සමුළුව කල් දැම්මේ ඇයි...?
"සර් තාමත් සම්පූර්ණ සුවය ලබල නැති නිසා අප මේ සංවත්සරය ඉක්මනින් තියන්න කලබල වෙන්නේ මොකටද?'' යැයි මහලේකම් තලතා එහි දී ප්‍රශ්නයක් ඉදිරිපත් කළා ය.
"සර් බලන වෛද්‍යවරු එක්ක මම කතා කළා. ඒ අය කියන්නේ තව ටික කාලයක් විවේක ගත්තොත් හොඳයි කියලා. මේ වෙලාවේ රැස්වීම් වලට ගිහිල්ලා මහන්සි වෙන්නේ මොකටද?" යැයි වජිර ද එහි දී ප්‍රශ්න කළේ ය.

නමුත් රනිල්ගේ ස්ථාවරයේ වූයේ කතිකා කර ගත් පරිදි සැප්තැම්බර් 6වෙනි දා එජාප සංවත්සරය පැවැත්විය යුතු බවයි. ඒ වන විට ආරාධනා පත්‍ර ද මුද්‍රණය කර අවසන් කර තිබිණි. නමුත් කළමනාකරණ කමිටුවේ දැඩි ඉල්ලීමට අනුව සංවත්සර උත්සවය කල් දැමීමටත් එය මේ මාසේ 21වෙනි දා අනිවාර්යයෙන් පැවැත්වීමටත් කථිකා කෙරිණි.
වෛද්‍යවරුන් ඉඩ ලබා දෙනවා නම් රනිල් සංවත්සරය උත්සවය සඳහා සහභාගී වීමට කැමැත්තෙන් සිටි නමුත් ඊට වෛද්‍ය අනුමැතිය ලැබුණේ නැත. වෛද්‍ය නිර්දේශීය වූයේ වෛද්‍යවරයාගේ අවසරයකින් තොරව මහජන හමු ආදියට සහභාගී විය යුතු නැති බවයි. රනිල්ට සිරිකොත පක්ෂ මූලස්ථානයට යාමට පවා තවම වෛද්‍ය අවසරය ලැබී නැත. සහභාගී විය යුතු ම රැස්වීම් හමු ආදිය සූම් තාක්ෂණයෙන් පැවැත්විය යුතු බව වෛද්‍ය උපදේශයයි. සංවත්සර උත්සවය ඇමතිය යුතුම නම් විනාඩි දහයක් පමණ අවසර දිය හැකි නමුත් හෙට අනිද්දා වන විට ඒ අවසරය දිය නොහැකි බව වෛද්‍යවරුන් තදින්ම කියා ඇත.
මේ අනුව කළමනාකරණ කමිටුවේ ඒකමතික අදහස වූයේද සංවත්සරයේ කල් තබා පසුව පැවැත්වීම සුදුසු බවයි.
සියලු පක්ෂ එක්ව බළමුළු ගැන්වීමට නියමිත ය
විසිරී තිබූ විපක්ෂයේ බලය රනිල් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියත් සමග යළි ඒකරාශී විය.
"දැන් විපක්ෂයේ මූලික අරමුණ වෙන්න ඕන සියලු දෙනා එක්ව මේ අර්බුද සඳහා මුහුණ දීම. එක්සත් ජාතික පක්ෂයේ වගේම සජබ ඔක්කොටම එක්ව වැඩ කිරීමේ පදනම දැන් වැටිලා තියෙනවා. නාමල්ලා වෙනම හිටියත් ප්‍රධාන ප්‍රශ්නවලදී සාකච්ඡා කර එක මේසයකට පැමිණීමට නියමිතයි."
රනිල් එජාප නිලධාරීන් හමුවේ කීය.
"නාමල්ටත් පක්ෂ සංවත්සරයට ආරාධනා කරලා තියෙන්නේ. විපක්ෂයේ සියලු ම පක්ෂවලට අපි ආරාධනා කරනවා," යැයි වජිර කීවේය.
විපක්ෂයේ සියලු පක්ෂ සමග ඒකාබද්ධ එකඟතාවයකට එන්නට බැරි වුනත් පොදු කරුණුවල දී ඒකරාශී වී ක්‍රියා කරන බව නාමල් පවසා තිබිණි. විපක්ෂයේ අනෙක් පක්ෂ ද ඒ කාරණය පිළිගත්තේය. නමුත් එක්සත් ජාතික පක්ෂයට සහ පොහොට්ටුවට එක්ව වැඩ කිරීමේ ගැටලුවක් ඇති බව නොපෙනිණි. ඒ ආර්ථික අර්බුද සමයේ දී ද පොහොට්ටුවේ උදවිය රනිල්ට ශක්තියක් වෙමින් උපකාර කළ හෙයිනි. මේ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු සියලු පක්ෂ එක්ව බළමුළු ගැන්වීමට නියමිතව තිබේ.
චැට් ජී. පී. ටී. සහ රනිල්
"නඩු නම් දැන් ඉවක් බවක් නැතුව පටවලා තියෙනවා තමයි. හැබැයි මේවා ඇත්ත කියලා ඔප්පු කරන්න ඕන."
විපක්ෂයේ මන්ත්‍රීවරුන් සැමගේ ඒකමතික මතය එය විය.

රනිල් ඇඳ විවේකයෙන් ඉන්නා අතරතුරක් තවත් අපූරු වැඩක් පටන් ගත්තේය. ඒ, චැට් ජී.පී. ටී. ඇප් එක සමග සංවාදයක් ගොඩනගා ගැනීමයි. රනිල් සහ චැට් ජී. පී. ටී එලෙස සංවාදය ගොඩනගා ගත්තේ ලංකාවේ ඉතිහාසය ගැනයි. එම සංවාදයේ පිටු 60ක් අඩංගුය. එම සංවාදය ඉදිරියේදී මාධ්‍යයෙන් ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. ඉතිහාසය ගැන උනන්දු බොහෝ අය කීවේ ඒ සංවාදය බෙහෙවින් ජනාදරයට පත්වනු ඇති බවයි.
බොරිස් ජොන්සන්ගෙන් පසු විලියම් ඩැල්රිම්පල් වෙත
රනිල් ජාතික රෝහලේ ටිකට් කපන අවස්ථාවේ අතේ තියාගෙන සිටි බොරිස් ජොන්සන්ගේ පොත රටේ මහත් ආන්දෝලනයකට තුඩු දී තිබේ.
"අර පොත කියවලා ඉවර කළාද," යැයි හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් කරුණාරත්න රනිල්ගෙන් විමසූයේ පොදු සමාජය ද ඒ ගැන උනන්දු හෙයිනි.

" නෑ තාම කියවලා ඉවර නෑ. බොරිස් ජොන්සන්ගේ ලේඛන ශෛලිය ඉතාම අනර්ඝයි. එයින් ඉගෙන ගන්න දේවල් ගොඩයි. ඔය කෑ ගහන අයට මම කියන්නේ ටිකක් කෑ ගහන්නේ නැතුව ඔය වගේ පොතක් කියවල ඉගෙන ගන්න. ඒක ඉතා සරල අව්‍යාජ ලේඛන රීතියක්. බොරිස් හොඳ ලේඛකයෙක්. චර්චිල් ගෙන් පස්සේ ලියන්න පුළුවන් නායකයෙක් විදිහට බොරිස් හඳුන්වන්න පුළුවන්."
රනිල් ඒ ගැන දිගු විස්තරයක් ඉදිරිපත් කළේය.
අසනීප විවේකය ගත කරන සමයේ රනිල් තවත් පොතක් කියැවීම අරඹා ඇත. ඒ, විලියම් ඩැල්රිම්පල් ලියූ "The Golden Road" කෘතියයි.
පුරාණ ඉන්දියාව ලෝකය පරිවර්තනය කළ ආකාරය ගැන එහි දැක්වේ.

"බුදු දහම ලෝකයට ගිය ආකාරය ගැන එහි කදිමට විස්තර වෙනවා," යැයි රනිල් එම ග්‍රන්ථය විවරණය කරමින් කීය.
හිටපු නිලධරයාගේ අත්තනෝමතික ක්‍රියාව
මේ අල්ලපනල්ල අස්සේ එක්තරා යූටියුබ් සංවාදයක් ද එළි දැක්විණි. රනිල් ජනපති සමයේ හිටපු නිලධරයෙක් ඒ යූටියුබ් සංවාදයට එක්ව සිටියේය. එම නිලධරයා යූටියුබ් සාකච්ඡාව පවත්වා තිබුණේ සමස්ත විපක්ෂයේ මෙන්ම බහුතර සමාජයේ දැඩි පිළිකුලකට ලක්ව සිටින යූටියුබ් කරුවකු සමග ය. එවැනි සාකච්ඡාවක් කිරීම සම්බන්ධයෙන් රනිල් සිටියේ දැඩි නොසතුටකිනි.
වහාම හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත්, මාධ්‍ය අධ්‍යක්ෂ ශානුක සහ ජාත්‍යන්තර සබඳතා අධ්‍යක්ෂ දිනුක් කැඳවූ රනිල් පැවසූයේ තමා අර්බුදයට පත්වූ අවස්ථාවේ ඇත්තටම සහය දුන් යූ ටියුබ්කරුවන් මෙන්ම සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ට ස්තුති කළ යුතු බවයි. මෙවැනි සංයමයක් නැති යූටියුබ් කරුවකු සමඟ තම හිටපු නිලධරයකු සංවාදයක් කරනු තමා නොදැන සිටි බව රනිල් ඔවුනට කීය.
මේ අනුව රනිල් ස්තුති කිරීමේ ඉතා කෙටි වීඩියෝවක් නිකුත් කළේය. වර්තමානයේ සිටින අයුරින් ඉතා චාම් අන්දමින් එහි පෙනී සිටිය යුතු බව රනිල් කීවේය. අදාළ ස්තුති කිරීමේ වීඩියෝව මාධ්‍යයට මුදා හැරුණේ ඒ අනුවයි.
අනතුරුව රනිල් අසීරු අවස්ථාවේ සහය දුන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන්ට දිනිත් ගේ සහ ශානුක ගේ ජංගම දුරකථනවලින් අමතමින් පෞද්ගලිකවම ස්තුති පළ කළේ ය. ඉතා ඉක්මනින් ඔවුන් හමුවීමට අදහස් කරන බව ද රනිල් පැවසීය. හිටපු නිලධරයාගේ අත්තනෝමතික ක්‍රියාව නිසා සිදුවූ හානිය රනිල් යථා තත්ත්වයට පත් කර ගත්තේ මෙවැනි ක්‍රියාවලියක් තුළිනි. අනතුරුව රනිල් කීවේ මෙවැනි අවස්ථාවක මෙවැනි සංවාදයක් කිරීම තුළින් අනවශ්‍ය කරදරයක් තමාගේ පිට පැටවුණු බවයි.
වජිර කිරි උතුරවයි

සභාපති වජිරට මේ සතිය පසුගිය සතියට සාපේක්ෂව යම්තාක් දුරකට කාර්ය බහුලත්වය අඩු සතියක් විය. වජිර පවුලේ උදවිය සමග අනුරාධපුරයට ගියේ තවත් සුවිශේෂ කටයුත්තකට සම්බන්ධ වීමට ය. ඒ, අනුරාධපුර ශ්‍රී මහා බෝධිය අභියස සූදානම් කර තිබු සතර වාහල්කඩ කිරි ඉතිරවීමේ පූජාවට සම්බන්ධ වීම සඳහා යි. නායක රනිල්ට නීරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම ඒ පින්කමේ මූලික අරමුණ විය. වජිරගේ උපන් දිනයේ යෙදී තිබුණේ ද එදිනට ම ය. වජිරට මෙන්ම පවුලේ අයටත් ඒ කාරණය සුවිශේෂී වූයේ ඒ නිසා ය. ශ්‍රී මහා බෝධිය වන්දනා කරන්නට පැමිණි ජනතාවත් ඒ පින්කමට සහභාගී විය.

අනතුරුව වජිර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමියන් ද හමු විය.
නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූවගේ දියණියගේ විවාහ මංගල උත්සවය ඉකුත් සති අන්තයේ කොළඹ පෞද්ගලික හෝටලයක දී පැවැත්විණි හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද, මෛත්‍රීපාල සහ වජිර අබේවර්ධන, අලි සබ්රි, විජයදාස රාජපක්ෂ, සාගල රත්නායක, දිලිත් ජයවීර ඇතුළු දේශපාලඥයෝද මීට සහභාගී වූහ.
(සටහන | මල් පාරේ ලියුම්කරු )




