" ලොක්කා පිටිය හදන්නේ මැච් එක දිනන්න මිසක් පරදින්න නෙමෙයි. මැච් එකක් නැත්නම් ලොක්කා පිටිය හදන්න වෙහෙසෙන්නෙත් නෑ" සමීපතමයන්ගේ අදහස එය විය.
එජාප සංවත්සරය සැප්තැම්බර් 06
එක්සත් ජාතික පක්ෂයේ සංවත්සරය ලබන සැප්තැම්බර් 6 වැනිදාට යෙදෙයි. එතැන් සිට අඛණ්ඩව දේශපාලන පිටියේ මෙහෙයුම් වැඩ ඇරැඹීම රනිල්ගේ අදහසයි.
අදහසක් බලාපොරොත්තු තබා අලුත් ආණ්ඩුවක් පත් කළ ද රටේ මුකුත්ම නොවන හෙයින් යළි පිටිය සකස් නොකොට ඔහේ බලාගෙන හිටියත් රනිල්ගේ ඔඩොක්කුවට ආණ්ඩුව වැටෙන බව යළිත් ගමේ ගොඩේ කයි කතන්දර වල ඇසෙන කතාවයි.
ආණ්ඩුව හෝ විපක්ෂය රටේ ආර්ථිකය ගැන වචනයක් වත් කතා නොකර කසාය බිව්ව ගොළුවන් සේ සිටින බැවින් එක්සත් ජාතික පක්ෂය මූලික වී සමාජය දැනුවත් කරන වැඩක් ඇරැඹීමට රනිල් අදහස් කර සිටී.

එජාප සභාපති වජිර, මහලේකම් තලතා, ජාතික සංවිධායක සාගල සහ උප නායක අකිල පෙරමුණේ තබා ගනිමින් පක්ෂයේ තරුණ අලුත් මුහුණුද එක් කර ගනිමින් එම වැඩ කටයුත්ත ඇරැඹීමට නියමිතය.
වර්තමානයට ගැලපෙන ලෙස එක්සත් ජාතික පක්ෂය නැවත ගොඩනැගීම එම වැඩපිළිවෙළේ එක් අරමුණක් වන්නේය.
සජබ මන්ත්‍රීගේ පාපෝච්චාරණය....
" ආණ්ඩුවේ ඇමතිවරු කවුද කියලා අල්ලපු ගෙදර මිනිහා දන්නෙත් නැහැ. එහෙම එකේ අපේ අලුත් බුද්ධිමත් මුහුණු සමාජගත කරන එක මහා වැඩක් නෙමෙයි" හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් කී කතාව රනිල්ද අනුමත කළේය.

සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මේ සතියේ රනිල් හමුවෙන්නට ඇවිත් පාපෝච්චාරණයක් කළේය.
" ඇත්තෙන්ම රටට විපක්ෂයක් නැති එක ලොකු පාඩුවක්. සජිත්ගේ නායකත්වයෙන් සමගි ජන බලවේග විපක්ෂය සම්පූර්ණයෙන්ම දියාරුවෙලා ගිහින්. මහ පොළොවේ විපක්ෂ බලවේග ඔක්කොම නාමල් වටේ එකතුවෙනවා වගේ එකක් පේන්න තියෙනවා. අපි මේ ගැන සජිත්ට අනතුරු ඇඟෙව්වා. හැබැයි බීරි අලියෙක්ට වීණා වාදනය කළා වගේ තමයි. එදා අපි රාජපක්ෂලාට විරුද්ධව කියා නමුත් අද අපට මාලිමාවට විරුද්ධව යන්න බැරිවෙලා තියෙනවා. රටට විපක්ෂයක් ඕන නිසා මිනිස්සු නාමල් දිහා බලමින් ඉන්නවා" මන්ත්‍රීවරයා රනිල් ඉදිරියේ කතා කළේ කලකිරුණු සිතකිනි.
" මේ දේවල් වලට ඔයාලත් අඩු වැඩි වශයෙන් වග කියන්න ඕන" රනිල් එසේ කීවේ එක්සත් ජාතික පක්ෂය කඩා දැමීම මෙන්ම ඉන් පසුව රටට පිටපිට අත් වූ පරාජයන් පිළිබඳව කෙටි විවරණයක් වශයෙනි.

" එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කාලේ රට දිනනවා. එක්සත් ජාතික පක්ෂය කඩා වැටෙන කොට රටත් කඩා වැටෙනවා . මම හැමදාම ඕක කියන කතාවක්" සභාපති වජිර එසේ කීවේ සජබ මන්ත්‍රීවරයාටද දෙන පිළිතුරක් ලෙසිනි.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ රනිල්ගේ මතය ...
ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ රනිල්ගේ මතය දැනගැනීම සඳහා බොහෝ මන්ත්‍රීවරුද හිතවත් දේශපාලකයෝද උනන්දු වූහ. ඒ මෑත ඉතිහාසයේ අධ්‍යාපනය වෙනුවෙන් වැඩිම මෙහෙවරක් කළ ජීවමාන සාධකය රනිල් වන බැවිනි.

" ඒක පාර ගහෙන් ගෙඩි එන්නා වගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරන්නේ කොහොමද? අඩු ගානේ අවුරුද්දක් එකහමාරක් ඒකට යනවා. අනාගතය ඉලක්ක කරගෙන තමයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙන්න ඕන. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරන්න කලින් ඉස්සෙල්ලා පාසල් වල අඩුපාඩු හදලා ඉන්න කියන්න, මෙච්චර ටියුෂන් පන්ති තියෙන්නේ ඇයි කියලා හොයන්න" රනිල් එලෙස කීමේ ආණ්ඩුවටත් හොඳ උපදේශයක් ලෙසිනි.
" ප්‍රධාන ප්‍රශ්න වලට උත්තර හොයන්නේ නැතුව විෂය විතරක් වෙනස් කරලා වැඩක් නෑ. අපි බෝගොඩ පේමරත්න වගේ විශේෂඥයො ගෙනල්ල මේක කළේ" රනිල් කීවේය.
රනිල් එදා ඉදිරිපත් කළ ධවල පත්‍රිකාවේ තිබූ දේවල් ආණ්ඩුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලෙස ඉදිරිපත් කරනවාදැයි නැගුණු පැනයකට පිළිතුරු දෙමින් රනිල් කීවේ " අසූ දෙකේ මම ගෙනාපු කොච්චර දේවල් අදටත් තිබෙනවාද ? අයි ටී මුලින්ම ගෙනාවේ මම. මුලින්ම විශ්ව විද්‍යාල පද්ධතිය හරියට හදාගන්න ඕන" යනුවෙනි.

" ලංකාවේ අධ්‍යාපනය ගැන කතා කරන්න වැඩිපුරම අයිතියක් තියෙන්නේ ඔබතුමාට, මේ වෙලාවේ ප්‍රකාශයක් කලොත් නරකදැයි මන්ත්‍රීවරයෙක් විමසූ ප්‍රශ්නයකට පිළිතුරක් දෙමින් රනිල් කීවේ " තව මෙහෙම යන්න දෙමු. අවශ්‍ය වෙලාවෙදි මම කතා කරන්නම්" යනුවෙනි.
බොහෝ රටවල් පාසල් පාලනය කළේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් තොරව බවත් පාසල් මණ්ඩල නැතිනම් පළාත් සභා, ප්‍රාදේශීය සභා වලින් පාසල් පාලනය කෙරුණු බවත් ලංකාව ඒ ඔක්කොම බදාගෙන සිටීම යන සංකල්පයෙන් බැහැරව සිටීමට දැන් කාලේ එළඹ ඇති බවත් මෙහිදී කතා බහට ලක් විය.
ජාත්‍යන්තර ප්‍රශ්න සම්බන්ධයෙන් විශේෂ දෙසුමක්..
මේ සතියේ කොළඹ පැවති සම්මන්ත්‍රණයකදී රනිල් විශේෂ දෙසුමක් පැවැත්වූයේ ජාත්‍යන්තර ප්‍රශ්න සම්බන්ධයෙන්ද අවධානයක් යොමු කරමිනි.
" තායිවානයේ යුද්ධයක් ඇතිවුණොත් එය ඉන්දියන් සාගරයට බලපාන්නේ නැහැ. කවුරුත් ඉන්දියන් සාගරයේ සාම කලාපය පිළිගත යුතුයි. අනෙක ඊශ්‍රායලය අපේ කලාපයට ඇවිත් ඉරානයට බෝම්බබ දැමුවා. කිසිම රටක් න්‍යෂ්ටික ආයුධ තබා ගැනීම වැරදියි. ඉරානය එවැනි න්‍යෂ්ටික බෝම්බයක් හදන්න අවසන් පියවරක් ගෙන තිබේද? අපේ මතය අනුව නම් එහෙම පියවරක් ගෙන නැහැ. එතකොට එවැනි දෙයක් තීරණය කරන්නෙ කවුද? ඒ වගේම ඇමරිකා තීරු බද්ධ නිසා අපේ කලාපයේ අලුතින් වෙළද ගිවිසුම් ඇති කර ගැනීමට සිදුවේවි" රනිල් එම සම්මන්ත්‍රණයේදී කළ දෙසුමේ සංශිප්තය එය විය.
රනිල්ට බාලදක්ෂ ලේන්සුව පළඳවයි

සමස්ත ලංකා බාල දක්ෂ සංගමයේ නිල කර ලේන්සුව හිටපු ජනාධිපති රනිල් ට පැළඳවීම කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේදී ඉකුත් 23 දා සිදු විය.
සමස්ත ලංකා බාල දක්ෂ සංගමයේ සම සභාපතිනී චමෝදිකා ලෝවි රනිල්ට එම ලේන්සුව පැළඳවූවාය.
මීට මසකට පමණ පෙර ස්වර්ගස්ථ වූ ආචාර්ය ඩබ්ලිව්. චම්පික ලෝවි විසින් ආරම්භ කරන ලද ශ්‍රී ලංකාවේ දෙවැනි බාල දක්ෂ සංගමය වන සමස්ත ලංකා බාල දක්ෂ සංගමය මෙයයි. එජාප සභාපති වජිරද ඊට සහභාගී විය.
වජිරගේ නමින් බොරු ලිපියක්...
වජිරට හිතවතෙකුගෙන් අඟහරුවාදා රාත්‍රීයේ හදිසියේම දුරකථන ඇමතුමක් ලැබෙන්නේ ඒ වනවිට සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ලිපියක් පිළිබඳ දැනුවත් කිරීමටය. වජිර එවැනි ලියුමක් සම්බන්ධයෙන් ඒ වනවිට දැනුවත් වී නොසිටියේය.
ඔහු තම හිතවතාට පවසන්නේ ඉක්මනින්ම එය තමාට වට්ස්ඇප් මාර්ගයෙන් එවන ලෙසයි.

“දේශබන්දු තෙන්නකෝන් මහතාට ලබාදුන් අත්තනෝමතික තීන්දුව සම්බන්ධව“ යනුවෙන් මාතෘකාව යොදා තිබූ එම ලිපිය අමූලික බොරුවක් විය.
" මීට පෙරත් මේ වගේ බොරු ලිපි මගේ නමින් ප්‍රචාරය කරන තිබුණා. ඉදිරියේදී මේකට විරුද්ධව මම නීති පියවර ගන්නවා" වජිර එසේ ප්‍රකාශ කළේය.
(සටහන | මල් පාරේ ලියුම්කරු )




