The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ආහාර වෙනුවට බෙහෙත් පෙති ගන්නා ජනතාව යළි ආහාරවලට නැඹුරු කරන වැඩපිළිවෙළක් | ඉන්දු පෙරේරා

T

The Leader Desk

August 23, 2025 • 10:30 AM

ආහාර වෙනුවට බෙහෙත් පෙති ගන්නා ජනතාව යළි ආහාරවලට නැඹුරු කරන වැඩපිළිවෙළක් | ඉන්දු පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පරිසරය ආරක්ෂා කිරීම යනු පරිසර හිතකාමී වීමට අදාළ එක් අංගයක් පමණි .
  • Green Action Week Campaign පරිසරය ආරක්ෂා කිරීම, සුරක්ෂිත භාවිතය සහ තිරසාර ජීවන රටා පිළිබඳව මිනිසුන් තුළ අවබෝධයක් ඇති කිරීම සඳහා ආරම්භ කර ලොව පුරා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන සමාජ කටයුත්තකි.
  • ලබන මස එනම් සැප්තැම්බර් මස 01 - 07 දක්වා සතියක කාලයක් එකම වේලාවක ලොව පුරා පාරිභෝගිකයන් තිරසාර සහ පරිසර හිතකාමී ආහාර රටාවන් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීමට අපේක්ෂා කෙරේ.
  • ආහාර පරිසර හිතකාමී වීමට නම් තිරසාර ලෙසින් අපේ ආහාර රටාව වෙනස් කරගත යුතුය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

පරිසරය ආරක්ෂා කිරීම යනු පරිසර හිතකාමී වීමට අදාළ එක් අංගයක් පමණි . මේ හැරුණුවිට මීට තව බොහෝ දේවල් අයත් වෙයි. Green Action Week Campaign  පරිසරය ආරක්ෂා කිරීම, සුරක්ෂිත භාවිතය සහ තිරසාර ජීවන රටා පිළිබඳව මිනිසුන් තුළ අවබෝධයක් ඇති කිරීම සඳහා ආරම්භ කර ලොව පුරා  ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන සමාජ කටයුත්තකි.
     

මෙය සංවිධානය කරනු ලබන්නේ  Consumers International සහ Swedish Society for Nature Conservation (SSNC)  යන ආයතන මගිනි.
       

ලබන මස එනම් සැප්තැම්බර් මස 01 - 07 දක්වා සතියක කාලයක් එකම වේලාවක ලොව පුරා පාරිභෝගිකයන් තිරසාර සහ පරිසර හිතකාමී ආහාර රටාවන් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීමට අපේක්ෂා කෙරේ.
         

පරිසරය පිළිබඳ ප්‍රමාණවත් දැනුමක් නොතිබීම ලෝකයේම මේ වන විට විශාල ගැටලුවක් වී පවතී. ආහාර, පරිසර හිතකාමී වන්නේ නම් මිනිස්සුන්ගේ සෞඛ්‍ය ගැටලුවලට සේම, බොහෝ පාරිසරික ගැටලුවලටද එය විසඳුමක් වෙයි.

 

1000029431
       

ආහාර පරිසර හිතකාමී වීමට නම් තිරසාර ලෙසින් අපේ ආහාර රටාව වෙනස් කරගත යුතුය. වර්තමානය වනවිට සැකසූ ආහාර වෙළෙඳ පොළෙන් මිලදී ගැනීමට අපේ රටේ ජනතාව දක්වන්නේ විශාල උනන්දුවකි. මේවා සකස් කරන්නේ එක තැනක ය. ඉන්පසු ඒවා ප්‍රවාහනය කර අලෙවි කරන්නේ තවත් තැන්වල ය.  විශාල  ආහාර ජාලයන් වන මේවා  නිෂ්පාදනයෙහි සිට පාරිභෝගිකයන් අතට පත්වීම දක්වා  වන එම ක්‍රියාවලිය තුළ  ආහාරයේ ගුණාත්මකභාවය සහ පරිසර හිතකාමී බව ඇතුළු අවශේෂ කරුණු  මුළුමනින්ම  යටපත් කර  ව්‍යාපාරික අරමුණු කෙරෙහි පමණක් අවධානය යොමු කෙරේ. රසකාරක, වර්ණකාරක ආදිය අඩංගු කර නිපදවනු ලබන මෙම ක්ෂණික ආහාර මගින් පිළිකා ඇතුළු විවිධ රෝගකාරක හට ගැනීම සඳහා පහසු හැකියාවක් ඇති බව දැන සිටියත් ඒවායෙහි වර්ණය සහ රසයට බාල තරුණ මහලු භේදයක් නැතිවම සියලුම දෙනා ලොල්වන අතර ඉක්මනින් සහ පහසුවෙන් සකස් කිරීමේ හැකියාව නිසා ගෘහණියන්  මේ කෙරෙහි විශාල උනන්දුවක් දක්වන බව පෙනෙයි. එළවළු සහ පලා වර්ග ආහාරයට ගැනීම තරුණ  සහ ළමා පරපුර වෙතින් සීග්‍රයෙන් දුරුවමින් පවතින්නේ මේ ක්ෂණික ආහාර රටාවට ඇති ලොල් බව නිසා ය.

 

1000029440

මෙම  Green Action Week  වැඩසටහනට සමගාමීව FIAN Sir Lanka ආයතනය විසින්  පාරිභෝගිකයින් හා ගෘහණියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් මෙම අගෝස්තු මස 19 වන දින  කොට්ටාව, මාලපල්ල සුදර්ශනාරාම විහාරස්ථානයේ පැවැත්විණි.  පාරම්පරික, දේශීය, ගුණාත්මක හා සෞඛ්‍ය සම්පන්න ආහාර පානවල වැදගත්කම  හඳුන්වා දීම මෙම වැඩසටහනෙහි අරමුණ විය.  එවැනි ගුණාත්මක ආහාර පානවලින් ජනතාව ඈත් වීම නිසා වර්තමානයේ ඇති වී තිබෙන සෞඛ්‍ය ගැටලු  සහ මෙම තත්වයෙන් මිදීම සඳහා නැවත මෙම ආහාර පානවලට යොමු වීමේ  වැදගත්කම මෙහිදී අවධාරණය කෙරිණි. අපේ රටේ  දියවැඩියාව වැනි බෝ නොවන රෝගවල සීග්‍ර වැඩිවීමක් පවතින අතර බස්නාහිර පළාත තුළ සෑම පුද්ගලයන් පස්දෙනෙකුගෙන් එක් අයකු දියවැඩියාව රෝගයට ගොදුරු වී ඇති බවත්, මෙරට සිදුවන මරණවලින් 80% කට ම හේතුව මෙම බෝ නොවන රෝග බවත් පසුගියදා විශේෂඥ වෛද්‍යවරයකු විසින් මාධ්‍ය හමුවක දී අනාවරණය කර තිබිණි. දියවැඩියාව වැනි රෝග වැළඳීම  සඳහා අපගේ ආහාර රටාව ද විශාල දායකත්වයක් සපයයි.

එනිසා මෙම දැනුවත් කිරීමේ වැඩසටහනේ දී  ආහාර පිළියෙළ කිරීමේ ප්‍රායෝගික වැඩසටහනක් ද පවත්වනු ලැබිණි.  එළවළු ව්‍යංජන ලෙසින් සකසා ආහාරයට ගැනීමට වැඩි රුචියක් නොදක්වන දරුවන් උදෙසා වැඩි පෝෂණීය ගුණයකින් යුතු එළවළු මිශ්‍ර රොටී වර්ගයක් සකස් කිරීම මෙහිදී සිදුවූ අතර ඒ සඳහා එළවළු සහ පලා වර්ග සුදුසු පමණින් මිශ්‍ර කරනු ලැබීය. නිවසේ එක්  වේලකට ව්‍යංජනයක් පිළියෙළ  කිරීම සඳහා ප්‍රමාණවත් නොවන එළවළු ස්වල්ප ප්‍රමාණයක් ඇති විට  මෙලෙස එම එළවළුව  කුඩාවට කපා ලූනු, අමුමිරිස් වැනි දෑ ද මිශ්‍ර කර සකස් කිරීමෙන් ඉතා ප්‍රණීත ලෙස රොටී සාදාගත හැකිය. දරුවන් මෙවැනි අලුත් තාලයේ රොටී වර්ග කෑමට ඉතා රුචියක් දක්වනු නොඅනුමාන ය.

 

1000029437

බොහෝ දෙනකුගේ වැඩි අවධානයට ලක් නොවන කෙසෙල්මුව, මුරුංගා යන එළවළු වර්ගවල අධිපෝෂණීයතාවය කොතෙක් ද යත්  මේවා  super foods කාණ්ඩයේ  එළවළු යටතට ගැනේ. යකඩ යහමින් අඩංගු කෙසෙල් මුව යකඩ රැජින  ලෙස ද හඳුන්වයි. මුරුංගාවල කැල්සියම් බහුල ය. විශේෂයෙන් මුරුංගා කොළවල කැල්සියම් අධික ප්‍රමාණයක් පවතී. කාන්තාවන්  මැදිවිය පසු කරන විට බහුලවම මුහුණ දෙන රෝග තත්ත්වයක් නම් කැල්සියම් ඌනතාවය නිසා  හට ගන්නා ඔස්ටියෝපොරෝසිස් ය. එනිසා මුරුංගා කොළ යනු කාන්තාවන් නිතර නිතර තම ආහාරයට එක් කරගත යුතු පලා වර්ගයකි. අවාසනාවට අපේ රටේ මිනිසුන් අනුගමනය කරන්නේ මෙවැනි ගුණදායී ආහාර පැත්තකට කර දිනපතා බෙහෙත් පෙති අහුරු ගණන් ගිල දැමීමේ ක්‍රමය යි.

සෞඛ්‍යමත් පෝෂණීය ආහාර සම්බන්ධයෙන්  පාරිභෝගිකයන් දැනුවත් කිරීම සඳහා  FIAN  ශ්‍රී ලංකා ආයතනය මගින් සිදුකිරීමට අපේක්ෂිත දීප ව්‍යාප්ත වැඩසටහන් මාලාවක මෙම ආරම්භක වැඩසටහනට මාලපල්ල සිරිලිය ගොවි කාන්තා සංවිධානය නියෝජනය කරමින් ගෘහණියන් ,  මාලපල්ල ප්‍රදේශයේ සමෘද්ධි සංවර්ධන නිලධාරිනිය සහ කෘෂිකර්ම පර්යේෂණ නිලධාරිනිය ද සම්බන්ධ වූහ.    

 

1000029428අජන්ත පලිහවඩන සභාව අමතමින්. පසෙක සිටින්නේ ධනුෂා ජයතිස්ස 
වැඩසටහන මෙහෙයවනු ලැබුවේ ශ්‍රී ලංකා කාබනික කෘෂිකාර්මික ව්‍යාපාරයේ විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ අජන්ත පලිහවඩන සහ එම ආයතනයේ සහකාර ව්‍යාපෘති කළමනාකාරිනී ධනූෂා දිලානි ජයතිස්ස විසිනි.

 

සටහන : ඉන්දු පෙරේරා 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...