The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ඉබ්බෙකු ගේ ‘සුළු දිය’ වලටත් යට වන අඩි හතරේ යෝධයා තැනූ විස්මිත වේල්ල | තිලක් සේනාසිංහ

T

The Leader Desk

August 8, 2025 • 4:57 PM

ඉබ්බෙකු ගේ ‘සුළු දිය’ වලටත් යට වන අඩි හතරේ යෝධයා තැනූ විස්මිත වේල්ල | තිලක් සේනාසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එහෙත්, ඒ අතරේ අඩි හතරේ යෝධයකු පිළිබඳ කතා පුවතක් ඔබ බොහෝ දෙනකු අසා නොමැති බව සහතික ය.
  • කොළඹ- මීගමුව ප්‍රධාන මාර්ගයේ කඳාන නගර මධ්‍යයේ ඇති ශාන්ත සෙබස්තියන් මුනිද්‍රයන්ගේ සුරුවම අද්දරින් වමට හැරෙන මාර්ගය ඔස්සේ ශාන්ත සෙබස්තියන් සිද්ධස්ථානය හා නෑදුරුපිටිය පසු කළ විට කොළඹ- කටුනායක අධිවේගී මාර්ගයට ඉහළින් වැටී ගත් උස් ගුවන් පාලම පසු කිරීමට ඔබට පුළුවන.
  • මෙම වේල්ල තැනූ බව පැවසෙන අඩි හතරේ යෝධයා හිටපු රාජ්‍ය මන්ත්‍රණ සභා සභිකයකු වූ කඳානේ ඩී.
  • ප්‍රදේශවාසීන් පන්ති මහත්තයා ලෙස හැඳින් වූ මුත් ඔහු එවක සමාජයේ පැවැති පන්ති භේදය තුට්ටුවකටවත් මායිම් නොකළ සැබෑ සම සමාජ පිළිවෙතක් අනුගමනය කළ අමුතුම ජාතියේ යූ.
අකුරු ප්‍රමාණය (Font Size):

එහෙත්, ඒ අතරේ අඩි හතරේ යෝධයකු පිළිබඳ කතා පුවතක් ඔබ බොහෝ දෙනකු අසා නොමැති බව සහතික ය. නමුදු මීට දශක කිහිපයක් තෙක්ම අඩි හතරේ යෝධයාගේ වේල්ල යනුවෙන් ප්‍රදේශවාසීන් විසින් හඳුන්වන ලද මාර්ගයක් පමුණුගම උස්වැටකෙයියාව ප්‍රදේශයේ තිබේ.

කොළඹ- මීගමුව ප්‍රධාන මාර්ගයේ කඳාන නගර මධ්‍යයේ ඇති ශාන්ත සෙබස්තියන් මුනිද්‍රයන්ගේ සුරුවම අද්දරින් වමට හැරෙන මාර්ගය ඔස්සේ ශාන්ත සෙබස්තියන් සිද්ධස්ථානය හා නෑදුරුපිටිය පසු කළ විට කොළඹ- කටුනායක අධිවේගී මාර්ගයට ඉහළින් වැටී ගත් උස් ගුවන් පාලම පසු කිරීමට ඔබට පුළුවන.

ඉන් ඔබ්බේ සිට මීගමුව – කොළඹ විකල්ප මාර්ගය හා සම්බන්ධ වන නුගපෙ ගම්වරය මුතුරාජවෙල තෙත් බිම මැදින් කිලෝ මීටර් දෙක හමාරක් පමණ යන තෙක් දැකිය හැක්කේ මෙම අඩි හතරේ යෝධයාගේ වේල්ල හෙවත් ජයසූරිය වේල්ල නම් වන මහා මාර්ගයයි.

එදා මෙදා තුර එම මඟ දෙපස ජීවත් වන පවුල් දහස් ගණනකට බරපතළ තර්ජනයකට මුහුණ දීමට සිදුවේ. ඔවුන් ගේම වදන්වලින් කිව හොත් මුතුරාජවෙල ඉබ්බෙකුට ටිකක් වැඩිපුර සුළු දිය පහ වුණත් ජයසූරිය වේල්ල අවට මුළුමනින් ගංවතුරෙන් යට වෙයි.

 

wella1

ජයසූරිය වේල්ල

 

නමුත් ඊට පෙර මෙම අඩි හතරේ යෝධයාගේ ගේ වේල්ල නමින් අතීතයේ ප්‍රචලිත වූ ජයසූරිය වේල්ලේ යටගියාව පිළිබඳව යමක් කිව යුතු ය.

මෙම වේල්ල තැනූ බව පැවසෙන අඩි හතරේ යෝධයා හිටපු රාජ්‍ය මන්ත්‍රණ සභා සභිකයකු වූ කඳානේ ඩී. පී. ජයසූරිය මහතා ය. ඉතා කුඩා සිරුරකින් හා කඩියකු ගේ බඳු කාර්යක්ෂම හැසිරීම් රටාවකින් යුතු ඔහු ගම්මුන් විසින් හඳුන්වන ලද්දේ “පන්ති මහත්තයා”යනුවෙනි. ඒ ඔහුගේ සම්පූර්ණ නම දොන් පන්තිනියෙස් ජයසූරිය වූ බැවිනි.

ප්‍රදේශවාසීන් පන්ති මහත්තයා ලෙස හැඳින් වූ මුත් ඔහු එවක සමාජයේ පැවැති පන්ති භේදය තුට්ටුවකටවත් මායිම් නොකළ සැබෑ සම සමාජ පිළිවෙතක් අනුගමනය කළ අමුතුම ජාතියේ යූ. එන්. පී. කාරයකු ලෙස එවක ප්‍රසිද්ධ විය. ගොවියාගේත්, ධීවරයාගේත්, රා මදින්නාගේත් කරට අත දමා කතා කිරීම සේම ප්‍රදේශයේ දුප්පත් නිවෙස්වලින් කහට තේ ඉල්ලා බොමින් සාමාන්‍ය ජනයා අතරේම ජීවත් වීම ඔහුගේ පුරුද්දක්ව පැවැතිණ.

wella9 168x280ඩී.පී ජයසූරිය හෙවත් පන්ති මහත්තයා (වාඩි වී) 1922 වසරේ
නමුත් එවක මුතුරාජවෙල නම් වන යෝධ තෙත් බිමෙන් ඔබ්බෙහි පිහිටි නුගපේ ආදී ගම්මානවල ජනතාවට ඉන් මෙපිට වූ එවක ‘අම්බලම් දෙක’ යනුවෙන් හැඳින්වුණු වත්මන් කඳාන නගරයට ඒමට පහසු හැකියාවක් නොතිබිණ. එවක එම ගැමියන්ට තමන්ට එදි`නෙදා වුවමනා දුරු, මිරිස්. තුනපහ ටික ගැනීම සඳහා අම්බලම් දෙක කරා එන්නට සිදු වූයේ දෙදණක් වන තුරු මුතුරාජවෙල වගුරේ බැස ගෙන ය.

1947 පැවැති මහ මැතිවරණයට පෙර එසේ මුතුරාජවෙල වගුරු බිම තරණය කොට නුගපේ ගම්මානයට ගිය පන්ති මහත්තයා නුගපේ ගැමියන් හමුවේ එක් අභියෝගයක් ඉදිරිපත් කළේය. ඒ “මෙදා පාර මම ඡන්දෙන් දිනුවම මම උඹලට මෙහේ ඉඳන් අම්බලම් දෙකට යන්න මේ මුතුරාජවෙල පාරක් හදනවා. නැත්නම් උඹලා මට ජුහ් ජුහ් කියලා කතා කරපල්ලා යනුවෙනි.”

 

අපි (ලංකාව) දුප්පත් ඇයි...? -(ජයසිරි අලවත්ත)

ශ්‍රීමත් ජෝන් කොතලාවල

 

පන්ති මහත්තයාට විශිෂ්ට ජයක් අත් කර දෙමින් එවර මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය බලයට පත් වූ අතර එහි කර්මාන්ත සහ වැඩ ඇමතිවරයා වූයේ ශ්‍රීමත් ජෝන් කොතලාවලය. ඒ අනුව පන්ති මහත්තයා තම ඡන්ද දායකයන් ගේ මෙම ඉල්ලීම කිහිප වරක් ඇමතිවරයා හමුවේ ඉදිරිපත් කළ මුත් ප්‍රතිඵලයක් ලැබෙන බවක් නොපෙනුණි.

ඒ අනුව පන්ති මහත්තයා කළේ තමන් වෙත ලැබී ඇති ප්‍රතිපාදනවලින් සේම තමන් ගේ පෞද්ගලික මුදල් ද යොදා මුතුරාජවෙල මැදින් අඩි පහක් පමණ උස යෝධ පස් පිරවීමක් කොට එය වේදිකාවක් සේ සකස් කිරීම ය. ඒ සඳහා පස් කියුබ් දහස් ගණනක් වැය වී තිබේ. එහෙත් පාලම්, බෝක්කු කිසිත් නැති අඩි දහයක් පහළොවක් පළල මෙම පස් පිරවුම මහා මාර්ගයකට වඩා වේල්ලක් ලෙස දිස් වූ බැවින් එවක ගම්මු ඊට වේල්ල යැයි කීහ.

මෙම මාර්ගය හෙවත් වේල්ල විවෘත කිරීම පිණිස ඩී.පී. ජයසූරිය පන්ති මහත්තයා ආරාධනා කොට තිබූණේ එවක එම විෂය බාර මහතා වන ශ්‍රීමත් ජෝන් කොතලාවලයන්ට ය.

wella2

ජයසූරිය වේල්ල

 

එමෙන්ම එම වේල්ල මත සිට මුතුරාජවෙල හාත්පස දර්ශනය ද දැක ගනු පිණිස පන්ති මහත්තයා ශ්‍රීමත් ජෝන් කොතලාවල ඇතකු පිට නංවා පෙරහැරකින් එම වේල්ල මතින් කැඳවා ගෙන ගිය බවක් ද පැවසේ. එම වේල්ල විවෘත කිරීමෙන් පසුව නුගපේ දී ජන හමුවක් ඇමතූ ශ්‍රීමත් ජෝන් කොතලාවලයෝ මෙසේ කීහ.

“මම යෝදයන් ගේ වැඩ දැකලා තිබුණා. ඒත් අද තමයි යෝදයෙක්ව දෑහින්ම දැක්කේ. ඒ තමයි උඹලගේ මේ අඩි හතරේ යෝධයා”

ඊට පසුව අඩි පහක් පමණ උසින් යුතු මේ පසින් පිරුණ වේල්ල කාලයාගේ ඇවෑමෙන් පොළොව මට්ටමට සමතලා වූ අතර පසුව ජයසූරිය වේල්ල නමින් ප්‍රකට වූ එම මං පෙත මුතුරාජවෙල සොබා සිරිය විඳගත හැකි හෝ නොමැති පාලු නිසංසල මංපෙතක් ලෙස 1970 දශකයේ අග භාගය තෙක් පැවතුණි. එහි පාළු බව කොතෙක් ද යත් එවක රාත්‍රියේ සේම දිවා කාලවල පවා මෙම ජයසූරිය වේල්ල මත “පෙක්කෝලියා” යන අමුතු නමකින් හඳුන්වනු ලැබූ අවතාරයක් දක්නට ලැබෙන බව ද ප්‍රසිද්ධ විය.

මෙම පෙක්කෝලියා අවතාරය පිළිබඳ කතාව මුතුරාජවෙල නුගපේ ජන්ම ලාභය ලැබූ ප්‍රවීණ ගත්කතුවරයකු හා භාෂා පරිවර්තකයකු වන සිසිල් රුද්‍රිගු ගේ ‘මගේ ගම හෙවත් මුතුරාජවෙල’ ග්‍රන්ථයේ ද සඳහන් වේ.

siril rudrigo
නමුත් 1970 දශකයේ අගභාගයේ දී පමණ අගනුවර හා ආශ්‍රිත ජනගහණය ප්‍රවර්ධනය වත්ම මෝදර මට්ටක්කුලිය ආදී නාගරික ප්‍රදේශවල නොවිධිමත් ආදායම්ලාභී පවුල්වල සාමාජිකයන් මෙම ජයසූරිය වේල්ල දෙපස කුඩා නිවහන් තනා පදිංචි වීම ඇරඹීමත් සමඟ එය ශීඝ්‍රයෙන් ජනාකීර්ණ වීම ඇරඹුණි. එම අනවසර පදිංචි වීම් සඳහා එවක දේශපාලනඥයන් ගේ ද උදව් ලැබී තිබේ.

අද වන විට පුබුදුගම ලෙසින් හඳුන්වන එම ප්‍රදේශයේ පවුල් දහස් ගණනක් පදිංචිව හිඳින අතර ඒ සමඟම නිරන්තරයෙන් සිදු වූ වේගවත් ඉඩම් ගොඩ කිරීම හමුවේ අද වන විට ජයසූරිය වේල්ල අවට සුළු වර්ෂාවකදී වුව ජලයෙන් යට වී එහි පදිංචි කරුවන්ට උන් හිටි තැන් අහිමි වන තත්ත්වයක් උග්‍ර වී තිබේ.

නමුදු මේ වන විට ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ රජයෙන් බලපත්‍ර පවා හිමි කරගෙන හිඳින පමුණුගම, උස්වැටකෙයියාව, පුබුදුගම වාසීන් හෙවත් ජයසුරිය වේල්ල දෙපස පදිංචි කරුවන් පවසනුයේ මේ වන විට තමන් මුහුණ දෙන බරපතළම ගැටලුව ඉතා කුඩා වැස්සක දී පවා තම වාසස්ථාන ජලයෙන් යට වීම බව ය.

wella4 219x239පිලෝමිනා මෙන්ඩිස්“අපි වගේ හැම අවුරුද්දෙම ගංවතුරින් බැට කන මිනිස්සු කොටසක් මේ රටේ නැතුව ඇති. සමහර අවුරුදුවල දෙතුන් සැරයක්ම මේක වෙනවා .පොඩ්ඩක් වැස්සත් මේ හැම තැනම වතුර පිරෙනවා. ටිකක් වැඩිපුර වැස්සොත් ගේ ඇතුළටම වතුර එනවා. එතකොට අපිට කරන්න තියෙන්නේ වතුර බහිනකම් දවස් ගණන් සති ගණන් ගෙවල් වලින් පිටමං වෙලා ඉන්න තමයි” පුබුදුගම පස්වන පටුමගේ පිලොමිනා මෙන්ඩිස් මහත්මිය කීවා ය.

 

wella7 219x239පී.සී.ඩී වෙසර්“පහුගිය කාලේ වතුර ගලන කොට අපි අධිවේගී මාර්ගය හදන්න තියන වැලිකන්ද උඩ ඉටි රෙදි කුඩාරම් ගහගෙන දවස් ගණන් ගත කළා. දැන් ඒක හදලා ඉවර හින්දා වැහි කාලෙට අපිට යන එන මං නෑ. ඒ කාලෙට සමහරු ඉන්නෙ අනුන්ගේ අගු පිල්වල” එසේ පවසනුයේ පුබුදුගම තුන්වන පටුමගේ පී.සී.ඩී. වෙසර් මහතා ය.

විවිධ ජාතීන්ට හා ආගම්වලට අයත් ජනතාවක් වෙසෙන ජයසූරිය වේල්ල දෙපස බහුතරය සිංහල කතෝලිකයෝ ය. ඒ අනුව අපි උස්වැටකෙයියාව, පුබුදුගම ශාන්ත අන්තෝනි දෙව් මැදුරේ භාරකාරත්වය දරන ගරු මාරියස් ක්‍රිශාන්ත පියතුමා ගෙන් ද මේ පිළිබඳව විමසා සිටියෙමු.

wella5පුබුදුගම ශාන්ත අන්තෝනි දෙව් මැදුර
wella6 209x280මාරියස් ක්‍රිෂාන් පියතුමා“මේ අවට ජනතාවට බලපාන ප්‍රධානතම ප්‍රශ්නය තමයි වැහි කාලෙට ඒ අයගේ වාසස්ථාන යටවීම. එතකොට මෙහේ ජන ජීවිතය සම්පූර්ණයෙන් අඩාල වෙනවා මම මේ සම්බන්ධයෙන් ප්‍රදේශයේ වැඩිහිටි කීප දෙනෙකුගෙන් කරුණු විමසලා අපේ අගරදගුරු හිමිපාණන්ගේ මාර්ගයෙන් ජනාධිපති තුමාට අගමැතිතුමියට වගේම තවත් වගකිව යුතු කීප දෙනෙකුට ලිපි යැව්වා. ඒවට ඉක්මනින් ලිඛිත පිළිතුරු ලැබුණා වගේම මේ තත්ත්වය ගැන ස්ථානීය නිරීක්ෂණවලටත් කණ්ඩායම් ඇවිත් මේ අවට ජලය බැස යන ඇල වේලි කිහිපයක් ප්‍රතිසංස්කරණය කළා. නමුත් තමන් මුහුණ දෙන මේ වගේ දුෂ්කර තත්වයන්ට පිළියම් හොයන්න රජයට විතරක් බාරදීලා නිහඬ වුණාට මේ ගැටලු විසඳන්න බෑ. පුද්ගල පවුල් වගේම ප්‍රජාවක් හැටියටත් මේවා ක්‍රියාකාරීව කැපවෙන්න ඕනේ” පියතුමෝ කීහ.

නමුත් පුබුදුගම ප්‍රදේශවාසීන් පවසන්නේ මීට පෙර ද මෙලෙස පුබුදුගම ගංවතුර මැඩලීම සම්බන්ධයෙන් විවිධ ක්‍රියාමාර්ග ගත් නමුත් ඒ සියලු අභියෝග යටපත් කොට යළි යළිත් ගංවතුර ඉස්මතු වූ බවකි. ඒ අනුව මේ අඩි හතරේ යෝධයාගේ වේල්ල ආශ්‍රිතව වර්තමානයේ උද්ගත වී ඇති ගංවතුර අභියෝගය ජය ගැනීමට ඩී.පී. ජයසූරිය පන්ති මහත්තයා දැන් නොමැති බැවින් ඔහු වැනි වෙනත් යෝධයකුම යළි පහළ විය යුතු යැයි මට සිතෙයි.

WhatsApp Image 2024 02 13 at 4.20.58 PM(සටහන | තිලක් සේනාසිංහ)
ගවේෂණාත්මක මාධ්‍යවේදී
thilaksenasinghe@gmail.com

(උපුටා ගැනීම- vinivida.lk)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...