරයා සිහි කිරීම වෙනුවෙන් : භාෂාව ශ්‍රී ලංකාවේ ජාතික  ප්‍රශ්නයේ පැති කඩක් ලෙස - (ලයනල් බෝපගේ)

 

තමිල් ජනයාට එරෙහි ප්‍රහාර මාලාවන් සම්බන්ධයෙන් වගකීම, තමිල් ජනයා ඇතුළු පීඩිත ජාතීන් ගේ ස්වයංනිර්ණ අයිතිය ඉස්මුදුනින් පිළිගත්, ඒ වෙනුවෙන් පෙනී සිටි නසසපයටත් පැටවීමෙන් ම මේ මහාමේරු මුසාව කොයිතරම් ද කියල තේරුම් ගන්න බැරි කවුරු හෝ සිටිත් ද !

ඔය මර්දනය ඇතුලේ බාහු සහෝදරයා ඇතුළු නසසප නායකත්වයත් යටිබිම්ගත දේශපාලනයකට ඇතුළු වෙනවා. කොමියුනිස්ට් පක්ෂයට අමතර ව ජවිපෙ ද තහනම යටතේ යටිබිම්ගත වෙනවා.

හැබැයි එතැනින් එහාටත් පැහැදිලි කණ්ඩායම් දෙකක්. නසසපය ජාතික සමඟිය, එක්සත්කම පදනම් කරගෙන පීඩිත ජාතියේ ස්වයංනිර්ණ අයිතිය කරා යන්න උදව් වේවි කියල හිතපු පළාත්සභා විසඳුම සහ ඊටත් එහා ජාතික ප්‍රශ්නය විසඳීම වෙනුවෙන් පෙනී හිටිමින් ‘එක්සත් සමාජවාදී පෙරමුණ’ ගොඩනගන්න දායක වෙනවා. ඒකට උතුරේ සංවිධාන කීපයකුත් සම්බන්ධ වුණා. අද වෙන තුරුත් නිර්මාණය වුුණ පුළුල්තම ජාතික පෙරමුණ හැටියට ඒක හඳුනගන්න පුළුවන්.

නලින් හේවගේ සිනාවෙන්නේ කාට ද? - (උපාලි ගජනායක)

අනිත් පැත්තෙන් 83 කළු ජුලිය පදනම් කර ගෙන මර්දනයට ලක් වෙන ජවිපෙ (සමාන නැත්නම් ඊටත් වැඩියෙන් පෙසපෙ නමින් ඉන් කැඩී ගිය කොටස) අංශුමාත්‍රික හෝ පීඩිත ජාතික අයිතියක් ලබා දෙනවාට විරුද්ධව සන්නද්ධ පැසිස්ට් ව්‍යාපාරයක් ‘දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය’ නමින් ගොඩනගනවා. එහි සාහසික ප්‍රහාරයන්ට ලක් වෙන බාහු සහෝදරයාගේ ජීවිතයත් අනූනමයෙන් බේරෙන්නේ. ආණ්ඩුවටත් එහා ගිහින් සිං-බෞ. වර්ගතාන්ත්‍රික රාජ්‍යය රැකගන්නත්, ඒකට අත්‍යවශ්‍ය පීඩිත ජාතික බලවේග මර්දනය කිරීමත් මේ පැසිස්ට් ඩීජේවීය තමන්ගේ අභිලාෂ බව තහවුරු කළා.

කළු ජූලිය සැමරීම : වාමාංශික තක්කඩියන්ගේ දෙබිඩිකම

තමිල් පීඩිත ජාතියට එරෙහිව 83 ජූලියේ සහ තවත් ඒ වගේ අවස්ථා ගණනාවකදී නිල් හෝ කොල හෝ ආණ්ඩු විසින් මෙහෙයවපු ගහල සහාසිකත්වයත්, අංශුමාත්‍රික හරි අයිතියක් දීමට විරුද්ධව ඩීජේවීය සහ තවත් ඒ පන්නයේ පැසිස්ට් ත්‍රස්ත කල්ලි විසින් මෙහෙය වූ ගහල සහාසිකත්වයත් වෙනස් වෙන්නේ කොතැනින් ද !

ඒ හැම තැනක දී ම බාහු සහෝදරයා කියන්නේ සකල වාම-ප්‍රගතිශීලි බලවේග විසින් පෙනී හිටපු පීඩිත ජාතික විමුක්තියේ, සමානාත්මතාවයේ, එක්සත්බවේ ඉන්ද්‍රකීලමය සංකේතයක් !

“ලංකාවේ දේශපාලනයේ වම-දකුණ බෙදෙන්නේ ජාතික ප්‍රශ්නය කියන නිල් ලිට්මස් පරීක්ෂණයෙන්” කියලා ස්වෝත්තමවාදී ජවිපෙන් එළියට බහින රෝහිත භාෂණ ඇතුළු හිරු කණ්ඩායම පෙන්වා දුන්නා. ඒ ලිට්මස් පරීක්ෂණයෙන් ඉහළින් ම සමත් අය අතර අඩු ම තරමේ ප්‍රමුඛයන් පෙළේ අයෙක් හැටියටවත් බාහු සහෝදරයා ඉන්න එක අනිවාර්යයි.

සමාජවාදය ගොඩනැගීම සම්බන්ධයෙන් මාක්ස්වාදය ඉදිරිපත් කරපු මූලධර්මවල මට අනුව ගැටළුවක් තියෙනවා. ඒත්, බාහු සහෝදරයා, එතැනදීත් අචල මාක්ස්වාදියෙක්. ඔහු ධනේෂ්වර ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ ඉදිරිගමන දැක්කේ සමාජවාදය කරා පෙරගමනක් විදියට. එතැනදී බාහු මාක්ස්වාදීයෙක් නොවයිනම් ලෙනිනුත් මාක්ස්වාදියෙක් නෙවෙයි.

20231017152730 MG 3798 1
“…ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය, ස්වභාවයෙන් ම ධනපති පංතික ය…. නමුත්, නිර්ධන පංතියේ සහ ගොවි ජනතාවගේ නියම නිදහසට ළඟා වීම සඳහා, ධනපති නිදහසේ සහ ධනපති ප්‍රගතියේ මාවත හැර,වෙනත් මාවතක් නොමැති හා තිබිය නොහැකි බව, මාක්ස්වාදීන් වශයෙන් අපි දනිමු…” කියල ‘ප්‍රජාතන්ත්‍රික විප්ලවයේ දී සමාජ-ප්‍රජාතන්ත්‍රවායේ උපක්‍රම දෙක’ පොත අවසන් කරමින් ලිව්වේ වී. අයි. ලෙනින්.

බාහු සහෝදරයාගේ ජීවිතය, කාලරේඛාවක් මත පිහිටුවා බැලුවොත්, 1977 දී ඔහු දේශපාලනය පටන්ගත් ලංකා සමසමාජ පක්ෂයෙන් වෙන් වී නිශ්චිතව ම නව සමසමාජ පක්ෂය පිහිටුවා ගන්නේ ධනපති සභාගවාදයට විරුද්ධව. අන්තිමට එහෙව් බාහු කොහොමද ධනපති යූඑන්පීයේ ඡන්ද අපේක්ෂකයකු වෙන්නේ කියල අහන උදවියත් ඉන්නවා.

අර කියපු ලෙනින් ගේ උධෘතයෙනුත් ඉස්සරහට යද්දී පැහැදිලි උත්තරයක් ඒකට හමුවෙනවා.

ලංකාවේ සංවර්ධනයේ, ශිෂ්ටත්වයේ, නිදහසේ ගමන් මාවත වැටිල තියෙන්නේ පීඩිත ජාතීන් ගේ විමුක්තියේ, සමානාත්මතාවය දිනාගැනීමේ මංසන්ධිය හරහා බව අපි ඉහත කතා කළා.

 

වික්‍රමබාහු ; වෙනම ටෙම්පො එකක් !
පැරණි ලංකා සමසමාජයත්, අනෙක් වාමාංශිකයනුත් එක් ධනපති කඳවුරකට විරුද්ධව තවත් ධනපති කඳවුරක් වෙනුවෙන් සභාග දේශපාලනයට ගියේ මේ සන්ධිස්ථානය බිහිසුනු ලෙස මඟ හරිමින්. මඟහැරීමටත් එහා, බිහිසුනු සාපරාධීත්වයේ පංගුකරුවන් සහ ඇතැම් විට නියමුවන් ද බවට පත් වුණා. ජවිපෙ, චන්ද්‍රිකා ආණ්ඩුවේ කොටස්කාරයන් වෙමින් ඒ ආණ්ඩුව තල්ලු කරන්නට උත්සාහ කළෙත් මේ වගේ තැනකට.

2020 අප්‍රේල් 17 වෙනිදා ‘මඟ හැරුනු සහෝදරයෙක්’ කියල බාහු ලීනස් සහෝදරයා ගැන හරය පත්තරයට ලිපියක් ලිව්වා. ප්‍රජාතන්ත්‍රවාදය ගැන ප්‍රශ්නය ලංකාව වගේ සමාජයක මූලික ම ප්‍රශ්නය හැටියට බාහු විසින් විස්තර කරල තියෙනවා.

මෙතැනදී පැහැදිලිවම ප්‍රජාතන්ත්‍රවාදය ගැන ලංකාවේ ප්‍රශ්නය, මේ භූමිය මත ජීවත්වෙන හැම ප්‍රජාවක් ම, විශේෂයෙන්ම ජාතීන් මේ බිමේ හැබෑ උරුමක්කාරයන් විදියට, ලාංකේය ජාතිය විදියට සංවිධානය කරගන්න ප්‍රශ්නයයි ඒ කියලා බාහු පෙන්වා දිල තිබුණා. ඒ නිසා ප්‍රධාන ගැටුම තියෙන්නේ කොතන ද ? එක පැත්තකින් එක්සත් ජාතියක් වෙනුවෙන් විවිධ හේතු නිසා පෙනී හිටින්න සිදු වුණ ප්‍රජාතන්ත්‍රවාදීන් සහ අනෙක් පැත්තෙන් සිංහලකමට අනිත් අය යට කරගැනීම වෙනුවෙන් එක එක ස්වරූපවලින් පෙනී හිටින ජාතික සමාජවාදීන්. බණ්ඩාරනායකලගෙන් පටන්ගත් මේ ජාතික සමාජවාදී ව්‍යාපෘතීන් එක්ක සිංහල-බෞද්ධ සුබසාධක රාජ්‍යයට තිබුණ සම්බන්ධය ගැනත් ⁣බාහු මෙතැනදී ඉඟිකරනවා.

නසසප ආයුධ සන්නද්ධ වීමේ යටගියාව. කවුද මේ බාහු ? - (ඥානසිරි කොත්තිගොඩ)

මේ නිසා 1977දී නසසප ගොඩ නැගූ මූලධර්ම මත දේශපාලනය ඉදිරියට ගෙනයාමක් මිස වෙන කිසිම පටලැවිල්ලක් මෙතැන තියෙන්න විදියක් නෑ. ඩබ්. ජයසිරිත් එක්ක කරන ‘හීන්සැරේ’ වැඩසටහනක දී බාහු නැවතත් පැහැදිලිව ම මේ බව කියනවා. බාහුලා රනිල් හිටපු තැනට ගිහිල්ලත් නෑ; රනිල් බාහුලා ඉන්න තැනට ඇවිල්ලත් නෑ. දෙගොල්ලන්ට ම වෙනස් පාරවල් තියෙනවා. ඒත් ලංකාවේ ධනේෂ්වර දේශපාලනයේ ශුද්ධ නියෝජනය රනිල්ගෙන්නම්, එයා මඟහැරලා ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය ගැන වැල්බයිලා ගහලා වැඩක් නෑ. ඒ වෙනුවෙන් වාමාංශික ශුද්ධවන්ත අනන්‍යතා අතාරින්න වුනත් පුළුවන්කමක් නැත්නම් එතැන ඇති විප්ලවීය භාවිතයකුත් නෑ.

බාහු සහෝදරයා ඒ සියල්ල නියෝජනය කළ, යුග කීපයක් හරහා ගමන් කළ, තනි ජීවිතයක්. ඔහු ගේ අන්තිම උපන්දිනය වෙනුවෙන් මම ලියපු සටහනක පුනරුච්චාරණයන් මෙතැනත් දකින්න ඇති. ඒ ගැන පුදුම වෙන්න ⁣එපා. ඒ ඔහු එදා වගේ ම නැත්නම් ඊටත් වැඩියෙන් අදටත්, තව බොහෝ කාලයකටත් අදාල චරිතයක් නිසා.

මේ අවුරුද්දක කාලය, ඒ නිසා නම් කරන්න පුළුවන් ‘බාහු නැතිව, බාහු එක්ක කාලයක්’ කියලත්. ඔහු ලියු-කියූ දේත්, අප සමඟ, අප වෙත ඉතිරි කළ අත්දැකීමුත් එක්ක ඒ මතකය තව බොහෝ කලක් අපට පාර කියන තාරුකා එළියක් වේවි.

(සටහන | දර්ශන කාහින්ගල)

උපුටා ගැනීම - නියොන්ටෙට්රා

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...