The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

රළු මැණික් අපනයනය හා සබැඳි ඓතිහාසික ආර්ථීක ව්‍යසනය සහ වත්මන් අභියෝග | මහාචාර්ය හසින්ත විජේසේකර

T

The Leader Desk

August 22, 2025 • 8:07 AM

රළු මැණික් අපනයනය හා සබැඳි ඓතිහාසික ආර්ථීක ව්‍යසනය සහ වත්මන් අභියෝග | මහාචාර්ය හසින්ත විජේසේකර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නිල්, රතු, පුෂ්පරාග, පද්මරාග වෛරෝඩි, ආරුනුල් වැනි මැණික් ඉතා ඉහළ වටිනාකමින් යුතුව මෙරටදී හමුවන මැණික් ලෙස හඳුනාගත හැකිය.
  • මෙම ගෙව්ඩ වර්ග කිහිපයකින් යුක්ත වන අතර පිට ඔට්ටු, දුං ගෙව්ඩ, ඩීසල් ගෙව්ඩ, යංග් ගෙව්ඩ එම ගෙව්ඩවලට උදාහරණ ලෙස ගත හැක.
  • ගෙව්ඩවල සිදුකරනු ලබන මෙම අගය වැඩි කිරීමේ ක්‍රියාවලියෙන් පසුව නිෂ්පාදනය කරනු ලබන මැණික් විධිමත් ලෙස රසායනාගාර තත්ව යටතේ පරීක්ෂා කර මිල තක්සේරු කර එහි අනන්‍යතාව සහ සිදුකර ඇති වෙනස්කම් ප්‍රකාශකර (Declaration) මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ දී යොදාගනු ලබයි.
  • මෙලෙස ගෙව්ඩ තාපකරණය, තාපකරණයට ලක්කළ මැණික් කපා ඔප දැමීම සහ අත් හා සබැඳි ක්‍රියාවලියන් හරහා දහස්ගණනකට රැකියා උත්පාදනය කර ඇති අතර එම අගය වැඩිකල මැණික් අපනයනය කිරීම තුළින් අතිවිශාල විදේශ විනිමය ප්‍රමාණයක් මෙරට ආර්ථීකය ශක්තිමත් කිරීමට ලැබී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


නිල්, රතු, පුෂ්පරාග, පද්මරාග වෛරෝඩි, ආරුනුල් වැනි මැණික් ඉතා ඉහළ වටිනාකමින් යුතුව මෙරටදී හමුවන මැණික් ලෙස හඳුනාගත හැකිය.

මෙම ප්‍රධාන මැණික් වර්ගවලට අමතරව ගුණාත්මක භාවයෙන් සහ වෙළඳ වටිනාකමින් අඩු ගෙව්ඩ නමින් හඳුන්වන නිල් මැණික් කුලයටම (කුරුවින්ද කුලයට) අයත්වන මැණික් වර්ග ද ලංකාවේ බහුලව හමුවේ. මෙම ගෙව්ඩ වර්ග කිහිපයකින් යුක්ත වන අතර පිට ඔට්ටු, දුං ගෙව්ඩ, ඩීසල් ගෙව්ඩ, යංග් ගෙව්ඩ එම ගෙව්ඩවලට උදාහරණ ලෙස ගත හැක.

 482317799 1702924286994230 6234436198103139375 n


ප්‍රධාන මැණික් වර්ග මෙන් බැලූ බැල්මට සිත් ඇඳගන්නා ලෙස වර්ණවත් නොවන මෙම ගෙව්ඩ නොයෙකුත් ක්‍රම මගින් ඒවායේ ගුණාත්මකභාවය වැඩි දියුණු කර ප්‍රධාන මැණික් මෙන්ම වර්ණ ගන්වා වෙළඳ වටිනාකම ඉතා ඉහළ මට්ටමට ගෙන ඒමට හැකියාව ඇති අතර මෙරට මෙන්ම විදේශයන් කිහිපයකදී මෙම ක්‍රියාවලිය සාර්ථක අන්දමින් සිදුකර මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයට අවශ්‍ය මැණික් සපයනු ලබයි.

ගෙව්ඩවල සිදුකරනු ලබන මෙම අගය වැඩි කිරීමේ ක්‍රියාවලියෙන් පසුව නිෂ්පාදනය කරනු ලබන මැණික් විධිමත් ලෙස රසායනාගාර තත්ව යටතේ පරීක්ෂා කර මිල තක්සේරු කර එහි අනන්‍යතාව සහ සිදුකර ඇති වෙනස්කම් ප්‍රකාශකර (Declaration) මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ දී යොදාගනු ලබයි.

 

gemstone mining

මෙලෙස ගෙව්ඩ තාපකරණය, තාපකරණයට ලක්කළ මැණික් කපා ඔප දැමීම සහ අත් හා සබැඳි ක්‍රියාවලියන් හරහා දහස්ගණනකට රැකියා උත්පාදනය කර ඇති අතර එම අගය වැඩිකල මැණික් අපනයනය කිරීම තුළින් අතිවිශාල විදේශ විනිමය ප්‍රමාණයක් මෙරට ආර්ථීකය ශක්තිමත් කිරීමට ලැබී ඇත.

මෙලෙස වර්තමානයේ දී යම්තාක් දුරකට සාධනීය වර්ධනයක් සහ දියුණුවක් අත්කරගෙන ඇති මෙම කර්මාන්තය අප රටක් ලෙස 1980 මුල් භාගයේ පමණ නොදැන සිටි නිසා දශක කිහිපයක් තිස්සේ ඉතා ඉහළ වටිනාමකට පරිවර්තනය කළ හැකිව තිබූ ගෙව්ඩ ටොන් ගණනින් නීත්‍යානුකූල සහ නීත්‍යානුකූල නොවන ක්‍රම මගින් විදේශ රටවල්වලට රැගෙන යාම සිදුවිය.

මෙම විදේශ රටවල් අතර තායිලන්ත ජාතිකයන් රත්නපුර ප්‍රදේශයේදී පදිංචිව දශක ගණනාවක සිට මිලදීගත් ගෙව්ඩ එම රටට ගෙනගොස් වර්තමානය වන විට ඩොලර් බිලියන 15ක පමණ වාර්ෂික ආදායමක් ජනනය වන කර්මාන්තයක් බිහිකර ඇත.

 

මැණික් සහ ස්වර්ණාභරණ

ශ්‍රී ලංකා මහ බැංකු වර්ෂ 2022 වාර්තාවට අනුව මැණික්, දියමන්ති සහ ස්වර්ණාභරණ කර්මාන්තවලට අදාළ වාර්ෂික අපනයන ආදායම ඩොලර් මිලියන 450ක් පමණ වේ. මෙමඟින් පැහැදිලිවන්නේ තායිලන්තය අප රට සාපේක්ෂව 33 ගුණයකින් මෙම ක්ෂේත්‍රයේ ආදායම් උත්පාදනය කිරීම සිදුකරන බවයි. මැණික් සම්බන්ධයෙන් පමණක් සැසදීමේ දී තායිලන්තය ඇමරිකානු ඩොලර් බිලියන 2ක ආදායම් උපයද්දී මෙරට ඇමරිකානු ඩොලර් මිලියන 218ක් උත්පාදනය කර ඇති බවයි.

තවද මෙලෙස විශාල ප්‍රමාණයෙන් රැගෙන ගිය මැණික් නිසා ''සිලෝන් ජෙම්ස්'' යන සුවිශේෂී නාමයද වර්තමානයේ තායිලන්තය සතුවන බව ජාත්‍යන්තරව මැණික් වෙළඳ ව්‍යාපාරවල නියැලෙන ව්‍යාපාරික ප්‍රජාව හොදින් දන්නා කරුණකි. තායිලන්තයේ මැණික් හා සම්බන්ධ ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනවල දී විශාල ලෙස සිලෝන් බ්ලූ සෆායා ලෙස ලේබල් කර තායි ජාතිකයන්ගේ ප්‍රදර්ශන කුටිවල විකිණීම සිදුකිරීම මෙයට හොඳ උදාහරණයක් ලෙස ගත හැක.

3
අප රටේ ව්‍යාපාරිකයන්ට තරඟ කිරීමට කිසිසේත් නොහැකිවන ලෙස විශාල ප්‍රමාණයන්ගෙන් අප රටේම මැණික් එලෙස වෙන රටකදී විශාල ආර්ථීක ප්‍රතිලාභ ලබාදෙමින් සිදුවන දෙය අතිශය ඛේදජනකය. මෙම සම්පත් අප පොළවෙහි හට ගැණුනු අපගේ දරුවන්ට, ජනතාවට ආර්ථීක සමෘද්ධිය ඇති කර ගැනීමට හැකිව තිබූ අමිල සම්පත්ය.

නැවත වතාවක් පෙර සිදු වූ විනාශයට වඩා කිහිපගුණයක විනාශයක් ...

අතීතයේ දී එවකට මැණික් සංස්ථාව හා පැවැති රජය ගනු ලැබූ ඉතා වැරදි සහගත අමනෝඥ තීරණ එලෙස තිබියදී නැවත වතාවක් පෙර සිදු වූ විනාශයට වඩා කිහිපගුණයකින් විනාශයක් අත්කර දීමට හැකිවන ලෙස මැණික් ස්වර්ණාභරණ අධිකාරියේ නීති වෙනස් කිරීමට වත්මන් බලධාරීන් යුහුසුළුව හා කපටි සහගත ලෙස කටයුතු කරමින් සිටියි.

අදාළ බලධාරීන් මෙවන් තීරණයක් ගැනීමට සැරසෙන්නේ නීත්‍යානුකූල නොවන අන්දමින් මෙරටින් හොර රහසේ පිටවන ගෙව්ඩ නිසා රජයට පාඩුවක් සිදුවන බව පවසමිනි. එලෙස සිදුවනවානම් කළ යුතුව ඇත්තේ එලෙස සිදුවීම වළක්වා ගැනීමට අදාළ අංශ ශක්තිමත් කිරීමය. පවතින නීති ප්‍රකාරව සහ වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමට පෙර පොරොන්දු වූ ආකාරයට මෙරට ඛනිජ සම්පත්වල අඟය වැඩි කර අපනයනය කළ යුතුව ඇත. එනම් අපනයනය කළ යුත්තේ අප භූමියෙන් හමුවන වටිනාකමින් යම්තාක් දුරකට අඩු ගෙව්ඩ තාප පිරියම් කර කපා ඔප දමා වටිනාකම වැඩි කිරීමෙන් අනතුරුවය.


gems rath

 අදාළ බලධාරීන්ට අනුව මෙලෙස රළු මැණික් අපනයනය කිරීමට තවත් හේතුවක් ලෙස පවසන්නේ එලෙස අපනයනය කිරීමට තෝරාගෙන ඇති මැණික්වල අගය වැඩි කිරීම මෙරට දී සිදු කළ නොහැකි බවයි. මෙය පිළිගත නොහැකි සාවද්‍ය කරුණකි.

දැනට කඩිමුඩියේ සකසා ඇති කැබිනට් පත්‍රිකාවේ අවසානයේ දක්වා ඇති වගුවට අනුව වර්තමානයේ රත්නපුර ආශ්‍රිතව ඇති ගම්වල පවා ඇති ලක්මිණි තාප උදුන මගින් පවා අගය වැඩි කරගනු ලබන පිට ඔට්ටු කැරට් එකකට වඩා අඩු කිලෝවක් ඇමරිකානු ඩොලර් දසදහසක (රුපියල් ලක්ෂ තිහක පමණ) මුදලකට පාර්සලයකට ග්රෑම් පන්සීයක් පමණ වන ලෙස අපනයනය කිරීමට යෝජනා කර ඇත.

තවද එම වර්ගයේම කැරට් පහට අඩු ගල් කිලෝ එකක් ඇමරිකානු ඩොලර් පනස්දහසකට (රුපියල් කෝටි එකහමාරක් පමණ) මුදලකට පාර්සලයකට ග්රෑම් පන්සීයයක් පමණ වන ලෙසද යෝජනා කර ඇත.

මෙවැනි අමනෝඥ තීරණ ආණ්ඩුව ගනු ලැබීමට සැරසෙන්නේ කාගේ උවමනාවකට ද ?

මෙවන් ආකාරයට මෙරටදී තාප පිරියම් කිරීම වර්තමානයේ දී සිදුකර ගෙන යනු ලබන ගෙව්ඩ සහ අනෙකුත් රළු මැණික් ගණනාවක් ෙක‍ෂ්ත්‍රයේ නියැළි අයගේ විධිමත් සාකඡාවකින් හෝ එකඟතාවයකින් තොරව අපනයනය සිදුකිරීමට අවශ්‍ය පිඹුරුපත් සියල්ල සකසා ඇති අතර දැනගන්නට ලැබී ඇති ආකාරයට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අනුමැතිය ද මේ සඳහා ලබා ගෙන අවසන්ය.

ආණ්ඩුවට මුදල් අවශ්‍යය. සියලුදෙනාටම විශේෂයෙන් වෘත්තිකයන්ට අසාධාරණ ලෙස බදු පමුනුවා පමණක් ආණ්ඩු කිරීමට නොහැකිය. නමුත් මෙලෙස මෙරටදී අඟය වැඩි කර වැඩි විදේශ විනිමය ප්‍රමාණයක් ලබා ගත හැකි වර්තමානය වන විටත් දහස් සංඛ්‍යාත පිරිසක් රැකියාවල නිරතවන ක්ෂේත්‍රයක් විනාශ මුඛයට ඇද දමන මෙවැනි අමනෝඥ තීරණ ආණ්ඩුව ගනු ලැබීමට සැරසෙන්නේ කාගේ උවමනාවකට ද යන්න අදාළ බලධාරීන් හෙලිකල යුතුව ඇත.

මැණික් කර්මාන්තයේ ලැපිඩරි අංශයට අවශ්‍ය ප්‍රමාණවත් තරම් මැණික් මෙරටදී ලබා ගැනීමට නොහැකි නිසා විදේශවලින් මැණික් මෙරටට ආනයනය කර කපා ඔප දැමීමේ කර්මාන්ත ශාලා ඉතා අපහසුවෙන් මෙම කර්මාන්ත පවත්වාගෙන යන අතර සැලකිය යුතු විශාල පිරිසක් එම කර්මාන්තවල ජීවිකා වෘත්තිය ලෙස සිදු කරයි. එම ක්ෂේත්‍රයේ ප්‍රමාණයට ද නිශේධනාත්මකව බලපාන පරිදි ආණ්ඩුව ඉදිරිපත් කර ඇති බදු අඩු කර වැඩිපුර මැණික් ආනයනය කරදෙන මෙන් එම ව්‍යාපාරයේ නියුතු අය ප්‍රධාන ලෙස ඉල්ලමින් සිටියි.

 
ZeonDownloader 918025676

මෙවන් පසුබිමක් තිබියදී මෙරටට හමුවන රළු මැණික් යෝජනා කර ඇති ආකාරයට කිලෝගණනින් අපනයන කළහොත් කර්මාන්තයට අවශ්‍ය මැණික් නොලැබී මෙම වටිනා කර්මාන්තය විනාශ වීම නිසැකවම සිදුවනු ඇත.

මෙම කර්මාන්තයේ ප්‍රගතිය හා චිර පැවැත්ම රජය අපේක‍ෂා කරනවානම් කළ යුතුව ඇත්තේ,

*  ක්ෂේත්‍රයේ සියලුම අයගේ ගැටළු හඳුනාගෙන එම ගැටළුවලට විසදුම් ලබා දීමයි.

*  ව්‍යාපාරිකයින්, ශ්‍රමිකයින්, තාක්ෂණ ශිල්පීන් දිරිමත් කිරීමට බැංකු ණය පහසුකම් ලබා දී තාප පිරියම් කිරීමේ උපකරණ (cuting machine)  මිලට ගැනීමට තරුණ පිරිස් උනන්දු කිරීමට විශ්වවිද්‍යාල හා

* මැණික් ආශ්‍රිත පර්යේෂණ ආයතනවලට පර්යේෂණ පහසුකම් වැඩි දියුණු කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීමය.

* තවද මෙම කර්මාන්තයට අවශ්‍ය තාක‍ෂණික උපකරණ නිපදවන දේශීය කර්මාන්ත දිරිමත් කිරීම හා ඔවුන්ට පහසුකම් සැලසීමය.


lakmini udulaලක්මිණි උදුන 

1980 මුල් භාගයේ දී ගෙව්ඩ ටොන් ගණනින් මෙරටින් පිට වන විට එම ගෙව්ඩ මෙරටදී තාප පිරියම් කිරීමට හැකිවන අයුරින් ලක්මිණි උදුන ඉතා සාර්ථකව ලංකා රිෆැක්ටරි කර්මාන්ත ශාලාව මගින් නිපදවා අද වන විට උදුන් දෙදහසකට අධික සංඛ්‍යාවක් පමණ මෙරට තුළ හා විදේශයන් කිහිපයකදී  සාර්ථකව භාවිතා කරනු ලබයි.

මෙලෙස අපනයනය කිරීමට යෝජනා කර ඇති රළු මැණික් අතර මෙරට දී ඉතා පහසුවෙන් තාප පිරියම් කළ හැකි ගෙව්ඩ වර්ග ගණනාවක් ඇතුළත් කර ඇති අතර මෙරට දී තාප පිරියම් කිරීමට අපහසු හෝ නොහැකි රලු මැණික් වර්ග ගණනාවක් ඇතුළත් කර ඇති බව ද සඳහන් කළ යුතුමය. මෙය ක්ෂේත්‍රයේ නියැලි අය රවටා වංචා සහගත කරනු ලැබූ පියරවක් ලෙස හදුන්වා දිය හැකිය.

රජය සිදුකළ යුතුව ඇත්තේ අතලොස්සකගේ කඩිමුඩියේ ගෙව්ඩ රට පැටවීම නොව ඉහත සඳහන් කළ යෝජනා ක්‍රියාත්මක කිරීමය. ආණ්ඩුව ජනතාව ඉදිරියේ පොරොන්දු වූ ආකාරයට ක්‍රියාකල යුතුව ඇත. අදවන විට පුල්මුඩේ ඉල්මනයිට් නිධිය ඒකාධිකාරි ස්වභාවයෙන් පාරිසරික නීති නොසලකා නිස්සාරණය කිරීම සිදුකරගෙන යනු ලබයි.

 
image 3103ea1d40

රජය විශේෂයෙන්ම තේරුම් ගත යුතු දෙයක් නම් මැණික් කර්මාන්තය ඉතා සංවේදි කර්මාන්තයක් වන බවයි. මෙම කර්මාන්තය ආශ්‍රිත නොයෙකුත් වංචා සහගත දෑ සිදු වන අතර වංචනිකව මැණික් රටින් බැහැර කිරීම, අඩු වටිනාකමින් යුතුව මැණික්වල වටිනාකම් තක්සේරු කර මැණික් අපනයනය කිරීම මේ අතර වේ. තවද විදේශිකයන් නීත්‍යානුකූලව නොවන අන්දමින් රට තුළ රැදෙමින් සිදුකරන ව්‍යාපාරික කටයුතු මැණික් කර්මාන්තයේ සිදුකරන ක්‍රියාවලක්වාලිය යුතුව ඇත.

තවද ප්‍රශස්ත කැපුම් (Precision Cutting) - කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම ද ඉතා වැදගත් පියවරක් වනු ඇත. වර්තමානයේ ද මෙරට කපා ඔප දමා අපනයනය කරනු ලබන මැණික් විදේශයන්හි දී නැවත කපා ඔපදැමීම (Recut) සිදුවේ. මෙරටදීම නැවත කපා ඔපදැමීම සිදුකිරීම මඟින් මැණික්වල අගය වැඩි කර ගැනීම වැඩි ආදායමක් ගැනීමට සුදුසු ක්‍රියාමාර්ගයකි.

තවද රළු මැණික් සඳහා විදේශීය ආකර්ෂණය වැඩි බැවින් මෙරට මැණික් අපනයන කර්මාන්තයේ නියත ව්‍යාපාරිකයින් දිරිමත් කර ඔවුන්ට විදේශ මැණික් ප්‍රදර්ශන වෙත සහභාගීත්වය සඳහා වෙළඳ කුටි ලබා දී ඒ හරහා අපගේ මැණික්වලට ඉහළ මිලක් ලැඛෙන සේ ප්‍රවර්ධනය කළ හැකිය.

 

gem polishing methods in Ratnapura
මෙයට දශක කිහිපයකට පෙර ඉතා දියුණු සහ ප්‍රචලිතව පැවති ලැපිඩරි කර්මාන්තය අද වන විට බිඳ වැටී ඇත. ඒ නිසා ලැපිඩරි කර්මාන්තයට අදාළ පහසුකම් සපයා එය වර්ධනය කළ යුතුව ඇත.

රජය විශේෂයෙන්ම තේරුම් ගත යුතු දෙයක් නම් මැණික් කර්මාන්තය ඉතා සංවේදි කර්මාන්තයක් වන බවයි. මෙම කර්මාන්තය ආශ්‍රිත නොයෙකුත් වංචා සහගත දෑ සිදු වන අතර වංචනිකව මැණික් රටින් බැහැර කිරීම, අඩු වටිනාකමින් යුතුව මැණික්වල වටිනාකම් තීරණය කර මැණික් අපනයනය කිරීම මේ අතර වේ. තවද විදේශිකයින් නීත්‍යානුකූල නොවන අන්දමින් මැණික් මිලදී ගැනීම සහ මැණික් කර්මාන්තයේ යෙදීම සිදු වේ. රත්නපුරයේ මැණික් පමණක් අදාළ වන පරිදි කර්මාන්ත පුරයක් බිහිකර ගැනීම වැනි ක්‍රියාමාර්ග ගත හැක.

මැණික් කර්මාන්තය ආශ්‍රිත රැකියා සඳහා කාන්තාවන් යොමු කිරීම...

මැණික් කර්මාන්තය ආශ්‍රිත රැකියා සඳහා කාන්තාවන් යොමු කිරීම වර්ධනය කිරීමද සිදුකළ යුතුව ඇත. දැනට මැණික කැපුම් අංශයේ කාන්තා සහභාගීත්වය සැළකිලිමත් ලෙස තිබුන ද ව්‍යාපාරික අංශයේ දී කාන්තා දායකත්වය ඉතා අඩු මට්ටමක පවතී. තායිලන්තය සහ හොංකොං වැනි රටවල දී කාන්තා දායකත්වය වැඩි වශයෙන් දක්නට ලැබේ. එය ක්ෂේත්‍රයේ වර්ධනයට පිටුවහලකි.

කළ යුතු තවත් ප්‍රධාන දෙයක් නම් නිවැරදි ආකාරයට මැණික්වල වටිනාකම් තක්සේරු කර රජයට ආදායම් ලැඛෙන සේ අපනයනය සිදුකිරීමයි. වර්තමානයේ දී අඩු තක්සේරු කිරීම් හරහා මැණික් අපනයනය කිරීම ද සිදු වේ. නිවැරදි ලෙස මැණික් අපනයනය සහ ආදායම් පිළිබඳ දත්ත එකතු කර ක්ෂේත්‍රයේ දියුණුවට යොදා ගැනීම ද සිදු කළ යුතුව ඇත.

Empowering Women in Global Mining 1920x1080

වර්තමානයේ මෙරට පවතින අති විශාල විදේශිය ණය කන්ද බිමට සමතලා කර දැමීමට හැකියාව ඇති මෙම කර්මාන්තයට ඉතා අභාග්‍යසම්පන්න ඉරණමක් අත්කර දැමීමට හැකි රළු මැණික් අපනයනයට ඉඩප්‍රස්ථාව සලසන මෙම තීරණය මුළුමනින්ම හකුලාගනු ඇතැයි එහි  අනාගත චිරපැවැත්ම අපේක්ෂා කරන සියලු දෙනාගේම ඒකායන ප්‍රාර්ථනයයි. 

එසේ සිදුනොවුනහොත් පෙර අවස්ථාවන් කිහිපයක දී පැවැති ආණ්ඩු විසින් රත්නපුරයේ මැණික් සම්පත විදේශවලට විකිණීමට උත්සහ කළ අවස්ථාවන්වල දී එයට විරුද්ධව එම තීරණ හකුලා ගැනීමට ක්‍රියාකළා සේ ක්ෂේත්‍රයේ නියැලි සහ එයට ආදරය කල ජනතාව මෙම අමනෝඥ තීරණයන් මුලුමනින්ම ආපසු හැකුලුවා සේ වර්මානයේ දී ද එකතු වී මෙලෙස කඩිමුඩියේ ගෙන එන පෙර සිදුකිරීමට උත්සාහ කල තීරණවලට වඩා අවාසි සහගත අමනෝඥ තීන්දු හකුලාලීමට නිසැකව කටයුතු කරනු ඇත.

තවද ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්දන උඩවත්ත ප්‍රමුඛ පර්යේෂකයින් විසින් සබරගමුව විශ්වවිද්‍යාලයේ ඉතා සාර්ථකව ගෙව්ඩ තාප ගැන්වීමේ සිදුකරන ව්‍යාපෘතියක් කරගෙන යනු අතර දැනට වර්ණ ගැන්වීමට ඉතා අපහසු හෝ එලෙස සිදුකිරීමට නොහැකි යැයි සැලකෙන ගෙව්ඩ වර්ණ ගන්වා අගය වැඩි කිරීම සිදු කරයි. තවද ඌව වෙල්ලස්ස සහ මොරටුව විශ්වවිද්‍යාලයන්හි එවැනිම සාර්ථක ආකාරයට ගෙව්ඩ වර්ණ ගන්වා අගය වැඩි කිරීම සිදු කරනු ලබයි. ආණ්ඩුව සිදුකළ යුතුව ඇත්තේ මෙවැනි පර්යේෂණ නඟා සිටුවා එම පර්යේෂණවල ප්‍රතිඵල ජාතික ආර්ථීකයට බද්ධ කිරීමය.

Screenshot 2025 08 22 115805සබරගමුව විශ්වවිද්‍යාලයේ රත්න විද්‍යා පර්යේෂණ විද්‍යාගාරය විසින් වර්ණ ගැන්වූ ගෙව්ඩ
රජයට මෙවැනි ධනාත්මක යෝජනා ක්‍රියාත්මක කිරීමට නොහැකි නම් සිදු කළ යුතුව ඇත්තේ තිඛෙන ආකාරයට මැණික් ක්ෂේත්‍රයට වෙනස්කම් සිදු නොකර සිටීමය.

ආණ්ඩුව ජනතාව විසින් බලයට පත් කරනු ලැබූයේ ජනතා විරෝධි මෙවැනි දේ සිදු කිරීමට නොවේ. ආණ්ඩුවට බල තණ්හාව ඇති වී බලය කේන්ද්‍ර කිරීම පිළිබඳ පමණක් සිතා කටයුතු නොකළ යුතුය. ආණ්ඩුවට මතක් කළ යුතුව ඇත්තේ මාතෘ භූමියේ නැවත මැණික් බිහි නොවන බවය. මෙය සීමිත සම්පතකි. කෘෂිකාර්මික බෝගයක් සිටුවා බීජ ලබා ගන්නා ලෙස අපට පොළොවෙන් මැණික් ලබා ගත නොහැකිය. ආණ්ඩුවේ බල තණ්හාවට මෙවැනි දේ අමතක වී ඇති බව ද පෙනේ. තිඛෙන දේ බුද්ධිමත්ව ඵලදායි ලෙස යොදාගත යුතුමය.

rsz 1rsz facets image
තවද මැණික් ක්ෂේත්‍රයේ දියුණුවට අදාළ යටිතල පහසුකම් වර්ධනය කිරීමට ආණ්ඩුව සැලසුම් සහගතව කටයුතු කළ යුතුව ඇත. අන්තර්ජාතික මැණික් වෙළඳ ප්‍රදර්ශන වාර්ෂිකව හෝ කෙටිකාලීනව පැවැත්විය හැකි මධ්‍යස්ථානයක් රත්නපුර ඉදිකිරීම, කොළඹ සිට රත්නපුර දක්වා දුම්රිය මාර්ගය ඉදිකිරීමේ කටයුතු යුහුසුළුව සිදුකිරීම, රත්නපුර මැණික් හා බැදුනු සංචාරක මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කිරීම මේ අතර සිදුකළ යුතුව ඇත.
මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය හා බැඳුනු දියමන්ති කැපුම් කර්මාන්තයට මෑත ඉතිහාසයේ දී බොහෝ අභාග්‍යසම්පන්න ඉරණමකට පත් වී එහි නියතු වූ පළපුරුදු දක්ෂ ශිල්පීන් අසරණභාවයට පත්ව ඇත. මෙම කර්මාන්තය ද මැණික් හා නිසැකව සම්බන්ධ වන කර්මාන්තයකි.ඒ අනුව දියමන්ති කර්මාන්තයේ පවතින ගැටළු ද කඩිනමින් විසදිය යුතුව ඇත.

රජය මැණික් ක්ෂේත්‍රයට සම්බන්ධ එහි නියැලි සියලුදෙනා නියෝජනය වන පරිදි අදාළ සංගම් හා පාර්ශව සමඟ විධිමත් විනිවිදභාවයෙන් යුතු සාකච්ඡාවක් ඇති කර ගත යුතුව ඇත. මෙම ක්ෂේත්‍රය  දියුණු කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා අවශ්‍ය අදහස් සහ උපාය මාර්ග ඔවුන් සතුව  ඇත. ආණ්ඩුව සිදුකළ යුත්තේ එයයි.

qKO4eUC2DToxqd4w 2
තවද මැණික් දියමන්ති සහ ස්වර්ණාභරණ ක්ෂේත්‍රවල නියුතු අය සිදුකරන සේවය අගය කර පිළිගැනීමට ලක් කිරීමට විශේෂ වැඩපිළිවෙලක් සකසා ක්‍රියාත්මක කළ යුතුය. ඔවුන් ජාතික ආර්ථීකය නගා සිටුවීමට ඉතා ඉහළ මෙහෙවරක් සිදුකරන අය වේ.
ගැඹුරු පතලක අදුරේ දවස පුරාම මඩ සමඟ ඉතා අවදානම් සහගත කාර්යයක නියැලෙන කම්කරුවාගේ සිට මැණික් අපනයනය කරන ව්‍යාපාරිකයින් දක්වා සිදුකරන කාර්යයට නිසි වටිනාකමක් දිය යුතුමය. ඔවුන්ගේ ගැටළු විසදිය යුතුය. පරිසර හිතකාමී මැණික් කර්මාන්තය අතලොස්සකගේ අවශ්‍යතා ඉටු නොකර ආණ්ඩුව සිදුකළ යුත්තේ බහුතර ජනතාවට සෙත සැලසෙන දේ සිදුකිරීමය.
 
Mine 23456
අවසාන වශයෙන් කිව යුතුව ඇත්තේ මෙරට සාතිශ්‍ය බහුතර ජනතාව නව ආණ්ඩුවෙන් බලාපොරොත්තු වූ සාධනීය වෙනස්කම් පසෙකලා මෙවැනි ජනතා විරෝධි රටේ අනාගත පරම්පරාවන්ට අයත් අමිල සම්පත්වලින් නිසිඵල ප්‍රයෝජනයන් ලබා නොගෙන දේශීය කර්මාන්තවලට මරුපහරක් වන විශාල අපනයනය ආර්ථීක වටිනාකමක් ඇති කර්මාන්තයක් විනාශ කරන මෙවන් අමනෝඥ ක්‍රියා නොකර සිටීමය. තවද ජනතා විරෝධය හමුවේ මෙවන් තීරණ ගැනීමට ආණ්ඩුව කටයුතු කරයි නම් එය ආණ්ඩුවේ ජීවකාලය තීරණය කරන ප්‍රධාන සාධකයක් වනු ඇති බවයි.

(සටහන | මහාචාර්ය හසින්ත විජේසේකර)
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ කර්මාන්ත ක්‍ෂේත්‍රයට අදාළ උපදේශන කමිටු සාමාජික සහ
සබරගමුව විශ්වවිද්‍යාලයේ ස්වභාවික සම්පත් අධ්‍යයනාංශයේ මහාචාර්ය

WhatsApp Image 2025 08 22 at 8.44.37 AM
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රළු මැණික් අපනයනය හා සබැඳි ඓතිහාසික ආර්ථීක ව්‍යසනය සහ වත්මන් අභියෝග | මහාචාර්ය හසින්ත විජේසේකර | The Leader