බන්ධනාගාර ඉහල නිළධාරීන්ගේ නිසි අනුමැතිය ලැබීමෙන් අනතුරු ව නියමිත දිනයේ වැලිකඩට ගිය මා හමු වූයේ සුපරින්ටන්ඩන්ට් මට්ටමේ නිලධාරීන් ය. රජයේ අදාල අමාත්‍යාංශ හා සම්බන්ධීකරණයෙන් කළ මේ පර්යේෂණයේ අරමුණු හා ක්‍රමවේදය මම ඔවුනට පැහැදිලි කළෙමි. ඊට සාවදාන ව සවන් දුන් එම නිලධරයා මට ඉතාමත් සුහද ලෙස පැවසූයේ "මෙතන නම් ඔය මට්ටමේ සාකච්ඡාවක් කරන්න තරම් කට්ටියක් ඩොක්ටර්ලාට අපට හොයලා දෙන්න අමාරුයි" කියා ය. මා ඒ පිළිතුරෙන් අධෛර්යය වූවත්, ඒ බව නොපෙන්වා දිගට ම කතාව කරන්නට උත්සාහ කළෙමි.
මො.ල සෙනවිරත්න
ඒ අතරේදී එම නිලධාරියාට යමක් හදිසියේ මතක් වූවා මෙන් මට කීවේ, "අහ් අපි ගාව ඉන්නව ටිකක් අමුතු මනුස්සයෙක්. වැඩි කතා බහක් නෑ. ඔය ඩොක්ටර්ලගේ වැඩේට සමහරවිට හරි යන්න පුළුවන්". ඉන් අනතුරු ව, ඔහු මා රැගෙන ගියේ බන්ධනාගාර රැඳවියන් වෙසක් හෝ පොසොන් උත්සවය නිමිත්තෙන් විශාල කූඩු පද්ධතියක් හදමින් සිටි තැනකට ය. කිසිදු කතා බහකින් තොර ව හිස නමා ගෙන කූඩුවක සව් කොළයක් අලවමින් සිටි පුද්ගලයාට බන්ධනාගාර නිලධරයා මා සමග කතා කරන මෙන් විධාන කළේ ය. අතෙහි වූ පාප්ප පිසදා මා සමග එදා කතා කළේ මීට සති කිහිපයකට පෙර 'සිපීර්' නමින් පොතක් (2025, ඕපියුම බුක්ස්) පළ කළ මො.ල සෙනවිරත්න ය. මේ ලිපිය ඔහුගේ පොත ගැන ම නොවේ; එය අප කෙලෙසක පුළුල් ඓතිහාසික, අන්තර්ජාතික හා ලාංකීය කැන්වසයක ස්ථානගත කරගත යුතු ද යන්න විමසීම යි.
ඉංග්‍රීසි බසින් ඉන්කාසරේශන් (Incarceration) යනුවෙන් අදහස් කරන්නේ "සිර වී, කොටු වී සිටිනා" තත්ත්වයට යි. එසේ සිටින්නේ ස්වේච්ඡාවෙන් කරන දෙයක ලෙස නොව වෙනකෙකු විසින් පනවන ලද තත්ත්වයක් නිසා ය. ඉන්කාසරේශන් යන්නට, කෙනෙකුට බන්ධනාගාරත්වය යෝජනා කළත්, මම ඊට 'සිපිරිත්වය' ලෙස කියනු කැමැත්තෙමි. සිපිරි ගෙය කට වහරට හුරු පදයකි. ඇත්තෙන් ම සිපිරි යන වචනය සිංහල හෝ දමිළ එකක් නොවේ. එම වචනය අපගේ වහරට ඇවිත් ඇත්තේ ඕලන්ද යටත් විජිත සමයේ ය. මධ්‍ය කාලීන ඕලන්ද බසින්, සිපියර් (Cipier) යනුවෙන් කියන්නේ සිරගෙයක් බාරව සිටින්නාට ය. ඕලන්ද යටත් විජිතයක් ව පැවති ඉන්දුනීසියාවේ මේ වචනය 'සිපිරි' ලෙස වහරන ලද අතර, ලංකාවට ද එය පසු ව කාන්දු විය.

සිපිරි ගෙය හෙවත් බන්ධනාගාරය සමාජ ආයතනයක ලෙස ඉස්මතු වීම හා ස්ථාපිත වීම දීර්ඝ ඉතිහාස පරාසයක සනිටුහන් කළ හැක. ඒ ඒ ඉතිහාස කාලවකවානු හා සංදර්භයන් තුළ සමාජය විසින් වරද, අපරාධය හා ඊට ගෙවිය යුතු මිල යන සම්මතයන්ට යටත් ව සිර දඬුවම හෙවත් සිපිරිත්වය හා එහි ස්වරූපය තීන්දු වීම නිරීක්ෂණය කළ හැක.
සමකාලීන සිපිරිත්වයට සංකල්පීය හා ආයතනික පදනම් වැටුණේ 18 හා 19 ශත වර්ෂයන් තුළ ය. සිපිරිත්වය හුදෙක් දඬුවම සඳහා පමණක් නොව නිවරද වීම හෙවත් පුනරුත්ථාපනය (correction) හා අපරාධ වැළැක්වීම (deterrence) සඳහා ද භාවිතා වුනේ මේ කාලයේ සිට ය. බන්ධනාගාරය රජයේ පරිපාලන වගකීමක් හා ආයතනයක් ලෙස ස්ථාපිත වන්නේ 19 වැනි ශත වර්ෂයේ ය.
වාස්තු විද්‍යාත්මක ව බන්ධනාගාරය පැනොප්ටිකොන් මාදිලියකින් (වෘත්තාකාර පරිවාරයක සිරකුටි පිහිටුවා, කේන්ද්‍රීය පාලක මැදිරියකින් සියලු සිරකුටි රැඳවියන්ගේ දැනුමකින් තොරව නිරන්තරයෙන් නිරීක්ෂණය කිරීම) සැලසුම් කෙරෙන්නේ ද මේ කාලයේ ම ය. ඇත්තෙන් ම මේ මාදිලියේ අදහස වාස්තු විද්‍යාඥයෙකුගේ නොව ඉංග්‍රීසි සමාජ චින්තකයකු හා දාර්ශනිකයෙකු වූ ජෙරමි බෙන්තම්ගේ ය. විසිවෙනි හා විසි එක් වැනි ශත වර්ෂයන් තුළ අදාළ ක්‍ෂේත්‍රයේ විශාල ප්‍රතිසංස්කරණ සිදු වුණ ද මේවා විශ්වීය ලෙස සැම රටකට ම කාන්දු වූයේ නැත.

ඉහත විස්තර කළ කාලවකවානුවේ සිපිරිත්වය පුද්ගල හා සාමූහික අනුභූතියක ලෙස අපට වටහා ගත හැක්කේ සිපිරිත්වය වටා ගෙතුණු සාහිත්‍ය කෘති තුළිනි. මෙම කෘති මතකාවර්ජන (memoir) ලෙස ද ප්‍රබන්ධ ලෙස ද සමාජගත වී ඇත. සිපිරිත්ව ප්‍රබන්ධ බොහෝමයක් ලියැවී ඇත්තේ අදාල ලේඛකයාගේ පෞද්ගලික සිපිරිත්ව අත්දැකීම් අනුසාරයෙනි.
1844-1846 කාලාන්තරයේ කොටස් වශයෙන් පළ වූ ප්‍රංස ජාතික ඇලෙක්සැන්ඩර් ඩූමාගේ 'කවුන්ට් ඔෆ් මොන්ටි ක්‍රිස්ටෝ' ප්‍රබන්ධයේ කතා නායකයා නඩු විභාගයකින් තොර ව ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් ලැබ, වසර හයක් දූපතක පිහිටි බන්ධනාගාරයක ගත කිරීම ප්‍රධාන කොටස වේ. මෙය කතෘගේ ම සෘජු සිර අත්දැකීමක් අනුව ලියැවුණු එකක් නොවුනත්, එකල ප්‍රකට සිරකරුවකු වූ පියරේ පිකොඩ්ගේ හා කතෘගේ පියාගේ සිපිරිත්ව අත්දැකීම ප්‍රබන්ධයේ මූලාශ්‍රය විය. පියදෝර් දොස්තොව්ස්කි ගේ 'ද හවුස් ඔෆ් ද ඩෙඩ්' 1860-1862, කාලයේ කොටස් වශයෙන් ප්‍රබන්ධයක් ලෙසින් පළ වූවත් එය අර්ධ චරිතාපාදනයක් වන්නේ කතෘගේ සිව් වසරක සයිබීරියානු සිර ජීවිතය පදනම් ව ලියවුණු එකක් බැවිනි.
චරිත හා සිදුවීම් ඇසුරින් සිපිරිත්ව අනුභූතිය පමණක නොව සිපිරිත්වය හා එය නිර්මාණය කරන සමාජ සංකල්ප හා ආයතන ගැන විවේචනාත්මක හා දාර්ශනික සාකච්ඡාවක මේ කෘතියෙහි අඩංගු වේ.


ලාංකීය මෑත ඉතිහාසයේ සිපිරිත්ව අත්දැකීම් ඉස්මතු වන්නේ ද දේශපාලන ඌරුවකිණි. ඊට හේතු පාදක වූ මූලික සන්ධි ස්ථානය වන්නේ 1971 කැරැල්ල ය. මීට සහභාගී වූ හෝ එසේ වූවා යි සැක කළ දහස් සංඛ්‍යාත පිරිසක සිරගත කෙරිණ. ඉතා කුඩා පිරිසක් වරින් වර නිදහස් වූව ද කැරැල්ලේ නායකත්වය දැරූ පිරිසෙන් විශාල සංඛ්‍යාවක් නිදහස් වූයේ 1977 ය. දේශපාලන සිරකරුවන් ලෙස සැලකුණු මේ පිරිස, වසර හයක් පමණ කාලයක් සිරගත ව සිටියදී විවිධ ලේඛන කටයුතුවල නිරත විණ. එහෙත් සිපිරිත්ව අත්දැකීම ගැන ලියවුණේ පොත් ස්වල්පයක් පමණි. හැමන්හිල්, යාපනය, බෝගම්බර හා පල්ලෙකැලේ බන්ධනාගාර තුළ තමන් 1971-73 ගතකළ සිර දිවිය ගැන අර්ධ චරිතාපාදනයක් ලෙස 'බක් මහ කඳුළු' (1998) පළ කළේ එච් ඒ බර්ටි රංජිත් හෙවත් රංජිත් හේනායක ආරච්චි ය. පල්ලෙකැලේ සිර ගෙයින් පැන ගිය රංජිත් නැවත වරක් 1974 දී අත් අඩංගුවට ගැනෙන අතර, ඔහු 1977 දක්වා ගත කළ සිර දිවිය ගැන 'පෙරදිග සුළඟ' ලෙස තවත් අර්ධ චරිතාපාදනයක් සම්පාදනය කළේ ය.


එච්.බී ගුණරත්න විසින් සංස්කරණය කරන ලද, '71 කැරැල්ල යාපනය විජේවීර මුදා ගැනීමේ තැත, හැමන්හිල් සිර කඳවුර' (2023) කෘතියේ කැරලිකරුවන් එකොළොස් දෙනකුගේ සිර දිවියේ මතකාවර්ජන ඉදිරිපත් කෙරිණ. තමන් කැරැල්ලක් ගැසුවේ පවත්නා අසාධාරණ හා අයුක්ති සහගත තත්ත්වයට එරෙහි ව සමාජයේ පොදු යහපත වෙනුවෙන් බවත් තමන්ගේ සිපිරිත්වය ඉහළ ආචාර ධාර්මික තලයක හෙබවීම මේ කෘතිවල පොදු ලක්ෂණයකි. කැරැල්ලට නායකත්වය දුන් පක්ෂයේ තීන්දු තීරණ සාධාරණීකරණය කිරීම බහුල ව කෙරෙනු අතර සමහර කෘති ඒවා (විශේෂයෙන් හේනායක ආරච්චි හා කුලරත්න විසින් රචිත කෘති) විවේචනයට භාජනය කළේ ය.හැටේ දශකය අවසානයේ පැරණි වමට විකල්ප වශයෙන් බිහි වූ ජනතා විමුක්ති පෙරමුණට සමගාමී විප්ලවවාදී කණ්ඩායම් කිහිපයක් විය. ඒ අතර පෙරදිග සුළඟ හා ගිනි පුපුර දේශපාලන ව්‍යාපාර වැදගත් ස්ථානයක් ගති. ගිනි පුපුර ව්‍යාපාරයේ නායකයකු වූ පසු ව ප්‍රකට මානව හිමිකම් ක්‍රියාධර නීතිඥයෙකු වූ කල්‍යානන්ද තිරාණගම තම චරිතාපාදනය 'තවමත් හමු නොවූ සාධාරණය සොයා : පොලිස් කූඩු, හිරගෙවල්, අධිකරණ ශාලා හා ජනතා වේදිකා හරහා' නමින් නිකුත් කළේ මීට සති කිහිපයකට පෙර ය. මේ කෘතියේ එන සිර ජීවිත අත්දැකීම හා ඊට පාදක වන දේශපාලන මතවාදය ධාරාව ලෙස සැලකෙන ජනතා විමුක්ති පෙරමුණට විකල්ප වශයෙන් සාකච්ඡා කිරීම වැදගත් ය.

දෙවැනි කැරැල්ල ලෙස විටෙක හැඳින්වෙන 1987-89 කාලය ආශ්‍රිත අත්අඩංගුවට ගැනීම් සහ සිරගත කිරීම් මතකාවර්ජන හෝ ප්‍රබන්ධ ලෙස ලේඛනය වනවාට වඩා, කෙරී ඇත්තේ දේශපාලන විග්‍රහයන් ය. මේ කාලය තුළ අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් සහ අතුරුදහන් කිරීම් බහුල ව සිදු වූ අතර විධිමත් විභාගයකින් පසු කෙරෙන සිරගත කිරීම් පරයා අනීතික ලෙස පවත්වාගෙන ගිය වධකාගාර විශාල ප්‍රමාණයක් විය. ඊට අමතර ව උසාවි මගින් හෝ විධිමත් පොලිස් අත්අඩංගුවෙන් අනතුරු ව කැරලිකරුවන් රඳවා තබනු ලැබුවේ බූස්ස, පැලවත්ත හා මැගසින් බන්ධනාගාර තුළ ය.

සිපිරිත්වය ගැන පමණක් ම අවධානය නොකළ ද, ගාමිණි මුතුකුමාරණ, තම සෘජු අත්දැකීම් අනුසාරයෙන් රචිත, "මතක ගිනි පුපුරු" (2023 ) කෘතිය, දෙවැනි කැරැල්ල හා වධකාගාර කිහිපයක් ගැන විස්තරාත්මක ඉදිරිපත් කිරීමක් කෙරේ. සිපිරිත්වය ප්‍රසන්න අත්දැකීමක නොවූව ද ආයතනික මට්ටමෙන් එය යම්තාක් දුරකට නියාමනය වන තත්ත්වයකි. වධකාගාර අත්දැකීම ඊට හාත්පසින් වෙනස් ය. බොහෝ විට වදකාගාරත්වය එම කතාව කියන්නට ලියන්නට කෙනෙකු ඉතුරු නොකරයි.
දශක තුනක් පුරා විහිදුණු උතුරු නැගෙනහිර කැරලිකාරත්වය හා ගැටුම මහා පරිමාණ සිපිරිත්ව තත්ත්වයක් නිර්මාණය කළේ ය. එහෙත් ඊට සාපේක්ෂ ව, එම අත්දැකීම් සාහිත්‍යයට පෙරලීම සිදුව ඇත්තේ ඉතා අල්ප වශයෙනි. කොටි සංවිධානයේ කලක ළමා සොල්දාදුවෙකු ලෙස සිටි, පසුව ලේඛකයෙකු බවට පත් වූ, ශොභාශක්ති නමැත්තෙකු 'ට්‍රේටර්' නමින් ප්‍රබන්ධ නවකතාවක් ලියන ලද අතර, එය 2002 වසරේ ඉංග්‍රීසියට පරිවර්තනය විය. 1983 දී දමිළ රැඳවියන් පනස් තුන් දෙනකු බන්ධනාගාරයේ කුරිරු ලෙස ඝාතනය වීම ශොභාශක්ති විස්තරාත්මක ව මේ කෘතියේ ඉදිරිපත් කරයි.

පසු කාලයක කැනේඩියානු පුරවැසියෙකු වූ, රෝයි රත්නවේල් විසින් රචිත 'ප්‍රිස්නර් #1056' (2023) මතකාවර්ජන කෘතියේ තමා වයස අවුරුදු 17 දී ත්‍රස්තවාදියෙකු යී කියා සිරගත කිරීමේ අත්දැකීම විස්තර කෙරේ. මෙම ගැටුම් කාලය තුළදී කොටි සංවිධානය ද බන්ධනාගාර පවත්වාගෙන ගිය අතර, ඒවායේ රැඳවියන් වූයේ සටනේදී යටත් කරගත් හමුදා සොල්දාදුවන් හා එකල පැවැති කොටි අනසකට එරෙහි වූ අය ය. නාවික හමුදාවේ කොමදෝරු අජිත් බෝයගොඩ කොටි සිර කඳවුරක වසර අටක් සිටි අතර, තමන්ගේ මේ අත්දැකීම 'ලෝන් වොච්' (2016) නමින් කෘතියකට නැගුවේ සුනිලා ගලප්පත්ති ය.
මො.ල සෙනවිරත්නගේ යට කී කෘතිය වන 'සිපීර්' ලියැවෙන්නේ වසර අටකට සමීප කාලයක් ලේඛකයා ලංකාවේ බොහෝ බන්ධනාගාර තුල කල් ගත කළ අත්දැකීම් ඇසුරෙනි. සෙනෙවිරත්නට එරෙහිව නැගුණු චෝදනාවේ ස්වරූපය අනුව ඔහු දේශපාලන සිරකරුවෙකු විය. යට කී පරිදි, සිපිරිත්ව සාහිත්‍යය බොහෝ විට ගොඩනැගෙන්නේ අදාළ පුද්ගලයාගේ හෝ පුද්ගල කණ්ඩායමකගේ සෘජු සිර අත්දැකීම මත ය. බහුල ව දක්නට ලැබෙන ශෛලිය වන්නේ, එම පුද්ගලයාගේ කෝණයෙන් එම පුද්ගලයා වටා ආඛ්‍යානය දිග හැරීම යි. මේ ක්‍රමය අදාල සිරකරුවා වීරයෙකු හෝ අනුකම්පාව ලැබිය යුතු අයෙකු බවට පත් කරයි.

'සිපීර්' හී මෙවන් කේන්ද්‍රීය සිරකරුවෙකු නොමැත; එය දිගහැරෙන්නේ සිපිරිත්වයේ වටාපිටාව හා ඒ තුළ සිටින විවිධ පාර්ශ්ව -- සිරකරුවන්, බන්ධනාගාර නිලධාරීන්, සිරකරුවන් බැලීමට එන නෑදෑ හිතමිතුරන්, ආදී -- දෙස විචක්ෂණ සහ සහකම්පිත ඇසකින් බලන කවුරුදෝ තුන් වැනි පාර්ශවයක් විසිනි. එහෙත්ම එම පාර්ශවය, 'මම, මා මගේ, මට' ලෙස ආඛ්‍යානයට සම්බන්ධ නොවේ. සෙනෙවිරත්නගේ සිපිරිත්ව සාහිත්‍ය ප්‍රවේශය ස්ව-කේන්ද්‍රීය නොවූන ද සිපිරිත්ව අනුභූතිය පාඨකයාට නො අඩුව සපය යි. එක්තරා ආකාරයකට ඒ ශෛලිය සිනමාත්මක ස්වරූපයක් උසුලන අපට හැඟෙන්නේ පාඨක මනැස කැමරාවකට සවිකොට ඇස නොගැටුණු සිපිරි කලාපයකට ගෙන යාම නිසා ය. සිපිරිත්ව සාහිත්‍යයේ තවත් පොදු ලක්ෂණයක් වන්නේ, යම් දුෂ්ට ක්‍රමයක් හෝ බලතන්ත්‍රයක් විසින් තමන් සිරකරුවෙකු ලෙස අසාධාරණ ලෙස වින්දිතභාවයට පත් කිරීම ගෙන හැර පෑම යි.
'සිපීර්' ඇතුළු සිපිරිත්ව සාහිත්‍යය කෘති අති බහුතරයක් දිග හැරෙන්නේ පුරුෂ පර්යාලෝකයකින් වන අතර කේන්ද්‍රීය චරිතය වන්නේ ද පුරුෂයෙකි. එහෙත් මෑත කාලීන කෘතියක වන 'ඔරෙන්ජ් ඊස් ද නිව් බ්ලැක් : මයි ඉයර් ඉන් අ විමෙන්ස් ප්‍රිසන්' (පීපර් කර්මන්, 2010) මතකාවර්ජන කෘතිය, කාන්තා සිපිරිත්වය මත පිහිටුවා ලියන ලද්දකි. මේ කෘතිය මෙතෙක් බහුල ව කතා නොවූ මාතෘකාවක් සමාජගත කළ අතර ඒ මත පදනම් ව, ඒ නමින් ම නෙට්ෆ්ලික්ස් සිනමා සීරියලයක් ද නිර්මාණය විය.

1971 කැරැල්ලට සහභාගි වූ හේමමාලා විජේසිංහ විසින් රචිත 'සරත් විජේසිංහ චරිතාපාදනය : 1971 තරුණ පිබිදීමේ යටපත් කළ ඉතිහාසය' (2022), කාන්තා පර්යාලෝකය නියෝජනය වූව ද එම ග්‍රන්ථයේ වැඩි අවධාරණය තම සොහොයුරාට යොමු වේ. ගැහැනු පිරිමි ලෙස වෙන් ව පවත්වාගෙන යන බන්ධනාගාර ක්‍රමයක, සෙනෙවිරත්නගේ අත්දැකීම හා පර්යාලෝකය සීමා වීම තේරුම් ගත හැකි ය. එහෙත් ඔහුගේ කෘතිය ඉහත විස්තර කරන ලද විවිධ ප්‍රවේශ හා ශෛලීන් භාවිතා කරමින් රචිත විශ්ව හා ලාංකීය සිපිරිත්ව සාහිත්‍ය දෙස අපගේ අවධානය නැවත වරක් යොමු කරනට ආරාධනා කරයි. ඒ අතර ම, ඒ කෘතිය සිපිරිත්වය ගැන හුදු සාහිත්‍ය ම ය අත්දැකීමක් සමාජගත කිරීමෙන් ඔබ්බට ගොස් ලාංකීය සිපිරිත්ව පද්ධතියේ සංකල්පීය, ප්‍රතිපත්ති හා පරිපාලන සැකැසුම පූර්ණ පරිවර්තනය කිරීමේ දැඩි ලෙස අවධාරණය කරයි.
(මේ ලිපිය 2025 ජූලි 27 වැනි දින 'අනිද්දා' සති අන්ත පුවත් පතෙහි පළ වූ ලිපිය මත පදනම් වන අතර, එය පළ වීමෙන් අනතුරු ව එහි පාඨකයෙකු වන තිළිණ හිරිපිටිය විසින් මතු කරන ලද කෘති දෙකක් යාවත් කාලීන කර ඇත. ඒ පිළිබඳ ව හිරිපිටිය මහතාට රචකයාගේ ස්තුතියි හිමි වේ.)
පාද සටහන :
*එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන විසින් 2014 වසරේ ප්‍රකාශිත, ශ්‍රී ලංකාවේ ජාතික මානව සංවර්ධන වාර්තාව සම්පාදනය සඳහා ඊට අවැසි සමීක්ෂණ හා පර්යේෂණ කාර්යයේ මූලික වගකීම පවරන ලද්දේ අට දෙනකුගෙන් සමන්විත කණ්ඩායමකට ය. ඉන් බහුතරයක විවෘත විශ්ව විද්‍යාලයෙන් ද එක් අයෙකු කැලණිය විශ්ව විද්‍යාලයෙන් ද සමන්විත වූ අතර ආචාර්ය හරිනි අමරසූරිය මේ කටයුත්ත සම්බන්ධීකරණය කළේ පර්යේෂිකාවක වශයෙන් කටයුතු කරන අතර ය. මම ද පර්යේෂණ කණ්ඩායමේ සාමාජිකයෙක් වීමී. දිවයින පුරා තරුණ තරුණියන් 3100 සහභාගි වූ සමීක්ෂණයක් කරන ලද අතර, ඊට අමතර ව ක්ෂේත්‍ර නියෝජනය වන පරිදි කණ්ඩායම් සාකච්ඡා (ෆෝකස් ගෲප් ඩිස්කස්ශන්) ද පවත්වන ලදී. සිරගෙදර සිටින තරුණයන් සමග කරන සාකච්ඡාව පැවරුනේ මට ය.
(සටහන | ආචාර්ය උදන් ප්‍රනාන්දු)සමාජ හා දේශපාලන විශ්ලේෂක
udanfer2014@gmail.com
(මෙම ලිපිය 'අනිද්දා' ජාතික පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )




