The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සම්මුති විසම්මුති ; අලි නොවන අලි ප්‍රශ්ණය සහ අලි නැති අලි පා ගමන | සුනන්ද දේශප්‍රිය

T

The Leader Desk

August 23, 2025 • 10:51 AM

සම්මුති විසම්මුති ; අලි නොවන අලි ප්‍රශ්ණය සහ අලි නැති අලි පා ගමන | සුනන්ද දේශප්‍රිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එය නම් කර තිබුණේ අලි නිදහස් - අලි පා ගමන ලෙසය.
  • ගෝටාභය රාජපක්ෂ දේශපාලන සංදර්ශනයෙහි මෙන්ම අනුර කුමාර දේශපාලන සංදර්ශනයෙහි ද නැටවූයේ යදමින් බැඳ සිරගත කර ඇති ‘හීලෑ’ අලි නොවේ.
  • දෙදෙනාම ශපත කළේ වන අලි රැක ගැනීමත් අලි මිනිස් ගැටුමට විසදුම් දීමත් සිය ආණ්ඩුවේ මූලිකත්වයක් වන බවයි.
  • අනුර කුමාරට එසේ නොවනු ඇති.
අකුරු ප්‍රමාණය (Font Size):


එය නම් කර තිබුණේ අලි නිදහස් - අලි පා ගමන ලෙසය. එය කට වහරට අලි නැති අලි පා ගමන යැයි කියැවින.

දවසකට එක් වන අලියකුට වඩා මරා දැමෙන අලි ප්‍රශ්ණය ද මෙරට අලි නොවන එකකි.

අලින් ලවා පා පන්දු සෙල්ලම් කරවන්නේ තායිලන්තයේ නපුරු මිනිසුන්ය. ලංකාවේ  වන අලි ප්‍රශ්ණය දේශපාලන පා පාන්දුවකි.

සිංහල බසින් අලි යනු විශාලත්වය හඟවන නාමපද විශේෂණයකි. අලියා මිහිපිට ජීවත්වන විශාලතම සතාය.



ගෝටාභය රාජපක්ෂ දේශපාලන සංදර්ශනයෙහි මෙන්ම අනුර කුමාර දේශපාලන සංදර්ශනයෙහි ද නැටවූයේ යදමින් බැඳ සිරගත කර ඇති ‘හීලෑ’ අලි නොවේ.

නිදහසේ වනයේ වෙසෙන අලි ය. දෙදෙනාම ශපත කළේ වන අලි රැක ගැනීමත් අලි මිනිස් ගැටුමට විසදුම් දීමත් සිය ආණ්ඩුවේ මූලිකත්වයක් වන බවයි.

මෙරට නොවූ විරූ අලි උවදුරකට ලක්වූ ගෝඨාභය අලි අමාරුවක වැටුණි. ඒ අලි ගොන් වැඩ කළ නිසාය. අනුර කුමාරට එසේ නොවනු ඇති.

දැන් අනුර කුමාරගේ ජනපති පදවි ප්‍රාප්තිය වසරක් ගතවීමට සූදානම්ය. අලි ප්‍රශ්නය නම් විසදී නැත. දවසේ වෙඩිල්ල, දවසේ වාහන අනතුර, දවසේ දියේ ගිලී මියයාම ගාණටම දවසේ අලි අනතුරද දැන් නොඇසෙන දවසක් නැති ගානය.

වාසනාවකට මිස ඉබ්බකු දකින්ට නැති ගොමුවක් කුරුණෑගල දිසාවෙහි තිබේ. ඒ ඉබ්බාගමුවය. ඒ අවට ජනයාද පාසල් දරු දැරියන්ද පසුගිය 10 දා කීවේ ඒ අලින්ගේ කතාවය. අලි කතාව පමණක් නොවේ. ලෝකය මුහුණ දී සිටින අලිම ප්‍රශ්ණයක් වන ප්ලාස්ටික් උවදුර ද මහජන අවධානයට ලක් කිරීම එහි අරමුණක් විය.

 



ලාංකික වන අලියකුගේ උප්පත්ති පරමායුෂ වසර 80 වකි. නමුත් ඔවුහු වසය 45 සහ 65 අතර දී මිය යති. තමන්ට අවාසියක් විය හැකි සෑම සිදුවීමක්ම මෙරට කුමංත්‍රණයකි.  ජාජබ ආණ්ඩුවට අනුව අලි මරණ ද කුමන්ත්‍රණයක් ලෙසය. දවසේ වෙඩිල්ලද එසේය. එවිට සිදුවන්නේ සැබෑ හේතු ගිලී මියයාමයි.

ලංකාවේ වසරකට වන අලි මරණ 450 ක් පමණ වාර්තා වේ. වාර්තා නොවූ වන අලි මරණ 150 ක් පමණ තිබිය හැකි බව දැනුමැත්තෝ කියති. අඩුම වශයෙන් වසරකට 500කි. දියේ ගිලී මිය 600ක් තරමට ටිකක් අඩුවෙනි.

අස්වාභාවික මරණවලට වන අලි ගොදුරුවීම අතින් අප ලොව පළමු ස්ථානයේය. එපමණක් නොව ජනගහණයට සාපේක්ෂව අලි-මිනිස් ගැටුමෙන් ජනගහනයට සාපේක්ෂකව වැඩිම පුද්ගලයින් මිය යන රටද ලෝකෙන් උතුම්ම රට යැයි ගැයෙන මෙරටය. සෑම දින තුනකටම වාගේ අලි-මිනිස් ගැටුමෙන් අයකු මිය යයි.

 



පටු දේශපාලන උවමනාවන් මත වනය ආක්‍රමණය කර එම අනාරක්ෂිත ඉඩම්හි දුගී ජනයා පැළපදියම් කිරීමත්, වන අලින්ගේ ස්වභාවික වාසස්ථාන වූ කැලෑ විනාශ කිරීමත් මේ ව්‍යසනයේ හේතුවයි.

2024 වසරේදී වනඅලි 81 ක් වෙඩි තබා මරා දමා තිබුණි. 56 ක් විදුලිය වද්දවා මරා දැමුණි. හක්ක පටස් හේතුවෙන් මියගිය සංඛ්‍යාව 51 ක් විය. වස කැවීම, දුම්රිය අනතුරු කෘෂිකර්ම ලිංවල වල වැටීමද ප්‍රධාන හේතු අතර වේ.

2024 වසරේදී වාර්තා වූ වන අලි මරණ සංඛ්‍යාව 388 ක් විය. 2025 වසරේ ජනවාරි සිට අගෝස්තු මැද දක්වා වන අලි 288 ක් වාර්තා වී ඇත.

වෙඩි තැබීමෙන් 44 ක්ද විදුලි වද්දවා 38ක්ද හක්ක පටස් මගින් 25ක් ද මරා දමන ලද අතර දුම්රිය අනතුරු වලින් 13ක් මාර්ග අනතුරු වලින් 3ක්ද වන අලි මිය ගියහ.

මේ අතර දිරාගිය හෝ හඳුනා නොගත් වන අලි මළසිරුරු 62 ක් හමු වූ අතර වෙනත් හේතුන් නිසා 103ක් ද වන අලි මිය ගියහ. වසරෙහි මුල් මාස දෙක තුළ දී වන අලි මරණ 65ක් වාර්තා විය.

යම් දෝශ තිබිය හැකි වුවත් මෙම සංඛ්‍යා පෙන්වන්නේ මිනිස්–අලි ගැටුම්, වනාන්තර විනාශය, සහ නීතිවිරෝධී ක්‍රියාමාර්ගවල බලපෑම කිසිසේත්ම වත්මන් ආණ්ඩුව යටතේ ද අඩු වී නැති බවය.

 

WhatsApp Image 2025 08 23 at 1.52.32 PM

මෙළෙස අපේ වන අලි දිගින් දිගටම ඝාතනය වුවහොත් දශක කිහිපයකදී වන අලි සංඛ්‍යාව සිඝ්‍රයෙන් පහළ යා හැකි බවට පරිසර විද්වත්හු අනතුරු හඟවති.

හපා කෑ විට පුපුරා යන අධිබල රතිඥා වර්ගයක් සඳහා දී ඇති හක්ක පටස් යන නම දෙස බැලීමෙන්ම එය කොතරම් වේදනාකාරී මරණයක් වන අලින්ට උරුම කර දෙන්නේද යන්න තේරුම් ගත හැකිය.

අලි නැති අලි පා ගමන සඳහා කලු රෙදිවලින් සහ කලු වර්ණ ගැන්වූ කාඩ්බෝඩ් යොදා  ත්‍රී රෝද රථයක් අලියකු ලෙස සැරසූ දරුවන් එහි ලියා තිබුණේ ‘මට හක්ක පටස් කැව්වට ප්‍රශ්ණය විසදෙන්නේ නෑ නේද?” කියාය. ඇත්තය.

තවත් පාසලක දරුවෝ වියලි කෙසෙල් කොළ කපා දැවමය සැකිල්ළකට  අලවා සැබෑ අලියකුගේ ප්‍රමාණයටම ආකෘතියක් සකස් කර තිබුණේ රෝද මතින් ඇඳ ගෙන යාමටය. රෝද කරකැවුණේ නැත. ඒ අලි නොවන අපූරු අලියා බාග ලොරියක අප හා සමග කිලෝ මීටර දෙකහමාරක් තරම් ආවේය.

 

child foot

අලි නැති අලි පාගමනට එක් වූ මුස්ලිම් පාසලක දරු දැරියෝ දෙමළ බසින් පරිසර රැකගැනීමේ සටන් පාඨ කියනු ඇසුණේ සතුටු සිනා නංවමිනි. අලි නැති පා ගමන සිංහල දෙමළ මුස්ලිම් පාසල් දරු දැරියන් වර්ණවත් කළේ  මන බඳින සංස්කෘතික අංග සමඟ  හැගුම් බරවය.

පා ගමනට පෙර දා එය සංවිධානය කළ සහෝදරයකු හමුවීමට රහස් පොලිසිය ආවේය. අලි නැති අලි පා ගමන පෙරහැර සංස්කෘතියට විරුද්ධ දැයි දැන ගැනීමට ඒ බුද්ධි නිලධාරියාට අවශ්‍ය විය.  

දින දින පත්තු වන වෙඩි ගැන සොයනවාට වඩා මෙවැනි සිවිල් ක්‍රියාකරකම් ගැන සෙවීමත්  වෙම්මනී සමූහ මිනීවළ පිළිබද ජායාරූප වාර්තාකරණයේ යෙදෙන කනපතිපිල්ලෙයි කුමනන් පසු පස හඹා යෑමටත් රහස් පොලිසියට සිදුවී තිබීම, අප ගත කරන කාලය අබුද්දස්ස බව පෙන්වීමකි. සිලෝන්හි ඉංග්‍රිසි පත්තරයක්ද මෙය පෙරහැර සංස්කෘතියට විරුද්ධ යැයි කියා ඒ ගැන ලියූ විශේෂාංගයක් කුණූ කූඩයට දැමූ බව කනින් කොනින් ආරංචි විය.

අලි නැති අලි පා ගමනට ගොකරැල්ල පොලිසිය බොක්කෙන්ම සහාය දුන්නේය. එහි පැමිණ පරිසරය සුරැකීම ගැන කතාවක්ද කලේය.

පා ගමනට පැමිනෙන්නැයි ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාවේ සහෝදර සභාපතිවරයාට, ජාජබට ප්‍රසිද්ධියේ සහාය දුන් සහෝදරියක කළ ආරාධනයට පිළිතුර වූයේ “ මට පක්ෂය පවරපු වැඩ තියෙනවා” කියාය. පව් කියනු හැර කුමක් කියන්නද? මැතිවරණයට පෙර නම් එනු ඇත්තේ පැනගෙනය!

ප්‍රදේශයේ සිවිල් ජන සංවිධාන එක්ව කළ මේ සත්කාර්යට පාසල් දරුවන් පමණක් නොව ගුරුවර ගුරුවරියන්ද එක්ව සිටියහ. දරුවෝ පරිසරය සහ වන අලි සම්පත රැක ගැනීම තේමා කර ගත් වීදිනාට්‍ය මාලාවක් ද රඟ දැක්වූහ.

 

Elephant walk without Elephants 100825 csunandadeshapriya Grassrooted Trust 0221

ප්‍රදේශයේ තරුණ සහෝදර කලාකරුවකු වර්ණවත් අලි අකෘතියක් සකස් කර එය නටවමින් තවත් සගයකු සමඟ එය කරින් ඇවිද්දව ගෙන ආවේ මඟ දෙපස රුස් වූ ජනයා ආහල්ලාදයට පත් කරමිනි.

වන අලි අපේ සම්පතකි. ජනයා ද අපේ සම්පතකි. වනයද අපේ සම්පතකි. අප සියලු දෙනා පරිසරයේ දූ දරුවන්ය. අප රැකෙන්නේ එකිනෙකාගේ සෙවනෙහිය.

ඉබ්බාගමුව මැදි විදුහලේ සිට යකල්ල දේවසරණ සංවර්ධන කේන්ද්‍රය දක්වා තෙපැයක් තරම් ඇවිදිමින්  වැඩිහිටියෝද දරුවෝද දුන්  පණිවිඩය එයයි.

 

vaDiArOCaT5Wmkvo 3

දේශපාලනයට අලි නොවන අලි ප්‍රශ්ණයෙහි ඇත්ත ඇති සැටියෙන් තේරුම් ගන්නා ලෙසත්, පරිසරය විනාශ කරන ප්ලාස්ටික් ව්‍යසනය සම්බන්ධයෙන් තීරණාත්මක පියවර ගන්නා ලෙසත් එදා අලි නැති අලි පා ගමන නැගූ හඩ රට පුරා නින්නාද වන දිනක ඒ නැගුණූ සුසුම් අලි සතුටු සාගරයක කිමිදෙනු ඇත.

සිවිල් බලය තරම් අන් අලි සයිස් බලයක් නැත.

sunanda deshapriya
(සටහන | සුනන්ද දේශප්‍රිය)
Journalist, Writer and Human Rights Activist

sunandadeshapriya@gmail.com

 


Twitter: @sunandadesh
Editor: http://srilankabrief.org

(උපුටා ගැනීම - srilankabrief.org)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...