රනිල් වෙනස කතා බහට ලක්වන්නට හේතු වූයේ ඔහු ප්‍රකාශයක් වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිය පසුව හදිසියේම අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් සිර භාරයට පත් කිරීම යි.
නීතිඥයින්ට පිටු පෑමේ විපාකය ද...?
ඉකුත් සිකුරාදා රනිල්ට රහස් පොලිසියට එන්නැයි දැනුම්දී ම ලැබුණු පසු ගන්නා පියවර කුමක්දැයි නීතිඥයින් අතර කතාබහ ඇති විය.
නීතිඥයින් විවිධ කතා කිව්වත් රනිල් කීවේ කැඳවීමක් කළ විට ඒ දින වෙනස් නොකළ යුතු බවත් තමා එහි ගොස් අදාළ සිද්ධියට මුහුණ දෙන බවත් ය. එහෙත් ඇතැම් නීතිඥයින් කීවේ 'ඔය සිකුරාදට එන්න කියන්නේ දේශපාලන නායකත්වයක් අනුව ඇතුළට දාන්න තමයි, එතකොට අඩුම ගණනේ දින දෙකක්වත් තියාගන්න පුළුවන්' යනුවෙනි.
නීතිඥයින් කුමක් කීව ද තමාගේ මතයට කටයුතු කළ රනිල් සිකුරාදා රහස් පොලිසිය හමුවට ගියේ ය.
රනිල් රහස් පොලිසියට ගියේ අදාළ උත්සව කටයුත්තට සහභාගී වන්නැයි එංගලන්තයේ වුල්හැම්ටන් සරසවියෙන් තමාට ලැබුණු ආරාධනා ලිපියත් රැගෙනයි. නමුත් දිගු කාලීන ප්‍රශ්න කිරීමකින් අනතුරුව රනිල් සී.අයි.ඩී යේ අත්අඩංගුවට පත්විය.
දිගු නඩු විභාගයකින් අනතුරුව රනිල් දින හතරක් රිමාන්ඩ් කරන්නට නියම කෙරිණි.
වීරවංශ ගේ පොදු විරෝධතා තේමාව
මේ සිද්ධිය වූ සැණින් සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුළු විපක්ෂයේ පක්ෂ නායකයෝ ඒක මතයකට ඒකරාශී වන්නට වූහ. ඔවුන් සියලු දෙනාගේ ඒකමතික සාකච්ඡාව වූයේ රනිල්ට ගත් මේ පියවර සම්බන්ධයෙන් සියලු දෙනා පොදු අරමුණකින් ඒකරාශී විය යුතු බවයි.
විපක්ෂයේ පක්ෂවල පොදු විරෝධතාවේ තේමාව හැදුවේ විමල් වීරවංශයි. "ව්‍යස්ථාපිත ඒකාධිපතිවාදය පරදවමු" එම තේමාවයි. එම තේමාව යටතේ ඉදිරි කටයුතු මෙහෙයවීමට විපක්ෂයේ පක්ෂ නායකයෝ කථිකා කර ගත්හ.
| රනිල් රෝහල් ගතව සිටින කාලය ඇතුළත සජිත් හැම දිනකම පාහේ රනිල්ගේ සුව දුක් බලන්නට ගියේය.
ඒ අතර වාරයේ විපක්ෂ නායක සජිත් - රනිල් වෙනුවෙන් තව පැත්තකින් මෙහෙයුමක් දියත් කළහ. රනිල් රෝහල් ගතව සිටින කාලය ඇතුළත සජිත් හැම දිනකම පාහේ රනිල්ගේ සුව දුක් බලන්නට ගියේය. ඇතැම් විට දවසට දෙවරක් බැගින් ද ගියේ ය.
දේශපාලන පක්ෂ නායකයෝ රැසක් දිනපතා පාහේ රනිල් බලන්නට ජාතික රෝහලට ගියහ. එලෙස අමුත්තන්ගේ පැමිණීම වැඩිවූ තැන පැමිණීම් සීමා කිරීමට ද රෝහල් පරිපාලනයට සිදුවිය.
මේ කාලයේ මල් පාර දේශපාලන කාර්යාලය ද කඩි ගුලක් සේ විය. විපක්ෂයේ දේශපාලකයන්ගෙන් හැම විටකම එම කාර්යාලය පිරී ඉතිරී ගොස් තිබිණි. විපක්ෂයේ පක්ෂ සියල්ල ඒකරාශී වී ඒකාබද්ධ පෙරමුණක් ගොඩනැගීම සියලු නායකයන්ගේ ඒකායන අරමුණ විය.
ප්ලෑන් A සහ B
මේ අතර වාරයේ රෝහලට ගිය නීතිඥ කණ්ඩායමක් රනිල් හමුවී ගතයුතු පියවර ගැන සාකච්ඡා කළහ. හිටපු නීතිපති තිලක් මාරපන ගේ ප්‍රධානත්වයෙන් නඩු කටයුත්තට මුහුණ දීමට තීරණය කෙරිණි. රනිල් ඔවුනට අවශ්‍ය උපදෙස් ලබා දුන්නේය.
අනතුරුව හිටපු රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක සහ ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ශානුක කරුණාරත්න කැඳවූ රනිල් මාධ්‍ය පැත්තෙන් කළ යුතු ඔපරේෂන් ගැන දැනුවත් කළේ ය. ඇප ලැබුණොත් ක්‍රියා කළ යුතු ආකාරයත් ඇප නොලැබුණොත් කටයුතු කළ යුතු ආකාරයත් වශයෙන් වෙන වෙනම ප්ලෑන් ඒ-බී ලෙස එම සැලසුම ගැන රනිල් උපදෙස් දුන්නේය. ඒ අනුව ඒ වැඩපිළිවෙළ ද අවශ්‍ය පරිදි ක්‍රියාත්මක කෙරිණි.
| රුවන් සහ තලතා රනිල්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන මහ නා හිමිවරුන් දැනුවත් කළහ
මේ අතර වාරයේ නියෝජ්‍ය නායක රුවන් සහ මහලේකම් තලතා මහනුවරට ගොස් මල්වතු අස්ගිරි මහ නා හිමි වරුන් බැහැ දුටුවහ. එහිදී රුවන් සහ තලතා රනිල්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන මහ නා හිමිවරුන් දැනුවත් කළහ. එම අවස්ථාවේ දී මහ නා හිමිවරුන් කීවේ තමන්ගේ ආශිර්වාදය හිටපු ජනපති රනිල්ට හිමිවන බවයි.
ඒ අතර වාරයේ තලතා -ජී එල් සහ අලි සබ්රි තානාපති කාර්යාලවලට ගොස් ඇති වී තිබෙන සත්ත්වය පැහැදිලි කළහ.
පසමිතුරුකම් පසෙක ලා

මේ සිද්ධියෙන් පසුව ඇතිවූ විපක්ෂයේ එකමුතුව ඉතා ශක්තිමත්ව දිනෙන් දින එකට බැඳෙන අයුරු පෙනෙමින් තිබේ. බොහෝ දෙනාගේ වැඩිපුර අවධානය යොමුව තිබෙන්නේ සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂයේ එකතුව පිළිබඳවයි.
වසර ගණනාවක් තිස්සේ එක්ව වැඩ කළ ඔවුහු සුළු කාලයක් බෙදී වෙන් වී සිටියහ. නමුත් රනිල්ට වූ අසාධාරණය හමුවේ සියල්ලෝ ම එක් වූහ. ගෙදරක උනත් භේද බින්න වී සිටින සහෝදරයන් අනතුරක දී එකතු වන්නා සේය.
පක්ෂ නායකයන් සියලු දෙනාගේම මතය වූයේ රනිල්ගේ නඩුව ඇහෙන දා ජනතාවගේ ශක්තිය පෙන්විය යුතු බවයි. ඔවුන් සිතූ අයුරින්ම අඟහරුවාදා පෙරවරුවේ සිට මහ පිරිසක් කොළඹට එක් වූහ. මහා පිරිසක් කොළඹට එක්වන ආරංචිය ආණ්ඩුවටද ගොස් තිබිණි. සමාජ කැලඹීම ටිකෙන් ටික වැඩි වන්නට වූ හෙයින් රනිල්ට ඇප ලැබෙනු ඇතැයි යන ආරංචිය ආණ්ඩුව දෙසින්ම කලින්ම ලැබෙන්නට විය.
මේ අතරතුර රනිල් ද රෝගී තත්ත්වයේ සිට වුවද කරුණු කාරණා ගැන හැකි අයුරින් සොයා බැලුවේය. ඇප ලැබුණු වහාම රනිල් රෝහලේ සිට සජිත්ට දුරකථන ඇමතුමක් දුන්නේය.
"ඔබ ඇතුළු විපක්ෂයේ පක්ෂ නායකයන් මා වෙනුවෙන් ගත් ක්‍රියා මාර්ගවලට ගොඩක් ස්තුතියි" රනිල් සජිත්ට කීවේය.
" සර්, මේ ක්‍රියා මාර්ගය මම මෙතනින් නතර කරන්නේනේ නෑ, ඉදිරියටම ගෙනියනවා" යැයි සජිත් රනිල්ට දැනුම් දුන්නේය.
"මට දවස් කීපයක් රෝහල් ප්‍රතිකාර ගන්න වෙනවා. ඊට පස්සේ මම ඇවිත් ඔක්කොම නායකයන් හමුවෙන්නම්."
රනිල් කීවේය.
නොපසුබස්නා වීර්යය

රනිල් සිරගත කිරීමට අදාළව ගොඩනැගුණු ඒකාබද්ධ සන්ධානය ඉදිරියට ගෙන යා යුතු ආකාරය ගැන එජාප නායකයන්ද සැලසුම් සකස් කරමින් සිටී. රුවන්, වජිර, තලතා, අකිල, නවීන් ඇතුළු නායකයෝ ඊට පෙරමුණ ගෙන සිටිති.
ඇප ලැබුණු සැණින් රනිල් සැමට ස්තුති කිරීමේ නිවේදනයක් නිකුත් කරන ලෙස දිනිත්ට සහ ශානුකට උපදෙස් දුන්නේ ය. රනිල් රෝගී තත්වයේ සිටියදී පවා අවශ්‍ය පාර්ශ්ව වෙත මඟ පෙන්වීම් කළේ නොපසුබස්නා වීර්ය ගැන පෙන්වා දෙමිනි.
මෛත්‍රී වික්‍රමසිංහ මැතිනිය ද දවසට කිහිප වරක් ගානේ රෝහලට ගොස් රනිල්ගේ සුව දුක් බලන්නට යුහුසුලු වූවා ය.
තම නායකයා මෙවැනි අවස්ථාවක කටයුතු කරන ආකාරය හොඳින් නීරීක්ෂණය කොට පළපුරුද්දක් ලබා ඇති වජිර එම ක්‍රියාවලියේ මෙහෙයුමක් අතට ගත්තේය. විපක්ෂයේ දේශපාලන නායකයින් බොහෝමයක් සමග මුහුණට මුහුණ සහ දුරකතනයෙන් සාකච්ඡා කරමින් රනිල්ට යුක්තිය ඉටු කිරීම වෙනුවෙන් වජිර ක්‍රියා කළේ පළපුරුදු දේශපානඥයෙකුගේ භූමිකාව මොනවට පිළිබිඹු කරමිනි.
රනිල්ගේ නඩුව නැවත කැඳවූ අඟහරුවාදා රනිල්ට ඇප ලැබුණහොත් ඇප අත්සන් කිරීම සඳහා වජිර තම හිතවත් වෛද්‍යවරුන් තිදෙනකුටද කතා කර තිබුණු අතර ඔවුන්ද එහි ආවේ ඉතා කැමැත්තෙනි. මේ අනුව රනිල්ගේ ඇප අයැදුම සම්මත වීමෙන් පසු එම වෛද්‍යවරුන් තිදෙනා විසින් රුපියල් ලක්ෂ 50 බැගින් වූ ඇපකර තුනකට අත්සන් යොදන ලද්දේ ඔවුන් වජිරට සහ රනිල්ට ඇති හිතවත්කම නිසාම ය.
(සටහන | මල් පාරේ ලියුම්කරු )




