The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

රනිල්ට ඇප නොදීමට හේතුන් සහ ආන්දෝලනාත්මක ලන්ඩන් සංචාරය ගැන ඔබ මේ තොරතුරු දන්නවා ද ?

T

The Leader Desk

August 23, 2025 • 7:41 AM

රනිල්ට ඇප නොදීමට හේතුන් සහ ආන්දෝලනාත්මක ලන්ඩන් සංචාරය ගැන ඔබ මේ තොරතුරු දන්නවා ද ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සාවද්‍ය පරිහරණය කළා යයි චෝදනා කරමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අගෝස්තු 26 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (22) රාත්‍රී නියම කළේ ය.
  • එම පෞද්ගලික සංචාරය සඳහා ජනාධිපතිවරයාට අමතරව ඔහුගේ බිරිඳ ඇතුළු 10 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගි වී ඇති බවත්, ඒ සඳහා ජනාධිපති කාර්යාලයෙන් කරන ලද දැනුම් දීමට අනුව ලන්ඩනයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලය සියලු කටයුතු මෙහෙයවා ඇති බවත්ය.
  • ඒ සඳහා 2023 වර්ෂයේ වියදම බ්‍රිතාන්‍ය පවුම් 40,445ක් වී ඇති බවත්, එම මුදල් ජනාධිපති කාර්යාලයේ ප්‍රතිපාදන යටතේ ගෙවා ඇති බවත් ඔහු කීවේය.
  • ඒ සම්බන්ධයෙන් සභානායක බිමල් රත්නායක වැඩිදුරටත් කීවේ පෞද්ගලික සංචාරයක් සඳහා එසේ මහජන මුදල් වැය කිරීම අපරාධ වරදක් බවත්, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශයට නියෝග කොට ඇති බවත්ය.
අකුරු ප්‍රමාණය (Font Size):

සාවද්‍ය පරිහරණය කළා යයි චෝදනා කරමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අගෝස්තු 26 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (22) රාත්‍රී නියම කළේ ය.

මෙම බ්‍රිතාන්‍යයේ සංචාරය පිළිබඳව වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු පළමුවරට පාර්ලිමේන්තුවේදී අනාවරණයක් කරනු ලැබුවේ සභානායක අමාත්‍ය බිමල් රත්නායකයි.

සභානායක බිමල් රත්නායක විදේශ කටයුතු අමාත්‍යාංශය සම්බන්ධයෙන් වන අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් මාර්තු 15 වැනිදා පාර්ලිමේන්තුවේදී කීවේ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2023 සැප්තැම්බර් 22 හා 23 දිනවල බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරට රජයේ මුදල් වැය කරමින් පෞද්ගලික සංචාරයක නිරත වී ඇති බවයි.

එම පෞද්ගලික සංචාරය සඳහා ජනාධිපතිවරයාට අමතරව ඔහුගේ බිරිඳ ඇතුළු 10 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගි වී ඇති බවත්, ඒ සඳහා ජනාධිපති කාර්යාලයෙන් කරන ලද දැනුම් දීමට අනුව ලන්ඩනයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලය සියලු කටයුතු මෙහෙයවා ඇති බවත්ය. ඒ සඳහා 2023 වර්ෂයේ වියදම බ්‍රිතාන්‍ය පවුම් 40,445ක් වී ඇති බවත්, එම මුදල් ජනාධිපති කාර්යාලයේ ප්‍රතිපාදන යටතේ ගෙවා ඇති බවත් ඔහු කීවේය.

ඒ සම්බන්ධයෙන් සභානායක බිමල් රත්නායක වැඩිදුරටත් කීවේ පෞද්ගලික සංචාරයක් සඳහා එසේ මහජන මුදල් වැය කිරීම අපරාධ වරදක් බවත්, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශයට නියෝග කොට ඇති බවත්ය.




රනිල් වික්‍රමසිංහ ගේ මාධ්‍ය ඒකකයේ ප්‍රතිචාරය මෙන්න...

සභානායක බිමල් රත්නායක අමාත්‍යවරයා සිදුකල එම ප්‍රකාශයට වහාම ප්‍රතිචාර දක්වමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ මාධ්‍ය ඒකකය මාධ්‍ය නිවේදනයක් නිකුත්කර තිබිණ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ රජයේ මුදල් වැය කරමින් වර්ෂ 2023 දී ලන්ඩනයේ පෞද්ගලික සංචාරයක නිරත වූ බවට කෙරුණු ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍යය බව එම නිවේදනය මගින් අවධාරණය කර තිබිණ.

එම නිවේදනයේ තවදුරටත් මෙසේද සඳහන් විය.

''රනිල් වික්‍රමසිංහ මහතා 2023 වර්ෂයේදී තුන්වරක් ලන්ඩනයේ සංචාරය කරනු ලැබීය. ප්‍රථම සංචාරය 2023 මැයි 09 වැනි දින කරනු ලැබුයේ iii වැනි චාල්ස් රජතුමාගේ අභිෂේක උත්සවයට සහභාගි වීම සඳහාය. දෙවැනි වර පැරිස් සමුළුවට සහභාගි වන අතරතුර ජාත්‍යන්තර ප්‍රජාතාන්ත්‍රිකයින්ගේ සංගමයේ (IDU) 40 වැනි සංවත්සර සැසි වාරය සඳහා ලන්ඩන් නුවරට ගියේය.

හවානා නුවර G 77 සමුළුවට සහභාගි වූ රනිල් වික්‍රමසිංහ මහතා නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ ජගත් සමුළුවටද එක්වීමෙන් අනතුරුව ලන්ඩන් නගරයට පැමිණීම තුන්වැනි සංචාරයේදී සිදුවිය.

මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියට මහා බ්‍රිතාන්‍යයේ වුල්වර්හැම්ප්ටන් (wolverhampton) විශ්වවිද්‍යාලයෙන් මහාචාර්ය පදවිය ප්‍රදානය කිරීමේ උත්සවය මේ දිනවලදී වුල්වර්හැම්ප්ටන්හිදී පවත්වන ලදි. ඒ උත්සවයට රනිල් වික්‍රමසිංහ මහතාටද ආරාධනා කර තිබූ අතර නිව්යෝක් නුවරට ගොස් පැමිණෙන අතර වාරයේදී හිටපු ජනාධිපතිවරයා ඊට සහභාගි වූයේය.

මෙම සංචාරවලදී රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය නායකයින් රැසක් හමුවීමද සිදුකරනු ලැබීය. එසේම ජනපති බිරිඳ ලෙස මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ඒ අතරතුරදී ජාත්‍යන්තර මට්ටමින් සංවිධානය කෙරුණු රැස්වීම්, වැඩමුළු ආදියටද සහභාගි වූවාය.

නිව්යෝක් නුවර සිට පැමිණ දිවා කාලයෙන් පසුව ලන්ඩන් නගරයෙන් පිටවීමට කලින් සැලසුම් කර තිබුණද එදින පස්වරුවේ හමුවීම් කිහිපයක් පැවති බැවින් රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවට පැමිණීම පසුදා තෙක් කල් දැමිණි.''

රනිල්ගේ විදෙස් සංචාර වියදම් ගැන CID විමර්ශන ඇරඹේ

මේ අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරය දැරූ සමයේ සිදුකළ විදෙස් සංචාර සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක් ආරම්භ කරනු ලැබූ අතර ජූනි 24 වන දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට මේ සම්බන්ධයෙන් කරුණු දක්වා තිබිණ.

 



අනතුරුව, ආන්දෝලනාත්මක ලන්ඩන් සංචාරය පිළිබඳව  රනිල් වික්‍රමසිංහ ජනාධිපති සමයේ ජනාධිපති ලේකම්වරයා ලෙස කටයුතු කළ සමන් ඒකනායක ගෙන්ද පෞද්ගලික සහකාර සැන්ඩ්‍රා පෙරේරා ගෙන්ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පසුගියදා කටඋත්තර සටහන් කර ගත්තේය.

බීබීසී සිංහල සේවයේ මාධ්‍යවේදිනී අමන්දිකා කුරේ විසින් පසුගිය පෙබරවාරි 28 වන දින ජනාධිපති ලේකම් කාර්යාලයෙන් තොරතුරු ඉල්ලීමක් කරමින් 2005 -2025 වසර 20ක කාල වකවානුව තුළ බලයේ සිටි ජනාධිපතිවරුන් යෙදුණු විදෙස් සංචාර, ඒවාට වියදම් කර ඇති මුදල සහ ඒවාට සම්බන්ධ වූ දූත මණ්ඩලවල තොරතුරු විමසීමක් කර තිබිණ.

එලෙස පෙබරවාරි මස යොමු කළ තොරතුරු ඉල්ලීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මැයි 16 වන දින පිළිතුරක් ඒවා තිබු අතර, "2005 - 2021 වර්ෂවල අදාළ ලිපිගොනු හා ලේඛන ජනාධිපති ලේකම් කාර්යාලයේ නොමැති බැවින්" හිටපු ජනාධිපතිවරුන්ගේ විදෙස් සංචාරවල තොරතුරු වෙන් වෙන් වශයෙන් ලබා දීමට නොහැකි බව එමගින් දන්වා ඇති බව බීබීසී සිංහල සේවය වාර්තාකර තිබිණ.

 

mahinda

හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන දෙදෙනා බලයේ සිටි සම්පූර්ණ කාලය තුළ සිදුකර ඇති විදෙස් සංචාරවල තොරතුරු ජනාධිපති ලේකම් කාර්යාලයේ නොමැති අතර, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 2019 සිට 2021 දක්වා සහභාගී වූ විදේශ සංචාරවල ලිපි ලේඛන ද ජනාධිපති ලේකම් කාර්යාලය සතුව නොමැති බව බීබීසී සිංහල සේවය පවසයි.


හිටපු ජනපති රනිල්ගේ සංචාර 23කට මිලියන 600කට වැඩි වියදමක්

2022 වසරේ ජූලි 20 සිට 2024 සැප්තැම්බර් 23 දක්වා වසර දෙකකට ආසන්න කාලය තුළ බලයේ සිටි ජනාධිපතිවරයා වූ රනිල් වික්‍රමසිංහ විදෙස් සංචාර 23කට සහභාගී වී ඇති අතර, එක් එක් විදේශ සංචාර පිළිබඳව තොරතුරු පරීක්ෂා කිරීම මෙතෙක් අවසන් වී නොමැති බවට තොරතුරු ඉල්ලීමට ලැබුණු ප්‍රතිචාරයේ සඳහන් වේ.

එක් එක් වර්ෂයේ ඔහුගේ විදේශ සංචාර සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ වැය ශීර්ෂය යටතේ වැය වී ඇති වියදම් පහත පරිදි ය.


kjhdiff

රනිල්ට ලන්ඩන් සංචාරයට ආරාධනා කල Lord Swraj Paul පෙරේදා මිය ගිහින්

මේ අතර වාර්තා වන්නේ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට මහා බ්‍රිතාන්‍යයේ වුල්වර්හැම්ප්ටන් (wolverhampton) විශ්වවිද්‍යාලය වෙත පැමිණෙන ලෙස ආරාධන කළ ස්වරාජ් පෝල් රාජ් සාමිවරයා (Lord Swraj Paul (Swaraj Paul) was a prominent British entrepreneur, philanthropist, and life peer of Indian birth. He was the founder of Caparo Group, one of the UK's largest steel firms, and occupied leading positions in industry, education, and public life in India and Britain) පෙරේදා දිනයේ අභාවප්‍රාප්ත වී ඇති බවයි.


PM Modi mourns Lord Swraj Paul’s death: Who was the UK-based Indian businessman?



ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී ද සාමි ස්වරාජ් පෝල් රාජ් ගේ වියෝව සම්බන්ධයෙන් X පණිවියක් නිකුත්කර තිබිණ.

narendra

රනිල්ට ඇප දෙන්න බැරි හේතුන් ගැන අධිකරණයේදී ඊයේ (22) හෙළි වූ කරුණු

01- රජයේ මුදල් වැයකරමින් සිදුකල පෞද්ගලික සංචාරයක් ; 

*  හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ බිරිඳ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ රජයේ මුදල් වැය කරමින් වර්ෂ 2023 දී ලන්ඩනයේ සංචාරයක නිරත වී ඇත.

* එම විදෙස් සංචාරයට අදාළව සැකකරුගේද, ඔහුගේ බිරිඳගේද, ජනාධිපති පෞද්ගලික ලේකම්වරයාගේ වියදම් සියල්ල ජනාධිපති ලේකම් කාර්යාලයේ වැය ශීර්ෂය මගින් ගෙවා ඇත.

* ජනාධිපති වැය ශීර්ෂය යටතේ මුදල් ප්‍රතිපාදන අනිවාර්ය වශයෙන්ම රජයේ කටයුත්තක් සඳහා වැය යුතුය.

* එක්සත් රාජධානි සංචාරය සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය මගින් රුපියල් 133,70,350.82 ක් ද, ශ්‍රී ලංකා පොලීසිය හා ශ්‍රී ලංකා නාවික හමුදාවේ වැය විෂය යටතේ රුපියල් 32,74,301.39 ක් ද වශයෙන් මුළු රජයේ මුදල් රුපියල් 166,47,652.21 ක වියදමක් දරා ඇත.

* ලේඛන පරීක්ෂාවේදී මෙය පුද්ගලික සංචාරයක් බවට නිරීක්ෂණය වූ බවත්, එම පුද්ගලික සංචාරය සඳහා හිටපු ජනාධිපතිවරයා විසින් රජයේ මුදල් අවභාවිතා කර ඇති බවත්, එය රාජ්‍ය මුදල් අවභාවිතයක් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වාර්තා කර ඇත.

02- පෞද්ගලික සංචාරයක් ලෙස හැඳින්විය හැකි සංචාර නොමැති බව සැකකරුගේ නීතිඥයින් කියයි 

* හිටපු ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ අටවන විධායක ජනාධිපතිවරයා බවත්, ඔහුගේ ධූර කාලය තුළදී සිදු කරන සියලුම විදේශ සංචාර නිල සංචාරයක් බවත්, පෞද්ගලික සංචාරයක් ලෙස හැඳින්විය හැකි සංචාර නොමැති බවත්, හිටපු ජනාධිපතිවරයා විසින් එක්සත් රාජධානියේ විදේශ සංචාරය සිදු කර ඇත්තේ වෝල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලය ඔහු වෙත ලැබුණු ආරාධනයක් මත බවත් සැකකරු වෙනුවෙන් කරුණු දක්වමින් ඔහුගේ නීතිඥයින් කරුණු දැක්විය.

* එය ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස ඔහු හා ඔහුගේ බිරිඳ වෙත ලැබුණු ආරාධනයක් බව තහවුරු කිරීම සඳහා සැකකරු වෙනුවෙන් 2023.09.01 දිනැති ලිපියක් සැකකරුගේ නීතිඥයින් විසින් අධිකරණයට අද (22) දින ඉදිරිපත් කර ඇත.


jkdjfkjdsfkjජනාධිපති රනිල්ට ලන්ඩන් සංචාරයක් සඳහා ලැබුන ආරාධනා ලිපිය

03- කුඨ ලේඛණයක් දැයි සැකයක් !

* නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දක්වමින්, මෙම නඩුවට අදාළ සාක්ෂිකරුවන් 38 දෙනෙකුගෙන් සාක්ෂි සටහන් කර ගෙන ඇති බවත්, එම සාක්ෂි සටහන් කිරීමේදී හිටපු ජනාධිපතිවරයා අද දින (22) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරන ලද ඉහත ලේඛනය එකී සාක්ෂිකරුවන් කිසිවෙකු විසින් අධිකරණයට ඉදිරිපත් කර නොමැති බවත්, අවම වශයෙන් හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස වසර දහයකට ආසන්න කාලයක් කටයුතු කරන ලද සැන්ඩ්‍රා පෙරේරා යන අය විසින් හෝ එම ලිපිය ඉදිරිපත් කර නොමැති බවත්, ඒ අනුව එකී ලිපිය පසුව සකසා ගන්නා ලද ලිපියක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 

WhatsApp Image 2025 08 22 at 3.56.58 PM

අද දින (22) සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දීමේදී ඔහු විසින් අධිකරණය ඉදිරිපත් කරන ලද 2023.09.01 දිනැති ලිපිය ඉදිරිපත් කළ බවත්, එවැනි ලිපියක් ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් විසින් හෝ වසර දායකට ආසන්න කාලයක් පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ ලේකම්වරිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. 


*මෙම සිදුවීම සම්බන්ධයෙන් මාස තුනක කාලයක් විමර්ශන සිදු කරමින් සිටියදී හා සාක්ෂිකරුවන් 38 දෙනෙකුගේ ප්‍රකාශයන් සටහන් කර ගැනීමේදී එම ලිපිය ඉදිරිපත් කිරීමේ හැකියාව, හිටපු ජනාධිපතිවරයාට තිබූ නමුත් ඔහු එවැනි ලිපියක් ඉදිරිපත් කර නොමැත. ඒ අනුව මෙය පසුව නිර්මාණය කර ගන්නා ලද ලිපියක් විය හැකි බවටත් කරුණු දැක්වීමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කර තිබේ.

*මෙම ලිපිය අද දින ඉදිරිපත් කරමින් සැකකරු වෙනුවෙන් කරුණු දැක්වීමක් සිදු කිරීමට උත්සාහ කර ඇත්තේ පැමිණිල්ලේ නඩුව දුර්වල නඩුවක් විය හැකි බවටයි. නමුත් නීතිපති එදිරිව එදිරිවීර ආරච්චිගේ ප්‍රභාත් එදිරිවීර (වර්ෂ 2006 BLR පිටුව 12) නඩුවේදී ශිරාණි තිලකවර්ධන විනිසුරුතුමිය විසින් ප්‍රකාශ කර ඇති නෛතික ස්ථාවරයට අනුව, නඩු විභාගයකදී හෝ අභියාචනයකදී අසා තීරණය කළ යුතු කරුණු ඇප අයැදීමකදී සලකා බැලීම සුදුසු නොවේ.

*එනම්, නඩුවේ හරයාත්මක කරුණු ඇප ලබා දීමේදී සලකා බැලීම සුදුසු නොවන බව සුලෙයිමාන් ලෙබ්බේ මොහොමඩ් උවායිස් එදිරිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් (CAPHC APN 86/2010 decided on 2011.2.3) දරණ නඩුවේදී ද සිසිර ඩි ආබ්‍රව් විනිසුරුතුමා විසින් සලකා බලා තීරණය කර ඇත. ඒ අනුව මෙම නඩුවේදී ද එවැනි කරුණු අසාමාන්‍ය කරුණු ලෙස සලකා බැලිය නොහැක.

 

WhatsApp Image 2025 08 22 at 4.44.35 PM

සැකකරු අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශයක් ලබා දීමට පැමිණි අවස්ථාවේ 2023.9.1 දිනැති ලිපිය ඔහු විසින් ඉදිරිපත් කළ බවත්, එය මීට පෙර ඉදිරිපත් කිරීමක් සිදු කළ නොමැති බවත් රජයේ අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා කරුණු දැක්වීමක් සිදු කර තිබේ. එම ලිපියේ නිර්වද්‍යභාවය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් සිදු කළේ ද යන්න පිළිබඳව තහවුරු වී නොමැත.


*එම ලිපිය මීට පෙර වෙනත් කිසිදු සාක්ෂිකරුවෙකු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර නොමැති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු දැක්වීමක් සිදු කර ඇත. එකී ලිපිය ව්‍යාජ ලිපියක් වන්නේ ද යන්න පිළිබඳ විමර්ශනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කළ යුතු යන්න ඔවුන්ගේ කරුණු දැක්වීමේදී සඳහන් කර නොමැත. 

*අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් කරුණු දක්වා ඇත්තේ එම ලිපිය මීට පෙර ඉදිරිපත් කර නොමැති බැවින් එය පසුව සකස් කර ගන්නා ලද ව්‍යාජ ලේඛනයක් විය හැකි බවයි. එම කරුණු තහවුරු කළ හැක්කේ විමර්ශනයකින් පසුව පමණි.

*ඒ අනුව එකී ලිපිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා එහි සත්‍යතාව සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.

04- බ්‍රිතාන්‍ය විදේශ සංචාරයේ මුල් අවස්ථාවේදී පුද්ගලික සංචාරයක් ලෙසට දක්වා ඇති බව තහවුරු කිරීම සඳහා ලේඛන 

*අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා සිය කරුණු දැක්වීමේදී, හිටපු ජනාධිපතිවරයාගේ එක්සත් රාජධානියේ විදේශ සංචාරයේ මුල් අවස්ථාවේදී පුද්ගලික සංචාරයක් ලෙසට දක්වා ඇති බව තහවුරු කිරීම සඳහා ලේඛන ඉදිරිපත් කර ඇත.

*2023 අගෝස්තු 16 දිනැති ලිපිය යොමු කර ඇත්තේ එක්සත් රාජධානියේ ලන්ඩන් මහ කොමසාරිස් කාර්යාලය වන අතර, එය ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරයා විසින් නිකුත් කරන ලද ලිපියකි. එය 2023 අගෝස්තු 16 වන දින නිකුත් කර ඇති අතර එහි පැහැදිලිවම අදාළ විදේශ සංචාරය පුද්ගලික විදේශ සංචාරයක් බවට දක්වා ඇත.

*එම විදේශ සංචාරය නිල සංචාරයක් වූයේ නම් එම ලේඛනයෙහි එය පුද්ගලික සංචාරයක් ලෙස දැක්වීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැත. එසේම ඒ සමගම ඇති ඇමුණුමේදී දක්වා ඇත්තේ හිටපු ජනාධිපතිවරයා විදේශ සංචාරයේ පෞද්ගලික විදේශ සංචාරයක් බවයි.

තවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව 2023.09.04 වන දිනැතිව ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ පුද්ගලික විදේශ සංචාර යන විෂය යටතේ ජනාධිපති ලේකම්වරයා වෙත යොමු කර ඇති අතිශය රහසිගත ලෙස දක්වා ඇති ලිපියෙහි ද ශානිකා ඒකනායක නැමැති සහකාර සංධාන අධ්‍යක්ෂවරිය විදේශ සංචාරය පුද්ගලික විදේශ සංචාරයක් ලෙස දක්වා තිබේ. පසුව 2023.9.7 වන දිනැති ලිපිය මගින් එම විදේශ සංචාරය පෞද්ගලික යන කොටස ඉවත් කර සංචාරයක් ලෙස දක්වමින්, ඒ සඳහා වැය වන මුදල් පිළිබඳ ඇස්තමේන්තුවක් යොමු කර ඇත.


*2024.09.04 වන දින ලන්ඩන් මහ කොමසාරිස් කාර්යාලය වෙත ඉදිරිපත් කරන ලද ලිපියෙහි ද දක්වා ඇත්තේ ජනාධිපතිවරයාගේ එකී විදේශ සංචාරය පුද්ගලික සංචාරයක් බවයි.

*එසේම 2023 අගෝස්තු 17 වෙනි දිනැතිව ශ්‍රී ලංකාව මහ කොමසාරිස් කාර්යාලය ලන්ඩන් වෙතින් නිකුත් කර ඇති ෆැක්ස් පණිවිඩයේදී ද එය පුද්ගලික සංචාරයක් ලෙස දක්වා තිබේ.

05- පොදු දේපළ පනතේ 5(1) වගන්තිය සමග කියවිය යුතු දණ්ඩ නීති සංග්‍රහයේ 386, 388 හා 398 වගන්තීන්


kjdoff

මෙම නඩුවේ අද දින ඉදිරිපත් කරන ලද සැකකරු ඉදිරිපත් කර ඇත්තේ පොදු දේපළ පනතේ 5(1) වගන්තිය සමග කියවිය යුතු දණ්ඩ නීති සංග්‍රහයේ 386, 388 හා 398 වගන්තීන් යටතේය.

*එසේම පොදු දේපළ පනතේ 8(1) වගන්තියේ දක්වා ඇත්තේ එකී පනත යටතේ ස්ථිරභාරයට ගනු ලැබ අධිකරණයක් වෙත ඉදිරිපත් කරන්නා වූ සැකකරුවෙකුට ඇප සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන අදාළ වන බවයි.

*නමුත් වරද සිදු කර ඇති දේපළේ වටිනාකම රුපියල් 25,000 ක් වන බවට සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිලයට අඩු නොවන නිලයක් දරන පොලිස් නිලධාරියෙකු විසින් අධිකරණයට කරුණු වාර්තා කර ඇති අවස්ථාවකදී, එවැනි සැකකරුවෙකු නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරයේ තිබිය යුතු බවත්, අසාමාන්‍ය අවස්ථාවකදී ඇප මත මුදා හැරිය යුතු බවට දක්වා තිබේ.

*මෙම නඩුවට අදාළව අද දින පොදු දේපළ විෂයෙහිලා සිදු කරනු ලබන වැරදි පිළිබඳ පනතේ 8(1) වගන්තිය යටතේ සහකාර පොලිස් අධිකාරීවරයෙකු විසින් ඉදිරිපත් කර ඇති සහතිකය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, එම සහතිකයේ මෙම නඩුවට අදාළව සාවද්‍ය පරිහරණයට ලක් කර ඇති දේපළේ වටිනාකම රුපියල් 166,47,652.21 ක් ලෙස දක්වා ඇත.

සැකකරුවන්ගේ නීතිඥ මහතා ඇප පනතේ ප්‍රතිපාදන පිළිබඳව සඳහන් කර ඇති නමුත් පන්නිපිටිය එදිරිව නීතිපති (2011 1 ශ්‍රී ලංකා නීති වාර්තා 267) පිටුව නඩුවේදී පැහැදිලිවම දක්වා ඇත්තේ, යම් පනතක ඇප සම්බන්ධයෙන් ප්‍රතිපාදන ඇතුළත් වී ඇති අවස්ථාවක, එම පනත යටතේ ඉදිරිපත් කරන සැකකරුවෙකුට අදාළ වන්නේ එම පනතේ ඇප සම්බන්ධයෙන් දක්වා ඇති සුවිශේෂී ප්‍රතිපාදන බවයි.


06- සැකකරු භාවිතා කර ඇති මුදල් රජයේ මුදල් නොවන බවට කරුණු දැක්වීමක් සිදු කර නොමැත 

* මෙම නඩුවේ සැකකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ මහතුන් කිසිදු අවස්ථාවක සැකකරු භාවිතා කර ඇති මුදල් රජයේ මුදල් නොවන බවට කරුණු දැක්වීමක් සිදු කර නොමැත.

* ඒ අනුව සැකකරු භාවිතා කර ඇති රුපියල් රුපියල් 166,47,652.21 ක මුදල 1982 අංක 12 දරණ පොදු දේපළ විෂයෙහිලා සිදු කරනු ලබන වැරදි පනතේ 5(1) වගන්තිය යටතේ ගැනෙන පොදු දේපළ සම්බන්ධයෙන් වන වරදක් සංස්ථාපනය වන බව තහවුරු වී තිබේ.

07- ඇප ලබාදීමට ඉදිරිපත් කළ යුතු අසාමාන්‍ය කරුණු ?

 

WhatsApp Image 2025 08 22 at 11.39.47 PM

*ඒ අනුව මෙම නඩුවේ අද දින ඉදිරිපත් කර ඇති සැකකරුට ඇප ලබාදීමට නම් සැකකරු වෙනුවෙන් අසාමාන්‍ය කරුණු ඉදිරිපත් කර තිබිය යුතුය. 

*අසාමාන්‍ය කරුණු මොනවාද යන්න පිළිබඳව විනිශ්චිත නඩු තීන්දු කිහිපයකදී සාකච්ඡා කර තිබේ. 

*එසේම පොදු දේපළ පනත යටතේ පිළිගෙන ඇති නෛතික තත්ත්වය අනුව යම් සැකකරුවෙකුට පොදු දේපළ පනතේ 8(1) වගන්තියේ වියැති රේඛී අවස්ථාව අදාළ වන අවස්ථාවකදී ඇප ලබා ගැනීමට නම් ඔහු විසින් සුවිශේෂී කරුණු ඉදිරිපත් කර තිබිය යුතුය.

*ජයවීර මොහන්දිරම්ගේ ප්‍රේමරත්න එදිරිව නීතිපති (APN 310/2021) නඩුවේදී පොදු දේපළ පනතේ 8(1) වගන්තියේ වියැති රේඛයේ දක්වා ඇති අසාමාන්‍ය කරුණු මොනවාද යන්න එක් එක් නඩුවේ සිද්ධිය හා අවස්ථානුගත කරුණු මත තීරණය කළ යුතු බව දක්වා තිබේ.

 

116878038 10156914980131525 2277196700623080775 n

සැකකරු වෙනුවෙන් නීතිඥ මහතුන් කරුණු කීපයක් අධිකරණයට ඉදිරිපත් කර තිබේ. සැකකරු ශ්‍රී ලංකාවේ අටවන විධායක ජනාධිපතිවරයා බවත්, ඔහු සිදු කර ඇති විදේශ සංචාරය නිල සංචාරයක් බවත්, නිල සංචාරයකදී ජනාධිපතිවරයා ලෙස ඔහුට සාමාන්‍ය පුද්ගලයකු ලෙස සංචාරයේ යෙදීමට හැකියාවක් නොමැති බවත්, ඔහු සමග ඔහුගේ කාර්ය මණ්ඩලයේ යම් පිරිසක් ද, ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් යම් පිරිසක් ද සහභාගී වන බවත්, එම නිලධාරීන්ට හා ආරක්ෂක නිලධාරීන්ට නිල කටයුතුවලදී ගෙවා ඇති එකී මුදල් රජයේ මුදල් අවභාවිතයක් නොවන බවයි.


*නිල සංචාරයේදී එවන්නක් සිදු කළ හැකි වූව ද, මෙම නඩුවෙහි ප්‍රස්තූත කරුණ වන්නේ හිටපු ජනාධිපතිවරයා සිදු කර ඇති එම සංචාරය නිල සංචාරයක් නොවන බවයි. ඒ අනුව නිල සංචාරයකදී අදාළ වන තත්ත්වයන් මෙහිදී අදාළ කර ගැනීමේ හැකියාවක් නොමැත.

* තවද සැකකරු සම්බන්ධයෙන් 2025 අගෝස්තු 22 වන දිනැති විශේෂඥ වෛද්‍ය ජනක ඩි සිල්වා මහතාගේ ලිපිය ඉදිරිපත් කරමින්, සැකකරු දෙවන මට්ටමේ දියවැඩියා රෝගියෙකු බවත්, ඔහු හෘද රෝගී තත්ත්වයෙන් පෙළෙන තැනැත්තකු බවටත්, ඔහු සංකූලතා කිහිපයක් සහිත රෝගී තැනැත්තකු බවටත් කරුණු ඉදිරිපත් කර ඇත.

* හිටපු ජනාධිපතිවරයාගේ බිරිඳ පිළිකා රෝගියෙකු බවට වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරමින් කරුණු දැක්වීමක් සිදු කර ඇති අතර, නමුත් එදිරිවීර එදිරිව නීතිපති (2006 1 ශ්‍රී ලංකා නීති වාර්තා 25 වන පිටුව) නඩුවේදී හිටපු අභියාචන අධිකරණ විනිසුරු ජගත් බාලපටබැඳි මහතා සහ විජයරත්න මහතා විසින් බහුතර එකඟත්වයෙන් යුතුව ලබා දී ඇති තීන්දුවේදී, සැකකරුගේ මව හෝ පියාගේ රෝගී තත්ත්වයන් අසාමාන්‍ය කරුණක් ලෙස සලකා බැලීමට හැකි බවට දක්වා තිබුණද, එම තීන්දුව නීතිපති එදිරිව එදිරිවීර නඩුවේ ශ්‍රේෂ්ඨාධිකරණ අභියාචනයේදී ඉවත් කර තිබේ. ඒ අනුව සැකකරුගේ බිරිඳගේ රෝගී තත්ත්වය මෙම නඩුවේදී සුවිශේෂී කරුණක් ලෙස සැලකිය නොහැක.

* එසේම නීතිය ඉදිරියේ සැවොම එක සමාන බවට මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිළිගෙන ඇති ශ්‍රී ලංකාවේ සැකකරු මේ රට අටවන විධායක ජනාධිපතිවරයා වීම ද මෙවැනි නඩුවකදී අසාමාන්‍ය කරුණක් ලෙස සැලකිය නොහැක.

 

TOPSHOT - Sri Lanka's former president Ranil Wickremesinghe looks on as he sits in a prison bus in Colombo on August 22, 2025, after a magistrate ordered him to be held in remand custody till August 26, 2025, following allegations that he misused state funds to travel to Britain in 2023. (Photo by Ishara S. KODIKARA / AFP) (Photo by ISHARA S. KODIKARA/AFP via Getty Images)


08- සැකකරුගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් පිළිගත හැකි වෛද්‍ය වාර්තා ඉදිරිපත්කර නොමැත 

*එසේම බන්ධනාගාරගතව සිටියදී බන්ධනාගාර රෝහලේදී හෝ වෙනත් රෝහලකදී ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකි බවටත්, අදාළ රෝගයට පිළියම් නොයෙදුවහොත් ඒ යටතේ සැකකරුගේ ජීවිතය අවදානම් සහගතව පවතින බවටත් කරුණු සහිතව සනාථ විය යුතුය. 

*නමුත් මෙම නඩුවේ සැකකරු එවැනි තත්ත්වයක සිටින බව සනාථ කිරීම සඳහා 2025 අගෝස්තු 22 දිනැතිව වෛද්‍යවරුන් දෙදෙනෙකු අත්සන් තබා ඇති ලිපියක් හැර වෙනත් කිසිදු වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර නොමැත.

*සැකකරුගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති වෛද්‍ය ලිපිය, ඔහුගේ රෝගී තත්ත්වයේ බරපතළකම හෝ බන්ධනාගාර රෝහලෙන් ප්‍රතිකාර ලබාගත නොහැකි බවට හෝ ප්‍රතිකාර නොකළහොත් ජීවිතයට අවදානමක් ඇති බවට සනාථ නොකරන බැවින් එය සුවිශේෂී කරුණක් ලෙස සැලකිය නොහැකි බව අධිකරණය තීන්දු කරයි. (රාමු තමෝදරන් පිල්ලේ එදිරිව නීතිපති, එදිරිවීර එදිරිව නීතිපති වැනි නඩු තීන්දු උපුටා දක්වමින්).

 

RW12 2025.08.23

සැකකරුට සුවිශේෂී රෝගී තත්ත්වයක් පවතින්නේ නම්, එම කරුණු තහවුරු කිරීම සඳහා සුදුසු සහ අවශ්‍ය වෛද්‍ය වාර්තා ඉදිරි දින අධිකරණයට ඉදිරිපත් කිරීමට සැකකරුගේ පාර්ශවයට නියෝග කර ඇත.

අද දින වන විට සැකකරුට ඇප ලබා දීම සඳහා පොදු දේපළ පනත යටතේ වන "අසාමාන්‍ය කරුණු" ඉදිරිපත් කර නොමැති බැවින්, සැකකරු 2025 අගෝස්තු 26 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර ඇත.



සබැඳි ලිපි : 

රනිල් අගෝස්තු 26 දක්වා රිමාන්ඩ්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ CID අත්අඩංගුවට

'හිටපු ජනපති රනිල්ගේ විදෙස් සංචාර වියදම් ගැන පරීක්ෂණ' : විශේෂ නිවේදනයක්

හිටපු ජනපති රනිල්ගේ විදෙස් සංචාර වියදම් ගැන පරීක්ෂණ: BBC සිංහල තොරතුරු ඉල්ලීමෙන් හෙළි වූ කරුණු

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...