The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

බේදින් බාර් යොදා පාරිභෝගික මොළ සේදීම | සුනිල් කන්නන්ගර

T

The Leader Desk

August 11, 2025 • 7:20 AM

බේදින් බාර් යොදා පාරිභෝගික මොළ සේදීම | සුනිල් කන්නන්ගර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශරීරය පිරිසිදු කිරීම සඳහා මෙරට වැසියා ශාඛමය ද්‍රව්‍ය භාවිතා කරන බවට ඇති ප්‍රධානම සාධකය අපේ සංස්කෘතියේ ප්‍රමුඛ අංගයක්ව පැවති ශාන්තිකර්ම සාහිත්‍යයේ සඳහන් ය.
  • යක්ෂයන් දෙවියන් හා ග්‍රහයන්ගෙන් ඇතිවන අපල උපද්‍රව සඳහා ශාන්තිකර්ම මගින් සහනයක් ලබා ගැනීම අපේ රටේ සංස්කෘතිය හා බද්ධව තිබූ දෙයකි.
  • රට යකුම හෙවත් රිද්දි යාගය හා සූනියම් ශාන්තිකර්මයේ දී නානුමුරය නමින් සුවිශේෂී කොටසක් ඇතුලත්වේ.සූනියම් ශාන්ති කර්මයේදී නානු පිළිබඳව කියවෙන පැදියක මෙසේ දැක්වේ.
  • ඇසි ද කපා නෙරළු කිරෙන් මිරිකා හැර ගන්නේ රුසිවරු පෙර කිව් විලසට බැබිල ඉඹුල් ගන්නේ රුසිවරු ගෑ නානුමුරෙන් සියලුම දොස යන්නේ.” සූනියම් ශාන්තිකර්මයේ දී කියැවෙන්නේ එම ශාන්තිකර්මය මුලින්ම සිදු කළේ ලොව පලමු පාලකයා වූ මහා සම්මත රජුගේ අග බිසව වන මැණික්පාල නම් බිසවට බව ය.
අකුරු ප්‍රමාණය (Font Size):


ශරීරය පිරිසිදු කිරීම සඳහා මෙරට වැසියා ශාඛමය ද්‍රව්‍ය භාවිතා කරන බවට ඇති ප්‍රධානම සාධකය අපේ සංස්කෘතියේ ප්‍රමුඛ අංගයක්ව පැවති ශාන්තිකර්ම සාහිත්‍යයේ සඳහන් ය. යක්ෂයන් දෙවියන් හා ග්‍රහයන්ගෙන් ඇතිවන අපල උපද්‍රව සඳහා ශාන්තිකර්ම මගින් සහනයක් ලබා ගැනීම අපේ රටේ සංස්කෘතිය හා බද්ධව තිබූ දෙයකි.

මේ ත්‍රිවිධ මූලයන්ගෙන් පැමිණෙන අතුරු අන්තරා අපල උපද්‍රවයන්ගෙන් මිදීමට පවත්වන ශාන්තිකර්ම වලදී ආතුරයාගේ නැත්නම් එකී උපද්‍රවය බල පෑමට ලක් වූ තැනැත්තා ගේ හිස ගැල්වීම සඳහා නානු තැටියක් පිළියෙල කිරීම මේ සෑම ශාන්ති කර්මයකදී ම සිදු කරන සිරිතකි.මේ සකසන නානු සඳහා යොදා ගන්නේ යම් විශේෂිත ශාඛ වර්ගවල කොටස්‍ ය.

 

රට යකුම හෙවත් රිද්දි යාගය හා සූනියම් ශාන්තිකර්මයේ දී නානුමුරය නමින් සුවිශේෂී කොටසක් ඇතුලත්වේ.සූනියම් ශාන්ති කර්මයේදී නානු පිළිබඳව කියවෙන පැදියක මෙසේ දැක්වේ.

“දෙසි ද දොඩම් නස්නාරං නෙල්ලි ඵලය ගන්නේ.
ඇසි ද කපා නෙරළු කිරෙන් මිරිකා හැර ගන්නේ
රුසිවරු පෙර කිව් විලසට බැබිල ඉඹුල් ගන්නේ
රුසිවරු ගෑ නානුමුරෙන් සියලුම දොස යන්නේ.”


සූනියම් ශාන්තිකර්මයේ දී කියැවෙන්නේ එම ශාන්තිකර්මය මුලින්ම සිදු කළේ ලොව පලමු පාලකයා වූ මහා සම්මත රජුගේ අග බිසව වන මැණික්පාල නම් බිසවට බව ය. මැණික්පාල බිසව යනු විෂ්ණු දෙවියන්ගේ නැගණිය බව ද එහි කියැවේ ඇයට වසවර්ති මාරයා විසින් කරන ලද විනයක් නිසා ඇති වූ රෝගී තත්වයෙන් සුව කිරීමට ඔඩ්ඩිස නම් සෘෂිවරයා මේ සූනියම් ශාන්ති කර්මය මෙලොවට හඳුන්වා දුන් බව ද එහි කියැවේ.

 

15727186225d25ac4598cc3 9
ශාන්ති කර්මයට පොරාතුව බෙහෙවින් අපිරිසිදු වී සිටි බිසවව පිරිසිදු කර ගැනීම උදෙසා මේ නානු තනා දුන්නේ රාහු අසුරිඳු බව ද එහි සඳහන් ය.

කෙසේවුව ද මින් අදහස් වන්නේ නානු යනු ශරීරය පිරිසිදු කිරීම සඳහා විවිධ ශාඛමය කොටස් භාවිතා කර දෙවියන් විසින් සකසා මිනිස් ලොවට හදුන්වා දුන් පිරිසිදු කිරීමේ ද්‍රව්‍යක් බව ය. එමෙන්ම දීර්ඝ ඉතිහාසයක් සහිත පවත්වනු ලබන අළුත් අවුරුදු චාරිත්‍රවල ද හිස තෙල් ගෑම හා ස්නානය නම් චාරිත්‍රයක් වෙයි. එහිදී ද නානු තනා ගන්නේ ශාඛමය ද්‍රව්‍යයන් ගෙනි. පරණ අවුරුද්දේ ස්නානයෙන් ආරම්භ කරන අවුරුදු චාරිත්‍ර අවසන් කරන්නේ හිසතෙල් ගෑම හා ස්නානයෙන් ය මේවායින් පෙන්නුම් කරන්නේ ශරීරය පිරිසිදු කිරීම සඳහා ස්වාභාවික ශාඛමය කොටස් භාවිත කිරීම මෙරට ශිෂ්ටාචාරයේ ඈත අතීතයේ සිට හුරුපුරුදුව තිබූ සිරිතක් බවයි.

K5m9ZmJhc7w3hSGV 5

 

ඉහත පූර්විකාව කිරීමට සිදුව ඇත්තේ නූතන ශ්‍රී ලංකාවේ සබන් වෙළඳපොල තුළ ශාඛමය අමුද්‍රව්‍ය සමග කෘත්‍රිම සේදුම් කාරක බහුලව යොදා ගෙන සබන් යනුවෙන් හඳුන්වමින් සැබෑ නිෂ්පාදන නාමය සඟවා වෙළඳ පළට එවන රුව වඩවන විෂබීජ නසන රූපලාවණ්‍ය සඳහා භාවිතා කරන ශාඛමය ද්‍රව්‍ය අඩංගු බවට පෙන්වා දෙමින් දැවැන්ත වෙළඳ ප්‍රචාරණයක් සමඟ පාරිභෝගිකයා රවටමින් කරගෙන යන කූට ව්‍යාපාරයක් පිළිබඳව සාකච්ඡා කිරීමට ය.

ශ්‍රී ලාංකිකයන් සබන් භාවිතයට හුරුවන්නට පටන්ගත්තේ බ්‍රිතාන්‍ය සමයේ ඉංග්‍රීසීන් විසින් යුරෝපයේ නිෂ්පාදනය කරන ලද සබන් වර්ග මෙරටට හදුන්වා දීමත් සමඟ ය.සාමාන්‍ය ජනතාව මුලින්ම මිලදී ගන්නට හුරුවුණේ බෝල සබන් වර්ගයක් බව මගේ ආච්චි අම්මා කුඩා අපට කියා දුන්නා මතක ය. එම සබන් බෝලයක් සාමාන්‍ය රබර් බෝලයක්(ටෙනිස් බෝලයක් ) තරම් විශාල බවත් ඇය පැවසුවා ය. එතෙක් රෙදි සේදීම සඳහා භාවිතා කළේ අමු පොල්පිති පුළුස්සා ඒ අළුවලින් ගෘහස්ථව සකසා ගත් කුඩු විශේෂයක් බව ද ඇය අපට කියා දුන්නා මතකය. මගේ ආච්චි අම්මා කියන පරිදි ඒ බෝල සබන් ඉරිදා පොලෙන් මිලට ගත්තේ 1920 දී පමණ විය යුතු ය.

 

soap1
ඒ අන්දමින් ගමේ අපේ ආච්චි අම්මලාට විදේශවලින් ආනයනය කළ බෝල සබන් හඳුන්වා දෙද්දී නාගරික ජනතාවට සුවඳ හමන “පැමෝරා”” කියුටිකිරා” ආදී නම්ව ලින් හැදින්වූ විදේශ වලින් ආනායනය කළ සබන් හදුන්වාදෙන ලදී ක්‍රමයෙන් ජනතාව සබන් භාවිතයට හුරුවෙද්දී 1940,පමණ මෙරට සබන් නිෂ්පාදනය ආරම්භ කරමින් එක් විදේශීය බහුජාතික සමාගමක් විසින් පළමු සබන් කම්හල කොළඹ දී ආරම්භ කරන ලදී .

ඉන් වසරක් ගතවෙද්දී දේශීය සමාගමක්ද සබන් කම්හලක් ආරම්භ කරමින් නිෂ්පාදනයට එකතු විය.ඒ සමගම මෙරට සබන් වෙලඳපොල අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට ආනයනික නිශ්පාදන , විදේශීය සමාගම් විසින් මෙරටදී කළ නිෂ්පාදන හා දේශීය සමාගම් විසින් මෙරට කළ නිෂ්පාදන යොදා ගැනුණි. ඉන්පසුව 1968 දී ප්‍රථම වරට මෙරට නිපදවන සබන් සඳහා ප්‍රමිති දෙකක් නියම කරන ලදී.

 

117256479 2803180329930619 7128836083903070178 n
ඒ,

1) ඇඟ ගල්වන සබන් (Toilet soap)

2) රෙදි සෝදන සබන්(Laundry soap) වශයෙනි.

මේ සබන් වර්ග දෙකම කෘත්‍රිම සේදුම් කාරක රහිතව නිපදවිය යුතු විය. ඒ අනුව මෙරට සබන් නිෂ්පාදකයන් ක්‍රමයෙන් සිය නිෂ්පාදනයන් සඳහා ඉහත ප්‍රමිති අනුගමය කිරීම අනිවාර්ය විය. ඉන්පසුව 1978දී සම්පූර්ණයෙන්ම පොල් තෙලෙන් නිපදවන රෙදි සෝදන සබන් සඳහා ද ප්‍රමිතියක් සැකසුණි. එම රෙදි සෝදන සබන් සඳහා ද කෘත්‍රිම සේදුම්කාරක යොදා ගැනීම තහනම් විය. අනතුරුව 1981දී ළදරු සබන් නිෂ්පාදනය සඳහාද විශේෂ ප්‍රමිතියක් නියම කරන ලදී.

ඒ අනුව එතෙක් සබන් නිෂ්පාදනය කරමින් සිටි සියලුම නිෂ්පාදකයෝ 1981න්පසුව සිය නිෂ්පාදන ඇඟ ගල්වන සබන්, ළදරු සබන් හා රෙදි සෝදන සබන් යන ප්‍රමිතිගත සබන් වර්ග නිෂ්පාදනය කරන්නන් බවට පත්වූහ. පාරිභෝගිකයෝ ද විවිධ වෙළඳ නාම යටතේ ප්‍රමිතිගත උසස් නිෂ්පාදනයන් මිලදී ගන්නන් බවට පත්වූහ. වෙළඳ පොළේ දී සබන් තෝරා ගැනීමේ දී පාරිභෝගිකයාට කිසිදු අපහසුතාවයක් නොවූයේ ප්‍රමිතිගත නිෂ්පාදනයේ නමින්ම භාවිතය කුමක් සඳහාදැයි ඇඟවුනු බැවිනි.

0f8e88e75f042c11ca0272ede00ab46e

ඒ අනුව ළදරු සබන් වල ප්‍රමිතිය දැක්වුණේ අවම ටී එෆ් එම් අගය 78ලෙස ය. ඇඟ ගල්වන සබන් අවම ටී එෆ් එම් අගය 76.5ක්විය. රෙදි සෝදන සබන් වර්ග දෙකේම අවම ටී එෆ් එම් අගය 59ක් විය මේ කිසිදු සබන් වර්ගයක කෘත්‍රිම සේදුම් කාරක අඩංගු කිරීමට ප්‍රමිතියෙන් අවසර නොමැති විය. ඒ නිසා ඒ පිළිබඳව ද ගැටළුවක් ද නොවීය. ජනතාව විවිධ වෙළඳ නාමයන් යටතේ වෙළඳ පොළේ තිබුණු ඉහත සබන් වර්ග මිල දී ගෙන තම අවශ්‍යතාවන්ට යොදා ගත්හ. ඒත් සමඟම සබන් නිෂ්පාදනයට තරඟකාරී ලෙස අලුත් නිෂ්පාදකයන් එකතු වීම නිසා සබන් වෙළඳපොලේ ඉහල ප්‍රතිශතයක් ආවරණය කළ නිෂ්පාදකයන්ට ද යම්‍ තරඟ කාරිත්වයකට මුහුණ දීමටද සිදුවිය.

7f3850a75371fa8536af62817aea6554

මේ අතර 2001වර්ෂයේදී ශ්‍රී ලංකා ප්‍රමිති කාර්‍යංශය “බේදින් බාර්'” නම් නිෂ්පාදනයක් සඳහා අළුතින් ප්‍රමිතියක් එළි දක්වන ලද්දේ එසේ අලුත් ප්‍රමිතියක අවශ්‍යතාවයක් සඳහා ජනතාවගේ හෝ වෙළඳපොල පැත්තෙන් කිසිම ඉල්ලීමක් නොමැතිව තිබියදී ය. ඒ අනුව බේදින් බාර් ප්‍රමිතියක් සැකසීම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති කාර්‍යංශයට යෝජනාවක් කළේ කවර බලධාරියෙකු ද එසේ ප්‍රමිතියක් අවශ්‍ය වූයේ මන්ද යන තොරතුරු අදටත් සොයාගන්නට නැත. එසේ වුවද බේදින් බාර් නමින් “ඕපපාතික” ප්‍රමිතියක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව සිදුව ඇති දේවල් විමර්ශනය කිරීමේදී එම ප්‍රමිතිය ප්‍රකාශයට පත් කිරීමෙන් වාසියක් අත්කර ගත්තේ කවුරුන්දැයි පැහැදිලි ව සිතා ගත හැකි ය.

මෙම බේදින් බාර් නම් නිෂ්පාදයේ ප්‍රකාශිත ප්‍රමිතියේ ආරම්භයේම සටහන් කර ඇත්තේ බේදින් බාර් යනු සබන් හා සබන් නොවන සේදුම්කාරක අඩංගු නිෂ්පාදනයක් බව ය.ඒ අනුව නියම කර ඇති ප්‍රමිතිය තුළ කෘතිම සේදුම් කාරක භාවිතා කළ හැකි බව සඳහන්ව ඇත. ඒ අතර ඒ සඳහා යොදා ගත හැකි කෘත්‍රිම සේදුම් කාරක වර්ග 14ක් ගැන ප්‍රමිතියේ සඳහන්වේ. යොදා ගත හැකි කෘත්‍රිම සේදුම්කාරක උපරිමයක් ප්‍රමිතියෙන් නියම කර නැති අතර නියම කර ඇත්තෙ අවම අගයකි. මෙයින් ඇඟවෙන්නේ බේදින් බාර් නිෂ්පාදනයේ දී කෘත්‍රිම සේදුම්කාරක අඩංගු කරන ප්‍රමාණය නිෂ්පාදකයාගෙන් නිෂ්පාදකයාට ලොකු පරාසයකින් වෙනස්විය හැකි බව ය. එමෙන්ම මෙසේ යොදා ගැනීමට ඉඩ දී ඇති ඇතැම් කෘත්‍රිම සේදුම්කාරක අඩංගු රසායන ද්‍රව්‍ය වල සෞඛ්‍යමය බලපැම ගැන ද ගැටළු මතුව තිබේ.

soap 89

සාමාන්‍යයෙන් ඇඟ ගල්වන සබන් ප්‍රමිතිය අනුව ටී එෆ් එම් අගය අවම 76.5ක් විය යුතු ය. ටී එෆ් එම් යනු සබන්වල ඇති ප්‍රධානතම සවාභාවික පිරිසිදු කාරක අගයයි. සබන් සඳහා යොදා ගැනෙන පිරිසිදු කාරකය ලෙස යොදා ගැනෙන්නේ ශාඛමය මේද අම්ලයි. බේදින් බාර් නම් නිෂ්පාදන ප්‍රමිතියේ දැක්වෙන්නේ එහි අඩංගු විය යුතු ටී එෆ් එම් අවම අගය 40ලෙසයි.  මේ අනුව ඇඟ ගල්වන සබන් හා බේදින් බාර් අතර ටී එෆ් එම් අගය පැත්තෙන් විශාල පරතරයක් පවතින බව පැහැදීලි ය.

අනික් අතට ඇඟ ගල්වන සබන්වල කෘත්‍රිම සේදුම්කාරක අඩංගු නොවන අතර බේදින් බාර්වල කෘත්‍රිම සේදුම්කාරක සෑහෙන ප්‍රමාණයක් අඩංගු ය. මේ අතරම 2001වර්ෂයේ දීම ශ්‍රීලංකා ප්‍රමිති කාර්යංශය කෘතිම සෙදුම් කාරක අඩංගු රෙදි සෝදන සබන් සඳහා ද ප්‍රමිතියක් ප්‍රකාශයට පත් කරන ලදී. එහිදී කෘත්‍රිම සේදුම්කාරක සහිත රෙදි සෝදන සබන්වල තිබිය යුතු අවම ටී එෆ් එම් අගය 45ක්ලෙස නියම කර ඇත. එයින් පෙන්නෙන්නේ බේදින් බාර් වල තිබිය යුතු අවම ටී එෆ් එම් ප්‍රමාණයට වඩා කෘත්‍රිම සේදුම්කාරක සහිත රෙදි සෝදන සබන්වල වැඩි ටී එෆ් එම් අගයක් ඇති බව ය.

තවත් ලෙසකින් කිව්වොත් කෘත්‍රිම සේදුම් කාරක සහිත රෙදි සෝදන සබන් කැටය බේදින් බාර් සඳහා නියමිත ඇසුරුමේ දවටා බේදින් බාර් ලෙස වෙළඳපොලට එවීමට වුවත් බාධාවක් නැති බව ය.

 

White toilet soap in female hands against the background of a fragrant foam bath. Woman in white terry bathrobe washing her hands with soap. Relaxation and beauty treatments. Natural beauty, daily skincare routine. Moisturizing, cleansing

මෙම කෘත්‍රිම සේදුම් කාරක අඩංගු බේදින් බාර් නිෂ්පාදනයට අදාල ප්‍රමිතිය ප්‍රකාශයට පත් කිරීමත් සමග විවිධ වෙළඳ නාම යටතේ 76.5ක අවම ටීඑෆ් එම් අගයක් සහිත කෘත්‍රිම සේදුම් කාරක අඩංගු නැති ඇඟ ගල්වන සබන් නිපදවමින් සිටි සමාගම් සියල්ල එකී තම නිෂ්පාදන කෘත්‍රිම සේදුම් කාරක සහිත අඩු ටීඑෆ් එම් අගයකින් යුතු බේදින් බාර් බවට පත් කිරීමට ක්‍රියා කළේ ය.

එසේ කිරීම නිසා ඔවුන්ට ඉහළ ටීඑෆ් එම් අගයක් ඇති ඇඟ ගල්වන සබන් නිපදවනවාට වඩා අඩු නිෂ්පාදන වියදම කින් අඩු ටීඑෆ් එම් අගයක් සහිත බේදින් බාර් නිපදවීමට හැකි විය. එසේවුව ද මේ වාසිය පාරිභෝගිකයාට නොදී ඇඟ ගල්වන සබන් අලෙවි කළ මිලටම වෙලඳපළේ අලෙවි කිරීමෙන් බේදින්බාර් නිපදවීමට පරිවර්තනය වුණු සබන් නිපදවන සමාගම් කරුවෝ සිය ලාභ ශීර්ෂය වර්ධනය කර ගත්හ.

දැනට වෙළඳ පොලේ ඇති දිගු කලක් තිස්සේ ප්‍රචලිත වෙළඳ නාමයන්ගෙන් යුතු සියලුම බේදින් බාර් වර්ග 2001ට පෙර එම වෙළඳ නාමයෙන්ම යුතු ඇඟ ගල්වන සබන් වර්ග ය. 2001දී බේදින් බාර් ප්‍රමිතිය හඳුන්වා දුන් පසුව වුව තමන් වෙළඳ නාමයකින් මිලට ගත් ඇඟ ගල්වන සබන් කැටයේ ප්‍රමිතිය වෙනස් කර ඇති බව පාරිභෝගිකයා දන්නේ නැත.

 

41hqo8I 6yL. UF10001000 QL80
පාරිභෝගික මොළ සෝදමින් තම නිෂ්පාදන වල ඇති කළ ප්‍රමිති වෙනස පිළිබඳව පාරිභෝගිකයා දැනුවත් කිරීම වෙළඳාම පිළිබඳ ආචාර ධර්ම වලට අනුකූලව කළ යුතු වුවද මේ දක්වා එම නිෂ්පාදකයින් ඒ පිළිබඳව කිසිවක් නොකරනවා පමණක් නොව තම නිෂ්පාදනවල ප්‍රමිතිගත නාමය වන බේදින් බාර් යන්න වෙළඳ ප්‍රචාරයේ දී සඳහන් කරන්නේ නැත. ඒ වෙනුවට බේදින් බර් ඇඟ ගල්වන සබන් ලෙස ම ඇඟවීමට විවිධ විශේෂණයන් සහිත සබන් යන වචනය යොදමින් වෙළඳ ප්‍රචාරය කරමින් සිටිති .

ප්‍රමිතියේ දී නිෂ්පාදන නාමය හා ටී එෆ් එම් අගය පැහැදිලිව පෙනෙන ලෙස හා කියවිය හැකි ලෙස ඇසුරුමේ සඳහන් කරන ලෙස නියම කර තිබුණ ද ඉතා කුඩා අකුරින් ඒ සටහන් යොදා ඇත්තේ ඇසුරුමේ පටු පැත්තේ යටට සිටින ලෙසට ය. සෑම බේදින් බාර් කැටයකම ඇසුරු මේ ඉදිරිපස වෙළඳ නාමය හා යම් ආකර්ශනිය විශේෂනයක් සහිත සබන් යන හැඳින්වීම සඳහන්‍ ය.එය අපේ ගම්බද වහරට අනුව “කොළේ වහලා ගැහීමකි”

මේ අන්දමින් පාරිභොගිකයා නොමග යවමින් රවටමින් කරන මේ කූට ක්‍රියාව නතර කිරීම සඳහා නෛතික බලය ලත් රාජ්‍ය ආයතනය වන පාරිභෝගික ආරක්ෂන අධිකාරියට 2019 වසරේ කරන ලද ඉල්ලීම් මත පාරිභෝගික අධිකාරි පනතේ 12වගන්තිය ප්‍රකාරව තම නිෂ්පාදනයේ ඇසුරුමේ ඉදිරිපස පැහැදිලිව පෙනෙන ලෙස තම නිෂ්පාදනයේ ප්‍රමිතියේ සඳහන් නම හා අඩංගු ටීඑෆ් එම් ප්‍රමාණය සටහන් කළ යුතුය යන රෙගුලාසිය පැනවීමට තීරණයක් ගෙන තිබුණි.

WhatsApp Image 2025 02 03 at 7.43.00 PM 727x1024
එකී තීරණය ක්‍රියාත්මක කිරීම වලක්වා ගැනීම සඳහා එකී රජයේ රාජ්‍ය අමාත්‍යවරයෙකු යොදා ගැනීමට මේ බේදින්බාර් නිෂ්පාදකයින් සමත්ව තිබුණි. එම රාජ්‍ය අමාත්‍ය වරයාගේ බලපෑමට අදාල ලිපි ගොනුව ගල් වූ බව ආරංචි ය.

වර්තමාන වෙළඳ හා වාණිජ අමාත්‍ය වරයා වෙත මේ අවශ්‍යතාවය දැන්වීමට පාරිභෝගික සංවිධාන කටයුතු කළ පසු ඒ ගැන උනන්දු වී සියලුම සබන් හා බේදින් බාර් නිෂ්පාදකයන් පාරිභෝගික අධිකාරියට කැඳවා මෙම ගැසට් නිවේදනය නිකුත් කිරීමට ජුනි මාසයේ දී තීරණය කරන ලදී. මේ දක්වා එය ඉටු වී නැත. ”බාලගිරි න්‍යාය”ට අනුව එය මෙසේ කල් ඇදෙන්නේ අනිවාර්යෙන්ම ඇතැම් බේදින් බාර් සමාගම් වල මැදිහත් වීම නිසා බව නම් ෂුවර්ය.

පසුගිය ආණ්ඩු වල මේවා භාර ව සිටි අය මෙන් කූට වාසි අපේක්ෂාවෙන් මේ ආණ්ඩුවේ බලධාරීන් ක්‍රියා නොකරන බව මට තවමත් විශ්වාස ය. එසේ වුණත් මේ විෂයන් භාර ආයතනවල අමාත්‍යංශවල ඉන්නා ඇතැම් නිලධාරීන් “ඕක දැම්ම හදිස්සි නෑ පොඩ්ඩක් බලමු’ කියන පන්නයේ උභය ජීවීන්‍ ය. එම නිසා වෙළඳ හා වාණිජ අමාත්‍යංශයේ හා පාරිභෝගික අධිකාරියේ බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ තමන්ට නෛතිකව පැවරුණු බලය රටේ ජනතවගේ අයිතීන් වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට මැලි නොවන ලෙසට ය.

රාජ්‍ය ආයතනවල සිටින උභය ජීවීන් හරහා කූට ව්‍යාපාරිකයන් කරන සූක්ෂම බලපෑම්වලට හසු නොවන ලෙසය.

 

soap
ඒ අතරම අප පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ අතීතයේදී කෘත්‍රිම සේදුම්කාරක නැති ඇඟ ගල්වන සබන් ලෙස ඔබ භාවිතා කළ බොහෝ නිෂ්පාදන ඒ නමින්ම දැන් වෙලඳපොළේ ඇත්තේ කෘත්‍රිම සේදුම්කාරක සහිතව අඩු ටීඑෆ් එම් අගයකින්‍ යුතු බේදින් බාර් ලෙස තේරුම් ගන්නා ලෙස ය. එමෙන්ම සබන් මිලදී ගැනීමට ඇසුරුම පරීක්ෂා කර බලා තීරණයක් ගන්නා ලෙසට ය. බේදින් බාර් මිලට ගන්නා මුදලටම ඊට වඩා වැඩි ටී එෆ් එම් අගය සහිත ඇඟ ගල්වන සබන් මිලදී ගත හැකි බැවින් වෙළඳ පොලේදී පරීක්ෂාකාරීව වඩා වාසිසහගත දේ මිලට ගන්නා ලෙසට ය.

වෙලඳ වාණිජ පාරිභෝගික කටයුතු හා සමුපකාර ඇමතිතුමා ද මේ බේදින් බාර් යොදා පාරිභෝගික මොළ සේදීමගැන අනසල් ව ක්‍රියා කරනු ඇතැයි සිතමි.

sunil Kannangara(සටහන | සුනිල් කන්නන්ගර)
කොළඹ රත්නපුර සහ අම්පාර හිටපු මහ දිසාපති
skannangara1959@gmail.com

(vinivida.lk)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...