The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ආහාර ස්වෛරීත්වය පිළිබඳ ජාත්‍යන්තර සමුළුව මෙවර ශ්‍රී ලංකාවේ | ඉන්දු පෙරේරා

T

The Leader Desk

August 29, 2025 • 9:21 AM

ආහාර ස්වෛරීත්වය පිළිබඳ ජාත්‍යන්තර සමුළුව මෙවර ශ්‍රී ලංකාවේ | ඉන්දු පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආහාර ස්වෛරීත්වය යනු කුමක්දැයි අපි මුලින්ම නිර්වචනය කර ගනිමු.
  • ආහාර ස්වෛරීත්වය හෙවත් Food Sovereignty යනු ජනතාවට තමන්ගේ ආහාර නිෂ්පාදනය, බෙදාහැරීම සහ ආහාර පද්ධතිය පිළිබඳ තමන්ට ම තීරණ ගැනීමට ඇති හැකියාව ය.
  • ඒ අනුව එම බෝග පරම්පරාවක් ලෙස ඉදිරියට ගෙන යාමට හැකියාවක් මෙමගින් නොලැබෙන අතර නැවත නැවත එම බහුජාතික සමාගම්වල බීජ මිලදී ගෙන වගා කළ යුතු වෙයි.
  • ගොවීන් බහුජාතික සමාගම්වල අතකොළුවන් බවට පත්වී සිටියි.
අකුරු ප්‍රමාණය (Font Size):
 
ආහාර ස්වෛරීත්වය යනු කුමක්දැයි අපි මුලින්ම නිර්වචනය කර ගනිමු. ආහාර ස්වෛරීත්වය හෙවත් Food Sovereignty යනු ජනතාවට තමන්ගේ ආහාර නිෂ්පාදනය, බෙදාහැරීම සහ ආහාර පද්ධතිය පිළිබඳ තමන්ට ම තීරණ ගැනීමට ඇති හැකියාව ය. මෙය ආහාර සුරක්ෂිතතාවට (Food Security) වඩා ගොවි ජනතාවගේ බලය හා අයිතියට මූලිකත්වය දෙන සංකල්පයකි.
 
එනම්, රටක හෝ ප්‍රදේශයක ජනතාවට තමන්ගේ ආහාර නිපදවන්නේ කෙසේද, තමන් පරිභෝජනයට ගත යුත්තේ කුමන ආහාරද? ඒවා වගා කළ යුත්තේ කාබනික හෝ පාරම්පරික වශයෙන් කුමන ක්‍රමයක් භාවිතා කිරීමෙන්ද යන්න පිළිබඳව ස්වෛරිත්වයෙන් තීරණ ගන්නට හැකියාව පැවතීමයි.
ආහාර ස්වෛරීත්වයට අයත් ප්‍රධාන අංග:
 
agriculture
 
*දේශීය ආහාර නිෂ්පාදනයට වගකීම, ඒ අනුව ආනයන මත පමණක් රඳා නොසිටීම,
*කෘෂිකර්මය මත ගොවි ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම,
*පාරම්පරික ආහාර, බීජ සහ සංස්කෘතික ආහාර පුරුදු ආරක්ෂා කිරීම,
*පරිසරයට ගැළපෙන, ස්ථිර ව පවතින ආහාර නිෂ්පාදන ක්‍රම
     
ආහාර ස්වෛරීත්වය සහ ආහාර සුරක්ෂිතතාව (Food security) දෙකෙහි වෙනස 
       
ආහාර ස්වෛරිත්වය යනු ආහාර නිපදවන්නේ කාටද, නිපදවන්නේ කෙසේද යන්න පිළිබඳව තීරණය ගැනීමේ අයිතිය ජනතාව සතු වීම ය. මෙහිදී තමන්ගේ ආහාර පද්ධතිය පිළිබඳ සම්පූර්ණ අයිතිය සහ පාළනය තමන්ට හිමිවේ. 
 
 Food security
      
ආහාර සුරක්ෂිතතාව යනු ආහාර ප්‍රමාණවත් තරමට සපයනවාද, ලැබෙනවාද යන්නයි.
      
මේ අනුව ආහාර ස්වෛරීත්වය යනු ඉතා පුළුල් මාතෘකාවකි.
      
ආහාර ස්වෛරිත්වය තුළ ගොවියෝ පාරම්පරිකවම බීජ තෝරා ගැනීම සහ ගොවියන් ඔවුනොවුන් අතර බීජ බෙදා ගැනීම සිදුවේ. මෙමගින් ආහාර පද්ධතියේ පාළනය ගොවි ජනතාව තුළ ම පවතී. කෘෂි කර්මාන්තයට පාරම්පරික බීජ භාවිතා කිරීම සහ විදේශීය පළිබෝධනාශක හෝ රසායනික ද්‍රව්‍ය මත නොයැපෙමින්, පරිසර හිතකාමී ස්වභාවික පොහොර සහ ⁣පළිබෝධනාශක පරිහරණය කිරීම ද ආහාර ස්වෛරීත්වයෙහි ම අංගයකි.  
 
kankun
නමුත් වර්තමානය වනවිට මෙම ආහාර ස්වෛරිත්වය කොයිතරම් දුරට ආරක්ෂා වී පවතින්නේ ද යන්න ගැටලුවක් වේ. ගොවීන් ට බීජ ලබා දෙන්නේ බහුජාතික සමාගම් මගිනි. ගමේ ගෙවතුවල පහසුවෙන් වැවෙන කංකුන්, මුකුණුවැන්න වැනි පළා වර්ග පවා දැන් වවන්නේ බහුජාතික සමාගම් මගින් සපයන බීජවලිනි. මෙසේ සියලු එළවළු පලතුරු වර්ග වගා කිරීමේ ඒකාධිකාරය සියතට ගත් බහුජාතික සමාගම් අපේ පාරම්පරික බීජ විනාශ කිරීමේ කාර්යයට උර දී සිටියි. ගොවීන්ට බීජ ලබා දුන් පසු එම බීජවලින් වැඩෙන පැළවලට ස්වභාවික පොහොර, ස්වභාවික කෘමිනාශක කිසිවක් සාර්ථක වන්නේ නැත. එම සමාගම් විසින් දෙනු ලබන පොහොර, කෘෂිරසායන නැතිව මේවායින් ඵලදාව ලබා ගත නොහැකි වෙයි. විශේෂම කරුණ එම බෝගවල බීජ මගින් යළිත් පැළ නිපදවා ගැනීමට නොහැකි වීම ය. සමහර පලතුරු ආදියෙහි බීජ ද නොමැත. ඒ අනුව එම බෝග පරම්පරාවක් ලෙස ඉදිරියට ගෙන යාමට හැකියාවක් මෙමගින් නොලැබෙන අතර නැවත නැවත එම බහුජාතික සමාගම්වල බීජ මිලදී ගෙන වගා කළ යුතු වෙයි. බීජ පමණක් නොව පොළොව සකස් කිරීම පිළිබඳව පවා නිර්දේශ කරන්නේත්, වගාවෙහි වර්ධනයට අවශ්‍ය අනෙකුත් සියලු දේ නිර්දේශ කරන්නේත් බහුජාතික සමාගම් මගින් ඔවුන්ගේ අවශ්‍යතාවය පරිදි ය. ගොවීන් බහුජාතික සමාගම්වල අතකොළුවන් බවට පත්වී සිටියි.
WhatsApp Image 2025 08 29 at 1.07.27 PM
       
එපමණක් නොව වගා කිරීම සඳහා ඉඩම් නොමැති වීමේ ගැටලුවට ද අද වන විට විශාල වශයෙන් ගොවීහු මුහුණ දී හිඳිති. නිදසුනක් ලෙස අතීතයේ මීට දශක කිහිපයකට පෙර වගා කිරීම සඳහා ගොවීන්ට මහවැලි ඉඩම් ලබාදුන් අතර ගොඩින් සහ මඩින් දුන් මේ ඉඩම් ප්‍රමාණය එක පවුලකට වගා කිරීම සඳහා ප්‍රමාණවත් විය. නමුත් ඔවුන් පරම්පරා දෙක තුනක් ඉදිරියට යන විට අක්කර දෙකහමාරක් වැනි එම සීමිත ඉඩම් ප්‍රමාණය දරුවන් අතර බෙදී ගිය පසු වගා කිරීම සඳහා ඉඩකඩක් ඔවුන්ට ඉතිරි නොවේ. එසේ වුවද බහුජාතික සමාගම්වලට යම් යම් භෝග වගා කිරීම සඳහා අක්කර ගණනින් රජයේ ඉඩම් ලබාගත හැකිය. ගොවීන්ට මේ පහසුව නැත. මේ කරුණු දෙකම ආහාර ස්වෛරිත්වය බිඳ වැටීම කෙරෙහි ඉතා දැඩිවම බලපාන සාධක දෙකකි.
         
ඉහත සඳහන් කළාක් මෙන් ආහාර ස්වෛරීත්වය යන මෙම විෂය ඉතා පුළුල් වූවකි. නිදසුනක් ලෙස යම් ජන කොට්ඨාශයක් ගැන සැලකුවහොත් ඔවුන්ගේ සංස්කෘතියට අනුව ආහාර රටාව වෙනස් වෙයි. එසේ නම් තම සංස්කෘතියට ගැළපෙන පරිදි තමන්ට හුරු ආහාර ලබා ගන්නේ කෙසේද යන්න ආහාර ස්වෛරීත්වයයි. එලෙස ඕනෑම මනුෂ්‍යයකුට තම සංස්කෘතියට එකඟ, පරිසර හිතකාමී, සෞඛ්‍යාරක්ෂිත ආහාර රටාවක් අනුගමනය කිරීමට සහ ඒ සම්බන්ධයෙන් තීරණ ගැනීමට සර්ව සාධාරණ වූ අයිතියක් තිබේ. ආහාර ස්වෛරිත්වය යනු එයයි.
 
FISH 1
        
ආහාර ලෙස සැලකෙන්නේ එළවළු පලතුරු වැනි දෑ පමණක් නොවේ. මාළු ද ආහාරයකි. එබැවින් ගොවීන්ගේ මෙන්ම ධීවර ප්‍රජාවගේ ගැටලු ද මීට අයත් ය.        
neyalaniලොව පුරා ආහාර ස්වෛරීත්වය පිළිබඳව කතා කරන විට නියැලිනී (Nyeleni) නාමය ඒ හා බැඳී පවතී. ඇය මාලි (Mali) නමැති අප්‍රිකානු රටේ කෘෂිකාර්මික සම්ප්‍රදායේ ප්‍රසිද්ධ වීර නායිකාවකි. ජනප්‍රවාදවලට අනුව ගොවිතැන් කිරීම, සතුන් පෝෂණය සහ පැරණි ආහාර සම්ප්‍රදායන් ආරක්ෂා කිරීම යන කරුණු විෂයෙහි ඇය නායකත්වය ලබා දී තිබේ. විශේෂයෙන්ම ඇය ගොවීන්ගේ සහ ගැමි කාන්තාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළ බවට විශ්වාසයක් පවතී.        
 
Nyeleni නම භාවිතා කිරීමෙන් කෘෂිකාර්මික ජනතාවගේ සම්ප්‍රදාය, ගැමි කාන්තාවන්ගේ දායකත්වය සහ ආහාර අයිතිය පිළිබඳ සටන නියෝජනය කරන නිසාත්, ඇය ගොවිතැනේ සහ ආහාර නිෂ්පාදනයේ ජනතා බලය නියෝජනය කළ නිසාත් “ආහාර ස්වෛරීත්වය” යන සංකල්පය පිළිබඳව සාකච්ඡා කරන විට ඇගේ නම ඊට යොදා ගෙන තිබේ. 2007 වසරේ දී මාලි රටේ Selingue නගරයේ පැවති කෘෂිකාර්මික සහ ගොවි සමිති ජාත්‍යන්තර සමුළුවට “Nyeleni Forum for Food Sovereignty” යන නාමය ලබා දී ඇත්තේ එනිසා ය. 
street food
        
වර්තමානයේ ලෝකයේ ම ආහාර ස්වෛරිත්වය ගිලගෙන සිටින මෙම බහුජාතික සමාගම් ආධිපත්‍යයට එරෙහි ව ආහාර ස්වෛරීභාවය පිළිබඳ ජාත්‍යන්තර සැලසුම් කමිටුව මගින් මානව හිමිකම් අනුව යමින් විශාල වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටී. මෙවර මෙම සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත අතර එය සැප්තැම්බර් 06 - 13 දක්වා මහනුවර පොල්ගොල්ලේ, ජාතික සමූපකාර සංවර්ධන මධ්‍යස්ථානයෙහි පැවැත්වෙනු ඇත. ලොව පුරා සංවිධාන අසූවකින්, හයසියයක පමණ පිරිසක් මේ සඳහා සහභාගි වීමට නියමිත ය. මේ සඳහා අපේ රටේ ෆියැන් ශ්‍රී ලංකා / ලංකා කාබනික කෘෂිකර්ම ව්‍යාපාරය, ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය, ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය, පරිසර යුක්ති කේන්ද්‍රය, ස්ත්‍රී මධ්‍යස්ථානය, ප්‍රජා අධ්‍යාපන මධ්‍යස්ථානය, ජනතා සෞඛ්‍ය ව්‍යාපාරය යන රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධ වනු ඇත.
 
සටහන : ඉන්දු පෙරේරා 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...