The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

බොහොමයකට නොපෙනෙන සිද්ධස්ථාන ජාවාරම්-අනුරපුරයෙන් ඇසුණු කතාවක් | තිලක් සේනාසිංහ

T

The Leader Desk

August 3, 2025 • 9:06 AM

බොහොමයකට නොපෙනෙන සිද්ධස්ථාන ජාවාරම්-අනුරපුරයෙන් ඇසුණු කතාවක් | තිලක් සේනාසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නමුත් බෞද්ධයන්ගේ ඇති මේ අතිමහත් ශ්‍රද්ධාව නිසා අනුරාධපුරය ආශ්‍රිතව ජාවාරම්කාර උප සංස්කෘතියක් ද බිහිවී තිබේ.
  • එමෙන්ම එය විවිධාංගීකරණ ස්වරූපයක් ද උසුලන බව පෙනෙයි.
  • අනුරාධපුර ශ්‍රී ලංකාවේ ආධ්‍යාත්මික අගනුවර ලෙස ජන සම්මතයක් තිබේ.
  • සැදැහැ සිතින් එහි පිවිසෙන්නවුන් හට තම ආධ්‍යාත්මික ශක්තීන් පුබුදුවා ගත හැකි වීම මත එම ජන සම්මතය ඇති වී තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

 

නමුත් බෞද්ධයන්ගේ ඇති මේ අතිමහත් ශ්‍රද්ධාව නිසා අනුරාධපුරය ආශ්‍රිතව ජාවාරම්කාර උප සංස්කෘතියක් ද බිහිවී තිබේ. එමෙන්ම එය විවිධාංගීකරණ ස්වරූපයක් ද උසුලන බව පෙනෙයි. එමෙන්ම ඒ සම්බන්ධයෙන් පවත්නා සමාජමය අනවබෝධය හේතුවෙන් ඊට ගොදුරු වන පිරිස් දිනෙන් දිනම ඉහළ යාම නිහඬ සමාජ ඛේදවාචකයකි.

apura

 

අනුරාධපුර ශ්‍රී ලංකාවේ ආධ්‍යාත්මික අගනුවර ලෙස ජන සම්මතයක් තිබේ. සැදැහැ සිතින් එහි පිවිසෙන්නවුන් හට තම ආධ්‍යාත්මික ශක්තීන් පුබුදුවා ගත හැකි වීම මත එම ජන සම්මතය ඇති වී තිබේ. ඒ හැරුණු කොට අනුරාධපුරය හෝ සෙසු පූජා නගර වල ආධ්‍යාත්මික පක්ෂයේ කටයුතු පමණක් සිදු වන බව සිතීම ද මුලාවකි.මා එසේ පවසනුයේ මේ වන විට එවන් සිද්ධස්ථාන ආශ්‍රිත ජාවාරම්කරණය ද ශීඝ්‍රයෙන් වර්ධනය හා විවිධාංගීකරණයට ලක් වන බැවිනි.

anu6ඩී.එම්.මුතුබණ්ඩාඅනුරාධපුර ආශ්‍රිත නුවර කලාවියේ ජන විශ්වාස සම්බන්ධ හැදෑරීම්වලදී මට සහාය වන්නෝ කිහිප දෙනෙක් වෙති. ඔවුන් අතුරින් අනුරාධපුර, රුවන්වැලි මහා සෑ ආරාමයේ කැප කරුවෙකු ලෙස ද කටයුතු කොට ඇති ඩී.එම්.මුතුබණ්ඩා මහතා විශේෂ ය.

මුතුබණ්ඩා මහතා ඇසුරු කොට ඇති විවිධ තරාතිරම්වලට අයත් පුද්ගලයන් අතරේ දරුවන් විදේශ රටවල පදිංචි වියපත් මා පිය යුවළක් ද වූහ. ඔවුන් නිතිපතා අනුරාධපුර පුදබිමට පැමිණ ඇත්තේ තමන් කරන නොයෙක් පින් දහම්වල ආශීර්වාද බලය තම දූ දරුවන්ට අනුමෝදන් කිරීම පිණිස ය.

‘‘ඒ නෝනයි මහත්තයයි මහරගම. අවුරුදු ගාණක් තිස්සේ අනුරාධපුරේ වන්දනාවේ එන හින්දා කාලෙක ඉඳලා මාවත් හොඳට දැන හඳුනාගෙන හිටියා. ඔය අතරේ පහුගිය දවසක ඒ දෙන්නා අනුරාධපුරේ ආපු වෙලාවක මගෙන් ඇහුවා, ‘මේ කිට්ටුවක කඩුපුල් මල් පිපෙන තැනක් දන්නවද?’ කියලා. එතකොට මම කිව්වා, ‘කඩුපුල් හැම තැනම නෑ. ඒවායේ මල් පිපෙන්නෙත් බොහොම කලාතුරකින්. අනික ඒ මල් රෑ මැදියමට කිට්ටුව පිපිලා පාන්දර වෙනකොට පරවෙලා යනවා’ කියලා. ඒ නෝනටයි මහත්තයටයි ඔය කඩුපුල් මල් ගැන කියලා තියෙන්නේ අනුරාධපුරේදී හම්බුණු අනුරාධපුරේම කෙනෙක්. කඩුපුල් මල් පිපෙන වෙලාවක ඒ මල් කඩාගෙන බුදුන් වැඳලා ශක්‍ර දෙවියන්ට පින් දුන්නම ශක්‍ර දෙවියෝ ඒ අයට පුදුමාකාර විදියට පිහිට වෙනවා කියලා ඒ මනුස්සයා මේ නෝනටයි මහත්තයටයි කියලා තියෙනවා.’’ මුතුබණ්ඩා මහතා කී අන්දමට එම යුවළට මේ කතාව කියා ඇත්තේ පොහොයක් ද නොවන දිනයක අනුරාධපුර මහමෙවුනා උයනේ සිල් ඇඳුමකින් සැරසී සිටි පුද්ගලයෙකු විසිනි.

මෙසේ වන්දනාවේ පැමිණෙන පිරිස් සමීපයට විවිධ ස්වරූප වලින් පැමිණ දැන හැඳුනුම්කම් පාමින් තමන් තුළ සුවිශේෂ ආධ්‍යාත්මික බලයක් ඇතැයි පවසන පුද්ගලයෝ ද පූජා නගරය තුළ සැරිසරති.

anu1කඩුපුල් මල්
එහෙත්, කඩුපුල් යනු ඉතා දුර්ලභ ලෙස දැකිය හැකි, මිනිසුන්ට රහසින් මධ්‍යම රාත්‍රියට ආසන්න කාලයක පිපී අලුයම් යාමයේ පරවී යන මල් විශේෂයක් නිසා කඩුපුල් සොයා ගැනීමේ අසීරුව ගැනත් කියා ඇති ඒ පුද්ගලයා කාටත් රහසින් කළ යුතු කඩුපුල් පූජාව පිළිබඳව තමන් හා ප්‍රකාශ කළේ ද ශක්‍ර දේවේන්ද්‍රයා බව පවසා ඇත.

වරක් තමන් සිල් සමාදන්ව මහමෙවුනා උයනේ භාවනානුයෝගීව සිටි මධ්‍යම රාත්‍රියක ශක්‍ර දේවේන්ද්‍රයා පැමිණ ඒ පණිවිඩය දී සැණින් අතුරුදන් වූ බව යුවළට කියා තිබේ. එමෙන්ම තමන් තුළ විශ්ව ශක්තිය නම් බලයක් ඇතැයි ද ඔහු ඒ යුවළට කියා ඇත.

‘‘කොහොම හරි අන්තිමට ඒ නෝනයි මහත්තයයි වෙනුවෙන් කඩුපුල් මල් පූජාවක් කරන්නත් ඒ මනුස්සයා කැමති වෙලා තියෙනවා. හැබැයි ඉතින් ඒ විදියට පිපිච්ච කඩුපුල් මල් කීපයක් හොයාගන්න සෑහෙන්න අමාරුයි කියලා, ඒ වෙනුවෙන් තරමක වියදමක් දරන්න වෙනවා කියලත් ඒ මනුස්සයා කියලා තියෙනවා . කොහොම හරි ඒ මනුස්සයගේ කතාවට පැහැදුනු ඒ නෝනයි මහත්තයයි වියදමට තියාගන්න කියලා රුපියල් දහ දාහක් වගේ ගාණක් දීලා. ඒ කඩුපුල් මල් පූජාව කරන වෙලාව අපිට දැනුම් දෙන්න කියලා ඒ මනුස්සයගේ ටෙලිෆෝන් නම්බර් එකත් ඉල්ලාගෙන තියෙනවා. කොහොම නමුත් මෙහේ සිද්දවෙන සමහර දේවල් වල හැටියට මේ කතාවේ මොකක් හරි ලොකු ‘කොස්සක්’ තියෙන බව මට තේරුණා.’’ මුතුබණ්ඩා මහතා මා හා කීය.

නමුත් ඒ සම්බන්ධයෙන් ඒ යුවළට කී පසු ඔවුන් මුතුබණ්ඩා මහතාට කියා ඇත්තේ ඒ පුද්ගලයාගේ පෙනුම, කතාබහ, හැසිරීම් විලාසය ආදී කරුණු අනුව බලන විට ඔහු තුළ කිනම් හෝ ආධ්‍යාත්ම ශක්තියක් ඇති බව තමන්ට වැටහුණු බව ය.

 

anu2
‘‘කොහොම හරි ඔන්න පහුගිය දවස්වල මේ අනුරාධපුරය අවට තැන් කීපයකම කඩුපුල් පිපිලා තිබුණා. මේ කිට්ටුව තියෙන කටුකැලියාව හරියේ කඩුපුල් පිපිලා තියෙනවා මටත් බොහොම අහම්බෙන් දකින්න ලැබුණා. ඊට පහුවෙනිදා උදේ මම අර මහත්තයට ටෙලිෆෝන් කරලා, ‘ඔන්න දැන් මෙහේ නම් තැන් කීපයක කඩුපුල් පිපිලා තියෙනවා. අර මනුස්සයා කඩුපුල් පූජාව ගැන මොනවා හරි කිව්වද?’ කියලා ඇහුවා.

එතකොට, ‘තාම නම් නෑ, සමහර වෙලාවට ඒ මනුස්සයට ඒවා හොයාගන්න බැරි වුණාද දන්නෙත් නෑනේ’කියලා කිව්වා. ඒත් එතකොට මම කිව්වා, ‘ඒ වුණාට ඉතින් විශ්ව ශක්තිය තියෙන කෙනෙකුට එහෙම වෙන්න විදියකුත් නෑ නේද?’ කියලා.’’මුතුබණ්ඩා මහතා කීය.

කෙසේ හෝ සිත තුළ පැනනැගුණු සැකය සහ කුතුහලය නිසා ඔහු දී ඇති දුරකතන අංකය භාවිතා කොට උපායශීලී ලෙස ඔහු හමුවිය හැකි ක්‍රමයක් පිළිබඳව මම මුතුබණ්ඩා මහතා දැනුවත් කළෙමි.

‘‘අර ශක්‍ර දෙවියන්ට පින් දෙන්න කඩුපුල් මල් පූජා කරන මනුස්සයව මම හොයාගත්තා. මම යනකොට මිනිහා නහයෙන් කටින් එන්න කසිප්පු ගහලා පාළු ගෙදරක තව ඒ වගේ කීපදෙනෙක් එක්ක බජව්වක් දානවා.’’

මගේ ඉල්ලීම පිට ඒ පුද්ගලයා ගැන සොයා බැලූ මුතුබණ්ඩා මහතා කීයේ අනුරාධපුර පූජා නගරය ආශ්‍රිතව සිදුවෙන ආධ්‍යාත්මික ජාවාරම් ජාලය පිළිබඳ එක් නිදසුනක් පමණක් අප හමුවට ගෙන එමිනි.

032

එමෙන්ම මෙම තත්වය අනුරාධපුරයට හෝ අප රටට පමණක් සීමා වූවක් නොවේ.සකල ලෝකවාසී බෞද්ධයන් ගේ මුදුන් මල්කඩ වන ඉන්දියාවේ බුද්ධ ගයාව ආශ්‍රිතව ද මෙවන් ජාවාරම් ජාලයක් පැතිර පවතින බව ද රහසක් නොවේ.

anu5මාධ්‍යවේදී චන්ද්‍රරත්න ඉලංගකෝන්“ඔය බුද්ධ ගයා භූමිය අවට යෝගීන් තාපසයන්, සන්‍යාසීන්,ස්වාමි වරුන් වගේ හැසිරෙමින් වන්දනා කාරයන් ගසා කන ජාවාරම් කාර පිරිස් ඕනෙ තරම් ඉන්නවා. ඒ වගේ කෙස් රැවුල් වවා ගෙන තාපසයෙක් විදිහට රඟපාන මිහිහෙක් ගැන මාත් පෞද්ගලිකවම දන්නවා. මිනිහා හැමදාම පාන්දරට මිනිහ දවල්ට පොරවන අර කහ පාට රෙද්ද සයිකලේ ලගේජ් එකේ බැඳගෙන ඔය බුද්ධ ගයා සීමාවට ඇවිත් වන්දනා කාරයෝ රවට්ටා ගෙන ලොකු ගාණක් ගසා කනවා. ඊළඟ මිනිහා හවස කරන්නේ ඇඳුම් මාරු කරගෙන ඒ සයිකලේ ගෙදර යන ගමන් අතර මඟදී සිහි විකල් වෙනකම් බොන එක. ඒ වගේම මිනිහට වන්දනා කාරයො අල්ලලා දෙන අයට ඒකෙන් කොමිස් එකක් ගන්නත් පුළුවන්; නමුත් අපේ රටෙන් යන අය නම් කීයට වත් ඒ වගේ පහත් තත්වයකට වැටෙන්නෙ නෑ. ඒක සහතිකයි”එම කතාව පසුගිය දා මා හා පවසා සිටියේ දඹදිව වන්දනා ගමන් සංවිධායක වරයකු ද වන ගල්ගමුව ප්‍රාදේශීය මාධ්‍යවේදී චන්ද්‍රරත්න ඉලංගකෝන් සහෘදයා විසිනි.

anu4මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර“ආගමික සිද්ධස්ථාන ආශ්‍රිතව ක්‍රියාත්මක වෙන ජාවාරම් යාන්ත්‍රණයන් පිළිබඳව ලෝකයේ බොහෝ රට වල සමාජ විද්‍යාත්මක අධ්‍යයනයන් කෙරිලා තියනවා. නමුත් අපේ රටේ ඒ වගේ දෙයක් පුළුල් විදිහට සිද්ද වෙලා නෑ. ඒකට හේතුව ඒවාට සම්බන්ධ වෙන අය ආගම් ද්‍රෝහීන් විදිහට හැඳින්වෙන්න පුළුවන් හින්දයි. නමුත් ඒ වගේ විෂයන් සම්බන්ධයෙන් මාධ්‍ය මඟින් ජනතාව දැනුවත් කිරීම සමාජ යහ පැවැත්මට හේතු වෙනවා’ මේ සම්බන්ධයෙන් මා හා අදහස් පළ කළ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ හිටපු මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර කීය.

එමෙන්ම විසි වන සියවසේ ඉන්දියාවේ පහළ වූ ශ්‍රේෂ්ඨතම දාර්ශනිකයකු වූ ජිඩ්ඩු ක්‍රිෂණමූර්ති සූරීන් පවසා ඇත්තේ ඇතැම් විට මෙම ජාවාරම් ජාලයනට බාහිර පුද්ගලයන් සේම එම සංවිධාන හා ආයතන වල පරිපාලන ව්‍යුහයන් ද සෘජුවම හෝ වක්‍රව සම්බන්ධ බවකි.

 

anu3”ආගමක් සංස්ථා ව්‍යුහයක් ලෙස පුළුල් වීමේ දී ඒ තුළින් පළමුව ගනු දෙනු ද දෙවනුව ව්‍යාපාර ද තෙවනුව ජාවාරම් ද ඉස්මතු විය හැක” - ජිඩ්ඩු ක්‍රිෂ්ණමූර්ති

 

”ආගමක් සංස්ථා ව්‍යුහයක් ලෙස පුළුල් වීමේ දී ඒ තුළින් පළමුව ගනු දෙනු ද දෙවනුව ව්‍යාපාර ද තෙවනුව ජාවාරම් ද ඉස්මතු විය හැක” ජිඩ්ඩු ක්‍රිෂණමූර්ති සූරීන්තිගේ එම ප්‍රකාශය අප රටට හා වර්තමානයට කෙසේ ආදේශ කර ගත හැකි දැයි සිතා බැලීම ඔබට භාර කරමින් මම නිහඬ වෙමි.

WhatsApp Image 2024 02 13 at 4.20.58 PM(සටහන | තිලක් සේනාසිංහ)
ගවේෂණාත්මක මාධ්‍යවේදී
thilaksenasinghe@gmail.com

(උපුටා ගැනීම- vinivida.lk)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...