The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කලු ජූලියේ ජයවර්ධන කෙරුවාව | කුසල් පෙරේරා

T

The Leader Desk

July 25, 2025 • 10:03 AM

කලු ජූලියේ ජයවර්ධන කෙරුවාව | කුසල් පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එහි වගකීම, එක්සත් ජාතික පක්ෂයටත් (එ.ජා.ප) එකල කර්මාන්ත ඇමති වූ සිරිල් මැතිව්ටත් පවරනු ලැබේ.
  • ඒ ගැන එකල රාජ්‍ය ඇමති වූ ආනන්ද තිස්ස ද අල්විස් මාධ්‍යයට කියා තිබුණේ ඒ දෙමළ සංහාරය සංවිධානාත්මකව දියත් කළ බව, එහි සිදුවීම් වලින්ම හෙළිවන බව ය.
  • අනතුරුව ඔහුගේ වර්ගවාදී දේශපාලනයට මුල පුරන්නේ ඔහු 1977 මහ මැතිවරණයෙන් අති විශාල බහුතර බලයක් සමග එ.ජා.ප ආණ්ඩුවේ අගමැති ලෙස දිවුරුම් දුන් මොහොතේ සිට ය.
  • එතැන් සිට ‘83 කලු ජූලිය දක්වා ඔහුගේ ඉතිහාසයේ සංක්ෂිප්තය මෙවැනි ය.
අකුරු ප්‍රමාණය (Font Size):

එහි වගකීම, එක්සත් ජාතික පක්ෂයටත් (එ.ජා.ප) එකල කර්මාන්ත ඇමති වූ සිරිල් මැතිව්ටත් පවරනු ලැබේ. ඒ ගැන එකල රාජ්‍ය ඇමති වූ ආනන්ද තිස්ස ද අල්විස් මාධ්‍යයට කියා තිබුණේ ඒ දෙමළ සංහාරය සංවිධානාත්මකව දියත් කළ බව, එහි සිදුවීම් වලින්ම හෙළිවන බව ය.

 

එහෙත් ඒ සම්බන්ධයෙන් ජනාධිපති ජයවර්ධනගේ වගකීම කුමක්දැයි කතා නොවේ. ඒ ගැන මතක් කිරීමක් ලෙස දෙමළ ජනතාවට රාජ්‍ය පාලනයේදී යම් ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් හැදීමට දීර්ග සාකච්ඡා වලින් පසු 1957 ජූලි මාසයේ 26 වන දින අගමැති බණ්ඩාරනායක සමග ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) නායක චෙල්වනායගම් අත්සන් කළ ගිවිසුමට එරෙහිව සිංහල-බෞද්ධ විරෝධයක් පාරට ගෙනැවිත් දළදා මාළිගාවට පා ගමනක් සංවිධානය කර, එම ගිවිසුම අහෝසි කිරීමට නායකත්වය දුන්නේද ජේ. ආර්. ජයවර්ධන යැයි සටහන් කර තැබිය යුතුය. අනතුරුව ඔහුගේ වර්ගවාදී දේශපාලනයට මුල පුරන්නේ ඔහු 1977 මහ මැතිවරණයෙන් අති විශාල බහුතර බලයක් සමග එ.ජා.ප ආණ්ඩුවේ අගමැති ලෙස දිවුරුම් දුන් මොහොතේ සිට ය. එතැන් සිට ‘83 කලු ජූලිය දක්වා ඔහුගේ ඉතිහාසයේ සංක්ෂිප්තය මෙවැනි ය.

SI P16 30 03 PDCn 1

* 1977 ජූලි මහ මැතිවරණයෙන් එ.ජා.ප ජයගත් මොහොතේ සිට බොහෝ ප්‍රදේශවල පරාජය වූ ශ්‍රී.ල.නි.පයේ ක්‍රියාකාරීන්ට අඩන්තේට්ටම් කිරීමේ නිදහස ඔහුගේ පාක්ෂිකයින්ට නොනිල වශයෙන් දින කිහිපයක්ම ලබා දුන්නේය. ඔහු ඉන් බලාපොරොත්තු වන්නට ඇත්තේ ඔහුගේ පාලනයට එරෙහිව බිම් මට්ටමේ විපක්ෂ ක්‍රියාකාරිත්වයකට ඉඩ නොතැබීම විය යුතුය.


* 1979 උඩරට දෙමළ ප්‍රජාවට එරෙහි වාර්ගික ප්‍රහාර දියත් කරනු ලැබ, ඇතැම් පිරිස් සිය පාරම්පරික පදිංචිවීම් අතහැර ආරක්ෂාව පතා වවුනියාව, කිලිනොච්චි වැනි දෙමළ ගම් ප්‍රදේශ වෙත ගියහ.

* 1979 දී කොටි ත්‍රස්තවාදීන් මැඩලීමට “යැයි ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික) පනත” සම්මත කළේය.

1979 ජූලියේදී වසර අවසාන වන්නට පෙර යාපනයේ සියලු ආකාරයේ ත්‍රස්තවාදී ක්‍රියා අතුගා දමන්නට යැයි හමුදාපති මේජර් ජනරාල් ඩෙනිස් පෙරේරා මග හැර ඥාතියෙකු වූ බි්‍රගේඩියර් තිස්ස වීරතුංගට ජයවර්ධන ජනාධිපති විසින් සෘජු නියෝගයක් දෙනු ලැබුවේය. යාපනයේ සිවිල් ජනයාට එරෙහි රාජ්‍ය මර්දනය හමුදාවට පැවරීමක් ඉන් සිදු විය.

07 03

* 1980 ජුලි වර්ජනය හදිසි නීතිය උපයෝගි කර ගනිමින් නීති විරෝධී යැයි තීන්දුකර, රජයේ සේවක සේවිකාවන් 47,000 ක් පමණ සේවයෙන් ඉවත් කළේය. අවුරුද්දකට පමණ පසු ඔවුන් නැවත කඩින් කඩ සේවයේ පිහිට වූයේ වෘත්තීය සමිති අඩාල කිරීමෙනි.

* 1981 ජුනි 01 වන දින දකුණු ආසියාවේ විශිෂ්ඨ පුස්තකාලයක් ලෙස පිළිගනු ලැබූ යාපනය පුස්තකාලය ගිණිබත් කිරීමත් ඊට පෙර දිනයේ යාපනය නගරයේ වෙළඳසල් කඩා බිඳ ගිණි තබා විනාශ කිරීමත් වෙනුවෙන් මීගමුවෙන්, කුරුණෑගලින්, මස්කෙළියන් මැර කණ්ඩායම් ගෙන යාමට ෆෙස්ටස් පෙරේරා, ගාමිණි ජයවික්‍රම පෙරේරා, ගාමිණි දිසානායක සහ සිරිල් මැතිව් වැනි ඇමතිවරුන්ට දේශපාලන අවසරය ලබා දී තිබිණ.

මහින්දත්, රනිලුත් එකඟනම් යුක්තිය මඟහැර යන තවත් කොමිසන් මක්කටෙයි -(ඥානසිරි  කොත්තිගොඩ)

දැන් කතා කරන ‘83 කලු ජූලිය සංවිධානය කෙරෙන්නේ එවැනි පසු බිමක එවැනි දේශපාලන නායකත්වයක් යටතේ ය. මේ, ඒ සම්බන්ධ ජනාධිපති ජයවර්ධනගේ දේශපාලන වගකීම ගැන කෙටි සටහනකි.

ජනාධිපති ජයවර්ධනගේ අනුමැතිය ඇතිව ‘83 ජුලි දෙමළ සංහාරය මුදා හැරි බවට හොඳම ලිඛිත සාක්ෂිය වන්නේ ජුලි දෙමළ සංහාරයට දෙසතියකට පෙර ජුලි 18 වන දින බ්රිතාන්‍ය “ඩේලි ටෙලිග්‍රාෆ්” පුවත් පතේ ග්‍රැහම් වෝඩ් සමග ජනාධිපති ජයවර්ධන කළ සාකච්ඡාවේදී ජනාධිපති ජයවර්ධන දෙමළ ජනතාව ගැන දැක්වූ අදහස් ය. ඒ වනවිට දකුණේ සිංහල දේශපාලන නායකයින් සමග සාකච්ඡාකර තම දේශපාලන ඉල්ලීම් වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී විසඳුම් ලබා ගැනීමට දසක දෙකකට වැඩි කාලයක් දෙමළ නායකයින් ගත් සියලු උත්සාහ, දකුණේ නායකයින් විසින් අත්හැර දමා තිබිණ. එනිසා දකුණේ නායකයින් ගැන විශ්වාසය තැබිය නොහැකි යැයි, තමන්ට තමන්ගේ දෙමළ රාජ්‍යයක් හදා ගැනීම විසඳුම ලෙස තර්ක කළ තරුණන් ඒ වෙනුවෙන් 70 දසකය වන විට සන්නද්ධ දේශපාලනයකට සූදානම් වෙමින් සිටියහ.

 

daily telegraph

ඒ සාකච්ඡාවෙහිදී වෝඩ් දෙමළ ජාතික ප්‍රශ්නය ගැන ඇසූ විට ජනාධිපති ජයවර්ධන කියා තිබුණේ, “..... යාපනයේ මිනිසුන්ගේ අදහස් දැන් මට වැඩක් නැහැ.... ඔවුන් ගැන හිතන්න දැන් අවශ්‍ය නැහැ. ඔවුන්ගේ ජීවිත ගැනවත් ඔවුන් අප ගැන හිතන්නේ මොනවද කියලවත් දැන් අපට වැඩක් නැහැ. ඇත්තම කතාවනං, මං දෙමළ මිනිසුන් හාමතේ තැබුවොත් සිංහල ජනතාව සතුටු වෙනවා” කියා ය.

කළු ජූලියේ ගොදුරක් වු ලාංකීය සිනමා කර්මාන්තය

රාජ්‍ය ඇමති ආනන්ද තිස්සද අල්විස් කියූ සංවිධානාත්මක දෙමළ ජන සංහාරය ‘83 මැයි - ජුනි වන විට සැළසුම් කරමින් තිබූ බව ජයවර්ධනගේ කතාවේ නොකියූ යටි පෙළ විය. එය සංවිධානය කර මුදා හැරීමට අවශ්‍ය පිරිස් බලය එකතු කර ගැනීම වෙනුවෙන් සිරිල් මැතිව් ඇමතිවරයාට ජාතික සේවක සංගමය බාර දී තිබිණ. ඒ වන විට පේරාදෙනිය විශ්ව විද්‍යාලයයේ සිංහල ශිෂ්‍ය කණ්ඩායමක් දෙමළ ශිෂ්‍යයින්ට පහරදී විශ්ව විද්‍යාලයෙන් ඔවුන් ඉවත්කර තිබිණ. ත්‍රිකුණාමලය නගර ආසන්නයේ දෙමළ ජනතාවටද ඒ වන විට පහරදී ඔවුන්ගේ නිවෙස්, වෙළඳසල් කඩා බිඳ තිබිණ. ජුලි 18 වන දින රට පුරා හදිසි නීතිය පනවනු ලැබිණ. මරණ පරීක්ෂණ නොමැතිව මෘත දේහ ඉවත් කිරීමට ඉන් ප්‍රතිපාදන සළසා තිබිණ (1981 - 1984 වසර සම්බන්ධ සත්‍ය සෙවීමේ ජනාධිපති කොමිසම් වාර්තාව/පිටු 32, 33 හා 79).

එවැනි පූර්ව සූදානම් කිරීම් වෙනුවෙන් කොළඹ කේන්ද්‍රීය දෙමළ ජන සංහාරයකට ‘83 ජූලියේදී නිමිත්ත ලැබුණේ, එතෙක් බැංකු කැඩූ, පොලිස් ස්ථාන වලට පහර දුන් උතුරේ තරුණ සන්නද්ධ කල්ලි අතරින් ප්‍රභාකරන්ගේ නායකත්වයෙන් වූ එල්.ටී.ටී.ඊ කණ්ඩායම පළමු වරට ‘83 ජූලි 23 වන දින රාත්‍රීයේ තිරුනෙල්වේල්හිදී “ෆෝ-ෆෝ බ්‍රාවෝ” නමින් වූ හමුදා රථ මෙහෙයුමකට පහර දී හමුදා නිලධාරියෙකු ඇතුළු 13 කු ඝාතනය කිරීමෙනි. ඝාතනය කරනු ලැබූ හමුදා සෙබළුන්ගේ මෘත දේහ ඔවුන්ගේ ඥාතීන්ට ලබා දීම වෙනුවට, බොරැල්ල කනත්තට ගෙනැවිත් රාජ්‍ය අනුග්‍රහය ඇතිව අවසන් කටයුතු කිරීමට තීන්දු කරනු ලැබුවේ එබැවිනි.

black july wdfudf

 

මේ කාලයේ ජයවර්ධනගේ ඇමති මණ්ඩලයේ සිටිය ජ්‍යෙෂ්ඨ තොන්ඩමන් ගේ ලංකා කම්කරු කොංග්‍රසයද, 1977 සිට ජයවර්ධන ජනාධිපතිගේ කැබිනට් මණ්ඩලයේ ඇමතිවරයෙකු වූ සහ තවමත් දේශපාලනයේ ඉන්නා, වර්තමානයේ ජයවර්ධනගේ පක්ෂ නායකත්වය හිමි රනිල් වික්‍රමසිංහද ‘83 කලු ජූලිය දක්වා ජයවර්ධන-මැතිව් දෙපළගේ සියලු වාර්ගික ප්‍රහාර සඳහා වගකිව යුතු යැයි මම කියමි.

Kusal 28(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com

2025 ජූලි 25

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...