The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

බුදු දහමට එකඟ නොවන ජනකාන්ත පුද පූජා! | ප්‍රණීත් අභයසුන්දර

T

The Leader Desk

August 17, 2025 • 10:59 AM

බුදු දහමට එකඟ නොවන ජනකාන්ත පුද පූජා! | ප්‍රණීත් අභයසුන්දර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ වන විට එය අප සමාජයෙන් ද මැනැවින් දිස්වීම මත එහි මානව හා සමාජ විද්‍යාත්මක ශාස්ත්‍රීය මූලය විමසුමට ලක් කිරීමේ අවශ්‍යතාවක් පැන නැඟී තිබේ.
  • මිනිසා තුළ පවත්නා මෙම බුද්ධි පරිනාමීය ලක්ෂණය සියළු මානව චර්යාවන් හා විවිධාකාරයෙන් දක්නට ලැබෙන බව පැහැදිලිව දැක ගත හැකි සත්‍යයකි.එම තත්වය මිනිසා ගේ ලෞකික, භෞතික චර්යාවන්ට සේම ආධ්‍යාත්මික ජීවිතය සම්බන්ධයෙන් ද එක සේ බලපාන්නකි.
  • ලොව ආගම්වල මූලික ඉගැන්වීම්, සදාචාර මාර්ගය වර්තමානය තෙක් එලෙසින්ම අඛණ්ඩව හා අවිච්චින්නව පැවත එන බවට පොදු සමාජ සම්මුතියක් තිබේ.
  • ඒ අනුව වත්මන් සමාජයේ බොහෝ දෙනකු සිතනුයේ තම ආගම හා සම්බන්ධ මුල් නිර්මලත්වය අදටත් එලෙසම භුක්ති විදීමට තමනට අවකාශ හිමි ව ඇති බවකි.
අකුරු ප්‍රමාණය (Font Size):


මේ වන විට එය අප සමාජයෙන් ද මැනැවින් දිස්වීම මත එහි මානව හා සමාජ විද්‍යාත්මක ශාස්ත්‍රීය මූලය විමසුමට ලක් කිරීමේ අවශ්‍යතාවක් පැන නැඟී තිබේ.

මානව විද්‍යාඥයන් අවධාරණය කරන අන්දමට නවතාවයන් සොයා යාම මිනිසාට පමණක් ආවේණික ලක්ෂණයකි. වඩු කුරුල්ලාට තම සහජතාව පදනම් ව  තමන්ට අවශ්‍ය කූඩුව කදිමට සකසා ගැනීමේ විස්මිත හැකියාවක් තිබේ. එහෙත්, ඔවුන් සියලුම දෙනා තනන සියලුම වඩු කූඩු එකම ආකෘතියකින් යුතු වන අතර එදා මෙදා තුර ඒ ආකෘතියේ කිසිදු ප්‍රවර්ධනයක් පරිනාමයක් දැකිය නොහැක.

නමුත් මිනිස් ශිෂ්ටාචාරය ආරම්භක යුගයේ දී ආරම්භ වූ මිනිසා ගේ ගෘහ නිර්මාණ ක්‍රියාවලිය අද වන විට කෙබඳු ප්‍රවර්ධනයකට පරිනාමයකට ලක් ව තිබේද?

බෞද්ධයෙක් නම් නිරාගමිකයි - (චින්තන ධර්මදාස)

මිනිසා තුළ පවත්නා මෙම බුද්ධි පරිනාමීය ලක්ෂණය සියළු මානව චර්යාවන් හා විවිධාකාරයෙන් දක්නට ලැබෙන බව පැහැදිලිව දැක ගත හැකි සත්‍යයකි.එම තත්වය මිනිසා ගේ ලෞකික, භෞතික චර්යාවන්ට සේම ආධ්‍යාත්මික ජීවිතය සම්බන්ධයෙන් ද එක සේ බලපාන්නකි. ඒ ඔවුන් ඒ තුළින් ද නවතාවයන් බලාපොරොත්තු වන බැවිනි.

ලොව ආගම්වල මූලික ඉගැන්වීම්, සදාචාර මාර්ගය වර්තමානය තෙක් එලෙසින්ම අඛණ්ඩව හා අවිච්චින්නව පැවත එන බවට පොදු සමාජ සම්මුතියක් තිබේ. ඒ අනුව වත්මන් සමාජයේ බොහෝ දෙනකු සිතනුයේ තම ආගම හා සම්බන්ධ මුල් නිර්මලත්වය අදටත් එලෙසම  භුක්ති විදීමට තමනට අවකාශ හිමි ව ඇති බවකි.

එහෙත්, සමාජ මානව විද්‍යාත්මක ද්‍රෂ්ඨියෙන් බලන විට එය එසේ පිළිගැනීමේ යම් අසීරුවක් පවතී. ඊට හේතුව එම ආගමික ඉගැන්වීම් වසර සිය දහස් ගණනක් පුරා මානව සමාජය හා බද්ධව පැවතීමේ දී ඒවා තත්කාලීන සමාජයන්ට සේම එක් එක් සමාජය තුළ පවත්නා ආර්ථික හා සංස්කෘතික වටපිටාවට අනුව ප්‍රතිව්‍යුහගත වන බැවිනි.ඒ එම ආගමික ඉගැන්වීම් යම් යම් විපරිනාමයනට පවා ලක් කරමිනි.

 

ඒ නියාමයට අනුව ශ්‍රී ලාංකේය බෞද්ධ සංස්කෘතිය තුළට අවශෝෂණය වූ මුල් බුදු සමයට අයත් නොවූ සේම ඊට එරෙහි වූ බොහෝ දේ තිබේ.මූලික බුදු සමයට අනුව “සරණාගමනය” යනු බුදු දහමින් පැවසෙන ආර්ය මාර්ගයේ මුල් පියවර වන චිත්ත දමනය මුල් කොට ගත් සදාචාරාත්මක චර්යා පද්ධතියකි.එහෙත්, එය අද වන විට “බුදු සරණයි”,”තෙරුවන් සරණයි” ආදී වශයෙන් පිහිටාරක්ෂාව පිළිබඳ ආශිංසන වාක්‍යයක් බවට පත්ව තිබේ.නමුත් බුදු සමය සමාජ සංස්ථා ව්‍යුහයක් ලෙස ස්ථාපිත කොට ප්‍රවර්ධනය කර ගැනීම පිණිස මෙවැනි තත්වයන් බෙහෙවින් ඉවහල් වන බව ද අප වටහා ගත යුතු ය.

කපටි පූජකයන් දෙවියකු බවට පත් කළ විප්ලවවාදියා | තිලක් සේනාසිංහ

පුද-පූජා, වත්-පිළිවෙත් යනු පොදු ආගමික ලක්ෂණයකි. පුද පූජා යන්න අභිචාර විධි ( Rituals ) වශයෙන් මානව හා සමාජ විද්‍යාඥයන් විසින් හඳුනා ගෙන තිබේ. එහෙත්, අදත් අප සමාජයේ බොහෝ දෙනකු ඒ සම්බන්ධයෙන් නොදන්නා කරුණක් තිබේ. එනම් ඉහත සඳහන් අභිචාර වශයෙන් හඳුනා ගත හැකි පුද පූජාවන්ට මූලික බුදු සමයෙන් කිසිදු ඉඩ හසරක් නොමැති වීම ය.

බුදු දහමේ “පූජා” වශයෙන් සැම විටෙකම අර්ථ ගැන්වෙනුයේ චිත්ත දමනය මුල් කොට ගත් සදාචාරාත්මක චින්තන සන්නිවේදන සහ චර්යා දාමයක් පමණි. එහෙත්, මූලික බුදුසමයේ පවතින සදාචාරය පදනම් කර ගත්  එම දාර්ශනික හරය සාමාන්‍ය ජන සමාජය තුළ ව්‍යාප්ත කරවීමට ඇති නොහැකියාව මත විවිධ කාලවලදී ඊට සමකාලීන සමාජමය සිතුම් පැතුම් සහ අභිලාෂයන් මත පදනම් වන අභිචාර ගණයේ පූජා චාරිත්‍ර එක්ව තිබේ.

 

1 copy scaled

මේ වන විට ලොව වඩාත්ම ව්‍යාප්ත වෙමින් පවතින සමාජ ආර්ථික දේශපාලන දර්ශනය වනුයේ නව ලිබරල්වාදයයි. අධි පරිභෝජනවාදී අවශ්‍යතා මුදුන් පමුණුවා ගැනීම මුල් කොට ගත් නවීන වෙළෙඳ පළ සංකල්පය මගින් සමාජයේ හැඟීම් ආවේග කුළුගැන්වීම නිරතුරුවම සිදුවනු දක්නට ලැබේ. එහෙත්, බුදුදහමට අනුව ඒවාට අනුගත වීම කෙසේවත් සාධනීය තත්ත්වයක් නොවේ.

මජ්ජිම නිකායට අයත් මහා රට්ඨපාල සූත්‍රයේ එන තෘෂ්ණාවේ දාසයකු වන මිනිසා කිසිදු තෘප්තියට නොපැමිණෙන  (ඌණෝ ලෝකේ අතිත්තෝ තණ්හාදාසෝ ) බවට ඉදිරිපත් කෙරෙන යථාර්ථය මේ වන විට සමාජ පරමාදර්ශයක් බවට පත් ව තිබේ. නූතන සමාජය තුළ මෙම නිසරු සංකල්පය මිනිස් මනැස තුළ කොතෙක් ප්‍රවර්ධනය වී තිබේද? යත් එක් සුව පහසු මෙට්ටයක් මත සයනය කිරීමේදී ගතට දැනෙන සුව පහසුව එක පිට එක තබන ලද එවැනි මෙට්ට හතක් මත සයනය කිරීමෙන් හත් ගුණයකින් ඉහළ නැගෙන බව සිතීමට තරම් වත්මන් සමාජයේ බොහෝ දෙනෙක් මෝහයෙන් අන්ධ වී සිටිති.

 

 66482838 buddhist rally getty
මෙම මානව චර්යාව බුදු සමයෙහි විස්තර කෙරෙනුයේ සැප සම්බන්ධයෙන් වන එවන් වැරදි අර්ථ නිරූපණයන් මත කටයුතු කිරීම මගින් මිනිසා විසින් අත් විඳිය යුතු මානසික සුවය සහනශීලීත්වය බරපතල ලෙසින් අහිමි වීමක් ලෙසිනි. ඉතා සරල නිදසුනකට අනුව කිවහොත් මෙය පිපාසයට ලුණු වතුර බීමක් මෙනි.

මූලික බුදු සමයට අයත් නොවන ඉහත සඳහන් අභිචාර ගණයට අයත් පුද පූජා වලින් කොටසක් මිනිසා තම ලෞකික අභිවෘද්ධිය තකා සිදුකරන ශාන්ති කර්ම ගණයට අයත් වේ.පොදු ආගමික ලක්ෂණයක් ද වන මේවා සමාජ හා මානව විද්‍යා විෂය පථය තුළ මේවා නම් කෙරෙනුයේ ශ්වේතාභිචාර ( White Magic ) යනුවෙනි. ආයු, වර්ණ, සැප, බල යන චතුර්විධ ලෞකික සම්පත්  අපේක්‍ෂාවෙන් සිදුකෙරෙන මෙම අභිචාර දාමය දිනෙන් දින පුළුල් හා විවිධාංගීකරණයට ලක් වන අතර ඒවා ජනානන්දනීය තත්වයට පත් වීම ද නිරතුරුවම දක්නට ලැබේ.

අනේක විධ පුද පූජා යනුවෙන් නම් ලබමින් ප්‍රවර්ධනය වන  තම ලෞකික දිවි පැවැත්මේ සාර්ථකත්වය අපේක්‍ෂාවෙන් සිදුකෙරෙන ශාන්ති කර්ම ගණයට අයත් මෙම ශ්වේතාභිචාර ව්‍යුහය සාමාන්‍ය ජනතාව තුළ විස්මයක් හා අහ්ලාදයක් දනවන අයුරින් ප්‍රවර්ධනය කොට ඒ කෙරෙහි ඔවුන් ආකර්ශනය කරගැනීම් වර්තමානයේ නිරතුරුව දක්නට ලැබේ.

 

405774792 673996181533317 3499710470696602148 n

එමෙන්ම අප බෞද්ධ සමාජයේ ප්‍රචලිතව පැවැති සාම්ප්‍රදායික පුද පූජාවලට වඩා වෙනස් හා විචිතවත් නවතම මාදිලියේ පුද පූජා ව්‍යුහයක් එක්කර ගැනීම නිරතුරුවම නවතාවයක් අපේක්‍ෂා කරන ශ්‍රී ලාංකේය මධ්‍යම පන්තියේ මානසික අවශ්‍යතා පදනම්ව ඔවුන් ඒවා සඳහා ආකර්ශනය කර ගැනීමක් ද වේ. ඒ අනුව මෙම ඇතැම් පුද පූජා සඳහා ජනතාව ලක්ෂ ගණනින් එක් රොක් වීම් ගැන අසන්නට තිබේ.

නමුදු එසේ අති විශාල ජනකායක් එක් කොට ඔවුන් ගෙන් යම් පිරිසක් බුදු දහමේ සඳහන් විමුක්ති මාර්ගය වෙත යොමු කරවීමක් පිළිබඳව මූලික බුදු සමයේ කරුණු සඳහන් නොවේ. බුදුන් වහන්සේගේ ධර්ම සන්නිවේදන ක්‍රියාවලිය පිළිබඳව විමසීමේදී සැම විටම පෙනී යනුයේ ඒ සඳහා එක් වන්නවුන් ගේ සංඛ්‍යාත්මක අගය කෙරෙහි උන් වහන්සේ කෙසේවත් සැලකිලිමත් නොවූ බවකි.

නමුදු උන් වහන්සේගේ පවා තැකීමකට ලක් නොවූ මෙම කරුණ වත්මන් ශ්‍රී ලාංකේය ජනප්‍රිය බුද්ධාගම තුළ පරමාදර්ශී තත්වයට පත්ව ඇත්තේ ඇයි? ඒ සඳහා ඉදිරිපත් කළ හැකි කෙටි හා සරලම හේතුව නම් ඉන් ගනුදෙනු ව්‍යාපාර ඔස්සේ ජාවාරම්කරණය සඳහා වන කදිම පොටක් පෑදීම ය.

අලියාට ඇහැ තියන ක්‍රමයට අලි මිනිස් ගැටුමට විසඳුම් සෙවිය හැකිද? | ප්‍රණීත්  අභයසුන්දර(සටහන | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර)

(උපුටා ගැනීම - vinivida.lk)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

බුදු දහමට එකඟ නොවන ජනකාන්ත පුද පූජා! | ප්‍රණීත් අභයසුන්දර | The Leader