The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ජාවාරම්කාර වෙළඳපලෙහි ඉපදෙන වැටුප් ශ්‍රමිකයන් නැති ධනේශ්වර හාම්පුතුන් | කුසල් පෙරේරා

T

The Leader Desk

August 22, 2025 • 6:39 AM

ජාවාරම්කාර වෙළඳපලෙහි ඉපදෙන වැටුප් ශ්‍රමිකයන් නැති ධනේශ්වර හාම්පුතුන් | කුසල් පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මීට අවුරුදු 04 ට පමණ කලින් මේ පවතින වෙළඳපල ආර්ථිකය සමග රටම කඩා වැටුණු පසු ආණ්ඩු පක්ෂ, විපක්ෂ සියලු දේශපාලන පක්ෂ හා නායකයින්ට අවශ්‍ය වූයේ අවුරුදු 40 ට වැඩි කාලයක් දූෂණ වංචා වගා කරමින් පරිසරය විනාශ කරමින් වර්ධනය වුනු ජාවාරම්කාර වෙළඳපල නැවත ගොඩ දමා ගැනීමට ය.
  • කිසිදු තාර්කික, සාධාරණ හේතු දැක්වීමක් නොවුනු විවෘත වෙළදපල ආර්ථිකය නැවත කර ගැසීමෙන් අවුරුදු 40 ට වැඩි කාලයක් අපට නොලැබුණු සමාජ සාධාරණත්වයක් “සංවර්ධනයක්” දැන් ලබා ගත හැක්කේ කෙසේදැයි මම ප්‍රශ්න කළෙමි.
  • දැන් අවශ්‍ය වන්නේ ඒ ආකෘතීන් දෙකටම වෙනස්, ජන ජීවිතයේ ගුණාත්මක දියුණුවක් ඇති කෙරෙන “ජාතික සංවර්ධනය” සඳහා වන නව ආර්ථික ආකෘතියක් යැයි මම කීවෙමි.
  • දැන් යම් උනන්දුවක් ඇතැයි සිතමි.
අකුරු ප්‍රමාණය (Font Size):


මීට අවුරුදු 04 ට පමණ කලින් මේ පවතින වෙළඳපල ආර්ථිකය සමග රටම කඩා වැටුණු පසු ආණ්ඩු පක්ෂ, විපක්ෂ සියලු දේශපාලන පක්ෂ හා නායකයින්ට අවශ්‍ය වූයේ අවුරුදු 40 ට වැඩි කාලයක් දූෂණ වංචා වගා කරමින් පරිසරය විනාශ කරමින් වර්ධනය වුනු ජාවාරම්කාර වෙළඳපල නැවත ගොඩ දමා ගැනීමට ය. ඔවුන් කිසිවෙකු වෙනත් සාධාරණ ආර්ථික ආකෘතියක් ගැන සිතන්නට තරම් වෙහෙස වූයේ නැත. ඔවුන්ගේ විසඳුම වූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් සහ ආධාර ලබා ගැනීමය.  

 

කිසිදු තාර්කික, සාධාරණ හේතු දැක්වීමක් නොවුනු විවෘත වෙළදපල ආර්ථිකය නැවත කර ගැසීමෙන් අවුරුදු 40 ට වැඩි කාලයක් අපට නොලැබුණු සමාජ සාධාරණත්වයක් “සංවර්ධනයක්” දැන් ලබා ගත හැක්කේ කෙසේදැයි මම ප්‍රශ්න කළෙමි. මේ විවෘත වෙළඳපල ආර්ථිකය මම දෝස දර්ශනයට ලක් කළෙමි. මේ විවෘත වෙළදපල ආර්ථිකයට පෙර පැවති යටත් විජිත පාලනය විසින් ස්ථාපිත කළ වෙළඳ ආර්ථිකය, මූලක වශයෙන් ශ්‍රමය සූරාකන ධනේශ්වර ක්‍රමයේ ප්‍රාථමික අවදියක් යැයි වාමාංශික අර්ථ ගැන්වීම විය. එබැවින් දැන් අපට අවශ්‍ය වන්නේ විවෘත වෙළදපල ආර්ථිකය අතහැර පැරණි ධනේශවර ආර්ථිකයට යෑමට නොවේ. දැන් අවශ්‍ය වන්නේ ඒ ආකෘතීන් දෙකටම වෙනස්, ජන ජීවිතයේ ගුණාත්මක දියුණුවක් ඇති කෙරෙන “ජාතික සංවර්ධනය” සඳහා වන නව ආර්ථික ආකෘතියක් යැයි මම කීවෙමි. එදා ඒ ගැන උනන්දුවන් මේ සමාජයේ නොවුනි. දැන් යම් උනන්දුවක් ඇතැයි සිතමි. මේ උත්සාහය එවැනි න්‍යායික හා ප්‍රායෝගික අත්දැකීම් මඳක් විමසීමට ය.

මීළඟට ක්‍රියාත්මක කළයුතු IMF කොන්දේසි 10ක්

අප දන්නා ධනේශ්වරය

මෙතෙක් ඉතිහාසයේ අපගේ අත්දැකීම් හා අප ලබා ගත් දැනුම අනුව ධනේශ්වර ක්‍රමය ලෙස අප න්‍යායිකව ඉගෙන ගෙන ඇත්තේ, වෙළඳපල සඳහා වන නිෂ්පාදන ක්‍රියාවලියෙහි ආයෝජන සියල්ල පුද්ගල අයිතියට ඇති, නිශ්පාදනය සඳහා අවශ්‍ය ශ්‍රමය කුලියට ගැනෙන අර්ථ ක්‍රමයක් ගැනය. එහි සේවා සැපයුමද එළෙසින්ම පෞද්ගලික ආයෝජන මත සිදු වන්නකි. එබැවින් සේවා හා භාණ්ඩ නිෂ්පාදකයා සහ සිල්ලර පාරිභෝගිකයා අතර සම්බන්ධය පවතින්නේ වෙළදපල මිල දී ගැනීම් මත ය. න්‍යායිකව, වෙළදපල තීන්දු වන්නේ ඉල්ලුම හා සැපයුම අනුව හෙයින්, භාණ්ඩ මිල තීන්දු වන්නේද වෙළඳපලෙහි ඉල්ලුම අනුවය.

එහෙත් භෞතික ලෝකයේ එය එවැනි සරළ ක්‍රියාවලියක් නොවන බැව්, අපි භාරිභෝගිකයින් ලෙස අත් දැක ඇත්තෙමු. වෙළඳපල හැසිරවීමේ හැකියාවක් නිෂ්පාදකයාට වාගේම පාරිභෝගිකයා හා නිෂ්පාදකයා අතරට පැමිණෙන අතරමැදි වෙළෙන්දාටද ඇත. වෙළඳපලට නිකුත් කරන භාණ්ඩ හා භාණ්ඩ ප්‍රමාණය තීන්දු කිරීමේ හැකියාව ඔහුට හෝ ඇයට ඇති හෙයින් ඒ සමග මිල හසුරු වන්නටද ඔවුන්ට හැකිය. ඊට අමතරව මේ අතරට පැමිණෙන ආණ්ඩු, දේශීය ආදායම් වර්ධනය කර ගැනීමට පනවනු ලබන බදු හා තීරු ගාස්තු අය කිරීම් මගින්ද වෙළඳපල මිල හැසිර වීමට හවුල් වන්නාහ. ව්‍යාපාරිකයින්ට හා නිෂ්පාදනයටත් බෙදා හැරීම් හා අලෙවියටත් පැනවෙන සියලු බදු ව්‍යාපාරිකයින් විසින් අවසානයේ, සේවා හා භාණ්ඩ වෙනුවෙන් පාරිභෝගිකයා ගෙවන මිලට එකතු කරන බැවිනි.

ආනයන සීමා පැනවූ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 367 ඔබ දන්නවා ද ?

එහෙත් අප අත් දුටු සත්‍යයක් වූයේ බදු, තීරු ගාස්තු අය කිරීම් හා විශේෂයෙන් මෙරටට භාණ්ඩ ආනයනයේදී යම් නියාමනයක් සඳහා 50 දසකයේ ආණ්ඩු විසින් රාජ්‍යායතන යොදා ගත්තද, එමගින් දේශීය වෙළඳපල පාලනයට හා හැසිරවීමට රජය සෘජුව මැදිහත් නොකිරීම ය. සමස්ථය ඒ ආකාරයෙන් ගෙන, අපි එය ධනේශ්වර ක්‍රමය ලෙස හඳුනා ගත්තෙමු.

එහි කිසියම් විකෘතියක් නැතිනම් සැළකිය යුතු සංශෝධනයක් ‘60 දසකයේ මුල් භාගයේ සහ 70 දසකයේ දෙවන භාගය වන තෙක් ශ්‍රී.ල.නි.ප ආණ්ඩුවල මූලිකත්වයෙන් වර්ධනය කෙරෙනවාද අප අත් දුටුවකි. මග හැරිය නොහැකි හේතුවක් එයට තිබිණ. නිදහසින් පසු පළමු දසකයෙහි, එනම් ‘50 දසකයේදී අපගේ ධනේශවර වෙළදපල ආර්ථිකයෙහි, මේ රටේ කාර්මීකරණය සඳහා අවශ්‍ය “අතිරික්ත” ප්‍රාග්ධන උත්පාදනයක් කළ හැකි ධනපතීන් බිහි වූයේ නැත. එහි වර්ධනය වූයේ වෙළඳ හා වාණිජ පැලැන්තියකි. එහිද බහුතරයකගේ අවශ්‍යතාව වූයේ පාරිභෝගික වෙළදපල සිංහල-බෞද්ධ අයිතියට නතු කර ගැනීම වෙනුවෙන් දේශපාලන බලයක් තහවුරු කර ගැනීම ය. එනිසා ඔවුන්ට සිංහල-බෞද්ධ ආණ්ඩුවක් අවශ්‍ය විය. එවැනි සිංහල-බෞද්ධ ආණ්ඩු සතු ආර්ථික සැළැස්ම වූයේ ආර්ථකයෙහි වූ ආයෝජන රික්තය පිරවීමට, රාජ්‍ය මැදිහත්කර ගැනීම ය. රජය සතු කර්මාන්ත පිහිටුවීමේ පිළිවෙත හැදෙන්නේ එබැවින්ය.

වරද ඇත්තේ විවෘත ආර්ථිකයේ නොවේ!' -මහාචාර්ය චරිත හේරත්
එතෙක් ආර්ථිකයෙහි “රාජ්‍යකරණය” ආපසු හැරවීම සහ රාජ්‍ය මැදිහත්වීම් හැකි පමණින් ලිහිල් කර, වෙළදපල ක්‍රියාකාරිත්වය ධනේශ්වර ආයෝජකයින් වෙත බාර දීම, 1977 න් පසු ජයවර්ධන ජනාධිපතිගේ ආණ්ඩුවේ ආර්ථික මූලෝපාය විය. එහෙත් ඔහු මුහුණ දුන් ගැටළුව වූයේද, ඒ සඳහා ශක්‍යතාවක් ඇති දේශීය ධනේශ්වරයක් හැදීමේ ඉඩක් කලින් ආණ්ඩුවල ආර්ථික මූලෝපායට අයත් නොවීමය. 

 
එබැවින් ‘77 මැතිවරණයෙන් බලයට පැමිණි පසු ඔහුගේ උපාමාර්ගය වූයේ, විදේශ විනිමය ඉපැයීම සඳහාවන නිෂ්පාදන ක්‍රියාවලියට ලාංකීය ව්‍යාපාරිකයින් හවුල් කර ගන්නා කොන්දේසිය සමග විදේශ ආයෝජකයින් ගෙන්වා ගැනීමය. ඒ වෙනුවෙන් ඔහු 1978 දී කටුනායක නිදහස් වෙළද කලාපය පිහිටුවීමට, මහ කොළඹ ආර්ථික කොමිසම් සභා පනත සම්මත කළේය. බොහෝවිට ඔහු ගුරුකොට ගන්නට ඇත්තේ ආසියාවේ පළමු “අපනයන නිෂ්පාදන ප්‍රවර්ධන කලාපය” ලෙස සැළකෙන, ඉන්දියාවේ ගුජරාත් ප්‍රාන්තයේ කණ්ඩ්ලා ප්‍රදේශයෙහි 1965 දී පිහිටුවනු ලැබූ අපනයන නිෂ්පාදන ප්‍රවර්ධන කලාපය විය යුතු ය.
 
අපනයන නිෂ්පාදනය වෙනුවෙන් කණ්ඩ්ලා කලාපයෙහි කෙරෙන ආයෝජන සඳහා ඉන්දියානු ආණ්ඩුව බදු විරාම වලට අමතරව, ලිහිල් ආනයන අපනයන නියාමන ක්‍රියාදාමයක් සමග වාසිදායක දිරි ගැන්වීම් මල්ලක් ලබා දෙන ලදී. එහි සැළකිය යුතු සාර්ථකත්වයක් දුටු ඉන්දීය ආණ්ඩුව ඔවුන්ගේ දෙවැනි අපනයන නිෂ්පාදන ප්‍රවර්ධන කලාපය 1973 දී මුම්බායි හි සැන්ටා කෲස් හි පිහිටුවන ලදී. එය විද්‍යුත් හා විදුලි උපකරණ නිෂ්පාදනය සඳහා වෙන් කරනු ලැබූවකි.
gujrat
ජයවර්ධන ජනාධිපති අපනයන නිෂ්පාදනය වෙනුවෙන් කටුනායක නිදහස් වෙළඳ කලාපය පිහිටුවන්නට තීන්දු කරන විට, ඉන්දීය අපනයන මූලෝපායේ වූ වැදගත් කාරණයක් නොසළකා හැර තිබිණ. ඉන්දීය අගමැති නෙහ්රු කණ්ඩ්ලා අපනයන නිෂ්පාදන කලාපය පිහිටුවීමට තීන්දු කෙරුවේ, විදේශ ආයෝජකයින් නොවුනත් ඔහුට අවශ්‍ය ආයෝජන දේශීය වශයෙන් ලබා ගත හැකි යැයි දැන සිටියෙනි. දෙවන ලෝක යුද්ධයටද පෙර සිට ඉන්දීය ආර්ථිකයෙහි බිහිවූ ස්වාධීන ධනපති ව්‍යාපාරිකයින් වන ටාටා, බිර්ලා, බජාජ්, මහින්ද්‍ර, අගර්වාල් වැනි යෝධ දේශීය ආයෝජකයින් දුසිම් ගණනාවක් ඉන්දීය අපනයන නිෂ්පාදන ප්‍රවර්ධන කලාපවල ආයෝජනය කිරීමට සිටියහ. ජයවර්ධන ජනාධිපතිට එවැනි දේශීය ආයෝජකයින් කිසිවකු නොමැති විය.
 
ඇතැම් විට ජයවර්ධන සිතන්නට ඇත්තේ අපනයන නිෂ්පාදන වෙනුවෙන් විදේශ ආයෝජන මෙරටට පැමිණියහොත් ඔවුන් සමග ව්‍යාපාර කිරීමට හවුල්වන දේශීය ව්‍යාපාරිකයින්ගෙන් ධනේශ්වර පංතියක් මෙහි හැදෙනු ඇතැයි කියා ය. එනිසා දිරි ගැන්වීම් වශයෙන් ඔවුන්ට අප්‍රමාණ බදු සහන, බදු විරාම, බදු අහෝසි කිරීම් හා වෙනත් වාසි, වරදාන, වරප්‍රසාද දුන්හ. ඒ කිසිවකින් වැදගත් ජාතික ධනේශ්වරයක් නොහැදුනි. ඉන් හැදුනේ ඒ මූල්‍යම වාසි, වරදාන බුක්ති විඳින්නට පැමිණි ජාවාරම්කාර ආයෝජකයින් සමග පෝෂණය වුනු දේශීය ජාවාරම්කාර වෙළඳ හා වාණිජ පැලැන්තියකි. ඔවුන්ගේ ආර්ථික ක්‍රියාකාරිත්වය වූයේ මහ නගරවල වර්ධනය වන පාරිභෝගික වෙළඳපල පාලනය කිරීමය.
ලෙන්දොර වහලා ගල්ලෙන විදලා -ධම්ම දිසානායක
 
එවැනි වෙළදපල ක්‍රියාකාරිත්වයකින් වැදගත් ග්‍රාමීය නිෂ්පාදන ක්‍රියාවලියක් ගමට නොලැබුණි. ගමේ ආර්ථිකය රැඳුණේ ගමේ නිෂ්පාදන ආදායමෙන් නොවේ. ගමේ ආර්ථිකය රැඳුණේ මැද පෙරදිග, දකුණු කොරියාව ඇතුළු රටවල් කිහිපයක සංක්‍රමණික ශ්‍රමිකයින් ලෙස සේවයට ගොස් සිටින දහස් ගණන් තරුණ තරුණියන් ඔවුන්ගේ පවුල් වල ජීවන වියදම වෙනුවෙන් මෙරටට එවන මුදල් වලින් හා නිදහස් වෙළඳ කලාප හා ඇඟළුම් කර්මාන්තයේ උදේ දවල් කඹුරණ තරුණ තරුණියන් ගමට යවන රුපියල් වලින් ය. 
 
යුද්ධය පැවති 2009 ට පෙර වකවානුවේ ගමට මුදල් ගෙනා සොල්දාදුවන් දැන් නැත. කවර රටක වූවත් යුද්ධයකට ආවේනික කෲරත්වය සමගවන ලේ වැගිරීම්, ඝාතන හා දේපළ විනාශ අත් දුටු සොල්දාදුවන් නැවත සමාජගත කිරීමේ වැඩසටහන් සමග ආදායම් මාර්ග විවෘතකර දීමක් තිබිය යුතුය. එවැන්නක් මෙහි නොවූයෙන් පසුගිය දසකයකට වැඩි කාලයේ ග්‍රාමීය සමාජයේ වර්ධනය වූයේ සදාචාරමය පිරිහීම් සහ ගමෙන් නගර වෙත වූ, තරුණ ශ්‍රමය සංක්‍රමණය වීම්ය.
 
තරුණ ශ්‍රමය හා අවිධිමත් ආර්ථිකය
 
කම්කරු කාර්යාල වසා කලාප කම්කරුවන්ගෙන් වැඩගනියි
තවමත් අවාසනාවන්ත අත හැරීමක් ලෙස මේ වෙළදපල ආර්ථිකයෙහි එනිසා ඇත්තේ “ප්‍රධාන නගර, විශේෂයෙන් කොළඹ නගරය ඇසුරෙන් විශාල වශයෙන් ගොනුවන අවිධිමත් ආර්ථිකය සහ කිසිදු ස්ථිරත්වයක් නොමැතිව එහි ආදායම් සොයන්නට උරච්චිවන ගමේ හා වැවිලිකරයේ තරුණ තරුණියන්ය. පිළිගත් සම්මත සංවිධාන වලින් බැහැරව, කම්කරු හා කාර්මික නීති මගින් ආවරණය නොවන සහ ස්ථාවර සේවා සහතිකයක් නොමැති මේ අවිධිමත් ක්ෂේත්‍රය සම්බන්ධයෙන් විධිමත් ක්ෂේත්‍රය හා අදාලව කෙරෙන ආකාරයේ නිල නියාමන කාර්යන් කෙරෙන්නේ නැත.
ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) විසින් 2008 දී පවත්වා ඇති ක්ෂේත්‍ර අධ්‍යනයකට අනුව, මෙරට සමස්ථ සේවක සංඛ්‍යාවෙන් සියයට 66 ක් අවිධිමත් ආර්ථිකයෙහි සේවක සේවිකාවන් ය. ඔවුන්ගෙන් බහුතරයක් ආදායම් සොයා ගන්නේ නාගරික හා නගර ආශ්‍රිත නිෂ්පාදන හා සේවා සැපයුම් ඇසුරෙනි. ඉන් සියයට 50 ට ආසන්න සංඛ්‍යාවක් ස්වයං රැකියාලාභීන් ලෙස පහසුවට නම් කෙරෙන, ස්ථිර ආදායමක් නොමැති තනි පුද්ගලයින් ය. අනාරක්ෂිත බව මේ අවිධිමත් ක්ෂේත්‍රයෙහි ආවේනික ලක්ෂණයකි. (විස්තර සඳහා)
 
එවැනි සන්දර්භයක, විශේෂයෙන් අවිධිමත් ශ්‍රමය සමග මේ වෙළඳපල ආර්ථිකවල බිහිව ඇති නව පන්නයේ පෞද්ගලික ව්‍යාපාර ඇත. ඒවා ධනේශ්වරයෙහි සාම්ප්‍රදායික පෞද්ගලික ව්‍යාපාරික ආයතන ලෙස වර්ග කළ නොහැක. නව සහශ්‍රය ළඟා වන විට කොළඹ නගරයේ බිහි වෙමින් තිබූ දහවල් හා විශේෂයෙන් රාත්‍රී කෑම සැපයීමේ ක්ෂේත්‍රය එවැන්නකි. ඉකුත් දසක දෙකක පමණ කාලයේ ඔවුහු නගරයේ ප්‍රසාරණය වූ මැදපංතික පාරිභෝගිකයින් හා ගනුදෙනු කෙරෙන සීඝ්‍රයෙන් වර්ධනය වූ ස්ථාවර වෙළඳපලක් නිර්මාණය කරගෙන ඇත්තාහ. ඒවා පෙනුමෙන් නාගරික වූවත් ආර්ථික ශක්තිය අනුව “ක්ෂුද්‍ර” (Micro) ව්‍යාපාර විය. සමහර ව්‍යාපාරික ආයතන “කුඩා” ව්‍යාපාර ගොන්නට ඇතුළු කළ හැකිය.
 
කිඹුලාවළ වීදි ආහාර (street food) අලෙවිසල් වළ නොදමනු - (ජයසිරි අලවත්ත)
ඔවුන් බොහෝමයක් අලෙවි කරන “පිසින ලද” ආහාර, ඔවුන්ගේම නිෂ්පාදන නොවේ. පූර්ව එකඟත්වයක් මත පිසින ලද රාත්‍රී ආහාර වර්ග හා ප්‍රමාණ ඔවුන්ට දෛනිකව සපයන, “ස්වයං රැකියා” ලෙස ඒ කටයුතු කරන පුද්ගලයින් ඇත. එළෙස කෑම වර්ග එකතු කර අලෙවි කරන “කුඩා” ව්‍යාපාරික ආයතනවල සවස් වරුවේ පැය 04 ක 05 ක තාවකාලික සේවයට පැමිණ දවසේ කුලිය ලබා ගෙන යන තරුණ තරුණියන් ඇත. එය ලිඛිත පත්වීම් මත සිදු කෙරෙන සේවයක් නොව, වචනය මත තැබෙන විශ්වාසය කඩ නෙකෙරෙන නිත්‍ය සේවාවකි. 
 
එවැනි ව්‍යාපාරවල සුවිශේෂත්වය වන්නේ, ඒවායේ සේවක සේවිකාවන්ට වෘත්තීය සමිති අයිතිවාසිකම් ගැන කතා කිසිවක් අදාල නොවන අතර, අතිකාල ගෙවීම්, දිරි ගැන්වීමේ දීමනා, ප්‍රවාහන පහසුකම් වැනි කිසිවක් නොමැතිවා පමණක් නොව, ඒවා සේවක සේවිකාවන්ටද අදාල නොවීමය. බොහෝවිට ඔවුන්ට දවසේ කුලියට අමතරව ලැබෙන වාසිය වන්නේ, රාත්‍රී කෑම වේල ය. ඊට වැඩි දෙයක් ඔවුන් ඉල්ලන්නේද නැත. විධිමත් සංගණනයක් නොවුනත් කොළඹ දිස්ත්‍රික්කයේ මහ නගර සභා සීමා තුල පමණක් අවම වශයෙන් 3,000 ක් 4,000 ක් පමණ සංක්‍රමණික තරුණ තරුණියෝ ඒ ක්ෂේත්‍රයේ එවැනි අවිධිමත් රැකියාවල නිරතව සිටිති.
b678io
 
ඊට වඩා වෘත්තීය මට්ටමකින් හා ඉතා විධිමත් අයුරින්, මෘදුකාංග මෙවලමක ආධාර ඇතිව පුරෝගාමී පෞද්ගලික කුලී වාහන සේවා සමාගමක් ලෙස ආරම්භ වූ “පික්-මී” (Pick Me) සමාගම, 2014 දී දියත් කර ඇත්තේ, කුඩා ආයෝජන සමගින් තාක්ෂණික “කළල” සේවාවක් (Tech Startup) ලෙසින්ය. අවුරුදු 11 ට පසු ඔවුන්ගේ 2024 අප්‍රේල් 01 දින සිට 2025 මාර්තු 31 දක්වා වන මුදල් වාර්ෂයට අදාල වාර්තාවට අනුව, ඔවුන්ගේ සුවිශේෂි සේවා පරිහරණකරුවන් (Unique Users) මිලියන 01.34 කි. සුවිශේෂි රියැදුරන් 100,000 කි. සුවිශේෂි වෙළඳ ග්‍රාහකයින් (Unique Merchants) 4,500 කි. එම මුදල් වර්ෂයේ ගනුදෙනුවල වටිනාකම රුපියල් බිලියන 56.8 ක් වූ අතර, ආදායම රුපියල් බිලියන 05.8 කි. ශුද්ධ ලාභය මිලියන 1,170 කි.
 
මෙහි ඇති විශේෂත්වය වන්නේ, මගී සහ සිල්ලර පාර්සල් ප්‍රවාහනයට යොදා ගන්නා යතුරු පැදියේ සිට ත්‍රීරෝද රථ, කුඩා වාහන, ලොකු සුඛෝපභෝගි වාහන හා වෑන් රථ, ලොකු පොඩි බඩු ප්‍රවාහන රථ කිසිවක් ඔවුන්ට අයත් නොවීමය. ඒවායේ සේවය කළේ යැයි කියන රියැදුරන් ලක්ෂයෙන් කිසිවකුට ඔවුන් වැටුප් ගෙව්වේද නැත. එනිසා අතිකාල ගෙවීම්, අර්ථ සාධක හා සේවක භාරකාර අරමුදල් ගෙවීම් කිසිවක්ද නැත. ඔවුන්ට ඇත්තේ පසුගිය අවුරුදු 11 ක කාලයේ විටින් විට දියුණු වූ තාක්ෂණය සමග අලුත් කෙරුණු, විවිධාංගීකරණය කෙරුණු, සේවා සැපයීමේ මෘදුකාංගයක් සහ සතියේ දින 07 පුරා 24 පැය සේවා සඳහා එය හැසිරවිය හැකි තාක්ෂණ ශිල්පීන් කණ්ඩායමක් පමණි.
 
එවැනි ව්‍යාපාර තව ඇත. ඉන් “ඌබ” සේවාව, ලංකාව ඇතුළුව රටවල් සියයක පමණ ක්‍රියාත්මක වන්නකි. එවගේම, “ග්‍රෑබ්” සමූහ සමාගම, ගිණිකොන ආසියාවේ වියට්නාමය, තායිලන්තය, මැලේසියාව, පිලිපීනය, කාම්බෝජය, ලාඕසිය වැනි රටවල ප්‍රදාන නගර 500 ට වැඩි සංඛ්‍යාවක ක්‍රියාත්මකවන, “පික්-මී” පන්නයේ කලාපීය සේවාවකි.
image 63eca4ae95
තමන්ගේ මේ පෞද්ගලික ව්‍යාපාරය ගැන “පික්-මී” 2024/2025 වාර්ෂික වාර්තාවෙහි කියන්නේ, මෙය “අසීමිත අනාගත අපේක්ෂා ඇති” ව්‍යාපාරයක් යැයි කියා ය. ඒ සමග “මෘදුකාංග වේදිකා පදනම් පික්-මී ආකෘතිය හුදෙක් විද්‍යුත් පහසුකමක් පමණක්ම නොවේ. එය සැවොම එකතු කෙරෙන ආර්ථික වර්ධනයක් සදහා උත්තේජනයකි. ආදායම් ඉපැයීමේ අවස්ථා නිර්මාණය කිරීමෙන් මේ විද්‍යුත් වේදිකාව බිම් මට්ටමේ ව්‍යවසායකත්වයක් අවදි කරන්නීය. ස්වාධීන තෙවන පාර්ශවීය රියැදුරන් සහ ප්‍රවාහකයින්ගේ සිට නිවසේ කෑම පිසින්නියන් හා ක්ෂුද්‍ර සිල්ලර වෙළඳුන් දක්වා දහස් ගණන් ශ්‍රී ලාංකිකයින් පික්-මී පාරිසරික ජාලය මතින් ඔවුන්ගේ ජීවනෝපායන් සක්‍රීයව ගොඩ නගා ගන්නාහ.” යැයි ඔවුහු සටහන් කරන්නාහ.

වැටුප් ශ්‍රමිකයින් නැති අලුත් ධනේශ්වර ප්‍රවේශයක්
 
ඒ සමග ඔවුන් සාම්ප්‍රදායික ධනේශ්වරයෙහි ආයෝජකයින් කතා නොවන අලුත් මානයක් ගැන තබා ඇති සටහනද, වර්තමානයේ වෙළඳපල ආර්ථිකවල බිහිව ඇති නව පන්නයේ පෞද්ගලික ව්‍යාපාර තේරුම් ගැනීමට වැදගත් වන්නකි. ඔවුන්ගේ ධනේශ්වර ව්‍යවසායක අර්ථ දැක්වීමෙහිදී, “ශ්‍රී ලාංකීය ආර්ථිකයට පික්-මී ලබා දෙන දායකත්වය, මූල්‍යම ගණන් හැදීමට වඩා බොහෝ ඈතට දිවෙන්නකි. තාක්ෂණික වේදිකාවක් ලෙස එහි සැබෑ දායකත්වය ඇත්තේ නව අවස්ථා සමග පුද්ගලයින් සම්බන්ධ කිරීමෙහිත් ව්‍යාපාර හා පාරිභෝගිකයින් හවුල් කිරීමෙහිත් යටිතල පහසුකම් සතු වූ ඌණතා හේතුවෙන් නිසියාකාරව සේවාවන් ලබන්නට නොහැකි වූ ප්‍රදේශ අතර ඒ පරතරය පියවීමෙහිත් ය”.
 
2025 -2028 නව සාමූහික ගිවිසුම : ලංකාවතු සේවා සංගමය වැටුප් වැඩි කිරීමක්  ඉල්ලයි
මෙය සාම්ප්‍රදායික ධනේශ්වර ව්‍යාපාරික ආකෘතියෙන් ව්‍යුක්ත වූ සාර්ථක ධනේශ්වර ව්‍යාපාරයකි. මේ මගින් කියන්නේ, නූතන ලෝකයේ ධනේශ්වර වර්ධනය ඇතිවන්නේ “ප්‍රාග්ධනය” සහ “ශ්‍රමය” මත නොවන බවය. විශාල බිම් ප්‍රමාණ තවදුරටත් ප්‍රාග්ධනයෙහි වැදගත් සාධයක් නොවේ. වැටුප් ලබන ශ්‍රමයද ධනේශ්වර වර්ධනයෙහි අනිවාර්ය සාධකයක් නොවේ. මෙහි පෞද්ගලික අයිතිය යටතේ නිෂ්පාදන හා සේවා සැපයුමට අවශ්‍ය වැටුප් ශ්‍රමිකයින් නොමැත්තේ එබැවින් ය. 
මෙයින් කියන්නේ පැරණි ධනේශ්වර ලෝකයේ තිබූ සේව්‍ය සේවක සම්බන්ධතා කිසිත් නැතිව මේ නූතන ලෝකයේ, නව තාක්ෂණය නිර්මාණාත්මකව භාවිත කිරීමෙන් ලාභ ඉපැයීමට හැකි බවය. වැදගත්ම කතාව නම්, පවතින දූෂිත, ජාවාරම්කාර වෙළදපල ආර්ථිකයෙහි සතර අත පැතිර යන දූෂණ වංචා හා නාස්තිකාර වැය වීම් කිසිත් මේ අලුත් ආර්ථික ආකෘතියෙහි ඇති බවක් තවම පෙනෙන්නට නොතිබීම ය.  
 
එනමුත් මෙහි ඇති සීමාව නම්, මෙය සේවා ක්ෂේත්‍රයෙහි මිස, කාර්මික නිෂ්පාදන සඳහා යොදා ගත හැකිද යන්නෙහි ය. ඇතැම් විට කාර්මික නිෂ්පාදනයන්හි මූලික කාර්යන් වෙනුවෙන් මෙම ව්‍යවසායක ආකෘතිය යොදා ගත හැකි වනු ඇත. නිදසුනක් වශයෙන් සපත්තු නිෂ්පාදනයෙහි සපත්තු අඩි හැදීම කම්හලෙන් පිටතට විසිර හැරිය හැක. එවගේම ඇඟළුම් නිෂ්පාදනයෙහි කමිස කොලර් මැසීම, එකම ආච්චුවකට කමිස කැපීම වැනි කාර්යන් මෙවැනි ආකෘතියකින් සංවිධානය කර ගත හැකිවනු ඇත. එහෙත් නැවත ඉතිරිවන ගැටළුව වන්නේ එවැනි නිමැවුම්හි ගුණාත්මක තත්ත්වය එක සේ රැක ගැනීම ය.    
ඇඟලුම් කම්හල් වසංගතයට බිලිවීමේ වගකීම කම්කරු දෙපාර්තමේන්තුවට පැවරේ
කෙසේ නමුත් සීඝ්‍රයෙන් දියුණුවන තාක්ෂණය සමග ධනේශ්වරය ගමන් ගැනීමේදී බිහිවෙන නව ව්‍යාපාරික ආකෘතීන් ඇති බවත් ඒවා ඉදිරි සංවර්ධනය සමග අප ගලපා ගන්නේ කෙසේදැයි සමාජ කතිකාවක් අවශ්‍ය බවත් මෙහි අවධාරණය කළ යුත්තකි.
 
(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com

2025 අගෝස්තු 19

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ජාවාරම්කාර වෙළඳපලෙහි ඉපදෙන වැටුප් ශ්‍රමිකයන් නැති ධනේශ්වර හාම්පුතුන් | කුසල් පෙරේරා | The Leader