The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ඉටුවන බව පෙනෙන්නට ද තිබිය යුතු යුක්තියක් වෙනුවෙන්…! | ආචාර්ය ඉන්දි අකුරුගොඩ

T

The Leader Desk

August 25, 2025 • 3:44 PM

ඉටුවන බව පෙනෙන්නට ද තිබිය යුතු යුක්තියක් වෙනුවෙන්…! | ආචාර්ය ඉන්දි අකුරුගොඩ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙය එක්සත් රාජධානියේ අගවිනිසුරුවරයකු වූ හෙවාර්ට් සාමිවරයාගේ ප්‍රසිද්ධ කියමනකි.
  • එනම්, අධිකරණයක් විසින් ලබාදෙන නීතිමය තීරණ සාධාරණ හා අපක්ෂපාතී විය යුතු වීම පමණක් නොව, මහජනතාවට මෙම යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේ සාධාරණත්වය පෙනෙන්නට ද තිබිය යුතු බවයි.
  • එම යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය තුළ මහජනතාවට පක්ෂග්‍රාහිත්වය පිළිබඳ කිසිදු බියක් හෝ සැකයක් ඇති නොවිය යුතුය.
  • මෙම මූලධර්මය විවෘත අධිකරණ ක්‍රියාදාමයන්ට සහ යුක්තිය පසිඳලීම නිරීක්ෂණය කිරීමට මහජනතාවට ඇති හැකියාවට සහාය වන අතර එමඟින් නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කර අධිකරණය කෙරෙහි විශ්වාසය පවත්වා ගනී.
අකුරු ප්‍රමාණය (Font Size):

මෙය එක්සත් රාජධානියේ අගවිනිසුරුවරයකු වූ හෙවාර්ට් සාමිවරයාගේ ප්‍රසිද්ධ කියමනකි. මෙයින් අවධාරණය කරන්නේ රටක අධිකරණ පද්ධතියේ තිබිය යුතු විනිවිදභාවය සහ මහජන විශ්වාසය පිළිබඳ තීරණාත්මක අවශ්‍යතාවයයි. එනම්, අධිකරණයක් විසින් ලබාදෙන නීතිමය තීරණ සාධාරණ හා අපක්ෂපාතී විය යුතු වීම පමණක් නොව, මහජනතාවට මෙම යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේ සාධාරණත්වය පෙනෙන්නට ද තිබිය යුතු බවයි.

එම යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය තුළ මහජනතාවට පක්ෂග්‍රාහිත්වය පිළිබඳ කිසිදු බියක් හෝ සැකයක් ඇති නොවිය යුතුය. මෙම මූලධර්මය විවෘත අධිකරණ ක්‍රියාදාමයන්ට සහ යුක්තිය පසිඳලීම නිරීක්ෂණය කිරීමට මහජනතාවට ඇති හැකියාවට සහාය වන අතර එමඟින් නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කර අධිකරණය කෙරෙහි විශ්වාසය පවත්වා ගනී.

දැන් අසන්නට ඇත්තේ මෙවැනි ප්‍රශ්නයකි. පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධ නඩු විභාගයේදී යුක්තිය ඉටුවන බව මහජනතාව වන අපට පෙනෙන්නට තිබුණා ද, යන්නයි. අපට දක්නට ලැබුණේ අධිකරණ ක්‍රියාදාමය අහේතුකව ප්‍රමාද කරමින්, රාත්‍රිය ගතවන තෙක් වයස අවුරුදු 76ක වයෝවෘද්ධ විත්තිකරු හෙම්බත් කරමින් හිතා මතා කල්මරණ ආකාරයකි.

cngthdfh
කිසිවකු නොදන්නා හේතුවක් නිසා අධිකරණ පරිශ්‍රයේ විදුලි බලය හදිසියේ පැය ගණනක් ඇණ හිටියේය. මෙය කොළඹ අගනගරයේ ප්‍රධාන අධිකරණ පරිශ්‍රයක් වුවත් පැය ගණනක් ගත වන තෙක් විදුලිය යථා තත්වයට පත් නොකිරීම අතිශයින් සැක සහිතය. භූ දේශපාලනික වශයෙන් අතිශය තීරණාත්මක දේශපාලන භූමිකාවක නිරත වන, ජීවිත තර්ජන රාශියක් ඇති හිටපු ජනාධිපතිවරයකු අඳුරේ පැය ගණනක් රඳවාගෙන සිටීමේ යුක්තිසහගතභාවය කුමක් ද? ඒ අවස්ථාවේ ඔහුගේ ආරක්ෂාව පිළිබඳව තිබූ සහතිකය කුමක් ද? මෙහිදී නීතියේ නිසි ක්‍රියාදාමය දක්නට තිබුණා ද? හෙවාර්ට් සාමිවරයා පැවසූ ලෙසින් යුක්තිය ඉටුවන බව පෙනෙන්නට තිබුණා ද?

vbdfbdfg
මෙම සමස්ත ක්‍රියාවලිය තුළම දක්නට තිබුණේ වර්තමාන ආණ්ඩුවේ නිර්දය පළිගැනීමේ චේතනාව මිස අන් කිසිවක් නොවේ. තවමත් ආණ්ඩුව යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටිනවා යයි විශ්වාස කරමින් විශාල මායාවක පැටලී රැවටී සිටින ජවිපෙ-මාලිමා සහායක සහායිකාවන්ට ආණ්ඩුවේ මෙම නිර්දය පළිගැනීමේ චේතනාව පෙනෙන්නේ නැත; එක්කෝ ඔවුන් ඉන් කුල්මත්ව එය රසවිඳිමින් කුරිරු සතුටක් ලබනවා විය හැකිය. කෙසේ වුව ද ආණ්ඩුවේ පරම චේතනාව බව පෙනී ගියේ කෙසේ හෝ හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගෙන වධයට පමුණුවා තම පාක්ෂිකයන් පිනවීමේ මුග්ධ අභිප්‍රායයි.


රාජ්‍ය නායකයා හෝ රාජ්‍ය නායකත්වය දැරූ පුද්ගලයකු රටේ සාමාන්‍ය පුරවැසියකු ලෙස සැලකීමට නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විශේෂ නීතිමය විධිවිධාන අවශ්‍ය නැත; අයවැයෙන් මූල්‍ය ප්‍රතිපාදන අවශ්‍ය නැත. රාජ්‍ය නායකයා වනාහි රටක පළමු පුරවැසියාය. රාජ්‍ය අයවැයෙන් රාජ්‍ය නායකයාට මෙන්ම හිටපු රාජ්‍ය නායකයන්ට ද ආරක්ෂාව සැලසීම සඳහා මුදලක් වෙන් කළ යුතුය. ඔවුන්ගේ ජීවිත රැකීම රාජ්‍යයේ වගකීමකි. ඔවුන්ගේ ධුර කාලය තුළ මෙම රාජ්‍ය නායකයන් රාජ්‍යය සම්බන්ධයෙන්, රාජ්‍යයේ ආරක්ෂාව, ආර්ථිකය සම්බන්ධයෙන් ඉතා තීරණාත්මක ක්‍රියාමාර්ග ගෙන තිබෙන්නට පුළුවන. ඔවුන්ට තිබෙන ජීවිත තර්ජන ධුර කාලයෙන් පසුව ද එසේම පැවතිය හැකිය. එබැවින් ඔවුන්ට නිසි ආරක්ෂාව සැලසීම, ඔවුන් නඩත්තු කිරීම කිසිදු ආණ්ඩුවකට අත්තනෝමතික ලෙස පැහැර හැරිය නොහැකිය.

එසේම 2024 දී නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පත්වන තෙක් බලයේ සිටි කිසිදු රාජ්‍ය නායකයකු හිටපු රාජ්‍ය නායකයන්ට ආරක්ෂාව සැලසීම සහ ඔවුන් නඩත්තු කිරීම ප්‍රතික්ෂේප කර නැත. නමුත් රාජ්‍ය තාන්ත්‍රිකභාවය පිළිබඳ කිසිදු පරිචයක් නැති නව ආණ්ඩුවට මේ සියල්ල විශාල ප්‍රශ්න බවට පත් වී ඇත.

xfgdtth
අධිකරණයකදී හිටපු ජනාධිපතිවරයකුට දිය යුතු නිසි ගෞරවය හෝ ආරක්ෂාව දුන් බව පසුගියදා අපට පෙනෙන්නට තිබුණා ද? අධිකරණ ක්‍රියාවලිය ස්වභාවිකව ප්‍රමාද වූවා ද? නැතිනම් අනවශ්‍ය ලෙස හිතාමතා එය ප්‍රමාද කළා ද? අධිකරණ තීන්දුවට ජවිපෙ ප්‍රධාන කාර්යාලය සහ එහි ප්‍රධානීන් මැදිහත් වූවා ද? අධිකරණ ක්‍රියාවලියට පෙර අධිකරණ තීන්දුව පිළිබඳව ආණ්ඩුවට හිතවත් යූ ටියුබ් මාධ්‍යකරුවෙකු අනාවැකියක් ප්‍රකාශ කළේ කෙසේ ද?

මේ සියලු සැකසංකා පුරවැසියන්ගේය. නීතියේ නිසි ක්‍රියාදාමය එනම්, රටක සාමාන්‍ය අධිකරණ පද්ධතිය හරහා සාධාරණ ලෙස සැලකීම, විශේෂයෙන් අපක්ෂපාතී විනිසුරුවරයෙකු ඉදිරියේ නඩු විභාගයක් සඳහා ඇති අයිතිය හිටපු ජනාධිපතිවරයාට ලැබුණා ද? අධිකරණ තීන්දුව දෙන තෙක් ඉතා සංයමයෙන් සියලු පීඩා දරාගෙන සිටි, නිලධාරීන්ට කිසිදු විරෝධතාවයක් නොදැක්වූ හිටපු ජනාධිපතිවරයාට මාංචු දැම්මේ ඇයි? ඉතා අනාරක්ෂිත ලෙස බස් රථයක නංවාගෙන ප්‍රදර්ශනය කරමින් බන්ධනාගාරයට රැගෙන ගියේ ඇයි? පරීක්ෂණය අවසන් නොමැති නම් ඔහු වෙනත් දිනෙක නැවත ගෙන්වා ගැනීමේ හැකියාව තිබියදී, අසනීප තත්වයන් ද, වෛද්‍ය වාර්තා ද නොසලකා මහත් කලබලයකින් ඔහු බන්ධනාගාරගත කළේ ඇයි? මා නම් මෙය හඳුනාගන්නේ වෛරී දේශපාලනයේ නිර්දය පළිගැනීමක් ලෙසයි; ඔහුගේ කීර්තිමත් ප්‍රභූ දේශපාලන චරිතයට කරන ලද විශාල අපහාසයක් ලෙසයි.

ඔහුගේ සමස්ත ජීවිත කාලය තුළම වැටුප් ලබාගෙන නොමැති, තමාට අයත් සියලු දේපොළ පාසල් සහ පුණ්‍යායතනවලට පවරා දුන් නායකයකු රාජ්‍ය දේපොළ සොරකම් කරන්නේ නැත. රාජ්‍ය නායකයකුට තම ධුර කාලය තුළ සහභාගි වන නිල සංචාර හෝ පෞද්ගලික සංචාර සඳහා නිසි ආරක්ෂාව අවශ්‍ය බව සහ දීර්ඝ ගුවන් ගමනකදී ගමන අතරතුර විවේකය අවශ්‍ය බව අප නැවත නැවතත් කිව යුතු නැත. දැන් ආණ්ඩුව කියන්නේ රාජ්‍ය නායකයා අත මුදලින් තම ආරක්ෂාව සලසා ගත යුතු බව ද? ජනාධිපති වැය ශීර්ෂයක් පාර්ලිමේන්තුවේ සම්මත කරන්නේ එම ධුරයේ වැඩ කටයුතු කිසිදු බාහිර බලපෑමකින් තොරව සිදුකිරීම සඳහාය. එසේම රාජ්‍යයේ මූල්‍ය බලතල ඇත්තේ පාර්ලිමේන්තුවට මිස අධිකරණයට නොවන බව ද අප මතක තබා ගත යුතුය.

cfbdfgdf
මෙවන් පසුබිමක විදේශ සංචාරයක් අතරතුර දෙදිනක විවේකයක් ගැනීම පිළිබඳව හිටපු ජනාධිපතිවරයාට අඩන්තේට්ටම් කිරීම කිසිසේත් අනුමත කළ නොහැකිය. නීතිය අකුරට ක්‍රියාත්මක කරනවා යයි උදම් අනන ආණ්ඩුව තමන්ගේ සහචරයන් සියලු ආයතනවලට පත් කර ගනීමින්, ඔවුන්ගේ සියලු දූෂිත ක්‍රියා නුදුටුවා සේ සිටිමින්, විපක්ෂ දේශපාලකයන්ගෙන් පළිගැනීම සිය පරම කාර්යය බවට පත් කරගෙන තිබේ. මෙවැනි වාතාවරණයක් තුළ ශ්‍රී ලංකාවේ සක්‍රිය පුරවැසියන් ලෙස අප පෙනී සිටිය යුත්තේ ඉටුවන බව පෙනෙන්නට ද තිබිය යුතු යුක්තියක් වෙනුවෙන් මිස ආණ්ඩුවේ සහ ජවිපෙ අරමුණු මුදුන්පත් කර දීම වෙනුවෙන් නොවන බව මෙහිදී අවධාරණය කළ යුතුය.


Indi Akurugoda(සටහන | ආචාර්ය ඉන්දි අකුරුගොඩ)
අධ්‍යයනාංශ ප්‍රධාන, රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයනාංශය
රුහුණ විශ්වවිද්‍යාලය



උපුටා ගැනීම | vinivida.lk

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...