උත්සවයක් යෙදී තිබූ හෙයිනි. එලෙස දේශපාලන නායකයන් සියලු දෙනා එක් රැස් වූයේ හිටපු ඇමති බන්දුල රචනා කරන ලද "ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නැමැති ග්‍රන්ථය" එළි දැක්වීමේ උළෙලටයි. රාජගිරිය බැංකු විදු පියස ශ්‍රවනාගාරයේදී මෙම උත්සවය පැවැත්විණි.

අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලාත් හිටපු ජනපතිවරුන් වන රනිල් -මහින්ද ප්‍රමුඛ දේශපාලන නායකයෝත් ඊට පැමිණ සිටියහ.
එහිදී බන්දුලට අමතරව අධ්‍යාපනය සම්බන්ධ දෙසුම් වලට හතර දෙනෙක් ආරාධනා ලැබ සිටියහ. දයාසිරි ජයසේකර, අනුර ප්‍රියදර්ශන යාපා, ඩලස් අලහප්පෙරුම සහ ශ්‍රී ජපුර හිටපු කුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ ඔවුහුය.
හිටපු ජනපති මහින්ද ටික වෙලාවක් සිට ශාලාවෙන් එළියට ගියේය. ඒ මොහොතේ එහි පැමිණි ගාල්ලේ චන්දිම වීරක්කොඩි හිස්ව තිබූ ඒ ආසනයේ ඉඳගන්නට හැදුවේය. ඒ පුටුව එහා පැත්තේ අසුන්ගෙන සිට හිටපු ජනපති රනිල් චන්දිමට තට්ටුවක් දමා කීවේ "ඔය මහින්දගේ පුටුව" කියාය. චන්දිම පැමිණි වේගෙන්ම ආපසු හැරී ගොස් ඉදිරිපෙළ වෙනස් අසුනක ඈඳී ගත්තේය.
බන්දුලගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කෘතිය එළි දක්වන උත්සවයේ සියල්ලෝම කතා කළේ අධ්‍යාපනයේ ධවල පත්‍රිකාව ගැනයි. එහි රැස්ව සිටි විද්වතුන්ගේ ඒකමතික මතය වූයේ අධ්‍යාපනයේ ධවල පත්‍රිකාව ශ්‍රී ලාංකික ජාතියට ගිලිහී ගිය විශිෂ්ට අවස්ථාවක් බවයි.
උත්සවයේ අවසන් වී රනිල් පිටව යාමට සැරසෙන විට ඩලස් රනිල් අසලට වේගයෙන් පැමිණියේය.

" සර් ගෙනාපු අධ්‍යාපනයේ ධවල පත්‍රිකාවට විරුද්ධව ශිෂ්‍යයෙක් විදියට මාත් පෙළපාළි ගියා" ඩලස් සිනහවක් මුවේ රුවා ගනිමින් රනිල් හමුවේ පැවසීය. ඒ අසල සිටි අනුර ප්‍රියදර්ශනද හිස වනමින් " මමත් ඒ කාලේ ශිෂ්‍යයෙක් මාත් ඒකට විරුද්ධව පෙළපාළි ගිහින් තියෙනවා, හැබැයි මම පෙළපාළි ගියේ ඇතුලෙ තියෙන්නෙ මොනවද කියලා දන්නෙත් නැතුව" යැයි ඩලස්ගේ ගොඩට එකතු වෙමින් කීය.
ඔවුන්ගේ ඒ කතාවට රනිල්ට සිනහ නොවී ඉන්නට බැරි විය. ඔහු සිනහ මුසුව පේනවනේ එදා කරපු දේවල් වල ආදීනව, දැන් තේරෙනවාදැයි සැහැල්ලුවෙන් විමසීය.
රනිල් කී කතාවට පිළිතුරක් එක් කරමින් අනුර ප්‍රියදර්ශන " සර් අපි පෙළපාළි ගියේ අරගොල්ලො කියපු නිසා" යැයි පැවසීය. අනුර ප්‍රියදර්ශනගේ ඒ කතාවට එහි සිටි සියල්ලෝම කොක් හඬලා සිනාසුහ.
"අනුර ප්‍රියදර්ශන අරගොල්ලො යැයි හැඳින්වූයේ යැයි ජේවීපී එකයි. කට්ටියගේ හිනාවට නිමිත්ත වූයේ එයයි." හොඳ දේවල් ඔක්කොටම ඉතින් අකුල් හෙලලා තියෙන්නේ අරගොල්ලෝ තමයි යැයි" එහි සිටි කෙනෙක් මහ හඬින් කීවේ සිනා හඬ තවත් වැඩි කරමිනි.
හිටපු අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේම ජයන්ත, හිටපු කතානායකවරුන් වන කරූ ජයසූරිය සහ මහින්ද යාපා, එජාප සභාපති වජිර ,තිස්ස අත්තනායක, සිසිර ජයකොඩි, ඇතුළු දේශපාලන නායකයෝ රැසක් එහි සිටියහ.
උත්සවයේ සිට තේ පානයට යන අවස්ථාවේ රනිල් මදක් නැමී හිටපු උපදේශක ආචාර්ය එච්.එස්.ආර් සමරතුංගගෙන් විමසූයේ " සල්ලි අච්චු ගහලා තියෙනවා නේද?" යනුවෙනි. සමරතුංග රනිල්ගේ කණට කර යමක් පැවසුවත් ඒ කීවේ කුමක්දැයි කාටවත් ඇසුනේ නැත.
තේ මේසයේ රනිල් අසල කරූ , දයාසිරි, ලසන්ත අලගියවන්න, හිටපු ඇමතිනී සුමේධා ජී ජයසේන සිටියහ.
ඉදිරි දේශපාලන වැඩපිළිවෙළ කෙසේ විය යුතු දැයි ආදිය ගැන දයාසිරි එහිදී මුලින්ම කතාබහ ඇරැඹීය.

" මේ අවුරුද්දේ අපි මොකුත් නොකර ඉමු. තව ඔහොම ආණ්ඩුවට යන්න දෙන්න. කරන්න ඕන දේත් වෙලාවත් මම කියන්නම්" රනිල් කී කතාව සියල්ලෝම හිස වන අනුමත කළහ. ඒ වගේම රනිල් ඉන්නේ යම් වැඩපිළිවෙලක් ඇතිව බව එහි සිටි සියල්ලන්ටම රනිල්ගේ ඒ වචන වලින් අවබෝධ විය.
සජිත් තුන්වැනි වාරයේත් තරග කරන්නට සූදානම් වන බවට කර තිබෙන ප්‍රකාශයක් ගැනත් එහිදී කතා බහට ලක්විය. ඒ කතාවට එහි සිටි බහුතරයක් අප්පිරියාවෙන් මුව හකුලා ගන්නා අයුරු දෙක ගතහැකි විය.
" එයා දැන් ඡන්ද කීයකට ඉදිරිපත් වුණාද? එයාට ජීවිතේට දිනන්න බෑ කියලා දැන් ඔප්පු වෙලා ඉවරයි. එයා දැන් සජබෙටත් මාර ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ" එහි සිටි ප්‍රබල දේශපාලකයෙක් කීය.
" විපක්ෂය වැටිලා කියලා දැන් හැම තැනකම කතා වෙනවා, විපක්ෂය වැටෙන්න බලපාපු එකම හේතුව සජිත්. වෙන මොකවත් නෙමෙයි" එහි සිටි බහුතරයකගේ මතය එය විය.
" සජබෙ කඩලා හරි දැන් ඒ ඡන්ද ටික එක්සත් ජාතික පක්ෂයට ගන්න ඕන, සජිත් වගේ කිසිම දැක්මක් නැති කාඩ්බෝඩ් නායකයෝ එක්ක දක්ෂිණාංශිකයට කිසිම ගමනක් නෑ" ප්‍රබල දේශපාලන නායකයන්ගේ අදහස එය විය.
" කලබල වෙන්නේ නැතිව ඉන්න, සංවත්සර උත්සවයෙන් පස්සේ අපි ප්‍රතිසංවිධාන වැඩ පටන් ගන්නවා. නාමලුත් මට කියලා තියෙනවා, එයත් බිම් මට්ටමේ වැඩ පටන් ගත්තා කියලා" යැයි රනිල් එහිදී කීය.
පොත් එළි දැක්වීමේ උත්සවය අවසන් වන තුරුම එහි රැඳී සිටි රනිල් පිටව ගියේ බන්දුලටත් සුබ පතාය.
මහින්ද පොත් එළිදැක්වීමේ උත්සවය පටන් ගෙන ටික වේලාවකින් වජිර සමඟ තේ මේසය අසලට ගියේය. ඒ දෙදෙනා විනාඩි 20ක් පමණක් තනිව යම් කතාබහක නිරත වූ අයුරු දැක ගන්නට ලැබුණේ දේශපාලන ලෝකයේ දැඩි කුහුලක් ඉතිරි කරමිනි.
ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ ප්‍රබලයෙක් මෙන්ම ලෝක් සභා මන්ත්‍රී ශෂී තරූර් සහ රනිල් අතර හමුවක් කොළඹදී සිදු විය. ශෂී තරූර් , රාහුල් ගාන්ධි හා සමානවම ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ බලයක් තිබෙන නායකයෙක් ලෙස හැඳින්වෙයි. හිටපු ඇමති අලි සබ්රි ද මේ හමුවට සහභාගී විය.
රනිල් සහ නීතිඥ කණ්ඩායමක් අතර හමුවක්ද ඉකුත් සතියේදී පැවැත්වීය. එහිදී මූලික කතාබහට ලක් වූයේ විනිසුරුවන් මාරු කිරීම සම්බන්ධයෙන් හරි ක්‍රමවේදයක් නොමැති වීම ගැනයි. හිතුමතේ විනිසුරුවරුන් මාරු කිරීම ගැන මෙහිදී නීතීඥයෝ අප්‍රසාදය පළ කළහ. විපක්ෂ මන්ත්‍රී නාමල් මේ කාරණය ගැන පාර්ලිමේන්තුවේදී ද කතා කළේය.
සැප්තැම්බරයේ පැවැත්වෙන එජාප සංවත්සර උත්සවයෙන් පසුව බිම් මට්ටමෙන් පක්ෂයේ දැවැන්ත ප්‍රතිසංවිධානයක් ක්‍රියාත්මක කිරීම රනිල්ගේ අපේක්ෂාවයි.
නාමල්ගේ මූලිකත්වයෙන් පොහොට්ටුවද එවැනි දැවැන්ත ප්‍රතිසංවිධානයක් දැනටමත් අරඹා ඇති බව දැනගන්නට ඇත.
රනිල් බ්‍රහස්පතින්දා උදේ රඹුක්කන මංගල උත්සවයකට සහභාගී විය. එහිදී හමු වූ ප්‍රාදේශීය දේශපාලකයන් අමතමින් රනිල් කීවේ" අපිට දැන් ගමෙන් වාසි සහගත තත්වයක් නිර්මාණය වෙමින් තියෙනවා, මේ අවස්ථාව මගහැර ගන්නේ නැතිව සක්‍රීයව වැඩ කරන ලෙසයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය (FCID) විමර්ශනයක් සඳහා එන්නැයි වජිරට දැනුම් දීමක් කර තිබිණි.
දැනුම් දීම ලැබුණු විගස වජිර ඊට අවශ්‍ය කරන සියලු ලිපි ලේඛණ සූදානම් කර ගත්තේය.
බ්‍රහස්පතින්දා වජිර FCID ගොස් ප්‍රකාශය දුන්නේය.

පැය පහකට ආසන්න කාලයක් වජිරගෙන් FCID ප්‍රකාශ සටහන් කරගෙන තිබු අතර වජිර ඊට අවශ්‍ය කරන සියලු ලිපි ලේඛනද එම අංශයට බාරදී තිබුණි.
එක්තරා මාධ්‍යයක මේ කරුණු විකෘති කරමින් වාර්තා කර තිබිණි. එහි සඳහන් වූයේ වජිර අවශ්‍ය කරන ලියකියවිලි බාරනොදුන් බවයි.
මෙම ප්‍රවෘත්තිය දුටු වජිරට හිතවත් බොහෝ දෙනෙක් මේ පිළිබඳ වජිර දැනුවත් කර තිබිණි.
“අමූලික බොරුනේ, මම අවශ්‍ය කරන සියලු ලිපි ලේඛණ අරගෙන ගියේ. ලිපි ලේඛණ කොයි තරම්ද කියනවනම් මම තව තුන් දෙනෙක් එක්ක තමයි ඒවා උස්සගෙන ගියේ. ඊයේ රාත්‍රියේ නිව්ස්වලට පෙන්නුවේ. ඔය එක එක්කෙනා විවිධ දේවල්, විවිධ අසත්‍ය ප්‍රකාශ බෙදා හැරියට දන්න අය දන්නවා. ඒ නිසා මේ වගේ දේවල් වලට අපි කලබල නොවී බොහෝම උපෙක්ෂාවෙන් බලන්න ඕන” වජිර කීවේය.
ඔය අල්ල පනල්ලේ වජිරට නායක රනිල්ගෙන් දුරකථන ඇමතුමක් ලැබිණි.
“අද කාර්යාලයේදී මා මුණ ගැසෙන්න” ඒ දුරකථන ඇමතුමෙන් කියවුනේ එසේය.
" ඒ ප්‍රවෘත්තිය වැරදි නිසා වහාම ඒක නිවැරදි කරලා නිවේදනයක් නිකුත් කරන්න" නායක රනිල් වජිරට කීය. වජිර අදාළ කාරණය නොතකා ඉන්නට සිතුවත් නායක රනිල්ගේ අණ නොතකා ඉන්නට බැරි හෙයින් වහාම පුවත නිවැරදි කිරීමේ නිවේදනයක් නිකුත් කළේය.
මා කිසිදු වත්කමක් අයථා ලෙස උපයා නැති බවට තම දේශපාලන ඉතිහාසය ගැන දන්නා සියලු දෙනා සාක්කි දරනු ඇත.සිදු කෙරෙන ඕනෑම විමර්ශනයක් වෙනුවෙන් උපරිම සහයෝගය ලබාදෙන දෙමි.
එක්සත් ජාතික පක්ෂයට ඇත්තේ ධනය අයථා ලෙස උපයා ගත් ඉතිහාසයක් නොව පෞද්ගලික ධනයත් වැය කොට ජනතා සේවය කළ ඉතිහාසයක්" වජිර සිය නිවේදනයෙන් එසේ සඳහන් කළේය.
" මං වාහන පර්මිට් එකත් විකුණලා මිනිස්සුන්ට සල්ලි බෙදපු මිනිහෙක්"අදාල මාධ්‍ය පුවත නිවැරදි කළ පසුව වජිර තම සමීප හිතවතකු අමතමින් එසේ කීය.
(සටහන | මල් පාරේ ලියුම්කරු )




