The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

රාජ්‍ය වන්දනා ලැයිස්තුවට එක්වූ කේලරයේ සබරිමලෛ අයියප්පන් කෝවිල ගැන ඔබ මේ විස්තර දන්නවද ?

T

The Leader Desk

August 13, 2025 • 5:16 AM

රාජ්‍ය වන්දනා ලැයිස්තුවට එක්වූ කේලරයේ සබරිමලෛ අයියප්පන් කෝවිල ගැන ඔබ මේ විස්තර දන්නවද ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලාංකික හින්දු බැතිමතුන් විසින් සෑම වසරකම නොවැම්බර් 1 දින සිට ඊළඟ වසරේ ජනවාරි 31 දක්වා කාලයේ ඉන්දියාවේ කේරළයේ සුප්‍රසිද්ධ සබරිමලෛ අයියප්පන් කෝවිල වන්දනා කරනු ලබයි.
  • මේ වන විට වාර්ෂිකව ශ්‍රී ලාංකික බැතිමතුන් 15,000 කට අධික සංඛ්‍යාවක් සහභාගී වන අධ්‍යාත්මික වන්දනා ගමනක් බවට මෙය පත්ව ඇත.
  • පුරුෂ දෙවිවරුන් දෙදෙනකු වුණත්, ⁣එම දෙදෙනාට පුතකු සිටිනා බව ඔබ විශ්වාස කරනවා ද?
  • විශේෂයෙන් ම අයියප්පන්, ස්වයං ආත්ම දමනයට අධිපති වන බව හින්දු බැතිමතුන් ගේ විශ්වාසය යි.
අකුරු ප්‍රමාණය (Font Size):


දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලාංකික හින්දු බැතිමතුන් විසින් සෑම වසරකම නොවැම්බර් 1 දින සිට ඊළඟ වසරේ ජනවාරි 31 දක්වා කාලයේ ඉන්දියාවේ කේරළයේ සුප්‍රසිද්ධ සබරිමලෛ අයියප්පන් කෝවිල වන්දනා කරනු ලබයි.

මේ වන විට වාර්ෂිකව ශ්‍රී ලාංකික බැතිමතුන් 15,000 කට අධික සංඛ්‍යාවක් සහභාගී වන අධ්‍යාත්මික වන්දනා ගමනක් බවට මෙය පත්ව ඇත.

ඒ අනුව, ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සබරිමලෛ අයියප්පන් කෝවිලට ශ්‍රී ලංකාවේ හින්දු බැතිමතුන් විසින් කරනු ලබන වන්දනා ගමන ශ්‍රී ලංකා රජය විසින් පිළිගත් පූජනීය වන්දනා ගමනක් ලෙස ප්‍රකාශයට පත් කිරීම පිණිස බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

 

ශිව- විෂ්ණු වරමින් බිහි වූ අයියප්පන් දෙවියෝ

ලෝකයේ පවතින විවිධ දේව සංකල්ප අතර ශිව සහ විෂ්ණු දේව සංකල්පය වඩාත් ජනප්‍රිය යි. පුරුෂ දෙවිවරුන් දෙදෙනකු වුණත්, ⁣එම දෙදෙනාට පුතකු සිටිනා බව ඔබ විශ්වාස කරනවා ද?

ඒ පුත්‍රයා තමයි, දකුණු ඉන්දියාවේ ජනප්‍රිය දෙවියකු වන අයියප්පන්. අයියප්පන් දෙවියන් ගේ උපත විශේෂ සිදුවීමක් වගේ ම, එම දෙවියන් වන්දනාමාන කිරීමේ දීත් විශේෂ චාරිත්‍ර රැසක් සිදු කරනවා. අපි මෙතැන් සිට අයියප්පන් දෙවියන් ගේ කතාව කියවමු.

අයියප්පන් දෙවියන් කියන්නෙ කවුද?

1725347650
දකුණු ඉන්දියාවේ, කේරළ ප්‍රාන්තයේ ඉතා ප්‍රසිද්ධ දෙවියකු වන අයියප්පන් දෙවියන් හරිහාරසුදන්, ශාස්තා, ධර්මස්ථ හා මනිකන්දන් යන නම්වලින් ද හැඳින්වෙනවා.

විශේෂයෙන් ම අයියප්පන්, ස්වයං ආත්ම දමනයට අධිපති වන බව හින්දු බැතිමතුන් ගේ විශ්වාසය යි.

අතීතයේ අයියප්පන් දේව වන්දනාව භාරතය පුරා ප්‍රචලිත වූ බවට බහුතරයක් විශ්වාස කළත්, වර්තමානයේ එය දකුණු ඉන්දියාවට පමණක් සීමා වෙලා. කේරළ, කර්ණාටක, තමිල්නාඩු සහ ආන්ද්‍ර යන ප්‍රදේශවල ජනතාව අතර අයියප්පන් දේව වන්දනාව වඩාත් ජනප්‍රිය යි.

සත්‍යය සහ ධර්මිෂ්ට බවේ අධිපති ලෙස සැලකෙන මෙම දෙවියන්ට නපුර තුරන් කිරීමට ද හැකි බව යි පිළිගැනීම. අයියප්පන් දෙවියන් සිතුවම්වල නිරූපණය කර ඇත්තේ උක්කුටි කයෙන් අසුන්ගෙන සිටින කඩවසම් මෙන් ම ගෙල වටා සීනුවක් පැළඳ සිටින අයකු ලෙස යි.

අයියප්පන් දෙවියන් ගේ උපත

aiyappan lord1අයියප්පන් දෙවියන්ගේ පිළිමයක් – pintarest.com
ශිව දෙවියන් ගෙන් භෂ්මාසුර නම් බැතිමතකු, තමන් ගේ දකුණු අත ඕනෑම පුද්ගලයකු ගේ හිස මත තබා ඔවුන් දවා අළු කිරීමට හැකි වන පරිදි වරයක් ලබා දෙන්නැයි ඉල්ලනවා.

ශිව දෙවියන් එවැනි වරයක් ප්‍රදානය කළ වහා ශිව දෙවියන් ද විනාශ කිරීමට භෂ්මාසුර උත්සාහ කරනවා. මෙයින් ගැලවීමට පැන දුවන ශිව දෙවියන්ට අතරමඟ දී විෂ්ණු දෙවියන් හමු වූ අතර, ශිව දෙවියන් විෂ්ණු දෙවියන්ට මේ සියලු විස්තර පවසනවා.

ශිව දෙවියන් බේරාගැනීමට ඉදිරිපත් වන විෂ්ණු දෙවියන්, කාන්තාවක ගේ (මෝහිණි) ස්වරූපයක් මවා ගෙන භෂ්මාසුර ඉදිරියට යනවා. මෝහිණිය ගේ අලංකාර ස්වරූපය දුටු භෂ්මාසුර ඇයට වශී වී, ඇය තමා සතු කර ගැනීමට කැමති බව කියනවා.

ඊට කැමැත්ත පළ කළ මෝහිණිය ඔහුට එක් කොන්දේසියක් ඉදිරිපත් කරනවා. ඒ, ඇය ඉදිරිපත් කරන නර්තනයන් අනුකරණය කරමින් ඔහු ද නර්තනයේ යෙදිය යුතු බව යි. ඇගේ සුන්දරත්වයට වශී වී සිටි භෂ්මාසුර ඊට ද එකඟ වෙනවා. ඒ අනුව ඔවුන් ගේ නර්තනය ආරම්භ වෙනවා.

 

aiyappan lord 2අයියප්පන් දෙවියන්ගේ  උපත- timtimesofindia.com

එක් අවස්ථාවක දී මෝහිණී වෙස් ගෙන සිටි විෂ්ණු දෙවියන්, සිය දෑත් හිස මත තබා නර්තනයේ යෙදුණු අතර එය අනුකරණය කරමින් භෂ්මාසුර ද තමන් ගේ දෑත් තම හිස මත තබනවා. එසැණින් ම ඔහු දැවී අළු වී ගිය අතර භෂ්මාසුර විනාශ වූ බව විෂ්ණු, ශිවට පවසනවා. එයින් සතුටට පත් ශිව, භෂ්මාසුර අසුරයා විනාශ කෙරූ මෝහිණිය ගේ ස්වරූපය තමාට ද දැකීමට අවශ්‍ය බව කියනවා.

පසුව විෂ්ණු දෙවියන් මෝහිණී ස්වරූපයෙන් ශිව වෙතට පැමිණෙනවා. සැබැවින් ම ඇය ඉතාමත් රූබර ලළනාවක් වූ බැවින් ශිව දෙවියන් මෝහිණියට වශී වී ඇගේ දෑත් ස්පර්ශ කරනවා. ඒ අනුව, හරි (විෂ්ණු) සහ හර (ශිව) එකතුවෙන් හරිහර පුත්‍රයා වූ හරිහරන් හෙවත් අයියප්පන් දෙවියන් මෙලොවට බිහි වෙනවා.

දේව දරුවා මනුලොව ඇති දැඩි වීම
King Rajashekhara
එසේ බිහි වූ මෙම දරුවා ඇති දැඩි කර ගන්නා ආකාරය ගැන ශිව දෙවියන් කල්පනා කළ අතර, දරුවන් නොමැති බැතිමතුන් යුවළක් වූ කේරළයේ බන්ධල රාජධානියේ මහරජ රාජශේකරන් රජු හා බිසව සිහිපත් වෙනවා.

පසුව, රජු දඩයම් කිරීමට වනයට ගොස් සිටින අවස්ථාවක දී ශිව දෙවියන් මහලු වෙස් ගෙන ඔහු අසලට ගොස්, බම්බා නදිය අසබඩ බිළිඳකු හඬන ශබ්දය ඇසෙනා බවත්, එම බිළිඳා රැගෙන ගොස් දරුකමට හදාගන්නා ලෙසත් මහ රජුට පවසනවා.

රජු එම බිළිඳා රජමාලිගයට රැගෙන ගිය අතර, දරුවා ගේ කරේ සීනුවක් (මණි) ති‌බෙනු දැක ඔවුන් එම දරුවාට මණිකන්ඩන් ලෙස නම් තබනවා. මණිකන්ඩන් කුමරු ගේ පැමිණීමෙන් කලකට පසුව බිසවට දරුවකු පිළිසිඳ ගැනුණු අතර ඔහුට රාජරාජන් ලෙස නම් තබනවා.

මෙම දෙදරුවන් දොළොස් අවුරුද්දක් පමණ සමඟියෙන් ඇති දැඩි වූ අතර, මණිකන්ඩන් කුමරුන් ගේ පැමිණීමෙන් පසු බන්ධල රාජධානියට ම සෞභාග්‍ය උදා වූ බැවින් මණිකන්ඩන් කුමරුන් රාජාභිෂේක කිරීමට මහරජු තීරණය කරනවා. එයට රාජ්‍යයේ මහ ඇමැති එකඟ නොවූයේ; මණිකන්ඩන් කුමරුන් රජ වුවහොත් තම කූඨ උපක්‍රම සහ ව්‍යාපාර සියල්ලක් ම විනාශ වෙන බව සිතා යි. අනතුරුව, නොයෙකුත් අවස්ථාවල දී මණිකන්ඩන් කුමරුන් මරා දැමීමට මහ ඇමැති සැලසුම් කළ ද, ඒවා අසාර්ථක වෙනවා.

360 F 1237881363 47q5iZkrhjqqxCvs6RzZjLlzw2o3wv7V

 

අවසානයේ දී මහ ඇමැති, රජ බිසවට කේලාම් කීමෙන් ඇය තුළ මණිකන්ඩන් කුමරු ගැන වෛරයක් උපදවනවා. පසුව, කුමරුන් ඝාතනය කිරීමේ සැලැස්මට රජ බිසව ද හවුල් වන අතර ඇයට සුව නො වන දරුණු හිසරදයක් සෑදී ඇති බවත්, එය සුව කිරීමට නම් කොටි ධේනුවක ගේ නැවුම් කිරි අවශ්‍ය බවත් ප්‍රචාරය කරනවා. ඉන් ඔවුන් අපේක්ෂා කළේ, මණිකන්ඩන් කුමරුන් ගේ නීර්භීතභාවය ප්‍රයෝජනයට ගෙන ඔහු කැළයට පිටත් කොට හැර කොටි රංචුව අතින් මරණයට පත් වීමට සැලැස්වීම යි.

මහ ඇමැති ගේ සහ රජ බිසව ගේ උපාය තේරුම් ගත් මණිකන්ඩන් කුමරුන් එම අභියෝගය බාර ගන්නවා. කාල වර්ණ වස්ත්‍රයෙන් සැරසී තමන් ගේ ගමනට අවශ්‍ය ආහාර සහ ආයිත්තම් පොට්ටනියක් (ඉරුමුඩි) ලෙස ගැටගසා හිස මත තබා ගෙන, දුනු ඊතල ද අතැති ව මහ රජු ගේ අවසරය මත කොටි ධේනුවක ගේ කිරි රැගෙන ඒමට මණිකන්ඩන් වනයට පිටත් වෙනවා.

දෙව් ලොව ‌බේරා ගැනීම

aiyappan lord 3
වනයට යන අතරතුර එරුමේලි නම් ප්‍රදේශයේ දී මණිකන්ඩන් නොසිතූ යමක් සිදුවනවා. එනම්, “වාබර්” නමැති කොල්ලකරුවාට හසුවීම යි. වාබර් සමඟ සටන් කිරීමෙන් ජය ගත් මණිකන්ඩන්, වාබර් යහමඟට ගෙන තමා ගේ මිතුරකු සේ සලකා ඔහුට ආශිර්වාද කරනවා.

නැවත වනයට වදින මණිකන්ඩන් ගේ පැමිණීම අපේක්ෂාවෙන් බලා සිටි ඉන්ද්‍ර ප්‍රමුඛ දෙවිවරුන් පොන්නම්බලමේඩු (පොන්නම්බල කන්ද) නම් ප්‍රදේශයේ දී මණිකන්ඩන් කුමරුන්ට නමස්කාර කර, මහිෂි නම් යක්ෂණියක ගෙන් තමන්ට සිදු වූ හිරිහැර පිළිබඳ පවසා ඇය දේව ලෝකය යටත් කරගෙන සිටින බව ද සැළ කරනවා. ඉන්ද්‍ර ඇතුළු දෙවිවරුන් පිරිස කී මෙම ප්‍රවෘත්තිය ඇසූ මණිකන්ඩන්, දේව ලෝකයට ගොස් මහිෂි නම් යක්ෂණිය සමඟ සටන් කර ඇය නරලොවට තල්ලු කරනවා. ඇය වැටී සිටියේ අලුදා නම් නදිය අසබඩට වන අතර, ඉන්පසු ඇගේ ශරීරය මත නැගී නර්තනයේ යෙදුණු මණිකන්ඩන් ඇය විනාශ කරනවා.

ඒ අනුව, මහිෂි නම් යක්ෂණිය ගේ හිරිහැරවලින් මිදුණු දෙවිවරුන් මණිකන්ඩන් කුමරුන්ට ප්‍රශංසා කරනවා. ඉන්ද්‍ර දෙවියන් කොටි ධේනුවක සේ තම ස්වරූපය වෙනස් කර තමා පිට අසුන් ගන්නා මෙන් මණිකන්ඩන් කුමරුන්ට ආරාධනා කරනවා. ඒ සමඟ ම අනෙකුත් දෙවිවරුන් ද කොටි රැලක් සේ ඉන්ද්‍රයන් ප්‍රමුඛ ව බන්ධ රාජධානිය කරා පිටත් වෙනවා. මණිකන්ඩන් කුමරුන් කොටි ධේනුවක ගේ පිට මත වාඩි වී කොටි රැලක් සමඟ පැමිණීම දුටු ගම්වැසියන් පුදුම වෙනවා. මෙය දුටු මහ ඇමැති සහ රජ බිසව මණිකන්ඩන් කුමරුන් ගෙන් සමාව අයදිනවා.

Ayyappa Swamy bazaar art c.1950s

කොටියා මත නැග ගමට පැමිණි මණිකන්ඩන් – abplives.com

 

ඔවුන් තමන්ට කළ කී දෑ සමාව දීමට තරම් කාරණා නොවන බව පැවසූ මණිකන්ඩන් ඔවුන්ට පෙන්වා දුන්නේ, තමන් මෙලොවට පැමිණියේ යම්කිසි කාලයක් සඳහා පමණක් බව යි. එම කාලය අවසන් වී ඇති බැවින් තමාට දේව ලෝකයට යාමට අවශ්‍ය බව කියා සිටි මණිකන්ඩන් කුමරු, බන්ධා මහරජු ගෙන් ඒ සඳහා අවසර පතනවා.

අයියප්පන් වන්දනාවට ඉදි වූ කෝවිල්

එහි දී බන්ධා රජු ප්‍රකාශ කළේ; මණිකන්ඩන්  මෙතරම් කාලයක් ඔවුන් සමඟ ජීවත් වූ බව සනාථ කිරීම සඳහා ඔහු වෙනුවෙන් කෝවිලක් නිර්මාණය කරන බව යි. එම කෝවිල නිර්මාණය විය යුතු තැන පවසන ලෙස ද මහ රජු මණිකන්ඩන් කුමරුන් ගෙන් ඉල්ලනවා.

එවිට සිය අත තිබූ දුන්නෙන් ඊතලයක් විද, එම ඊය පතිත වෙන ස්ථානයේ පඩිපෙළ දහ අටකින් යුක්ත වූ කෝවිලක් නිර්මාණය කර අයියප්පන් නාමයෙන් වැඳුම් පිඳුම් සිදු කරන්නැයි මණිකන්ඩන් කුමරුන් රජු ඇතුළු පිරිසට පවසනවා. එම ඊය පතිත වූ ස්ථානය වර්තමාන කේරළයේ සබරිමලේ කඳු මුදුන යි.

aiyappan lord 4.JPGසබරිමලේ කඳු මුදුනේ පිහිටි අයියප්පන් කෝවිල -Facebook- Beyond the Yellow Press
ශ්‍රී ලංකාවේ පිහිටි අයියප්පන් දෙවියන් වෙනුවෙන් කැප වූ කෝවිල්

ශ්‍රී ලංකාවේ ද අයියප්පන් දෙවියන් වෙනුවෙන් කැප වූ කෝවිල් ඉදිකර තිබෙනවා. කොළඹ මට්ටක්කුලිය, අලුත් මාවතේ ඉදි කළ මෙම කෝවිල සබරිකන්ද කෝවිල හෙවත් සමස්ත ලංකා ආනන්ද අයියප්පන් කෝවිල නමින් හඳුන්වනවා.

කේරළයේ ප්‍රධාන අයියප්පන් දේවාලයට සමාන ව මෙය වන්දනාමාන කිරීම බලාපොරොත්තු වන්නන් අනුගමනය කළ යුතු පුද පිළිවෙත් රාශියක් පවතින බව ද පැවසෙනවා. 

 
ඒ හැරුණු විට අයියප්පන් කෝවිලක් පිහිටා ඇත්තේ වත්තල යි.
 
aiyappan lord 5බැතිමතුන්ගෙන් පිරී ගිය අයියප්පන් කෝවිල – himdistanitimes.com

අයියප්පන් දෙවියන්ගේ ප්‍රධාන දේවස්ථානය වන කේරළයේ පිහිටි සබරිමලේ කෝවිල වන්දනා කිරීම, වෙනත් දෙවිවරුන්ට කැප වූ කෝවිල් වන්දනා කිරීමට වඩා කැපවීමෙන් කළ යුතු ක්‍රියාදාමයක් වන්නේ; ඒ සඳහා ම වෙන් වූ විශේෂ පුද පූජා රාශියක් පවතින නිසා යි.

එහි දී,

*  වන්දනාවේ යෙදීමට අපේක්ෂා කරන බැතිමතුන් දින 48ක් පුරාවට උපවාසයේ යෙදිය යුතුයි.

* එම කාලය තුළ දී බ්‍රහ්මචාරීභාවය පිළිපැදිය යුතු යි.

* තද නිල් හෝ කළු වර්ණයේ ඇදුම් පමණක් ඇඳීම, නිර්මාංශ වීම, මත්පැන් හා මත්ද්‍රව්‍යවලින් වැලකී සිටීම, කිසිදු අසභ්‍ය වචනයක් භාවිත නොකිරීම සහ

* හිසකෙස් සහ නියපොතු කැපීමකින් තොරව වර්ධනය වීමට ඉඩ හැරීම යනාදිය මේ චාරිත්‍රවලට අයත්.

* එම කාලය තුළ දී දිනකට දෙවරක් ස්නානය කිරීමත් අපේක්ෂිත යි.


aiyappan lord 6පා ගමනින් සබරිමලේ වන්දනාවේ යන බැතිමතුන් – ayyappa.tripod.com
මෙසේ වන්දනාවේ යෙදීමට අවසර ඇත්තේ අවුරුදු දහයෙන් පහළ ගැහැනු ළමයින්ට හා අවුරුදු පනහ ඉක්මවූ කාන්තාවන්ට පමණ යි. එසේ සීමා පනවා ඇත්තේ, අයියප්පන් දෙවියන් බ්‍රහ්මචාරී නිසා බව යි කියැවෙන්නේ. ඕනෑම වයසක පිරිමි පුද්ගලයන්ට ඉහත චාරිත්‍රානුකූල ව වන්දනාවේ යෙදෙන්නට පුළුවන්.

මෙසේ පිරිසුදු වී සබරිමල වෙත යන සියලු බැතිමතුන් එකිනෙකා සමාන ව සහෝදරත්වයෙන් පිළිගත යුතු අතර, ඔවුන් එක ම වන්දනාකරුවන් පිරිසක් සේ වන්දනාව අරඹයි.

මෙම වන්දනාව පාගමනින් ම යා යුතු අතර, දුර කි.මී. 29ක් පමණ වෙනවා.
 
aiyappan lord 7ශිලාමය පියගැට පෙළ – panorama.com
අත්‍යවශ්‍ය බඩු බාහිරාදිය පොට්ටනියක් සේ බැඳ හිසෙහි තබාගෙන යන මෙම ගමනේ දී යෝගීන් භාවිත කරන සැරයටියක් ද ගෙන යාම සිරිතක්.

මේ දිගු ගම⁣නින් පසු ඔවුන් පම්බා ගඟේ ස්නානය කර පසුව, සබරිමලේ දේවස්ථානයේ වූ ශිලාමය පියගැට දහ අට තරණය කළ යුතු යි.

ඒ සෑම පියගැටපෙළක් ම ධාර්මිකත්වයේ වටිනාකම නියෝජනය කරන බවට යි සැලකෙන්නේ.

(උපුටා ගැනීම් - roar.media)

මූලාශ්‍ර:

අපේ රටේ සබරිමලේ - උදිත ගුණවර්ධන, පොන් අරුණාසලම්

www.timesofindia.com

www.sabarimala.kerala.gov.in

www.hindustanitimes.com


 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...