අවස්ථා කිහිපයකදී වතු කම්කරුවන්ගේ වැටුප් සම්බන්ධයෙන් රජය විසින් ගැසට් නිවේදන නිකුත් කෙරුණු අතර විවිධ අවස්ථාවලදී එම ගැසට් නිවේදන රජය විසින් ම නැවත හකුළා ගනු ලැබීය.
මෙතෙක් නොලැබුණු රුපියල් 1,700ක වැටුප

වසර ගණනාවක් පුරා සිදු කළ ඉල්ලීම්වල ප්‍රතිඵලයක් ලෙස තේ සහ රබර් වතු සේවක කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1,700ක් දක්වා ඉහළ දැමීමට අදාළ ගැසට් නිවේදනය කම්කරු දෙපාර්තමේන්තුව විසින් 2024 වසරේ අගෝස්තු 13 වන දා නිකුත් කෙරිණි.
එහිදී දෛනික අවම ගෙවීම රුපියල් 1,350ක් ලෙස ද එලදායිතාව මත පදනම් වූ දිරි දීමනාව ලෙස රුපියල් 350ක් ද කම්කරුවන්ගේ වැටුපට දෛනිකව එකතු වන අයුරින් එම ගැසට් නිවේදනය නිකුත් විය.
රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරය දරන සමයේ මෙම ගැසට් නිවේදනයක් නිකුත් කළ ද එය මෙතෙක් එය ක්‍රීයාත්මක වී නැත.
'අපිට තව ම ඒක බැරි වෙලා තියෙනවා, අපි ඒ ගැන කණගාටු වෙනවා'
වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක 2025 වසරේ අයවැය ඉදිරිපත් කරමින් වතු කම්කරුවන්ගේ යෝජිත රු. 1,700ක වැටුප ලබා දීමට රජය මැදිහත් වන බව ප්‍රකාශ කළ නමුත් වත්මන් රජය ද තවමත් එම තීරණය ක්‍රියාත්මක කිරීමට අසත්ම වීම ගැන සමාජය තුළ විවේචන පවතී.
මෙවැනි පසුබිමක වතු කම්කරු වැටුප් වැඩිකිරීම රජයට අභියෝගයක් වී ඇති බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක නානුඔය දුම්රිය ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත පැවසීය.
"අපිට තව ම අභියෝගයක් වෙලා තියෙනවා වතු කම්කරු ජනතාවගේ වැටුප් වැඩි කරන්න. ඔවුන්ට ලැබෙන වැටුප මදී. වතු කියන්නේ කර්මාන්තයක්, අපි දුටුවා වතු සමාගම් විශාල ලාභයක් ලබලා තියෙනවා පසුගිය කාලයේදී. වැවිලි කාර්මාන්ත අමාත්‍යංශයත්, මුදල් අමාත්‍යංශයත් අඛණ්ඩ මැදිහත් වීමක ඉන්නවා වැටුප් වැඩි කරන්න වතු කම්කරුවන්ගේ. අපිට තව ම ඒක බැරි වෙලා තියෙනවා, අපි ඒ ගැන කණගාටු වෙනවා. නමුත් අපි ඒ සටන අතහරින්නේ නෑ."
වතු කම්කරු ජනතාවගේ වැටුප් ගැටලුව මාස කිහිපයක් තුළ විසඳා ගත හැකි වනු ඇති බවට ද එහිදී බිමල් රත්නායක අමාත්‍යවරයා විශ්වාසය පළ කළේ ය.
වතු කම්කරුවන්ගේ ගේ වැටුප තීරණය වන්නේ කොහොම ද?
රජයට අභියෝගයක් වී තිබෙන වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම පිළිබඳව වැඩිදුර කරුණු විමසීමට බීබීසි සිංහල, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න සම්බන්ධ කර ගෙන තිබිණ.
"වතු කම්කරු වැටුප වැඩි කරන්න ඕන කියන මතය සහ උවමනාව අපේ රජයට තියෙනවා. පහුගිය අයවැය ලේඛන ඉදිරිපත් කරනකොට ජනාධිපතිතුමා මෙරට රාජ්‍ය සේවකයන්ගේ වැටුප වැඩි කළා, ඒ වගේ පෞද්ගලික අංශයේ වැටුප වැඩි කළා. මොකද රජයට තියෙන නීති රීතිවලට අනුව එවැනි වැටුප් වැඩි කිරීමේ හැකියාවක් තියෙනවා," ඇමතිවරයා එහිදී පවසා ඇත.

එහෙත් වතු කම්කරුවන්ගේ වැටුප තීරණය වන්නේ එලෙසින් නොව වතු කම්කරු වෘත්තිය සමිති සහ වතු හාම්පුතුන් අතර පවතින සමූහික ගිවිසුමකින් බව ද අමාත්‍යවරයා 'බීබීසී සිංහල' වෙත ප්‍රකාශ කර තිබේ.
"වතු හාම්පුත්තුන්ගේ පැත්තත් වතු කම්කරුවා නියෝජනය කරන වෘත්තිය සමිති ගණනාවකුත් එකතු වෙලා සාකච්ඡා මාර්ගයෙන් වසර දෙකෙන් දෙකට තමයි මේ වැටුප වැඩි කරන්නේ. ඒකට මැදිහත් වීම කම්කරු අමාත්‍යංශය හැටියට කරනවා," ඔහු පැහැදිලි කරයි.
'සාමූහික වශයෙන් එයාලා තාම එකඟතාවකට ආවේ නැහැ'
වැටුප් වැඩි කර ගැනීම සම්බන්ධව වතු හාම්පුතුන් සමග සාකච්ඡා වට කිහිපයක් පැවැත්වූ බව පවසන සමන්ත විද්‍යාරත්න අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, තවමත් නිසි එකඟතාවකට පැමිණීමට නොහැකි වූ බව ය.
"සමහර වතු සමාගම් වෙන වෙන ම ඒ කට්ටිය මේකට පුළුවන් කිව්වත් සාමූහික වශයෙන් එයාලා තාම එකඟතාවකට ආවේ නැහැ."
වතු කම්කරු වැටුප් කිරීමට අදාළ පාර්ශව සමග තවදුරටත් සාකච්ඡා කරමින් සිටන බව පවසන ඇමැතිවරයා, එසේ වැටුප් වැඩි කිරීමට නොහැකි වුවහොත් ජනාධිපතිවරයා සමග වතු කම්කරුවන්ට යම් සහනයක් දිය හැකි වෙනත් විකල්ප ක්‍රම පිළිබඳව සාකච්ඡා කරන බව ද කියා සිටියි.
වතු කම්කරු වැටුප රජයට අභියෝගයක් වුණේ ඇයි?
රජයට වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම අභියෝගයක් වී ඇත්තේ ඒ පිළිබඳව වතු සමගාම් සමග සකාච්ඡා නොකර ඒ බව පැවසීම නිසා යැයි වතුකරයේ ජනතා හඬ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ ඇන්තනී ජේසුදාස් බීබීසි සිංහල කළ විමසීමකදී සඳහන් කර තිබේ.
"අභියෝගයක් තමයි, මේගොල්ලෝ බොරුවට අයවැය ඉදිරිපත් කිරිමේදී කිව්වාට, මේගොල්ලෝ කම්පැනි එක්ක කතා කරලා නෙමෙයි කිව්වේ. කලින් රනිල් මහත්තයා මැයි දින වේදිකාවේදී කිව්වේ 1,750ක් කරනවා කියලා, ඒකත් ඒගොල්ලන්ට කර ගන්න බැරි වුණේ රජයෙන් නෙමෙයි නේ මුදල් වෙන් කරන්නේ. ඒ පඩිය ගෙවන්නේ කම්පැනි. සමාගම් එක්ක සාකච්ඡාවක් නැතුව මේගොල්ලන් හිතුමතේට මිනිස්සු රවට්ටන්න යෝජනා කළාට, ඒක හරියන්නේ නෑ," ඇන්තනී ජේසුදාස් පවසයි.

වතු කම්කරුවන්ගේ අයීතින් වෙනුවෙන් පෙනී සිටින ඇන්තනී ජේසුදාසන් පෙන්වා දෙන්නේ, වත්මන් රජය ද සමාගම් සමග සාකච්ඡා නොකර එවැනි ප්‍රකාශ සිදු කිරීම වෙනුවට කළ යුතුව ඇත්තේ වේතනය වැඩි කිරීමට සමාගම්වලට බලපෑම් කිරීම බව ය.
"සමාගම්වලට පොඩි බලපෑමක් කරන්න ඕනේ මේ පඩිය වැඩි කරන්න. එහෙම නැතිනම් අපි ඇක්ෂන් එකක් ගන්නවා කියන එක කියන්න ඕනේ. ඒක තමයි විය යුත්තේ. මොකක් හරි පනිෂ්මන්ට් එකක් කරන්න ඕනේ, එහෙම නැතිනම් හොඳ ම දේ තමයි ආණ්ඩුවට නැවත වතු ගන්න එක. අපි කාලයක් තිස්සේ යෝජනා කරපු එක තමයි ආණ්ඩුවට වතු ටික ගන්න කියන එක," ඔහු කියා සිටියි.
තවමත් වතු කම්කරුවකුගේ දෛනික වැටුප රුපියල් 1,350ක් බව පවසන 'වතුකරයේ ජනතා හඬ' සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා, ඇතැම් වතුවල එය ලබා දීමට ද විවිධ නීතිරීති පනවා ඇති බව ද සඳහන් කරයි.
'සාමූහික ගිවිසුම් අහෝසි කර නීතියට අනුව වැටුප් ගෙවන්න'

වතු කම්කරු වෘත්තිය සමිති සහ වතු සමාගම් අතර පවතින සමූහික ගිවිසුම දැනට ක්‍රියාත්මක නොමැති බවත් එය අහෝසි කර රටේ නීතිය යටතේ වතු කම්කරුවන්ට වැටුප් ලබා දිය යුතු බවත් ඇන්තනී ජේසුදාස් කියා සිටියි.
"කලෙක්ටිව් ඇග්‍රීමන්ට් එකේ කියෙනවා මේගොල්ලන්ගේ (වතු කම්කරුවන්) සංවර්ධනය, සෞඛ්‍යය ඒ වගේ බොහෝ කාරණා. නමුත් එකක්වත් එහෙම සිද්ධ වෙන්නේ නැහැ. ඊට වඩා හොඳ රටේ තියෙන නීතිය අනුව පඩි පාලක සභාව හරහා තීන්දුවක් ගන්න ඕනේ," යැයි ඔහු අවධාරණය කර සිටියි.
(උපුටා ගැනීම - බීබීසී සිංහල)




