The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ආණ්ඩුව යන්නේ හරි පාරේද? | චරිත හේරත්

T

The Leader Desk

August 14, 2025 • 3:25 PM

ආණ්ඩුව යන්නේ හරි පාරේද? | චරිත හේරත්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සමහරුන් සිතන්නේ වත්මන් ආණ්ඩුව පිළිබඳව පසුවිපරමක් කරන්නට තවමත් කල් වැඩියි කියාය.
  • ඔවුන්ගේ මතය වී ඇත්තේ ‘ආණ්ඩුවට යම් කාලයක් දිය යුතු’ බවයි.
  • ඒ අදහසේ යම් පදනමක් තිබෙන බව සැබෑය.
  • මගේ තේරුම්ගැනීම වන්නේ වත්මන් ආණ්ඩුවට ජනවරමක් ලැබීමට මුල් වූ හේතු කීපයක් තිබෙන බවය.
අකුරු ප්‍රමාණය (Font Size):


සමහරුන් සිතන්නේ වත්මන් ආණ්ඩුව පිළිබඳව පසුවිපරමක් කරන්නට තවමත් කල් වැඩියි කියාය. ඔවුන්ගේ මතය වී ඇත්තේ ‘ආණ්ඩුවට යම් කාලයක් දිය යුතු’ බවයි. ඒ අදහසේ යම් පදනමක් තිබෙන බව සැබෑය. එහෙත් වසරක් ගෙවී යමින් තිබෙන ආණ්ඩුවක් පිළිබඳව විමසීමක් කිරීම වැරැද්දක් යැයි මා සිතන්නේ නැත.

වත්මන් ආණ්ඩුව පත්වීමේ තර්කය

xfhgjdtyh
ආණ්ඩුවේ ප්‍රගති වාර්තාව බලන්නට නම් අප මුලින්ම තේරුම් ගත යුත්තේ මේ ආණ්ඩුව බලයට පත් වූ පදනම හෙවත් තර්කය කුමක්ද යන්නය. ආණ්ඩුවේ ප්‍රගතිය හෝ කඩාවැටීම හෝ මැනිය යුත්තේ ඒ පරමාර්ථයට අදාළවය. එයට අනුවය.

මගේ තේරුම්ගැනීම වන්නේ වත්මන් ආණ්ඩුවට ජනවරමක් ලැබීමට මුල් වූ හේතු කීපයක් තිබෙන බවය. එයින් පළමුවැන්න වන්නේ ‘මේම අයගේ හොඳකමට වඩා මෙතෙක් සිටි අයගේ නරක කමට’ පාඩමක් ඉගැන්වීමය. ඒ නිසා ආවේශයෙන් මෙන් ඡන්දය දුන්නේ ‘ඉන්න උන් එලවන්නටය’ ඒ වැඩේ කරන්නට දුන් ඡන්දයෙන් ලැබුණු පළමු ප්‍රතිඵලය වූයේ අලංකාරික හරහා ගොඩ නගා තිබූ වසර 76 ම රට කාපු පිරිස’ යන මිත්‍යා දෘෂ්ටියෙන් පාට කර තිබූ පැරණි පාර්ලිමේන්තුවේ කණ්ඩායම් පරාජයට පත් කිරීමය.

එහි ව්‍යති රේඛයක් ලෙසින් තමන්වත් නොදන්නා මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුවට පත් වී ආ බව සැබෑය. එහෙත් මගේ අදහස වන්නේ ජනතාවට එසේ පාර්ලිමේන්තුවට පත් කර යැවූ අයගේ හොඳ නරක බලන්නට එතරම් උනන්දුවක් තිබුණේ නැති බවය. එක අතකින් බලන විට මේ ආණ්ඩුව ඡන්දය දුන් සමහරුන්ගේ අභිප්‍රාය, බලාපොරොත්තුව මේ වන විටත් සම්පූර්ණ වී හමාරය. ඒ කියන්නේ ‘පරණ කට්ටිය එළවීම’ සඳහා පමණක් ආණ්ඩුවට ඡන්දය ලබා දුන් අයට ඒ අය පැතූ ජයග්‍රහණය ලැබී හමාරය. ආණ්ඩුවෙන් කර ගැනීමට වෙනත් දෙයක් ඒ අයට නැත.

එහෙත්, වත්මන් ආණ්ඩුවට ඡන්දය දුන් දෙවැනි කණ්ඩායම යැයි මා සිතන්නේ ආණ්ඩුවෙන් ‘විශ්ව කර්ම’ වැඩ බලාපොරොත්තු වන පිරිසක් බවයි. ‘හිටපු ආණ්ඩුවල කාටවත් කරන්න බැරි මේ ආණ්ඩුවේ අයට විතරක් පුළුවන්’ වැඩ යැයි ඒ අය සිතාගෙන සිටින බොහෝ දේවල් වත්මන් ආණ්ඩුවෙන් බලාපොරොත්තු වන්නේ මම මේ කියන දෙවැනි පිරිසය. අනෙක් අතට ඒ අය සිතනවා යැයි පෙනෙන්නේ රටේ තියෙන සෑම ප්‍රශ්නයකටම පිළිතුරක් මේ ආණ්ඩුවේ අය ළඟ තිබෙනවා වැනි එකකි. මේ බලාපොරොත්තුව එසේ වර්ධනය වී තිබෙන්නේ ආණ්ඩුවේ අය තමන්ගේ හැකියාව ගැන සහ අනෙක් අයගේ නොහැකියාව ගැන සිදුකරන බරපතළ ‘කතා’ නිසාය.

පඩිය වැඩි කරන්න, රැකියා ඇතිකරන්න රටේ ණය ‘සුටුස් ගාල’ ගෙවන්න, පොහොසත් රටක් හදන්න, ලස්සන ජීවිතයක් හදන්න පුළුවන් ආණ්ඩුවක් යැයි ගොඩ නැගී ඇති පාක්ෂික අවිඥානය විසින් ආණ්ඩුවට දෙනු ලබන පීඩනය ඉතා විශාලය.

ආර්ථිකයේ තත්වය

cghfvcvsde
වත්මන් ආණ්ඩුව බලයට පත්වන කාලය වන විට 2022 සිට ගොඩ නැගි තිබූ ණය අර්බුදය සමහන් කිරීමේ වැඩ සටහන රනිල් වික්‍රමසිංහ රජය විසින් දමා තිබුණි. ඒ වැඩසටහන වත්මන් රජයත් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කළේය. ඒ අනුව ආර්ථිකයේ ස්ථාවර භාවය Economic stability ආර්ථිකයේ ස්ථාවර භාවය පසුගිය රජයේ උපක්‍රමවලින් එළියට ගියේ නැත. එය හොඳ දෙයක්ය.

එහෙත් ආර්ථිකයේ වර්ධනය හෙවත් Economic Growth එක හදන ආකාරයක් ගැන වික්‍රමසිංහ රජයේ වැඩසටහනක් තිබුණේ නැත. ඒ නිසාම වත්මන් රජයට එවැනි ආර්ථික වර්ධන වැඩසටහනක් නැති බව මගේ අදහසය. රටක ආර්ථිකයක් කඩා වැටී තිබෙන අවස්ථාවක වැදගත් වන කාරණා දෙකක් වන්නේ ආර්ථික ස්ථාවරය සහ ආර්ථික වර්ධනය යන දෙකමය.

මෙයින් පළමු වැනි එක පැත්තෙන් වත්මන් රජය සාර්ථක වී ඇත. එසේ වී ඇත්තේ ආර්ථික ස්ථාවරභාවය සඳහා අලුත් වැඩපිළිවෙළක් රනිල් වික්‍රමසිංහ රජය ගොඩ නගා තිබූ නිසා යැයි කීමේ වැරැද්දක් නැත. එහෙත් ආර්ථික වර්ධනය සඳහා ශක්තිමත් වැඩපිළිවෙළක් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ කාලයේ පටන් ගෙන තිබුණේ නැත. ඒ නිසා වත්මන් රජයටත් ඉදිරියට ගෙන යන්නට ආර්ථික වර්ධන ආකෘතියක් ඇත්තේ නැත. රට පුරා යම් ආකාරයක දේශපාලන ආතතියක් (Stress) ගොඩ නැගෙමින් තිබෙන්නේ මේ කියන ආර්ථික වර්ධනයක් රටේ සිදුවන්නේ නැති නිසාය.

රාජ්‍යයේ කාර්ය භාරය

cghddggrrrf
මගේ තේරුම් ගැනීම වන්නේ වත්මන් ආණ්ඩුව රාජ්‍යයේ කාර්යභාරය කුමක්ද යන්න පිළිබඳව සිටින්නේ යම් ආකාරයක ඌනතිවාදී අදහසක බවයි. රජය සිටිය යුත්තේ නීතිය ක්‍රියාත්මක කිරීමට සහ හුදු නියාමන කාර්යභාරයකට පමණක් යැයි සිතන ආකාරයේ ආකල්පයකින් කටයුතු කරන්නේ ඒ නිසා විය යුතුය. මගේ අදහස වන්නේ ශ්‍රී ලංකාව වැනි ශක්තිමත් වෙළෙඳපොළක් නොමැති රටක රාජ්‍යයට සංවර්ධන කාර්යභාරයක් තිබෙන බවයි. ඒ නිසා හුදු නියාමකගේ වගකීම පමණක් නොව සංවර්ධන ක්‍රියාදාමයේ තරගකරුවකු ලෙසින් රාජ්‍යයට ක්‍රියා කිරීමට සිදුවන්නේය.

තවත් පැත්තකින් මෙරට රාජ්‍යය යනු වෙළෙඳපොළේ ප්‍රධානම පාරිභෝගිකයාය. රාජ්‍යය අක්‍රිය වුවහොත් වෙළෙඳපොළ තුළ බරපතළ අර්බුද ගණනාවක්ම ඇති වීමට නියමිතය.

මෙවැනි තත්වයක් තුළ රාජ්‍යය යනු හුදු නිෂ්ක්‍රීය නිරීක්ෂකයකු සහ මධ්‍යස්ථ නියාමකවරයකු ලෙසින් තේරුම් ගැනීම හේතුවෙන් වෙළෙඳපොළ පැත්තෙන් විය හැකි අවුල්සහගත තත්වය මේ වන විට ගොඩ නැගමින් තිබෙන බව පැහැදිලිය. නිලධාරීන් බියට පත් වී සිටීම මේ තත්තවය තවත් වර්ධනය කර ඇත.

දේශපාලන ප්‍රතිසංස්කරණ

xfhdhhy
මා මුලින් සඳහන් කළ ආකාරයට ආර්ථික ප්‍රතිසංස්කරණවල තිබෙන ගැටලුකාරිත්වයට නොදෙවැනි තත්වයක් දේශපාලන ප්‍රතිසංස්කරණ තුළ ද මතු වී ඇත. පාර්ලිමේන්තුවේ සිදුවන පනත්, රෙගුලාසි වෙනස් කිරීම් බොහෝ විට පදනම් වන්නේ යම් ආකාරයකින් කවුරුන් හෝ ඉලක්ක කර ‘දෙඤ්ඤං බැටේ’ ආකල්පයක් මතය. හිටපු ජනාධිපතිවරුන්ගේ නෛතික වරප්‍රසාද, හිටපු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප්. මීට පෙර කාලවල ජනාධිපති අරමුදලේ වැය කිරීම් වැනි දේවල් ඉදිරියට එන්නේ එවැනි ආකල්පයක් නිසාය.

රටේ දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ, පැත්තෙන් ඉතාමත් අත්‍යාවශ්‍ය මැදිහත්වීමක් සිදුකළ යුත්තේ රාජ්‍ය සේවය අලුත් කරන්නටය. රජයේ ඩිජිටල්කරණ වැඩසටහන ඒ පැත්තෙන් යම් බලාපොරොත්තුවක් ගෙන දුන් එකක් විය. විශේෂයෙන්ම හාන්ස් විජේසූරිය මහතා ඒ වැඩේට පැමිණීමම  ඉතාමත් බලාපොරොත්තුසහගත දෙයක් විය. එහෙත් පෙනී යන ආකාරයට ඒ වැඩසටහන ක්‍රියාත්මක වන්නේ මන්දගාමී තත්වයකය.

රජයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා ඉදිරිපත් වූයේ තවත් දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණයක් ලෙසින්ය. ඒ වැඩසටහනට මේ වන විට විශාල විරෝධයක් ආණ්ඩුවට සම්බන්ධ පාර්ශ්ව හා බුද්ධිමතුන් වෙතින් මතු වෙමින් තිබේ. අගමැතිතුමිය ඒ පිළිබඳව සාකච්ඡා කරන්නට පටන් ගෙන ඇති නමුත් ඒ වැඩේ කරන්නට හැකියාවක් තිබේ යැයි මට සිතෙන්නේ නැත. අපේ රටේ අධ්‍යාපනය තිබෙන්නේ ඉතාමත් යල් පැන ගිය තැනකය. රටේ දූ දරුවන්ව අපි තල්ලු කරමින් සිටින්නේ වැරැදි අධ්‍යාපන දිසාවකටය. එයින් දරුවන් ගලවා ගැනීම ඉතාමත් අවශ්‍ය දෙයක්ය. එහෙත් එවැනි අත්‍යාවශ්‍ය ප්‍රතිසංස්කරණයක් වුවත් වැරදි ආකාරයෙන් කළහොත් සිදුවන්නේ එය කරන්නට බැරිවීමය.

2022 අරගලයෙන් පසු දේශපාලනය

xfbdhdff
අපේ රටේ දේශපාලනය ගමන් කරන්නේ ඒ ඒ සන්දර්භීය තත්වවලට සාපේක්ෂ ලෙසින්ය. 2015 ජනාධිපතිවරණය අවස්ථාවේ මගේ මිත්‍රයකු සිදුකළ දේශපාලන විශ්ලේෂණයකදී කියා සිටියේ ‘ප්‍රභාකාරන් නොමැති අවකාශයක ශ්‍රී ලංකා මැතිවරණය, දේශපාලනය මෙහෙයවන සාධකය බවට උතුරේ නැගෙනහිර ඡන්දය පත්වන බවයි.’ මේ අදහස සත්‍යයක් බවට 2015 ජනාධිපතිවරණයේදී ඔප්පු විය.

ඒ වගේම සන්දර්භීය තත්වයක් 2022 අරගලයෙන් පසුව රට තුළ නිර්මාණය වී ඇති බව මගේ අදහසය. 2022 න් පසුව මෙරට දේශපාලන විඥානය ගමන් කරන්නේ එතෙක් තිබූ ආකාරයෙන් ‘මැතිවරණයෙන් ආණ්ඩු මාරු කරන’ පිළිගැනීමෙන් එහාට ගොස් ‘සමාජ මාධ්‍ය අවකාශය කළඹා ආණ්ඩු මාරු කළ හැකියි.’ යන විඥානයත් සමගින්ය. ඒ නිසා මෙතෙක් කාලයක් බලයේ සිටි ආණ්ඩු මුහුණ නොදුන් අලුත් අත්දැකීමක් අලුත් තත්වයක් වත්මන් ආණ්ඩුව ඉදිරියේ තිබෙන බව මගේ අදහසය. වෙනත් ලෙසකින් කිවහොත් 2022 න් පසු සමාජ විඥානය වැඩ කරන්නේ ආණ්ඩු මාරු කරන්නට මැතිවරණ තෙක් බලා සිටිය යුතු නැතැයි ආකල්පයකින්ය.

මා කියන මේ කාරණය ආණ්ඩුවේ අයට හොඳින් තේරුම් යනවා ඇත. මොනවා කළත් ඊළඟ මොහොතේ එයට එරෙහිව හෝ වෙනත් දෙයකට එරෙහිව ජනතා බලයක් ඒකරාශී කරවන තැනකට සමාජ මාධ්‍ය අවකාශය බලවත් වී ඇත.

ඇත්තටම වත්මන් ආණ්ඩුව හැදුණේම එවැනි සමාජ මාධ්‍ය පෙණ මතුවීම් (Social medin bubbles) ප්‍රයෝජනයට ගනිමිනි. ඒ බලවේගයට මුහුණ දීමේ අභියෝගයට දැන් ආණ්ඩුවත් හැඩ ගැට ගැසී ඇත.

මේ තත්වය කළමනාකරණය කරන්නේ කෙසේද යන්න මත ආණ්ඩුවේ ගමන් මග තීරණය වන බව මගේ නිරීක්ෂණයයි.

Charitha Herath new(සටහන | මහාචාර්ය චරිත හේරත්)
charith9@yahoo.com

(ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයකු ලෙස කටයුතු කර ඇති මහාචාර්ය චරිත හේරත්, පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ මහාචාර්ය වරයකු ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසත්, පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ සභාපති ලෙසත් කටයුතු කළේය.)

(කිවිදා දැක්ම : ලංකාදීප- 2025 අගෝස්තු මස 08)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...