ලංකාංගනී ප්‍රබුද්ධිකා නුවරඑළිය මහේස්ත්‍රාත් වරිය වෙත සැකකරු ඉදිරිපත් කළ අවස්ථාවේ මෙම නියෝගය නිකුත් කොට තිබේ.
වාසනාවකට මෙන් ඉන් මරණයට පත් නොවී දිවි බේරා ගැනීමට සුනඛයා සමත් වුව ද සැකකරු එම සතාට පහර දී පොළොවේ ගසා ඇළට වීසි කරන අයුරු සැකකරුගේ මිතුරෙකු විසින් ජංගම දුරකථනයෙන් විඩියෝගත කර සමාජ මාධ්‍යයට මුදාහැර තිබිය දී සුනඛයාගේ අයිතිකාර කාන්තාව එම දැක තම සුරතල් සුනඛයාට තුවාල සිදු වීමට හේතුව වටහා ගෙන සැකකරුට එරෙහිව පසුගිය 27 වන දින නානුඔය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබේ.
පොලීසිය ඒ සම්බන්ධ විභාග කිරීමේ දී සැකකරු තුවාල ලත් සුනඛයාට ප්‍රතිකාර ලබා දෙන බවට පැමිණිලි පාර්ශවයට පොරොන්දු වීමෙන් පසු එම සිද්ධිය පිළිබදව දෙපාර්ශවයේ එකඟතාවය මත සමථයකට පත් කර තිබුණි. නමුත් එම සත්ව හිංසනය පිළිබඳව සමාජ මාධ්‍යයට මුදා හැර තිබු දර්ශන විද්‍යුත් මාධ්‍ය ඔස්සේ “වයිරල්” වීමෙන් පසු සත්ව සුභසාධන සංසදය වහා ක්‍රියාත්මක වීමත් සමඟ නානුඔය පොලිසිය විසින් සැකකරු යළිත් ඉකුත් 28 දින අත්අඩංගුවට ගෙන පසුගිය 29 දින නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත. ඔහු සැප්තැම්බර් 10 වන දින දක්වා රිමාන්ඩ් භාරයට පත් කර ඇත්තේ ඒ අනුව ය.
ඒ අතර එම සිදුවීම වීඩියෝ ගත කර සමාජ මාධ්‍යට මුදාහැරි පුද්ගලයා ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහා විමර්ශන ආරම්භ කර ඇති බව ද නානුඔය පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ඩබ්ලිව්.ඩී.සී. ජනක පවසා තිබේ.
සුනඛයාට අමානුෂික ලෙස පහර දීමේ සිද්ධිය මාධ්‍ය මගින් හෙළිදරව් වීමත් සමඟ සත්ව සුභසාධන සංසදය විසින් සුනඛයාට පහර දුන් පුද්ගලයා අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගන්නා ලෙස පොලිස්පති වරයාට ද පිටපත් සහිතව නානුඔය පොලිස් ස්ථානාධිපති වෙත ලිපියක් යොමු කරමින් ඉල්මලීක් කර තිබුණි.
ඒ අතර එම සංසදයේ නියොජිත දෙපලක් ද 28 දින පහර දීමෙන් තුවාල ලබා සිටින සුනඛයා බැලීමට එම නිවස වෙත ගිය බව ද පැවසෙයි. ඔවුන් එම නිවසට ගොස් සුනඛයාගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කළ අතර, සුනඛයාගේ පාදයේ ඉදිමීමක් හැරුණු විට සුනඛයා සතුටුදායක සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බව නිරීක්ෂණය කරන ලදී.
සුනඛයා අයිති කාන්තාව විසින් යොමු කළ පැමිණිල්ලට අනුව පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරු උසස් පෙළ විභාගයට පෙනී සිටින නිසා ඒ පිළිබඳව සානුකම්පිතව සලකා බැලූ සුනඛයා අයිති කාන්තාව, සිද්ධිය සමථයකට පත් කර ගැනීමට එකඟවීමෙන් අනතුරුව දෙපාර්ශවයේ එකගතාවය මත සමථයකට පත් වුව ද මෙම සාපරාධී ක්‍රියාවට සම්බන්ධ සැකකරු නීතිය හමුවට ගෙන වුත් හඬක් නඟා ගත නොහැකි අහිංසක සතුන් හට යුක්තිය ඉටු කිරීම සඳහා සත්ව සුභසාධන සංසදයේ නියෝජිත දෙපලක් අදාළ පොලිස් ස්ථානය වෙත ගොස් තිබේ.
ඔවුන් එහි දී ප්‍රකාශ කොට ඇත්තේ සමාජ ජාල මඟින් විශේෂ ජනතා අවධානයට ලක් වූ මෙබඳු සත්ව හිංසන සුළු කොට තැකීම එවන් ක්‍රියා වර්ධනය වීම සඳහා වන වැරදි පූර්වාදර්ශයක් විය හැකි බව ය.
1907 අංක 13 දරන සත්ව හිංසා ආඥා පනතේ දෙවැනි වගන්තිය ප්‍රකාරව කුරුල්ලන්, මත්ස්‍යයන්, උරග වර්ගයේ සතුන් ඇතුළු සියලුම ගෘහස්ථ හා අල්ලාගත් සතුන්ට හිංසාකිරීම තහනම් ය. මෙහිදී සතුන් නිරාහාරව තැබීම, ඔවුන්ව තුවාල වන අයුරින් සිරකර තැබීම, වද හිංසා පැමිණවීම, නොසැලකිලිමත්කම හේතුකොට ගෙන සතුන් වේදනාවට පත් කිරීම යනාදිය මෙන්ම අනවශ්‍ය පරිදි වේදනා විඳීමට අවස්ථා සලසා දෙමින් යම් වාහනයකින් රැගෙන යෑම පවා නීතිමය වරදක් වේ.
යම් යම් භාර කරුවන් විසින් සුනඛාදී සතුන් දින ගණන් සති ගණන් කොටු කර තැබීම් ආදී සත්ව හිංසනයන් සම්බන්ධ පැමිණිලි ඉදිරිපත් කළ හැකි කෙටි දුරකථන අංක ලොව බොහෝ රට වල දවසේ පැය විසිහතර මුළුල්ලේම ක්‍රියාත්මක වන පසුබිමක ඒ රටවල සතුන් වුව අප රටේ සතුනට සාපේක්ෂව කෙතරම් වාසනාවන්ත දැයි අපට සිතෙයි.
නමුත් සතුන් සම්බන්ධ හිංසනයන් විවිධාංගීකණය වෙමින් ප්‍රවර්ධනයට ලක් වන වර්තමානයේ අප දියුණු වශයෙන් සළකන නූතන සමාජය ඊට එරෙහි ප්‍රමාණවත් හඬක් නොනඟනුයේ තමන්ට සිදුවන අසාධාරණයන් පිළිබඳව හඬ ගා කීමට සතුන්ට නුදුරේ දීම ඉඩ ලැබෙතැයි යන විශ්වාසය නිසා දැයි අපි නොදනිමු.
නමුත් ඉහත සිදුවීමත් සමඟ සත්ව සුභසාධන සංසදය ගත් මෙම ක්‍රියා මාර්ගය බෙහෙවින් අගැයුමට ලක් කළ යුතු අතර එම සැක කරු ඉන් පෙර ද මෙවන් සත්ව හිංසනයන් කෙරෙහි යොමු වූවකු බවට ද අප වෙත තොරතුරු ලැබෙමින් තිබේ. යම් පාර්ශවයක නොවැදගත් බව කියා පෑම සඳහා වන “බල්ලන් බළලුන් වගේ”යන සඳහන් මානව බුද්ධි පරිනාමය හමුවේ යල් පැන ගිය එකක් වීම තෙක් මෙම සත්ව අහිංසා සහ හිමිකම් ප්‍රවර්ධන ක්‍රියාවලීන් පෙරට යාම දියුණු සමාජ ලක්ෂණයකි.
ඒ අනුව වත්මන් ආණ්ඩුව ද මෙම විෂය පථය කෙරෙහි උනන්දු වී ඒ සම්බන්ධ අන පනත් සංශෝධනය කිරීමට ඉදිරිපත් වන්නේ නම් එය වත්මන් ආණ්ඩුවේ සේම මුළුමහත් ජන සමාජයේම යහ පැවැත්මට හේතු වනු නිසැක ය.අප එසේ පවසනුයේ සත්ව අහිංසා සහ සත්ව හිමිකම් ප්‍රවර්ධන ආකල්ප මේ වන විට අප සමාජයේ තරුණ පරපුර තුළ ශීඝ්‍ර ප්‍රවර්ධනයකට ලක් වෙමින් පවතින බැවිනි.
(සටහන | රේණුකා දමයන්ති ගමගේ)
නිදහස් මාධ්‍යවේදිනී
renudamayanthi2024@gmail.com
(උපුටා ගැනීම - vinivida.lk)




