සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ඒ බව දන්වමින් 2025.08.18 වන දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ සියලු ම අතිරේක ලේකම්වරුන්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, සියලු ම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, සියලු ම රෝහල් අධ්‍යක්ෂවරුන්, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, විශේෂිත වැඩසටහන් ප්‍රධානීන්, පළාත් රෝහල්, දිස්ත්‍රික් රෝහල් හා මූලික රෝහල් ප්‍රධානීන්, සෞඛ්‍ය අමාත්‍යාංශ යටතේ ඇති සංස්ථා මණ්ඩල ප්‍රධානීන් සහ අමාත්‍යාංශයේ සියලු ම අංශ ප්‍රධානීන් දැනුවත් කරමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබිණි.
"රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/2022 රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛ අංක PED 05/2022 හා එම චක්‍රලේඛවලට අනුශාංගික චක්‍රලේඛ ප්‍රකාරව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ කාර්ය මණ්ඩලය නිවාඩු ලබා ගැනීම හේතුවෙන් මෙම අමාත්‍යංශයේ රාජකාරි ස්වාභාවය මත අත්‍යවශ්‍ය වූ රාජකාරි අඛණ්ඩව පවත්වාගෙන යාමට අපහසු වී ඇත," යනුවෙන් එහි දැක්වේ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ පුරප්පාඩු සහ තනතුරු සියල්ල සඳහා නවක නිලධාරීන් බඳවා ගැනීම සීමා කර ඇති බව ද චක්‍රලේඛයේ සඳහන් වේ.
අනිල් ජාසිංහගේ අත්සනින් යුතු චක්‍රලේඛය
'රටේ අර්බුද පැවති සමයේ ගත් තීන්දුවක් ආපසු හැරවීමක්'
නව චක්‍රලේඛය හරහා සිදුව ඇත්තේ, මෙරට ආර්ථික හා දේශපාලන අර්බුදය පැවති සමයේ එවක රජය විසින් ගත් තීන්දුවක් ආපසු හැරවීම පමණක් බවත් විදෙස්ගත වීමට අවශ්‍ය නිවාඩු ලබා ගැනීමට වෙනත් ක්‍රම පවතින බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ බීබීසි සිංහල සේවය කළ විමසීමකදී පවසා ඇත.
"ක්‍රයිසිස් එක වෙලාවේ ආණ්ඩුවට පඩි ගෙවන්න සල්ලි නැති වුණා. ඒ වෙලාවේ ආණ්ඩුව කළේ රට යන්න හරි, ලංකාවේ හරි ඉන්න අවුරුදු 5ක් පඩි නොගෙන ඉන්න. ඕක නේ ගත්තු තීරණය රජයේ පඩි පත අඩු කරන්න."
"සමාන්‍යයෙන් යන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඒ විදියටත් යනවා. ඊට අමතරව මේ අවුරුදු 5ත් යනවා. අපිට අත්‍යවශ්‍ය ම කාර්ය මණ්ඩල යනවා එතකොට අපි මොකක් ද කරන්නේ රටක් හැටියට?," විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.
සෞඛ්‍ය අංශයේ කාර්ය මණ්ඩලය වසර 5ක් නිවාඩු ලබාගෙන, ඊට පෙර පැවති ක්‍රමයට නිවාඩු ලබා, රට අතහැර හෝ සෞඛ්‍ය අමාත්‍යංශයට නොදන්වා පසුගිය කාලයේ විදේශගත වී ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා පවසයි.
'මේ වගේ රටක් කළ යුත්තේ ඉල්ලුමට සැපයුම දෙන එක'
සෞඛ්‍ය සේවයට බඳවා ගැනීම් නවතමින් දැනට සේවයේ සිටින සෞඛ්‍ය සේවකයන්ට රටින් පිට වීමට ඉඩ නොදී රජය උවමනාවෙන් සෞඛ්‍ය සේවයේ අර්බුදයක් නිර්මාණය කරන බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකබද්ධ බලමණ්ඩලයේ, රවී කුමුදේශ් චෝදනා කරයි.
රවී කුමුදේශ්
"මේ වෙලාවේ කළ යුතුව තිබෙන්නේ ඕකේ සම්පුර්ණයෙන් ම අනිත් පැත්ත. ඒක තමයි අපි රජයන් හැම එකකින් ම ඉල්ලුවේ. ජාත්‍යන්තර වශයෙන් සෞඛ්‍ය සේවකයන්ට තියෙන ඉල්ලුම පාවිච්චි කරලා ඒකට අදාළ වෘත්තිකයෝ බිහි කරන්න ඕනේ. දැනට විශ්වවිද්‍යාල පද්ධතියේ එක විශ්වවිද්‍යාලයකින් 25ක් වගේ ගාණක්, ඉතා ම සුළු ප්‍රමාණයක් පුහුණු කරන්නේ. හෙද සේවාව, පරිපූරක වෛද්‍ය සේවාව, වෛද්‍ය සේවාව ගත්තා ම හැම වෙලාවෙ ම කියනවා මිනිස්සු විදේශ රටවලට යනවා කියලා, පදිංචි වෙනවා කියලා. ඉතින් ඒක ඉල්ලුමක්. ඒ ඉල්ලුමට සැපයුම දෙන එක තමයි, සමාන්‍යයෙන් මේ වගේ රටක් කළ යුතු වෙන්නේ," රවී කුමුදේශ් බීබිසි සිංහල සේවයට පවසා ඇත.
සැලසුමක් සහිතව වෘත්තිකයන් පුහුණු කර විදේශ ආදායමක් උපයාගත හැකිව තිබියදී රටින් පිටවන අයවලුන් සමග ඇති "තරහට" කරන ලද ක්‍රියාවලියක් ලෙස රවී කුමුදේශ් මෙය හඳුන්වනු ලබයි.
රජය කළ යුතුව ඇත්තේ, රටින් පිට වන අයට පහසුකම් සලසා රැකියා අවස්ථා සලසමින් අලුතින් සේවකයින් බඳවා ගැනීම බව ද ඔහු කියා සිටියි.
සමාන්‍ය ක්‍රමවේදයෙන් ඉල්ලුමක් ඇති අයට ඉඩක් නැති ද?

දැනට පවතින සමාන්‍ය ක්‍රමවේදය ඔස්සේ විදේශගත විය හැක්කේ, දිගු කලක් සේවාවේ සිටින සෞඛ්‍ය වෘත්තිකයන්ට බව පෙන්වා දෙන රවී කුමුදේශ් පවසන්නේ, එම නීතිවලින් ඉල්ලුම සහිත අඩු වෘත්තීය පුහුණු කාලයක් සම්පුර්ණ කළ වෘත්තිකයන්ට විදෙස් රැකියා සඳහා යොමු වීමේ ඉඩ අහුරා ඇති බව ය.
"අවුරුදු 25ක් 30ක් ජ්‍යෙෂ්ඨ වෙච්ච විශේෂඥතාවට පත්වෙච්ච කෙනෙක් විදේශගත වුණා ම ඒකෙන් යම් යම් බාධා ඇති වෙන තැන් තියෙනවා. දැන් තියෙන අනිත් ක්‍රමවලින් යන්න පුළුවන් අවුරුදු 20ක් 30ක් සේවාවේ යෙදිච්ච අයට. සීමාවාසික පුහුණුව ගත්ත නැති අයට තියෙන ඉල්ලුම අඩු යි. හැම වෙලාවෙ ම විදේශ රැකියාවලට යාමේ ඉල්ලුම ඒ හැකියාව තියෙන්නේ මැද මට්ටමේ ඉන්න වෘත්තිකයන්ට. ඒ කියන්නේ අවුරුදු 5ක් හෝ 10ක් අතර පුහුණුවක් තියෙන අය. මේ අයව තමයි ඔය කියන නීති හැම එකකින් ම වළක්වලා තියෙන්නේ. ඒ අය ගියා ම තමයි සෞඛ්‍ය සේවයට විශාල හානියක් වෙන්නෙ නැත්තේ."
එලෙස ඉල්ලුම සහිත එහෙත් සමාන්‍ය නීතිය යටතේ විදේශ ගතවීමේ අවස්ථාව නොමැති රාජ්‍ය සේවකයන්ට නව නීති ඔස්සේ විදේශ ගතවීමේ අවස්ථාව සලසා දී තිබූ බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකබද්ධ බලමණ්ඩලයේ රවී කුමුදේශ් තවදුරටත් කියා සිටියි.
"ඔය තියෙන සමාන්‍ය නීතිය ඇතුළේ අත්‍යවශ්‍ය ම සහ රටට සහ සේවාවට බාධාවක් නොවන ලෝකයේ ඉල්ලුම තියෙන කණ්ඩායමට යන්න බැරි වෙන හින්දා තමයි ඔය විදියේ අවස්ථාවක් රාජ්‍ය සේවකයන්ට දුන්නේ."
(උපුටා ගැනීම ; බීබීසී සිංහල සේවය)




