The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

වසර හතරකට පෙර මැකී ගිය “දේදුන්න” - ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ

T

The Leader Desk

August 24, 2025 • 9:31 AM

 වසර හතරකට පෙර මැකී ගිය “දේදුන්න” -  ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජීවිතය තුළ කිසිවෙක් අසන්නට අකමැති වේදනාබර සහ කම්පාසහගත පණිවිඩයක් විදිහටයි මම ඔහුගේ නික්ම යෑමේ පණිවිඩය ඇසුවේ.
  • ඇතැම් අවස්ථාවල විවිධ කරුණු අරභයා අප අතර ගොඩනැගුණු මත ගැටුම් තිබුණා නම්, අවසානයේදී ඒ මත ගැටුම් අප දෙදෙනාටම එකඟ විය හැකි තැනකට රැගෙන එන්න අප දෙදෙනාටම පුළුවන්කම තිබුණා.
  • එක් අතකින් එකට දේශපාලනය කරන අතර ඒ එක්කම ඉතාම සමීප මිත්‍රත්වයක් ගොඩනගා ගත් විට එය අපූරු සංකලනයක් බවට පත්වෙන බව මා විශ්වාස කරනවා.
  • මහ පාන්දරක එන දිර්ඝ SMS පණිවිඩය කියාපාන්නේ අර තරහව වෙනුවට නැවතත් අලුත් වුණු දැඩි මිත්‍රත්වයක්." ඔහු මා ගැන තැබූ ඒ සටහන් ඔහු පිලිබඳවත් වලංගු බව කිව යුතුමයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ජීවිතය තුළ කිසිවෙක් අසන්නට අකමැති වේදනාබර සහ කම්පාසහගත පණිවිඩයක් විදිහටයි මම ඔහුගේ නික්ම යෑමේ පණිවිඩය ඇසුවේ. අදත් ඒ කම්පනය හදවත තුළ රැව් පිලිරැව් දෙමින් තියෙනවා.


මංගල මේ තරමට අපේ ජීවිතයට දියවුණේ කොහොමද?
 

WhatsApp Image 2025 08 24 at 3.17.53 PM
දේශපාලනයේදී ඔහුත් මාත් අතර තිබුණේ සමීප මතවාදයක්. ඇතැම් අවස්ථාවල විවිධ කරුණු අරභයා අප අතර ගොඩනැගුණු මත ගැටුම් තිබුණා නම්, අවසානයේදී ඒ මත ගැටුම් අප දෙදෙනාටම එකඟ විය හැකි තැනකට රැගෙන එන්න අප දෙදෙනාටම පුළුවන්කම තිබුණා.
දේශපාලනයටත් වඩා අප අතර තිබුණේ අතිශය සමීප මිත්‍රත්වයක්. ඉතාම දැඩි හිතවත්කමක්. ඒ වගේම විශ්වාසවන්ත බැඳීමක්. එක් අතකින් එකට දේශපාලනය කරන අතර ඒ එක්කම ඉතාම සමීප මිත්‍රත්වයක් ගොඩනගා ගත් විට එය අපූරු සංකලනයක් බවට පත්වෙන බව මා විශ්වාස කරනවා.
දේශපාලනයේදී විවිධ මතවාද හේතු කොටගෙන තර්ක විතර්ක ගොඩනගා ගත්තත් අවසානයේදී කිසිවිටක අමනාප නොවන්නට හේතු වන්නේ සමීප මිත්‍රත්වයයි. එකිනෙකා පිළිබඳ තිබෙන ලෙන්ගතු සුහදතාවයයි. එය අප අතර බැඳීමෙහි පදනම වුණා.
 
වරක් මගේ උපන්දිනයක් නිමිත්තෙන් ඔහු සටහනක් තබා තිබුණා.
 
krishantha Cooray 2024.04.21
 
 "ක්‍රිශාන්ත තරම් මට කිට්ටු මිතුරෙක් තවමත් මට හමුවෙලා නෑ .ක්‍රිශාන්ත තරම් මාත් එක්ක තරහ වෙච්ච මිතුරෙකුත් තවම මට හමු වෙලා නෑ .හිතවත්කම ලෙන්ගතුකම වැඩිකමටම පොඩි දේටත් ක්‍රිශාන්ත තරහ වෙනවා.ඔහුගේ බර හඬින් කෑ ගහලා විවාදය හමාර කරලා පිටවෙලා යනවා. "සේරම ඉවරයි" මම හිතනවා. මධු සාදයක කැඩෙන සෝඩා බෝතලයක පෙණ වගේ ක්‍රිශාන්තගේ තරහා එලිවෙනකොට අවසන් වෙනවා.මහ පාන්දරක එන දිර්ඝ SMS පණිවිඩය කියාපාන්නේ අර තරහව වෙනුවට නැවතත් අලුත් වුණු දැඩි මිත්‍රත්වයක්." ඔහු මා ගැන තැබූ ඒ සටහන් ඔහු පිලිබඳවත් වලංගු බව කිව යුතුමයි.
 
ජාතිවාදයෙන්, ආගම්වාදයෙන්, වර්ගවාදයෙන් තොර, අපූරු වෛවර්ණ රටක් සහ ලෝකයක් පිලිබදව චමත්කාර ජනක සිහිනයක් මංගලට තිබුණා.

ඔහු අමාත්‍යවරයෙක් ලෙස ජාත්‍යන්තරය තුළ ලංකාව ඉහළින් ඔසවා තැබීම වෙනුවෙන් සුවිශාල කැප කිරීමක් කළා. ජාත්‍යන්තරය තුළ අපේ රට පිලිබදව එතෙක් තිබූ අන්ධකාර චිත්‍රය මංගල සීරුවට වර්ණවත් කළා. ලංකාව සංහිඳියාව රජයන රටක් යන මතවාදය ඔහු ලෝකයතුල සටහන් කළා. මේ රටට වාර්තාගත විදෙස් සංචාරකයින් පිරිසක් ආවේ මංගල ජාත්‍යන්තර වශයෙන් කරපු ප්‍රශස්ත ක්‍රියාවලිය නිසා.
 
ඉතාම තීරණාත්මක වෙලාවක මුදල් අමාත්‍යාංශය භාර අරගෙන ඔහු එතෙක් තමන් භාර නොගෙන තිබූ අභියෝගයක් ඉතාම සුමට විදිහට ජයග්‍රහණය කළා. මංගල ගෙනා ප්‍රගතිශීලි අයවැය මෙරට ඉතිහාසයේ සලකුණක් වෙනවා.
 

මංගල එහෙම සමත් උනේ කොහොමද?
 
Photos HRc 30 FM visit c s 53
 
 
මංගලට සුවිශේෂී දැක්මක් තිබුණා.ඒ දැක්ම ජයග්‍රහණය කරවන්න ඔහු හැමවිටම දක්ෂයින්ට වගකීම භාර දුන්නා. දක්ෂයින්ගෙන් වැඩ ගැනීමේ කලාව සහ ඔවුන්ට නිදහස ලබාදීමේ කලාවත්, දක්ෂයින් කවුද කියා තෝරා ගැනීමේ ඉවත් මංගල හොඳින් ප්‍රගුණ කොට තිබුණා. ඒ වගේම මානව සම්පත්වල අගය ඔහු වටහාගෙන හිටියා. ඒ මානව සම්පත්වලට ඔහු ගරු කලා. හොදින් සවන් දුන්නා. සමහරු, දේශපාලනඥයින්ට කිට්ටු වුණාම දේශපාලනඥයා සහ මිනිසුන් අතර තාප්පයක් ගසා දොරටුපාලයින් බවට පත් වෙනවා. මංගල කිසිවිටෙක එවැනි හිස් චරිතවලට ඉඩක් දුන්නේ නෑ.
 
තමන් සහ දක්ෂයින් අතර,තමන් සහ මිත්‍රයින් අතර, තමන් සහ නිළධාරීන් අතර,කොටින්ම තමන් සහ ජනතාව අතර තාප්ප බැඳ දොරටු පාලකම් කරන කිසිවෙකුට මංගලගෙන් සමාවක් ලැබුණේ නෑ. එවැනි අයට මංගලට සමීප වෙන්න ඉඩක් ලැබුණෙත් නෑ.
 
473531825 1005153064978196 6005478833760804945 n
 
 
මංගල ප්‍රගතිශීලී නිදහස්කාමී මිනිසෙක්. ඒ වගේම රසකාමී ජීවිතයක් ඔහුට තිබුණා. ඒ, ජීවිතය මට බොහොම කිට්ටු වුණා වගේම මට එය ආකර්ශනීය වුණා. ජාතිවාදය ආගම්වාදය පිටුදකින මංගලගේ ආකල්ප මං අගය කළා. එක්තරා මොහොතක ජාතිවාදී ගිනි පුළිගු රටේ යම් තැනක මතු වූ වෙලාවක මංගල කොන්දේසි විරහිතව වින්දිතයින් වෙනුවෙන් පෙනී සිටියා. ඔහුට මිනිසකුගේ වර්ගය හෝ වර්ණය අදාළ වුණේ නෑ. ඔහු කල්පනා කළේ සියළු දෙනාම මිනිසුන් කියන ආකල්පයෙන්. මංගල ප්‍රාර්ථනා කළ වර්ණවත් ලෝකයේ හැම මනුස්සයෙකුටම ලස්සන ඉඩක් තිබුණා. මංගල සම්ප්‍රදාය වෙනස් කළා.කිසිම විටෙක ඔහු බලය,හෝ ධනය ඉදිරියේ දණබිම නැමුවේ නෑ.”දණ හිස නොනැමූ මංගල” කියන්නේ ඒ නිසයි.
 
මංගල දේශපාලන ජීවියෙක්. ඒත් බොහෝ දේශපාලන චරිතවලට මෙන් මංගලට සගවන්නට වෙනත් පෞද්ගලික ජීවිතයක් තිබුණේ නෑ. ඔහුට තිබුණේ විවෘත ජීවිතයක්. ඒ නිසා මංගල අනෙක් හැමෝටම වඩා වෙනස් වුණා. ඒ නිසා මංගල අනෙක් හැමෝටම වඩා විශාලව පෙනුනා. මංගල හැම මොහොතකම හෘද සාක්ෂියට එකඟව වැඩ කළා. හෘදසාක්ෂිය ඔහුගේ දර්ශණය වුණා. ඒ නිසාම මොන කොන්දේසියකටවත් මංගල හෘදසාක්ෂියෙන් එන දර්ශනය පාවා දුන්නේ නැහැ. ඔහුගේ අවංක ප්‍රකාශණ නිසා සමහරු ඔහුට මතවාදීව පහර දුන්නා.හැබැයි මංගල ඒ සියලු දෙනාටම තාර්කිකව ප්‍රතිචාර දැක්වූවා මිස පෞද්ගලිකව ප්‍රහාර එල්ල කළේ නෑ.
481194724 1033776695449166 6037024931634744352 n

තමන්ව අතිශය පහත් ලෙස විවේචනය කළ පුද්ගලයාට පවා ඔහු සිනාසුනා. විවේචන එන්න එන්න ඔහු තව තවත් අවංක වුණා.තව තවත් නිර්භීත වුණා.
 
 
දේශපාලනඥයින්ට සමීප වෙන බොහෝ අය කෙටි කලකින් ඒ දේශපාලනඥයාව අතහැර වෙනතක යන එක සුලබයි. හැබැයි මංගලට කිට්ටු වුණු කිසිම කෙනෙක් මංගල අතහැර යන්නේ නෑ. ඒ තරමට මංගල විශාල හදවතක් තිබුණු චරිතයක්. දිනෙන් දින මංගලගෙන් ඉගෙන ගන්නත්, මංගලගෙන් තේරුම් ගන්නත් දේවල් තිබුණා. මට හිතෙන්නේ මංගල මේ රටට ලොකු වැඩිවුණා. එහෙමත් නැත්නම් මංගලව මේ රටට තේරුණේ නැති වුණා.
හැබැයි,ඔහුව නොතේරුණු පුංචි මිනිස්සු පිරුණු රටකින් නික්ම යෑම ගැන ඔහුට උපේක්ෂාවක් තියෙන්න ඇති.
 
නමුත්, මංගල නික්ම ගියදා සිට මංගල මොනතරම් විශාල ද කියා පෙනෙන්න පටන් ගත්තා. ඔහුට වැඩියෙන්ම විවේචන ආ ඔහුගේ ඇතැම් ප්‍රකාශ අදත් “උදාන වාක්‍ය “ විදිහට සංසරණය වෙනවා. අවාසනාවට එදා මංගල කී ඇත්ත බොහෝ දෙනෙකුට තේරුම් ගොස් තිබෙන්නේ මංගල නික්ම ගියාට පස්සේ.
 
476774424 1021277210032448 2093000269696980317 n

මංගල සමරවීර නම් දුර්ලභ ගණයේ දේශපාලඥයා, සිය දිවියෙන් සමුගත්තේ අප රට තුළ  මෙපමණකැයි කියා නිම කළ නොහැකි හිස්තැනක් ඉතිරි කරමින්. මංගල නම් හිතෛශීවන්ත කල්‍යාණ මිත්‍රයා සිය දිවියෙන් සමුගෙන ගියේ තීරණාත්මක සෑම මොහොතකම “ මංගල හිටියානම්”කියන වේදනාබර සිතුවිල්ල ඉතිරි කරමින්.

“මේ වියරු සංක්‍රාන්ති සමය අවසන් වෙන තුරු විවේක ගන්න.අරගලයේ අපූරු දවස් එන්නේ ඉදිරියට” කියලා 2020 වසරේ මගේ උපන්දිනයකට ඔහුScreenshot 2025 08 24 at 2.41.17 PM සුබපැතූ හැටි මට මතකයි. ඇත්තටම ඒ අපට මව්බිම තහනම් බිමක් බවට පත්කළ දවස්. එහෙත්, වෙලාව එනතුරු මට‌ විවේක ගන්න කීව මගේ දයාබර මිතුරා වෙලාව එන්නත් පෙර  “ජීවිතයේ සදාකාලික විවේකය” තෝරා ගත්තා.
 
 
මංගල,වසර හතරකට පස්සෙත් ඔබ තබා ගිය ‘හිස්කම” තවමත් එහෙමම යි.
 
 
KK
(ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක සහ ක්‍රියාකාරික

 

KK 20251

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...