The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක්ද ? විෂයමාලා ප්‍රතිසංස්කරණයක්ද ? අදහසක්වත් අධ්‍යාපන අමාත්‍යාංශයට නැහැ | අජිත් අමරසිංහ

T

The Leader Desk

August 5, 2025 • 10:23 AM

අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක්ද ? විෂයමාලා ප්‍රතිසංස්කරණයක්ද ? අදහසක්වත් අධ්‍යාපන අමාත්‍යාංශයට නැහැ | අජිත් අමරසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පසුගිය ජූලි මාසයේ 11 වැනිදා PowerPoint presentation එකකින් යම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යැයි සඳහන් කරමින් කොතැනක හෝ කවරෙකු විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවලියක් නිසා, අතිශය ව්‍යාකූල තත්ත්වයක් රටේ නිර්මාණය වෙලා තිබෙනවා.
  • නමුත් මේ presentation එක නිර්මාණය කලේ කවරෙකු විසින් හෝ කවර කණ්ඩායමක්ද කියලා සඳහන් නැහැ.
  • මෙහි අන්තර්ගතය කියවන විට තේරෙණවා මේක අධ්‍යාපන අමාත්‍යාංශයේ presentation එකක් කියලා කිව්වට, ඇත්ත වශයෙන්ම මේක ජාතික අධ්‍යාපන ආයතනයේ - National Institute of Education (NIE) එකේ නිර්මානයක් කියලා.
  • එහෙම නොවේනම් දැන්වත් මෙය කාගේ නිර්මාණයක් දැයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කලයුතුයි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

පසුගිය ජූලි මාසයේ 11 වැනිදා PowerPoint presentation එකකින් යම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යැයි සඳහන් කරමින් කොතැනක හෝ කවරෙකු විසින් ඉදිරිපත්  කරන ලද යෝජනාවලියක්  නිසා, අතිශය ව්‍යාකූල තත්ත්වයක් රටේ නිර්මාණය වෙලා තිබෙනවා. මේ දක්වා මේ ප්‍රතිසංස්කරණ මොනවද කියලා කිසිම ලිඛිත ලියවිල්ලක් නැහැ.

ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කරනවා නම්, එක්කෝ ප්‍රතිසංස්කරණ සම්බන්ධ කෙටුම්පතක්, එහෙම නැතිනම් ප්‍රතිසංස්කරණ සම්බන්ධ අංග සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කළ යුතුයි. නමුත් අද දක්වා එවැනි කෙටුම්පතක් හෝ සම්පූර්ණ වාර්තාවක් තවම ඉදිරිපත් කරලා නැහැ.

 

අගමැතිනිය, යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ මන්ත්‍රීවරුන් දැනුවත් කරයි
මේ PowerPoint presentation එකේ තියනවා එය අධ්‍යාපන අමාත්‍යාංශයේ presentation එකක් කියලා. නමුත් මේ presentation එක නිර්මාණය කලේ කවරෙකු විසින් හෝ කවර කණ්ඩායමක්ද කියලා සඳහන්  නැහැ. මෙහි අන්තර්ගතය කියවන විට තේරෙණවා මේක අධ්‍යාපන අමාත්‍යාංශයේ presentation  එකක් කියලා කිව්වට, ඇත්ත වශයෙන්ම මේක ජාතික අධ්‍යාපන ආයතනයේ - National Institute of Education (NIE) එකේ නිර්මානයක් කියලා. එහෙම නොවේනම් දැන්වත් මෙය කාගේ නිර්මාණයක් දැයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කලයුතුයි.

මේ PowerPoint presentation එක අධ්‍යනය කළ විට පැහැදිලිව පේනවා මේකේ තියෙන්නේ විෂයමාලා ප්‍රතිසංස්කරණයක් මිස ලංකාවේ අධ්‍යාපනය වෙනස් කිරීම නොවෙයි කියලා. මෙය අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් කියලා අධ්‍යාපන අමාත්‍යතුමිය වරදවා වටහා ගෙන තිබෙනවා. මේ දෙක අතරේ විශාල වෙනසක් තිබෙනවා.විෂයමාලා ප්‍රතිසංස්කරණය කියලා කියන්නේ ළමයින්ට උගන්වන දේ වෙනස් කිරීම. අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් කියලා කියන්නේ ඒ උගන්වන දෙයින් ඔබ්බට ගිහිල්ලා පාසල් පද්ධතිය, ව්‍යුහයන්,  නිලධාරී මණ්ඩල, විභාග ක්‍රමය ආදි දේවල් වෙනස් කරන එක.

පාසල් වැසීම සහ 'නිදහස් අධ්‍යාපනය' ගැන නොසොයන කතා | කුසල් පෙරේරා

මේ PowerPoint presentation එකේ දෙවැනි ස්ලයිඩ් එකේ තියෙනවා, මේ ක්‍රියාවලිය ආරම්භ කරලා තියෙන්නේ 2019 දී කියලා. ඒ ආරම්භ කළ ක්‍රියාවලිය සඳහා  2022 දී පමණ ආසියානු සංවර්ධන බැංකුවත් එක්ක යම්කිසි ආකාරයක එකඟතාවයක් ඇති කර ගෙන තිබෙනවා, අවබෝධතා ගිවිසුමක් තිබෙනවා. ඒ අවබෝධතා ගිවිසුමේ හැටියට තමයි ඉදිරියට වැඩ කර ගෙන ගිහින් තියෙන්නේ, මේක අවුරුදු හයක ක්‍රියාදාමයක්. අධ්‍යාපන අමාත්‍යතුමියට හෝ අදාළ බලධාරීන්ට මේකවත් හරියට පැහැදිලිව කියා ගන්න නො හැකි වෙලා තිබෙනවා.

මේකේ තිබෙන ප්‍රශ්නේ තමයි මේ ක්‍රියාවලියට සම්බන්ධ වෙලා තියෙන්නේ ජාතික අධ්‍යාපන ආයතනය පමණයි. නමුත් ජාතික අධ්‍යාපන ආයතනයට රටේ අධ්‍යාපන ප්‍රතිපත්තිය සම්පාදනය කරන්න බෑ. ජාතික අධ්‍යාපන ආයතනය කියලා කියන්නේ ලංකාවේ විෂයමාලා සෑදීම සහ විෂයමාලා වලට අදාළව ගුරුවරුන් පුහුණු කිරීමේ ආයතනය. එතනින් එහාට, අඩු ගානේ පාසල් පද්ධතිය වෙනස් කිරීමටවත් මේ ආයතනයට බලයක් නැහැ.

බල්ලගේ වැඩේ බුරුවා භාරගැනීම

isurupaya
අධ්‍යාපන අමාත්‍යාංශයේ තිබෙන ප්‍රධානතම ප්‍රශ්නය තමයි ඒ ඒ අංශවල ඉන්න පුද්ගලයින්, නිලධාරීන් තමන්ගේ විෂය පථය, පරිමාණය,ප්‍ර මාණය ගැන දැනුවත්ව නොසිටීම. ඔවුන්ට හැම තිස්සේම තමන්ගේ බලය අතික්‍රමණය කරනවා. තමන් කරන්න ඕනේ වැඩේ නොකර අනෙක් අය කලයුතු හැම වැඩක්ම කරනවා. අධ්‍යාපන අමාත්‍යංශයේ දිගුකාලීනව සේවය කරන, ඝනීභුතවූ නිලධාරීන් හැමදාම කලේ බල්ලගේ වැඩේ බුරුවා  භාරගැනීම වගේ වැඩ.  

1985 අංක 28 දරන පනතින් ස්ථාපනය කෙරුණු ජාතික අධ්‍යාපන ආයතනයේ කාර්යභාර එහි එහි 3 a සිට g දක්වා වගන්තිවලින් පැහැදිලි කරනවා. මේ අතරට ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ප්‍රතිපත්තිය වෙනස් කිරීම ඇතුලත් නෑ.

edu commission

ඒ කාර්යය පැවරී තිබෙන්නේ 1991 අංක 19 දරන පනතින් ස්ථාපනය කරන ලද ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවටයි. එහි 2 වෙනි වගන්තියේ පැහැදිලිවම සඳහන් වෙනවා රටේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය සැකසීම ජනාධිපතිතුමා විසින් පත්කරනු ලබන සාමාජිකයන්ගෙන් සමන්විත ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් කලයුතු කාර්යයක් බව. එහි 4 වෙනි වගන්තියට අනුව අධ්‍යාපන ඇමති ඒ කොමිෂන් සභාවේ සාමාජිකයෙකුවත් නෙවෙයි. දේශපාලඥයන්ට මේ කොමිෂන් සභාවේ සාමාජිකත්වය ගැනීම එහි 4.2 වගන්තියෙන් තහනම් කොට තිබෙනවා. මේ කොමිසමේ නිර්දේශ අනුව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය ඉදිරිපත් කිරීම ශ්‍රී ලංකාවේ ජනාධිපති විසින් කලයුතු බව පනතේ 2.1 වගන්තියේ ඍජුවම පවසා තියෙනවා.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳ සිදුකරන සංවාද සහ යෝජනා චෝදනා ඉතා වැදගත් -  අගමැතිනිය

මේ නෛතික තත්ත්වය ගැන ගරු අධ්‍යාපන ඇමතිතුමිය දැනුවත් කිරීමට අධ්‍යාපන අමාතංශයේ නිලධාරීන් කටයුතු කර නෑ. එහෙම කලානම් විශ්වවිද්‍යාල ආචාර්යවරියක් වූ එතුමිය මේ කාරණාව අවබෝධ කරගැනීමට බොහෝදුරට ඉඩ තිබුනා. මේ අනවබෝධය නිසා මේ මුළු ක්‍රියාදාමයම ව්‍යාකුල වී තිබෙනවා පමණක් නොවෙයි, එහි නීතිමය ගැටළු ඇතිවිය හැකියි.

වැදගත්ම දේ තමයි මේ රටේ අධ්‍යාපන ඇමැතිට බලයක් නැහැ මේ රටේ අධ්‍යාපන ප්‍රතිපත්තිය වෙනස් කරන්න. “මම අරවා කරනවා, මේවා කරනවා” කියලා කිව්වට අධ්‍යාපන ඇමැතිට එහෙම කරන්න බෑ. ඒකට බලතල තියෙන්නේ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවට හා ජනාධිපතිතුමාට. නමුත් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යැයි සඳහන් කරන දේ වලට ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව සම්බන්ධ වෙලා නැහැ.

ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුළ තිබෙන ලොකුම අවුල අතිකරලා තියෙන්නේ ජාතික අධ්‍යාපන ආයතනය. ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරීන් දන්නේ නැහැ තමන් කළ යුතු  නොකළ යුතු දේ සහ තමන්ගේ සීමාවන් මොකක්ද කියලා. සරල උදාහරණයක්.  ලංකාවේ දෙක වසරේ සිට 11 වසර දක්වා ඉංග්‍රීසි ඉගෙන ගන්නවානේ, ඒකට අවශ්‍ය විෂයමාලාව හදන්නේ ජාතික අධ්‍යාපන ආයතනයනේ. නමුත් ප්‍රතිඵලය මොකක්ද ? නමුත් 11 වසරේ  ළමයින්ගෙන් කී දෙනාටද හරියට ඉංග්‍රීසියෙන් වාක්‍ය තුනක් ලියා ගන්න පුළුවන්. වෙන රටවල මාස හයෙන් දෙවෙනි බසක් උගන්වනවා.

සැමට ඉංග්‍රිසි මාධ්‍ය අධ්‍යාපනය සුරංගනා කතාවක් ද?- (හර්ෂා සුගතදාස)

 

අපි පාසැල්වල කරන්නේ ඉංග්‍රිසි ගැන ලමයින්ගේ හීනමානයක් අතිකරලා සදහටම ඒක එපා කරන එකයි. මේකට දේශපාලනය සම්බන්ධ නැහැනේ. දේශපාඥයන් කිව්වේ නෑනේ ලමයින්ට හරියට ඉංග්‍රිසි උගන්න්න එපා කියලා. එය ජාතික අධ්‍යාපන ආයතනය විසින් කළ යුතුයි. ඔවුන්ට කරන්න පුළුවන්. නමුත් ඒක කරන්නේ නැහැ. ඒ අය කියයි අපිට ඉංග්‍රීසි ගුරුවරු මදි කියලා. ඉංග්‍රීසි ගුරුවරු ඉන්න පාසැල්වල ලමයිනගේ ඉංග්‍රීසි හොඳද? ජාතික අධ්‍යාපන ආයතනය තමුන්ගේ කාර්යය නොකර රටේ අධ්‍යාපන ප්‍රතිපත්තිය වෙනස් කරන්න යනවා.

කලලයකට දරු නැලවිලි ගී ගැයීම

මේ PowerPoint presentation එකේ ජාතික අධ්‍යාපන ආයතනය කියනවා ඒ අයගේ යෝජනා ක්‍රියාත්මක කිරීමට කාර්ය සාධක බළකායක් පත් කරන්න කියලා. ඒ එක්කම කියනවා  ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව මේකට ඇතුළු කර ගන්න කියලා. නමුත් මේක අනික් පැත්තට සිදුවිය යුතු දෙයක්. ඇත්තටම රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරනවා නම් ඒකේ නායකත්වය ගත යුත්තේ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින්. ජාතික අධ්‍යපන ආයතනය කළ යුත්තේ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව ගන්න තීරණවල තාක්ෂණික කොටස ක්‍රියාත්මක කිරීමයි. නමුත් දැන් සිදුවෙලා තියෙන්නේ ‘වලිගය විසින් බල්ලා වැනීමට යාම’වැනි තත්ත්වයක්.

 

අධ්‍යාපනය ගොඩ දැමීම කණ්ඩායම් කල්ලි වලට කළ නොහැක | කුසල් පෙරේරා

අපේ රටට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවශ්‍ය බවට කිසිම විවාදයක් නෑ. ඒ පලියට කොහේ හෝ තිබුනු PowerPoint presentation එකක් ක්‍රියාත්මක කිරීමට යාම තරම් මෝඩ කමක් තවත් නෑ. මේක යෝජනා පිලිබඳ කළලයක්. අඩුම ගනනේ දරුවෙකුවත් නොවෙයි. අපේ අධ්‍යාපන ඇමතිතුමිය කලලයකට දරු නැලවිලි ගී ගැයීමට පටන්ගත්ත  නිසා විශාල කලබැගෑනියක් ඇතිවී තිබෙනවා. මුලින්ම ලියවිල්ලක් ඉදිරිපත් කලයුතුයි. ඉන්පසුව ඒ ලියවිල්ල සාකච්චාවට ගතයුතුයි. ඉන්පසුව එය ක්‍රියාත්මක කලයුතුයි. මේ සියල්ල පවතින  නීතිමය රාමුව තුල සිදුවිය යුතුයි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලංකඩේට පැනපු හරකෙක් වගේ කලබලේට කරන්න බැහැ.

මෙහෙම කිව්වාම කියයි අපි මේවා අවුරුදු හයක් තිස්සේ වැඩි දියුණු  කලා කියලා. කවුද මේ “අපි”. අපි නම් දන්නේ නෑ. මම පැහැදිලිව කියනවා මේ කියන යෝජනාවලිය සාකච්ඡා වුණා නම් ඒ ජාතික අධ්‍යාපන ආයතනය තුළ පමණයි.මේ රටේ අධ්‍යාපනයේ පරිහාණියට වගකිවයුතු ආයතනය තමයි ජාතික අධ්‍යාපන ආයතනය. ඒ පරිහාණියට වගකිව යුතු ආයතනය විසින් සම්පාදනය කළ ලියවිල්ලක් ක්‍රියාත්මක කිරීමට යාම තරම් තවත් මෝඩකමක් නැහැ.

 

අධ්‍යාපනය ගොඩ දැමීම කණ්ඩායම් කල්ලි වලට කළ නොහැක | කුසල් පෙරේරා
ඒ වුනාට දැන් කලයුත්තේ යම් ලියවිල්ල ඇත්නම් එය විමර්ශනයට භාජනය කිරීමයි. ලියවිල්ලක් නැතුව අරවා කරනවා මේවා කරනවා කියමින් නන් දෙඩවීම නොවෙයි. ඒ වගේම ජනාධිපතිතුමා ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවට නියෝගයක් කළ යුතුයි, මේ සම්බන්ධව විමසීම සඳහා මහජන මත කැඳවලා, යම්කිසි කාලයක් ඇතුළත (මාස තුනක් හෝ හයක් වැනි) තීරණයක් දෙන්න කියලා. විෂයමාලා ප්‍රතිසංස්කරණවලින් ඔබ්බට ගිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධ යෝජනා දෙන්න කියලා ජනාධිපතිවරයා ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවට වහාම නියෝග කළ යුතුයි.

(ළමා රෝග විශේෂඥවරයකු වන වෛද්‍ය අජිත් අමරසිංහ තවත් විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් සමඟ මීට දශකයකට පෙර පාසැල් අධ්‍යාපනයේ ගැටලු නිසා ළමුන්ට ඇතිවන මානසික පීඩනය ගැන ජාතික මට්ට්මේ දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් දියත්කල අතර, ඒ පිළිබඳව පොත් හා ලිපි සම්පාදනය කර ඇත. ඔහු ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ පාසල් අධ්‍යාපනය සම්බන්ධ කමිටු සාමාජිකයෙකු ලෙසද කටයුතු කර ඇත.)

දක්ෂ ව්‍යාපාරිකයෝ අදක්ෂ රාජ්‍ය පාලකයෝය (ධම්මිකගේ සිහින) - විශේෂඥ වෛද්‍ය  අජිත් අමරසිංහ
(සමාජ- ඉතිහාස විශ්ලේෂක)
Amarasinghe_ajith@yahoo.com

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...