The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ඩෙරීඩා; අපේ කාලයේ මාක්ස්- නැවත තහවුරු කිරීමක් | Deepthi Kuamara Gunarathne

T

The Leader Desk

August 27, 2025 • 2:05 PM

ඩෙරීඩා; අපේ කාලයේ මාක්ස්- නැවත තහවුරු කිරීමක් | Deepthi Kuamara Gunarathne

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සියල්ල අවසානයේ ‘Psycho’ චිත්‍රපටයේ ‘නෝමන් බේට්ස්’ මෙන් රනිල් වික්‍රමසිංහ ද අප දෙස බලා සිටියි.
  • ඔහුගේ මෙම ‘බැල්ම’- බද්ධ දෘෂ්ටිය (Gaze) – දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු වන මහාචාර්ය ජයදේව උයන්ගොඩ පහත පරිදි අර්ථකතනය කර ඇත.
  • ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරයා කළු පාට බන්ධනාගාර රියකින් සිරගෙදරට රැගෙන යන ඡායාරූපයක් ජනමාධ්‍ය මගින් නිකුත් වී ඇත.
  • මිල අධික නමුත් හොඳටම පොඩි වී ඇති සුදු කමිසයක් හැඳ, මාංචු දමා සහ පරාජිත බැල්මෙන්.
අකුරු ප්‍රමාණය (Font Size):

 

සියල්ල අවසානයේ ‘Psycho’ චිත්‍රපටයේ ‘නෝමන් බේට්ස්’ මෙන් රනිල් වික්‍රමසිංහ ද අප දෙස බලා සිටියි. ඔහුගේ මෙම ‘බැල්ම’- බද්ධ දෘෂ්ටිය (Gaze) – දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු වන මහාචාර්ය ජයදේව උයන්ගොඩ පහත පරිදි අර්ථකතනය කර ඇත. (ඉංග්‍රීසියෙන් පළ වූ එම විනිශ්චය සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද්දේ වංගීස සුමනසේකර මහතාය)

‘Yesterday marks a turning point in Sri Lanka’s contemporary politics. The contradictions and conflict between the traditional, Colombo-centric political elites, and the non-elite social forces and their elected representatives have reached a qualitatively new phase. A kind of new class war has erupted in public, in front of TV cameras and international media. The media has published an age-defining photo of Sri Lanka’s former president. Being taken to jail in a black prison van. Wearing an expensive, yet crushed white shirt, hand- cuffed, lonely and crestfallen. Semiotically, this photo tells it all.’

 

Ranil Wickremesinghe remand
“ඊයේ දිනයේ ශ්‍රී ලංකාවේ සමකාලීන දේශපාලනයේ හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් විය. සම්ප්‍රදායික, කොළඹ-කේන්ද්‍රීය දේශපාලන ප්‍රභූන් සහ නිර්-ප්‍රභූ සමාජ බලවේගත් ඔවුන්ගේ තේරී පත් වූ නියෝජිතයනුත් අතර විසංවාදය සහ ගැටුම ගුණාත්මක වශයෙන් නව අවදියකට ළඟා වී තිබේ. එක්තරා ආකාරයක නව පන්ති යුද්ධයක් මහජනයා ඉදිරියේ, රූපවාහි කැමරා සහ ජාත්‍යන්තර මාධ්‍ය ඉදිරියේ පුපුරා ගොස් තිබේ. ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරයා කළු පාට බන්ධනාගාර රියකින් සිරගෙදරට රැගෙන යන ඡායාරූපයක් ජනමාධ්‍ය මගින් නිකුත් වී ඇත. මිල අධික නමුත් හොඳටම පොඩි වී ඇති සුදු කමිසයක් හැඳ, මාංචු දමා සහ පරාජිත බැල්මෙන්. සංඥාර්ථවේදී අර්ථයෙන් මේ ඡායාරූපය අපට කිව යුතු සියල්ල කියයි.”
උයන්ගොඩ විසින් පළ කළ කෙටි සටහනේ අවසාන වාක්‍යය තියුණු විශ්ලේෂණයකට භාජනය කළ විට ලංකාවේ මේ මොහොතේ ක්‍රියාත්මක වන දෘෂ්ටිවාදය හොඳින් විශ්ලේෂණය කළ හැකිය.

“මිල අධික, නමුත් හොඳටම පොඩි වී ඇති සුදු කමිසයක් හැඳ [wrinkle-free fabrics ?- Brooks Brothers], මාංචු දමා සහ පරාජිත බැල්මෙන්. සංඥාර්ථවේදී අර්ථයෙන්, මේ ඡායාරූපය අපට කිව යුතු සියල්ල කියයි.”

ලංකාවේ කුෂාග්‍ර බුද්ධිමතුන් පවා- එතැනදී සෙවලයන් පිළිබඳව සහමුලින් අමතක කරමු- සෝෂියර් සහ ඩෙරීඩා වැනි භාෂාව පිළිබඳ න්‍යායාචාර්යවරුන් වෙතට සමීප වන විට දී ‘සාධාරණ වාග් විද්‍යාව’ (General Linguistics) ‘සාධාරණ සංඥාර්ථවේදය’ (General Semiotics or Of Grammatology.) ගැන තම ඥාණ මීමංසාව ජුගුප්සාජනක තැනකට ඌනනය කරයි.

 psycho2 1536x828 1 696x375Norman Bates.

 

අපි ඩෙරීඩාගේ Margins of Philosophy නම් ලිපි එකතුවේ ඇති 3 වන රචනාව වන The Pit and the Pyramid; Introduction to Hegel’s Semiology වෙත අවධානය යොමු කරමු.

 

මෙම ලිපියේ සිංහල පරිවර්තනය මෙසේය: “මිනී-වල සහ පිරමීඩය; හේගල්ගේ සංඥාව පිළිබඳ අර්ථවේදයට හැඳින්වීමක්”

 

ඩෙරීඩා මෙහිදී සිදු කරන්නේ, සෝෂියර් සහ හේගල් විසින් සංඥාවට – sign – ලබා දෙන අර්ථය විසංයෝජනය කිරීමයි. ඩෙරීඩාගේ කියවීමට අනුව, ඩෙරීඩා යනු කියවන්නියකි. හේගල් ‘නම’ (Name) මගින් අදහස් කරන්නේ කුමක්ද? For Hegel, the Name is the death of the thing.

 Derrida h 696x980Derrida.

භාෂාමය හැඟවුම්කාරකයක් මගින් වහා නිශේධනය – Negation -කරන්නේ, දෙයක[the thing] පැවැත්මයි. නැතහොත්, ‘දෙයක’ මළගමයි. ඒ වෙනුවට- එනම් දෙය වෙනුවට- සංකල්පීයතාවයක් නැතහොත් වාගීශ්වරත්වයක් බිහි වෙයි. කිසියම් දෙයක් අප නම් කරන විට දී, එය වහාම එම දෙයෙහි අවිද්‍යාමානය, වෙනස සහ තෙවැනි මානයක මැදිහත් වීම අහෝසි කර දමයි. අප යමක් නම් කරන විට දී එම ‘දෙය’ වචනාර්ථයෙන් මිය යන්නේ නැත. නමුත්, ව්‍යුහාත්මක පරිවර්තනයකට එම දෙය පත් වෙයි. සිදු වන්නේ එම දෙය-Thing – සංකල්පීය තලයක උත්කර්ෂයට ලක් වී එය අදහසක්- Idea- බවට පත් වීමයි. ඉතාම සරලව කිවහොත්, නමක් (Name) යනු දෙයක් (Thing) පිළිබඳව කරන සමපේක්ෂණ තර්කනයකි. ”දෙය” වචන මගින් ගල් ගොඩක් කිරීම.

 

‘පිරමීඩය’ යනු, රූපයක් ලෙස ගත්විට මියගිය කෙනෙකුගේ මිනී වල සිහිපත් කරන්නෙකි. මේ සන්දර්භය තුළ නම යනු (Signifier) දෙයක මිනී වල සිහිපත් කරන්නකි. පිරමීඩය එකවර දෙයක විද්‍යාමානය සහ අවිද්‍යාමානය සලකුණු කරයි. නමුත්, එය කරන්නේ ‘දෙයෙහි’ නොපැමිණීම මත ය. ‘දෙය’ නැතහොත් මියගිය පුද්ගලයා යළි කතා නොකරන නිසා ඒ දෙය පිළිබඳව මෙනෙහි කිරීමට සහ මතකයට නැගීම බාධාවකින් තොරව කළ හැකිය.

 

Pyramid of Giza 696x392

අනෙක් අතට, ‘මිනී – වල’ යනු ද මහපොළොවේ යටට කපන ලද වලකි. රූපකයක් ලෙස ගතහොත්, එම වල ගැඹුරු සහ පතුළ නොපෙනෙන ප්‍රපංචයකි. යම් කිසි දෙයක් නම් කළ වහාම (Naming) ‘දෙය’ (Thing) සහ නම අතර වෙනස (Gap) එළිපත්තට පැමිණෙයි. ‘අර්ථයේ’ මානයෙන් ගත් විට දී ‘දෙය’ සහ සංඥාව අතර ස්ථිරභාවයක් නැති නිසා බිහි වන තත්වය අර්ථකථනවේදයක් නිර්මාණය කරයි. ඩෙරීඩාට අනුව හේගල් උත්සාහ කරන්නේ, පතුලක් නැති ස්වභාවය නිසා හටගන්නා දෙය සහ සංඥාව අතර පරතරය කිසියම් සංකල්පයකින් ආවරණය කිරීමටය. කෙසේවෙතත්, මෙම පරතරය දිගටම පැවතීම යථාර්ථයකි. හේගල්ගේ චින්තනයට අනුව ‘මිය යාම’ නැවත උපදින්නේ ‘සංකල්පයක්’ (Concept) ලෙසිනි. එනම්, මරණය යනු, අහම්බයෙන් සිදු වන අනතුරක් නොවේ. එවැන්නක් සිදු නොවේ නම් සංකල්පීයකරණය ද තර්ජනයට ලක් වෙයි. පුද්ගලයෙකු යමක් නම් කළ විට දී ඒ මොහොතේදීම ෆැන්ටසිකරණය ආවේශ වෙයි.’දෙය ‘පිළිබඳ එම තත්වය සමස්තයට – Totality- ඉඩ දීමකි. එවිට, ‘දෙය’ නම් කිරීම, දෙයට ; එනම් මරණයට නමක් දීම හිංසනයකි. එසේ වන්නේ, ‘දෙය’ නම් කිරීම මගින් පතුලක් නැති ආගාධයෙන් ගොඩ වී සමස්තයක් නිර්මාණය වන නිසා ය. මේ අර්ථයෙන්, ‘දෙය’ මරා ඉහළට විහිදෙන පිරමීඩය පාරභෞතික ය.

Freshly dug grave pit at cemetery, a close-up.

 

අපි දැන් උයන්ගොඩගෙන් ප්‍රශ්නයක් අසමු. ආත්මය (Subject) යනු, මේ පතුලක් නැති ආගාධය ද? නැතහොත් එම පතුලක් නැති ආගාධය නියෝජනය කරන හෝ නම් කරන වචන ද? එනම්, වික්‍රමසිංහ ආගාධයක් ද? පිරමීඩයක් ද? වික්‍රමසිංහ යනු කවුද?


1) මිල අධික නමුත් පොඩි වී ඇති සුදු කමිසයක් හැඳ, මාංචු දමාගෙන සහ පරාජිත බැල්මෙන් (අවශ්‍ය නම්, බටලන්ද ඝාතකයා, තරිඳු උඩුවරගෙදරගේ වෘෂණකෝෂ මිරිකූ පරපීඩාකාමියා?) අප දෙස බලන්නා ද?


2) අන්තර්ගතයක් රහිතව හිස් බැල්මක් හෙළන්නා ද?


අපි ඩෙරීඩාගෙන් නැතහොත් ඔහුව තරණය කර මනෝවිශ්ලේෂණයට ඇතුල් වෙමු. ඊට අනුව, ආත්මය යනු, දෙකට බෙදුණු දෙයකි.[spilt thing] එසේ වන්නේ, භාෂාව සහ කතිකාව නිසා ය. ‘ආත්මය’ බිහි වන්නේ, පැවැත්ම නිසා නොව භාෂාව සහ කතිකාවේ අසමත් වීම හේතුකොට ගෙන ය. ඩෙරීඩා විසංයෝජනය මගින් දෙය සහ නම අතර ‘කට’ – mouth – විවෘත කරයි.


මෙම පතුලක් නැති ආගාධයෙන් – abyss – නැතහොත්, පරතරය පිරවෙන්නේ ෆැන්ටසියෙනි. මේ අර්ථයෙන් ගත් විට දී, ඩෙකාට්ස් විසින් ඥාණයේ පදනම ලෙස සැලකූ කෝගිටෝව (Cogito) නැවතත් දෙකට පලන්නේ, ෆ්‍රොයිඩ් සහ ලැකාන් ය. දයලෙක්තික තර්කනය යනුවෙන් ලාංකික මාක්ස්වාදීන් වටහා ගන්නේ, ‘වාදය සහ විවාදය ‘ එකතැන් කරන සහවාදය යි. නමුත්, මනෝවිශ්ලේෂණයට අනුව දයලෙක්තිකය යනු, පරස්පරය නිසා ‘වාදයෙන්’ යමක් අහිමි වී -subtraction – යාමයි. ‘වාදය’ ඒකමිතික නැත. එය ද පැලී ඇත.

 

vh67ikjkljljl

උයන්ගොඩ ”මේ යැයි”- Look at him – කියා රනිල් වික්‍රමසිංහව කියවන විට එහිදී ඔහු කියවන්නේ, ඔහුගේ නමයි. එනම්, සංකේතිය රනිල් වික්‍රමසිංහයි. [symbolic Ranil ] නමුත්, අප ආශා කරන්නේ වික්‍රමසිංහගේ අන්තර්ගතයට නොව ඔහුගේ ආකෘතියටයි. එනම්, හිස් බැල්මට (Empty Look) ය. ‘ආත්මය’ යනු, අනෙකා පිළිබඳ අපගේ ඉන්ද්‍රියගෝචර දත්ත හෝ ඔහු පිළිබඳව අපට හෝ අපගේ අනෙකාට ඇති අත්දැකීම් නොවේ. අනෙක් අතට, අනෙකා යනු, ආත්මමූලිකත්වය (Subjectivity) ද නොවේ. එය, හිස්තැනකි. මෙසේ ‘හිස්තැනක්’ ලෙස අපට අනෙකා හමු වන්නේ, අනෙකාගේ පරිමිත කමක් නිසා නොව අපගේ ”පිරමීඩ -පරිමිත -සංකල්ප -පද්ධතිය” නිසා ය. අපට මේ දෘශ්‍ය වන අනෙකාගේ හිස් බැල්ම අනෙකක් නොව අපගේම අභ්‍යන්තරයේ හිස් බවයි.[our own empty gaze] වික්‍රමසිංහ අසරණයෙක් ලෙස අපට පෙනෙන්නේ හෝ ඔහු එසේ අප වෙනුවෙන් රඟ දක්වන්නේ, අපගේ අසරණකම අපටම වසන් කිරීමට ය. ලිබරල්වාදයේ දී හමුවන ගැඹුරුතම වර්ගවාදය අපට හමු වන්නේ, මේ මංසන්ධියේ දී ය. අපගේ දේශපාලන පද්ධතිය සහ ආර්ථික ක්‍රියාවලිය අපගමනය වී ඇත්තේ, වික්‍රමසිංහ වර්ගයේ ප්‍රභූන්ගේ විනෝද ආර්ථිකය නිසා ය. ඒ අපගේ ෆැන්ටසි ප්‍රබන්ධයයි. අප යළිත් ඔහුගෙන් එම විනෝදය, නීතිය සමතික්‍රමණය කොට යළි සුරක්ෂිත කළ යුතුය. මතුපිටින් මම වික්‍රමසිංහව සහ දීප්තිව අතිශයින් පිළිකුල් කරමි. නමුත්, මගේ අවිඥාණක ආශාව වන්නේ, ඔවුන් වැනි පරිසමාප්ත මිනිසුන් වීමට ය. අපට නොපෙනෙන්නේ අපගේ දේශපාලන ෆැන්ටසියේ ‘ආදර වස්තුව’ (Object-a) වික්‍රමසිංහ බවයි. එනම්, Real වික්‍රමසිංහයි. මෙම ෆැන්ටසිය තරණය කරන්නේ කෙසේ ද?

dark hollow

අප මෙතෙක් සාකච්ඡා කළ න්‍යායට අනුව නැවත මෙනෙහි කළ හැකි අහමක් (Self transparent ego) අපට නැත. ඒ වෙනුවට, එතැන ඇත්තේ අපටත් අපව වටහාගත නොහැකි අඳුරු ආගාධයකි. මෙම අඳුරු ආගාධයේ සමාජීය ප්‍රකාශනය වන්නේ ‘සමාජ මාධ්‍යයි’. කෙනෙකුගේ අනන්‍යතාවයේ එක් කොටසක් ලෙස ඕනෑම කෙනෙකුට සතුරෙකු බාහිරින් අවශ්‍ය වීම ව්‍යුහාත්මක ගැටලුවකි. මාගේ අනන්‍යකරණයේ යාන්ත්‍රණය ආත්මීය තලයක ක්‍රියා කරන විට දී මට පීඩා කරන, මාව මර්ධනය කරන, මාව හිංසනයට ලක් කරන ස්වයං බාධාවක් බාහිරින් අවශ්‍ය වීම ප්‍රතිලෝම ලෙස අභ්‍යන්තර නිදහසට අදාළ ගැටලුවකි.
2.

 laclau 1000 1100 696x393Laclau

අපි දැන් වහාම ‘හෙජමොනිය’ – Hegemony – නම් අදහස පිළිබඳව ‘අර්නෙස්ටෝ ලැක්ලාව්’ අර්ථකථනය කරන ආකාරය හදාරමු. 2004 වසරේ දී අපගේ අධ්‍යාපනික පන්ති කාමරයේ දී ”අපරිණත ලෙස ගොත ගැසූ ‘හෙජමොනිය’ අදහස” එකල අප වටහා ගත්තේ, විවිධ අරගල එකට එකතු කරන තංගුස් නූලක් කියා ය. තංගුස්වලින් මුතු ඇට එකතු කරන්නාක් මෙන්, එය ලස්සනට බෙල්ලේ පැළඳ ගත හැකි පරිදිම පසුගිය දශක දෙකක කාලය තුළ දී හෙජමොනිය පාවිච්චි වූයේ, දේශපාලනය ආදරයේ වේදිකාවක් කර ගැනීමට ය. මෙම ‘ආදරය’ නිසා පිරිමින් බොහෝ දෙනෙකුට දරුවන් ලැබුණු මුත් ව්‍යාපාර අතර- සාම ව්‍යාපාර, ස්ත්‍රී ව්‍යාපාරය, සමලිංගික ව්‍යාපාරය, කම්කරු, ගොවි, ගුරු ව්‍යාපාර, විවිධ වෘත්තීය සමිති – ඒකලනයක් සිදු වූයේ නැත. 2025 දී එය සිදු වූවා ද?

n6in7

 

ලංකාවේ විවිධ පුද්ගලයන් අර්නෙස්ටෝ ලැක්ලෝ විසින් රචිත ‘Hegemony and Socialist Strategy’ (1985) කෘතිය පිළිබඳව කතා කරන මුත් එහි හරය වටහාගෙන නැත. 1987 වැනි යුගයක මෙම කෘතිය ගැන දයාපාල තිරාණගම සහ දයාන් ජයතිලක පවා පත්තරවල සංවාද කළේය. නමුත්, ඒ කිසිවෙකුට කෘතිය යෝජනා කරන සංයුක්ත වැඩසටහන අවබෝධ වූයේ නැත.

 

පළමුවෙන්ම, අප අර්නෙස්ටෝ ලැක්ලෝ ‘හෙජමොනිය’ ගැන පවසන දේ වටහා ගනිමු. ‘සමාජවාදය සහ සමාජවාදී උපාය උපක්‍රම’ කෘතියේ දී ලංකාවේ ජිජැක්කරණයට ලක් වූ හෙජමොනිය යන අදහස මගේ කියවීමේ දෝෂයක් නිසා විකෘති විය. පසුව, සමාජගත විය. Articulation යනුවෙන් බහුතරය වටහා ගත්තේ මෙම අදහසයි. ඇත්ත ගැටලුව ඇත්තේ Articulation තුල නොව අභ්‍යන්තර පසමිතුරැභාවය – [Antagonism]තුලය.


ජිජැක්කරණයට ලක් වූ ‘හෙජමොනිය’ අදහස යළිත් ලැක්ලෝකරණය කරමු. (ලැක්ලෝගේ ‘නම’ – name – මම මුලින්ම වැරැද්දු අතර මගේ සතුරන් පවා එම වැරදි නම තහවුරු කර පාවිච්චි කරයි)

 

ජන අරගලය ගැන (අසම්පූර්ණ විය හැකි?) පුරවැසි ආවර්ජනයක් - (W.G.D. ප්‍රියංකර)
අර්නෙස්ටෝ ලැක්ලෝට අනුව ‘හෙජමොනිය’ පිළිබඳ නූතනවාදී අදහස -modern idea- (ග්‍රාම්ස්චිව නවීකාරක කිරීම) මෙසේ ය. ලැක්ලෝට අනුව ‘හෙජමොනිය අදහස’ නවීකාරක කිරීමේදී අදාළ කර ගන්නේ රෝසා ලක්සම්බ්ර්ග් විසින් කම්කරු පන්තියේ එක්සත්භාවය අරඹයා නිකුත් කළ දේශපාලන අදහසයි. ඇයගේ තර්කයට අනුව, පන්තියේ එක්සත්භාවය තීන්දු වන්නේ බාහිරින් සිදුවන විවිධ අරගලවලින් කුමක් අධිනිශ්චය වනවා ද යන සාධකය මත නොවේ. උදාහරණයක් ලෙස, අරගලයේදී ආර්ථික ගැටලු වඩා වැදගත් ද? නැතහොත්, දේශපාලන ගැටලු වඩා වැදගත් ද? යන්න හෝ මේවායින් කුමක් ප්‍රාථමික ද යන්න අදාළ නැත. ඉතාම වැදගත් වන්නේ, අරගලයට සහභාගී වන විවිධ පාර්ශවීය සමාජ කණ්ඩායම් අතර ඇති අභ්‍යන්තර ප්‍රතිවිරෝධයන් ය.[External limit = Internal limit.] මෙම අභ්‍යන්තර ප්‍රතිවිරෝධයන් ගතික ය. එක් විටෙක එක ප්‍රතිවිරෝධයන් කට්ටලයක් අනෙක සමඟ ඒකීය වෙයි. තවත් විටෙක, එම ඒකීය වූ ඒවා යළිත් ප්‍රතිපක්ෂ වෙයි. තව සමහර ඒවා ප්‍රතිපක්ෂ වී එකිනෙකට පරිවර්තනය වෙයි. ‘හෙජමොනිය’ යනු, මෙම අභ්‍යන්තර බෙදී යාම් එක්සත් කරන න්‍යාය යි. ඉතාම තීරණාත්මක ලෙස සමාජය බෙදී ගිය මොහොතක, ජාතිකවාදීන් සහ ලිබරල්වාදීන් අතර අභ්‍යන්තර ගැටුම සමනය වී මර්ධනකාරී බාහිර සතුරාට එරෙහිව එක්සත් වෙයි. කලිසම ගලවන්නේ නැතිව විමල් වීරවංශට නිමල්කා ප්‍රනාන්දු සමඟ එකට සිටගත හැක්කේ, ‘සාරය’ පිළිබඳ අදහස හෙජමොනික දේශපාලනය තුළ මැකී යන නිසා ය. [End of Metaphysics of presence or substance] හෙජමොනික දේශපාලනය ඇතුළත අප වටහා ගත යුත්තේ, ලැක්ලෝ සහ ජිජැක් සම්පාත වන බව ය. එනම්, උපරි-ව්‍යුහය සහ අධෝ-ව්‍යුහය අතර වෙනස මැකී ගොස් හෙජමොනික දේශපාලනයේ දී ”දෘෂ්ටිවාදය විශ්ලේෂණය කිරීම” පොදු අවකාශය බවට පත් වෙයි.

2004 වර්ෂයේ දී, අද දවසේ රනිල් වික්‍රමසිංහට විරුද්ධව වාමාංශිකයන් කරන සියලු චෝදනා මට එරෙහිව ද යම් පිරිසක් සිදු කළේය. මම ඒකාධිපතියෙක්, සමාජ විරෝධියෙක්, Cult ලීඩර් කෙනෙක්, පුරුෂාධිපත්‍යය රකින මාස්ටර්වරයෙක්, ස්ත්‍රීන්ට මානසික රෝග තිබේ යැයි පවසන ෆැසිස්ට්වාදියෙක් ආදී වශයෙන් විවිධ චෝදනා නඟන ලදී. මේ බොහෝදෙනා නොදැන සිටියේ, තමන්ගේ බාහිර අනන්‍යතාවය සහතික කර ගැනීමට අභ්‍යන්තර නිදහසක් අවශ්‍ය බවයි. මේ චෝදනාකරුවන් බහුතරයක් සංස්කෘතික සහ ආර්ථික වශයෙන් අන්ත පීඩිතයන් ය. කිසියම් විමුක්තියක් සොයන ආත්මයට තම අනන්‍යතාවයෙන් කොටසක් මර්ධනයට ලක් කර ගැනීමට සිදු වීම අහම්බයක් නොවේ. තම මර්ධකයාගේ කල්පිත හිංසනයෙන් තොරව සමකාලීන නූතනත්වය තුළ විමුක්තියක් නැත. නූතන ස්ත්‍රී-පුරුෂ සබඳතා මීට හොඳ උදාහරණයකි. Sleeping with the enemy මේ යුගයේ සටන් පාඨය යි. විමුක්තිය ඇත්තේ, අපගේ අපරිමිත බව තුළ නොව අපගේ පරිමිත බව වටහා ගන්නා ක්ෂේත්‍රය තුළ ය. ජේම්ස් බෝල්ඩ්වින් වැනි කලු විමුක්තියේ අරගලකරුවෙකු පවසන්නේ, වර්ණභේදවාදය හුදු අධිපති පන්තීන්ගේ අදහසක් පමණක් නොවන බවයි. එසේ වන්නේ, මර්ධකයාගේ හිංසනය මර්ධිතයාගේ සෙවණැල්ල වන නිසා ය.

2004 වර්ෂය පුරාම අප ‘x සංවිධානයේ’ අභ්‍යන්තරය තුළ ඇවිස්සී ගිය සංවාදය වූයේ, නායකයා මාස්ටර් කෙනෙක් නම්- ඔවුන්ට අනුව මාස්ටර් යනු බෙදීමක් නැති, අඩුව පිළිනොගන්නා පුද්ගලයා ය- එහි නිශ්චිත ඵලය වන්නේ, සාමාජිකාවන් සහ සාමාජිකයන් හිස්ටෙරික වන බවයි. මෙවැනි මාස්ටර් කෙනෙක් මේ ලෝකයේ සිටින බව මොවුන් දැනගත්තේ මා විසින් ආනයනය කළ පොත් සහ CD, DVD තැටි හරහා ය. DVD තැටි මගින් ඔවුන්ව 68 ශිෂ්‍ය අරගලයේ දී මෙන් හිපියන් බවට වසර කිහිපයක් පත්කර ආශාව මරා දමා ඉන්දියාවට ගොස් යෝගීවරුන් වීම වළකා (එක් අයෙක් හැර) ලංකාවේදීම රැඳී සිට තමන්ගේ ආශාව සමඟ තමන්ම සෙල්ලම් කරන්නට උගත්තේය. ඉන් සමහරුන්, මී ගුල්වලට වැදී ඇරිස්ටෝටල්, ප්ලේටෝ, හේගල් වැනි දාර්ශනිකයන් සමඟ අතේ ගසන්නට පුරුදු විය.


නායකයෙකු නැති දේශපාලන ආකෘතියක් අත්හදා බලමු යැයි යෝජනා කළ අය එවැනි කෙනෙකු සොයාගෙන ඇති අතර ඒ පිළිබඳව කතා නොකිරීම යහපත් ය. නායකයෙකු නැති හොඳම සංස්ථාපිතය වන්නේ, වහලෙක් නැති ස්වාමියෙක් සහ ස්වාමියෙක් නැති වහලෙක් බිහි වීමයි.

 

b8iuik

අප කවුරුත් පුරෝකතනය කළ, එහෙත් බලාපොරොත්තු නොවූ තැනකින් නායකයෙක් නැති සංවිධානය බිහි විය. එය නම්, Facebook සමාගමයි. අප සියලු දෙනා නොමිලේ ශ්‍රමය සපයා පොහොසත් කරන අපගේ නායකයා වන්නේ, මාර්ක් සකබර්ග් ය. ගැටලුව වන්නේ, අප ධනවාදය තුළ කලින් රැඳී සිටියත් දැන් අප නම්‍ය වැඩවසම් ලෝකයකට ඇතුල් වීමයි. මානව හිමිකම් අතරින් හොඳම මානව හිමිකම වන්නේ, ඕනෑම කෙනෙකුට තිත්ත කුණුහරපයෙන් බැනීමේ නිදහසයි. සියලුදෙනා සමානයන් වී ඇත. ජනාධිපතිගේ සිට නායකයා දක්වා සියලුදෙනාම ඌ, මූ වී ඇත. මාසික ආදායමට වෙනසක් වීම වෙනුවට ලැබුණු දෙයත් අඩු වී ඇත. නමුත්, වෙන දෙයක් එකතු වී ඇත. ඒ, විනෝදය යි. වෙනදා අතේ ගැසුවේ අත සහ මොළය යොදාගෙනය. අද ඒ සඳහා මොළය පමණක් සෑහේ. එම නිසා, අතට ද කරන්නට දෙයක් නැත.

අපි උයන්ගොඩ වෙත නැවත හැරෙමු. උයන්ගොඩගේ ප්‍රාර්ථනය වන්නේ, කොළඹ කේන්ද්‍රීය ප්‍රභූ පාලනයෙන් නිදහස් වීමට ය. ප්‍රභූ පාලනයෙන් ඉවත් වූවාට පසුව එම හිස්තැන පුරවන්නේ, හිස් හැඟවුම්කාරක මිස (ස්ටාලින්,පොල්පොට්,මාඕ) වෙනත් අය නොවේ. 20 වැනි සියවසේ මුල ලෙනින්ගේ මරණයෙන් පසුව බොහෝ දෙනා කල්පනා කළේ, ස්ටාලින් නායකයා වූයේ කෙසේ ද කියා ය. ස්ටීවන් ක්‍රොට්කින් නම් ඇමෙරිකානු ඉතිහාසවේදියා මෙසේ කීවේය: “ස්ටාලින්ට බොල්ෂෙවිකයන්ට අවශ්‍ය වූයේ නැත. බොල්ෂෙවිකයන්ට තමයි ස්ටාලින් අවශ්‍ය වූයේ.”

 

පෙනෙන විදිහට රනිල් වික්‍රමසිංහව ලංකාවට අවශ්‍ය නැත. නමුත් රනිල් වික්‍රමසිංහට ලංකාව අවශ්‍යය. උයන්ගොඩ පවා පවතින්නේ මෙම අතරමැද සීමාවේ ය. [Gap] එනම්, පතුලක් නැති ආගාධය අපගේ ආශාවන් අවුස්සා ඇත. වික්‍රමසිංහ පිළිබඳ පිරමීඩය විකාරයක් වී ඔහුව වළ දැමීමට කපන ලද වළ කාටත් වදයක් වී ඇත.

මැයි දිනයේ අපි හැමෝම දන්න, හංගන කතාව - දීප්ති කුමාර ගුණරත්න(දීප්ති කුමාර ගුණරත්න)
සමබිම පක්ෂයේ නායක
kmgunarathne@gmail.com

(3mana.com)

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඩෙරීඩා; අපේ කාලයේ මාක්ස්- නැවත තහවුරු කිරීමක් | Deepthi Kuamara Gunarathne | The Leader