The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

රට අමුඩයාගේ මලයාලම් පොල් ගෙඩි ගුරුකම | තිලක් සේනාසිංහ

T

The Leader Desk

July 29, 2025 • 7:36 AM

රට අමුඩයාගේ මලයාලම් පොල් ගෙඩි ගුරුකම | තිලක් සේනාසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • “ඔය මලයාලම් ගුරුකම් කියන ඒවා කොහොම අපේ රටට ආවද?
  • ඔහුට ද ඒ පොල් ගෙඩියේ ගුරුකම පිළිබඳ තොරතුරු දැන ගැනීමට ලැබී ඇත්තේ මීගමුව, දොගොන්නේ විසූ තම මිතුරකු ගෙනි.
  • ධර්මසේන මහතා මා හා පවසා සිටියේ අතීතයේ දාගොන්න ප්‍රදේශයේ ජීවත් වූ ‘රට අමුඩයා’ නමින් ගම්මුන් හඳුන්වන ලද පුද්ගලයකු මෙම පොල්ගෙඩි ගුරුකමේ ශූරයකු ව සිටි බවකි.
  • දාගොන්න ප්‍රදේශයේ පොල්වතු හිමි ධනවත් ව්‍යාපාරිකයකු සේම එවක එම ප්‍රදේශයේ විසූ අරක්කු ව්‍යාපාරිකයකු සේම දාමරිකයකු ද වූ ඔසී කොරයා පවා මෙම ගුරුකම මගින් විස්මයට පත් කර වූ රට අමුඩයාට පසුව එම ප්‍රදේශයේ ඉහළම පිළිගැනීමක් හිමි ව තිබූ බව ද ධර්මසේන මහතා මා හා කීය.
අකුරු ප්‍රමාණය (Font Size):


“ඔය මලයාලම් ගුරුකම් කියන ඒවා කොහොම අපේ රටට ආවද? කියන්න අමාරුයි. නමුත් ඉන්දියාවේ කේරලයේ කොචින් වල ඉඳලා රා මදින්න අපේ රටට ආපු කොච්චි මිනිස්සු ළඟ ඔය වගේ එක එක දේවල් තිබිලා තියනවා”. එම කරුණ මා හමුවේ හෙළි කළ ඔහු කීය. ඔහුට ද ඒ පොල් ගෙඩියේ ගුරුකම පිළිබඳ තොරතුරු දැන ගැනීමට ලැබී ඇත්තේ මීගමුව, දොගොන්නේ විසූ තම මිතුරකු ගෙනි.

’‘මට දැන ගන්නට ලැබුණු විදිහට ඒකට හොඳට වේලිලා බිමට වැටුණු තුන් ඉරි මෝරපු දිගැටි පොල් ගෙඩියක් ඕනේ. ඊට පස්සේ ඒ ගුරුකම දන්න කෙනා මොකක්ද මලයාලම් මන්තරයකින් ඒ පොල් ගෙඩියට කුටු කුටු ගාලා මතුරනවා. ඊට පස්සේ ඒක තමන් ගේ ළඟම ඉන්න කෙනෙකුගේ කණට කරලා ඒක හොල්ලන කොට ඒකේ වතුර අඬන සද්දේ අතරේම කුකුළෙක් හඬලන සද්දෙකුත් ඇහෙනවලු” ධර්මසේන මහතා කීයේ එම මලයාලම් ගුරුකම් සම්බන්ධයෙන් වැඩිදුර සොයා බැලීම සඳහා මා තුළ වූ උනන්දුව දෙගුණ තෙගුණ කරමිනි.

coconut 1
“ඔය කේරලයෙන් ආපු මලයාලම් භාෂාව කතා කරපු කොච්චි මිනිස්සුන් ගෙන් වැඩි දෙනෙක් හොඳ නාඹර කොලු ගැටව්. මොකද අතුරේ යනවා වගේ අවදානම් රස්සාවල් වයසක දුර්වල අයට කරන්න බෑනේ. ඒ වගේම ඒ කොච්චි මිනිස්සුන් ගෙන් වැඩි දෙනෙක් පස්සේ මෙහේ සිංහල ගෑනු අයව කසාද බැඳගෙන මෙහෙම බින්න බැහැලා තියෙනවා.”

ඔහු මා හමුවේ අනාවරණය කළ එම පුවත ද පූර්ණ සත්‍යයක් බව තහවුරු වූයේ ඊට පසු කලෙක අතීතයේ හකුරු මුඩුක්කුව නමින් හැඳින්වුණු වත්මන් මීගමුව සිරිවර්ධන පෙදෙසේ ජීවත් වූ පාරම්පරික ගැමියන් එවැනි සිදුවීම් රැසක් පෙළ ගැස්වූ නිසා ය.

“ඔය කොච්චි මිනිස්සු හරිම කඩවසම් …. ඒ වගේම ඒ මිනිස්සු හැම දේකටම හරිම සූරයි. කාගේ වුණත් හිත් දිනාගන්න දන්නවා. ඒ වගේම ඒ සමහරු තමන් දන්න මලයාලම් ගුරුකම් වලින් මෙහේ ගැනු ළමයින්ව වසඟ කර ගත්තා කියලත් සමහරු කියනවා. ඒත් අපි අදහන කතෝලික ධර්මයේ හැටියට ඔය මන්තර ගුරුකම් සේරම පුහු මනැස්ගාත ඕවා යක්ෂයා ගේ බොරු මවා පෑම්. දෙවියන් වහන්සේ ගේ බලයට ඔය බොරු සේරම යටයි.”

රා මදින්නා

එහි දී සිරිවර්ධන පෙදෙසේ ජීවත් වූ පැරණි ගැමියන් මා හා කී අන්දම දැනුදු මගේ මතකයේ තිබේ.ඒ කෙසේ හෝ මලයාලම් බසින් ‘මන්ත්‍රවාදම්” යනුවෙන් හැඳින්වෙන එම ගුරුකම් කල්ලු මයාලම් ගුරුකම් ලෙස ද මෙරට දී හඳුන්වනු ලැබේ.මලයාලම් බසින් කල්ලු යනු රා හැඳින්වීම පිණිස යෙදෙන වදනක් වීම මත එම ගුරුකම් හා මලයාලම් රා මදින්නන් අතර පැවැති සබැඳියාව අනුමාන වශයෙන් අපට සිතා ගන්නට පුළුවන.

ඒ සම්බන්ධයෙන් එම්. ටී. ධර්මසේන මහතා මා හා පවසා සිටියේ අතීතයේ දාගොන්න ප්‍රදේශයේ ජීවත් වූ ‘රට අමුඩයා’ නමින් ගම්මුන් හඳුන්වන ලද පුද්ගලයකු මෙම පොල්ගෙඩි ගුරුකමේ ශූරයකු ව සිටි බවකි. දාගොන්න ප්‍රදේශයේ පොල්වතු හිමි ධනවත් ව්‍යාපාරිකයකු සේම එවක එම ප්‍රදේශයේ විසූ අරක්කු ව්‍යාපාරිකයකු සේම දාමරිකයකු ද වූ ඔසී කොරයා පවා මෙම ගුරුකම මගින් විස්මයට පත් කර වූ රට අමුඩයාට පසුව එම ප්‍රදේශයේ ඉහළම පිළිගැනීමක් හිමි ව තිබූ බව ද ධර්මසේන මහතා මා හා කීය.

 

Loincloth
එමෙන්ම මෙම රට අමුඩයාට ඒ නම ලැබී ඇත්තේ පිරිමින් විසින් අදින ලද ‘ලන්කට්’ නමින් එවක හැඳින්වූ යට කලිසම් විශේෂය එම ප්‍රදේශයට මුලින්ම හඳුන්වා දීම නිසා බව ද පැවසෙයි. මේ වන විට ජන වහරෙන් මුලුමනින්ම ඉවත් වී ඇති ‘ලන්කට්’ යන්න Loincloth යන ඉංග්‍රීසි වදනේ සිංහල ස්වරූපයක් විය හැක. නමුත් එවක ඒ නම අප ජන සමාජයේ ව්‍යවහාර නොවීම මත ගම්මුන් ඒවා රට අමුඩ ලෙස හඳුන්වා තිබේ. එමෙන්ම මෙම රට අමුඩයා නම් වන පුද්ගලයා දිය නෑම් ආදියේ දී ද මෙම අමුතු ඇඳුම හැඳ සිටීම මත එවක එම ප්‍රදේශයේ ගම්මුන් ඔහු ‘රට අමුඩයා’ ලෙස හඳුන්වන්නට ඇත..

ධර්මසේන මහතා ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් මා හා කරුණු ඉදිරිපත් කළ අන්දමට එක් පොල් ගෙඩියකින් එම ගුරුකම කළ හැක්කේ එක් වරක් පමණි. ඒ අනුව ඒ රට අමුඩයා විශේෂිත අවස්ථාවන් හි විශේෂ පුද්ගලයන් හමුවේ පමණක් එම පොල් ගෙඩිය තුළින් කුකුළකු හැඬවීම කොට ඇති බව පැහැදිලි ය.

“කොහොම හරි ඔය රට අමුඩයා කරපු ගුරුකමේ ඇත්ත හොඳටම වටහා ගත්තු අර වගේ කෙරුම් කාරයෝ තමන් දන්න හැම කෙනෙක් එක්කම ඔය කතාව කියලා තියනවා. මං හිතන්නේ ඒ පැත්තේ හුඟක් වයසක මිනිස්සුන්ට ඔය රට අමුඩයව තවමත් මතක ඇති” එවක මෙම කතා ප්‍රවෘත්තිය මා හා අනාවරණය කළ ධර්මසේන මහතා කීය.

“එතකොට ඔය විදිහට ජීවම් කරපු පොල් ගෙඩියක් හොල්ලන්න රට අමුඩයා කාගේ හරි අතටත් දෙනවා ඇද්ද?” ධර්මසේන මහතා ගේ එම ප්‍රකාශය මුල් කොට සිත තුළින් පැන නැඟි කුකුසකින් යුතු මම ඇසීමි.

coconut 2

“නෑ …. නෑ මට දැන ගන්න ලැබුණු විදිහට රට අමුඩයා එහෙම ජීවම් කරපු පොල් ගෙඩිය තමන් ගේ අතේ තියාගෙනම කාගේ හරි කණට කිට්ටු කරලා හොල්ලන එක තමයි කරන්නේ” ඔහු කීය.

ඒ අනුව පොල්ගෙඩියක් සෙලවීමෙන් එ තුළින් නැඟෙන වතුර හඬන හඬට අමතරව කුකුළකු ගේ හැඬලීමක් මතු කිරීම එම රට අමුඩයා ගේ හෝ එය සිදු කරන්නාගේ කාරිය තුළ එක්තරා ඉන්ද්‍රජාලික හෙවත් ඇස්බැන්දුම් ස්වරූපයක් ඇති බව මගේ වැටහීම ය.

මක් නිසාද යත් එසේ මන්ත්‍ර ජප කළ පොල් ගෙඩිය තවත් කෙනෙකුගේ කණට ළං කොට හඬවන අතරේ අත් රූකඩ ශිල්පීන් කරන්නාක් මෙන් මුව වසාගත් වනම කුකුළු හැඬලීමක් නිකුත් කළ හොත් එය පොල් ගෙඩියෙන් නැඟෙන හඬක් සේ ඊට කන් දී සිටින තැනැත්තාට හැඟී යන බැවිනි. ලොව පුරා මෙය ප්‍රචලිතව ඇත්තේ ඉන්ද්‍රජාල කථනය (Ventriloquism) යනුවෙනි. නමුත් එවක රට අමුඩයා මලයාලම් ගුරුකම් නමින් ජනතාව වසඟ කළ මෙම සරල ඇස් බැඳුම නූතන කයිරාටියකු අතර පත් වූයේ නම් ඔහු එය මහා ධන උල්පතක් කර ගනු නියත ය.


Thilak Senasinghe
(සටහන | තිලක් සේනාසිංහ)
ගවේෂණාත්මක මාධ්‍යවේදී

thilaksenasinghe@gmail.com

(උපුටා ගැනීම- vinivida.lk)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...