The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

උඩතලවින්න ඛේදවාචකය: දේශපාලන බලය, යුක්තිය සහ පොදු ජන මතය | අජිත් පැරකුම් ජයසිංහ

T

The Leader Desk

August 16, 2025 • 9:29 AM

උඩතලවින්න ඛේදවාචකය: දේශපාලන බලය, යුක්තිය සහ පොදු ජන මතය | අජිත් පැරකුම් ජයසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ එදින කන්ද උඩරට ප්‍රදේශයේ, විශේෂයෙන්ම උඩතලවින්න ලෙස හඳුන්වන ප්‍රදේශයේදී සිදු වූ ඛේදවාචකය හේතුවෙනි.
  • එවකට නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා වූ අනුරුද්ධ රත්වත්තේ මහතාගේ පුතුන් දෙදෙනෙකු ඇතුළු 18 දෙනෙකුට එරෙහිව චෝදනා එල්ල වූ මෙම සිදුවීම, මෙරට මැතිවරණ ඉතිහාසයේ සිදු වූ දරුණුතම ප්‍රචණ්ඩ ක්‍රියාවක් ලෙස සැලකේ.
  • ඉන් පසු වෑන් රථය වෙත පැමිණි ප්‍රහාරකයන්, නිරායුධව සිටි එම පුද්ගලයන් දස දෙනාටම ඉතා ආසන්නයේ සිට වෙඩි තබා ඝාතනය කර, අවිආයුධ සහ අත්බෝම්බ දමා පළා ගොස් ඇත.
  • මොහමඩ් (25) නීතිමය ක්‍රියාවලිය සහ තීන්දුව මෙම සිදුවීම සම්බන්ධයෙන් අනුරුද්ධ රත්වත්තේ මහතා, ඔහුගේ පුතුන් වන ලොහාන් සහ චානුක ඇතුළු 18 දෙනෙකුට එරෙහිව චෝදනා 72ක් යටතේ නඩු පවරන ලදී.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ එදින කන්ද උඩරට ප්‍රදේශයේ, විශේෂයෙන්ම උඩතලවින්න ලෙස හඳුන්වන ප්‍රදේශයේදී සිදු වූ ඛේදවාචකය හේතුවෙනි. එවකට නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා වූ අනුරුද්ධ රත්වත්තේ මහතාගේ පුතුන් දෙදෙනෙකු ඇතුළු 18 දෙනෙකුට එරෙහිව චෝදනා එල්ල වූ මෙම සිදුවීම, මෙරට මැතිවරණ ඉතිහාසයේ සිදු වූ දරුණුතම ප්‍රචණ්ඩ ක්‍රියාවක් ලෙස සැලකේ.  

සිදුවීමේ ස්වභාවය 



2001 මහ මැතිවරණය දින සවස 5.30ට පමණ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ (SLMC) ආධාරකරුවන් දස දෙනෙකුගෙන් සමන්විත පිරිසක් මඩවල ඡන්ද මධ්‍යස්ථානයේ සිට ඡන්ද පෙට්ටියක් මහනුවරට රැගෙන යමින් සිටි වාහන පසුපසින් යමින් සිටියහ. 

Anuruddha Ratwatteඅනුරුද්ධ රත්වත්තේවාර්තාවලට අනුව, එවකට පොදුජන පෙරමුණේ (PA) අපේක්ෂකයෙකු වූ අනුරුද්ධ රත්වත්තේගේ පාලනය යටතේ සිටි බව කියන “මැර කණ්ඩායමක්” ඔවුන් ගමන් කළ වෑන් රථය හඹා ගොස් එය විදුලි කණුවක ගැටීමට සැලැස්වීය. ඉන් පසු වෑන් රථය වෙත පැමිණි ප්‍රහාරකයන්, නිරායුධව සිටි එම පුද්ගලයන් දස දෙනාටම ඉතා ආසන්නයේ සිට වෙඩි තබා ඝාතනය කර, අවිආයුධ සහ අත්බෝම්බ දමා පළා ගොස් ඇත. මෙම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් වූයේ:  


*ටී. එම්. ෆිසාර් (24)
*එෆ්. එම්. රිස්වාන් (27)
*එම්. ආර්. එම්. නසීර් (25)
*ඒ. එම්. එම්. මොහිඩීන් (31)
*ඒ. එම්. මිල්සාර් (23)
*ඉසෙඩ්. එම්. නසාර් (19)
*එම්. අයි. එම්. අෂ්වාර් (26)
*එම්. රිස්වාන් (23)
*අයි. එම්. අයි. ෆසාර් යහමොඩ් (25)
*එම්. මොහමඩ් (25)  

නීතිමය ක්‍රියාවලිය සහ තීන්දුව

මෙම සිදුවීම සම්බන්ධයෙන් අනුරුද්ධ රත්වත්තේ මහතා, ඔහුගේ පුතුන් වන ලොහාන් සහ චානුක ඇතුළු 18 දෙනෙකුට එරෙහිව චෝදනා 72ක් යටතේ නඩු පවරන ලදී. එම චෝදනා අතර මිනීමැරුම් කුමන්ත්‍රණය, මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සහ ඡන්දදායකයින්ට තර්ජනය කිරීම් ආදිය විය.

නඩුව විභාග කිරීම සඳහා කොළඹ මහාධිකරණයේ විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කරන ලද අතර , වසර ගණනාවක් පුරා නඩු විභාගය පැවතුණි. අතිශය සංවේදී සාක්ෂි විමසීම්වලින් පසුව, 2006 ජනවාරි 20 වැනිදා තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.  

mainpic L

මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අනුරුද්ධ රත්වත්තේ සහ ඔහුගේ පුතුන් දෙදෙනා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලදී.

කෙසේ නමුත්, රත්වත්තේ පවුලේ ආරක්ෂකයින් ලෙස කටයුතු කළ යුද හමුදා සෙබළුන් පස් දෙනෙකු මිනීමැරුම් චෝදනාවට වරදකරුවන් කොට මරණ දඬුවම නියම කරන ලදී. එම සෙබළුන් පස්දෙනාට මරණ දඬුවම ද, එක් සෙබළෙකුට අමතරව වසර 100ක සිර දඬුවමක් ද නියම කෙරිණි. තවත් සෙබළුන් අටදෙනෙකු නිදොස් කොට නිදහස් කරන ලදී.


විනිසුරුවරුන් සිය තීන්දුව ප්‍රකාශ කරමින් කියා සිටියේ, ආරක්ෂකයින් විසින් සිදු කරන ලද වරද මගින් අමාත්‍යවරයාගේ වරද ඔප්පු නොකරන බවයි.  

මහජන මතය සහ විවේචනය

 

judge 1

මහාධිකරණයේ මෙම තීන්දුව රට පුරා පුළුල් මහජන කතාබහට හා විවේචනයට ලක් විය. විනිසුරුවන්ගේ තර්කය වූයේ, ආරක්ෂකයින්ගේ ක්‍රියා මගින් අමාත්‍යවරයාගේ වරද ඔප්පු නොවන බවයි. නමුත් බොහෝ දෙනාගේ මතය වූයේ දේශපාලන අනුග්‍රහය මත මෙම නඩුව මෙහෙයවා ඇති බවයි.

දේශපාලන බලවතුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන බවත්, ඔවුන්ගේ නියෝග මත ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ සාමාජිකයන්ට පමණක් දඬුවම් නියම වී ඇති බවත් මහජනතාව අතර දැඩි හැඟීමක් ඇති විය.  

විශේෂයෙන්ම, මෙම නඩුවේදී දඬුවමට ලක් වූ සෙබළුන්ගේ ඉරණම සම්බන්ධයෙන් විවිධ අදහස් පළ විය. දේශපාලන බලයට යටත්ව, මොළයක් නොමැතිව වහලුන් මෙන් ස්වාමීන්ට සේවය කිරීම නිසා මේ සෙබළුන්ට අවසානයේ දඬුවම් විඳීමට සිදු වූ බවට සමාජය තුළ අදහසක් පැවතුණි.

 සෙබළුන්ට නියම වූ දඬුවම්, මුස්ලිම් ප්‍රජාව සතුටු කිරීම සඳහා ගත් “ව්‍යාජ තීන්දුවක්” බවට ඇතැම් විචාරකයෝ චෝදනා කළහ. මරණ දඬුවම නියම වූ පිරිසට, “අධිකරණයේ තීන්දුවට එරෙහිව කට නොහෙළන්නේ නම් මාස කිහිපයක් තුළ දඬුවම් ලිහිල් කිරීමට පොරොන්දු” වී ඇති බවට සැක පහළ විය. කෙසේ වෙතත්, එසේ සිදු වූයේ නැත.

අවසානයේදී සියල්ලන් නිදහස්

 

Colombo, SRI LANKA:  Sri Lanka's former Deputy Defence Minister Anuruddha Ratwatte (C) is escorted by officials as he leaves the High Court in Colombo, 20 January 2006, shortly after the High Court freed him on charges of murdering ten men during elections in December 2001. Ratwatte and his two sons were aquitted, but five soldiers who provided them with security were sentenced to death as well as 100 years in jail. AFP PHOTO/Sanka VIDANAGAMA  (Photo credit should read SANKA VIDANAGAMA/AFP via Getty Images)

අවසානයේදී, මෙම හමුදා නිලධාරීන් පිරිස 2009දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිදොස් කොට නිදහස් කරන ලදී.

මෙවැනි තත්ත්වයන් මත, මහජනතාවට යුක්තිය පිළිබඳව පැවති විශ්වාසය තවදුරටත් බිඳ වැටුණි. උඩතලවින්න නඩු තීන්දුව, දේශපාලන බලය සහ නීතියේ ආධිපත්‍යය අතර පවතින සංකීර්ණ සබඳතාව පිළිබඳ අදටත් කතාබහට ලක්වන සිදුවීමක් බවට පත්ව ඇත්තේ එබැවිනි.

මෙම සිද්ධිය, බලය අයුතු ලෙස භාවිතා කිරීම සහ දේශපාලන මුක්තිය පිළිබඳව මහජනතාව තුළ පවතින අතීත මතකයන් යළි අවදි කරමින්, රටේ නීතියේ ආධිපත්‍යය පිළිබඳ ගැටලු නැවත නැවතත් කරළියට ගෙන එනු ලබයි.  

ලුම්පන් ප්‍රභූන්

අනුරුද්ධ රත්වත්තේගේ පියා වූ හැරිස් ලෙව්කේ රත්වත්තේ 1936 සිට 47 දක්වා කෑගල්ල ආසනය නියෝජනය කරමින් රාජ්‍ය මන්ත්‍රණ සභාව නියෝජනය කළේය. ඔහු 1947 සිට 52 දක්වා මාවනැල්ල ආසනය නියෝජනය කළ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයාය. පසුව ඔහු සෙනෙට් සභාව ද නියෝජනය කළ අතර ඉන් පසු දළදා මාළිගාවේ දියවඩන නිලමේ තනතුරට තේරී පත්විය.

Sri Lanka President Chandrika Kumaratunga (R) pins a medal on deputy defense minister General Anuruddha Ratwatte 23 December at the navy colours night. Ratwatte was decorated for the military's successful capture of the Tamil Tiger guerrilla bastion of the northern Jaffna peninsula in December 1995. (Photo by SENA VIDANAGAMA / AFP) (Photo by SENA VIDANAGAMA/AFP via Getty Images)

ස්වේච්ඡා හමුදා නිලධාරියකු වූ අනුරුද්ධ රත්වත්ත 1994 සිට 2000 දක්වා සමයේදී ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක යටතේ ආරක්ෂක නියෝජ්‍ය ඇමති ලෙස කටයුතු කරමින් දේශපාලන බලය පාවිච්චි කර තමන්ටම යුද සම්මාන ලබාගනිමින් ජනරාල් තනතුරකට පත්කරවා ගත්තේය.

ඔහු නියෝජ්‍ය ආරක්ෂක ඇමති ධුරය දැරූ සමය කොටි සංවිධානය යුදමය වශයෙන් සාර්ථකත්වයට පත්වූ අවධිය විය. ශ්‍රී ලංකා හමුදාව මෙම සමයේදී මුලතිව් පරාජය, කිලිනොච්චි පරාජය, අලිමංකඩ පරාජය වැනි ලාංකික හා ලෝක යුද ඉතිහාසයේ රාජ්‍ය හමුදා ගරිල්ලා සංවිධානයක් ඉදිරියේ ලද දැවැන්තම පරාජයන්ට ලක්විය.

අනුරුද්ධ රත්වත්තේ විවිධ දූෂණ චෝදනාවලට ද ලක්වූ අයෙකි. ඔහුගේ ප්‍රධානියා වූ, පවුලේ සමීප ඥාතියකු වන හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක ද වංචා, දූෂණ, අක්‍රමිකතා, මැරවරකම්, ඝාතන ආදිය සම්බන්ධයෙන් වගකිවයුතු පාලනයකට නායකත්වය දුන් ලුම්පන් චරිතයකි.

 

Colombo, SRI LANKA:  Sri Lanka's former Deputy Defence Minister Anuruddha Ratwatte (L) addresses reporters outside the High Court in Colombo, 20 January 2006, shortly after the High Court freed him on charges of murdering ten men during elections in December 2001. Ratwatte and his two sons were aquitted, but five soldiers who provided them with security were sentenced to death as well as 100 years in jail. AFP PHOTO/Sanka VIDANAGAMA  (Photo credit should read SANKA VIDANAGAMA/AFP via Getty Images)

ලුම්පන් යනු මාක්ස්වාදී අරුතින් ගත් කල තමන් අයිති විය යුතු පන්තියෙන් ආර්ථික හා සමාජමය වශයෙන් ගැලවී ගිය බලවේග වේ. සිංහලෙන් මෙය පාදඩකරණය ලෙස හැඳින්විය හැකිය. ලංකාවේ බොහොමයක් පාරම්පරික වලව්කාර පවුල් දේශපාලනයට යොමුවීමෙන් පසු සිය පැරණි දේපල හිමි පන්තිමය උරුමය වෙනුවට ආර්ථිකමය හා සමාජමය වශයෙන් සොරකම, වංචාව, දූෂණය, මැරවරකම හා ඝාතනය මත පදනම් වන කල්ලි බවට පත්වූ බව නිරීක්ෂණය කළ හැකිය. මෙම වලව්කාර පවුල්වල ප්‍රභවය ද එසේම වූ බවට ද කෙනෙකුට තර්ක කළ හැකිය.

ලොහාන් රත්වත්ත

යටත් විජිත සමයේ ප්‍රභූ පවුලක් ලෙස සැලකුණු ලොහාන් රත්වත්තේගේ සීයාගේ පවුල ඔහුගේ පියා වූ අනුරුද්ධ රත්වත්තේගේ කාලයේ සිට විවෘතවම පාදඩකරණයට ලක්විය.

ලොහාන් රත්වත්තේ මිනීමැරුම්, දූෂණ, සල්ලාලකම්, මැරවරකම් ආදිය සමග නම ගෑවුණු පුද්ගලයෙකි. සිය පියාගේ ඇමති හයිය ගෙන හැසිරුණු ඔහු 1997දී එවකට හැව්ලොක් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කළ පැපුවා නිව්ගිනි ජාතික ජොඑල් පේරා සමග සමාජ ශාලාවකදී ගැටුමක් ඇතිකර ගත්තේය. පසුදින උදෑසන පේරාගේ මළසිරුර හමුවූ අතර ලොහාන් රත්වත්තෙට චෝදනා එල්ල වුව ද ඔහු නිදහස් විය.

1999දී පිස්තෝලයක් ලෙලවමින් ඇම්බැක්ක දේවාලයේ බස්නායක නිලමේට මරණීය තර්ජන කළ බවට ඔහුට විරුද්ධව පැමිණිල්ලක් තිබිණි.

lohan

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, සිරකරු පුනරුත්ථාපන, මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත යන රාජ්‍ය අමාත්‍ය ධුර දැරූ සමයේ ලොහාන් රත්වත්ත බීමතින් වැලිකඩ බන්ධනාගාරයට මෝටර් රියකින් හා අනුරාධපුර බන්ධනාගාරයට හෙලිකොප්ටරයකින් ගොස් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තිබෙන සිරකරුවන්ට තර්ජනය කර තිබේ. සිරකරුවන්ගේ හිසට රිවෝල්වරයක් තබා ඝාතනය කරන බවට තර්ජනය කළ බවට ද චෝදනා එල්ල විය.

මීට අවුරුදු 25කට පමණ ඉහත සමයේ හිටපු ශ්‍රී ලාංකික රූප රාජිනියක හා සිහින ඉසව්ව ටෙලි නාට්‍යයයේ දිය කිඳුරියකගේ චරිතය රඟපෑමෙන් ප්‍රසිද්ධ වූ මිෂෙල් රේමර්ස්ගේ සිරුරට ගිනි ඇවිලීම සම්බන්ධයෙන් තරුණ දේශපාලක රත්වත්තේ නමක් කියැවුණුමුත්, එම සිද්ධිය හදිසි අනතුරක් බව ඇය දැඩිව අවධාරණය කළාය.

නීති විරෝධී මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ලොහාන් රත්වත්තේගේ සොයුරු චානුක රත්වත්තේට එරෙහිව නඩුවක් තිබිණි.

වර්තමානයේදී පාදඩකරණය වී තිබෙන රත්වත්තේ පවුල ත්‍රිත්ව විද්‍යාලය, රගර් ක්‍රීඩාව වැනි දේ සමග අඛණ්ඩව සම්බන්ධතා සහිත පවුලකි.

හැරිස් රත්වත්තගේ මී මුණුබුරකු වූ, රගර් ක්‍රීඩකයකු වූ අශාන් තරින්ද රත්වත්ත 2020 ජුනි මස බීමතින් අධිවේගයෙන් රිය පදවා තුන්මුල්ල හන්දියේ ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරය අසලදී රිය අනතුරක් සිදුකර රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්තව සේවය කළ දක්ෂ පොලිස් නිලධාරියෙකු වන සිතුම් දුලීක හේමාල් (22) මරාදැමු බවට චෝදනා එල්ලවිය.

AJITH PARAKUM
(සටහන | අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com

 


(මෙම ලිපිය praja.lk හි පලවූවකි)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...