The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

නෑබොඩ : ඉංග්‍රීසි වැවිලිකරුවන්ගේ මුදලින්, මලෛයහ කම්කරුවන්ගේ ශ්‍රමයෙන් ගොඩනැගූ දේව වංශිකයන්ට උරුමවූ නගරය

T

The Leader Desk

August 19, 2025 • 7:57 AM

නෑබොඩ : ඉංග්‍රීසි වැවිලිකරුවන්ගේ මුදලින්, මලෛයහ කම්කරුවන්ගේ ශ්‍රමයෙන් ගොඩනැගූ දේව වංශිකයන්ට උරුමවූ නගරය 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "ලංකාවේ රිච්මන්ඩ්" නමින් හැඳින්වූ මෙවැනි සෞම්‍ය දේශගුණයක විසු වැවිලිකරුවන් උඩරට තේ රාජ්‍යයේ මෙන්ම පහත රට රබර් රාජ්‍යයේ ද සිය අණසක පැතිරුහ.
  • "ක්ලෝඩන් කියන වැවිලිකාර සුද්දා තමයි මේ නගරය 1833 දී ගොඩනගලා තියෙන්නේ.
  • ඔහුගේ සැලසුම සියළුම පහසුකම් ඇති නගරයක්.
  • ප්‍රභාත් ද සිල්වා "1865 අවුරුද්දේ තමයි රෝහල හදලා තියෙන්නේ.
අකුරු ප්‍රමාණය (Font Size):


"ලංකාවේ රිච්මන්ඩ්" නමින් හැඳින්වූ මෙවැනි සෞම්‍ය දේශගුණයක විසු වැවිලිකරුවන් උඩරට තේ රාජ්‍යයේ මෙන්ම පහත රට රබර් රාජ්‍යයේ ද සිය අණසක පැතිරුහ.

 

1000334438 copy

ක්ලොඩන් -නෑබොඩ අක්කර 1600 ක්, ක්ලයිඩ් -තෙබුවන අක්කර 1500 ක්, ෆොරොස්ටර්- ගොවින්න අක්කර 1200 ක්, ඩෙල්කිත් සමුහය- ලත්පඳුර අක්කර 2,500 ක්, හල්වතුර අක්කර 2,100 ක්, මැද්දේගෙදර අක්කර 1,300 ක්, නෙයුචටෙල් අක්කර 2,200 ක්, නෑබොඩ සමුහ අක්කර 1,600 ක්, සිරිකඳුර -මතුගම අක්කර 1,000 ක්, වෝගන් අක්කර 1,800 ක්, මිරිස්හේන අක්කර 900ක් සහ යහලකැලේ අක්කර 600 ක්, වශයෙන් රබර් වගාව ප්‍රචලිත වුයේ තනි පුද්ගල වැවිලිකරුවන් හා සමාගම් ලෙසය. එකල රබර් වගාව පැතිරිණි. තම වතු රාජ්‍යයන්ට සමගාමිව වැවිලි කරුවන් විසින් අංග සම්පුර්ණ නගර ද බිහි කෙරුණු අතර ඒවායේ ආධිපත්‍ය ද ඔවුන් සතු විය.

ක්ලෝඩන්ගේ සිහින නගරය

1000334358
හොරණ සිට මතුගම දක්වා දිවෙන මාර්ගයේ කළු ගංගා මිටියාවතේ කඳු වැටියකින් හා වෙල්යායකින් වටවූ කුඩා නගරයකි. ගරා වැටුණු හා  වල් වැවී, අත්හැර දැමූ  යුරෝපීය ගෘහ නිර්මාණ ශිල්පියට නෑකම් කියන ගොඩනැගිලි,  වසර සියයකට වඩා පැරණි නෑබඩ නගරයේ අතීත ශ්‍රිවිභුතිය කදිමට කියා පාන්නකි. එහෙත් කිසිදු සංරක්ෂණයක් නොමැතිව ගරා වැටෙමින් පවතින මෙය බ්‍රිතාන්‍ය යටත්විජිත පාලකයන්ගේ සමයේ  කොළඹ නගරයට පමණක් දෙවැනි වූ  සියලු පහසුකම් වලින් සමන්විත අංග සම්පුර්න නගරයකි.

"ක්ලෝඩන් කියන වැවිලිකාර සුද්දා තමයි මේ නගරය 1833 දී ගොඩනගලා තියෙන්නේ. ඔහුගේ සැලසුම සියළුම පහසුකම් ඇති නගරයක්. ගෑස් ලාම්පු වලින් තමයි රෑට නගරේ ආලෝකමත් කරලා තියෙන්නේ.මේ නගරෙට  නෑබඩත්  කියනවා නෑබොඩත්  කියනවා ඒත් නිවැරදි නම නෑබොඩ" යැයි නෑබොඩ නැවත ගොඩනැගීමේ සංවිධානයේ කැඳවුම්කරු විජයමුනි ප්‍රභාත් ද සිල්වා නගරයේ ඉතිහාසය ආවර්ජනය කරන්නට විය. දිවි සරු කරගන්නට සිය බිරිඳ හා එක්ව වඩේ වෙළඳසැලක්  පවත්වා ගෙන යන ඔහු, කාර්ය බහුල වුවද, නෑබොඩ ගැන දන්නා සියල්ල නොසඟවා අපව හමුවේ තැබීය.

1000334460

 

"ඒ කාලේ මෙහෙ ඉඳන් මෝදරට පාරු වලින් භාණ්ඩ ප්‍රවාහනය කළා. ලන්දේසිකාරයෝ  කළු ගඟට සම්බන්ධ වෙන්න ඇළක් කපලා තිබුණා. වැවිලි කරුවන්ට වගේම සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය සියල්ලම කොළඹින් ගෙන්නා ගත්තේ මේ පාරු වලින් තමයි."

ප්‍රභාත් ද සිල්වාගේ නෑබොඩට ඇලුම් කිරීමේ හේතුව පරම්පරා උරුමයකි. කොළඹ මහ රෝහලට පමණක් දෙවැනි වූ නෑබොඩ රෝහල ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව පැවරී තිබුනේ ඔහුගේ මී මුත්තා වූ බලපිටියේ හෙන්ද්‍රික් සිල්වා ටය.

 

1000335070ප්‍රභාත් ද සිල්වා

"1865 අවුරුද්දේ තමයි රෝහල හදලා තියෙන්නේ. සැත්කම්, සායන, බෝවන රෝග නිවාරණ අංශ, ප්‍රසුතාගාර ඇතුළු වාට්ටු හතක් එක්ක. තනිකරම කළු ගලෙන් බැඳලා තියෙන්නේ. හදවත් සැත්කම් ගොඩක් මෙහෙ තමයි කරලා තියෙන්නේ."

1860 වසරේ නිකුත් කළ බලපත්‍ර සහිත තැබෑරුම් දෙකකි. ඉන් එකක් වැවිලිකරුවන් වෙනුවෙනි. ඉරුදින පැවත්වෙන වෙළඳ පොලක් ආරම්භ කර ඇත්තේ 1840 දීය. මස් හා මාළු වෙළඳ සැල් වලට අමතරව මස් සැකසීමේ ගව ඝාතකාගාරයක් ද මේ නෑබඩ නගරයට අයත්ය. පොදු වැසිකිලි හයකි. පානිය ජල පහසුකම් වෙනුවෙන් ඉදිවූ ලිං හතරකි. ඊට අමතරව නාන පොකුණු තුනකි.

1000334457 copy
ලංකාවේ හය වැන්න ලෙස ඉදි වූ නෑබඩ තැපැල් කාර්යාලයට 1935 දී විදුලි පණිවිඩ සේවා ලැබුණු අතර මතුගම සහ කළුතර නගර වලට ද සේවාවන් සැපවුයේ මේ මගිනි. ඊට වසරකට පසු නෑබොඩ නගරයට ඉන්ධන පිරවුම් හලක් ද ලැබුණි.

1840 ඉදී කළ මෙතෝදිස්ත දේවස්ථානය, 1860 දී ඉදී කළ මුස්ලිම් දේවස්ථානය සහ 1898 ඔප්පු ලියාපදිංචි කොට ඇති ශ්‍රී විජයාරාමය ද වසර සියයකට වැඩි පැරණි ආගමික සිද්ධස්ථාන වේ.

1956 දී බස් ජනසතුව යටතේ  නෑබඩ `ඕමිනි` සමාගමට අයත් බස් සියල්ලම කළුතර ඩිපෝවට පවරා ගනු ලැබුණි.

වසා දැමුණු හොඳම රෝහල

1000334428
ප්‍රභාත් ද සිල්වාට අනුව 1860 වන විට බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයන් පමණක් ලංකාව පුරා රෝහල් 17 ක් ඉදි කර ඇත. නෑබඩ රෝහල ගොඩනැගුනේ වැවිලිකාර ක්ලෝඩන්ගේ සැලසුමකට හා ඔහුගේ පුර්ණ අධීක්ෂණය යටතේය.

"රෝහල හදන්න තෝරා ගත්තේ පැය 24 පුරාම සුළං හමන තැනක්. එකෙන් බලාපොරොත්තු වුනේ විෂ බිජ හරණයක් වගේම ලෙඩ්ඩුන්ට පිරිසිදු වාතාශ්‍රයක් ලැබෙනවා. අපේ මී මුත්තා හෙන්ද්‍රික් සිල්වා රෝහල ඉදිකරනකොට මේ උපදෙස් හොඳට පිළිපැද්ද. ක්ෂය රෝග හා සමාජ රෝග වාට්ටුවට ඇලකින් එගොඩ වෙන්න ඕනේ. වෙනම තියෙන්නේ. අනිත් එක හොඳට සිසිලස තියාගන්න දොළ පාරක් උඩින් ගල් අතුරලා තමයි වාට්ටු හදලා තියෙන්නේ." යැයි සිය මී මුත්තා ගැන සොයා ගත් තොරතුරු ප්‍රභාත් අප හමුවේ තබන්නේ මහත් අභිමානයෙනි.

"රෝහල හදන කාලේ අපේ මී මුත්තාට අවශ්‍ය කරන ගල්,වැලි, ලී දඬු එහෙම සපයලා දුන්නේ පයාගල පැත්තේ තුඩුගලගේ ඩොන් පිලිප්පු කියලා කෙනෙක්. පස්සේ 1870 කොළඹ වරායේ ජැටිය හදන්න මෙයා සම්බන්ධවෙලා. විවෘත කරන දවසේ සාදේ දී  සුද්දෝ අහල තියෙනවා ඩොන් පිලිප්පු ගෙන් නම්බුනාමයක් දෙන්න. එයා ඉල්ලගෙන තියෙන්නේ විජේවර්ධන කියලා. විජේවර්ධන පරම්පරාව හැදෙන්නේ එයාගෙන්. හැබැයි ඒ නම්බු නාමය එයාට විතරයි. එයාගේ ඥාතියෝ ගොඩක් මේ අවට තාමත් ජිවත් වෙනවා. හැබැයි ඒගොල්ලන්ට විජේවර්ධන කෑල්ල නැහැ."

1000334437
තාක්ෂණය නොදියුණු අවධියේ පවා සාර්ථකව සැත්කම් කළ නෑබොඩ රෝහල ගැන අද පැවසීමට ඇත්තේ අතීතයක් පමණි. ප්‍රදේශයේ බලය හෙබවූ දේශපාලන නායකත්වය හා රාජ්‍ය නිලධාරිතන්ත්‍රය විසින්  සැලසුම් සහගතව රෝහල අභාවයට යාමට සැලැස්සු බව නෑබොඩ වැසියන් නගන තවත් චෝදනාවකි.

නෑබොඩ නගරය යළි ගොඩ නගන්නට මහත් වෙහෙසක් දරන ප්‍රභාත් ද සිල්වාට අනුව රෝහල අඩපණ වන්නේ 1977 න් පසුවය.

"රෝහල අඩපණ කරලා වසා දැම්මට පස්සේ  ගොඩක් කරදර වුනේ බඩදරු අම්මලාට. නෑබොඩ සහ මේ ළඟ අහල පහල ගැබිණි අම්මලා 48 දෙනෙකුට දරුවන් ලැබුනේ මහ මගදී. මේ රෝහලේ උපන් දැන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ වැඩ කරන දෙමළ නෝනා කෙනෙක් එයාගේ උප්පැන්නය ගන්න මෙහෙ ආවා. ඒත් රෝහල වහලා තියෙනවා දැකලා කම්පා වුණා."

වල් වැදී ඇති රෝහලේ අනෙක් වාට්ටු කෙසේ වෙතත්, ගැබිණි වාට්ටුව හෝ පවත්වා ගෙන යන්නට කටයුතු කරන්නේ නම් නෑබොඩ වැසියනට මහත් අස්වැසිල්ලක් බව, කරුණු පහදන්නට එක්වූ නිලන්ති මල්කාන්ති පැවසුවාය.

1000334439
බස්නාහිර පළාතේ එක් මායිමක වූ නෑබඩ අධයාපන කළාපයට අයත්  නෑබොඩ විද්‍යාලය හුදකලා පාසලක් ලෙස සලකා සංවර්ධනයට රුපියල් ලක්ෂ 250 ක මුදලක් අනුමතවී තිබිණි. ඒ 2016 යහපාලන ආණ්ඩුව පැවති සමයේදීය. එහෙත් ප්‍රදේශයේ දේශපාලනඥයන් සමග එක්වූ රාජ්‍ය නිලධාරින් කියා සිටියේ පාසැල නායයාමේ අවදානමට ලක්ව ඇති බවකි.

"නාය යනවා කිව්ව හින්දා මුදල් ආපහු ගියා. ඒත් ස්කොලේ තවම තියෙනවා. පස්සෙන් පහු ස්කෝලෙට උඩින් කන්ද උඩ හෝටලෙකුත් හදලා තියෙනවා. නාය නම් ගියේ නැහැ." ප්‍රභාත් පවසන්නේ රජයේ නිලධාරින් නෑබඩ වැසියන්ට දක්වන කෙනෙහිලිකම් ගැන කෝපයෙනි.

ප්‍රභාත් ගේ සොයා ගැනීම් අනුව අද බලවතුන්ගේ නොසැලකිල්ලට ලක්වෙන නෑබඩ ඉතිහාසය තුල, එවක බ්‍රිතාන්‍ය යටත් විජිත වූ තායිලන්තය හා මැලේසියාව දක්වා විහිදේ. ඉස්තරම් වර්ගයේ රබර් වගාව වෙනුවෙන් බීජ යවනු ලැබුවේද නෑබඩිනී.

"නෑබොඩ තමයි තිබ්බේ ලොකුම කාර් සෙල් එක. ඒ කියන්නේ 40හේ  දශකයේ විතර. මෙහෙන් ඕඩර් කරාම කොළඹින් ගෙනත් දෙනවා. හැබැයි දැන් වගේ ජපන්,චීන, ඉන්දියන් කාර් නෙවයි  ඔක්කොම යුරෝපේ හදපුවා."

1000334453
කුල ක්‍රමයේ  අඳුරු සෙවනැළි

කුඩා වුවත් මේ පැරණි නගරය සංරක්ෂණ කිරීමේ වගකීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සිය න්‍යාය පත්‍රයෙන් අත්හැර බවට නෑබොඩ වැසියන්ගෙන් නැගෙන චෝදනාවකි. වසර සියයකට වඩා පැරණි යුරෝපීය සම්ප්‍රදායන්ට අනුව ඉදි කළ බොහොමයක් ගොඩනැගිලි රජයට අයත් ඒවාය. ඒවා පවතින ආකාරයෙන් සංරක්ෂණය කරන්නේ නම් සංචාරක ආකර්ෂණය දිනා ගන්නවා නොඅනුමානය. නෑබඩ වැසියන්ට ඉන් අවැඩක් නොවනු ඇත. ඔවුන්ගේ අතමිට සරුවනු නිසැකය. එහෙත් ආණ්ඩුව මැදිහත්ව ඒ වෙනුවෙන් වැඩපිළිවෙලක් සකස් කළ යුතුය. මෙතෙක් සිදුවී නොමැත්තේද එයයි. ඊට බලපාන ප්‍රධාන සාධකයකි.

1000334456 copy

"මෙතෙක් ආපු හැම ආණ්ඩුවක්ම නෑබොඩ මිනිස්සු ගැන බැලුවේ නැහැ. අරියාදුමයි කළේ. දිස්ත්‍රික් වගේම ප්‍රාදේශීය සංවර්ධන කමිටු වලදී නෑබොඩ කිව්වාම ප්‍රතිපත්ති මොනාවුනත් හැම දේශපාලන පක්ෂයක්ම එකට හිට ගන්නවා. මොකක්ද හේතුව කුල බේදය. නෑබොඩ බහුතරයක් දේව වංශිකයෝ ඒකයි මේ නොසැලකිල්ල." යැයි නෑබොඩ යළි ගොඩනගන්නට බලපාන ප්‍රධාන බාධකය ගැන ප්‍රභාත් අපට කියා සිටියේ තවමත් සියුම්ව ක්‍රියාත්මක වන කුල බේදය ගැන හෙළිදරව් කරමින්ය. සෞම්‍ය, සුන්දර නෑබොඩ සත්‍ය යතාර්ථය ද එයයි.

නෑබොඩ දිවි ගෙවන පවුල් 10,000 කින් 7,000ක් ම දේව වංශික පවුල්ය. දේව වංශිකයන්ට අනුව ඔවුන් පැවත එන්නේ ලම්භකර්ණ රජ පෙලපතකින්ය. එහෙත් මේ සටන්කාමි දේව වංශිකයන්ව කුල ධුරාවලිය පෙළ ගැස්වීමේදී අව වරප්‍රසාදිත කොටසට ලා සැළකේ. ප්‍රදේශයේ දේශපාලනඥයන් හා රාජ්‍ය නිලධාරින් බොහොමයක් ගොවිගම වංශිකයන්‍වේ.

 

1000334436
ගම්මුලාදෑනි ක්‍රමය අවසන් වුවද එහි අවශේෂ නටබුන් තවත් නෑබොඩ දකින්නට ඇතැයි ප්‍රභාත් ද සිල්වා වෙතින් තවත් බරපතල හෙළිදරව්වකි.

"දේශපාලඥයන්ගේ ,රාජ්‍ය නිලධාරීන්ගේ බලපෑමට බියෙන් තමන්ගේ බිරිඳ දීලා අසරණව ඉන්න මිනිස්සු තවමත් මේ ගැන්මේ ඉන්නවා. ගම්මුලාදෑනි කාලේ වගේ ලිංගික සුරාකෑම තවමත් තියෙනවා. දැන් වුණත් රැකියාවක් ගන්න වෙනයම් හෝ වැඩ කරගන්න  පරණ වතු බංගලාවකට හරි තානායමකට හරි යන්න කාන්තාවන්ට බල කෙරෙනවා. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ  නිසා කවුරුත් මේවාට ඇස් කන් පියාගෙන ඉන්නවා."

1000334443

කුල බේදය නිසාම පැරණි නගරයක් ලෙස සංචාරක ආකර්ෂණය දිනා ගන්නට සංරක්ෂණය කරනවාට වඩා දැනට අභාවයට යමින් තිබෙන ගොඩනැගිලි ද කඩා බිඳ දමමින් මාර්ගය පුළුල් කිරීම සෑම රජයක් විසින්ම ගත් පියවරකි. එහෙත් නෑබඩ නගරයේ වෙළඳ හිමියන් කිහිප දෙනකුගේ බලවත් විරෝධය නිසා එය දිනෙන් දින පමා විය. එහෙත් වත්මන් ජාතික ජනබලවේගය ආණ්ඩුව යටතේ එම ක්‍රියාවලිය වඩා හොඳින් ක්‍රියාත්මක වෙමින් තිබේ. මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ගේ දැඩි බලපෑම මත කඩ හිමියන් විසින්ම තම ඉපැරණි ගොඩනැගිලි කඩා ඉවත් කර ගනු ලබන්නේ ඒ වෙනුවෙන් කිසිදු වන්දි මුදලක් ද නොලබාය.


මලෛයහ ජනයාගේ දහදිය හා කඳුළු

maleiyaha

නෑබොඩ අතීත සශ්‍රිකත්වය ගැන කතා කරද්දී, අමතකම නොකළ යුතු ප්‍රජාවක් වනුයේ මලෛයහ ජනතාවයි. එවකට කුලී කම්කරුවන් ලෙස මෙරටට රැගෙන ආ ඔවුන් වතු වැඩ වලට අමතරව අනෙකුත් සේවාවන් සඳහා ද යෙදවිණි. නෑබඩ නගරය නිර්මාණයේ දී කම්කරුවන් ලෙස ශ්‍රම දායකත්වය ඔවුන්ගෙනි. නගර නිර්මාණයෙන් අනතුරුව පවිත්‍රතා කටයුතු වෙනුවෙන් නිත්‍ය කම්කරුවන් හය දෙනෙකු නම් කර තිබිණි. ඒ නෑබොඩ මලෛයහ ජනයාගෙනි.

එහෙත් ඔවුන්ගෙන්  බහුතරයකට ලංකාව හැර දා යළි ඉන්දියාවට යාමේ ඉරණම ලියා තිබුනේ සිරිමා -ශාස්ත්‍රී ගිවිසුම හරහාය.

1977 දී  එක්සත් ජාතික පක්‍ෂ මැතිවරණ ජයග්‍රහණයත් සමග රටපුරා ප්‍රචණ්ඩ ක්‍රියා රැල්ලක් පැතිරිණි.  නිල නොවන මට්ටමින් ඇතැම් රාජ්‍ය නායකයන්ගේ අනුබලය ලැබුණු මෙහිදී ඉලක්ක වුයේ ආණ්ඩු විරෝධීන් හා සුළුතර ජන ප්‍රජාවන්ය. මෙම ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව සොයා බලන්නට පසුව පත්කළ සන්සෝනි කොමිසමට නෑබොඩ මලෛයහ ජනයාගෙන් පැමිණිලි දෙකක් ලැබී තිබිණි.

නෑබොඩ වත්තේ  කම්කරුවන් දිවි ගෙවූ ලයින් කාමර වෙත මැර ප්‍රහාරයක් එල්ලවූ 1977 අගෝස්තු 22 වැනිදා ජෙගනාදන් සීතාගේ මාමණ්ඩියට  එක් මැරයෙකු විසින් පිහියකින් ඇන තිබේ. මාමණ්ඩියගේ සහායට ඇය එහි ගිය විට, මැරයන් දෙදෙනෙකු විසින් ඇයව ඇදගෙන ගොස් ලිංගික බලහත්කාරකම් කර තිබේ. මේ සිදුවීම් සියල්ල වන විට සවස තුන පමණවේ. ඊට පෙර එනම් අගෝස්තු 21 වැනිදා වත්තට කඩා වැදුණු අවුරුදු 20 හා 25 අතරේ පසුවූ තරුනයන් පිරිසක්  ලයින් කාමරවලට පහර දී, එහි සිටී කුකුළන් සොරා ගෙන තිබිණි.

නෑබොඩ, නියුව්චෙල් වත්තේ කන්කානි ඒ.සෙල්ලයියා පදිංචිව සිටී කොටස අවට සිංහල ගම් වලට මැදිවුවකි. 1977 අගෝස්තු 24 වැනිදා  සවස 7 ට පමණ වැඩිමනත් තරුණයන්ගෙන් යුත් මැර කණ්ඩායමක් විසින්  ලයින් කාමර වෙත ප්‍රහාරයක් දියත් කරන ලදී. ලයින් කාමර 12 කට පැන ඒවා කොල්ල කෑ අතර තවත් ලයින් කාමර තුනක් ගිනිබත් කෙරිණි. මෙහි වඩාත් ඛේදනීය සිදුවීම වුයේ සෙල්ලයියාගේ පියාණන් වූ අදෙයිතන් කපා කොටා මරා දැමීමය. ඔහු බේරා ගැනීමට උත්සහා කළ සෙල්ලයියාට ද මැරයන්ගේ පිහි පහරින් තුවාල සිදුවිය. ඔහුගේ බිරියගේ තෝඩු ද සොරා ගෙන තිබිණි.

1983 කළු ජූලියේදී දෙමළ ජනයාට එරෙහිව දියත් කෙරුණු ප්‍රචණ්ඩත්වය නෑබොඩ ද වෙලා ගෙන තිබිණි. නගරයේ දෙමළ ව්‍යාපාරිකයන්ට අයත් කඩ කිහිපයක් ගිනිබත් කෙරිණි.

"දෙමළ මිනිස්සු එක්ක අපි හරිම සුහදව සහයෝගයෙන් හිටියේ. ඒගොල්ලෝ හොඳ මිනිස්සු. දේශපාලකයෝ තමයි ජාතිවාදය ඇතිකළේ. කරදර මැද්දේ ගොඩක් දෙනෙක් මෙහෙන් ජිවිත බේරාගෙන පැනලා ගියා. නෑබොඩ නගරේ  සිංහල  මුදලාලිලා 19 දෙනෙක් පොලිසිය අරන් ගිහින් කුඩු කළා. එහෙත් දින කීපයකට පස්සේ උසාවි දාලා නිදහස් කළා කිසිම සාක්කියක් නැති නිසා" යැයි 1983 ප්‍රචණ්ඩ ක්‍රියා සියැසින් දුටු  නෑබොඩ ව්‍යාපාරිකයෙකු සිය අත්දැකීම් ආවර්ජනය කළේ කළු ජුලි මිනිස් සංහාරය නිර්මාණය කළ දේශපාලකයන්ට දෝශාරෝපනය කරමින්ය.

`අනාගතය වෙනුවෙන් නගරය සංරක්ෂණය කරන්න`  

1000335069එන්. සරත්
"මේ තියෙන ගොඩනැගිලිත්  තව අවුරුදු 20 ක් 25 ක් තියේවි. සංරක්ෂණය නොකලොත් මිට අවුරුදු සියයකට විතර කලින් නගරයක් අනාගත  පරම්පරාවට බලාගන්න ලැබෙන්නේ නැහැ. කොහොමත් මෙතෙක් කල් නොකරපු සංරක්ෂණයක් ඉදිරියේත් වෙයි කියලා බලාපොරොත්තු වෙන්න බැහැ. පාරේ තියෙන  සිහිවටන ගල් කණුත් ගලවන් ගිහින් තමන්ගේ ගෙවල් ලස්සන කරන දේශපාලුවෝ ඉන්න රටක ඒ ගැන හිතන්න වත් අමාරුයි." නෑබොඩ නිර්මාතෘ ක්ලොඩන්ගේ නමින් පසුව ඉදිකළ ජනපදයේ දිවිගෙවන 60 හැවිරිදි එන්. සරත් පවසන්නේ ඉදිරිය ගැන අපේක්‍ෂා විරහිතය.

නෑබොඩ වැසියන් මුහුණ දෙන අනෙකුත් බරපතල ගැටලුව වන්නේ  විටින් විට ගලන ගංවතුර උවදුරය. ඊට ද බොහෝ හේතු තිබේ. බොහෝ කලකින් ඇළ මාර්ග රොන් මඩ ඉවත් කර පවිත්‍ර කර නොමැත. අනවසර ගොඩකිරීම් හා ඉදිකිරීම් නිසා ඇළ මාර්ග පටු වී තිබේ. කළු ගඟට සම්බන්ධවන මහ ඇළ පවිත්‍ර කර දෙන මෙන් බලකරමින් උද්ඝෝෂණය කරන්නට ද නෑබඩ වැසියන්ට සිදුවිනී.

1000334444
ලන්දේසින් විසින් සකස් කළ බොල්ගොඩ ඇළ, වේරස් ඇළ, කිරුළපන ඇළ  හරහා අතීතයේ භාණ්ඩ ප්‍රවාහනය සිදුවූවාක් මෙන්, අද දවසේ දෙස් -විදෙස් සංචාරකයන් වෙනුවෙන් බෝට්ටු සවාරි දියත් කළ හැකිය. එහෙත් ඊට පෙර මේ ඇළ මාර්ග සංවර්ධනය කළ යුතුව ඇති බවට නෑබඩ වාසීහු පෙන්වා දුන්හ. සිනමා හා ටෙලි නිර්මාණයන් කිරීමට ද නෑබොඩ ඉපැරණි නගරය යොදා ගත හැකිය. ඒ කෙරෙහිත් බලධාරීන්ගේ  අවධානය යොමු වීම වැදගත්වේ.

බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ නිර්මාණය වුනු නෑබොඩ නගරය සංරක්ෂණය කරමින්, ලන්දේසි යුගයේ  ඉදි කළ ජල මාර්ග සංවර්ධනය කරමින්, සංචාරක ආකර්ෂණය දිනා ගනිමින්, අනාගත පරම්පරාවට දැක බලා ගන්නට අවස්තාව ලබා දෙන මෙන් නෑබොඩ වැසියෝ ඉල්ලා සිටිති. දිනෙන් දින ගරා වැටෙමින් තිබෙන නගරය පැරණි පෙනුමටම සංරක්ෂණයට පියවරක් ගන්නේ නම් නොපමාව ගත යුත්තකි.

ishanka sinha(සටහන සහ සේයා | ඉෂංඛා සිංහආරච්චි)
නිදහස්  මාධ්‍යවේදිනි

ishanka.singhe@gmail.com

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

නෑබොඩ : ඉංග්‍රීසි වැවිලිකරුවන්ගේ මුදලින්, මලෛයහ කම්කරුවන්ගේ ශ්‍රමයෙන් ගොඩනැගූ දේව වංශිකයන්ට උරුමවූ නගරය | The Leader