ඔහු මෙම අදහස් පළ කළේ සිය කුළුඳුල් ග්‍රන්ථය Herding Frantic Cats (අකීකරු පූසන් පාලනය කිරීම) මගින් රටෙහි පවත්නා විවිධ ක්ෂේත්‍රයන්හි දියුණුව, අපගමනය මෙන්ම රටේ ආර්ථිකයේ නැගීම් සහ වැටීම් පිළිබඳව අපක්ෂපාතී විවිරණයක යෙදෙමිනි.
මතු පළ වන්නේ සිරිසේන අමරසේකර මහතා ගේ Herding Frantic Cats (අකීකරු පූසන් පාලනය කිරීම) නමැති කෘතිය ජනගතකිරිම නිමිති කරගෙන ඔහු සමග සාකච්ඡාවක් ඇසුරින් සකස් කළ ලිපියකි.
මුදල් ලබාදීම් වෙනුවට දෛනික වැටුප් ලැබෙන රැකියා
දිළිඳුකම පිටු දැකීමේ වැඩසටහන්වල දී ප්‍රතිලාභන්ට මුදල් ලබාදීම් වෙනුවට සෑම අයෙකුට දෛනික වැටුප් ලැබෙන ආකාරයේ රැකියා අවස්ථා බිහි කිරීමට මග පෑදීමට රජය පියවර ගත යුතුය. මේ සඳහා තනිව රජයට පමණක් පියවර ගැනීම කිසිදා කළ නොහැකි බව ඕනෑම බුද්ධිමතෙකුගේ අදහස වේ. ඒ අනුව හැකි තරම් දුරට රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේ ම දායකත්වය සහිතව රටේ වසරින් වසර වේගවත් ආර්ථික සංවර්ධනයක් ඇති කිරිමට නව ආයෝජන සහ ආර්ථික ක්‍රියාකාරකම් බහුල කළ යුතු ය. මෙම ආර්ථික ක්‍රියාකාරකම් සහ ආයෝජන අවස්ථා බහුල කිරීමට යෑමේ දී කලාපයේ සෙසු තරගකාරී රටවල්වලින් එල්ලවන බලපෑම් මැඩගෙන ඉදිරියට යෑමට හැකි ආකාරයට අපගේ රටේ ප්‍රතිපත්ති සහ නීති රීති මාලාව සරල විය යුතු ය.
එමෙන්ම ආයෝජකයින්ගේ සිත් බිඳෙන ආකාරයට නොව සිත් ආකර්ෂණය කර ගන්නා ආකාරයට ආයෝජකයන්ට දිරි දීම් පිරි නැමිය යුතුය. එමෙන්ම රජය රටේ ප්‍රධාන යටිතල පහසුකම් දියුණු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී ඒවාට එල්ලවන දේශපාලන, මහජන සහ සෙසු පාර්ශවීය බාධා ඇතිවන්නේ නම් ඒවා මැඩලීමට අවි අමෝරා සටන් නොකට අවිහිංසාවාදී ක්‍රියා අනුගමනය කරමින් සාකච්ඡා, සම්මන්ත්‍රණ මාර්ගයෙන් විසඳුම් සෙවිය යුතුය.
දකුණු අධිවේගි මාර්ගයේ ආරම්භය සහ අවසානය

වසර 1996 මෙරට පළමු අධිවේගී මාර්ගය වූ දකුණු ලක අධිවේගී මාර්ගය ඉදි කිරීමේ දී එවකට මහා මාර්ග ඇමඇමැතිවරයා වූ ඒ. එච්. එම්. පවුසි මුල්ගල තැබුවේ ය. එම අධිවේගේ මාර්ගය ඉදිකිරීමේ කටයුතු මුදල් නොමැතිව අතරමග නතර කළේ ය. වසර 2002 / 2003 ආසියානු සංවර්ධන බැංකුවෙන් ණය මුදලක් ලබාගෙන එය නැවත ආරම්භ කළේ ය. ඉතිරි කොටස ඉදිකිරිම යළිත් නතර විය. වසර 2022 දී ආසියානු සංවර්ධන බැංකුව සමග එක්ව එය නැවත ආරම්භ කළේ ය.
තැනින් තැන මතුවූ මහජන විරෝධාතා සමනය කිරීමට නිවසින් නිවසට ගොස් පුද්ගලයින් හමු වී එම ගැටලු විසඳූ ආකාරය විශ්මය ජනකය. මෙලෙස ක්‍රියා කිරීම නිසා බොහෝ පොදු ව්‍යාපාරයන්ට එල්ලවු මහජන විරෝධතා සමනය කර ගැනීමට හැකිවූ ආකාරය අත්දැකීම් සහිතව පෙන්වා දිය හැකි ය. රටක්, සමාජයක්, ප්‍රදේශයක් සංවර්ධනය කිරීමේදී තොරතුරු සහ දත්ත පදනම් කරගෙන සැලසුම් සහගත වැඩපිළිවෙලක් නිර්මාණය කළ යුතුය. එම සැලසුම් සහගත වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේදී මතුවන අභියෝග සහ අසීරුතා ජය ගැනීමට උපාය මාර්ගික වැඩපිළිවෙළක් අනිවාරයයෙන්ම යෝජනා කොට ක්‍රියාත්මක කිරීමට හැකි ආකාරයට තම සන්තකයේ තබා ගත යුතුය.

බොහෝ රජයන්ට සිදුවනුයේ අනාගත සැලසුම් සහ ප්‍රතිපත්ති හරියාකාරව නොමැතිකම නිසා අරඹන ජාතික ව්‍යාපාර පවා අතර මගදී බිඳ වට්ටවා ගැනීමටය. එවැනි අබැද්දියකට මුහුණ නොදී රටේ සමස්ථ ජනතාවගේ ජීවන තත්ත්වය සහ ජීවනෝපාය සරිකරලීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් අපේක්ෂිත ප්‍රතිඵල ළඟා කර ගන්නා තෙක් සාර්ථක කර ගැනීමට නම් වඩා විචක්ෂණශීලී සැලසුම් සකස් කර ගත යුතු ය. මහමාර්ග අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස වසර 2005-2015 රටේ මහමාර්ග ඉදිකිරීම් පිළිබඳ දස අවුරුදු සැලැස්මක් සකස් කළ බව නිහතමානීව සඳහන් කිරීමට කැමැත්තෙමි.
දේශපාලනික සහ පරිපාලනමය ක්ෂේත්‍රවල ඇති වූ අර්බුද සහ ඊට හේතු වූ කාරණා

වසර 1970දී ක්‍රම සම්පාදන සහ රැකී රක්ෂා අමාත්‍යංශයේ කණිෂ්ඨ නිලධාරියෙකු ලෙස රාජ්‍ය සේවයට පිවිස වසර 50ක පමණ කාලය තුළ ශ්‍රී ලංකාවේ විවිධ ක්ෂේත්‍රවල සිදුවූ ධනාත්මක සහ සෘනාත්මක වර්ධනයන් පිළිබඳව අපක්ෂපාති විග්‍රහයක් කිරීමට දැඩි ඕනෑමකමක් මසිතේ ඇති විය. ඒ අනුව විශේෂයෙන් සමාජ, ආර්ථික, දේශපාලනික සහ පරිපාලනමය ක්ෂේත්‍රවල ඇති වූ අර්බුද සහ ඊට හේතු වූ කාරණා පිළිබඳව තම අත්දැකීම් තුළින් සාධාරණ විවේචනයක් ඉදිරිපත් කිරීමට උත්සුක වුණෙමි.
එමෙන්ම එම විශ්ලේශණය සහ මාගේ දැක්ම අනුව අනාගතය හැඩ ගස්වා ගත යුතු ආකාරය ද ඉදිරිපත් කිරීමට කල්පනා කළෙමි. දීර්ඝකාලීන අත්දැකීම්, නිරීක්ෂණ සහ මාගේ දැනුම මත පදනම්ව අර්ථ දක්වන ලද කරුණු ඒ ඒ ක්ෂේත්‍ර වල විශාරදයින්ට වැඩිදුර පර්යේෂණ කිරීමට අවශ්‍ය වස්තු බීජ සැපයීම මෙහි අරමුණ විය. ඉදිරිපත් කරන මත සහ නිරීක්ෂණ පාදක කොට ගෙන විද්‍යානුකූල පර්යේෂණ ද ඉදිරියේ දී ඕනෑම අයෙකුට කළ හැකි ය. ශ්‍රී ලංකාව මුහුණ දී ඇති අර්බුදකාරී තත්ත්වයෙන් මිදීමට ප්‍රතිපත්ති සම්පාදකයින්, ක්‍රම සම්පාදන වේදීන්, වැඩසටහන් ක්‍රියාත්මක කරන පිරිස් සහ පර්යේෂකයින් අවදි කරවීම මාගේ අපේක්ෂාව විය.
පරිච්ඡේද විසි එකක් විෂයානු බද්ධව ප්‍රධාන කොටස් 5ක් යටතේ ගොනුකර අදහස් දැක්වීමට කැමැතිය.
බටහිර රටවල් කියන සියලු දේ එලෙසම ගෙන ක්‍රියාත්මක කිරීමේ ඵල විපාක

පළමු කොටසෙහි ආර්ථික සංවර්ධන සංකල්ප සහ න්‍යායයන් සරලව පැහැදිලි කර ඇත. සාර්ව ආර්ථික ප්‍රතිපත්ති සහ සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී බලපෑ ගැටලු, සහ ඒවායේ සාර්ථක අසාර්ථක භාව අර්ථික විද්‍යාඥයින් නොවන අයට ද පහසුවෙන් අවබෝධ කරගත හැකි ආකාරයට විශ්ලේෂණය කිරීම මගේ අරමුණ විය. ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීම පිළිබඳව බොහෝ දෙනෙකු මෙතෙක් සාකච්ඡා නොකළ වෙළඳපොළ සහ මිල විකෘතිය, තීරණ ගන්නා අයගේ ආකල්ප සහ පිළිගත නොහැකි හැසිරීම් යනාදි ඉතා ප්‍රබල කරුණු රාශියක් විශ්ලේෂණය කිරීම සිදු කළේ ය.
ආර්ථිකය බිඳ වැටීම විග්‍රහ කිරීමේදී දශක ගණනාවක් තිස්සේ තීරණ ගන්නා ලද වගකිව යුතු පුද්ගලයින් සහ ආයතන විසින් නොසලකා හරින ලද ආර්ථික විද්‍යා මුලධර්ම පිළිබඳවද විග්‍රහ කර ඇත. ශ්‍රී ලංකාවේ ජාතීන් අතර සමගිය ගොඩනැගීමේ දී බටහිර රටවල් කියන සියලු දේ එලෙසම ගෙන ක්‍රියාත්මක කිරීම හරහා අප රටේ එවැනි සමගියක් ඇතිවීම අපේක්ෂා කළ නොහැකි බව මාගේ අදහසයි. ජාතිය ගොඩනැගීම සහ ජාතික ඒකාබද්ධතාවය ඇතිකිරීම සඳහා වූ විවිධ රජයන් ගත්තාවූ ක්‍රියා මාර්ග පිළිබඳව මා එළි දක්වන අදහස් සහ යෝජනා මෙම මාතෘකාව ගැන බොහෝ දෙනෙකු මෙතෙක් සාකච්ජා නොකළ සහ සංවේදී වූ කරුණු රාශියක් තර්කානුකුලව මෙන්ම ප්‍රයෝගිකව විග්‍රහ කර ඇති බව මගේ විශ්වාසයයි.
සුළු ජාතිකයින් ප්‍රධාන ප්‍රවාහයෙන් හැලී ඇතැයි දරණ මතය වෙනස් කිරීමේ අවශ්‍යතාව

ජාත්‍යන්තර ප්‍රජාව විසින් සැමවිටම මතු කරනු ලබන වගවීම, සංහිඳියාව, සහජීවනය යනාදි කාරණාවලට විශේෂ අවධානයක් යොමුකරන අතර සමහර සංකල්ප මෙරටට ප්‍රයෝගිකව අදාළ නොවන අවස්ථා පිළිබඳව ද සාධක සහිතව සාකච්ඡා කිරීමට පෙළඹිණි. සුළු ජාතිකයින් තමන් ප්‍රධාන ප්‍රවාහයෙන් හැලී ඇතැයි දරණ මතය වෙනස් කිරීමේ අවශ්‍යතාවය ඉස්මතු කරන අතර එය විසඳීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ගැන බලධාරීන්ගේ අවධානය යොමු කිරීමට මම කල්පනා කළෙමි. ශ්‍රී ලංකාවේ ජන වාර්ගික ගැටලුව පිළිබඳව උනන්දුවක් දක්වන දේශීය සහ විදේශීය පාර්ශවකරුවන්ට මෙම කොටස් පරිශීලනය කිරීම ඉතා වැදගත් වනු ඇතැයි සිතමි.
අප රටක් ලෙස මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා අපක්ෂපාතීව ආර්ථිකයේ ප්‍රධාන අංශ වල බිඳ වැටීමට සහ මන්දගාමිත්වයට හේතුවු කරුණු සහ සාර්ව ආර්ථික ප්‍රතිපත්ති සහ ආංශයීය වැඩසටහන් අතර ඇති නොගැලපීම් විශ්ලේෂණය කිරීමක්ද කළ යුතුය. කර්මාන්ත,කෘෂිකර්මය සහ ප්‍රවාහන යන අංශවල වර්ධන සහ එම අංශ පිළිබඳව සාධාරණ විශ්ලේෂණයක් කළ යුතු යැයි සිතමි. මා මහමාර්ග අමාත්‍යංශයේ ලේකම්වරයා වශයෙන් සේවය කිරීමේදී ලත් අත්දැකීම් මත මහමාර්ග අංශයේ ඉදිරි දිශානතිය සකස්විය යුතු යැයි මම යෝජනා කරමි. එම අංශය ගැන උනන්දුවක් දක්වන සැම දෙනාටම ඉතා ප්‍රයෝජනවත් වනු ඇත.
සැබැවින් ම 'අස්වැසුම' ලැබිය යුත්තේ කාට ද...?

ප්‍රාදේශීය සහ ග්‍රමීය සංවර්ධනය තුළින් දිළිඳු බව අඩු කිරීම ගැන මනා විශ්ලේෂණයක් කළ යුතු වේ. වසර 20ට ආසන්න කාලයක් මොණරාගල බඳු අති දුෂ්කර දිස්ත්‍රික්කවල සේවය කිරීමෙන් ලත් අත් දැකීම් යොදාගනිමින් ග්‍රාම සංවර්ධනය සහ දිළිඳුකම පිටුදැකීමේ වැඩසටහන්වල තිබූ ශක්ති සහ දුර්වලතා මනාව විග්‍රහ කිරීමට පෙළඹිණි. දිළිඳුකම පිටුදැකීම සඳහා අනුගමනය කළ උපාය මාර්ගවලින් අතීතයේ දී ඉටුවූ සේවය ඇගැයීමට ලක්කිරීම වටී. එම සම්ප්‍රදායික උපාය මාර්ග ඒ ලෙසින්ම තවදුරටත් පවත්වා ගෙන යෑම නිශ්ඵල ක්‍රියාවක් බවට මාගේ තර්කය යි.
සමෘද්ධි, අස්වැසුම බඳු දිමනා අවශ්‍ය වන්නේ ශ්‍රම බලකායට අයත් කිසිවකු නැති පවුල්වලට පමණක් බවත් අනිකුත් අයට අවශ්‍ය වන්නේ දෛනික වැටුප් ලැබෙන රැකියා බවත් මාගේ එකම අදහසයි. ඒ සඳහා වන උපාය මාර්ග ගෙන හැර දැක්වීමේදී නාගරික සංවර්ධනය, ග්‍රාමීය සංවර්ධනය, භෞතික සැලසුම්කරණය, දිළිඳුකම පිටුදැකීම යන කාරණා සියල්ල එකතුකොට ඒකාබද්ධ ප්‍රදේශීය සංවර්ධන උපාය මාර්ගයක් මම යෝජනා කර සිටිමි. එම වැඩසටහන්වල මූලික වගකීම දැරිය යුතුතේ පළාත් පාලන ආයතන බවත් මාගේ විශ්වාසයයි.
ආයතන සංග්‍රහයේ විධි විධාන පසෙකලෑවොත්...?

රාජ්‍ය සේවය දේශපාලන කරණයෙන් ගලවා ගන්නා ආකාරය සහ එහි ඇති වාසි සහ අවාසි තත්ත්ව ගැනත් අවධානය යොමු කිරීම වටී. රාජ්‍ය සේවය අධිකරණය මෙන් ස්වාධීන විය නොහැකි ය. රාජ්‍ය සේවකයාගේ කාර්ය භාරය වන්නේ දේශපාලකයින්ගේ මග පෙන්වීම අනුව සකස්කරන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම ය. ඒවායේ පසු වීපරම් වගකීම ද පැවරෙන්නේ දේශපාලකයාට ය. රාජ්‍ය සේවකයා ස්වාධීන නොව අපක්ෂපාතී, කාර්යක්ෂම, විනිවිද භාවයෙන් කටයුතු කරන, කියන තෙක් නොසිට හිතාමතා වැඩ කරන අයකු විය යුතු ය.
එසේම රාජ්‍ය සේවකයින්ගේ විනය කටයුතු ආයතන සංග්‍රහයේ විධි විධාන පසෙකලා අපරාධ නීතිය යටතේ කිරීම නිසා රාජ්‍ය සේවය මුළුමනින්ම පාහේ අකර්මන්‍ය වීමටද ඉඩ ඇත. රාජ්‍ය සේවය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන උනන්දුවක් දක්වන අය මෙම කරුණු කාරණා ගැන ගැඹුරින් සලකා බැලීම ඉතාමත් කාලෝචිතය. රාජ්‍ය සේවය පිළිබඳ සංකල්ප සහ න්‍යායන්ට වඩා ප්‍රායෝගිකව සිතා බලා කටයුතු කිරීමට හැකි පිරිසක් ඊට එක් වන්නේ නම් නව රජය අපේක්ෂා කරන ආකාරයේ දියුණු සමෘද්ධිමත්, විනය ගරුක රටක් බිහි කිරීම අපහසු නොවනු ඇත.
(සටහන - ජේ. මුණසිංහ)
සබැඳි පුවතක් :
සිරිසේන අමරසේකර විසින් රචිත Herding Frantic Cats (අකීකරු පූසන් පාලනය කිරීම) 23වන දා ජනගත කෙරේ




