එම නාමාවලිය ආරම්භවන්නේ ජූනියර්ස් රිචඩ් ජයවර්ධනගේ සිට ය. රණසිංහ ප්‍රේමදාස, ඩිංගිරි බණ්ඩා විජේතුංග, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ ගෙන් හා අවසාන වශයෙන් රනිල් වික්‍රමසිංහ ජනපති ගෙන් රේඛනය කළ එම පදවියේ නව භාරකරු අනුර කුමාර දිසානායක ය.
ජේ. ආර්. ගේ මොළය

1978 – 1989 පළමු විධායක ජනාධිපතිවරයාගේ ධුර කාලය යි. විධායක බලතල හඳුන්වාදීමෙන් පසුව එහි උපරිම සීමාව වූ වාර දෙකක් විධායක ජනාධිපති ධුරය හෙබවීමට ද කටයුතු කළ ජයවර්ධන ජනාධිපතිවරයා තමන් එම ධුරයෙන් නික්ම යෑමට ප්‍රථම 1986 අංක 4 දරන ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත යටතේ හිටපු ජනාධිපතිවරුන්ට සහ හිටපු ජනාධිපතිවරුන්ගේ වැන්දඹුවන්ට නිල නිවාස සහ වෙනත් දීමනා සහ පහසුකම් ප්‍රදානය කිරීම සඳහා ද එවැනි වැන්දඹුවන්ට විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා ද අවශ්‍ය කටයුතු සලසා ගත්තේය.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය තුළ අනාගත අවශ්‍යතාවන්ට කලින්ම සූදානම් වීමේ ගතියක් ජයවර්ධන ජනාධිපතිගේ භූමිකාව නිරූපණය කර ඇත. එබැවින් අසූ හයේ දී කරළියට ගෙනා මෙකී පනත තුළින් ද ඔහු විසින් ඔහුගේ අනාගත විශ්‍රාම දිවිය සුරක්ෂිත කර ගැනීමට ක්‍රියා කළේය. ජනවහරේ පවතින්නේ ඒ " ජේ.ආර් ගේ මොළේ" කියාය.
ඔහු මුල්ම විධායක ජනාධිපතිවරයා නිසාත් එදවස අද මෙන් ජනාධිපතිවරුන්ගේ වියහියදම් සමාජමය කතාබහට ලක්වූ නොතිබූ නිසාත්, මේ පනත ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට තවත් වසර කිහිපයක් තිබූ නිසාත් එකල එම පනත සම්බන්ධයෙන් ප්‍රබල ගැටලුවක් උද්ගත නොවීය.

අනූ තුනේ මැයි දිනයේ දී ඝාතනයට ලක්වූ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිගෙන් පසු එතුමාගේ බිරිඳ වූ හේමා ප්‍රේමදාස වෙත ඉහත කී පනතේ ප්‍රතිපාදන මත හිමිවන වරප්‍රසාද අද දක්වාම භුක්ති විඳීමට ලැබී ඇත. ඉන්පසු වාර දෙකක් බැගින් ජනාධිපති ධූරය සම්පූර්ණ කළ බණ්ඩාරනායකයත්, තිස් වසරක දෙමළ ඊලාම් යුධ ගැටුම නිමා කිරීමට දේශපාලන නායකත්වය ලබාදුන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිත් මෙම පනතේ වරප්‍රසාද අඛණ්ඩව භුක්ති විඳිති. අනතුරුව විශ්‍රාම ගොස් සිටින සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ හා වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරුත් මෙකී හිමිකම් ප්‍රතික්ෂේප කරන්නට යෙදුනේ නැත.
නමුත් පසුගිය 2022 ආර්ථික අර්බුධය මත ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිගේ පාලනය බිඳවැටීමත්, එකී තත්වයන් තුළ නිල වශයෙන් ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් වීමත් නිසා ජනතාවට විකල්ප දේශපාලන තීන්දුවක් ගැනීමට අවශ්‍යය විය.
ජනතාවට නැති දේවල් දේශපාලකයන්ටත් එපා !
එම විකල්ප දේශපාලන ගමන් මාර්ගයක දැඩි අවශ්‍යතාව තම ප්‍රධාන තුරුම්පුව කරගනිමින් ශ්‍රී ලංකාවේ අතීත වැරදි නිවැරදි කිරීමටත්, ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට බලපෑ නාස්තිය, දූෂණය, අල්ලස ආදී විෂමාචාර තුරන් කරමින් නව දේශාපාලන සංස්කෘතියක් බිහිකරන්නටත් ජනවරම ඉල්ලූ දිසානායක වාමාංශික ප්‍රගතිශීලි මුහුණුවරකින් මෙරට බලය දිනාගනු ලබන්නේ මහජනතාවට නොලැබෙන විශේෂ වරප්‍රසාද දේශපාලකයන්ට අනවශ්‍ය බව ජනගත කරමින් ලබාදුන් පොරොන්දු මල්ලක් කරපින්නා ගෙනය.
ඒ අනුව ඉකුත් ජූලි මස 25 දිනැතිව ගැසට් කරන ලද " 2025 අංක දරණ ජනාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) කෙටුම් පත වර්තමාන අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යගේ නියමයෙන් නිකුත් කෙරිණි.
අහිමිවන වරප්‍රසාද !
1986 අංක 4 දරන ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනතේ සඳහන් කර ඇත්තේ, ජනාධිපතිවරයාගේ ධුරය අවසන් වීමෙන් පසුව හෝ ඔහු මිය ගිය පසු ඔහුගේ වැන්දඹුවට නීත්‍යානුකූලව හිමිවිය යුතු දීමනා සම්බන්ධවයි.
ජනාධිපතිවරයෙක් විශ්‍රාම ගිය පසුව ඔහුට දීමනාවක් හිමි වෙනවා. ඊට අමතරව වාසය කිරීම සඳහා ඔහුට නිවසක් ලබා දිය යුතු බවත් පනතේ සඳහන් වෙනවා. එසේ නිවසක් ලබා නොදෙන්නේ නම් ඔහු ලබන දීමනාවෙන් තුනෙන් එකක් කුලිය වශයෙන් ලබා දිය යුතු යි. ඊට අමතරව ලේකම්වරයෙකු තබා ගැනීම සඳහා දීමනාවක් හිමිවෙනව. නව පනත් කෙටුම්පත මගින් අහිමිකර ඇත්තේ ඉහත දීමනා වරප්‍රසාද වේ.



ඒ අනුව , පනත් කෙටුම්පතේ සඳහන් වන්නේ ,
"(අ) ඉවත් කරන ලද පනතේ 2 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාර හිටපු ජනාධිපතිවරයකුට හෝ හිටපු ජනාධිපතිවරයකුගේ වැන්දඹුවට සපයන ලද යම් නිවසක් හෝ ගෙවන ලද යම් මාසික දීමනාව;
(ආ ) ඉවත් කරන ලද පනතේ 3 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාර හිටපු ජනාධිපතිවරයකුට හෝ හිටපු ජනාධිපතිවරයකුගේ වැන්දඹුවට ගෙවන ලද මාසික ලේකම් දීමනාව සහ නිල ප්‍රවාහන සහ වෙනත් සියලු පහසුකම්; සහ
(ඇ) ඉවත් කරන ලද පනතේ 4 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාර හිටපු ජනාධිපතිවරයකුගේ වැන්දඹුවට ගෙවන ලද මාසික විශ්‍රාම වැටුප, යන හිමිකම් මෙම පනත ක්‍රියාත්මක වීම ආරම්භ වන දින සහ ඊට පසුව තවදුරටත් නොසැපයිය යුතු බවට හෝ නොගෙවිය යුතු බවටය."
වරප්‍රසාද අහිමි වන හිටපු ජනපතිවරු සහ ජනපතිවරිය

පාර්ලිමේන්තුව තුළ මෙකී පනත් කෙටුම්පත සම්මත වන්නේ නම් , ඒ සමගම දැනට ජිවතුන් අතර සිටින විශ්‍රාමික ජනාධිපතිවරුන් සහ ජීවතුන් අතර නොමැති විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වැන්දඹුවන්ට හිමිවන වරප්‍රසාද අහිමි වනු ඇත.
වර්තමාන පාර්ලිමේන්තුවේ ආණ්ඩුවට ඇති අසීමිත බලය තුළ මෙම පනත් කෙටුම්පත සම්මත නොවීමේ අවදානමක් නම් පෙනෙන්නට නැති බැවින් අගෝස්තු 7වෙනි දාට නියමිත පාර්ලිමේන්තුවේ පළමු වර කියවීමෙන් පසුව, ඉතිරිවන්නේ එහි දෙවන වර කියවීම හා සංශෝධන සහිතව හෝ රහිතව සම්මත කරගැනීම පිණිස ඉදිරි කටයුතු පෙළ ගැසීමට නියම වීමයි.
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ බිරිඳ හා වර්තමාන පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ මව වන හේමා ප්‍රේමදාස ගේත්, චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ යන හිටපු ජනාධිපතිවරුන්ගේත් 1986 පනත මගින් ප්‍රදානය වූ වරප්‍රසාද කප්පාදු වනු ඇත.
ජනාධිපති වරප්‍රසාද අහෝසි කිරීමට කැබිනට් මණ්ඩලය ගත් තීරණයකට අනුව, ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රාසිරි ගේ ප්‍රධානත්වයෙන් යුත් තිදෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර, හිටපු රාජ්‍ය නායකයින් සහ ඔවුන්ගේ වැන්දඹුවන් භුක්ති විඳින වරප්‍රසාද අමාරෝචනය කිරීමට කටයුතු කර තිබිණි.
එම කමිටුව විසින් ව්‍යවස්ථා සංශෝධනයකින් තොරව ජනාධිපති වරප්‍රසාද සඳහා හැකි සංශෝධන නිර්දේශ කර තිබුණු අතර ඒ සඳහා පාර්ලිමේන්තුවේ සරල බහුතරයක් ප්‍රමාණවත් වනු ඇත.
නඩු මගට යයි ද ?

අලුත් ආණ්ඩුව මීට මාස කිහිපයකට කලින් හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව අඩු කිරීමට පියවර ගන්නා ලදි. මෙහි දී තම ආරක්ෂාව නිසි තක්සේරුවක් නොමැතිව ඉවත් කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම පෙත්සමක් ගොනු කෙරිණි. එම පෙත්සම නිෂ්ප්‍රභා කිරීමට ලක් වූ අතර මෙම පනත් කෙටුම්පත තුළින් ද වැන්දඹු ඇතුළු හිටපු ජනාධිපතිවරුන් රැසකගේ වරප්‍රසාද අහිමිවිමට එරෙහිව වින්දිත පාර්ශවයන් මගින් අධිකරණයේ පිහිට බලාපොරොත්තු වන්නේ ද යන්න ඉදිරියේදී දක්නට ලැබෙනු ඇත.
කෙසේ වෙතත් ජනාධිපතිවරුන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 36 හි (1) හා (2) මගින් සලසා දී ඇති ප්‍රතිපාදන ජනාධිපතිවරුන්ට සැලසී ඇති අයිතිවාසිකම් නිසා ජනාධිපති වැටුප හෝ විශ්‍රාම වැටුප අහිමි කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකින් තොරව සිදුකළ නොහැකි නිසා එම තත්ත්ව සම්බන්ධයෙන් මේ මොහොතේ කටයුතු එකවර සිදුවෙතියි යන්න අනුමාන කළ නොහැකි ය.
වැය බර සහ දේශපාලන පූර්වාදර්ශය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 36 වගන්තිය ප්‍රකාරව "ජනාධිපතිවරයාගේ වැටුප, දීමනා සහ විශ්‍රාම වැටුප, ඒකාබද්ධ අරමුදලට වැය බරක් වන්නේ ය." මේ වන විට ජනාධිපතිගේ මාසික වැටුප රුපියල් 97,500ක් වන අතර, විශ්‍රාමික ජනාධිපතිවරයෙකුගේ මාසික විශ්‍රාම වැටුප ද ඒ හා සමානවම රුපියල් 97,500කි.
තවද "ජනාධිපති ධුරය දරන තැනැත්තන්ගේ වැටුප්, දීමනා හෝ විශ්‍රාම වැටුප් හිමිකම පාර්ලිමේන්තුව විසින් යෝජනා සම්මතයෙන් වැඩි කළ හැක්කේ ය. එහෙත් එම වැටුප්, දීමනා හෝ විශ්‍රාම වැටුප් හිමිකම් අඩු නො කළ යුත්තේ ය." යන විධානය ඔස්සේ මෙම දීමනා ඉදිරියේදී අඩු කිරීමට නොව අවශ්‍ය විටකදී වැඩි කිරීමට සිදුවනු ඇත.
මේ අනුව දැනටමත් විශ්‍රාම වැටුප් පමණක් සඳහා වසරකට ලක්ෂ 66 කට මුදලක් වෙන් කිරීමට සිදුවන අතර නිවාස, ලේකම්, ප්‍රවාහන, ආරක්ෂක ඇතුළු දීමනා සඳහා හිටපු ජනාධිපතිවරුන් සහ වැන්දඹුවන් වෙනුවෙන් මසකට කෝටි ගණනක වියදමක් දැරීමට ද සිදුවේ. පසුගිය වසර කිහිපය පුරාවට හිටපු ජනාධිපතිවරුන් නඩත්තුව සඳහා රුපියල් මිලියන ගණන් අයවැය මගින් වෙන් කිරීමට සිදුවූ පසුබිමෙක 2022 වර්ෂයේ දී ලක්ෂ හත්සියය ඉක්මවූ වූ එම වියදම 2024 වන විට රුපියල් ලක්ෂ එක් දහස් එකසියය දක්වා වැඩි වූ බව ද නිරීක්ෂණය විය.
මේ අතර පාර්ලිමේන්තුවේ දී පසුගිය දිනක අනාවරණය වූයේ මෙම විශ්‍රාමික ජනාධිපතිවරුන් හා වැන්දඹුවන්ගේ ආරක්ෂක වියදම් ප්‍රමාණය ද 2024 වර්ෂයේ දී රුපියල් මිලියන 1400 ද ඉක්මවූ බවය.
මේ ආකාරයට ජනතාවගේ බදු මුදල්වලින් අධික වැයබරක් විශ්‍රාමික ජනාධිපතිවරුන් හා ඔවුන්ගේ වැන්දඹුවන් නඩත්තු කිරීමට දැරීමට අනාගතයටත් සිදුවේ නම් එය දිගින් දිගටම අප වැනි රටකට ඔරොත්තු නොදෙන නිසා යහපත් දේශපාලන පූර්වාදර්ශයක් සැපයීමට වත්මන් ජනාධිපති ඇතුළු ආණ්ඩුව ක්‍රියා කරනු ලබන්නේ නම් " දේශපාලනඥයන්ට ඇති වරප්‍රසාද නොවිඳින ජනතාවට එකී තීන්දු තීරණ වඩා සාධාරණ වූ අස්වැසිල්ලක් ගෙන දෙනු ඇත. "
මන්ත්‍රීන් 352 ක්, වැන්දඹුවන් 174 , සහ දරුවන් 7ක්
සමන්ත විද්‍යාරත්න
"ජාතික ජන බලවේගයේ පළමු කැබිනට් මණ්ඩලය ගත් තවත් තීරණයක් ලෙස අද මධ්‍යම රාත්‍රියේ සිට ශ්‍රී ලංකාවේ විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පන්සියයකට ආසන්න ප්‍රමාණයකට මෙතෙක් ලබාදුන් විශ්‍රාම වැටුප් ඇතුළු සියලු වරප්‍රසාද අහෝසි කරනු ඇත " යනුවෙන් ප්‍රවෘත්තියක් ජනතාවට ඇසෙන්නට සලස්වනු ලබන බව එම පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි සමන්ත විද්‍යාරත්න අමාත්‍යවරයා විසින් පසුගිය ජනාධිපතිවරණ සමයේ ප්‍රකාශ කරන ලද්දේ එය ජනාධිපතිවරයාගේ ඇතුළු සමස්ත පක්ෂයේ සියලු දෙනාගේ අභිමතය වන නිසා ය.
කෙසේ වෙතත් විවිධ පාර්ශවයන්ගෙන් මේ වන විටත් මෙම මන්ත්‍රී විශ්‍රාම වැටුප් අවලංගු කිරීමේ සූදානම සඳහා ද විරුද්ධව අදහස් ප්‍රකාශ වේ. අතීතයට බලපැවැත්වෙන පරිදි නීති සම්පාදනය කිරීමට තිබෙන නෛතික ප්‍රතිපාදන මත බාධා පවතින නිසා ද, මෙම මන්ත්‍රී විශ්‍රාම වැටුප නිසා ජීවිකාව ගෙනයනු ලබන හිටපු පාර්ලිමේන්තු මැති ඇමතිවරු, ඔවුන්ගේ වැන්දඹුවන් හා දරුවන් කිහිප දෙනෙකුට ද සිය ප්‍රතිලාභ අහිමිවීමේ අවදානම නිසා ද ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අහිමි කිරීමේ කටයුත්තටත් වඩා මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප ඉවත් කිරීමේ ක්‍රියාදාමය පහසු නොවන්නක් විය හැකි ය. මන්දයත් දැනටම ඔවුන්ද විශාල වශයෙන් සංවිධාන ගතවී මේ පිළිබඳව හඬනැගීමටත් අධිකරණයට යෑම ඇතුළු ක්‍රියාමාර්ගවලටත් ඍජුව අවතීර්ණ වී ඇති හෙයිනි.
මීට පෙර පාර්ලිමේන්තුවේ නියෝජනය කරමින් මන්ත්‍රී විශ්‍රාම වැටුප වැටුප් ප්‍රතිලාභ භුක්ති විඳින ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රී කණ්ඩායමක්ද මේ සඳහා විරුද්ධව ප්‍රසිද්ධියේ හඬ නගති. එමෙන්ම මෙම රජය මෙසේ මන්ත්‍රී විශ්‍රාම වැටුප කප්පාදු කරනු ලබන්නේ නම්, එම පක්‍ෂයේ අරමුදලට යොමුකර ඇති ඔවුන්ගෙන් ලබා ගන්නා ලද මන්ත්‍රී වැටුප් නැවත තමන්ට ගෙවන ලෙස ඔවුන් ඉල්ලා සිටිති.
ආණ්ඩුවේ වගකීම සහ වගවීම
ආසන්න කාල වකවානුව වන විට මන්ත්‍රී විශ්‍රාම වැටුප්වලින් ප්‍රතිලාභ ලබන පන්සිය දෙනකුට ආසන්න පිරිසක් සිටින අතර මේ වන විට එම වැටුප් කිරීම සඳහා වසරකට කෝටි 30කට අධික මුදලක් වැය වෙයි. ඒ අනුව පසුගිය වසර පහක කාලය තුළ ඒ වෙනුවෙන් කෝටි 150 කට අධික මුදලක් රජය විසින් වැය කර ඇත. සාමාන්‍යයෙන් විශ්‍රාමික මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුව අවම වසර පහක් නියෝජනය කිරීමෙන් පසු නිල වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට හිමි වැටුපෙන් තුනෙන් එකක මුදලක් විශ්‍රාම වැටුප ලෙස හිමිකම් තිබෙන අතර, ඔවුන් විසින් පාර්ලිමේන්තුව වසර 15කට වඩා නියෝජනය කර තිබේ නම්, එම අගය මන්ත්‍රී වැටුපෙන් තුනෙන් දෙක දක්වා ගෙවනු ලැබේ.

ඊට අමතරව ප්‍රතිලාභී මන්ත්‍රීවරයා හෝ එම මන්ත්‍රීවරිය මිය ගියහොත් ඔවුන්ගේ වැන්දඹුවන්ට ද, එසේත් නොමැති නම් දරුවන්ට ද මෙම ප්‍රතිලාභය හිමිවේ.
1977 සිට 1983 හා 1990 යන වසර වල මෙම මන්ත්‍රී විශ්‍රාම වැටුප් සඳහා සංශෝධන රැගෙන ආවද ඒ සියල්ල රැගෙන ආවේ මන්ත්‍රී විශ්‍රාම වැටුපේ ආරක්ෂාව සහ යැපෙන්නන්ගේ සුබ සාධනය සඳහා ය. නමුත් මෙවර මන්ත්‍රී විශ්‍රාම වැටුප් සඳහා සංශෝධන ගෙන එනු ලබන්නේ මෙම විශ්‍රාම වැටුප් ක්‍රමය මුළුමනින් ම අහෝසි කර දැමීම සඳහා ය. එකී තීරණය ද වර්තමාන ආණ්ඩුව ජනතාවට ලබාදුන් ප්‍රබල ඡන්ද පොරොන්දුවකි. එම නිසා මේ ආණ්ඩුවට එය ඉටු කිරීමට විශාල වගකීමක් සහ වගවීමක් ද ඇත.
මෙම පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ විපක්ෂ අති විශාල නවක මන්ත්‍රීන්වරුන් රැසකගේ ද අනාගත මන්ත්‍රී විශ්‍රාම වැටුපද අවලංගු වීමේ තීරණාත්මක පනත් කෙටුම්පතක් වන මෙයට ඇතැම්විට පාර්ලිමේන්තුව තුළින් බහුතර ඡන්දයකින් සම්මත කර ගැනීම සඳහා යම්කිසි කිසි අවධානමක් ඇතිවීමටද පුළුවන් බව මේ වන විටත් ඉඟි බිඟි දේශපාලන කරලියේ මතුවී තිබේ.
කෙසේ වෙතත් ජනතාව විසින් මැති ඇමතිවරුන්ගේ සිට ජනාධිපතිවරුන් දක්වා පාලකයන් නඩත්තු කරනා යුගය නිමාවීමට ආසන්න බව නම් හොඳාකාරව පෙනෙන්නට තිබෙන බව කිව යුතුය.
(සටහන | ජනක බෝකුඹුර )
නිදහස් මාධ්‍යවේදී
rbjsofficial@gmail.com




