ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන සමයේදී ඇමරිකා එක්සත් ජනපදයේ පැවැති රාජ්‍ය නායක සමුළුවකට සහභාගිවී ලන්ඩන් නුවර හරහා මෙරටට පැමිණීමේදී රාජ්‍ය මුදල් අවභාවිතාවී තිබෙන බවට ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු ජනාධිපතිවරයාට මෙම දැනුම්දීම සිදුකර තිබේ.
හිටපු ජනාධිපතිවරයා ලන්ඩන් නුවරට ගොස් ඇත්තේ සිය බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගේ උපාධි ප්‍රධානෝත්සවයකට එකතුවීම සඳහාය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙරදී හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක සහ හිටපු ජනාධිපතිවරයාගේ පුද්ගලික ලේකම් සැන්ඩ්‍රො පෙරේරාගෙන්ද ප්‍රකාශ ලබාගෙන තිබිණි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (22 වැනිදා) කැඳවා ඇති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගෙන සති දෙකක් රිමාන්ඩ් භාරයට පත්කිරීමේ සුදානමක් සම්බන්ධයෙන් පලවන මාධ්‍ය වාර්තා පිළිබඳව ප්‍රවීන සමාජ මාධ්‍ය ක්‍රියාකාරික අජිත් පැරකුම් ජයසිංහ සිය ෆේස්බුක් පිටුවේ පළකර ඇති සටහනක් මතු පළවේ.
රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීමට සැලැසුම් කර ඇති බව සුදන්ත තිලකසිරි හෙවත් සුදාගේ කතාවෙන් පැහැදිලිය. සුදා, උවිඳු කුරුකුලසූරිය වැනි අය වත්මන් ජනාධිපතිවරයාගේ සමීපතමයන් බව ඔවුන් කියන අතර පුද්ගලයන් අතර තිබෙන සමානත්වයන් නිසා එය විය හැකි දෙයකි.
රනිල් වික්‍රමසිංහ රිමාන්ඩ් කිරීමෙන් ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ එක පැත්තකින් තමන් බලයට ගෙන ආ වෛරී බලවේගය අතර ජනප්‍රිය වීමය. එහෙත්, දීර්ඝ කාලයක් තිස්සේ ගොඩනගන ලද මෙම වෛරී දේශපාලනය අවසානයක් ඇති එකක් නොවේ. එසේම තිරසර ද නැත. 2015දී මහින්දට එරෙහිව නැගුණු වෛරී රැල්ල 2019දී ගෝඨාභය බලයට ගෙන ඒමට හා 2024දී අනුර බලයට ගෙන ඒමට ඉවහල් විය. එම වෛරී දේශපාලනය තමන් බලයට ගෙන ආ පාලකයාට එරෙහිවම නැගී සිටින ආකාරය ඉතා පැහැදිලිය.

මෙම බලවේගය තෘප්තිමත් කිරීම අපහසුය. ඒ සඳහා හාස්කම් අවශ්‍යය. ඔවුන්ගේ ඉරණම ඔවුන්ගේ වරද නොවන සෙසු හේතු මත සිදුවන්නක් ලෙස වෛරය පැතිරීම තාවකාලිකව ඔවුන්ගේ සහාය දිනාගැනීමට ඉවහල් වුවද, කල් පවතින්නේ නැත. ඒ සඳහා ඔවුන්ගේ ජීවිතවල පහසුව තවත් වැඩි වන අන්දමින්, තමන්ට කිසිදු අමතර බරක් දැරීමට සිදු නොවන ආකාරයකින් ඔවුන්ගේ ආර්ථිකය වේගයෙන් වර්ධනය විය යුතුය. එසේ කළ හැක්කේ හාස්කමකින් පමණි.
අද දින රනිල් වික්‍රමසිංහ සිරගත කිරීම සඳහා ඇති බව පෙනෙන සැලසුම එක්තරා අන්දමකින් පොල්ල වරද්දා නොගනිමින් නයාට ගැසිය යුතු අවස්ථාවකි. පොල්ල වරදින්නේ බොහෝ විට දේශපාලකයන්ට නොව නිලධාරීන්ට විය හැකිය.
වෛරී දේශපාලනය ජවිපෙට මිදිය නොහැකි එකකි. එයට හේතුව පන්තිමය, කුල ආදී සාධක රැසකින් නිර්මාණය වන්නකි. ජවිපෙ මින් පෙර 2015 යහපාලන ආණ්ඩුව තුළ ද පළිගැනීම් ඉදිරියට ගැනීමට උත්සාහ කර රනිල් වික්‍රමසිංහ වැනි දේශපාලකයන් නිසා අසමත් විය. එහෙත්, දැන් ඔවුන්ට පූර්ණ බලයක් හිමි වී තිබේ.

පසුගිය සමය වෛරී දේශපාලනය රටෙන් ක්‍රමානුකූලව තුරන් වූ සමයක් බව විචාරශීලීව බලන අයෙකුට පෙනේ. 2019දී ගෝඨාභය රාජපක්ෂ බලයට පැමිණියේ වෛරයේ අපේක්ෂා රැසක් සමග මුත්, ඔහු ඒ අපේක්ෂා ඉටු කරන්නට ලොකු උනන්දුවක් දැක්වූයේ නැත. ඔහුට කොවිඩ් හා ආර්ථික අර්බුදය සමග හැපෙන්නට තිබිණි. 2022 කැරැල්ලෙන් පසුව ද බොහෝ කැරැලි නායකයන්ට මුක්තිය පිරිනැමී තිබිණි. ඉන් පෙර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ගත් කල ද ඒ සමග ඍජුව සම්බන්ධ ඇතැම් පාර්ශ්වවලට විමර්ශනය නොකරම මුක්තිය පිරිනැමිණි. එහෙත්, ආර්ථික අර්බුදය උත්සන්න වූ හෙයින් පලක් වූයේ නැත. වෛරී දේශපාලනය හැර අන් කිසිවක් මෙකල බලාපොරොත්තු විය නොහැකිය.
වරදේ ස්වභාවයට වඩා විශාල දඬුවම් ලබාදීම, ඇප ලබාදිය හැකිව තිබියදීත් රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීම, අධික තදබදය සහිත බන්ධනාගාරවල රිමාන්ඩ් ජීවිතය වධහිංසනයක් ලෙස භාවිතා කිරීම හා රෝගී, වයස්ගත පුද්ගලයන්ගේ මරණය එමගින් ඉක්මන් කිරීම අද දවසේ ‘උපායමාර්ග’ වී තිබේ.
මේ වන විට නිලධාරීන් මෙවැනි වීර ක්‍රියා ගණනාවක්ම සිදු කර තිබෙන නිසා අද ඔවුන් කුමක් කරන්නේද යන්න අපි උනන්දුවෙන් බලාසිටිමු.
(සටහන | අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com
(මෙම ලිපියpraja.lk හි පලවූවකි)




