The Leader News
BREAKING
'වරායේ කන්ටේනර් සිරවීමක් නෑ; ආහාර හිඟයක් එන්නේ නෑ' - ඇමැති වසන්ත●පිරවුම්හල් කිහිපයක තදබදයක්: හේතුව බෙදුම්කරුවන් හෙළිකරයි●කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අර්බුදය: කෘෂිකර්මයේ මුවාවෙන් කළ මූල්‍ය මෙහෙයුම?●කුමාර ජයකොඩිට එරෙහි නඩුව නොවැම්බර් 03ට●ශිරන්ති රාජපක්ෂගෙන් මාලිගාකන්ද අධිකරණයට අපේක්ෂිත ඇප අයැදුමක්●ඥානසාර හිමියන්ට අංකයක්: ජම්පරය අන්දවයි●ජස්වර් උමාර්ට දකුණු ආසියානු පාපන්දුවේ ඉහළම තනතුරු දෙකක්●හතරේ සීමාවෙන් එපිටට ගියත් හයක් නැති ක්‍රිකට් නීතිය●දීප්ති කුමාර: හොරකම් නොකළ පමණින් ආණ්ඩුවක් අලුත් වෙන්නේ නැහැ●'අන්ධ විශ්වාස' මත දේශපාලන ලේබල් ඇලවීමේ මධ්‍යමපංතික නූගත්කම●
Top Ad
විශේෂාංග

මාලිමාවේ රෙද්දෙ තුත්තිරි

T

The Leader Desk

September 4, 2025 • 11:50 AM

මාලිමාවේ රෙද්දෙ තුත්තිරි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • චොකා මල්ලි නමින් ප්‍රසිද්ධ ප්‍රේමලාල් ජයසේකරව මනාප 104237ක් ලබා 2020දී පාර්ලිමේන්තුවට තෝරා පත් කිරීම ප්‍රජාතාන්ත්‍රික සදාචාරයට පටහැනි වේ.
  • දී 3.84%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් ජාතික ජන බල වේගයට, 2024 දී ඡන්ද 6,863,186 ක් හෙවත් 61.56%ක කැමැත්ත දීමට පෙළ ගැසුණේ චොකා මල්ලිලා වැලි සුමිලා පස් විජේලා පාර්ලිමේන්තු යැවූ ලාංකිකයන් මිස ඉන්දියාවේ පුර වැසියන් නොවේ.
  • එසේම සුනාමි මුදල් කොල්ල කෑ මහින්ද රාජපක්ෂට එරෙහි නඩුව විභාග වෙමින් තිබියදී 2005 ජනාධිපති මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ මහින්දට සහාය ලබා දීම 2020දී චොකා මල්ලිලා වැලි සුමිලා පස් අජිත්ලා තෝරා යැවූ ජනතාව ගත් තීරණයට වඩා අමුතු යමක් නොවේ.
  • අද මාලිමාව පොහොර ජයකොඩිලා බදු වසන්තලා ගෙන් සමන්විත වේ. මාලිමා (කියැවීමට අනුව) වර්තමාන ආණ්ඩුව, රනිල් එකඟවූ අයිඑම්එෆ් එකඟතාවන්ට අනුගතව මිස 1971 සිට ජනතාව ඉදිරියේ තැබූ ප්‍රතිපත්ති අනුව ක්‍රියා නො කරති.
අකුරු ප්‍රමාණය (Font Size):

 

චොකා මල්ලි නමින් ප්‍රසිද්ධ ප්‍රේමලාල් ජයසේකරව මනාප 104237ක් ලබා 2020දී පාර්ලිමේන්තුවට තෝරා පත් කිරීම ප්‍රජාතාන්ත්‍රික සදාචාරයට පටහැනි වේ. හේතුව ප්‍රේමලාල් ජයසේකර හෙවත් චොකා මල්ලී සිදු කළ මනුෂ්‍ය ඝාතනය මහින්ද රාජපක්ෂට විරුද්ධ ඡන්ද රැස්වීමකට වෙඩි තැබීමක් මිස සිය ආත්ම ආරක්ෂාවට කළ ක්‍රියාවක් නො වීමය. ප්‍රජාතන්ත්‍රවාදි අයිතියට එරෙහිව ගිනි බින්ද චොකා මල්ලී සමග වැලි සුමිලා පස් විජේලා විසි තිස් ගණනක් රාජපක්ෂලාගේ පක්ෂයෙන් යැව්වේ රනිල්ට බැංකු හොරා අපට එපා කියමිනි. 2020දී 3.84%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් ජාතික ජන බල වේගයට, 2024 දී ඡන්ද 6,863,186 ක් හෙවත් 61.56%ක කැමැත්ත දීමට පෙළ ගැසුණේ චොකා මල්ලිලා වැලි සුමිලා පස් විජේලා පාර්ලිමේන්තු යැවූ ලාංකිකයන් මිස ඉන්දියාවේ පුර වැසියන් නොවේ. එසේම සුනාමි මුදල් කොල්ල කෑ මහින්ද රාජපක්ෂට එරෙහි නඩුව විභාග වෙමින් තිබියදී 2005 ජනාධිපති මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ මහින්දට සහාය ලබා දීම 2020දී චොකා මල්ලිලා වැලි සුමිලා පස් අජිත්ලා තෝරා යැවූ ජනතාව ගත් තීරණයට වඩා අමුතු යමක් නොවේ. අද මාලිමාව පොහොර ජයකොඩිලා බදු වසන්තලා ගෙන් සමන්විත වේ. 

මාලිමා (කියැවීමට අනුව) වර්තමාන ආණ්ඩුව, රනිල් එකඟවූ අයිඑම්එෆ් එකඟතාවන්ට අනුගතව මිස 1971 සිට ජනතාව ඉදිරියේ තැබූ ප්‍රතිපත්ති අනුව ක්‍රියා නො කරති. ඊට දිය හැකි ප්‍රකට උදාහරණයලංකා විදුලි බල මණ්ඩලය හතරට කඩා සමාගම් වලට දීම ආදි ක්‍රියාවන් වසා ගැනීමට, අනුර කුමාර දිසානායකලා විරුද්ධ වාදින්ට මාංචු දමා ප්‍රතිහාර්ය පානවා මිස, දූෂණ වංචා රටෙන් තුරන් කිරීමට අවංකව කැපවී ක්‍රියා කරන්නේ නැත. රටක පාලකයාට රටේ පවත්නවා වංචාව දූෂණය හොරකම නතර කිරීමට සැබෑ අවංක උවමනාවක් වේ නම් ඊට දිය හැකි පරමාදර්ශය ලීක් ක්වාන් යූ සිංගපූර්හී දූෂණ වංචා පිටු කිරීමට තැබූ යෝධ පියවරයන් මෙන්ම සේනානායකලාගේ බණ්ඩාරනායලාගේ ඍජු ප්‍රතිපත්ති අනුගමණය කිරීම බව සිහිපත් කළ යුතුව තිබේ.

 

1971දී ජවිපෙ බෝම්බ තොගයක් සමග හසුව හිරේ ලැග්ග වාසුදේව කියන්නේ චොකා මල්ලිලා සමග රාජපක්ෂලා වෙනුවෙන් 2020 රත්නපුරේ ජනතාව පාර්ලිමේන්තුවට තෝරා පත් කළ තවත් හොරෙක් නො වෙතත් මාලිමාවේ අධිකරණය භාර හර්ෂණ නානායක්කාරගේ ලොකු තාත්තා ය. එපමණක් නොව ගමේ ප්‍රාදේශීය සභා මන්ත්‍රිට පවා ලියා පදිංචි ගිනි අවි භාවිතයට අවශ්‍ය පසුබිම 1988දී රටේ සකස් කරන ලද්දේ අනුර කුමාරලා මිස උතුරේ ප්‍රභාකරන් නොවේ. 2005දි මහින්ද දිනවීමට ප්‍රභාකරන් සමග අනුර කුමාර එකතුවූ බව මෙන්ම සාම්ප්‍රදායික එජාපය විසින් ප්‍රතික්ෂේප කළ ප්‍රේමදාස වාදි රනිල්ගේ ආරක්ෂාවට සිරිකොත ඉදිරිපිට පිටකෝට්ටේ පාරට හදිසියේ තාර දැමීමෙන් රාජපක්ෂලා කළ අලුකුත්තේරුකම් කරු ජයසුරියලාට එස්.බී.දිසානායකලාට සරත් අමුණුගමලාට කිසිසේත් අමතක විය නො හැකිය.

 

 

මාලිමාවේ වෛරයට පාත්‍රව සිටින හොරමැරකම් වලින් දූෂිතවූ පාලක පන්තිය යනු 88-89 කාලයේ පැවති භිෂණයෙන් ජන ජීවිතය සහ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීමට හදිසියේ දේශපාලනයට එක්වූ චොකා මල්ලිලා වැනි නිර් ප්‍රභූ කණ්ඩායමක් මිස සේනානායක බණ්ඩරනායක දරු මුණුපුරන් නොවේ.

 

1988 ජනාධිපති මැතිවරණයේදී ඡන්ද පොළට මුලින්ම එන දස දෙනා මරා දමන බවට කළ විජේවීර කල්ලිය රටේ ප්‍රජාතන්ත්‍රවාදයට කළ විවෘතව තර්ජනය කළ අවස්ථාවේ වන විට, කුලියාපිටියේ ලයනල් ජයතිලක, අගලවත්තේ මෙරිල් කාරියවසම් ආදි විශිෂ්ඨ මිනිසුන් නො හඳුනන තුවක්කු කරුවන් විසින් ඝාතනය කර තිබූ අතර, චොකාලා රත්තරන්ලා මතු වුණේ ඒ අවකාශයේය.

 

ජනතා විමුක්ති පෙරමුණ මෙසේ නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට සිදු කළ සාපරාධි මැදිහත්වීම හේතුවෙන් බොහෝ ප්‍රභූන් සක්‍රිය දේශපාලනයෙන් සමු ගත් අතර, ඒ හිදැස පුරවනු ලැබුවේ ජවිපෙය මෙන් ගිනි අවි අතපත ගෑමට හුරු පුරුදුව සිටි රිදී රත්තරන් තඹ පිත්තල නම් වලින් ජනතාව දැන සිටි ගමට එපාවූ නව පන්තියකි. ඒ වනවිට ජේ.ආර් මරමු වැනි ව්‍යාපාර හරහා ප්‍රේමදාස සහ සොත්ති උපාලිලා විසින්ද, 88-89 කාලයේ ජවිපෙ අයිතිවාසිකම් වෙනුවෙන් ජිනීවා ගිය මහින්ද රාජපක්ෂලා විසින්ද එජාපය ශ්‍රීලනිපය දුර්වල කරමින් සිටිහය. අවංක වාමවාදි පෙරමුණක් වෙනුවෙන් ශිෂ්‍ය අවදිය කැප කළ (අද හිරේ ලගින) රාජිත සේනාරත්න යනු විජය කුමාරතුංග සමග ජවිපෙට එරෙහිව සිට ගත් 88-89 කාලයේ ජවිපෙ තුවක්කු ඉලක්කයට අසු නොවී යන්තමින් පන බේරා ගත්තෙකි. ජවිපෙය සමග එක්ව දයා පතිරණලාට මරණ සහතික ලියා දුන් පාඨලී චම්පිකලා වීරවංශලා මැදමුලන රාජපක්ෂලාට කඩේ ගියේත් මෙයට සමගාමීවය.

 

1948න් මෙපිට නිදහස් ලංකාවේ මුල් වසර හතළිහක කාලය පුරා රටට ශක්තියක්වූ ලොක සම්මත ප්‍රජාතන්ත්‍රවාදි දේශපාලනය තම කල්ලි වාදි ගිනි අවි භාවිතයෙන් විනාස කළේ අනුර කුමාරලා මිස රාජිතලා අනුර යාපාලා නම් නොවේ.

 

1948- 1988 තෙක් 40 වසරක මේ නිදහස් ලංකාවේ දේශපාලනයේ වාස්තවික පරිසරය කෙබඳු වීද?

 

1948දී නිදහස් ලංකාවේ පාලනය මුලින්ම පිහිටුවනු ලැබුවේ ජවිපෙ අර්ථ කතනයට අනුව ප්‍රභු පන්තියකි. එනම් සේනානායක බණ්ඩාරනායක වන්නිනායක බුලංකුලම හුරුල්ලේ දුණුවිල අ`ථව්හාරේ ආදි ප්‍රභූන් උඩරටින්ද, අමරසූරියලා හේවාවිතාරණලා පහත රටින්ද පොන්නම්බලම්ලා උතුරෙන්ද රාජමානික්කම්ලා නැගෙනහිරින්ද පැමිණ එජාපය ගොඩ නැගූ ප්‍රභූ පැලැන්තිය ශක්තිමත් කළ බව මෙන්ම ප්‍රභාකරන්ට පළමුව ශ්‍රී දළදා මාලිගාවට ශ්‍රී මහා බෝධියට බෝම්බ ගැසුවේ අනුර කුමාරලා බව 1988න් මෙපිට උපන් කිසිවෙකු දන්නේ නැත.

1947 මහ මැතිවරණයෙන් කිසිදු පක්ෂයකට බලය ලබා ගැනිම දුෂ්කර වූ අතර, වමේ පක්ෂ රටේ බලය ඇල්ලීමට සැලසුම් කරද්දී උතුරු නැගෙනහිරින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ද්‍රවිඪ මුස්ලිම් නියෝජිතයන් එජාපයේ නායකත්වය දැරූ ඩී.එස්.සේනානායකට ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය වරයා වීමට අවශ්‍ය ශක්තිය ලබා දුන්හ. ඩී.එස්.සේනානායක යනු නවසිය තිස් හතළිස් ගණන්වලදීත් උතුරු නැගෙනහිර දෙ පළාතේ ආරම්භ කළ නව ගොවි ජනපද ව්‍යාපාරයන්හී දකුණේ සිංහල පවුල් බුරුතු පිටින් පදිංචි කරවීමට ක්‍රියා කළ, එසේම ඉන්දීය සම්භවයක් සහිත වතුකරයේ ජිවත්වූ අන්තිම දෙමළ කුලී කාරයාත් ආපසු ඉන්දියාවට යැවීමට කැප වී ක්‍රියා කළ ඍජු දේශපාලනඥයෙකු විය. එවැනි මතවාදි වෙනස්කම් පැවතියද පොන්නම්බලම් සුන්දරලිංගම් වැනි දමිල ප්‍රධානින් මෙන්ම ඇම්.ඩී. බණ්ඩා, යූ.බී.වන්නිනායක, ඩී.බී.වෙලගෙදර වැනි විශිෂ්ඨ රාජ්‍ය නිලධාරින් දේශපාලනයට කැඳවා කැබිනට් මණ්ඩලයෙහි හිඳුවා ශ්‍රී ලාංකේය රාජ්‍ය පාලනය ශක්තිමත් කළ එක්සත් ජාතික පක්ෂ නායකත්වය රට තුළ දූෂණය වංචාව ඇති වීමට ඉඩ තැබුවේම නැත.

මේ කියන සේනානායක බණ්ඩාරනායක ආදි ප්‍රභූන් කිසි විටෙක ජනතාවගේ බලය අයුතු ලෙස භාවිතා කළේත් නැත.

 

1953 හර්තාලය හමුවේ ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩ සෙමින් අගමැති තනතුර දමා ගිය ඩඩ්ලි සේනානායක ක්‍රියාවෙන් තහවුරු කළේ ඒ විශිෂ්ඨ ප්‍රභු සම්මතයයි. 1949දී වතුකරයේ කුලී කරුවන් නො රටුන් හැටියට නීති ගත කළ ඩී.එස්.සේනානායකගේ පුරවැසි පනතට ඇන්.ඇම්.ලා කොල්වින්ලා එස්.ඒ. වික්‍රමසිංහලා විරුද්ධ වෙද්දී උතුරු නැගෙනහිරින් තේරී පත්වූ දේශපාලනඥයන් දෑත් ඔසවා කැමැත්ත පළ කළේ ශ්‍රී ලාංකේය අභිමානයෙන් බැඳි සිටි හෙයිනි. එසේම ලංකාවේ වාමාංශික පක්ෂ 56 මැතිවරණයේදී ජාතිවාදය කර පින්නා ගත් බණ්ඩාරනායක සමග නි තරග ගිවිසුමෙන් බැඳී එජාප ප්‍රභූ දේශපාලනය විනාස කිරීමට එක්වූ අතර ඒ හරහා රට තුළ ඇතිවූ උතුරු දකුණු වර්ගවාදි වෛරය අදටත් රටේ ශක්තියට පැවැත්මට හානිකර වී ඇති බව රහසක් නොවේ.

 ඩී.එස්.ගෙ පාර්ස් පෝට් එක

 

රටේ පැවැත්ම සඳහා විවෘත දේශපාලනයක යෙදී සිටි මහාමාන්‍ය ඩී.එස්.සේනානායක 1951දී රටේ අගමැති ලෙස රටවල් හතරක සංචාරය සඳහා රජයෙන් ලබාදුන් බ්‍රිතාන්‍ය පවුම් 150ක මුදලින් සංචාරය අවසානයේ අත ඉතිරි බ්‍රිතාන්‍ය පවුම් 101 මුදල භාණ්ඩාගාරයට භාර දුන් බව දැනට කෞතුකාගාරයේ සුරක්ෂිතව ඇති ඩී.එස්.සේනානායකගේ විදේශ ගමන් බල පත්‍රයේ ලියැවී ඇත. ඔහු අනුව යමින් යූ.බී.වන්නිනායක, ඇම්.ඩී.බණ්ඩා ආදි ප්‍රභුන් පවත්වා ගෙන ගිය ශ්‍රී ලාංකේය ප්‍රභූ දේශපාලන සංස්කෘතිය විනාස කිරීමට ජනතා විමුක්ති පෙරමුණ ගම්වල එජාපයට ලැදී වෙද මහත්තයාත් පාසල් ගුරුවරයාත් වෙඩි තබා මරා දැමූ බව ඉතිහාසයේ ලියැවී ඇති බව කිසිවෙකු අමතක නො කළ යුතුවේ.

 

එසේම නිදහසින් පසුව අල්ලස් දූෂණ චෝදනා නැගුණේ 1956දී පත්වූ දේශපාලනඥයන්ට වන අතර පවත්නා තත්වය සලකා අගමැති බණ්ඩාරනායක පත් කළ අල්ලස් කොමිසමෙන් වැරදි කරුවන් වුණේ බණ්ඩාරනායක ආණ්ඩුව නියෝජනය කළ සී.ඒ.ඇස්.මරික්කාර්, ඇම්.පී.ද සොයිසා, ඩී.බී.මොන්නෑකුලම ආදින් වන අතර, ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වූ නමුත් ජනාධිපති අනුර කුමාර දිසානායක, වසන්ත සමරසිංහලා රන්ජන් ජය ලාල්ලා කුමාර ජයකොඩිලා රන්වලලා කුමානායකලා නීතියෙන් බේරා ගැනීමට දරණ නින්දිත උත්සාහය දෙස ජනතාව විමසිල්ලෙන් බලා සිටිති.

1965-1970 යුගයේ කාර්තු දෙකක ආදායම් බදු නො ගෙවා කට්ටි පනිමින් සිටි එජාප නුවරඑළිය මන්ත්‍රි ඩොනල්ඩ් රණවීර ගෙන්වා හිග බදු මුදල් ගෙවා අවසන් කිරීමට දින නියම කළ අගමැති ඩඩ්ලි සේනානායක, 1970දී නැවත එජාපයෙන් ඩොනල්ඩ් රණවීරට නාම යෝජනා ලබා නො දුන් අතර, ඒ වෙනුවට නම් කළ ගාමිණි දිසානායක, රටට සිදු කළ සේවය තවත් සියවස් ගණනාවක් භුක්ති විඳින බව නො රහසකි. 1977 ශක්තිමත් ආණ්ඩුවක් නිර්මානය කළ එජාප නායක ජේ.ආර්.ජයවර්ධන, හේවාහැට මන්ත්‍රි අනුර ඩැනියෙල් මෙන්ම පොල්ගහවෙල මන්ත්‍රි සුනිල් රංජන් ජයකොඩි අමාත්‍ය සිරිල් මැතිව් ආදින් පිළිබඳ නීතිය ක්‍රියාත්මක කිරීමට බාධා කළේ නැත. ජේ.ආර්. විසින් දේශපාලනයට කැඳවූ ලලිත් ඇතුළත් මුදලි නිර්මානය කළ මහපොළ ශිෂ්‍යත්වය 1988ට පෙර ප්‍රභූ දේශපාලනයේ ගති සොබා පිළිබිඹු කරන්නකි.

මේ ආකරයෙන් 1948 සිට 1988 තෙක් වසර හතළිහක පාලන කාලය පුරා මේ රට කරවූ ප්‍රභූ පන්තියේ පාලකයන් විශිෂ්ඨ රාජ්‍ය පාලනයකට නායකත්වය දුන් අතර, 1988-89 කාලයේ ජවිපෙය ඇති කළ භීෂණය හේතුවෙන් ඇතිවූ හිස් පුටු පිරවීමට දේශපාලනයට රිංගා ගත් වැලි පස් කසිප්පු කාරයන් නිසා රටේ දූෂණය වංචාව ඉහවහ ගිය බව කිසිවෙකුට නැත කියන්න බැරිය.

 

මේ වනවිට මාලිමා ආණ්ඩුවේ මැති ඇමතීන් ගණනාවකට දූෂණ චෝදනා එල්ලවී ඇත. එයින් කැබිනට් වසන්ත සමරසිංහ මුල් කෙට පවත්නා චෝදනාව 2024 සැප් 10 දින අධිකරණයට වාර්තා කළ අවස්ථාවේ 2024දී මරදන්කඩවල ඡන්ද රැස්වීමක කතා කළ වසන්ත සමරසිංහ කීවේ 21 අප බලයට එනවා. එතකොට ඔය නඩු ගැන බලා ගන්නම් කියාය. වසන්ත සමරසිංහ දෙරණට ප්‍රකාශ කළේ තමන් අත් අඩංගුවට ගන්න කියා උසාවිය කියා නැති බවය. රනිල් වික්‍රමසිංහ රාජිත සේනාරත්න දුමින්ද දිසානායක අත් අඩංගුවට ගන්නා ලෙස නීතිඥ දිලීප පීරිස් ලවා අධිකරණයට යෝජනා කරවන ෂානි අබේසේකරගේ පොලිසිය වසන්තලා මහින්දලා ජයලාල්ලා අත් අඩංගුවට නොගන්නේ ඇයිද යන්න කුණුහරුපයක් මිස රහසක් නම් නොවේ. බලශක්ති ඇමති කුමාර ජයකොඩි පොහොර සංස්ථාවේදී කළ මිලියන සිය ගණනාවක වංචාවක් ඔප්පු වී තිබියදී ඔහු කැබිනට් මණ්ඩලයට තෝරා ගත් බව රටම දනී. මාලිමා ආණ්ඩුවේ පළමු කතානායක රන්වල සැකසීම ගැන චෝදනා ලබා සිටි බව තහවුරු වුවද, ඒ වරදට දණ්ඩ නීති සංග්‍රහය අනුව නඩු පවරා නීතිය ක්‍රියාත්මක කර නැත. ජනාධිපති ලේකම් කුමානායක හෝ ඔහුගේ ඇඹෙණිය සිදු කළ පොදු දේපල අවභාවිතය තහවුරු වී ඇතද, රටේ විනිසුරුවන් අක්ත පත්‍ර භාර ගන්නේද ජනාධිපති ලේකම් ඉදිරියේදී වීම එතරම් යහපත් නොවේ.

වංචාවෙන් දූෂණයෙන් තොර රාජ්‍යයක් සඳහා සිංගප්පූරු නිර්මාතෘ අගමැති ලී ක්වාන් යූ Corrupt Practices Investigation Bureau (CPIB) නම් ආයතනය ආරම්භ කොට මුලින්ම කළේ ව්‍යාපාරිකයෙකු සමග නිවාඩුවක් ගත කළ නියෝජ්‍ය අමාත්‍ය ටෙහ් චියෑංට කීවේ හිරේ යාම හෝ දිවි නසා ගැනීම තෝරා ගන්නා හැටියට නියම කිරීම මිස, සිය දේශපාලන විරුද්ධ වාදින් හෝ රාජ්‍ය නිලධාරින් පසුපස එළවීම නොවේ. එකී නියෝජ්‍ය ඇමතිවරයා සිය නිවෙස තුළ දිවි නසා ගත් බව පසු දින වාර්තා විය. එහෙත් ලංකාවේ ජනාධිපති අනුර කුමාර දිසානායකට සිංගප්පූරුවේ ලී ක්වාන් යූ හෝ ලංකාවේ අගමැති ඩඩ්ලි සේනානායක මෙන් ලංකාවේ වංචාවෙන් දූෂණයෙන් තොර රාජ්‍යයක් නිර්මානය කිරිමට කැප විය නො හැකි බව ඔප්පු කර හමාරය. හේතුව ඔහු ඇතුළු මාලිමා නඩය හැමදාමත් ඇන්දේ කෑවේ නෑවේ අනුන් ගෙන නිසා බලයට පත්වෙලාත් ඒ කුණු කානුවෙන් ගොඩ ඒමට නො හැකි වීමය.

අදටත් ආගන්තුක සත්කාර ලබන්නේම ධනපති ව්‍යාපාරික ප්‍රජාව ගෙන් නිසා සිය පාරිශුද්ධ භාවය පෙන්වීමට විරුද්ධවාදින් හඹා යනවා මිස තමන් සමග සිටින හොරුන්ට නීතිය ක්‍රියාත්මක කළ නො හැකි බව රහසක් නොවේ. 1988 කාලයේ විසි වයස් පිරි පුරවැසියයන් නිදහස් ලංකාවේ මුල් වසර හතළිහේ ප්‍රභූ දේශපාලනය හොඳින් අත් දැක ඇතද, 1988න් පසුව උපන් මේ වනවිට 37 විය ගෙවන කිසිදු ලාංකිකයෙකුට ඒ ගැන අදහසක් නැත.

 

ගැමියෙකු ඇඳ සිටි සරම පුරා තුත්තිරි තැවරී තිබෙනු දුටු විදේශිකයෙකු ඔය මොනවාදැයි අභිනයෙන් විමසා සිටි අවස්ථාවේ සිංහල තරුණයා තුත්තිරි කියා සිංහලෙන් උත්තර දුන් විට, තුත්තිරි යනු two three යයි වටහා ගත් සුද්දා What about two three, more than thousand කියා මහ හඩින් සිනාසුණ කතාව දූෂණයට වංචාවට හොරකමට එරෙහි මාලිමා ප්‍රඥ්පත්තියේ සැබෑ තත්වය තේරුම් ගැනීමට පහසු විය හැකිය. නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න විසිනි.

 

(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
sugathcb@gmail.com

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...