The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : සෝටීස් සමඟ පුට් සැලඩ්

T

The Leader Desk

August 24, 2025 • 11:30 AM

කපිල කුමාර කාලිංගගේ හීසරය : සෝටීස් සමඟ පුට් සැලඩ්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කාට හෝ ඉංග්‍රිසියේ වචනයක් දෙකක් වැරදුණත්, මිනිස්සු නක්කලේට හිනාවෙති.
  • එහෙත් තමන්ට ඉංග්‍රිසි පුළුවන් යැයි ලොකුකමක් සිරි ලංකාවේ මැද පන්තියේ සිඤ්ඤෝරලාගේ හිතේ පැළපදියම් වී ඇත.
  • අපේ රටේ සිංහලෙන් ලියැවුණු නාමපුවරු, දැන්වීම් පුවරුවලින් සියයට පනහකම මොකක් හෝ වැරැද්දක් ඇත.
  • සතියකට පසු අර මැදිවියේ මහතා හෝටලය අසලින් යන ගමන් අර පුවරුවේ වූ වැරදි එලෙසම තිබෙනු දැක, එහි ගොඩවුණේය.
අකුරු ප්‍රමාණය (Font Size):

කාට හෝ ඉංග්‍රිසියේ වචනයක් දෙකක් වැරදුණත්, මිනිස්සු නක්කලේට හිනාවෙති. පුදුමයට කාරණය වන්නේ එසේ හිනාවෙන වැඩිදෙනාට ඉංග්‍රිසියෙන් වාක්‍යයක් දෙකක්වත් කියාගන්නට බැරිවීමය. එහෙත් තමන්ට ඉංග්‍රිසි පුළුවන් යැයි ලොකුකමක් සිරි ලංකාවේ මැද පන්තියේ සිඤ්ඤෝරලාගේ හිතේ පැළපදියම් වී ඇත.

සිංහල වැරදුණාට හිනා වෙන්නේ නැති සිංහලයා කාටහරි ඉංග්‍රිසි වැරදුණොත් අතින් කට වසාගෙන සිනාසෙයි.

 

close up of a young man speaks - words power - watch your words concept

අපේ රටේ සිංහලෙන් ලියැවුණු නාමපුවරු, දැන්වීම් පුවරුවලින් සියයට පනහකම මොකක් හෝ වැරැද්දක් ඇත. එහෙත් කාටවත් ඒ ගැන අමාරුවක් නැත. ඉංග්‍රිසි වැරදී තිබුණොත් තොප්පිය!

කුඩා නගරයක, හෝටලයක ඉදිරිපස තිබූ පුවරුවක එහි තිබෙන කෑම වර්ග ගැන සිංහලෙන් ලියා තිබුණි. බොහෝ තැන්වල සිදුවන ආකාරයට ඉංග්‍රිසි නම් ලියා තිබුණේ සිංහලෙනි. මේ හෝටලයේ පුවරුවේද මෙසේ ලියා තිබුණි.

රයිස්
කොත්තු
සෝටීස්
පුට් සැලඩ්

මේ පුවරුව දුටු මැදිවියේ මහතෙක් හෝටලයට ගොඩවී කවුන්ටරයේ සිටි මුදලාලි අසලට ගියේය.
“මොනවද මුදලාලි අර බෝඩ් එකේ ලියල තියෙන්නෙ. සෝටීස් නෙවෙයි ෂෝට් ඊට්ස් කියල ලියවෙන්න ඕන. පුට් සැලඩ් කියල ජාතියක් නෑනෙ. ෆෘට් සැලඩ් කියල ලියන්න ඕන.”

c456u56
මුදලාලි කිසිත් නොකියා සිනාසුණේය. සතියකට පසු අර මැදිවියේ මහතා හෝටලය අසලින් යන ගමන් අර පුවරුවේ වූ වැරදි එලෙසම තිබෙනු දැක, එහි ගොඩවුණේය. “මුදලාලි... අර බෝඩ් එක තාම හදල නෑනෙ. හරි කැතයිනෙ. ඔය සිංහල වචන මකල දාන්න. මං හරි වචන ඉංග්‍රිසියෙන්ම ලියල දෙන්නං.”

මුදලාලි ඊට එකඟ වූයේ නැත.

“ඕනෙ නෑ මහත්තයා... ඔය ඉංග්‍රිසි නම්වල වැරැද්ද කියල යන්න දවසකට දහ දොළොස් දෙනෙක් මේ හෝටලේට ගොඩවෙනවා. ඒ හැමෝම ආප්පයක් හරි කාලනෙ යන්නෙ.”

 

ඉංග්‍රිසින්ගේ යටත්විජිතයන්ව පැවති රටවල මිනිස්සු හොඳින් ඉංග්‍රිසි කතා කිරීමට උගනිති. හැමෝටම එක වගේ බැරිය. ඒ නිසා ගමේ ගොඩේ මිනිස්සු ඉංග්‍රිසි යෙදුම් තමන්ට රිසි ලෙස, පහසු ලෙස උසුරුවති.

ගෙයක් හදනකොට ඉස්සෙල්ලාම කපන්නේ “බවුන්ඩේසම”ය. බඩු ගේන්ඩ යන්නේ “පුස් සිටි”යටය. ප්‍රාදේශීය සභාව වරිපනම් එකතු කරන බව දන්වන්නේ ඉස්පීකර බැඳි වාහනයෙන් ‘එලවුන්ස්’ කරලාය. සුපිරි වෙළෙඳසල්වල ඇති ‘එස්කැලේටර්’ නොහොත් විදුලි සෝපානයට සමහරු කියන්නේ කරන්ට් පඩිපෙළය.

කපිල කුමාර කාලිංගගේ හීසරය : ඔක්ස්ෆර්ඩ් ගිය සිංග්ලිෂ්
එසේම ඉස්ටේසම, කෝච්චිය, ඇස්ටෝං ගෙදර, කොන්දොස්තර, ක්ලින්ක් එක යනාදී වශයෙන් සිංග්ලිෂ් වූ ඉංග්‍රිස් වචන බොහෝය. ඇතැම් සිංහල වචන ඔස්ට්ෆර්ඩ් ශබ්දකෝෂයටත් ඇතුළත් වූ වග, මීට පෙරද අප මේ තීරුවේ ලියා දක්වා ඇත.

මාධ්‍යවේදියකුව සිටි අභාවප්‍රාප්ත මහින්ද අබේසුන්දර මහතා මුල් කාලයේ ඉංග්‍රිසි ගුරුවරයෙකි. “ඉරිදා ලක්බිම” පුවත්පතට ඔහු ලියූ “ආ ගිය කතා” තීරුව බොහෝ සේ ජනප්‍රිය වූ අතර, පසුව පොතක් වශයෙන්ද පළ විය. ඔහු එදා ඒ පොතේ ‘පිදුම’ ලියූ වැකිය අදටත් වලංගුය.

“පාර්ලිමේන්තුවේ ගරුත්වය රැකගෙන කටයුතු කරන්නට, අත්දැකීම් සොයමින් වෙහෙසෙන නවක මන්ත්‍රීවරුනට” මෙම ග්‍රන්ථය පිරිනැමේ. ඉංග්‍රිසි ගුරුවරයකුව සිටි නිසාදෝ මහින්ද අයියාගේ ආ ගිය කතාවල ඉංග්‍රිසි විහිළුද බොහෝ විය. මේ ඉන් එකකි.

“පොලිසියේ අපේ හිතවත් රාළහාමි කෙනෙක් කසාද බැන්දා. එයා තමන්ගේ පොලිස් යාළුවෙක්ට මෙහෙම කිව්වා.

“මං බඳින්නෙ හයි ෆයි ෆැමිලි එකකින්. උන් ඔක්කොම ඉංග්‍රිසියෙන් කතාබහ. ඒ නිසා අපේ කවුරුහරි එදාට ඉංග්‍රිසියෙන් කතාවක් පවත්තන්න ඕනෙ.”

ඔන්න ඉතින් මඟුල් දවසේ කතා පවත්වන වෙලාවේ අර යාළුවත් ඉංග්‍රිසියෙන් කතාවක් පවත්වන්න හිතුවා. මිනිහට හරියට ඉංග්‍රිසි බෑ. ඒ මදිවට ඒ වෙලාවෙ හොඳට සප්පායම් වෙලා හිටියෙ.

කපිල කුමාර කාලිංගගේ හීසරය : බීර ලොරිය සහ කාල-ක්‍රියාව
පොලිසියෙ අයට කලබල අවස්ථාවල වෙඩි තියන්න හෙම වුණොත්, කරන්න ඕන ප්‍රකාශයක් තියෙනවා. ඒක ඉංග්‍රිසි, දෙමළ, සිංහල භාෂා තුනෙන්ම කිවයුතු නිසා කාටත් කටපාඩම්.

නව යුවළ දෙස බලමින් රාළහාමි කතාව පටන් ගත්තා.

My dear friend,
You have commited an act of violence. (ඔබ විසින් සිදුකර ඇත්තේ ප්‍රචණ්ඩ ක්‍රියාවකි.)
“I may be compelled to fire at you.” (ඒ නිසා මට ඔබට වෙඩි තැබීමට සිදුවෙනවා.)
“I advise you to go away immediately” (ඔබට වහාම මෙතනින් වහාම ඉවත් වන ලෙසට මම අවවාද කරමි.)

රාළහාමිගේ ඉංග්‍රිසියෙහි වරදක් නැත. වැරදුණේ අවස්ථාවය!

අනේ, මෙහෙම බූරුවෝ - (කපිල කුමාර කාලිංග)(සටහන | කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී

Kapilakalinga@gmail.com
(උපුටා ගැනීම : 'හරබර ' -deshaya.lk)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...