රට පුරා අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ සෘජු පාර්ශවලින් මෙන්ම ගුරු සංගම් ඇතුළු විද්වතුන් හා සිවිල් සංවිධාන රැසක් මේ වන විට උක්ත අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව පිළිබඳ ඍණාත්මක ආකල්පයකින් පසුවන අතර, ජනතාව විසින් පත් කරගන්නා ලද ප්‍රගතිශීලී ආණ්ඩුවක් තමන් බලයට පත්වීමට පෙර සිටිම දූෂිත යැයි සඳහන් කරමින් මහ මඟ කෑමොර දෙමින් ජනතාව මගින් ඊට විරෝධය පළකිරීමටත් එවැනි සර්ව සාධාරණ නොවූ ඕනෑම න්‍යායාත්මක සංකල්පයන් සාකච්ඡාවට නොගෙනම හකුළවා ගත යුතු බවට ප්‍රසිද්ධියේ කටයුතු කිරීමත් මෙහෙය වූ පසුබිමක වර්තමානයේ දී මේ ආකාරයට එකී අධ්‍යාපන ප්‍රතිපත්තිම නැවත සිය ආණ්ඩුවක් තුළින් මහත් හරිසරයෙන් පිළිගැනීමම අනුන්ගේ වස්ත්‍රයකින් සැරසී තමන්ගේ එකක් ලෙස ප්‍රදර්ශනය කර හත්පොළේ ගා ගැනීමක් ලෙස හැඳින්විය හැකිය.
"මෙය ඛේදනීය හාස්‍යයක් " - මහාචාර්ය අර්ජුන පරාක්‍රම

මෙහිදී මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පසුගිය දිනෙක අධ්‍යාපන සංවර්ධන සන්ධානය මගින් කොළඹ දී පැවැත්වූ විශේෂ සාකච්ඡා වාරයකදී මහාචාර්ය අර්ජුන පරාක්‍රම විසින් පල කළ අදහස් සම්බන්ධයෙන්ද මාධ්‍යය තුළ නව පිබිදීමක් ඇතිවිය.
මහාචාර්යවරයා පවසන්නේ මෙය වර්තමාන ආණ්ඩුව විසින් ගෙන එනු ලබන ඊනියා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක් බවත්, මෙම ආණ්ඩුව පත්කර ගැනිම පිළිබඳ ජනතාවට සිහිනයක්වත් නොතිබූ කාලයකදී රනිල් වික්‍රමසිංහ විසින් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ලෙසින් එළිදක්වීමට කටයුතු කරන ලද, එවකට සිවිල් සමාජය හා අධ්‍යාපන විද්වතුන්ගේ දැඩි දෝෂාරෝපණයට ලක්ව ක්‍රමයෙන් හකුලවා ගන්නා ලද ජනතාවගෙන් ප්‍රතික්ෂේපිත වූ පොතක අඩංගු කරුණු තමන්ගේ ප්‍රතිපත්තියක් ලෙසින් ආණ්ඩුව කඩිමුඩියේ ගෙන ඒමට කටයුතු කිරීම ඛේදනීය හාස්‍යජනක සිද්ධියක් බවයි.
විෂයමාලා පරිවර්තන හෝ කාල දිගුවෙන් නොවැසෙන සැබෑ අධ්‍යාපන ගැටළු .....
මෙරට අධ්‍යාපන ප්‍රතිපත්ති සකස් කිරීම හා නිර්දේශ ඉදිරිපත් කිරීම ඇතුළු සුවිශේෂි කටයුතු සම්බන්ධයෙන් ප්‍රමුඛ ආයතන ලෙස සැළකෙන ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව හා ජාතික අධ්‍යාපන ආයතන විසින් ඉදිරිපත් කරන ලද විශේෂ පර්යේෂණ හා ප්‍රකාශන වාර්ථා පිළිබඳ අනාවරණය වුවත් ඒ සියල්ලට මෙතෙක් මෙරට ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය තුළ නෛතික වටිනාකමක් හිමිවී නැත. ඊට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ එය ශ්‍රී ලංකාව තුළ නිදහස් අධ්‍යාපනය තහවුරු කිරීමටත්, නිදහස් අධ්‍යාපනය භුක්ති විඳීම සඳහා සමස්ත ශිෂ්‍ය ප්‍රජාවට සමාන වූ ප්‍රවේශයන් ඇතිකරදීමටත්, මෙම ක්‍රියාවලියන් සඳහා බහුතර පොදු මහජනතාවගේ හා ඒ හා සම්බන්ධ සියලු අධ්‍යාපන ක්ෂේත්‍රයන්හි පාර්ශව සම්බන්ධ කරගනිමින් නිසි මැදිහත්වීමක් සිදු කර නොගැනීමයි.
එමෙන්ම අනිත් සුවිශේෂි කාරණය වන්නේ කලින් කලට පත්වන විවිධ ආණ්ඩුවල තාවකාලික ප්‍රතිපත්ති හා සැළසුම් මතත් විදේශ වැඩසටහන්වල අති විශාල අරමුදල් ලබා ගැනීමේ අනියම් පරමාර්ථයෙන් මෙම අධ්‍යාපන ප්‍රතිපත්ති කඩනමින් සිදුකරන බවට වූ සමාජයෙන් නැගෙන බලවත් චෝදනාවයි.
තවද මේ වන විට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලෙස සාමාන්‍ය ජනතාවගේ ව්‍යවහාරය තුළ පවතින්නේ පාසල් කාලපරිච්ඡේදයක මිනිත්තු ප්‍රමාණය විනාඩි 40 සිට විනාඩි 50 දක්වා වැඩි වැඩි කිරීමට යාමත්, එම නිසා පාසල ඇරෙන වැසෙන වේලාව වැඩිවීමත්, නැතහොත් නව විෂයන් හෝ ඇගයීම් ක්‍රම හඳුන්වා දෙමින් විෂයමාලා වෙනස් කිරීමට දායක වීමත් යන පටු කාරණා කීපයක් සම්බන්ධයෙනි.

සැබවින්ම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා ප්‍රතිපත්ති රාමුව අනුගත විය යුත්තේ මිලියන 20ක ජනගහනයක් නියෝජනය කරන ලක්ෂ ගණනක් වූ මෙරට ශිෂ්‍ය ප්‍රජාවගේ නිදහස් අධ්‍යාපනයේ අයිතිය නූතන ලෝකයට ගැලපෙන පරිදි සංවර්ධනය කරමින් හිසත්, දෑතත්, හදවතත් සපිරුණු පුරවැසියන් බිහිකරන නැණවත් හා ගුණවත් අධ්‍යාපන ක්‍රමයක් ස්ථාපිත කිරීමෙනුයි.
(සටහන | ජනක බෝකුඹුර )
නිදහස් මාධ්‍යවේදී
rbjsofficial@gmail.com




