The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අලි මවකට දරුවකු ලැබෙන තුරු පැය දෙකක් පමා වූ යකඩ යකා

T

The Leader Desk

August 11, 2025 • 6:44 AM

අලි මවකට දරුවකු ලැබෙන තුරු පැය දෙකක් පමා වූ යකඩ යකා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වන අලි අකල් මරණවලට ලක් වන්නට ප්‍රධාන හේතුවක් ලෙස දුම්රියේ ගැටීම ඉතා දැඩි ලෙස ඉස්මතු වෙමින් පවතී.
  • ඒ සම්බන්ධව සංඛ්‍යා ලේඛන ගතහොත් එහි ඇති ශෝචනීයත්වය මනාව පැහැදිලි වේ.
  • පසුගිය වසර 17ක කාලය තුළ පමණක් දුම්රිය අනතුරුවලින් වන අලින් 139 දෙනෙකු පමණ මියගොස් ඇති බවට සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි.
  • එහෙත් පරිසර යුක්ති කේන්ද්‍රය (Centre for Environmental Justice – CEJ) පෙන්වා දෙන්නේ පසුගිය වසර 13 තුළ එම සංඛ්‍යාව 151ක් තරම් ඉහළ අගයක් ගන්නා බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

වන අලි අකල් මරණවලට ලක් වන්නට ප්‍රධාන හේතුවක් ලෙස දුම්රියේ ගැටීම ඉතා දැඩි ලෙස ඉස්මතු වෙමින් පවතී. ඒ සම්බන්ධව සංඛ්‍යා ලේඛන ගතහොත් එහි ඇති ශෝචනීයත්වය මනාව පැහැදිලි වේ.

පසුගිය වසර 17ක කාලය තුළ පමණක් දුම්රිය අනතුරුවලින් වන අලින් 139 දෙනෙකු පමණ මියගොස් ඇති බවට සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි. එහෙත් පරිසර යුක්ති කේන්ද්‍රය (Centre for Environmental Justice – CEJ) පෙන්වා දෙන්නේ පසුගිය වසර 13 තුළ එම සංඛ්‍යාව 151ක් තරම් ඉහළ අගයක් ගන්නා බවයි. මෙම සංඛ්‍යා ලේඛන හුදෙක් ඉලක්කම් නොවේ; ඒ සෑම ඉලක්කමක් පසුපසම ඇත්තේ අකාලයේ අහිමි වූ දැවැන්තයින්ගේ ජීවිතවල කඳුළු කතාවකි.

 

මෑත කාලීන සිදුවීම් දෙස බැලීමේ දී මෙම ඛේදවාචකයේ තරම තවත් තීව්‍ර වේ. 2025 වසරේ පෙබරවාරි මාසයේ දී හබරණ සහ මින්නේරිය අතර දී මගී දුම්රියක් අලි රංචුවක ගැටීමෙන් කුඩා පැටවුන් හතර දෙනෙකු ඇතුළු අලින් හය දෙනෙකුගේ ජීවිත එකම මොහොතක දී නිහඬ විය. ඉන් මසකට පසු මනම්පිටියේ දී තවත් අලියෙකු දුම්රියේ ගැටී බරපතළ තුවාල ලැබීය. මෙම සිදුවීම් මාලාවෙන් පසුව වේග සීමා සහ දුම්රිය කාලසටහන් වෙනස් කිරීමට පියවර ගත්ත ද, මැයි මාසයේ දී එම හබරණ මාර්ගයේම තවත් තරුණ අලියෙකු දුම්රියට බිලි වීමෙන් පෙනී යන්නේ මෙම ගැටලුව තවමත් අප ඉදිරියේ ඇති බරපතළ අභියෝගයක් බවයි.

වන අලි දුම්රිය අනතුරුවලට ලක්වීමේ දී, එහි සම්පූර්ණ වගකීම දුම්රිය රියදුරන්ගේ අපරික්ෂාකාරීත්වය මත පැටවීමට පොදු සමාජය තුළ නැඹුරුවක් පවතී. එහෙත්, එය හුදෙක් ඒකපාර්ශ්වික මෙන්ම අසාධාරණ චෝදනාවක් බව පෙන්වා දිය යුතුය. දුම්රිය යනු හුදු ගොඩබිම් වාහනයක් නොව, මගීන්, භාණ්ඩ සහ දැවැන්ත ද්‍රව්‍යස්කන්ධයක් ප්‍රවාහනය කරන සංකීර්ණ යාන්ත්‍රික පද්ධතියකි. එය හසුරුවන පුද්ගලයා, පොදු ව්‍යවහාරයේ දී ‘රියදුරු’ ලෙස හැඳින්වුවද, තාක්ෂණිකව ඔහු ‘ලොකොමොටිව් ඉංජිනේරුවරයෙකු’ ලෙස හැඳින්වීම වඩාත් නිවැරදිය.

 

දුම්රියක ඇති දැවැන්ත ගම්‍යතාවය (momentum) හේතුවෙන් එය ක්ෂණිකව නතර කළ නොහැකිය. ගිලන් රථයක්, ගිනි නිවන රථයක් වැනි හදිසි වාහනයකට පවා දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීමට පෙර දුම්රියට ඉඩ දීමට සිදුවන්නේ මෙම යථාර්ථය නිසාමය. දුම්රිය ගමන් කරන භූමියේ ආනතිය, එහි ප්‍රවාහනය කරන භාණ්ඩ ප්‍රමාණය හෙවත් ‘භාරය’ (Load), සහ වේගය වැනි සාධක රැසක් මත එහි නැවතුම් දුර තීරණය වේ. එබැවින්, අනතුරක් වළක්වා ගැනීමේ අටියෙන් දුම්රියක් මෙහෙයවීම, එම ඉංජිනේරුවරයා හමුවේ ඇති අතිශය දුෂ්කර සහ අභියෝගාත්මක කර්තව්‍යයකි.

නමුත් දුම්රිය රියදුරන්ගේ දැඩි සැලකිලිමත් බව නිසාම වන අලි දුම්රියේ ගැටීම වළක්වා ගනිමින් ඔවුන් බේරා ගන්නට හැකි වූ අවස්ථා කිහිපයක් ද අපට දැනගන්නට ලැබී ඇත. ඒ අතරේ, පසුගිය කාලයේ අසල්වැසි ඉන්දියාවෙන් ඇසුණු මේ අපූරු සිදුවීම, මිනිසත්කම සහ සොබාදහම අතර පැවතිය යුතු සංවේදී බැඳීම පිළිබඳ මුළු ලෝකයටම කියා දෙන ලද උතුම් පාඩමකි. ඒ, ඔවුන් දුම්රියක් පැය දෙකකට අධික කාලයක් නවතා, දුම්රිය මාර්ගය මත අලි පැටවෙකු බිහි කිරීමට අලි මවකට ඉඩ දීම නිසාය. මෙම සිදුවීම මිනිසත්කම, සත්ත්ව සංවේදනය සහ වෘත්තීය කැපවීම පිළිබඳ අගනා පාඩමක් ලොවට කියා පෑවේය. මෙය මුලින්ම ඉන්දියාවේ පරිසර, වන සහ දේශගුණ විපර්යාස පිළිබඳ අමාත්‍ය භූපෙන්දර් යාදව් විසින් X සමාජ ජාලයේ කෙටි වීඩියෝ කොටසක් ලෙස ප්‍රචාරය කළ අතර පසුව සියලුු සමාජ ජාල අතර වේගයෙන් පැතිර ගියේය.

bhupendra
සිද්ධිය වූ දිනයේ, එනම් 2025 ජූලි 9 වන දින අලුයම, නැගෙනහිර ඉන්දියාවේ, රාම්ගාර් දිස්ත්‍රික්කයේ බර්කාකනා සහ හසාරිබාග් දුම්රිය ස්ථාන අතර වූ දුම්රිය මාර්ගයේ ගල් අඟුරු පටවා ගත් දුම්රියක් ගමන් කරමින් පැවතිනි. ඒ අතරේ මේ මාර්ගය අතරමැද වූ ජර්ඛාන්ද් ප්‍රදේශයේ ගර්භනී වූ ගැහැනු අලියකු විලි රුදාවෙන් වේදනා විඳිමින් දුම්රිය මාර්ග මත වැතිර සිටිනු වන සංරක්ෂණ නිලධාරියකුගේ ඇස ගැටිණි. ඔහු එය වහාම රාම්ගාර් හි ප්‍රාදේශීය වන සංරක්ෂණ නිලධාරී නිතිෂ් කුමාර්ට ඒ බව දැනුම් දුන් අතර ඔහු බර්කාකනා දුම්රිය මෙහෙයුම් මැදිරියට ඒ බව දැනුම් දී ඒ මාර්ගයේ දුම්රිය ගමනාගමනය අත්හිටුවන ලෙස ඉල්ලා සිටියේය.

කෙසේ වෙතත් පෙර කී දුම්රිය මේ ආසන්නයටම ඒ වන විටත් පැමිණ තිබිණි. මෙම අවස්ථාවේ දී, දුම්රිය කාර්ය මණ්ඩලය මවට තම පැටවා බිහි කිරීමට ඉඩ දීමට තීරණය කළහ. ඔවුන් පැය දෙකහමාරකට ආසන්න කාලයක් දුම්රිය එම ස්ථානයේම නවතා තැබූ අතර, අනෙකුත් දුම්රිය ගමනාගමනයට බාධා නොවන පරිදි අවශ්‍ය නිවේදන නිකුත් කළහ. මෙම කාලය තුළ අලි මවට සන්සුන්ව තම පැටවා බිහි කිරීමට අවස්ථාව ලැබිණි.

ali1

 

අවසානයේ, අලි මව සහ අලුත උපන් පැටවා ආරක්ෂිතව වනයට ගිය පසු, දුම්රිය ගමන නැවත ආරම්භ විය. මෙම මානුෂීය සිදුවීම පිළිබඳව ඉන්දියාවේ පුළුල් අවධානයක් යොමු වූ අතර, වන සංරක්ෂන නිලධාරීන්, දුම්රිය රියදුරු සහ කාර්ය මණ්ඩලය සිදු කළ මානුෂීය ක්‍රියාවට බොහෝ දෙනාගේ ප්‍රශංසා ලැබිණි. ඔවුන්ගේ මෙම තීරණය නිසා අලින්ගේ ජීවිත ආරක්ෂා වූවා පමණක් නොව, අලි – මිනිස් ගැටුම් අවම කර ගැනීමේ වැදගත්කම පිළිබඳ ද සමාජයට යහපත් පණිවිඩයක් ලබා දුන්නේය.

මෙම සිදුවීමෙන් පසුව, ඉන්දියානු දුම්රිය බලධාරීන් ප්‍රකාශ කර සිටියේ මෙම මානුෂීය ක්‍රියාව අගය කරන බවත්, අනාගතයේදී ද වන සතුන් ආරක්ෂා කිරීම සඳහා විශේෂ අවධානයක් යොමු කරන බවත්ය. මෙම ක්‍රියාව, අප රටේ මෙන්ම ලොව පුරා පවතින වන අලි-දුම්රිය ගැටුම පිළිබඳ නැවත සිතා බැලීමට හොඳ අවස්ථාවක් සපයයි. අපගේ පරිසරය සහ එහි සිටින සතුන් සමඟ සහජීවනයෙන් කටයුතු කිරීමේ වැදගත්කම මෙම සිදුවීම නැවත වරක් සිහිපත් කර දෙයි.

ali3

මෙම සිදුවීම අපට කියා දෙන්නේ කුමක්ද? ශ්‍රී ලංකාවේ දී දුම්රිය මාර්ග ලේවලින් තෙත් වන විට, ඉන්දියාවේ දී දුම්රිය මාර්ගයක් මත නව ජීවයක් බිහිවීමට ඉඩ සලසා දෙනු ලැබිණි. තාක්ෂණය, වේගය සහ නීතිය ඉක්මවා ගිය, හදවතින් තීරණ ගැනීමේ හැකියාව මිනිසා සතු බව ඉන් ඔප්පු විය. ශ්‍රී ලංකාවේ අප මුහුණ දෙන අලි-මිනිස් ගැටුමට විසඳුම් සෙවීමේ දී, වේග සීමා පැනවීමටත්, තාක්ෂණික ක්‍රමවේද හඳුන්වා දීමටත් එහා ගිය මානුෂීය ප්‍රවේශයක අවශ්‍යතාව මෙම සිදුවීම අපට නැවතත් මතක් කර දෙයි.

 



ඉන්දියාවෙන් ඇසුණු මේ සංවේදී කතාව මුළු ලෝකයටම පෙන්වා දෙන්නේ දයාව සහ අවබෝධය ඇත්නම්, යකඩ යකෙකුට වුවද ජීවයේ උපත වෙනුවෙන් මග සලසා දිය හැකි බවයි. එය, අඳුරේ ගිලෙමින් පවතින අපේ ලෝකයට ඉන්දියාවෙන් පෑයූ මානුෂීයත්වයේ පහන් තරුවයි.

Niranjan Chaminda(සටහන | නිරංජන් චාමින්ද කරුණාතිලක)
hnckcreations@gmail.com

උපුටා ගැනීම -vinivida.lk

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අලි මවකට දරුවකු ලැබෙන තුරු පැය දෙකක් පමා වූ යකඩ යකා | The Leader