The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සමන් දෙවියන් ඉදිරියේත් හොර ඡන්ද මගඩියක්!

T

The Leader Desk

August 20, 2025 • 6:37 AM

සමන් දෙවියන් ඉදිරියේත් හොර ඡන්ද මගඩියක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කෙසේ වුවද, මුලින්ම මේ නිලවරණ පෝලිමේ ඇත්තේ සබරගමු මහ සමන් දේවාල බස්නායක නිලමේ ධුරයයි.
  • ඒ අනුව අගෝස්තු 20 වනදා එනම්, එම දේවාලයට බස්නායක නිලමේවරයකු පත්කිරීමේ මහ සභාව සිදු කෙරෙනු ඇත.
  • අවසානයේ මෙවර පෙරහැර පැවැත්වීමට බස්නායක නිලමේවරයෙක් අවශ්‍ය වූ නිසාදෝ අභියාචනාධිකරණයේ නඩුව ඉල්ලා අස්කරගෙන බස්නායක නිලමේ ඡන්දයක් පැවැත්වීමට හැකි තත්ත්වයක් ඇති කරවන ලදී.
  • ඒ අනුව උපරිම සාමාජික සංඛ්‍යාව 23කි.
අකුරු ප්‍රමාණය (Font Size):


කෙසේ වුවද, මුලින්ම මේ නිලවරණ පෝලිමේ ඇත්තේ සබරගමු මහ සමන් දේවාල බස්නායක නිලමේ ධුරයයි. ඒ අනුව අගෝස්තු 20 වනදා එනම්, එම දේවාලයට බස්නායක නිලමේවරයකු පත්කිරීමේ මහ සභාව සිදු කෙරෙනු ඇත. එය පසුගිය වකවානුවේ පොදු මහජනතාව අතරේ පවා අතිශය ආන්දෝලනාත්මක සිද්ධියකට මුල් වූ ධුරයකි.

නිලවරණයකින් තේරී පත්වී ධුරය දැරූ බස්නායක නිලමේවරයාගේ ධුර කාලය අවසන්වීමත් සමඟ එවක බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා විසින් පත් කරනු ලැබූ වැඩබලන බස්නායක නිලමේවරයා සම්බන්ධයෙන් දේවාලයේ සම්ප්‍රදායික රාජකාරි මණ්ඩලයෙන් මතු වූ විරෝධතාවක් නිසා දේවාලයේ පුද පූජා කටයුතුවලට පවා යම් අවහිරයක් මතු වීම ඒ සිද්ධියයි. අවසානයේදී බස්නායක නිලමේවරයකුගේ ධුර කාලය අවසානයේ පුරප්පාඩුවක් ඇති වූ පසු වැඩබලන බස්නායක නිලමේවරයකු පත් කිරීමට බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාට බෞද්ධ විහාර හා දේවාලගම් පනත මගින් බලයක් ලබා දී නැත යන නීතිමය කරුණ මත අභියාචනාධිකරණය විසින් එම වැඩබලන බස්නායක නිලමේ ධුරය අතුරු තහනම් නියෝගයකින් අත්හිටුවන ලදී.

ඊට ප්‍රතිචාර ලෙසදෝ ඒ වැඩ බැලූ බස්නායක නිලමේවරයා, තමන්ගේ ධුරය තහනම්ව තිබියදී සමන් දේවාලයට බස්නායක නිලමේවරයෙකු පත්කිරීමේ මහ සභාව පැවැත්වීමෙන් තමන්ට අසාධාරණයක් සිදු විය හැකියැයි පවසමින් නව බස්නායක නිලමේවරයා පත් කිරීමේ මහ සභාව පැවැත්වීමට එරෙහිව වාරණ නියෝගයක් අභියාචනාධිකරණයෙන් ලබා ගන්නා ලදී. මේ නිසා සමන් දේවාලය බස්නායක නිලමේවරයකු නොමැති තත්ත්වයකට පසුගිය මාස කිහිපයේ පත්ව තිබුණි.

xdfgte46
අවසානයේ මෙවර පෙරහැර පැවැත්වීමට බස්නායක නිලමේවරයෙක් අවශ්‍ය වූ නිසාදෝ අභියාචනාධිකරණයේ නඩුව ඉල්ලා අස්කරගෙන බස්නායක නිලමේ ඡන්දයක් පැවැත්වීමට හැකි තත්ත්වයක් ඇති කරවන ලදී.

බස්නායක නිලමේවරයා පත්කිරීමේ මහ සභාව කැඳවිය හැක්කේ රත්නපුර දිස්ත්‍රික්කයට අයත් කොට්ඨාශ භාර පුරුෂ පක්ෂයේ බෞද්ධ ප්‍රාදේශීය ලේකම්වරුන්, රත්නපුර ධර්මශාලා පිරිවෙනේ ගිහි භාරකරුවකු ඇත්නම් ඔහු, ශ්‍රීපාදස්ථානයේ ගිහි භාරකරුවකු ඇත්නම් ඔහු, උග්ගල් අලුත්නුවර කතරගම දේවාලයේ, අම්මඩුව කතරගම දේවාලයේ, බොල්තුඹේ සමන් දේවාලයේ බස්නායක නිලමේ යන අය පමණි. ඒ අනුව උපරිම සාමාජික සංඛ්‍යාව 23කි.

එසේ වුවද දැනට පිරිමි ප්‍රාදේශීය ලේකම්වරු ඇත්තේ අට දෙනෙකු පමණි. ඇඹිලිපිටිය කොට්ඨාශයේ වැඩබලන ප්‍රාදේශීය ලේකම් ලෙස රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයා කටයුතු කරයි. සෙසු දේවාලවල බස්නායක නිලමේවරුන් අතරින් දැනට ධුරය දරමින් සිටින්නේ බොල්තුඹේ සමන් දේවාලයේ බස්නායක නිලමේ පමණි. ඒ අනුව ඔහුත් මේ බස්නායක නිලමේ තේරීමේ මහ සභාවේ සාමාජිකයෙකු වීමට සුදුසුකම් ලබයි. උග්ගල් අලුත්නුවර හා අම්මඩුව දේවාලවල බස්නායක නිලමේ දෙපළගේ නිල කාලය අවසන් වූයේ පසුගිය ජූනි මසදී ය.

කිසියම් දේවාලයක බස්නායක නිලමේ ධුරයේ ධුර කාලය අවසන් වූ පසු බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා කළ යුතු කාරියක් තිබේ. එනම් තේරීම් මහ සභාවක් කැඳවා අදාළ බස්නායක නිලමේවරයා තෝරා පත් කිරීමයි. එහෙත් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා උග්ගල් අළුත්නුවර හා අම්මඩුව දේවාලවල බස්නායක තනතුර පිරවීමට ක්‍රියා නොකර එම දේවාල දෙක සඳහා වැඩබලන බස්නායකවරුන් දෙදෙනෙක් පත් කර ඇත.

වැඩබලන බස්නායක නිලමේවරුන් පත්කිරීමට බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්ට බලය ලබා දී ඇත්තේ බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනතේ 17 වන වගන්තියෙනි. එහි දැක්වෙන පරිදි කිසියම් බස්නායක නිලමේවරයෙකුගේ තනතුර භාරගැනීම ප්‍රතික්ෂේප කිරීම, මරණය, තනතුර හැරයාම, තනතුරේ කටයුතු කළ නොහැකි වීම, තනතුරට නුසුදුසු වීම, ඉල්ලා අස්වීම, තනතුරෙන් පහකිරීම, තනතුර තහනම් කිරීම, වස්තු භංගත්වයට පත්වීම යන කරුණු මත පුරප්පාඩුවක් ඇති වූ විටක ස්ථිර බස්නායක නිලමේ කෙනෙකු පත්කරන තුරු වැඩබලන කෙනෙක් පත්කිරීමට බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාට බලය තිබේ. එසේ වුවද ධුරකාලය අවසාන වීම මත ඇතිවන පුරප්පාඩුව මාස තුනක් තුළ තේරීම් සභාවක් මගින් තෝරාගන්නා බස්නායක නිලමේවරයකුගෙන් පිරවිය යුතු බව ආඥා පනතේ 8 වගන්තියේ දැක්වෙයි. ඒ අනුව උග්ගල් අළුත්නුවර හා අම්මඩුව දේවාල සඳහා බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් විසින් සිදුකර ඇති වැඩබලන බස්නායක නිලමේ පත්වීම බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනතට පටහැනි පත්වීම් බව පෙන්වාදිය යුතු ය.

v57i67
තමන් විසින් මේ අන්දමින්ම පත් කළ මහ සමන් දේවාලයේ වැඩබලන බස්නායක නිලමේවරයාගේ පත්වීම අත්හිටුවීමේ අතුරු නියමයක් ශ්‍රී ලංකා අභියාචනාධිකරණය විසින් නිකුත් කර තිබියදීත් ඒ අන්දමේම තවත් වැඩබලන බස්නායක නිලමේ තනතුරු දෙකක්ම පත්කිරීම මගින් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා බරපතළ වරදක් හා අතිශය නරක පූර්වාදර්ශයක් ලබා දී ඇත. හිටපු බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා පසුගිය දිනවල හදිසියේම දෙපාර්තමේන්තුවෙන් ඉවත් කළේ කවර හේතුවක් නිසාදැයි පැහැදිලි නැත. ඇතැම් විටක මේ අන්දමේ අනීතික පත්වීම් ලබා දීමට ඔහු මැළි වුණා වන්නට පුළුවන. මීට පෙර සමන් දේවාලයට වැඩබලන බස්නායකවරයෙකු පත්කර අධිකරණය ඉදිරියේ අතුරු තහනමට ලක්වුණු නිසා මෙබඳු පත්වීම් කිරීම ප්‍රතික්ෂේප කිරීමක් වුණා වන්නටත් පුළුවන.

කෙසේ වුවද අගෝස්තු 20 වනදා එනම් අද පැවැත්වෙන සමන් දේවාලයට බස්නායක නිලමේවරයකු පත්කිරීමේ මහ සභාවට සහභාගීවීමට උග්ගල් අළුත්නුවර හා අම්මඩුව දේවාලවල බස්නායක නිලමේවරුන් නැත. ඒ හිටපු බස්නායක නිලමේවරු දෙදෙනාගේම කාලය අවසන්වීම නිසාය.

බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා විසින් අනීතිකව පත්කර ඇති වැඩබලන බස්නායකවරුන් දෙදෙනාගේ තනතුරු නීත්‍යනුකූල නොවන නිසා ඔවුන්ට මේ සභාවට නීත්‍යනුකූලව සහභාගී විය නොහැක. එසේ තිබියදී ඔවුන්වද සහභාගී කරගෙන මේ සභාව පැවැත්වීමත් නීති විරෝධී වීමට ඉඩ පවතී. එසේම මේ දෙදෙනා හෝ එක් අයෙකු හෝ බස්නායක නිලමේවරයකු පත් කිරීමට යෝජනා කිරීම, ස්ථිර කිරීම හෝ ඡන්දය භාවිතා කිරීම ද නීත්‍යනුකූල වන්නේද නැත.

බස්නායක නිලමේවරයෙකු පත්කරන මෙබඳු කුඩා සභාවන් තුළටත් මෙබඳු “හොර ඡන්ද” වැද්දා ගෙන කරන්නට යන දෙය නම් යහපත් දෙයක් විය නොහැකි ය. ඒ අනුව අප රටේ ආගමික, සංස්කෘතික සන්දර්භයක් තුළ නැතහොත් දෙවියන් ඉදිරියේ සිදුකෙරෙන මෙම හොර ඡන්ද ක්‍රියාවලිය සුළුපටු දෙයක් සේ කිසිවකුත් නොසිතිය යුතු ය.

sunil Kannangara(සටහන | සුනිල් කන්නන්ගර)
කොළඹ රත්නපුර සහ අම්පාර හිටපු මහ දිසාපති
skannangara1959@gmail.com

(vinivida.lk)


 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සමන් දෙවියන් ඉදිරියේත් හොර ඡන්ද මගඩියක්! | The Leader