The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

වන අලි ගැටලුව විසඳන්න ආණ්ඩුව දරන වෑයම අලියා ගිල්ල දිවුල් ගෙඩියක් වේ ද? | | රේණුකා දමයන්ති ගමගේ

T

The Leader Desk

July 26, 2025 • 9:19 AM

වන අලි ගැටලුව විසඳන්න ආණ්ඩුව දරන වෑයම අලියා ගිල්ල දිවුල් ගෙඩියක් වේ ද? |  | රේණුකා දමයන්ති ගමගේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දිනෙන් දින ඉහළ යමින් පවතින වන අලින්ට සිදුවන ජීවිත තර්ජන දුක් පීඩා සහ වන අලින් නිසා ග්‍රාමීය ජනතාවගේ දෛනික ජීවිතයට සිදුව ඇති බලපෑම සම්බන්ධ වත්මන් තත්ත්වය මෙහි දී ජනාධිපතිවරයාගේ විමසීමට ලක් වූ බව ද පැවසිණ.
  • එමෙන්ම ග්‍රාමීය මට්ටමින් මේ පිළිබඳව සමීපව අධ්‍යයනය කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා, දේශපාලන අධිකාරිය සහ ජනතාව ද සහභාගී කර ගනිමින් මෙම ගැටලුවලට නිසි විසඳුම් ලබා දිය යුතු බව ද අවධාරණය කළ බව ද වාර්තා වී තිබේ.
  • මීට අමතරව ගම්මානවලට වන අලි ඇතුළු වීම වැළැක්වීම වෙනුවෙන් යෝජිත කිලෝමීටර් 800කින් සමන්විත ආරක්ෂක විදුලි වැට සහ අලි කොරිඩෝ 16 ප්‍රතිෂ්ඨාපන කටයුතු වෙනුවෙන් අවශ්‍ය සැලසුම් කඩිනමින් සකසා ඉදිරිපත් කරන ලෙසත් ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දී ඇත.
  • එහි දී ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ වනජීවී දෙපාර්තමේන්තුවේ සන්නිවේදන අකාර්යක්ෂමතා මඟහරවා ගනිමින් ජනතාවට සමීපව ඔවුන්ගේ ගැටලු සඳහා ප්‍රතිචාර දැක්වීමටත්, තොරතුරු ලබා ගැනීම සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කරන ලෙස ය.
අකුරු ප්‍රමාණය (Font Size):


දිනෙන් දින ඉහළ යමින් පවතින වන අලින්ට සිදුවන ජීවිත තර්ජන දුක් පීඩා සහ වන අලින් නිසා ග්‍රාමීය ජනතාවගේ දෛනික ජීවිතයට සිදුව ඇති බලපෑම සම්බන්ධ වත්මන් තත්ත්වය මෙහි දී ජනාධිපතිවරයාගේ විමසීමට ලක් වූ බව ද පැවසිණ.

මෙහි දී නිලධාරීන් විසින් මේ සම්බන්ධව පවතින වත්මන් තත්ත්වය මෙන්ම ඊට විසඳුම් සෙවීමේදී දීර්ඝ කාලයක් තිස්සේ අදාළ ආයතන මුහුණ දෙන ගැටලු පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කොට ඇත.මේ පිළිබඳව අදහස් දැක් වූ ජනාධිපතිවරයා කුමන තත්ත්වයක් යටතේ වුව ද වන අලින්ට සිදුවන හිරිහැර පිළිගත නොහැකි බවත්, ඒ වෙනුවෙන් කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගුකාලීන විසඳුම් සෙවීමට පියවර ගත යුතු බවත් පවසා සිටි බව එම මාධ්‍ය වාර්තා වල සඳහන් ය.

 



එමෙන්ම ග්‍රාමීය මට්ටමින් මේ පිළිබඳව සමීපව අධ්‍යයනය කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා, දේශපාලන අධිකාරිය සහ ජනතාව ද සහභාගී කර ගනිමින් මෙම ගැටලුවලට නිසි විසඳුම් ලබා දිය යුතු බව ද අවධාරණය කළ බව ද වාර්තා වී තිබේ.

ඒ වෙනුවෙන් දැනට පවතින මානව සම්පත් හිඟය මඟහරවා ගැනීමට සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයන් 5000ක් සහායකයන් ලෙස කඩිනමින් අනුයුක්ත කිරීමට කටයුතු කරන ලෙසට ජනාධිපතිවරයා විසින් අදාළ අමාත්‍යවරුන්ට සහ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව ද සඳහන් ව තිබිණ.එසේම වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ රාජකාරි කටයුතුවලට අඩුපාඩුවක්ව පවතින වාහන සංචිත ප්‍රමාණය වැඩි කිරීමට උපදෙස් දුන් ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් කැබ් රථ සහ යතුරුපැදි මිලදී ගැනීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙස ද දන්වා තිබේ.

මීට අමතරව ගම්මානවලට වන අලි ඇතුළු වීම වැළැක්වීම වෙනුවෙන් යෝජිත කිලෝමීටර් 800කින් සමන්විත ආරක්ෂක විදුලි වැට සහ අලි කොරිඩෝ 16 ප්‍රතිෂ්ඨාපන කටයුතු වෙනුවෙන් අවශ්‍ය සැලසුම් කඩිනමින් සකසා ඉදිරිපත් කරන ලෙසත් ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දී ඇත.
එහි දී ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ වනජීවී දෙපාර්තමේන්තුවේ සන්නිවේදන අකාර්යක්ෂමතා මඟහරවා ගනිමින් ජනතාවට සමීපව ඔවුන්ගේ ගැටලු සඳහා ප්‍රතිචාර දැක්වීමටත්, තොරතුරු ලබා ගැනීම සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කරන ලෙස ය.

523325136 1160315962794689 685830692675584620 n

 

මෙම අවස්ථාව සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල, පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි, පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි, පරිසර අමාත්‍යාංශයේ ලේකම් කේ.ආර්.උඩුවාවල, වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම්.එස්.එල්.ආර්.පී. මාරසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂ (අලි සංරක්ෂණ) වී.එල්. තවුෆීන්, පරිසර කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති බිම්ෂානි ජාසිංආරච්චි, වන සංරක්ෂක ජනරාල් එස්.සී. පාලමකුඹුර සහ ආරක්ෂක අංශවල නිලධාරීන්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද එක්ව තිබේ.

 

ගත වූ කාලය සිහිපත් කරන විට වන අලින්ගේ ජීවිත වලට බරපතලම තර්ජන එල්ලවන සමයක් ලෙස වර්තමානය හැඳින්වීමට පුළුවන. මේ වසර තුළ පමණක් වෙඩි ප්‍රහාරයන්ට ලක්වීමෙන්, අනවසර විදුලි රැහැන්වල පැටලීමෙන් දුම්රියට බිලි වීමෙන් මරණයට පත්ව ඇති වන අලින් ගේ සංඛ්‍යාව වේගයෙන් ඉහළ නැඟ තිබේ. ඒ අනුව ඉතිහාසයේ වැඩිම වන අලි මරණ වාර්තා වූ වසර බවට 2025 පත් වනු ඇතැයි වන ජීවී සංරක්ෂණ සංසදයේ ලේකම් නයනක රන්වැල්ල අනාවැකි පළ කොට තිබේ.දැනට වාර්තා වන කරුණු අනුව ඔහු ගේ එම අනාවැකිය ඛේදනීය යථාර්ථයක් වීමේ පහසු ඉඩක් පවතී.

නමුත් ඉහත සඳහන් හමුවේ අපට පෙනෙනෙන යම් අස්වාභාවික ස්වරූපයක් ද තිබේ.එනම් ජනාධිපතිවරයා මෙම මිනිස් අලි ගැටුම දෙස ආගන්තුක කෝණයකින් බැලීමට උත්සාහ කරන බවක් පෙනීම ය. එහෙත්, ඉකුත් මැතිවරණ වලට පෙර වන අලින් වෙසෙන ප්‍රදේශවල ජාතික ජන බලවේග රැස්වීම් වලදී ඔහු සෘජුවම පවසා සිටියේ මෙම අලි මිනිස් ගැටුම සම්බන්ධ ඉතා පුළුල් අවබෝධයක් සහ දැක්මක් තමන් සතුව ඇති බවකි. එමෙන්ම ඔහු එය සංවේදී ලෙසින් කියා පෑ අන්දම අපට හොඳින් මතකය.

වරක් ඔහු මානව ක්‍රියාකාරකම් නිසා ඒ වසරේ මිය ගිය වන අලින් ගේ ගණන පවසමින් ඒ අලි ඇතුන් ගේ සිරුරු එක් කන්දක් වශයෙන් ගොඩ ගැසුව හොත් මොන තරම් බිහිසුණු දර්ශනයක් මැවේද? යන්න සිය දෙනෙත් පුළුල් කොට දෑත ද ඉහළට ඔසවා විචිත්‍රවත් ලෙසින් මවා පෑ අන්දම දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ ජාල වල සංසරණය වනු අපි දැක ඇත්තෙමු.

 

elephant 23813

නමුත් ජනාධිපති වරයා ඉහත හමුවට එක් ව ඇත්තේ ඒ ගැන හාංකවිසියක් වත් නොදත්තෙකු “එතකොට දැන් මොකද වෙලා තියෙන්නේ”යනුවෙන් පිවිසෙන බාහිර අමුත්තකු ගේ ස්වරූපයෙනි.එමෙන්ම ඔහු ගේ මෙම ඉදිරිපත් වීම සඳහා මේ වන විට වන අලින්ට අත් වන විපත් සම්බන්ධයෙන් ජනතාව තුළ ජාතික මට්ටමින් සංවේදී බවක් පළවීම ද අනියමින් හේතු වී ඇති බව පෙනේ.

නමුදු වන අලින් බහුලවම වෙසෙන ගල්ගමුව ප්‍රදේශයෙන් ලැබෙන තහවුරු නොවූ ආරංචි මාර්ගවලට අනුව මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල මානව ජනාවාස පවතින සීමාවන් ගෙන් වන අලින් මුළුමනින් තුරන් කළ යුතු ය යන ස්ථාවරයේ දැඩිව පසුවන බව ද දැන ගන්නට තිබේ.

දැනට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පවතින මානව සම්පත් සහ යටි තල පහසුකම් ඌණතාව මඟහරවා ගැනීමට වෙනුවට එම කාරිය සඳහා සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයන් 5000ක් සහායකයන් ලෙස කඩිනමින් අනුයුක්ත කිරීමට කටයුතු කරන ලෙසට ජනාධිපතිවරයා අදාළ අමාත්‍යවරුන්ට සහ නිලධාරීන්ට උපදෙස් දීම ද ගොයම් කැපීම පිණිස දෑකැති වෙනුවට හිරමන ඇනවුම් කිරීමකි. එවන් අයෝග්‍ය මානව සම්පත් භාවිතයක පූර්ණ අවාසිය වන අලින්ට දරා ගැනීමට සිදු වනු ඒකාන්ත ය.

 

481659552 603771832641236 2732339730507901437 n

එමෙන්ම මේ වන විට වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු පශු වෛද්‍ය හිඟය පියවීමේ කඩිනම් අවශ්‍යතාව වත් මෙහි දී ඉස්මතු නොවීම ද විශේෂත්වයකි. 2024 වසර අවසානයේ වාර්තා වූ සමස්ත අලි මරණ 388 වූ අතර 2025 වසරේ ගෙවුණු මාස 6ක කාලය තුළ පමණක් වාර්තා වූ අලි මරණ දෙසීය 219කි.ඒ අනුව ගිය වසරට සාපේක්ෂව මෙම වසරේ අලි මරණ ප්‍රමාණය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත.එය මෙම ජූලි මාසය තුළ තවත් වේගවත් වී තිබේ.

මේ අතර අලි මිනිස් ගැටුමේ වගකීම විපක්ෂය හෝ වෙනත් පාර්ශවයක් වෙත පටවා අත සෝදා ගැනීමට වෙර දැරීම ආණ්ඩුවේ නවතම බොළඳ උපාය මාර්ගය බව පෙනේ.මෙය කවර හෝ ආණ්ඩුවක දේශපාලනික මන්ද පෝෂණය සම්බන්ධ කදිම නිදසුනකි ඒ සඳහා වන ආසන්නතම නිදසුනක් වනුයේ මේ දිනවල දිගින් දිගටම වාර්තා වන අලි ඝාතන පසුපස කුමන්ත්‍රණයක් පවතින බව පරිසර අමාත්‍ය, වෛද්‍ය ධම්මික පටබැඳි පැවසීම ය.

 

“දේශපාලන සම්බන්ධතා පවතින වෘත්තීය සමිති පහුගිය දිනවල වැඩවර්ජනයක් සඳහා සූදානම් වුණා. ඒක මේ අලි මරණත් එක්ක සමපාත වෙලා තමයි ඒ සැලැස්ම ක්‍රියාත්මක වෙන්න හැදුවේ. නමුත් අපි වෘත්තීය සමිතිත් එක්ක සාකච්ඡා කරලා කිසියම් මට්ටමකින් ඒක ආපසු හරවාගත්තා. ඒ නිසා මම විපක්ෂයෙන් ඉල්ලා සිටිනවා මෙවැනි කැත දේශපාලනයක යෙදෙන්න එපා. මේ අලි ඝාතනය කරන්නෙ ගොවීන් නෙවෙයි. ගොවීන් තමයි භාතිය ඇතා අසනීප වෙලා ඉන්න වෙලාවේ තමන්ගෙ කිරි වදින ගොයමෙන් ගොයම් ගෙනල්ලා කන්න දුන්නෙ. ඒ නිසා ගොවීන් නෙවෙයි මේ අලින්ට වෙඩි තියලා ඝාතනය කරන්නෙ. මේ පිටුපස කුමන්ත්‍රණයක් තියෙනවා. මේ කුමන්ත්‍රණය හරියට තේරුම් ගන්න. මේ පත්වෙලා තියෙන්නෙ ඉතිහාසයේ පරිසරයට වැඩියෙන්ම ආදරය කරන, පරිසරය වෙනුවෙන් වැඩියෙන්ම මැදිහත් වෙන්න සූදානම් පාලනයක්. එවැනි වැඩපිළිවෙලක් සහිත පාලනයක්. මේ අඩාල කරන්න හදන්නෙ පරිසරය ආරක්ෂා කිරීම වෙනුවෙන් නෙවෙයි, අලි ඇතුන් ආරක්ෂා කිරීම වෙනුවෙන් නෙවෙයි, මේ උත්සාහය තියෙන්නෙ එන්න ඒ පරිසරය ආරක්ෂා කරන වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමේ උත්සාහයක් තමයි මේ තියෙන්නෙ”

patabadi 250723

පරිසර අමාත්‍ය වරයා මේ බව පැවසුවේ පසුගිය 24 වන දා පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.නමුත් සජිත් ප්‍රේමදාස ගේ දේශපාලනික දැක්ම පසෙක තිබිය දී වන සතුන් ඇතුළු සොබා දහම පිළිබඳව ඔහු තුළ පවත්නා දැනුම වතමන් ආණ්ඩුවේ කිසිවකු සතුව තිබුණ හොත් එය අති අමහත් විස්මයට කරුණකි.

ගැමි කතාවක එන අන්දමට කුඹුරෙන් ගොඩට ආ එක් ගොවියකු “කවුද යකෝ මගෙ අමුඩෙ ජරා කළේ”කියමින් මොරදුන් කතාව සිහි ගන්වන පරිසර අමාත්‍ය වරයාගේ එම නිසරු වාගාලාපය පසෙක තිබිය දී ඉහත සඳහන් ආකාරයෙන් වන අලි ජීවිත මරණ සේම වන අලි ප්‍රහාරවලට ලක්වන මිනිස් ජීවිතවේගයෙන් විනාශ වීමට මූලික හේතුව ඉතා සරල ය.

Ali 2021.08.02

එය ඉහත සඳහන් වන අලින් පලවා හැරීම හෙවත් අපහරණය සම්බන්ධ අඥාන සංකල්පය මත රැඳී පවතී විවිධ නොමනා ක්‍රියාකාරකම් මගින් වන අලින් ස්වකීය වාස කලාප තුළ මංමුලා කරවීම ඉතා අනතුරුදායක ප්‍රතිඵල ලබා දෙන්නක් බව පසුගිය කාලය තුළ එම ක්‍රියාවලියේ යෙදුණු ආණ්ඩුව තාමත් වටහා ගෙන නොමැති බවක් පෙනී යයි. ඒ අනුව තම ස්වභාවික චර්යා රටාවෙන් බැහැර වන වන අලින් මානව ක්‍රියාකාරකම් නිසා ඛේදනීය මරණ වලට ලක්වීමටත් එම මානව ක්‍රියාකාරකම් නිසා කෝපාවිෂ්ඨ වන වන අලින් ගෙන් වටිනා මිනිස් ජීවිත වැනසීමටත් ඇති හැකියාව වේගවත්ව ඉහළ යාම වලකාලිය නොහැක.

“මේ පත්වෙලා තියෙන්නෙ ඉතිහාසයේ පරිසරයට වැඩියෙන්ම ආදරය කරන, පරිසරය වෙනුවෙන් වැඩියෙන්ම මැදිහත් වෙන්න සූදානම් පාලනයක්. එවැනි වැඩපිළිවෙලක් සහිත පාලනයක්” යන පරිසර ඇමති වරයාගේ කතාවේ ඇත්තන් නැත්ත සමාජය හමුවේ එළිදැක්වුණු අපූරු ක්‍රියාකාරකමක් අපට දැකිය හැකි විය.

 

Monkey 250128

එය පසුගිය මාර්තු 15 වන දා ආණ්ඩුව මහත් පරිශ්‍රමයකින් සිදු කළ ‘රිලා වඳුරු සංගණනය’ යන උපහාසාත්මක නමින් සමාජගත වූ “විනාඩි පහේ” වන සත්ව සංගණනයයි.

ඒ අනුව එහි අසාර්ථකත්වය ඉක්ම වන්නක් බව ඒකාන්ත වශයෙන්ම කිව යුතු අලි මිනිස් ගැටුම විසඳීම සම්බන්ධයෙන් ගන්නා “ආවාට ගියාට’ පියවර වෙනුවට ඒ සඳහා දේශීය හා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් උපාය මාර්ග දැන හැඳින ඒවා සාධනීය ලෙස ක්‍රියාත්මක කරන මෙන් අපි අදාල බලධාරීන් ගෙන් උදක්ම ඉල්ලා සිටිමු. ඒ එම අරමුණ උදෙසා ගනු ලබන ඉහත සඳහන් ‘කයි-තන්’ ක්‍රියාමාර්ග අලියා ගිල්ල දිවුල් ගෙඩියක් ම වන බව ඉතා පැහැදිලිවම පෙනෙන බැවිනි.

renuka damayanthi psd
(සටහන | රේණුකා දමයන්ති ගමගේ)
නිදහස් මාධ්‍යවේදිනී
renudamayanthi2024@gmail.com

(උපුටා ගැනීම - vinivida.lk)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

වන අලි ගැටලුව විසඳන්න ආණ්ඩුව දරන වෑයම අලියා ගිල්ල දිවුල් ගෙඩියක් වේ ද? | | රේණුකා දමයන්ති ගමගේ | The Leader