*පාසැල් වසා නොදමනු!
*6% ක් අධ්‍යාපනයට වියදම් කිරීම සැලසුම් කරනු!
බොහෝ කාලයකින් පුළුල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුවී නොමැති තත්ත්වයක් තුළ ආණ්ඩුව ඉදිරිපත් කර ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ ශ්‍රී ලාංකීය සමාජය තුළ ප්‍රබල සාකච්ඡාවක් මතුවී ඇත.

මෙරට පවතින අධ්‍යාපන ක්‍රමය විසිඑක්වන සියවසට ගැළපෙන අයුරින් ගොඩනැගීම අනිවාර්ය බව එක්සත් වාමාංශික පෙරමුණ තරයේ විශ්වාස කරයි. එවැනි ප්‍රතිසංස්කරණ තාර්කික මෙන්ම ඵලදායි විය යුතු ය. එසේ වීමට නම් සියලු පාර්ශවකරුවන් ඊට සහභාගී කරගත යුතු ය; එසේම එම ක්‍රියා මාර්ගය පාරාදෘශ්‍ය විය යුතුය.
ධවල පත්‍රිකාවක අවශ්‍යතාව
යෝජිත ප්‍රතිසංස්කරණ විශේෂඥයින් සමග සාකච්ඡා කළ බවට ආණ්ඩුව කරන ප්‍රකාශය කිසිසේත් පිළිගත නොහැකි ය. වත්මන් ආණ්ඩුව එවැනි කමිටුවක් පත්කළ බවක් හෝ රට නොදනී. කළ යුතුව තිබුණේ සියලු පාර්ශවකරුවන් නියෝජනය වන කමිටුවක් පත්කර මහජන අදහස් විමසීම ය. අධ්‍යාපනඥයින්, ගුරුවරුන්, දෙමව්පියන්, සමාජ විද්‍යාඥයින්, ළමා විශේෂඥයින් යනාදි පාර්ශවකරුවන්ගේ අදහස් ලබාගත යුතුව තිබුණි. මීට පෙර කලාක් මෙන්, එවැනි කමිටුවක නිර්දේශ ධවල පත්‍රිකාවක් ලෙස ප්‍රසිද්ධ කර ඒ පිළිබඳ පුළුල් කතිකාවක් ඇති කළ යුතුව තිබුණි. එසේ නොකර ගහෙන් ගෙඩි එන්නාක් මෙන් යෝජනා සමාජය මත පැටවීමේ උත්සාහය අනිසි ප්‍රතිඵල ගෙන එනවා නිසැක ය.

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ සමහර විෂයයන් අනිවාර්ය කිරීම හෝ නොකිරීම පිළිබඳව නොයෙකුත් අදහස් මතුවී තිබේ. එයට මූලික හේතුව වී ඇත්තේ ජනතාව සමග කතිකාවක් නොතිබීම යි. පාසල්වලින් අති විශාල ප්‍රතිශතයක් පළාත් සභා යටතට ගැනේ. දුෂ්කර ප්‍රදේශවල ඇති සුවිශේෂ ප්‍රශ්න ගැන වඩා හොඳ අවබෝධයක් ඇති පළාත් අධ්‍යාපන බලධාරීන් සහ එම ප්‍රදේශවල සිටින ගුරුවරුන්, දෙමව්පියන් සහ පුරවැසි සංවිධාන සමග සාකච්ඡා කිරීමේ වැදගත්කම ද අවධාරණය කරමු.
ආණ්ඩුවේ හාස්‍යජනක අදහස්
අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමීව ළමුන් අඩු පාසල් වෙනත් පාසැල් සමග ඒකාබද්ධ කිරීමේ යෝජනාවක් ද ඇත. පවත්නා පාසල් පද්ධතිය සැමට එක සමාන නොවේ. අඩු සිසුන් පිරිසක් සිටින පාසැල් වසාදමා එම දරුවන් වෙනත් පාසැල්වලට අනුයුක්ත කිරිම විසඳුමක් නොවේ. ක්‍රීඩා උත්සවයක් හෝ සාහිත්‍ය උළෙලක් පැවැත්වීමට නොහැකි පාසලක් පවත්වා ගෙන යෑමේ තේරුමක් නැතැයි ආණ්ඩුවේ ඉහළ තැන්වලින් කියවෙන කතාවලින් අධ්‍යාපනය ගැන ආණ්ඩුවට ඇති පටු අදහස මොනවට විදහා දැක්වේ.

දල දේශීය නිෂ්පාදනයෙන් 6% ක් අධ්‍යාපනයට වියදම් කළ යුතු යයි හඬ නැගූ අය වගකීම් දරන, නිවසේ සිට කිලෝමීටර් තුනක් ඇතුළත ප්‍රාථමික පාසැලක් ඇතිකරන්නට මැතිවරණ පොරොන්දු දුන්, වමට නැඹුරු යැයි කියාගන්නා ආණ්ඩුවකින් මෙවැනි අදහස් මතුවීම එක අතකින් හාස්‍යජනකය; තවත් අතකින් කනගාටුදායකය. වාමාංශිකයින් සැමදා පෙනී සිටියේ සියලු ළමුන්ට සමාන පහසුකම් දීමටය. ඒ පිලිබඳ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ එන්. එම්. පෙරේරා, එස්. ඒ. වික්‍රමසිංහ, පිලිප් ගුණවර්ධන වැනි පුරෝගාමීන් විසින් සහ ඉන්පසුව වාමාංශික මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ කල කතා සහ පැහැදිලි යෝජනා හැන්සාඩ් වාර්තාවල එමටය. එන්. එම්. සිරගෙදර සිට නිදහස් අධ්‍යාපනය ගැන ලියූ පොත් පිංච නිදහස් අධ්‍යාපනය සැබෑවක් කිරීමට නොමද පිටුවහලක් විය.
දුෂ්කර ප්‍රදේශවල දරුවන්ට දිවා ආහාරය මගහැරෙයි ද...?
සියලු පාසල් එක්වර ම එක සමාන කළ නොහැකිමුත් යම් කාලසීමාවක් තුළ එය ඉටුකිරීමේ සැලැස්මක් තිබිය යුතු ය. අවශ්‍ය පහසුකම් සපයා හොඳ පාසැල් පරිසරයක් නිර්මාණය නොකර දුෂ්කර ප්‍රදේශවල පාසැල් වසාදැමීම එම ප්‍රදේශවල දරුවන් පාසැල් හැර යාමට හේතුවක් වේ. රටේ අඩු ආදායම්ලාභීන් ප්‍රමාණය ඉහළ ප්‍රතිශතයක පවතින වපසරියක දුප්පත් දෙමාපියනට දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වැයකළ හැකි මුදල සීමාවේ.

ගමනාගමන අපහසුතා ඇති අතරතුර දෛනික පාසැල් කාලය තවත් දිර්ඝ කිරීමෙන් දුෂ්කර ප්‍රදේශවල දරුවන්ට දිවා ආහාරය මගහැරීයෑමට තියෙන ඉඩකඩ තවත් තීව්‍රවී මන්දපෝෂණය තවත් වර්ධනය වීමට ඇති ඉඩකඩ වැඩිවේ. පාසැල්වල ප්‍රමාණවත් පුහුණු ගුරුවරු හිඟයක් පවති. ඉංග්‍රීසි, විද්‍යා, ගණිත සහ ප්‍රාථමික ගුරු හිඟය දැනටමත් ග්‍රාමීය පාසැල්වල ඇති බරපතළ ගැටලුවකි. එබැවින් ගුරු හිඟයට විසඳුම්, සාමුහික ගුරු නේවාසිකාගාර, ගුරු පුහුණුව, ගුරු තුලනය යනාදි කරුණු පිළිබඳව ද, අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල දී සැලකිලිමත් විය යුතුවේ.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ දේශපාලන වුවමනාවලින් ඔබ්බට යා යුතු ය. එසේම එම ක්‍රියාවලිය පුර්ණ විවෘත භාවයකින් පුළුල් සංවාදයකට භාජනය විය යුතු බවත්, ආණ්ඩුවක් අධිකාරිවාදී ස්වරූපයකින් ප්‍රතිසංස්කරණ ජනතාව මත පැටවිය නොයුතු බවත් එක්සත් වාමාංශික පෙරමුණ අවධාරණය කර සිටී. එසේ ම දළ දේශීය නිෂ්පාදනයෙන් 6% ක් අධ්‍යාපනයට වියදම් කිරීම ක්‍රමිකව සාක්ෂාත් කිරීමේ වැඩ පිළිවෙළක අවශ්‍යතාව ද අවධාරණය කරමු.
(කීර්ති කාරියවසම්)
ලේකම් - එක්සත් වාමාශික පෙරමුණ




