The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

නිර්මලා දිවි ගමන නිමා කළාය

T

The Leader Desk

July 26, 2025 • 2:25 PM

නිර්මලා දිවි ගමන නිමා කළාය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගුවන්විදුලි මැදිරියක දොර ඇර මා එතුළට දමා දොර වැසීය.
  • ඇය ගුවන්විදුලියේ සේවය කළ සමයේ නවකයන්ට අතදුන්නේ එලෙසිනි.
  • වසරේ ඔක්තෝම්බර් මස 02 වැනිදා ගාල්ලේ උපන් නිර්මලාට සහෝදර සහෝදරියන් හතර දෙනෙකි.
  • ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යන අංශයේ කථිකාචාර්යවරියක ලෙසද සේවය කළ ඇය සිය සැමියාගේ අකල් වියෝවෙන් පසු ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සේවයට එක්වන්නීය.
අකුරු ප්‍රමාණය (Font Size):

ගුවන්විදුලි මැදිරියක දොර ඇර මා එතුළට දමා දොර වැසීය.

එවන් මැදිරියක තනි වූ පළමු අවස්ථාව එය විය. විනාඩි ගණනාවකදී මා අතින් පුංචි කවි දෙකක් ලියැවිණි. ඒ පාළුව හා තනිකම නිසාමය. ඊළඟ ඇසිල්ලේ කාමරයට පැමිණි ඇය මා අත තිබූ කොළය ගෙන මා සමඟ ඇගේ වැඩසටහන අරඹන්නට වෙනත් මැදිරියකට ගියාය.

එය මට අලුත්ම අත්දැකීමක් විය. වැඩසටහන ඇරඹිණ. ඒ වැඩසටහන අතරතුර මගේ නම ද කියැවිණ. මා අතින් ලියැවුණ කවියද ඇගේ හඬින් කියැවිණ. එකල ගුවන්විදුලියට ආදරය කළ මට එය මිල කළ නොහැකි තෑග්ගක් විය.

අනූව දශකයේ මා ගුවන්විදුලි මැදිරියකට කැඳවාගෙන ගිය ඇය වෙන කිසිවෙක් නොව නිර්මලා ද අල්විස් නම් වූවාය.

ඇය ගුවන්විදුලියේ සේවය කළ සමයේ නවකයන්ට අතදුන්නේ එලෙසිනි.

ගුවන්විදුලියට නිර්මලා ද අල්විස්ගේ නෑකම හැදෙන්නේ අකාලයේ අපෙන් වෙන්වූ ප්‍රවිණ නිවේදක ගේය පද රචක ප්‍රේමකීර්තිද අල්විස් හරහාය. ප්‍රේමකීර්ති ද අල්විස්ගේ ප්‍රිය බිරිඳ වූ ඇය පුර්ණ කීර්ති ද අල්විස්ගේ මැණියන් ද වේ.

1955 වසරේ ඔක්තෝම්බර් මස 02 වැනිදා ගාල්ලේ උපන් නිර්මලාට සහෝදර සහෝදරියන් හතර දෙනෙකි. ඇය සහජයෙන්ම ඉගෙනීමේ දස්කම් දැක්වුවාය. අඹතැන්න පුෂ්පදාන විද්‍යාලයෙන් මූලික අධ­්‍යාපනය ලැබූ ඇය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය හිමිකර ගත්තාය. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යන අංශයේ කථිකාචාර්යවරියක ලෙසද සේවය කළ ඇය සිය සැමියාගේ අකල් වියෝවෙන් පසු ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සේවයට එක්වන්නීය. ඇයට ප්‍රේම් හමුවන්නේ විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නා සමයේය. ඒ සමයේ ප්‍රේම් නතරව සිටියේද දෙල්කඳ ප්‍රදේශයේ බෝඩිමකය. ඇය නතරව සිටියේද එහිම වෙනත් තැනකය.

1989 වසරේ නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩිපහරට ලක්ව මියගිය සිය සැමියා වූ ප්‍රේමකීර්තීගේ මරණය වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටි ඇය සිය මරණ මොහොත දක්වාම සැමියාගේ මරණයට වගකිවයුත්තන් සොයන්නට වෙහෙස වුවාය.

‘ප්‍රේමකීර්තිනී‘ නමින් කෘතියක් ලියා පළ කර ඇති ඇය ගීත ගණනාවක්ම ලියා ඇත.

කෙටි කලක් රෝගීව සිටි ඇය මියයන විට 69 වැනි වියේ පසු වූවාය. ඉකුත් 22 දා මියගිය ඇගේ අවසන් කටයුතු 24 දා සවස පේරාදෙණියේදී සිදු කරන ලදී.

( silumina | ඉනෝකා සමරවික්‍රම)


කිසි විටෙක දිය නොහැකි සමාව නිර්මලා මා ඔබෙන් ඉල්ලා සිටිමි.... - Nandana Gunathilaka
vsdfsdcc
නිර්මලා ද අල්විස්ගේ අභාවය සැලවූ මොහොතේ ජවිපෙ හිටපු නායකයකු වූ නන්දන ගුණතිලක සිය ෆේස්බුක් පිටුවේ මතු පළකර ඇති සටහන පළකර තිබිණ.

''සමස්ත ව්‍යාපාරය වෙනුවෙන් - කිසි විටෙක දිය නොහැකි සමාව නිර්මලා මා ඔබෙන් ඉල්ලා සිටිමි.

එම සිදුවීමට අංශු මාත්‍රයකිනුදු මා පෞද්ගලිකව සම්බන්ධ නැත.

එහෙත් එදා  ඒ අමනෝඳ තීරණ ගත් එම ව්‍යාපාරයේ සක්‍රීය සාමාජිකයන්ව අප කටයුතු කළෙමු .

එය එසේ වූ බව ඔබේ පුත්‍රයා මගින් ඔබට ඒත්තු ගන්වන්නට මා කෙතෙක් උත්සාහ දැරුවත් අවාසනාවකට ඔබ නික්ම ගියේ ඒ වසන් කල සත්‍යය තේරුම් ගත නොහැකිවය .

වරක් කිඳෙල්පිටිය විහාරයේ පැවති සමරුවකට ඔබේ පුත්‍රයාගෙන්  මට ද ආරාධනා ලැබුණු විට මා එහි ආවේ මැඩගත නොහැකි  වරදකාරී හැඟීමක් සහිතව බව සිහිපත් වේ ..

ඔබව අවසන්වර දැකගන්නට ගෞරවය දක්වන්නට ඔබේ දෙන අසලට පැමිණෙන්නට මගේ දෙපා පැකිලේ ..

බලහත්කාරයෙන් ජීවිතය පැහැරගනු ලැබූ ස්වාමිපුරුශයකුගේ ආදරයද , වියෝ දුකද , බර ද උහුලමින් පූර්ණට යහපතම කියාදුන් මවක ලෙස ඔබ මේ වන විටද මුළුමහත් සමාජයේම ගෞරවය දිනා අවසන් ය .. !!!

ඔබ වැනි මව්වරුන් දසදහස් ගණනක් උතුරේද දකුණේද තම පවුල්වල සුරක්ෂිතභාවය වෙනුවෙන් පොරබැදූ බව ,  අඛණ්ඩව පොරබදිමින් ඉන්නා බව මේ මොහොතේ ඔබටද ඔවුනටද ගෞරවයක් ලෙස සටහන් කරමි ..

දැන් කල හැකි කිසිවක්ම නැත ..

ඔබට ඔබ පැතූ අරමුණු ඉටු වේවා ..!!!

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...