The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

'හරක් කටා'ගෙන් එළියට එන අපරාධ රාජ්‍යයේ සුලමුල

T

The Leader Desk

August 27, 2025 • 3:15 PM

'හරක් කටා'ගෙන් එළියට එන අපරාධ රාජ්‍යයේ සුලමුල

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මීට සති කිහිපයකට පෙර පොලිස් රැඳවුම් නියෝගවලින් මිදී රිමාන්ඩ් කෙරිණ.
  • වසර දෙකකුත් මාස දෙකක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට අයත් තංගල්ල බන්ධනාගාරයේ රැඳවුම් නියෝග මත සිටි හරක් කටාට අද වෙන තෙක් නඩු පවරා ඇත්තේ එක් සිදුවීමකට පමණි.
  • කෙසේ වෙතත් හරක් කටා ඉතිහාස ගතවෙන්නේ අපරාධකරුවකුට රැඳුම් නියෝගවලින් දිය හැකි උපරිම රැඳවුම් නියෝගය ලබාදුන් පුද්ගලයා ලෙස ය.
  • සාමාන්‍යයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයකු පැය 48ක් තුළ රිමාන්ඩ් කළ යුතු ය.
අකුරු ප්‍රමාණය (Font Size):

මීට සති කිහිපයකට පෙර පොලිස් රැඳවුම් නියෝගවලින් මිදී රිමාන්ඩ් කෙරිණ.

වසර දෙකකුත් මාස දෙකක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට අයත් තංගල්ල බන්ධනාගාරයේ රැඳවුම් නියෝග මත සිටි හරක් කටාට අද වෙන තෙක් නඩු පවරා ඇත්තේ එක් සිදුවීමකට පමණි. එනම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටිය දී පැනයාමට තැත් කිරීමට අදාළව සුප්‍රකට කිරි ටොපි නඩුව ය.

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මදුෂ්ගේ ජාලයේ ප්‍රධානියා යැයි කියූ, මෙරටට මත්ද්‍රව්‍ය ගෙන්වන ප්‍රබලයා යැයි කියූ කටාට වසර දෙකකුත් මාස පහක් යනතුරු එකදු කුඩු නඩුවක් නැත. එය පුදුමයකි.

හරක් කටා ඉතිහාස ගතවෙන්නේ ඇයි...?

vbdfdfgvv

කෙසේ වෙතත් හරක් කටා ඉතිහාස ගතවෙන්නේ අපරාධකරුවකුට රැඳුම් නියෝගවලින් දිය හැකි උපරිම රැඳවුම් නියෝගය ලබාදුන් පුද්ගලයා ලෙස ය. සාමාන්‍යයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයකු පැය 48ක් තුළ රිමාන්ඩ් කළ යුතු ය. එසේ නමැති නම් අධිකරණය හරහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දවස් හතක රැඳවුම් නියෝගයක් ලබා ගත යුතුය. එසේත් නොමැති නම් ආරක්ෂක ඇමතිවරයාගේ නියෝග මත මාස තුනක හෙවත් දවස් 90ක රැඳවුම් නියෝගයක් ලබා ගත යුතු ය.

එහෙත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 15අ(01) වගන්තිය යටතේ සැකකරුවෙකු ජාතික ආරක්ෂාවට හෝ මහජන ආරක්ෂාවට තර්ජනයක් වනවා නම් සැකකරුට එරෙහිව පවත්නා නඩු විභාගයක් අවසන් වෙන තෙක් ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාගේ නියෝග පරිදි රඳවා ගැනීමේ හැකියාව ඇත. ඒ අනුව හරක් කටාට ලැබුණු රැඳවුම් නියෝගය එය විය.

රහස් පොලිසියට දුන් ඇපල් ලැප්ටොප්

xfgdrtgg

අපරාධකරුවෙකු නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු නම් එලෙස කිරීම අපට කිසිදු ප්‍රශ්නයක් නැත. එසේ රඳවා තබා ගනිමින් සිටි කටාට ගොනු කළ එකදු නඩුවක් හෝ විමර්ශනයක් නැත. ඇති එකම විමර්ශනය  සහ චෝදනාව වන්නේ රහස් පොලිසියෙන් පැන යෑමට තැත් කිරීම පමණි. එසේ නම් මෙලෙස රඳවා ගත්තේ ඇයි? එකී ප්‍රශ්නයට සැක කළ හැකි කරුණු රැසක් පිළිතුරු ලෙස දැන් අනාවරණය වෙමින් පවතී.

පළමු පිළිතුර වන්නේ හරක් කටාට රහස් පොලිසියෙන් පැන යෑම සඳහා උදව් කළ පසුව පැනගොස් ඉන්දියාවේ සැඟව සිට ඉන් අනතුරුව මෙරටට රැගෙන ආ කොස්තාපල් රවිඳු සංදීප යන අයගේ සහෝදරියගේ ස්වාමියා වන අමිල සංජීව විසින් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට ලබා දුන් ප්‍රකාශය යි. එම ප්‍රකාශය ඔහු ලබා දෙන්නේ තම මස්සිනා වන රවිඳු විසින් ඔහුත් සමග බෙදා හදාගත් තොරතුරුවලට අදාළව ය.

ඒ අනුව ඔහු පවසන්නේ තම මස්සිනා පැවසූ පරිදි රහස් පොලිසියේ නිලධාරීන්ට ඇපල් ලැප්ටොප් පහක් ලබා දුන් බව ය. ඊට අමතරව දරුණුම කතාව වන්නේ සි.අයි.ඩියේ හිටපු අධ්‍යක්ෂවරයෙකුට සහ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයෙකුට කෝටි 20ක මුදලක් ලබා දුන් බවට හරක් කටා පැවසූ බව තම මස්සිනා විසින් දැනුම් දුන් බවයි.

එසේම ස්ථානාධිපතිවරයෙකු සඳහා කෝටි දෙකක මුදලක් ද, ඊට අමතරව තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට ලක්ෂ 40ක් 60ක් වශයෙන් මුදලුත් සන්දීපට ලක්ෂ 20ක මුදලුත් ලබා දුන් බව ඔහු විසින් එම ප්‍රකාශවල පවසා ඇත. එම සාක්ෂියේ එක් තැනක සඳහන් වන්නේ තම දරුවා බැලීමට සඳහා ඇමතුමක් ලබා ගැනීමට පොලිස් නිලධාරියෙකුගෙන් සහයක් පැතූ විට ඒ සඳහා ලක්ෂ පහක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ඇති බව ද කටා, තම මස්සිනාට පවසා ඇති බව අමිල සිය ප්‍රකාශයේ දන්වා ඇත.

මේ කතාව බැලූ විට ඕනෑම කෙනෙකුට සිතෙන්නේ කටා නිධානයක් ලෙස ඇතැම් දූෂිත පොලිස් නිලධාරීන් යොදාගෙන ඇති බවයි. කෑම බීම පමණක් නොව යට ඇඳුම් පවා ගන්නට හරක් කටාගෙන් සල්ලි ඉල්ලාගත් බව බැලූ බැල්මට පෙනෙන දෙයකි. එහෙත් එකී ප්‍රකාශය වෙනුවෙන් එකදු පරීක්ෂණයක් අද වෙනතෙක් නැත.

කෝටි දොළහේ කොන්ත්‍රාත්තුව

chdfgrtr

ඒ කතාව එසේ තබා දැන් දෙවැනි කතාවට අප අවතීර්න වන්නේ එය උඩ කතාවට වඩා රසවත් නිසාය. පසුගිය දිනක රහස් පොලිසිය කටාට භික්ෂුවකගේ ඡායාරූපයක් පෙන්වා ප්‍රශ්න කළේ ය. එම ඡායාරූපයේ සිටි භික්ෂුව ශ්‍රී ලංකා පොලිසිය ලොකු ලොක්කන් සමග කරට කර සිටින අයෙකි.

කෙසේ වෙතත් මෙම භික්ෂුව සම්බන්ධ වන්නේ කටාගේ මුදල්වලට විදීමේ ප්‍රභූ කොන්ත්‍රාත්තුවේ එක පාර්ශ්වයක් ලෙස ය. දැනට ලැබී ඇති තොරතුරු මෙසේ ය.

හරක් කටා ආරක්ෂක අංශයේ රැඳවුම් භාරයේ සිටිය දී ඝාතනය නොකිරීමටත්, එසේම රැඳවුම් නියෝගය දිගු නොකිරීමටත් මෙම භික්‍ෂුවගේ මැදිහත්වීම මත එක්තරා දේශපාලන නළුවෙකුටත්, එක්තරා දේශපාලකයෙකුගේ නීතිඥ පුතෙකුටත් කොන්ත්‍රාත්තුව ලබා දී ඇතැයි දැනගන්නට ඇත. එම කොන්ත්‍රාත්තුවේ වටිනාකම කෝටි 12ක් පමණ බව සඳහන්වේ. අදාළ මුදල විදෙස් රටක දී ලබාගත් බවත් ඇතැම් නිල නොලත් තොරතුරු හරහා අපට දැනගන්නට ඇත.

එලෙස මුදල් ලබා ගත්තත් අවසානයේ කටාට රැඳවුම් නියෝග ගසන්නේ හිතාගන්න බැරි ලෙස ය. ඒ නඩුව නිමවන තෙක්ම රඳවා තබා ගැනීම සඳහා ය. එහෙත් වැඩේ කණපිට හැරුණ නිසා මේ මුදල් ලබාගත් අය කෝටි දෙකක් මුදල් ලබා දුන් අයට නැවත ලබා දුන් බව ද දැනගන්නට ඇත. එහෙත් තවමත් කෝටි 10ක් ආපසු ලැබී නැත. එකී මුදල ඇත්තේ කා සන්තකයේ ද? දැන් ප්‍රශ්නය එතන ය.

අදාල මුදල ලබාගත් අයට තියාගන්න යැයි කියා කටා නිශ්ශබ්ද වේ යැයි අප සිතන්නේ නැත. කටා පසුගිය කාලයේ රඳවාගෙන සිටියේ එකී ඇත්ත එළියට ඒම නවත්වන්න දැයි දැන් දැන් අපට ඇතිවන ගැටලුවකි. එක්තරා අවස්ථාවක හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසන්නේ තමන්ට ද කටා මුදල් ලබාදීමට උත්සාහ කළ බවත් එය ලබාදීමට මැදිහත් වූ පුද්ගලයා දැන් ජීවතුන් අතර නැති බවත් ය.

ඒ වෙනින් කවුරුත් නොව ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස නම්දරා සිටි අයකුගේ සහෝදරයෙකු මෙන්ම පහුගිය ආණ්ඩුවේ රාජ්‍ය ඇමතිවරයකුගේ බිරිඳගේ පියා ය. ඔහු මිය ගියේ නාඳුනන වෙඩි ප්‍රහාරයකිනි. ඒ සාක්ෂිය ද අවසන් වී ඇත. අදටත් ඒ අල්ලස් දීමට තැත් කිරීම ගැන කිසිදු පරීක්‍ෂණයක් හෝ සටහනක් නොමැත.

කටා පසුපස සිටින අවතාර

bdfgdgfhh

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට සියල්ල හෙළිකරගෙන ඇත. මුදල් ලබාගත් අය, ලබා ගැනීමේ හේතුව යන මේ සියල්ල අනාවරණය වී ඇත. රාජ්‍ය බලයත්, ප්‍රභූ සම්බන්ධතා බලයත් යොදා ගනිමින් අපරාධකරුවන්ගේ ජීවිත සමඟ ගේම් අදින ලොකු ලොක්කන් කවුද යන්න දැන් බොහොම පැහැදිලි ය. මදූෂ් අත්අඩංගුවේ සිටිය දී ඝාතනය වූයේ සියලු රහස් වමාරන්නට පෙර ය. එහෙත් කටාගේ ජීවිතේ රැකුණු නිසා දැන් කටා සියල්ල හෙළිකරමින් ඇත. මේ නිසා ම කටාගේ ජීවිතය අවදානමට ලක්ව තිබේ.

 පසුගියදා ඔහු රිමාන්ඩ් කළ දිනයේ කටා ඝාතන සැලසුමක් උසාවි භූමියේ තිබුණේ ය. එහෙත් ආරක්ෂක අංශවලට තොරතුරු ආ නිසා කටාගේ ජීවිතේ රැකුණේ ය. එලෙස ඝාතනය කරන්නට සිටියේ කටාගේ ප්‍රතිවිරුද්ධ කල්ලියක් වන කමාන්ඩෝ සලින් ද සහ කෙහෙල් බද්දර පද්මේ විසින් ය. ප්‍රහාරය සූදානම් කළේ මාධ්‍යවේ දී වෙස් ගෙන ය. ඒ සඳහා අවශ්‍ය කැමරා මිලදී ගැනීමට ද සූදානම් වී සිටියේය. ඒ සියල්ල හෙළි කළේ බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය භාරයේ සිටින දේවා ය. එපමණක් නොව ඒ වැඩේ වැරදුණු නිසා දෙවන ඝාතන සැලසුම ද සූදානම් කර තිබුණේ ය. ඒ බූස්ස බන්ධනාගාරයෙහි දී සයිනයිට් ප්‍රහාරයකට ය. එහෙත් එය ද අනාවරණය වුණේ ය.

මෙවැනි සිදුවීම්වලින් පෙනෙන්නේ කටා පසු පස විවිධ අවතාර වැටෙමින් ඇති බව ය. ඒ ඇත්ත හෙළි කිරීම නිසා ය. කටා තවත් බොහෝ දෑ දන්නා කෙනෙකි. තමා කොටු කර මීට වඩා මුදල් ගරා ගත් අය ගැන කටා දන්නේ ය. ඒ සියල්ල හෙළිවන තෙක් ඒ දේවලට සම්බන්ධ අය ඉවසාගෙන සිටී ද යන්න ලංකාවේ හැටියට විශ්වාස නැත. ඒ නිසා කටා ජාවාරම්කරුවකු වුණත් ජාවාරම්කරුවකුගෙන් පවා හොරා කන ජාවාරම්කරුවන් සිටිනා රටක ඒ කවුද යන්න සියල්ල අනාවරණය කළ යුතු ය. ඒ අනාවරණය මේ රටේ අනාගතයට වැදගත් ය. එසේ නොමැතිව කෙතරම් පාතාලය මර්දනය කළත් මේ ජාවාරම්කරුවන් පාතාලයට පණ දෙන්නේ ඇස් ඉදිරිපිට ය. ඒ නිසා ප්‍රථමයෙන් මේ සුදු කරපටි පාතාලයින් රටට නිරාවරණය කිරීම මෙරට ආරක්ෂක අංශවල පළමු රාජකාරිය විය යුතු ය.

(සටහන - දමිත් කරුණාතිලක)
ඉරිදා ලංකාදීප
2025 අගෝ. 24

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...